19 April, 2024

Blog

ආණ්ඩුව තවමත් වගකිව යුතු පියවරක් අරන් නැහැ

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පාස්කු ඉරිදා දින විශාල විනාශයක් කරමින් මුස්ලිම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හිතවතුන්  ශ්‍රී ලංකාවේ දී බෝම්බ පුපුරුවාලීම සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුවෙන් වගකිවයුතු  ප්‍රතිචාරයක් දක්වා නොමැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 23 දා අගහරුවාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අන්තර් ජාතික ත්‍රස්තවාදය පිළිබද හරබර දේශනයක් පැවැත්වූ අතර එය වැදගත් වන්නේ අන්තර් ජාතික සබදතා හදාරන විද්‍යර්ථයන්ට පමණක් බව කිව යුතු නැත. රටේ ජාතික ආරක්ෂාවේ අඩු ලුහුඩුකම්, එහි බරපතල දුර්වලතා, තම වගකීම් ඉටු නොකළ ආණ්ඩුව ආදිය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා කිසිවක් නොකී ය. සිදුවූ විනාශයට වන්දි ගෙවන බවත් ඉදිරියේ දී මෙවැනි විනාශයක් වන්නට ඉඩ නොතබන බවත් ඔහුගේ කතාවේ පදනම විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් ද කළේ වගකීම් විරහිත කතාවකි. ඔහු ආරක්ෂක විෂයේ නිලධාරීන් පාවා දෙමින් පැය විසි හතරක් තුළ ආරක්ෂාවේ ඉහළ නිලධාරීන් වෙනස් කරන බව කීය. එහෙත් ජනාධිපති හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයන්හි වගකීම් කිසිවකුට නොපවරමින් වගකීම් විරහිතව පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවීම ගැන ඔහු කිසිවක් නොකීය. රාජ්‍ය සේවයේ කාර්යාල කාර්ය සහායකුට පවා නිවාඩු ගැනීමේ දී වැඩ බලන සේවකයකු අත්සන් කළ යුතුය. රජයේ නිලධාරියකු පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගතවීමක දී පවා අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය ය. එහෙත් රාජ්‍ය ආරක්ෂක විෂය දරන ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක පවා යෙදෙන්නේ හොර රහසේ ය.

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් විරහිත බව රාජ්‍ය නිලධාරීන් මත පටවා ඔවුන්ට දඩුවම් කිරීම විළිලැජ්ජාව නැතිකමේ ප්‍රතිඵලයකි. අවාසනාවට මේ රටේ ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් කිසිම විළිලැජ්ජාවක් නොමැත. එනිසා කටට එන ඕනෑම දෙයක් වගකීම් විරහිතව කියමින් රාජ්‍යකරණය සම්බන්ධයෙන් වූ තම අත්හල නොහැකි වගකීම තුට්ටුවට දෙකට මායිම් කරති. ඒ මග යමින් ඔවුන්ගේ අමාත්‍යවරුන් ද අතිශය වගකීම් විරහිත කතා කියමින් ඇතිව තිබෙන බරපතල ව්‍යසනය සුළුකොට තකති. 

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙවැනි දිනටත් වගකීමක් නැති එකම කතාව කියමින් තම පියා නිසා අනතුරක් නොවී බේරුණ බව ප්‍රකාශ කරයි. ඔහුට තම රටේ වැසියන්ගේ ජීවිත ආරක්ෂාව ගැන වගේ වගක් නොමැත. අමාත්‍ය මනෝ ගනේෂන් ද එසේම ය. බුද්ධි අංශ වලින් අනතුරක අවවාදය ලැබුනා නම් එය සුළුකොට නොතැකීම ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අමාත්‍යවරුන්ගේ ඇති නොසැල්ලකිල්ලයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ජන මාධ්‍යයට පවසන කරුණු ඊටත් වඩා විහිළු සහගත ය.  ඔහු ප්‍රකාශ කරන්නේ විනාශයක තොරතුරු ලැබුන නමුත් එය මෙතරම් බරපතල විනාශයක් යැයි නොසිතූ බවයි.  මේ සියළු ප්‍රකාශ වලින් ඉස්මතුවන්නේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔවුනට ඇති ළාබාල නොදැනුවත්කමයි. 

ජනාධිපතිවරයාත් ඒ මග යන අමාත්‍ය සජිත් ප්‍රේමදාසත් මහන්සි වන්නේ විනාශ වූ පල්ලි වහ වහා ඉදි කිරීමටයි. නමුත් මේ අවස්ථාවේ සම්පූර්ණ විය යුතු පළමු කාරණාව වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතයට බියක් හා සැකක් නොදැනීම තහවුරු කිරීමයි. සිද්ධිය සිදුවී අහවල් වේලාවක් තුළ විනාශ වූ පල්ලිය ඉදි කළා යැයි බොළද කතා කියන්නට හැකිවන ලෙස මේ ළා බාල දේශපාලකයන් ක්‍රියා කරන්නේ මිනිසු රුධිරය තවමත් ගලා යමින් තිබිය දී ය. ජන ජීවිතයේ ආරක්ෂාව තහවුරු කරන්නට නැති හදිසියක් ගොඩනැගිලි යළි ඉදි කරන්නට තිබීම හාස්‍යජනක ය. එහෙත් ඒ හාස්‍ය තුළින් මතු වන්නේ මිනිස් ජීවිතවල අනාරක්ෂිත බවයි. 

මේ මොහොත තුළ ආණ්ඩුව වහ වහා කළ යුත්තේ බියක් සැකක් නොමැතිව පුරවැසියකුට පාරෙ බැස යන්නට හැකි වාතාවරණයක් ස්ථාපිත කිරීමයි. ඒ සදහා රාජ්‍ය ආරක්ෂක ආයතනයන් ශූක්ෂම ලෙස හැසිරවිය යුතු ය. එවැනි කටයුත්තකට විෂය පිළිබද මනා අත්දැකීමක් හා න්‍යායික දැනුමක් සහිත දේශපාලන අධිකාරියක් අවශ්‍ය වේ. විෂය ප්‍රවීනයන් වන ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස් ප්‍රධානියා හැසිරවීමට අවම වශයෙන් ජනාධිපතිවරයාට කළමනාකරණ කුසලතාවක් හෝ නොමැත. ඒ ක්ෂේත්‍රයේ කිසිම අත්දැකීමක් හෝ කුසලතාවක් හෝ නොමැති ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය ආරක්ෂක විෂය දැරීම අති භයානක ය.

සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් කල් ඇතිව ලැබුන බුද්ධි අංශ උපදෙස් නොතකා හැරීම, දිගින් දිගටම අන්තවාදී කල්ලිවල ක්‍රියාකාරීත්වය නොතකා හැරීම, රටපුරා විවිධ ස්ථාන වලින් විටෙන් විට අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍යය අත් අඩංගුවට ගැනීම, සැකකරුවන් නිදහස් කර යැවීම, ජාතික ආරක්ෂාව නොතකා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අළලා බරපතල ප්‍රශ්න පැන නගී. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ 23 දා අගහරුවාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදි.  මහින්ද රාජපක්ෂට අවශ්‍ය වන්නේ බුද්ධි අංශ මර්දනය කළා යැයි කියමින් අපරාධ සහායක බුද්ධි අංශ නිලධාරීන් රැක ගැනීමට ය. එනිසා මේ ප්‍රශ්න පිළිබදව ඔහු විමසිය යුතුව තිබුනේ ඔහුගේ හිත මිතුරු ජනාධිපතිවරයාගෙනි.

2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් තරග කර මන්ත්‍රී ධූරයක් ලබා ගත් අතුරලියේ රතන හාමුදුරුවන් 23 දා අගහරුවාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැද්වමින් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි. ආරක්ෂක විෂය සම්බන්ධයෙන් ඇති වී තිබෙන බරපතල ව්‍යාකූලත්වය ප්‍රශ්න කරමින් සේනාධිනායකයා හා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි නොකීම හාස්‍යයකි. මෙවැනි බරපතල තත්ත්වයක දී පවා අතුරලියේ රතන හාමුදුරුවන් උත්සාහ ගන්නේ තමන් හිතමිත්‍ර ජනාධිපතිවරයා රැක ගනිමින් තමන් නුරුස්සන අගමැතිවරයාගෙන් පළි ගන්නට ය.

රාජපක්ෂ යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පසුව මහ මැතිවරණ දෙකක දී එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී වගකිව යුතු අමාත්‍ය ධූරයන් කිහිපයක්ම දැරූ විජේදාස රාජපක්ෂ ද 23 දා අගහරුවාදා පුවත් පත් සාකච්ඡාවක් අමතමින් කීවේ එක්සත් ජාතික පක්ෂය බලය දරන හැම අවස්ථාවකම ජාතික ආරක්ෂාව අනතුරේ වැටුන බවයි. එහෙත් 2018 අප්‍රියෙල් මාසයේ දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවේ දී ඔහු ඊට විපක්ෂව ඡන්දය දී රනිල් වික්‍රමසිංහට තම පක්ෂ පාතිත්වය පළ කලේ ය. තමන් මේ පක්ෂපාතී වන්නේ ජාතික ආරක්ෂාව තුට්ටුවට මායිම් නොකරන පුද්ගලයකුට බව විජේදාසට එම අවස්ථාවේ නොතේරෙන්නට ඇත්තේ තමන්ගෙන්  ඉවත් කරන ලද අමාත්‍ය ධූරය යළි ලබාදෙන බවට වූ පොරොන්දුව නිසා වන්නට ඇත.

බොර දියේ මාළු බාන්නට තක්කඩි දේශපාලකයන් උනන්දු වන්නේ මේ අන්දමිනි. අතුරලියේ රතනලා, විජේදාස රාජපක්ෂලා පමණක් නොව තවත් තක්කඩි දේශපාලකයන් රැසක්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වීරයන් සේ නැගී සිටීමට මාන බලන බව නිසැක ය. අවාසනාවට මේ බියකරු හා ශෝචනීය මොහොත තුළ වගකීම් විරහිත ආණ්ඩුව විවේචනය කරන සංවේදී ස්ථාන අරක්ගෙන සිටින්නේ මෙවැනි පිසාචයන් ය. ඒ පිසාචයන්ට ඇත්තේ දේශපාලන හීනමානයන් හා ජයග්‍රහණය කර ගත නොහැකි වූ පෞද්ගලික සිතැගියාවන් ය. ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජාතික ආරක්ෂාවේ වැදගත්කම ගැන උස් හඩින් කතා කිරීම සමාජය බරපතල ලෙස තේරුම් ගත යුතුය.

ආණ්ඩුව ක්ෂණික පියවර ගත්තේ සමාජ ජාල අඩපන කිරීමට පමණි. ඇත්තටම තාක්ෂණය දියුණු ලෝකයක සමාජ ජාල අඩපන කළ නොහැක. එසේ උත්සාහ දරන පළමු මොහොතේදීම හාස්‍යයට පත්වන්නේ රජයයි. ඉරිදා දහවල් වන විට රජය විසින් සමාජ ජාල අඩපන කළ ද තාක්ෂණික ක්‍රම මගින් ඊට ප්‍රවේශ වන්නට බොහෝ අයට හැකි වුණි. අසත්‍ය හා වෛරය වපුරන විද්‍යුත මාධ්‍ය සම්බන්ධයෙන් මොලොක් ස්වරයක් අනුගමනය කරමින් සමාජ ජාල අඩපන කිරීම ද අර්ථ විරහිත ය. විනාශය සිදුවූ මොහොතේ පටන් මෙරට සමහර විද්‍යුත් මාධ්‍ය හැසිරෙන්නේ විසකුරු අදහස් සමාජ ගත කරන්නට ය. මේ ව්‍යසනයේ දී බුද්ධි අංශ නිවැරැදි ලෙස තම රාජකාරිය ඉටු කර ඇත. වගකීම් ඉටු කර නැත්තේ දේශපාලන අධිකාරියයි. එහෙත් බොහෝ විද්‍යුත් මාධ්‍ය චෝදනා කරන්නේ බුද්ධි අංශ සිරගෙට දැමූ නිසා මේ විනාශය සිදුවූ බවයි.

සමහර පෞද්ගලික මාධ්‍යයන්ට අවශ්‍යව ඇත්තේ බොර දියේ මාළු බා තමන්ට වාසි සහගත රාජපක්ෂ ආණ්ඩුවක් යළි ස්ථාපිත කර ගැනීමයි. බුද්ධි අංශ තම රාජකාරීය ඉටු කර තිබිය දී ත් බුද්ධි අංශවල කඩා වැටීමක් ගැන මේ ජඩ මාධ්‍ය කතා කරන්නේ එනිසා ය. මහින්ද රාජපක්ෂ මෙන්ම මේ ජඩ මාධ්‍යය ද කියන්නේ එකම කතාව ය. නමුත් එය විමසන්නට එකම මාධ්‍යවේදියකු හෝ ශ්‍රී ලංකාවේ නොමැත. ව්‍යසනය සිදුවූ සැනෙන් බීබීසී සේවය හැසුරුණේ ද වෛරය වපුරන අපුල සහගත ආකාරයකට ය. ඔවුන් විනාශයේ වගකිව යුත්තන් ලෙස හැදින්වූයේ සිංහල බෞද්ධයන් ය. කිසිම පදනමක් නොමැතිව ඒ චෝදනාව නැගූ බීබීසීය ඒ මත රැස් වෙමින් ශ්‍රී ලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධ ජනතාවට අභූත චෝදනා එල්ල කළේ ය. ඒ නිසා බීබීසීය මහජන ගෞරවය විනාශ කර ගත්තේ ය.

මේ කිසිවක් පාලනය කරන්නට නොහැකි තරමට ආණ්ඩුවේ දේශපාලන පෞර්ෂය බරපතල බිද වැටීමකට ලක්ව තිබේ. එනිසා ආණ්ඩුවේ ප්‍රතිරූපය යළි ගොඩනගන්නට යෑම සමාන වන්නේ කොහොල්ලෑ බබාගේ කතාවට පමණි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    //ව්‍යසනය සිදුවූ සැනෙන් බීබීසී සේවය හැසුරුණේ ද වෛරය වපුරන අපුල සහගත ආකාරයකට ය. ඔවුන් විනාශයේ වගකිව යුත්තන් ලෙස හැදින්වූයේ සිංහල බෞද්ධයන් ය. කිසිම පදනමක් නොමැතිව ඒ චෝදනාව නැගූ බීබීසීය ඒ මත රැස් වෙමින් ශ්‍රී ලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධ ජනතාවට අභූත චෝදනා එල්ල කළේ ය. ඒ නිසා බීබීසීය මහජන ගෞරවය විනාශ කර ගත්තේ ය.//

    ඒ ටික ලියන්න කොන්දක් තිබීම පෙන්නුම් කරන්නේ ලේඛකයා කිසියම් ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවඊ. ගැටලුව වන්නේ එම ස්ථාවරය ඔහුට කොපමණ කලක් දැරීමට ඔහුගේ ස්වාමි වරුන් ඉඩ දේ ද යන්නඊ.

    • 0
      1

      මට ඒ හැකියාව හැමදාම තිබුණි. ඉදිරියටත් තියෙන්නේ ය. එහෙත් ඔබට පාට කණ්නාඩි වලින් තොරව දේවල් දකින්නට නොහැකි නිසා එය තේරුම් ගැනීමට නොහැකිය. මා ඊට කුමක් කරන්න ද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.