27 April, 2024

Blog

කාසියේ වාසිය කාටද? – සිල් රෙදි නඩු තීන්දුව ගැන පසු විපරමක්

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

මේ ලියන මොහොත වන විට රාජපක්ෂ රෙජීමයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සුප්‍රකට සිල් රෙදි නඩුවට වරදකරුවන් වී තුන් අවුරුදු සිර දඩුවමකට යටත් කර ඇත. ඊට අමතරව දෙදෙනා වෙන වෙනම රුපියල් මිලියන 20 බැගින් වන දඩයක් ගෙවිය යුතු අතර රුපියල් මිලියන 50ක් විදුලි සංදේශ නියාමන කොමිසමට වන්දි වශයෙන් ගෙවිය යුතුව තිබේ. මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් වන අතර රාජ්‍ය සේවකයන් රාජකාරී ඉටු කිරීමේ දී ඉහළින් එන්නා වූ නියෝග ඉටු කිරීමේ ආකාරය පැහැදිලි කරන පරමාදර්ශී තීන්දුවක් වනවා නොඅනුමානය. ඊට අමතරව වඩාම වැදගත් කරුණ වන්නේ දක්ෂ, අභියෝගයන් භාර ගෙන වැඩ කළ හැකි, ධාරිතාවකින් යුත් රජයේ නිලධාරීන් දේශපාලනයේ ගොදුරු බවට පත්වෙන අන්දම මෙම නඩුකරයෙන් සමාජයට තේරුම් ගත හැකිවීමයි.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට වඩා මෙම නඩුකරයේ දී වඩා වැදගත් වන්නේ ජේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනූෂ පැල්පිටගේ භූමිකාවයි. ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබද මූලික උපාධිය ලැබූ අතර පසුව ඕස්ට්‍රේලිනු විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධිය ලැබීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධූරය දරද්දී ජනාධිපති සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ අතර පශ්චාත් උපාධියට විදේශ ගතව සිටි ඔහු 2004 වර්ෂයේ අවසන් කාලයේ දිවයිනට පැමිණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් විය.

ක්‍රමයෙන් ඉහළ තනතුරු වලට ගිය ඔහු අවසන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් වූ අතර ටික කලකින් ස්ථාපිත කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්විය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ළඟ​ සබදතා ගොඩ නගා ගත් අතර 2010 ජනාධිපතිවරණයෙන් පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්විය

අනූෂ පැල්පිටගේ බොහෝ තනතුරු හා උසස්වීම දේශපාලනය හා සම්බන්ධ වන අතර දිගටම ඔහු සේවය කළේ ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තෝරා ගත් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු සමගය. ඒ අතර කැපී පෙනෙන චරිතයන් වන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව් බී ගනේගල හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ය. ඩබ්ලිව් බී ගනේගල සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ අතර ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයට ආවේ එය අයත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩබ්ලිව් බී ගනේගල කටයුතු කරන අවදීයේ ය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරද්දී අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා ලබා ගත් අය අතර එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද සිටි අතර විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනූෂ පැල්පිට සේවය කළේ ලලිත් වීරතුංග එහි සභාපති ලෙස කටයුතු කරද්දී ය. ඔහු නිතරම තමන්ට අවශ්‍ය යැයි හැගෙන තෝරා ගත් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු යටතේ පමණක්  සේවය කළේය.

අනූෂ පැල්පිට රාජ්‍ය සේවයට සම්පතක්

අනූෂ පැල්පිට රාජ්‍ය සේවයේ ඉතා දුර්වල මානව සම්පතක් විය. ඉතා දක්ෂ හා කාර්යශූර නිලධාරියකු වූ ඔහු ආයතන ප්‍රධානියකුට අවශ්‍යයෙන්ම තිබිය යුතු මතක ශක්තිය ප්‍රබල ලෙස වර්ධනය කරගෙන තිබූවෙකි. කාර්ය බහුල දැඩි පීඩාකාරී කාලයක වුවත් ඔහුගේ මතකය සියුම් හා ශක්තිමත් වූ අතර එය ඔහුගේ ඇගයිය යුතු ලක්ෂණයකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යනු ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉහළ නිලධාරීන් ද නිතර යන එන ස්ථානයකි. ඕනෑම මොහොතක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලයේ එවැන්නන් කිහිප දෙනෙක් සිටිති. එවැනි එක් කලබලකාරී අවස්ථාවක අතිශය වැදගත් රාජකාරී උපදේශයක් ලබා ගැනීමට මේ ලියුම්කරු ඔහුගේ කාර්යාලට ඇතුළු විය. ඒ සෙනග මැද උපදේශයට අවශ්‍ය සංකීර්ණ සිද්ධිය කෙටියෙන් විග්‍රහ කළෙමි. ඔහු කීවේ තමා ඊළග දින විදේශ ගතවන බවත් යළි ආපසු එය විසදා දෙන බවත් ය. සති දෙකකට පසුව ඔහු යළි මෙරටට පැමිණ රාජකාරී ආරම්භ කළේය. මා හමුවූ සැනෙන් ඊට සති දෙකකට පෙර මා කියූ සියල්ල මතකයෙන් යළි මට කියා විසදුම ද පෙන්වා දුන්නේ ය. උදේ කිව් දේ හවස අමතක කරන ඉහළ රාජ්‍ය නිලධාරීන් සිටින රටක එවැනි ඉහළ රාජ්‍ය නිලධාරීන් රටට සම්පතකි.

අනූෂ

සංවිධාන ශක්තිය අතින් ද ඔහු මනා පරිචයකින් හෙබවීය. වර්ෂ 2005 දී  බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ  සිරිමා බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැති ළමා දින උත්සවය හා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු භාරව තිබුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ය. එහි වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් අනූෂ පැල්පිට ඊට උර දී වෙහෙස මහන්සි වී කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායක පරිශ්‍රයේ ප්‍රදර්ශන කුටි ඇතුලත් භූමි සැලස්මක් රහිතව එම සැලස්ම හිතේ තබාගෙන ඔහු සංවිධාන කටයුතු කළ අන්දම ප්‍රශස්ත ය. දින තුනක් පැවැති එම ප්‍රදර්ශනය හා සැනකෙළිය තමන් විසින්ම සංවිධානය කරමින් කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් උපරිම සාර්ථකත්වයෙන් කාර්ය නිමා කරන්නේ දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායික සෙසු මාණ්ඩලික නිලධාරීන් කර ඇර සිටිය දී ය.

එසේම දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් පමණක් නොව ඔහු ළගට එන කවරෙකුගෙන් වුවද යම් රාජකාරියක් කර ගන්නට අවශ්‍ය නම් එය කර ගන්නා අන්දම ඔහු මනා ලෙස ප්‍රගුණ කර තිබුණි. කිසිවකුගේ සිත් නොරිදෙන පරිදි කිසිවකු අපහසුතාවට ලක් නොවන පරිදි තමන්ගේ ඉලක්කයට සෙසු සහායක නිලධාරීන් රැගෙන යන්නේ ඔහු සතුව තිබූ මනා හැකියාව තුළිනි. අභියෝගයන් භාරගෙන ඒවා ඉෂ්ඨ කිරීමේ මනා හැකියාවක් ඔහුට තිබූ අතර එය රාජ්‍ය සේවයේ බොහෝ නිලධාරීන් සතුව නැති දක්ෂතාවකි. එසේම ඕනෑම පුද්ගලයකු හා කතා බහ කර සංයමයෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාව ද ඔහු සතුව තිබුණි.

අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සංවිධාන කටයුතු පැවරුන බොහෝ රාජ්‍ය උත්සවයන් ඔහු තම තනි සංවිධාන ශක්තියෙන් සාර්ථක කර ගත්තෙ දෙපාර්තමේන්තුවට අලුතින් බැදුනු උපාධිධාරී නිලධාරීන් සමග එක්වෙමිනි. සාමාන්‍යයෙන් සලකන පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිද්‍රාශීලී ආයතනයකි. එහි සේවකයන් අලස ය.  එවැනි ආයතනයක් ක්‍රියාශීලී හා සජීවී රාජ්‍ය උත්සව කිහිපයක්ම සංවිධානය කිරීඅම් ප්‍රශස්ත කටයුත්තකි. ඒ අතර සාෆ් ක්‍රීඩා උළෙල, සාර්ක් රාජ්‍ය නායක සමුළුව ආදී අන්තර්ජාතික මට්ටමේ උත්සව කිහිපයක්ම විය. ඒවා සියල්ලේ මාධ්‍ය ආවරණයන් සාර්ථක ලෙස සංවිධානය කළේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වූ අනූෂ පැල්පිටගේ හැකියාව මතිනි.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයන්හි ප්‍රසම්පාදන කටයුතු නීතිගත වංචා දූෂණ වලින් පරිපූර්ණය. රජයේ ප්‍රසම්පාදන නීති සංග්‍රහයක් ඇතත් ඒවායෙන් රිංගා ගොස් වංචා හා දූෂණ සිදු කිරීම සරළ කටයුත්තකි. ඇට්ලස් වර්ගයේ  බෝල්ට් පොයින්ට් පෑනක් රුපියල් 9.50ට සිල්ලර මිලට විකුණූ කාලයක එක් පෑනක තොග මිල රුපියල් 8.50ක් විය. එක් රාජ්‍ය ආයතනයකට එම වර්ගයේ පෑන් තොගයක් මිල දී ගෙන තිබුණේ එකක් රුපියල් 12.50 බැගින් වන තොග මිලකට ය. ලාභය බෙදී යන්නේ ආයතන ප්‍රධානියා හා විෂය භාර නිලධාරියා අතර ය. රාජ්‍ය ආයතනයක මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළ නිලධාරියකු වීම එතරම් ලාභදායකය. ඒ සුළු මිල ගණන් වලිනි. එලෙසම රාජ්‍ය ආයතනයක ගොඩනැගිල්ලක් ඉදිවීම ආයතන ප්‍රධානියාට ඉල්ලමකි. මිලියන ගණන් වලින් මුදල් හුවමාරු වන එවැනි ව්‍යාපෘතියකට සමාන්තරව තමන්ට නිවසක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් හෝ ඉදිකර ගැනීම සරළ කටයුත්තකි. නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ අනූෂ පැල්පිට ආයතන ප්‍රධානියකු වශයෙන් මැදිහත්ව කටයුතු කර ඇති තරම් වංචා හා දූෂණ කළ හැකි වුවද ඒවාට සම්බන්ධ නොවීය.

ඔහු එපමණකින් නොනැවතුණි. විශාල සංවර්ධන ව්‍යාපෘති කරන විට දූෂණ, වංචා සිදුවන්නේ එම ආයතනය තුළින්ම නොවේ. ආයතනය යටත්වන අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ සිටින පල් හොරුන්ගෙන් ද හොරකම් සිදුවිය හැකිය. ඒ බව මනා ලෙස දැනගෙන සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ලියකියවිලි වලින්ම ඒවාට ඉඩ තැබුවේ නැත.

සතර අගතියට පත් නිලධාරීන් අතර

රාජ්‍ය ආයතන ප්‍රධානියකු තම නිසග ලක්ෂණ කර ගන්නා අගතීන් කිහිපයක් ඇත. ප්‍රධාන වශයෙන් කාන්තා ලොල් බව කිව හැකිය. දෙවැන්න වංචා හා දූෂණයට සම්බන්ධවීම ය. තුන් වැන්න නිල බලයෙන් හිස උදුම්වාගෙන අන්‍යයන්ට හිරිහැර කිරීමය. හතර වැන්න දේශපාලකයන් හා මිතුරු සමාගමයට ගොස් විනාශ වීමය. මේ සතර අගතීන්ගෙන් පළමු අගතීන් තුනෙන්ම අනූෂ පැල්පිට නිදහස්ව සිටියේ ය. එහෙත් ඔහු දේශපාලකයන් හා මිතුරු සමාගමයට යෑම කිසි විටෙක අමතක නොකළේ ය. අවසානයේ ඔහුට විනාශය දොර ළගටම ගෙන ආවේ ද දේශපාලකයන් ය.

රජයේ ඉහළ නිලධාරියකු ලෙස කටයුතු කිරීමේ දී ඔහුට අත් හරින්නට නොහැකි වූ එකම අගතිය වන්නේ දේශපාලකයන් හා තදින් බැදී සිටීමය. ඔහු තම සේවාවේ ඉහළට උසස්වීම් ලබන්නට තෝරා ගත්තේ තම දක්ෂතා මත පදනම් වූ කාර්යශූරභාවය නොවේ. ඔහු ඒ සදහා නිරත්තරයෙන්ම යොමු වූයේ දේශපාලකයන් වෙත ය. දේශපාලකයන්ට අවශ්‍ය පරිදි යම් යම් කටයුතු කරන්නට යෑම ඔහුගේ අගතියට හේතුව විය. වරක් එහි ආදීනව මෙම ලියුම්කරු ඔහුට පෙන්වා දුන් විට ඔහු ආඩම්බරයෙන් කීවේ “කොයි ආණ්ඩුව ආවත් අපිව නැතිව බෑ. මොකො මාව තැපැල් කන්තෝරුවකට මාරු කරන්න ද” යන්නයි. කණගාටුදායක කාරණාව වන්නේ අද ඔහු මාරු කර ඇත්තේ තැපැල් කන්තෝරුවකට නොව හිර ගෙදරක කූරු ගණන් කරන්නටවීමයි.

රාජ්‍ය නිලධාරීන් බොහොමයක් තෝරා ගන්නේ දේශපාලකයන්ගේ හිත හොද මත උසස්වීම් ලබා ගන්නා මගය. එහෙත් අවංකව හා කාර්යශූරව තමන් නැතිව බැරි මට්ටමට පෞර්ෂය දියුණු කරගත් සමහර රජයේ නිලධාරීන් ගෞවාන්විතව  ඉහළ උසස්වීම් ලැබ පත්වන සෑම ආණ්ඩුවකටම සේවය නොකළාම නොවේ. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් ආණ්ඩු හත අටකම ඉහළ තනතුරු දැරීය. 2003 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක යූඑන්පී ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් පවරා ගන්නා විට එක් අමාත්‍යංශයක ලේකම්වරයා වෙනස් නොකළේය. එසේම හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන අශෝක පීරිස් ද තම පෞර්ෂය මැනවින් පවත්වාගෙන ගියේ ය. ඔහු යටතේ සේවය කළ පරිපාලන සේවා නිලධාරියකු මා හා ප්‍රකාශ කළේ අශෝක පීරිස් දූෂණයන්ට එකග නොවීම නිසාත් එය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ඝෘජුවම පැවසීම නිසාත් වරෙක තනතුර පවා අහෝසි වූ බවය. මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති මහින්ද දේශප්‍රිය අද ද රාජ්‍ය සේවය තුළ රැදී ඉන්නේ එසේ යැයි හැගේ. එහෙත්බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ පූර්වාදර්ශයන් ගුරු කොට ගන්නේ නැත. අනූෂ පැල්පිට ද එවැනි රාජ්‍ය නිලධාරියෙක් වූ බව කනගාටුවෙන් පැවසිය යුතුය.

ජේෂ්ඨ නිලධාරීන්ගෙන් අහිතකර පරමාදර්ශයන්

අනූෂ පැල්පිට ජේෂ්ඨ පරිපාලන නිලධාරියකු වශයෙන් රාජකාරී කිරීම සදහා තෝරා ගත් නිලධාරීන් අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල ද විය. මේ දෙදෙනාම රාජ්‍ය සේවය තුළ දක්ෂයන් වුවද කීර්තිමත් නිලධාරීන් වූයේ නැත. ඔවුන් තම දක්ෂතාව හා හැකියාව යොදා ගත්තේ දේශපාලකයන් සතුටු කර ස්වාර්ථය සහතික කර ගැනීමටය. ඔවුන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨයන් ලෙස තම කණිෂ්ඨයන්ට ලබාදී ඇත්තේ අපකීර්තිමත් ආදර්ශයන් ය. එවැනි ජේෂ්ඨයන්ගේ රැකවරණය මැද අනූෂ පැල්පිටට මීට වඩා ප්‍රතිලාභයක් ලැබෙන්නේ ද නැත. ලලිත් වීරතුංග අගමැති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයාව සිටි අවදියේ රාජ්‍ය සේවයේ එක් වැඩමුළුවකට පැමිණියේ ය. එහිදී ඔහුගේ දේශනයට සවන් දුන් තවත් ජෙෂ්ඨ පරිපාලන නිලධාරියකුගෙන් ප්‍රකාශ වූයේ ලලිත් වීරතුංග යනු රාජ්‍ය නිලධාරියකු නොව දේශපාලකයකුගේ හෙන්චයියකු බවය.  ඒ තරමටම ලලිත් වීරතුංගගේ කොන්ද දේශපාලකයන් ඉදිරියේ දී සුමට ලෙස නැමුණි.

ඩබ්ලිව් බී ගනේගලගේ හැසිරීම ද එසේමය. රාජපක්ෂ පාලනය තුළ ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයේ ය. එසේම ටික කලක් ඛණිජ තෙල් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරය ද හෙබවීය. එම කාලය තුළ ඔහුගේ රාජකාරී කටයුතු සතුටුදායක වූයේ රාජපක්ෂවරුන්ට පමණි. උදච්ඡ මානසිකත්වයකින් යුත් ගනේගල හැමවිටම කටයුතු කළේ මහ ජන සේවයට වඩා තමන්ගේ සුවච කීකරු ස්වාමියන් වෙනුවෙනි.

තම නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට තක්සේරුවක් හා විවේචනයක් නොතිබීම ද මේ අපකීර්තිමත් දඩුවමට ලක්වන්නට හේතු වශයෙන් බලපා ඇත. තම සාමාජිකයන් අපකීර්තිමත් කටයුතු වල යෙදෙන විට ස්වයං විවේචනාත්මක ක්‍රියාවකට එළඹ සාමාජිකයාට යහමග පෙන්වීම වෘත්තීයවේදී සංවිධානයක වගකීමකි. ඔවුන් සෙසු දීපව්‍යාප්ත සේවා හා සසදමින් වෘත්තීය අභිමානය ගැන කතා කළ ද තම සාමාජිකයන් නීති විරෝධී කටයුතු වල යෙදෙන විට තම වෘත්තීය ගෞරවය ගැන සංවේදී නොවීම කණගාටුදායක ය. වෘත්තීයවේදී සංවිධානයක් මැදිහත්ව ඒ වෘත්තියේ යෙදෙන්නන්ට ආචාර ධර්ම පද්ධතියක් ද සංස්කෘතියක් ද නිර්මාණය කර ගන්නේ නම් සාමාජිකයන් විනාශ මුඛයට තල්ලු වීම අවම කරගත හැකිය.  එහෙත් එවැනි උත්සාහයක් හා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තුළ දක්නට නොමැත. ලලිත් වීරතුංග ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම සංගමය වැඩියෙන් උනන්දු වූයේ සෙසු දීප ව්‍යාප්ත සේවාවන්ට වඩා තම සේවයට වරප්‍රසාද හා ප්‍රතිලාභ ලබා ගැනීමට මිස ආචාරධර්ම පද්ධතියක් සකස් කර ගැනීමට නොවේ.

රජයේ සේවයේ සිටි දක්ෂ හා අවංක නිලධාරීන් තම පවුල් දේශපාලන අවකාශයට බද්ධ කරගෙන ඔවුන්ගෙන් තම පැවැත්ම සදහා උපරිම දායකත්වය ලබා ගැනීම රාජපක්ෂ පාලනයේ සංස්කෘතිය විය. රාජ්‍ය සේවය කාර්යක්ෂම හා පෞර්ෂවත් කිරීම රාජපක්ෂවරුන් සිහිනෙන්වත් නොසිතූ දෙයකි. ඔවුන්ට මනා වෘත්තීයවේදී රාජ්‍ය සේවයක් තම අභිමතාර්ථයන් සාධනයේ ලා බාධාවක් වුණි. එනිසා ඔවුන් රාජ්‍ය සේවයෙන් බලාපොරුත්තු වූයේ වන්දිභට්ටකම් කර ගැනීම පමණි.  2015 ජනාධිපතිවරණය අවස්ථාව වනවිට රාජපක්ෂ පාලනය පැවතියේ බරපතල අර්බූදයක ය. ඒ අර්බූදයට විසදුම් සේවීමේ දී බලය කිසිසේත්ම අත්හැරිය නොහැකි විය. එනිසා රාජ්‍ය ආයතනයන්හි මුඛ්‍ය අරමුණට එරෙහි වූවද තමන්ගේ වසගයට ගත් නිලධාරීන් ලවා මැතිවරණය ජයග්‍රහණය සදහා ඒවායේ සම්පත් භාවිතා කිරීමට යොමු විය. අනූෂ පැල්පිට නම් අවංක, දක්ෂ හා කාර්යශූර නිලධාරීයා ගිලටීනයට යොමු වූයේ එබැව්නි.

කළු වලාකුලක්. රිදී රේඛාවක්

දක්ෂ නිලධාරියකු වූ අනූෂ පැල්පිට  මේ අන්දමින් දඩුවමකට ලක්වීම ශෝචනීයය. එහෙත් ඔහුගේ දඩුවමින් හඩ ගා කියන එක් අති විශිෂ්ඨ පණිවුඩයක් වේ. එය ඔහු හඩ ගා කියන්නේ මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ටයි. ඒ නිසා ඒ නඩු තීන්දුව ඉතිහාසයේ උත්තරීතරම නඩු තීන්දුව විය හැකිය. ඒ අර්ථයෙන් රාජ්‍ය සේවකයන් තේරුම් ගත යුත්තේ මහජන නියෝජිතයන් ලබාදෙන ඕනෑම උපදේශයක් හෝ නියෝගයක් හෝ පිළිපැදීමට තමන් නීතියෙන් බැදී නොමැති බවය. රාජ්‍ය නිලධාරීන් පිළිපැදිය යුත්තේත් අවංකව ඉෂ්ඨ කළ යුත්තේත් මහජන නියෝජිතයන් ලබාදෙන නීත්‍යානුකූල උපදෙස් හා නියෝග පමණි. ඒවා නීත්‍යානූකූල නොවන්නට තමන් ඊට වගකියන්නට පෞද්ගලිකව බැදී සිටින බව මේ නඩු තීන්දුවේ හරයයි.

රාජ්‍ය සේවකයකුට තම ඉහළ නිලධාරිය ලබාදෙන ඕනෑම නියෝගයක් ඉටු කිරීමට බැදී නැති බවත් ඔහු ඉටු කළ යුත්තේ ඉහළ නිලධාරියාගේ නීත්‍යානුකූල නියෝගයන් පමණක් බවත් මෙරට අධිකරණය කිහිප අවස්ථාවකම තම තීන්දු තුළින් ප්‍රකාශ කර ඇත. එහෙත් මහජන නියෝජිතයන් ලබාදෙන නියෝග පිළිපැදීම සම්බන්ධයෙන් ආදර්ශමත් නඩු තීන්දුව මෙය විය හැකිය. ඒ අනුව අනාගතයේ දී රාජකාරී කරන රජයේ නිලධාරීන්ට ලැබෙන ඉස්පාසුව හා පරමාදර්ශය අති මහත් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වූ අනූෂ පැල්පිට අද මුහුණ දෙන අභාවවාචක අත්දැකීම් හමුවේ  ඇති වන්නේ බරපතල කම්පනයකි. 2010 වර්ෂයේ දී උසස්වීම් ලැබ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ධූරයට යන අවස්ථාව වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිටි ඉහළ නිලධාරීන් අතුරින් කිහිපදෙනෙක්ම මහ උළුගෙදර යැවිය යුතු මට්ටමේ අය විය. එහෙත් අනූෂ පැල්පිට ඒ වනවිට කිසිම අපරාධ ඝනයේ හෝ රාජ්‍ය දේපල වංචා කිරීමේ හෝ වරදකට චෝදනා ලැබුවේ නැත. එහෙත් ඔහු ක්‍රමයෙන් දේශපාලඥයන්ට සමීප වන්නට වන්නට අගතිගාමී දෑ කරා යොමු වන්නට ඇත. එහෙත් ඔහු වැරදිකරුවකු වී සිරගත කර ඇත්තේ රාජ්‍ය දේපල තමන් සතු කර ගැනීම නිසා නොවේ. ඔහු කළ වරද වන්නේ රාජ්‍ය දේපල යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදීමයි. අගතිගාමී වනචර යුගයක එවැනි වරදකට ඉහළ රාජ්‍ය නිලධාරියකු තල්ලුවීම ස්වභාවිකය. එහෙත් එවැනි හැසිරීමකින් නිදහස් වන්නට රාජ්‍ය නිලධාරියකුට අතිශය පෞර්ෂයක් අවශ්‍යය. එවැන්නක් තමන් තුළ නිර්මාණය නොකර ගැනීම නිසා මේ කීර්තිමත්, දක්ෂ හා කාර්යශූර නිලධාරියාගේ මුළු ජීවිතයම අදුරුවීමය. රටට කීර්තිමත්, දක්ෂ හා කාර්යශූර නිලධාරියකු අහිමිවීමය. රාජපක්ෂගේ දේශපාලන සංස්කෘතිය විසින් සමස්ත සමාජයම ඇද දමා ඇත්තේ කෙතරම් අගාධයකට ද?

*අනූෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ව සිටිය දී මෙම ලියුම්කරු එම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. ලේඛකයාගේ ඊමේල් ලිපිනය​: shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ඉතා හොඳ පැඅහැදිළි කිරීමක්

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.