
මහාචාර්ය ප්රේමකුමාර ද සිල්වා
මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ සිද්ධාන්තයෙන් කියවාගත හැකි සත්යය
මෑතකදී කොළඹ විහාරමහාදේවි උද්යානය කේන්ද්ර කරගනිමින්, සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්යග්රහය සහ පිරිත් සජ්ඣායනාව මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්විය. අධික වර්ෂාව මධ්යයේ, තාවකාලික කූඩාරම් අහිමි කරමින් පොලිසිය සහ අධිකරණ නියෝග හරහා එල්ල වූ බාධා මධ්යයේ වුවද, මෙම කණ්ඩායම සිය ආගමික වත්පිළිවෙත් මත පදනම් වූ විරෝධය අත්හැරියේ නැත.
නමුත් මතුපිටින් පෙනෙන සන්සුන් පිරිත් සජ්ජායනාව සහ කහා සිවුරු යටින් දිවෙන දැඩි දේශපාලන ක්රෝධය, පළිගැනීමේ චේතනාව සහ වත්මන් පාලනයට එරෙහි “ගුප්ත” අනතුරු ඇඟවීම් දෙස අප බැලිය යුත්තේ කෙසේද? මේ සඳහා අපට මෙරට බිහිවූ අද්විතීය මානව විද්යාඥයෙකු වන මහාචාර්ය ගණනාථ ඔබේසේකර 1975 දී ලියූ “සූනියම්, පූර්ව සැලසුම්සහගත මිනීමැරුම් සහ ශ්රී ලංකාවේ ක්රෝධය ප්රකාශ කිරීම” (Sorcery, Premeditated Murder, and the Canalization of Aggression in Sri Lanka) යන සුප්රකට පර්යේෂණ පත්රිකාව කදිම දෘෂ්ටි කෝණයක් සපයයි. ඔබේසේකර ට අනුව එදා පෞද්ගලික සූනියම් වත්පිළිවෙත් විශ්ලේෂණය කරමින් ඉදිරිපත් කළ “ක්රෝධය වෙනතකට හැරවීම” (Canalization of Aggression) පිළිබඳ සංකල්පය, අද විහාරමහාදේවි උද්යානයේ සිදුවන පොදු දේශපාලන ආගමික අරගලයට මනාව බද්ධ කළ හැකිය.

ශාරිරික ප්රහාරයට ආදේශකයක් වූ ආගමික වත්පිළිවෙත්
මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ ශ්රී ලාංකේය සංස්කෘතිය තුළ ශාරිරික ප්රචණ්ඩත්වය සහ ගුප්ත හෝ ආගමික වත්පිළිවෙත් අතර ව්යුහාත්මක සමානතාවක් (Isomorphism) ඇති බවයි. පුද්ගලයෙකුට තම සතුරා ශාරිරිකව විනාශ කිරීමට නොහැකි වූ විට, ඔහු එම වෛරය සහ ක්රෝධය සූනියමක් හෝ ශාපයක් හරහා පිට කරයි.
වත්මන් දේශපාලන වටපිටාව තුළ, ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයේ නිලබල ප්රදේශ වටලෑමට උත්සාහ කරන උද්ඝෝෂකයන්ට අධිකරණ නියෝග සහ පොලිස් බලකායන් හරහා වැටකඩොලු බැඳ ඇත. රාජ්ය බලය ඉදිරියේ තමන්ට ශාරීරිකව ඉදිරියට යා නොහැකි තැන, මෙම ආණ්ඩු විරෝධි දේශපාලන කණ්ඩායම් සිය ක්රෝධය ආගමික වත්පිළිවෙත් සහ සත්යග්රහයන් වෙත “වෙනත් දිශානතිය ට” (Canalize) යොමුකර ඇත. විහාරමහාදේවි උද්යානය ආගමික සටන් බිමක් බවට පත් කරමින්, අඛණ්ඩව පිරිත් සජ්ඣායනා කිරීම හරහා ඔවුන් උත්සාහ කරන්නේ වත්මන් පාලනයට දැඩි සදාචාරාත්මක, මනෝවිද්යාත්මක සහ ආත්මීය පීඩනයක් එල්ල කිරීමටයි.
“කුලියට ගත් මිනීමරුවා” සහ විශ්වීය සාධාරණය
ඔබේසේකරගේ සිද්ධාන්තයේ එන තවත් ප්රධාන අදහසක් වන්නේ සූනියම්කරුවෙකු වෙත යාම යනු අතාර්කික ක්රියාවක් නොව, ඉතා සැලසුම්සහගත “තාර්කික අපරාධයක්” (Rational Crime) යන්නයි. එහිදී කට්ටඩියා ක්රියා කරන්නේ කුලියට ගත් මිනීමරුවෙකු ලෙසය.
මෙම දේශපාලන විරෝධතා ව්යාපාරය තුළද අප දකින්නේ එවැනිම ව්යුහයකි. උද්ඝෝෂණය සංවිධානය කරන භික්ෂූන් වහන්සේලා සහ දේශපාලන ක්රියාකාරීන්, තමන් දේශපාලන බලධාරීන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ “නියෝජිතයන්” එනම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙණි සිටින ඔහු නිදහස් කර ගැනිමේ උත්සාහය තුළ ස්ථානගත කරති. ඔවුන් සතුරාට (එනම් වත්මන් රජයට) එරෙහිව විශ්වීය සාධාරණය, කර්ම බලය හෝ දේව කෝපය මුදා හැරීමට උත්සාහ කරන අතර, රජය සිය ඉල්ලීම් ඉටු නොකළහොත් පාලනය විනාශ වන බවට කෙරෙන අනතුරු ඇඟවීම් තුළ ඇත්තේ පැරණි සූනියමක අඩංගු වූ වෛරී සහ සහාසික චේතනාවන්මය. වෙනසකට ඇත්තේ එය පොදු දේශපාලන සටන් පාඨවලින් සරසා තිබීම පමණි.
සමාජ විනාශය වළක්වන “ආරක්ෂිත කපාටය“
කෙසේ වෙතත්, මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන පරිදි මෙම ගුප්ත බලවේග වල පිහිට පැතිම හෙවත් ක්රෝධය වෙනතකට හැරවීම සමාජයට එක්තරා ආකාරයක සෙතක් සලසන බවයි. ඒවැනි දෑ මගින් සමාජයේ ලේ වැගිරීම්, ප්රචණ්ඩත්වය වළක්වන එක්තරා “ආරක්ෂිත කපාටයක්” (Safety Valve) ලෙස ක්රියා කරයි.
විහාරමහාදේවි උද්යානයේ පවතින නොසන්සුන් තත්ත්වය, පොලිසිය සමඟ ඇතිවන ගැටුම් සහ දැඩි දේශපාලන වෛරය, සන්නද්ධ කැරැල්ලක් හෝ විවෘත වීදි සටනක් දක්වා ගමන් නොකර, පිරිත් මණ්ඩපයක් සහ සත්යග්රහයක් තුළ සිර කර තබා ගැනීමට මෙම ආගමික හැඩතලයට හැකි වී තිබේ. සහභාගී වන්නන් විශ්වාස කරන්නේ තමන් වැස්සේ තෙමෙමින් කරන මෙම කැපකිරීම සහ ආත්මීය බලපෑම, සැබෑ ආයුධයකට වඩා බලවත් ලෙස රජය දණගස්වනු ඇති බවයි. එමඟින් ඔවුන්ගේ පලිගැනීමේ මානසික අවශ්යතාවය සපිරෙන අතර, රට තවත් ලේ වැගිරීමකට යාම වැළකේ.
පුද්ගලික සූනියමේ සිට පොදු දේශපාලන රංගනය දක්වා
මහාචාර්ය ඔබේසේකර සිය පසුකාලීන පර්යේෂණවලදී පෙන්වා දුන්නේ ලංකාවේ පැරණි, රහසිගත, පුද්ගලික සූනියම් සංස්කෘතිය වර්තමානය වන විට ප්රසිද්ධ “දේශපාලන සංස්කෘතික සංදර්ශන” (Public Political Performances) බවට පරිවර්තනය වී ඇති බවයි. දේශපාලඥයන් දේවාලවල පොල් ගැසීම, වස් කවි කීම සහ භික්ෂූන් වහන්සේලා වීදි බැස ආධ්යාත්මික සටන් ප්රකාශ කිරීම මෙයට නිදසුන්ය.
විහාරමහාදේවි උද්යානයේ සිදුවීම හුදෙක් ආගමික වතාවත් මාලාවක් හෝ සාමාන්ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නොවේ. එය ලාංකේය සමාජයේ මුල් බැඳ තිබෙන, රාජ්ය බලයට එරෙහිව ආත්මීය සහ ගුප්ත බලවේග මෙහෙයවීමේ ඓතිහාසික දේශපාලන මනෝභාවයේ නූතන ප්රකාශනයකි. මහාචාර්ය ඔබේසේකර මිට වසර පනහකට පමණ පෙර පෙන්වා දුන් ආකාරයට, ලාංකිකයාගේ පූර්ව සැලසුම්සහගත ක්රෝධය තවමත් මියගොස් නැත; එය පිහි ඇනුම්වලින් මිදී, සිවුරු සහ ආගමික වත්පිළිවෙත් නමැති සළුපිළි පොරවාගෙන දේශපාලන කරළිය මැද රංගනයක යෙදෙමින් පවතී.
*ගණනාථ ඔබේසේකරගේ මානව විද්යාත්මක න්යාය ඇසුරින් සකස් කළ විශේෂාංග ලිපියකි.