26 April, 2024

Blog

ගෝඨාභයට වින කරන රාජපක්ෂ අවතාර

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

ගෝඨාභය කුරහන් සාටකය පළඳින්නේ නැත. ඒත් ඔහු හා උරෙනුර ගැටෙමින් කුරහන් සාටක ගෙල ලා ගත් පහක් හයක් පැමිණෙන හැටි මේ දිනවල ඉතා අප්‍රසන්න හා සුලභ දසුනකි. ඊයේ වාමාංශික ඩිව් ගුණසේකර​ කීවේ ඝෝඨාභය පටන්ගත්තා කල් වැඩි බවය. එන්න එන්නම ඔහුගේ ජනප්‍රියතාවය පිරිහෙන බවත්, එච්චර කාලයක් අල්ලාගෙන සිටීම අපහසු වන බවත් ඩිව් කීවේය. 

දැන් දැන් නාමල් පොහොට්ටුව පිපී රගන්නටද පටන්ගෙන ඇත. මහා මාර්ග මැද කණු සිටුවා මහා පරිමාණ කටවුට් ගැසීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් දියත් වී තිබේ. මූණු පොතක එක් සහෝදරයෙකු අපූරු වැකියක් ලියා තිබිණ. ඒ කුරහන් සාටක සෙට් එකත් එක්ක ඝෝඨාභය නෙවෙයි පුටින් ආවත් පරදින බවය. මග අවහිර කර ඉදිකර තිබූ පොහොට්ටු තොරණක් පෙන්වමින් තවත් අයෙකු ලියා තිබුනේ දැන් තියෙන්නෙ රාජපක්ෂ පාලනේ, ඇග බේරගෙන අයින් වෙලා පයින් යමු පුතී කියලාය. 

මේ රැගුම් ගැයුම් නිසා පොහොට්ටුව පිපෙන්නට කලින්ම පරවේයැයි තේරුම් ගිය නිසාදෝ කටවුට් ගහන්න හදිස්සි වෙන්න එපා යැයි ගෝඨාභය බාප්පා නාමල් පුතාට කියා ඇත. 

කුරහන් සාටක පරපුරටත් කුරහන් සාටකේ ගෙලවැළලාගත් සෙසු නිහීන පෙහොට්ටු වලටත් වැඩියෙන් ගෝඨාභය සරණ යාමට දගලන්නේ පොහොට්ටුවාදී හාමුදුරුවරුන්ය. 

හාමුදුරුවරු සියයට අනූ නව නමක් ගෝඨාභය සමග ඉන්නා බව එක් හිමි නමක් කියූ විට එය එසේනම් පන්සලේ වැඩ ඉන්නේ සීයට එකක් දැයි එක් තරුණයෙක් අසා තිබිණ. සිය නිවීමේ අරමුණ වෙනුවෙන් සක්විති රජ පදවි අත්හල බුදුන්ගේ මග යන ලංකාවේ සංඝරත්නයෙන් උන්වහන්සේලාම කියන පරිදි සියයට අනූ නමක් පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් සිටිති. සාමාන්‍ය ගිහියන්ටත් වඩා ජාතිවාදීව, වර්ගවාදීව, ආග​ම්වාදීව, උරණව හා පාක්ෂිකව ‍තැන නොතැන වදාළමින් වඩින උන්නාස්සේලාට ශාසනේ උන්නතිය වෙනුවෙන් ඇත්ත වශයෙන්ම පැවරී ඇති රාජකාරිය කුමක්දැයි රාජ් ගොන්සාල්කෝරලේ විසින් කලම්බුටෙලිග්‍රාෆ් වෙත අපූරු ලිපියක් ලියා තිබිණ. ශාසන හිතැති උන්නාන්සේලා ඒ ලිපිය කියවන්නේනම් මැනවි. 

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය සමග දැන් තරගයට පිවිස සිටින්න් අනුර කුමාර දිසානායකය. මෙරට දේශපාලනයේ තුන්වෙනි බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ රතු සහෝදරයෝ මෙවර රතු කමිසය ගලවා පාට පාට කමිස ඇඳ සිටියහ. බහුජන නියෝජනය බහු පාර්ශවීය එකමුතුව එහි සංකේතය වූ බව ඔවුන් කියූවත් ඔවුන් නොකියන තවත් කතාවක් ඇත. එය පසුගියදා රතු සහෝදර ලාල්කාන්ත මහතා කීවේය. 

රතු කමිසය සෑම විටම විප්ලව කෙරුවේ වැරදි තැන් වලය. සමාජවාදී විප්ලවය බණ්ඩාරනායක මැතිනියගේ සමාජවාදී පාලනයකට එරෙහිව දියත් කිරීමෙන් ඔවුන් පොට වරද්දාගත්තේය. පසුව පොඩි මිනිසාගේ ජනාධිපති ලෙස පත්වූ ආර්. ප්‍රේමදාස පාලනයට එරෙහිව විප්ලව කලේය. ඔවුන් ඉගෙනගෙන තිබුනේ විප්ලවයක් කිරීමටය. ඒත් ඒ විප්ලවය කුමන අරමුණක් උදෙසා, කුමන අවස්ථාවක, කුමන වෙනසක් උදෙසා සිදුකළ යුත්තේද යන්න ඔවුන් දැන නොසිටි බවක් සෑම විටම විද්‍යමාන විය. සමහර කොලුගැටයන් පොලු හරඹ ඉගෙනගත් විට ගහකට හරි තඩිබාන්නේය. ඒ උවමනාවට නොව නොතේරුම් කමටය. 

ඒ කෙහොම වුනත් මෙවර ජනතා විමුක්ති පෙරමුණ කුමන හො මානයක් සොයාගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අභ්‍යන්තර ගැටුම ජනතා විමුක්ති පෙරමුණට වාසි වන බව පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය අපේක්ෂකයා නම් කරනතුරු බලාගෙන සිටි නෙවැම්බර් විප්ලවයේ සක්‍රීයව සිටි සිවිල් සංවිධාන අනුර කුමාරට සහය දක්වන බවක් හැගී යයි. දෙමළ සන්ධානය ද එවැනි එළඹුමක් පෙන්වා ඇත. 

ඒ අස්සේ අනුර කුමාරට සහය දක්වන්නට තමාටද අදහසක් ඇති බවට එක්සක් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සිය සමීප සගයන් කිහිප දෙනෙකුට පැවසූ බවටද කතා පැතිර තිබේ. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් පක්ෂයෙන් අවස්ථාව දුන්නත් නැතත් තමන් මෙවර ජනාධිපතිවරණයට ඒකාන්තයෙන්ම ඉල්ලන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පුන පුනා කියයි. 

ජනාධිපති සිරිසේන මහතාද වඩාත්ම කැමති අපේක්ෂකයා සජිත්ය. සියලු ජනාධිපති අපේක්ෂකයින් විසින් එල්ලා මැරීම පිළිගත යුතු බවට ජනාධිපතිවරයා කොන්දේසියක් ද දමා ඇත. මේ කොන්දේසි ප්‍රකාරව මරණ දඩුවම හිමි අය එල්ලා මරණ බවට දැනට ප්‍රසිද්දියේ ප්‍රකාශ කර ඇත්තේද සජිත් පමණි. ඒ නිසා සජිත් සිරිසේන ජනාධිපතිවරයාගේ මග යන කීකරු අපේක්ෂකයා වී ඇත. ඒත් සජිත් ප්‍රේමදාස තවමක් කිසිම පක්ෂයක නිල අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ වී නැත. 

ඊයේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතුව පක්ෂ නායක රනිල් වෙත ඉල්ලීම් පත්‍රයක් බාර දී ඇත. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේනතු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත විමසා දින 7 ක් ඇතුළත අපේක්ෂකයෙකු නම් කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතාව රැකගනිමින් නව සන්ධානය පිහිටවිය යුතු බවත් එහි අන්තර්ගතය. ඊට යහපත් ප්‍රතිචාර ලැබුන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඉදිරි දින හතක් තුල සුදුසු අපේක්ෂකයෙකු නම් කරන බවත් පක්ෂනායක රනිල් පවසා ඇත. 

පුළුල් සන්ධානයකින් විනා තනි පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහනය කළ නොහැකි බව පැහැදිළිව පෙනෙන්නට ඇති කරුණකි. සන්ධානයක් කෙසේ වෙතත් පක්ෂයක් ලෙස සිය අභ්‍යන්තර එකමුතුව ආරක්ෂා කරගැනීමේ වගකීම සියලු දෙනාට ඇති බව ඊයේ එත්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක පැහැදිළි කලේය. සිය පියා වන ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත් මුදලි යන චරිත දෙකෙන් උදාහරණ ගත් නවින් අසමගියේ විපාකත් සමගියේ ශක්තියත් පක්ෂයට ලැබුන හැටි එකින් එක කීවේය. 

කුමන පක්ෂයක් කුමන අපේක්ෂකයෙක් කරළියට ගෙන ආවත් ඡන්ද දායකයින් දත යුතු කරුණු නම්, අපේක්ෂකයෙකු ඔනෑ කරන්නේ, ජනතාව මෙල්ල කරන්නට නොවන බවය, වර්ගවාදයට වර්ගවාදයෙන් විසඳුම් දෙන්නට නොවන බවය, පවුල නඩත්තු කරන්නට හෝ හිතමිතුරු කල්ලි පෝෂණය කරන්නට නොවන බවය, එල්ලුම් ගහට පන දෙන්නට නොවන බවය, ලෝක ගෝලයෙන් මිදී අවකාශයේ හුදකලා වී ගෝත්‍රික රටක් නිර්මාණය කරන්නට නොවන බවය, නිසි පරිදි මිස අන පරිදි වැඩ කරන ජනතාවක් බිහි කරන්නට නොවන බවය. 

අපේෂකයෙකු අවශ්‍ය වන්නේ කුමන වර්ගයක, කුමන ජාතියක, කුමන ආගමක, කුමන සමාජ තලයක ඉපදුනත් මිනිසෙකුට මිනිසෙකු ලෙස නොබියව, ගෞරවාන්විතව, ස්වභාවික හා විශ්වීය අයිතීන් බුක්තිවිඳිමින්, ස්වාධීනව හා ස්වාභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය සමාජ, දේශපාලන හා ආර්ථික පරිසරයක් සකස් කිරීම වෙනුවෙන් බව ඡන්දදායකයා දත යුතුය.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    Thank you ma’m.
    With your permission may I reproduce the bottom line of your valuable post

    අපේෂකයෙකු අවශ්‍ය වන්නේ කුමන වර්ගයක, කුමන ජාතියක, කුමන ආගමක, කුමන සමාජ තලයක ඉපදුනත් මිනිසෙකුට මිනිසෙකු ලෙස නොබියව, ගෞරවාන්විතව, ස්වභාවික හා විශ්වීය අයිතීන් බුක්තිවිඳිමින්, ස්වාධීනව හා ස්වාභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය සමාජ, දේශපාලන හා ආර්ථික පරිසරයක් සකස් කිරීම වෙනුවෙන් බව ඡන්දදායකයා දත යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.