
මට අගමැති කිවුවත්, නොකිවුවත්, මන්ත්‍රී කිවුවත් නොකිවුවත්, මැතිතුමා කිවුවත් නොකිවුවත් මම මහින්ද. මහින්දම තමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. කියල මහින්ද සිය අගමැතිකම පාර්ලිමේන්තු බහුතරයෙන් ප්‍රතික්ෂේප වුනු දවසෙ සිංහ නාද කල හැටි මට මතකයි. ඒ නිසා මහින්ද යැයි ඇමතීමෙන් අගෞරවයක් නොවනු ඇතැයි මා සිතනවා.
මහින්ද කතානායකට එරෙහිව සිංහනාද කරපු වෙලාවෙ මට නිකමට වගේ දේවානම් පියතිස්ස මතක් උනා. මහරජ තුමනි, මහරජ තුමනි, කියල අහල අහල ඒ ගෞරව නාම වලට කන් හුරු උනාම වෙන ආමන්ත්‍රණයක් දරාගන්න අමාරුයි. ඒකයි එදා දේවානම් පියතිස්සටත් වුනේ. තිස්ස තිස්ස කියල මිහිදු හාමුදුරුවො නම අඩගහනකොට තමන් ආපු කටයුත්තත් අමතක වෙලා දුනු අමෝරාගෙන කවුද යකෝ මට තිස්ස කියල කතාකරන එකා කියල තරහින් පුපුර පුපුර ඇහුවෙ. ඒ අල්ල පනල්ලෙ රජාගෙ ඉලක්කය වෙලා හිටය මුවා පැනල යනව. තිස්සගෙයි මහින්දගෙයි කතා දෙකේම හොදම කොමඩි පාට් එක ඒකයි. ඒ කියන්නෙ මුවා පැනල යන එක.
ඉතින් එහෙම පාර්ලිමේන්තුවෙ සිංහනාද කරල සති දෙකකට පස්සෙ, මම ඒ මහින්ද කොලයක් බලාගෙන තැතිගැන්මෙන් යුතුව ජාතිය අමතන හැටි රූපවාහිණියෙන් දැක්ක. ඒ කතාවෙ බොහොම දුක්බර ආයාචනයක් තිබ්බ. යුද්දෙ වෙලාවෙ උදවු කලා වගේ මට මේ වෙලාවෙත් උදවු කරන්න කරන්න කියල බැගෑපත් උනා. මගේ මේ ලිපියට වස්තු බීජය වෙන්නෙ මහින්දගෙ ඒ බැගෑපත්වීම.
එක එක දේශපාලන හේතු මත ඇතිවෙලා එක එක දේශපාලන හේතු මත වර්ධනය වෙලා අවුරුදු තිහක් එකදිගට තිබ්බ සිවිල් යුද්දෙ, ඒකෙ ලාභාංශ වලට හිමිකමක් නොවුනු සිංහල මුස්ලිම් දෙමළ හැම කෙනාටම කරදරයක් උනා. හැමෝම ජාති භේදයකින් තොරව සිවිල් ගැටුම් නැති රටක් ඉල්ලා සිටිය. සිවිල් යුද්ධය පවත්වාගැනීම තුළින් සමහර දේශපාලකයින් ස්ථාවර උනා. මහින්ද ඊට වඩා වෙනස් මගක ගිහින් සිවිල් යුද්දය අවසන් කරල දේශපාලන ස්ථාවරත්වය ගොඩනගාන්නට හිතුව. ඒක ඒ වෙලාවෙ හැටියට ඉතා කාලීන දේශපාලන උපක්‍රමයක්. මහින්ද ඒක හරියටම කලා.
වාමාංශික ව්‍යාපාරයයි දක්ෂිනාංශික ව්‍යාපාරයයි අතරින් මානුෂීය මුහුණුවරක් තියෙන්නෙ වාමාංශික ව්‍යාපාරයට. ඒක බැලූ බැල්මට පේන්නෙ සමස්ත ලෝකවාසීන්ට විමුක්තිය උදා කිරීම සඳහා වන මතවාදය වගේ. මගේ පියා පාසල් ගුරුවරයෙක්. අපේ ගෙදර වැඩිපුරම තිබුනෙ සෝවියට් රුසියාවෙ පොත් පත්. සාහිත්‍ය පවා අපි කියෙවුවෙ රුසියාවට මුල්තැන දීල. අප්පච්චි ඒ පොත පත ඇසුරු කළත් එයා හිටියෙ වෙනස් මතයක. මට මතකයි එයා කියනව, වාමාංශික ව්‍යපාරයයි දක්ෂිනාංශික ව්‍යාපාරයයි දෙකටම තියෙන්නෙ එකම අරමුණක් කියල. ඒ තමයි ලෝකයේ වැඩි වපසරියක සිය බලය තහවුරු කරගැනීමේ අරමුණ. සිවිල් යුද්ධය ගැන මහින්දගේ හා ඔහුට පෙර සිටි පාලකයින්ගේ අරමුණ මම දකින්නෙ අන්න ඒ බලය පිළිබද පොදු තර්කය ඇතුලෙ.
මොකද යුද්දේ ඉවර කරපු දවසෙ ඉදල මහින්ද ඒ වෙනුවෙන් ඔහුගේ වරප්‍රසාද ඉල්ලා සිටිය. කොන්දේසි විරහිත ගෞරවය, යාවජීව දේශපාලන පැවැත්ම බලාපොරොත්තු උනා. ඒ සඳහා සිවිල් සමාජයට අන කෙරුණා. වසර තුනක යුධමය මෙහෙයුමෙන් පස්සෙ “රාජපක්ෂවරු නැත්තං මේ කිසිදෙයක් හරියට වෙන්නෙ නෑ.” කියල සමාජය තුළ මතයක් නිර්මාණය කරන්න බලය, පොදු දේපල, ජනමාධ්‍ය පාවිච්චි කලා.
ගෞරවය බලහත්කාරයෙන් ලබාගන්න හදපු නිසාම දේශපාලන සාක්ෂරතාවයක් යන්තං හරි තියෙන මිනිස්සුන්ට මහින්ද තවදුරටත් වීරයෙක් උනේ නෑ. මෙච්චර කල් ගිහිල්ලත් තාමත් ඔහු ඉල්ලන්නෙ සිවිල් යුද්ධය නිමාකිරීම වෙනුවෙන් ඔහුගේ කොටස. නමුත් එදාට වඩා අද වෙනස්. එදා යුද්ධය නිසා මහින්ද වෙනුවෙන් හිටිය මිනිස්සු අද ඔහු වෙනුවෙන් ඉන්නෙ මොකටද? අද ඔහු නායකත්වය දෙන්නෙ කුමන ආකාරයේ යුද්ධකටද? ඔහුගේ සිහින ඔහුගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සිහින මල්පලගැන්වීමේ යුද්ධයටද? නැතිනම් ඔවුන්ට ඇති නඩු හබ වලින් ඔවුන් මුදවාගැනීමේ යුද්ධයටද? එහෙමත් නැතිනම් රටේ උත්තරීතර නීතියට එරෙහි යුද්ධයටද?
විධායක බලය අතටගත්ත දවසෙ ඉඳල ගෙතුව හැම සාර්ථක කතාවකම වාසගම උනේ රාජපක්ෂ. ඒ නම හැර වෙනත් නම් තිබේද? කියල ඇහුවාම, නැත ස්වාමීනී මේ නම හැර වෙනත් නම් ඇත්තේම නැත කියන තැනට ජන විඥානය හදන්නයි මහින්දට ඕනෙ උනේ. ඒත් මිනිස්සු 2015 ඒ නම හැර තවත් නම් තිබේ කිවුවම ඔහු බිරාන්ත උනා. මොකද ඔහු රාජපක්ෂ වරයෙකුට හැර සෙසු සියලු රබර් බෝල වලට වතුරෙන් මතුවෙන්නට ඉඩ නොදී පාගාගෙන හිටිය නිසා.
ජේ. ආර්. ජයවර්ධන , මේ රටේ ප්‍රථම විධායක ජනාධිපති. විධායක බලයට අමතරව පාර්ලිමේන්තුවෙ හයෙන් පහක බලයක් තිබුන පාලකයෙක්. ඔහුට සහෝදර සහෝදරියන් එකොලහක් හිටිය. අවුරුදු 12 ක් එකදිගට රටේ ජනාධිපති වෙලා හිටිය. තාත්තගෙ පෙනේ ණයට ඉල්ලගෙන පුප්පගෙන රගන්නැති උගත් පුතෙක් හිටය. එදා ජේ. ආර්. පවුලෙ කට්ටිය එකා පස්සෙ එකා ගෙනාවනං අදත් මේ රට පාලනය කරන්නෙ ජයවර්ධනලා. එහෙනං රාජපක්ෂ කියන නම දන්නෙ මැදමුලනෙ අසල්වාසීන් විතරයි.
ජේ. ආර්. මහින්ද වගේ උනානං ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්‍රේමදාස වගේ කැපී පෙනෙන චරිත ලංකා දේශපාලනය ඇතුලෙ බිහිවෙන්නෙ නෑ. ජේ. ආර්. තරන් තමන්ගෙ ඇමති මණ්ඩලයට තමන්ගෙ හැකියාවෙන් වැඩකරන්න අවස්ථා හදල දීපු නායකයෙක් නැති තරං. ඒ නිසාම අදත් ගාමිණීල ලලිත්ල ප්‍රේමදාසල ගැන මිනිස්සු කතාකරනව. ජේ. ආර්. කවදාවත් අනිත් අයගෙ දක්ෂතාවයට ඉරිසියා කලේ නෑ කියන එකට ජීවමාන ශාක්ෂි තියෙනව.
අදත් සමහර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මහින්ද යුගයේ මේ රට පාලනය කලේ අයියයි මල්ලිල දෙන්නයි විතරයි කියල. අනිත් මිනිස්සු ඔක්කොම බත් බැලයො වගේ කකා නිදියනව කියල. ගාමිණීල ලලිත්ල ප්‍රේමදාසල වගේ මිනිස්සු දැන් නෑ කියල. ඒත් ඇත්ත ඒක නෙවෙයි කියල ගොඩක් අය දන්නව. මහින්ද ඉන්නකන් වෙනත් නමකට කරලියට එන්න දෙන්නෙ නෑ කියල මිනිස්සු ගොඩදෙනෙක් දන්නව. එහෙම ආවොත් ඒ තවත් රාජපක්ෂ කෙනෙක් විතරයි කියන්නත් දන්නව.
සිවිල් යුද්දෙ අමාරුවෙන් ඉවර කලේ රටේ පාලනය එක එකාට දෙන්න නෙවෙයි. අපිට අපෙ බූදලේට ලියාගන්න කියල මහින්දගේ මුවින් සුද්ද සිංහලෙන් නොකිවුවාට, නොකියා කියන්නේ එය බවද, හොරපාරෙන් ඉව අල්ලන්නේ සදහටම රාජපක්ෂලාගේ යැයි සිතාසිටිනා දේපලට බවද අද ගොඩක් අය දන්නවා.
මේ අල්ලපනල්ලේ රනිල් යටකරගෙන යාමට රාජපක්ෂ කෙනෙක් හැර විකල්පයක් නැතිබව පවසමින් අනුරට අනුව මහින්ද හදපානේ අගමැති කිරීමට සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය මටනම් මහත් ආශ්වාදයක්. මන්ද එය රාජපක්ෂ මැජික් එක පුස්සක් කර මහින්දගේ ගුලිය ඔහුටම අනා කැවීමක්. ඒ ගුලිය මහින්දට කැවීම පිණිස ජනාධිපතිවරයා මහත් කැපකිරීම් කරමින් සිටිනවා. ව්‍යවස්තාවට වැරදි අර්ථකථන දෙමින්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මුලුමනින්ම පිටුපා සිටිමින්, බහුතරයට එරෙහිව දඩබල්ලන් උසිගැන්වීමට ඉඩ දෙමින්, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙමින් නොදැක්කා සේ සිටීමට තරම් කැපකිරීම් සිදුකිරීමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුවෙලා.
ඒ සියල්ල අස්සේ පිරිහෙන වැහැරෙන මහින්ද ප්‍රපංචය, හෙවත් රාජපක්ෂ රෙජිමය, හෙවත් යන තැන වහින මැජික් එක දෙස ඔහුටම ආවේනික උපහාසාත්මක ස්වරූපයෙන් සිරිසේන ජනාධිපතිවරයා බලා සිටීම විමතියට කරුණක්. ඒ කරුණ චතුරිකා සිරිසේනගේ නමින් ලියවෙන ජනාධිපති තාත්තා දෙවෙනි කොටසෙන් බලාගමු.
දැන් ඉතින් අප මේ නාට්‍යයේ අවසන් අදියරට පැමිණ සිටිනවා.
තිස්ස මේ අබ ගස හැර තවත් අබ ගස් තිබේද?
මිහිදු හාමුදුරුවො ආයෙමත් සුපුරුදු ප්‍රශ්නය අහනවා. එතකොට අපි කියනවා,
තිබේ ස්වාමීනී. මේ අඹ ගස් හැර වෙනත් අඹ ගස්ද, අඹ ගස් හැර නැදුන්, කලුවර, මොර වැනි දුර්ලභ වටිනා ගස්ද තිබේ.