24 April, 2024

Blog

ගෝඨාගේ අපේක්ෂක අයදුම්පත හා දුක සොයායාම

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

පසුගියදා නාරාහේන්පිට පන්සලකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇමති නවින් දිසානායක හමුවිය. මෙම හමුවේ දී සාමාන්‍යයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අතර සිදුවන නොහොඳ නෝක්කාඩු වෙනුවට ඉතා හොඳ සුහද මහත්මා කතා බහක් ඇති විය. දැන් මේ හමුවීම දේශපාලන කරළියේ අමුතු  කතාවක් වී ඇත. ආණ්ඩු පක්ෂයේ නවින් විපක්ෂයේ ගෝඨාභය ගැන කතා කිරීම අපේ දේශපාලනයට පුරුදු නැත. ඒ කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයැයි නවින් ගෝඨා ගැන නොකියා කී කතාව ගැන නොකියාම බැරි කතාවක්  ඇත.

ගෝඨාභය සුදුස්සෙකු ලෙස පොදු ජන සමාජය විසින් කියවාගැනීම පසුපස බොහෝ කතා ඇත. 2005 වනතුරු අපේ රටේ කැපී පෙනෙන දේශපාලන චරිත රැසක් හමුවේ. ඩී.ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, කොල්වින් ආර් ද සිල්වා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස වැනි විවිධ වාසගම් සහිත අය ඒ අතර වූහ. දේශපාලනයේ කැපී පෙනෙන චරිත වලට එකම වාසගමක් ලැබෙන්නට පටන්ගන්නේ 2005න් පසුවය. ඒ රාජපක්ෂ පාලනය ඇරඹීමත් සමගය. 

එතැන් සිට මේ රටේ කැපී පෙනෙන දේශපාලකයෙකු සිටියේනම් ඒ රාජපක්ෂවරයෙකි. කැපී පෙනෙන වැඩක් කලේනම් ඒද රාජපක්ෂවරයෙකි. ප්‍රවෘත්ති විකාශයක ප්‍රධාන සිරස්තල සියල්ලම පාහේ රාජපක්ෂවරුන්ගේය. බැලූ බැලූ අත රාජපක්ෂවරුය. මගුලටද මරණයටද රාජපක්ෂවරුය. වැසිකිලියේ සිට මහා පරිමාණ ව්‍යාපෘතිය දක්වාම විවෘත වන්නේ රාජපක්ෂවරයෙකු අතින්ය. දරුවන් නැළවුනේද, ගී ගැයුනේ ද, රාජපක්ෂවරුන්ගේ නමටය. මල් පිපුනේද, වැසි වැටුනේද රාජපක්ෂවරුන් ගිය මගය. දශකයක් පුරා පොදු ජන විඥ්ඥානය සැකසුනේ එවැනි පසුබිමකය. 

එසමයෙහි රාජපක්ෂවරයෙකු නොවන සියලු දෙනා උන්නාද මලාද කියාවත් නොදන්නා ගානය. ඔවුන් එසේ සිටියේ ඇත්තටම ඔවුන් සුදුස්සන් නොවූ නිසාද? නැතිනම් රාජපක්ෂ රෙජිමය තුල නිහඩව අත පය අකුලාගෙන සිටින්නට ඔවුන්ට සිදු වුන නිසාද? එයට නිවැරදි උත්තරය දන්නේ ඔවුන්මය. දශකයක් පුරාවට බලාගත්වනම බලාගෙන ඔහේ හිටිය පුරුද්දට අදත් සමහරු කැමැත්තක් දැක්වීම පුදුමය.

ගෝඨාභය සුදුස්සෙකු වීමට ඔහුගේ වාසගම හැරුණු විට තවත් කරුණු ඇත. වසර තිහක් ඇදගෙන ආපු උතුරේ ත්‍රස්ථවාදය නිමාකළ විරුවා ලෙස ද සාමාන්‍ය ජනතාව ඔහු හඳුනාගෙන ඇත. සහෝදරයා සේනාධිනායකයා වූ විට මල්ලීට යුද්ධ කිරීමට ඔනෑ තරම් නිදහස තිබිණ. අනෙක් සහෝදරයා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව ගෝඨා අයියාට​ යුද්ධයට අවශ්‍ය සියලු භෞතික හා මානව සම්පත් සැපයීය. ඒ සියල්ලටම වඩා රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ හැඩය යුද්ධය හා මනාව ගැලපී තිබිණ. යුද්ධය ඇදගෙන යනවාට වඩා යුද්ධය අවසන් කිරීම ආර්ථික සමාජ හා දේශපාලන වශයෙන් වඩාත්  වාසිසහගත බව රාපක්ෂවරු දත්තේය. දශක තුනක ත්‍රස්ථවාදය නිමාකිරීම මතින් තවත් දශක ගණනක් දේශපාලන වශයෙන් ස්ථාවර විය හැකි බව ඔවුහු සිතුහ. 

ඒ සියලු සාධනීය සාධක සහිතව අවිගත් සටන අවසන් විය. ගෝඨාභයට පුලුවන් වුනේත්, එතෙක් යුධ කළ සෙන්පතියන්ට බැරි වුනේත් ඇයි දැයි ඇසූ විට ලිප් මොලවා බත උයා සකසා අනා කවන විට හිරකරගන්නේ නැතිව ගිලින එක මහ කජ්ජක්දැයි සමහරු පිළිවදන් දුන්හ.

ජනාධිපතිවරණයට තමා සූදානම් බව ගෝඨාභය මුලින්ම කී විට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කීවේ ගෝඨාභයගේ ඉදිරිපත්වීමේ ගුණය තමන් අගය කරන බවත්, ඔහු වගේ තවත් ඕනෑම කෙනෙකුට අපේක්ෂකත්වය සඳහා අයදුම්පත් දැමිය හැකි බවත්ය. ඒ කියන්නේ ගෝඨාභය එකම සුදුස්සා යැයි බැසිල් පිළිනොගන්නා බවයි. බැසිල් කෙසේ කීවත් ගෝඨාභය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත. ආණ්ඩු කරන​ අයගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ප්‍රතිපදාවට පින්සිද්ද වෙන්න විපක්ෂ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු නොඅඩුව සිදුකිරීමට මාධ්‍ය ආයතන සියල්ලම පාහේ වගබලාගෙන ඇත. තමා සුදුස්සායැයි ඔහුටම සිතේතනේද ඒ නිසාය. ඒ ගැන ගෝඨාභය මහතා ද හොඳින්ම දන්නේය. ඒත් ඔහු තමා බලයට පැමිණි විට මාධ්‍යයට නිදහස දෙන බව ඊයේ කීවේය. රාජ්‍ය සේවකයින්ට ස්වාධීනව රාජකාරි කිරීමට පසුබිම සකසන බව කීවේය. 

රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය නිදහස හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 2005 සිට 2015 වනතුරු ජනමාධ්‍ය හැසිරුන හැටි අපේ රටේ මිනිස්සුන්ට හොඳට මතකය. පළමු ප්‍රවෘත්තිය මහින්ද රාජපක්ෂගේය. දෙවැන්න බැසිල් රාජපක්ෂගේය. තෙවන ප්‍රවෘත්තිය ශිරන්ති රාජපක්ෂගේය. හතරවැන්න ගෝඨාභය රාජපක්ෂගේ වන අතර පස්වෙනි ප්‍රවෘත්තිය නාමල් රාජපක්ෂගේය. ඒ සියල්ල ඉවර වූ පසු තවත් ප්‍රවෘත්ති තුනක් හෝ හතරක් විකාශය කිරීමට අවකාශ ඉතිරි වේ. රාජපක්ෂවරු හැරුණුකොට අන් සියලු අමාත්‍ය මණ්ඩල හා පොදු ජනතාව වෙනුවෙන් ඉතිරි වන්නේ ඒ විනාඩි කිහිපය පමණි. ජනමාධ්‍යවේදීන්ට ආවරණය කරන්නට ඉඩ ලැබුණේ ද, ප්‍රචාරය කරන්නට ඉඩ ලැබුණේ, ද විචාරය කරන්නට ඉඩ ලැබුනේ ද, රාජපක්ෂවරු අනුමත කළ දේ පමණි. 

රාජ්‍ය මාධ්‍ය එසේ නිර්ලජ්ජිත ලෙස හැසිරෙද්දී තරුණ මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ස්වාධීන රූපවාහිනිය ප්‍රසිද්ධියේ විවේචනය කළේය. රාජපක්ෂවරු හැරුණුකොට ස්වාධීන රූපවාහිනියට වෙනත් ප්‍රවෘත්ති නැත්දැයි නාමල් රාජපක්ෂ සභා ගැබේදී ප්‍රශ්න කළේය. ඒ දවල් ය. එදාම හවස ඔහු පාර්ලිමේන්තුවේදී කළ කතාව ප්‍රවෘත්ති විකාශයේ ඉදිරියෙන්ම පළ කිරීම සඳහා නියෝග ලැබිණි. 

සෑම සතියකම සදුදා උදෑසන ජනමාධ්‍ය ප්‍රධානීන් අමාත්‍යාංශයට කැඳවා සතියේ පුවත් හා වැඩසටහන් කෙසේ විය යුතුදැයි උපදෙස් දෙනු ලැබේ. ඒ සියලු උපදෙස් රාජපක්ෂවරුන්ගේ නාම රූප සංවර්ධනය පිණිසය. ජනමාධ්‍ය නිදහස පැවතියේ එවන් තත්වයකයි. ගෝඨාභය මහතා යළි ඇති කරකන්නට යන්නේ එවන් නිදහසක් විය හැකිය.

දුරකථනයේ මෙහා කෙළවර සිටින රාජ්‍ය නිලධාරියා වෙව්ලන හැටියෙන්, දෙකට නැමෙන හැටියෙන්, කතා කරන හැටියෙන්, එහා කෙළවර රාජපක්ෂවර‍යෙකු සිටින බවට බැලූ බැල්මට කිව හැකිය. රාජ්‍ය ප්‍රථිපත්ති සැකසුනේ ද, සියලු තීන්දු තීරණ ගනු ලැබුවේද, රාජපක්ෂවරුන්ගේ සැලසුම් වලට උචිත පරිදිය. ‍ව්‍යාපාර වැටුනේද, ව්‍යාපාර හැදුනේද රාජපක්ෂවරුන්ගේ කැමැත්ත පරිදිය. 

දැන් අපිට පෑනක් තිබුනාම හොඳටම ඇති යැයි විධායක ශ්‍රේණියේ පරිණත රාජ්‍ය නිලධාරියෙකු කියා ඇත්තේ සියලු ලියවිලි කෙටුම්පත් වී මේසයට ආ පසු නිලධාරියාට ඇත්තේ සිය බෙල්ල දී අත්සන් කිරීමට පමණි යන්න සංකේතවත් කිරීමටය. සමෘද්ධි නිලධාරියෙකු ගස් බැන්ද ඇමතිවරයෙකු එදා තමා රාජපක්ෂවරුන් ලිඳ ලග හිඳුවා නාවා ඇති බව ප්‍රසිද්ධියේ මාධ්‍යයට කීවේය. ඔවුන් නෑවීම රාජ්‍ය සේවකයෙකු ගස් බැඳීමට වුවද ප්‍රමාණවත්ය. 

අනුන්ගේ ආණ්ඩුවක නීති විරෝධීව තාත්තා දිවුරුම්දීමෙන් පසුවදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කොට කලිසමක් ඇඳගෙන එෆ්සීඅයිඩී එකට ගොස් රාජ්‍ය නිලධාරීන්ට පිටට තට්ටු කොට කලර්ස් පෙන්නුවේය. වසර 10 ක රාජපක්ෂ පාලනයේ රාජ්‍ය නිලධාරියාට ලැබුණ ගෞරවය හා ස්වාධීනත්වය නාමල් රාජපක්ෂ වසර තුනකට පසු එසේ සිහිපත් කර දුන්නේය. 

රාජ්‍ය නිලධාරීන් සති ගණන් මාස ගණන් දේශපාලන රාජකාරි වල යෙදවූ හැටි, රාජ්‍ය මුදල්,මානව සම්පත් හා දේපල දේශපාලන කටයුතු සඳහා අවභාවිතාවේ යෙදවූ හැටි ගැන බොහෝ දේ කතා කර ඇත. ඒ නිසා යළිත් ඒ කතා එකිනෙක සිහිපත් කළ යුතු නැත. 

ඒ කාලයේ හරි අමුතු ජාතියේ දේවල් සිදු විය. බඩු මිල වැඩිවීම කෙතරම් කරුමයක් වුවත් බඩුමිල වැඩිවීම හොඳයැයි කියන මිනිස්සුද රාජ්‍ය මාධ්‍ය තිරවල පෙනී සිටියහ. විදුලි බිල ජල බිල වැඩිවීම හොඳයැයි සඳහන් වූ බෝඩ් ලෑලි උස්සාගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට රාජ්‍ය සේවකයින්ට සිදුවිය. ඒ හඬ  මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට දෑත් හිසේ තබාගෙන මුන්ට පිස්සු දැයි සමහරු ඇසූහ. 

දැන් ඒ කිසිත් නැත. නීතියක් රෙගුලාසියක් තබා මාධ්‍ය කෙසේ කාට කුමක් පවසන්නේද යන්න සොයාබැලීමටවත් වත්මන් පාලන පක්ෂයට අවශ්‍ය නැත. ඒ නිසා සියලු මාධ්‍ය නිසි නින්දේ තමාට නිසි රිසි දේ කරමින් සිටී. විපක්ෂයේ අපේක්ෂකයෙකු වන්නට සිතා සිටින ගෝඨාභය මහතා යළි මාධ්‍ය නිදහස තහවුරු කරණ බවට කියන කතා කිසිඳු වාරණයකින් තොරව පළ වන්නේ පවතින අත්විඳින නිදහස නිසා බව එතුමා ද හොඳාකාරවම දන්නේය. 

දුකට හුරු වීම හා දුක සොයායාම ගැන පැරණි කතාවක් ඇත. 

හැමදාම ස්වාමියාගෙන් ගුටි කා පුරුදු වූ ගැහැනියට ස්වාමියා ගෙදර නැති විට පාලුවක් දැනිණ. ඒ නිසා ඇය කළේ වංගෙඩියක් ලනුවක බැඳ බාල්කයේ එල්ලා එය පද්ද පද්දා ගුටි කවා ගැනීමයි. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.