25 April, 2024

Blog

මෛත්‍රීගේ පිටපත හා දේශපාලන රඟමඩල

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

නාට්‍ය එහි කූටාප්‍රාප්තියට පැමිණ ඇත. නළුවෝ සිය ප්‍රවීණත්වය විදහා පාමින් රංගනය ඉතා විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කලහ. එහෙත් පිටපත් රචකයා බලාපරොත්තු නොවූ අහඹු සිදුවීමක් හේතුවෙන් වහා තිරය වසා දැමීමට සිදුවිය. දැන් තිරය පසුපස මහා කසුකුසුවකි. ඊ ලග ජවනිකාව කුමක්දැයි කුතුහලයෙන් මත්වූවූවන් ප්‍රේක්ෂකාගාරය දෑස් දල්වා බලා සිටී. 

ප්‍රවීණ නාට්‍ය වේදී බර්ටෝල් බ්‍රෙච්ට් කීවේ නළුවන් හා ඔවුන්ගේ රැගුම් දැකීමට තිරෙන් මෙපිටද පිටපතෙහි ඇතුලාන්තය කියවීමට තිරෙන් එපිටද බලන ලෙසයි.

තිරෙන් මෙපිට මෙසේ විය.

රතන හිමියෝ උපවාසය අත්හැරීමට තීරණය කළේය. උන්නාන්සේ බඩගින්නේ තැබීමට නොහැකියැයි කියා නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇත. පසුගිය වෙසක් පෝයදා සිරකරුවන් සිය ගණනක් නිදහස් කල මෛත්‍රීගෙන් ඥානසාර හිමි නිදහස් නොකලේ මන්දැයි ඇතැම් අය ඇසූහ. ඒ අය අතරින් ඉදිරියෙන්ම සිටියේ මෙසේ ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ආණ්ඩුකාරවරුන්ය. ඔවුන්ගේ හඩට කන්දී ඥාණසාර හිමි නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කලේය. එසේ නිදහස් වූ උන්නාන්සේ රථන හිමි උපවාස කරන තැනට ගොස් මෛත්‍රී ජනාධිපතිට තමන් වහන්සේ නිදහස්කරගැනීම වෙනුවෙන් හඩ නැගූ අසාද් සාලි හා හිස්බුල්ලා ඔවුන් ධරන ධූර වලින් අස්කරන ලෙස බලකර වදාලේය. 

ඉතින් එදවස එකී ආණ්කාරවරුන්ගේ හඩට සවන්දී ඥාණසාර හිමි නිදහස් කලේ යම් සේද එසේ ඥාණසාර හිමිගේ හඩට කන්දී ආණ්ඩුකාරවරු ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සිදුවිය. 

හදිසියේම නාට්‍ය පිටපතෙන් පිට පැන්නේය. ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වන විටම අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ඇගිල්ල දික් කිරීමට සිටි නලුවන් තුස්නිම්භූත කරමින් සියලු මුස්ලිම් මැති ඇමතිවරු තමා දැරූ සියලු ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වූහ. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද ඉන්න අගමැති රනිල් අතර හදිසි හමුවකි.

තිරෙන් එපිට කියවාගැනීම ඔබට බාරය. 

මේ අපූරු නාට්‍ය පිටපත දෙස බැලූ ලේඛකයාට පිටපත් රචකයා ගැන යළි විමසා බැලීමට සිත්විය.

2015 වන විට රාජපක්ෂ රෙජිමය ගැන ඔවුන්ගෙන් යැපුන සුලු පිරිසකට හැර බහුතරයක් ජනතාවට තිබුනේ කළකිරීමකි. රට කෙසේ වෙතත් සිය පුතුන් හෝ බලලෝභී සහෝදරයින් හෝ බිරිඳ හෝ තමා වටා සිටි පිරිස හෝ පාලනය කරගත නොහැකි වුන අප්පච්චී ගැන ජනතා විශ්වාසය ටිකෙන් ටික බිඳවැටිණ. කොහොමත් මේ කළකිරීම උග්‍ර වෙන බව තේරුම්ගිය නිසා 2016 දී ගෙදර යන්න හිටපු රාජපක්ෂවරු තමා විසින්ම අවුරුද්දකටත් කලින් ජනාධිපතිවරණය තියන්න තීරණය කළහ. ඒ හදිසි තීරණයත් සමග ජනාධිපතිවරණයකට සූදානමක් නොතිබුන ප්‍රතිපක්ෂ කණ්ඩායම් කලබල වෙන අතර ඒ කලබලයේ වාසිය ගනිමින් මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ විරෝදී පිලේ ජනාධිපති අපේක්ෂකයා විය.  

ඒ මොහොතේ බහුතරයක් දෙනාට අවශ්‍ය වන්නේ රටට රාජපක්ෂ පවුල් පාලනය නිමා කිරීම හා රාජපක්ෂ පවුලේ ආරක්ෂාව ලබමින් නොහික්මුණු ලෙස හැසිරුණ පිරිස් පාලනය කිරීම වැනි දේවල්ය. මේ තත්වය මත දැඩිව ආවේගශීලී වුන ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගරුකරගත් ජනතාව පොදු අපේක්ෂකයා තුළින් සර්වසම්පූර්ණ පාලකයෙක් පත්කරගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කලෝය. එහෙත් ඔවුන් පත්කරගන්නේ ග්‍රාමසේවක කමකටවත් සුදුසු නැති හීනෝන්මාදී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකි.

රටේ මතුවන හදිසි අවස්ථා මත ආවේගශීලීව නායකයෙන් පත්කර ගැනීම කිසිසේත් නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉතා හොඳ උදාහරණයකි. “රටකට ඕනේ අපමණ අගයක් –  ඒකට ඕනේ මෛත්‍රී යුගයක්” යැයි තේමා පාඨ කියමින් එතුමා බලයට ගේන්න වෙරගත් සියලු ප්‍රගතිශීලි ජනතාව අද තමාටම දොස් පවරාගනිමින් සිටිති. ඇතැමුන් ප්‍රසිද්ධ වේදිකා වලදී තමාටම ශාප කරගනිති. 

නායකයාත් සමග සියලු දේ විහිලුවට ලක්වෙමින් ශ්‍රී ලංකාව ලෝකයට විකට ජවනිකාවක් වී ඇත. ජාතික ආරක්ෂාව මෙන්ම මානව හා භෞතික සංවර්ධනය ද විහිලුවක් වී ඇත. ආකල්ප පිරිහී ජනමාධ්‍ය අයාලේ ගොස් ඇත. මාධ්‍ය තාක්ෂනයෙන් පොහොසත් වුවත් ශාක්ෂරතාවයෙන් දුප්පත් නව පරපුරක් බිහි වී ඇත. දැන් ඉතින් මේ රටට ඇත්තටම අපමණ අගයක් දීම පිණිස සියල්ල ක්‍රමවත් කරන්නට සිදුවී ඇත. ගැටලුව නම්  2015 දී හදිසි ආවේගයෙන් පාලකයෙකු පත්කරගෙන මේ රටේ මිනිසුන් කරගත් විනාශය 2020 දිත් කරගන්න ප්‍රයාස කරන එකය.  

එදා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තොරාගැනීමේදී සැලකිල්ලට ගත් කරුණු  රට කරුණුක පාලකයෙකු සඳහා ප්‍රමාණවත්ද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පුරා කියවුනේ දූෂණ වංචා වලින් තොර දේශපාලකයෙක් යන පාඨයයි. එම පාඨයේ  සත්‍ය අසත්‍ය බව ගැන පොදු සමාජයට පැහැදිළි අවභෝධයක් තිබුනේද? ඒ ගැන ප්‍රමාණවත් සොයාබැලීමක් කිසිවෙකු විසින් සිදුකලාද? නැත. 

සියලු විධායක බලතල සහිතව රටක පාලනය බාර දීම ගැන එතරම් සැහැල්ලුවෙන් සිතිය හැකිද? නැත.

එසේ සැහැල්ලුවෙන් සිතීමේ ප්‍රථිපල ඔනෑවටත් වැඩියෙන් ලැබී ඇති මේ රටට ඊලග නායකයාත් ආවේගශීලීව පත්කරගැනීමට සිතීම පවා බරපතල ගැටලුවක් ගැටලුවකි. එය වඩාත් ඛේදනීය වන්නේ මුලුමනින්ම ජාතිවාදය වර්ගවාදය හා ආගම්වාදය මත පැනනැගුනු ආවේගයෙන් මත පදනම්ව පාලකයෙකු පත්කරගැනීමට සිතීමෙනි.  

දැන් ඉතින් ගිය හකුරට අඩා පළක් නැත. නමුත් තියෙන හකුර රැකගත යුතුය. ඒ නිසා ජාතිවාදයේ මුවාවෙන් බලයට එන්නට ඉව අල්ලන අපේක්ෂකයින් ගැන සැලකිලිමත් විය යුතුය. උපන්දා සිට ඔවුන්ගේ පැටිකිරිය සොයාබැලිය යුතුය. ඔවුන්ගේ අතීතය වර්ථමානය හා අනාගත සැලසුම් සොයාබැලිය යුතුය. ආකල්ප විකල්ප සොයාබැලිය යුතුය. බුද්ධිය හා පෞර්ෂය සොයාබැලිය යුතුය. දැක්ම හා වැඩපිළිවෙළ සොයාබැලිය යුතුය. දෙස් විදෙස් සබඳතාවන්හි හැකියාව හා ස්වභාවය සොයා බැලිය යුතුය. විදේශ ප්‍රතිපත්ති, ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති සොයාබැලිය යුතුය. දේශපාලන පරිණතිය හා මහත්මාකම සොයාබැලිය යුතුය. අඩුම තරමින් ඔහු තරහ ගිය වෙලාවට බත්කන කුඹුරට ගිණි තබන ජාතියේ අයෙක්දැයි සොයා බැලිය යුතුය. 

ඇතැම් අය බලයට එන්නේ මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර දියුනු කරගන්නටය, තවත් අය එන්නේ තමන්ගේ පෞද්ගලික තරහ මරහ පිරිමසාගන්නටය, සතුරු පිළෙන් පළිගන්නටය, සමහර අය එන්නේ නීතියෙන් රිංගන හිල් හදාගන්නටය. ඒ සියලු දෙනා මේ වෙලාවේ ඇඳගන්නේ බහුතර ජනතාවගේ ආවේගයට ගැලපෙන ඇඳුමකි. මෛත්‍රී මෝඩිට ඇන්දා සේම ඔවුහු ද ජාතිවාදයේ නිල ඇඳුම් ඇගලාගෙන තරග බිමට පිවිසෙති.  

යළිත් මේ විකට ඇඳුම් වලට රැවටී රට අගාදයට ඇද දමන්නේද යන්න පොදු ජනතාව තීරණය කළ යුතුය. මේ මොහොතේ පොදු ජනයාගේ කාර්ය වන්නේ රටට ගැලපෙන නායකයා නිවැරදිව හඳුනා ගැනීමයි. ඒ සඳහා ජනතාව නොමග යවන, බිල්ලන් මවා පාන, වගකීම් විරහිත මාධ්‍ය කුමන්ත්‍රණ ගැන විචාරශීලී විය යුතුය.  මාධ්‍ය හසුරුවන්නන් වැඩකරන්නේ පෞද්ගලික හා තමාට වාසි සහගත දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුවය. ඒ නිසා සියලු දෙනා තම තමන්ගේ විචාර බුද්ධියෙන් විමසා තීරණ ගතයුතුව ඇත. 

රටම බලා අසා දැනගත් බුද්ධි අංශ ප්‍රධානියාගේ ශාක්ෂි බොරු බවට ජනාධිපතිවරයා නිවේදන නිකුත් කරන්නේය. හිටපු පොලිස්පති උසාවි ගොස් පාස්කු ප්‍රහාරයේ චෝදනා ජනාධිපතිවරයාට එල්ල කරන්නේය. සිංහල මවුවරුන් පොලිමේ ඇවිත් මුසල්මානු දොස්තරලාට පැමිණිලි කරන්නේය. එක එක ප්‍රශ්නෙට එක එක කමිටු පත්වන්නේය. අලුත් නීති කෙටුම්පත් වන්නේය. ගැසට් එන්නේය.එසැනින් අවලංගු වෙන්නේය. 

මේ සියලු කතා බතා මැද මේ මනරම් අවස්ථාව පැහැර නොහරිමියි සිතා ඇතැම් අය ජනාධිපති පුටුවට එන්න සැලසුම් කරන්නේය. මුස්ලිම් හා මුස්ලිම් නොවන දෙපක්ෂයේම ජාතිවාදී කොඩි ලෙළදෙන්නේය. සියවස් ගණනක් සහජීවනයෙන් පැසුනු කුඹුරු ගිණි ගන්නේය.

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    A very well-thought out write-up, encompassing the length and breadth of the situation of our motherland as we speak.
    Thank you for this. My heart is sinking, not knowing what to do.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.