26 April, 2024

Blog

ලුණු ලුණු උප්පු උප්පූ

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

මිනිසෙකු පිට නැගි අසරුවෙකි

ඒ බර ගෙයි වහලට බරකී 

පාන්දරින් පැරදුන ඒ මිනිසා 

හැන්දෑවෙත් අසු පිටට නගී

නිවාස ඇමති සජිත් කාගේදෝ කරක් මත නැගී ගමන්කරනු දැක මෙම ගීතය මතක් විය.

ඒ 2018 දෙසැම්බර් 17 වනදාය. එදා හවස් වරුවේ හමා ආ ජනබල කුණාටුවෙන් ගාලු මුවදොර කැළඹී ගියේය. ගෑනු පිරිමි එකට එක්ව දිනාගත් විප්ලවයේ සැමරුමේදී මුහුදු රළ පරයා නැගුනු පිරිමි කටහඩවල් අතරින් නැගුනු සජිත් ප්‍රේමදාසගේ හඩ අදත් මතකය. 

“මා කවදා හරි බලයට එනවානම් එන්නේ ජනතාවගේ කරපිටින්,” යැයි කියමින් ඔහු එදා ගාලු මුවදොර වේදිකාවේ නැගී බෙරිහන් දුන්නේය. තැන්තැන් වලින් සජිත් ඔනේ යැයි සටහන් කළ මුද්‍රිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස් කෑ ගැසූහ. මාධ්‍යවේදියෙක් ඔවුන්ගෙන් එම මුද්‍රිත පුවරු ලබාගන්නේ කාගෙන්දැයි ඇසූ විට සජිත් මහත්තයාගේ අය තමයි මේව බෙදන්නේ යැයි පවසා ඇත.

එදා සජිත් කීවේ ඇත්තක් යැයි ඊයේ බදුල්ලේදී ඔප්පු විය. ජනාධිපතිවරණයට සජිත්ම ඔනේ යැයි කියන ඇමති හරීන් ප්‍රනාන්දු බදුල්ලට සජිත් කැඳවා ජනතාවගේ කර මතින් වේදිකාවට ඔසවාගෙන ආවේය. එහිදි ද ගාලුමුවදොරදී මෙන්ම සජිත් එනවා යැයි සටහන් වූ පුවරු තැනින් තැන ප්‍රදර්ශනය කෙරිණ. ඒවා ඔවුන්ට සමහරවිට ඇමති හරීන් විසින් දෙන්නට ඇත. 

ඇත්තවශයෙන්ම එදා ගාලු මුවදොර පිටියේ කෑ නොගැසූයේ කතානායක කරූ ජයසූරිය පමණි. නොවැම්බර් විප්ලවයේ සැබෑ වීරයා ඔහුය. ඒ වුනත් ජයග්‍රහනය සැමරූ වෙදිකාවේ ඔහු නිහඩය. ඒ ඔහුගේ කතානායක භූමිකාව නිසාය. එය එසේ නොවුනත් ඔහුගේ හැටි එහෙමය. ආවාට ගියාට කෑ ගහන්නේ නැත. අනිත් සටන් සගයන්ට විඳින්නට සමරන්නට ප්‍රජාතන්ත්‍රවාදයේ විප්ලවය දිනා දීම වෙනුවෙන් කතානායක කරූ ජයසූරිය කුලප්පු වූ දඩබල්ලන් වැනි නොහික්මුණු දේශපාලකයින්ගේ ප්‍රහාරයට ලක්විය. නින්දා අපහාස දරාගත්තේය. මිනිසෙකුගේ විනය ඉවසීම හා මහත්මාකම එදා කතානායක කරූ රටට පමණක් නොව ලෝකයටම කියා පෑවේය. ඇත්ත වශයෙන්ම ඒ වන විටත් කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටි ආණ්ඩුව නව පනක් ලබා නැගිට්ටේය. නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා ස්වාධීනත්වයේ සළුවෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ සැරසීගත්හ. 

කතානායක කරූගේ ඒ මෙහෙවරට තුති පිදීම වෙනුවෙන් වෙනම පාර්ලිමේන්තු සැසියක් පවා පැවැත්විණ. එහිදී ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු සභිකයෝ කතානායකගේ ගුණ ගැයීය. පොදුවේ හැමෝම කීවේ එතුමා ජාතික වීරවරයෙක් බවය. රටේ උත්තරීතර නීතිය ඒ සා සාහසික අයුරින් අභියෝගයට ලක් වූ අවස්ථාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ හමුවන්නේ නැත.ඒ නිසා ඒ විප්ලවය ඓතිහාසිකය. එහි විරුවන්ද ඓතිහාසික වන්නේය. 

මේ විප්ලයවයේ අගමැති රනිල්ගේ භූමිකාව ද සුවිශේෂී විය. ගාලු මුවදොර පිටියේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අගමැති රනිල්ට හොඳ සහතිකයක් දුන්නේය. අපේ අගමැතිතුමත් එක්ක ගේම් ගහල දිනන්න බෑ. ඒකට ජගතෙක් නෑ කියා ඔහු කීය. ඇත්තය. රනිල් හොඳ පළපුරුදු ගේම් කාරයෙකි. ගැහුවොත් ගැහුවාමය. නමුත් ගේම තියෙන්නේ දැන්ය. ගහනවානම් හොඳම ගේම දැන් ගැසිය යුතුය. 

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරණ ප්‍රචාරණයට ඡායාරූප ගත් බවට විවිධ සමාජ මාධ්‍ය කීවේය. එය ඇත්තය. තමන්ට ගරු සම්මාන ප්‍රධානය කළ හාමුදුරුවන්ට කළ ගුණ සැලකීමේ උත්වයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී පුදර්ශනය කෙරුණු වීඩියෝ පටයේ ඔය කියන ඡායාරූප සියල්ලම පාහේ ඇතුළත් විය. ඊට අමතරව එම වීඩියෝ පටයේ මෙතෙක් සජිත් ඉල්ලා නොසිටින ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහයට ඉන්න සියලු පක්ෂ හා කණ්ඩායම් කරූ ජයසූරිය ගුණ ගායනා කරන අයුරුද දැක්විණ. 

එපමණක්ද නොව, සාධාරණ සමාජයක් උදෙසා හඩ නගා හෙම්බත් වී සිටින සරත් වීරසූරිය කීවේ සෝබිත හිමි ප්‍රාර්ථනා කළ සාරදර්මීය සමාජය ගැන ඉතිරිව ඇති අවසන් බලාපෙරෛාත්තුව කරූ බවයි. මේ සංඝ දක්ෂිනාවෙන් පොහොට්ටු හාමුදුරුවන්ට හොඳටම රිදී ඇත. තමන් වෙනුවෙන් පෙනී නොසිටින අය කරූ වෙනුවෙන් පෙනී සිටීම ගැන සජිත්ටද රිදෙන්නට ඇත. 

ආණ්ඩු විරෝධී සියලු දෙනා අපේක්ෂා කළ පරිදිම මැදමුලනේ මහගෙදර රාජපක්ෂ පොහොට්ටුව පිපුනේය. දැන් මල්ලී ජනාධිපති කරවා තුන්පාරක් ජනාධිපති වීමට ගොස් ලක්ෂ හැට දෙකක් ඡන්ද දායකයින්ගෙන් ප්‍රතික්ෂේප වී ගෙදර ගිය අයියා අගමැති වන්නට සිහින දකින්නේය. ඇත්ත වශයෙන්ම ඒ මල්ලී අයියාට වඩා හොඳය. ගැයුම් වැයුම් රැගුම් අඩුය. පොහොට්ටූවාදීන් ඉල්ලන්නේ අයියා නොව මල්ලීය. ඒත් ඇත්ත කතාව ඊට වෙනස්ය. මල්ලීට ඇති ඉල්ලුමෙන් ගොඩ යන්නේ අයියාය. 19 වන සංශෝදනය නොවන්නට මල්ලීට යමක් කරන්නට හැකියාව තිබිණි. එහෙත් 19 යේ ජනාධිපතිට පෙරළි කළ නොහැකිය. ඒ නිසා මල්ලීගේ කර පිටින් යළි රජ වන්නේ අයියාය. සරලය.

නිල ලත් අයියාටත් මල්ලීටත් ජනාධිපති හා අගමැති තනතුරු අයින්කළ යුතුය. පොහොට්ටුවේ නිර්මාතෘ වන බැසිල් රාජපක්ෂ මල්ලී අමතක කළ නොහැක. ඒ නිසා ඔහුට ආර්ථික සංවර්ධන උපදේශක​ කමවත් අඩුම තරමේ දිය යුතුය. එවිට පොහොට්ටුවේ මෙවර ජනාධිපති අපේක්ෂකයා වීමට සිටි චමල් රාජපක්ෂ අයියා ගැනද බැලිය යුතුය. චමල් අයියා පස්ස ගැහුවේ පොහොට්ටු පිලේ හාමුදුරුවන්ට බයේය. මල්ලි පෙන්නලා අයියා දෙන්න හැදුවොත් මල්ලී පස්ස දොරෙන් පන්නාගන්නා බවට ඒ හාමුදුරුවරු ප්‍රසිද්ධියේ තර්ජනය කළහ. ඒ නිසා අකමැත්තෙන් වුවද මල්ලීම දීග දෙන්නට සිදුවිය. එසේ වුනා කියා ලොකු අයියාට ගෙදරට නාකි වෙන්නට දිය නොහැකිය. ලොකු ඇමති කමක් දිය යුතුය. 

දැන් නාමල් වුනත් පොඩි නැත. අනාගතයේ ජනාධිපති හෝ අගමැති දක්වා යාමට නියමිත බැවින් ඔහුටද කැබිනට් අමාත්‍ය ධූරයක වගකීම කියාදිය යුතුය. ශිරන්ති රාජපක්ෂ ආර්යාවනම් නෑදෑ පරපුරට සලකා නිහඩ කළ හැකිය. ඒත් චමල් අයියාගේ පුතාට එහෙම කළ නොහැකිය. නිරූපමා රාජපක්ෂනම් කොහොමත් හිටපු ඇමතිවරියක් නිසා ඇමතිකමක් දෙන්නම වෙනවාය. රාජපක්ෂ නොවන, රජුට පක්ෂ වන අයටත් ඉතිරි වුන යමක් ලැබෙනු ඇත. 

පොහොට්ටු සම්මේලනයේ උනුසුම යන්නත් කලින් සජිත් හරීන් පිලේ සම්මේලනය තිබුනේය. එයනම් සර්ප්‍රයිස් එකක් නොවිණ. මීට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා තෝරන්න අගමැති රනිල් ඡන්දයක් ඉල්ලුවේය. එහිදී හත් දෙනෙකු පමණක් සජිත් වෙනුවෙන් අත් උස්සා ඇත. ඊයේ සජිත් සමග වේදිකාවේ සිටියේද ඒ කිහිප දෙනාය.  සජිත් නැති වේදිකාව භාර වුනේ සුජීව සේරසිංහටය. ඔහු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත් විය යුතු බවත් ඒ සඳහා ඔහුට විශේෂ ගති ලක්ෂණ ඇති බවත් කීවේය. ඔහුගේම වදනින් එය මෙසේ සටහන් කරමි.

“සජිත් කියන්නෙ ගහන කෙනෙක් නෙවෙයි. ගැහුවත් ඉවසගෙන ඉන්න කෙනෙක්. ගෙදරට ඇවිත් ගැහල ගියත් කරබාගෙන ඉන්න කෙනෙක්.‘’

අශ්වයෙකු සමග දුවන්නට එක්කෝ අශ්වයෙක් නැතිනම් කගවේනෙක් දැමිය යුතුය. කොටලුවෙක් හරියන්නේම නැත.  

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.