26 April, 2018

Blog

‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’ – ආර්. සම්බන්දන්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් විසින් ‘ද හින්දු’ පුවත්පතට දෙන ලද, ‘‘අපිට බලාපොරොත්තු නැති කර ගන්න බැහැ. දේවල් අතඇරලා දාන්න බැහැ’’ නැමැති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය:

ප්‍රශ්ණය​: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත්‍රීපාල​ සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?

උත්තරය: සිරිසේනට සහයෝගය දෙන්න අපි ගත්තේ නිවැරදි තීරණයක් බවට අල්පමාත‍්‍ර හෝ සැකයක් මට නැහැ. විශේෂයෙන් දෙමළ ජනතාවට අසාධාරණ විදිහට සලකපු, අයුක්ති සහගත විදිහට සලකපු රාජපක්ෂ ආණ්ඩුව අපිට එපා වෙලයි තිබුණේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් සිටම සිරිසේන දෙමළ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. දෙමළ ප‍්‍රශ්නයට සාධාරණ, යුක්ති සහගත විසඳුමක් වෙනුවෙන් පෙනී හිටපු ප‍්‍රබලයන්ගෙන් කෙනෙක්, ඔහු.

1994 සහ 2000 අතර කාලය තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනාවලට ඔහු සහයෝගය දුන්නා. ඒක, මෙවර ඔහු වෙනුවෙන් පෙනී හිටින්න අපට හේතු වුණා. ඒ වගේම, සිරිසේන සහ වික‍්‍රමසිංහ එකට සහයෝගයෙන් වැඩ කරන්න ගත්ත තීරණයත්, සිරිසේනට සහාය දැක්වීම සඳහා ගත්ත අපේ තීන්දුවට බලපෑවා. පළමුවැනි වතාවට, දෙමළ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දකුණේ ප‍්‍රධාන පක්ෂ දෙක එක මතයක සිට කටයුතු කිරීමට ඉදිරිපත් වීම එහිදී අපට දැක ගන්න පුළුවන්. ඒක නිසා, මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් මීට වැඩිය වැඩි වුණත්, එදා මේ ආණ්ඩුව බලයට පත් කරගන්න සහාය විය යුතු බවට අපි ගත්ත තීරණය ගැන අදටත් මගේ හිතේ කිසි කණගාටුවක් නැහැ.

ප්‍රශ්ණය​: මේ ආණ්ඩුවේ කල්ක‍්‍රියාව ගැන බලද්දී, විශේෂයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නය සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ කල්ක‍්‍රියාව ගැන බලද්දී, දෙමළ ජනතාවට අත්වෙලා තියෙන වැදගත් වාසි මොනවද?

උත්තරය: ජාතික ප‍්‍රශ්නයට සාධාරණ දේශපාලනික විසඳුමක් ලබා දීම අරමුණු කරගත් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පටන් ගත්තේ 2016 දී. ඒ සම්බන්ධයෙන් සැළකිය යුතු වැඩ කොටසක් දැනට සිද්ධ වෙලා තියෙනවා.

අගමැතිවරයාගේ සභාපතිත්වයෙන්, සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විතව පිහිටැවූ මෙහෙයුම් කමිටුව නිතිපතා රැුස්වෙලා තියෙනවා. අවසානයේදී එම කමිටුව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරලා, එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයටත් අරගෙන තියෙනවා. ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡුන්දයෙන් පස්සේ, ඒ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය මීට වඩා වේගවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්වා. මේ දක්වා එම ක‍්‍රියාවලිය යම් තාක් ප‍්‍රමාද වුණේ, ඇතැම් පක්ෂ ඒ සම්බන්ධයෙන් ගත්ත ඇතැම් ස්ථාවරයන් නිසයි.

දෙමළ ජනතාවට විශේෂ වැදගත් කමක් තියන ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. හමුදාව විසින් අල්ලාගෙන ඉන්න ඔවුන්ගේ ඉඩම් නිදහස් කර ගැනීම, එක දිගටම හිර භාරයේ තියාගෙන ඉන්න දෙමළ දේශපාලනික රැුඳවියන් පිළිබඳ ප‍්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ප‍්‍රශ්නය ඒ අතරින් වැදගත්. මේවා සම්බන්ධයෙන් කිසි දෙයක් කරලා නැහැ කියලා මං කියන්නේ නැහැ. මං කියන්නේ, මීට වඩා වැඩි වැඩ කොටසක් කරන්න පුළුවක් කම තිබුණා කියලයි.

හමුදාව අත්කරගෙන හිටපු ඉඩම්වලින් සමහරක්, උතුරේ වගේම නැගෙනහිරත්, අපේ බලපෑම් මත නිදහස් කරගෙන තියෙනවා. මේ ඉඩම් නිදහස් කිරීම, එක දිගට කෙරීගෙන යන ක‍්‍රියාවලියක්. මේක ලේසිපාසු වැඩක් නෙවෙයි. ඒත් ඒක සිද්ධ වෙමින් තියෙනවා. දැන් දවස් කිහිපයකට කලිනුත්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ කෙප්පපිලාව් ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 133 ක් නිදහස් කළා. මං ඒ සම්බන්ධයෙන් හුඟාක් මහන්සි වුණා.

අත්අඩංගුවේ රඳවාගෙන ඉන්න දෙමළ රැුඳවියන් සම්බන්ධයෙන් ගත්තොත්, සියයට 40-50 ක් අතර ප‍්‍රමාණයක් දැනට නිදහස් කරලා තියෙනවා. අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්තොත්- එවැනි අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි ගණන 20,000 ක් විතර විශාල සංඛ්‍යාවක්. මේ පවුල්වල සාමාජිකයෝ ඉල්ලා හිටින්නේ, තමන්ගේ පවුල්වල අතුරුදහන් වූවන් ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් ක‍්‍රමයක් සකස් කරලා දෙන්න කියන එකයි. ඒ කියන පුද්ගලයන් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එකවත් දැනගන්න ඔවුන්ට අවශ්‍යයි. ඒ යථාර්ථයට හිත හදාගන්න පුළුවන් වෙන විදිහේ, උදව්පදව්, වන්දි ගෙවීම් සහ වෙනත් උපකාර ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරනවා. ඊට පස්සේ තමයි ඒ මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ සාමාන්‍ය ජීවිකාවන්ට හිත හදාගන්න.

2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සැසි වාරයේදී ලංකාවේත් අනුග‍්‍රාහකත්වයෙන් සම්මත කර ගත් යෝජනාව ප‍්‍රකාරව, වගවීම පිළිබඳ ප‍්‍රශ්නයට අදාළ කටයුතු කිරීමට ආණ්ඩුව මේ දක්වා අපොහොසත් වෙලා තියෙනවා. ඒ ප‍්‍රමාදය ගැන දෙමළ ජනතාව ඉන්නේ බලවත් නොසතුටකින්.

ප්‍රශ්ණය​: යුද අපරාධවලට අදාළ වගවීමේ ප‍්‍රශ්නයටත් වැඩි වැදගත්කමකින් යුතුව දෙමළ ජාතික සන්ධානය සහයෝගය දක්වන අලූත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ දකින්ට තිබෙන්නේ මන්දගාමී ගතියක්. මීට කලින් ආණ්ඩුව දෙන ලද අවසාන දින වකවානු දැන් ගෙවිලා ගිහිං. මේ ක‍්‍රියාවලිය තුළ වැඩියත්ම අවධාරණය කෙරෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය ලබා දීම සහ අලූත් මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම වැනි මාතෘකා. බලතල බෙදාහදා ගැනීම ගැන කියැවෙන්න ඉතා අඩුවෙන්. මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දෙමළ ජනතාවට කොකා පෙන්නනවා කියලා ඔබ හිතනවද?

උත්තරය: ඉදිරියේදී මොනවා වෙයිද කියන එක ගැන තීරණයකට එන්න පුළුවන් කමක් දැනට අපට නැහැ. ඒත්, යම් කාරණයක් පිළිබඳව වැඩිමනත් සාකච්ඡාවක් පේන්න නැත්නං, එහෙම වෙන්නේ, ඒක ගැන බරපතල ප‍්‍රශ්න කාටවත් නැති නිසා වෙන්නත් පුළුවන්. මේ ප‍්‍රශ්නයේ යටි අරුත් ගැන මේ වෙලාවේ මං කතා කරන්න යන්නේ නැහැ. කොහොම වෙතත්, මේ රටේ ඔක්කොම පළාත් සභාවල මහ ඇමතිවරු, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිරින් පිටස්තර දකුණේ පළාත්වල මහ ඇමතිවරු, මධ්‍ය කේන්ද්‍රය සහ පළාත් අතර බලය බෙදාහදා ගැනීම පිළිබඳ ප‍්‍රතිපත්තියට එකහෙලා එකඟ බව කවුරුත් දන්නවා. ඒ කොහොම වුණත්, අවසාන නිගමනයක් එනකල් ඒ ගැන නිශ්චිතව කිසිවක් කීමෙන් මං වැළකී ඉන්නං.

ප්‍රශ්ණය​: ඔබ ඒ ගැන සුභවාදී ද?

උත්තරය: මං අශුභවාදී නැහැ. මේ රටේ වෙසෙන සියලූ ජනතාව සමානත්වයෙන් සැළකෙන, සැබෑ සංවර්ධනයක් සහ ප‍්‍රගතියක් කරා යන ගමනේදී මේ රටට දේශපාලනික විසඳුමක් අවශ්‍ය කරනවා. ඒ තත්වය තුළ අපට කළ හැකිව තියෙන්නේ, සාර්ථක අවසානයකට පැමිණෙන තෙක්, ඒ සම්බන්ධයෙන් නොසැලී පෙනී සිටීම සහ කටයුතු කිරීමයි. අපිට බලාපොරොත්තු අතහැරගෙන බැහැ. කරන්න තියෙන දේවල් අතහැරලා දාලා අපිට ඉන්න බැහැ.

මේ ක‍්‍රියාවලිය කෙරෙහි යම් කිසි මට්ටමකින් විශ්වාසයක් තබා කටයුතු කිරීමේ වගකීමක් අපි වගේ අයට තියෙනවා. එහිදී අප කටයුතු කළ යුත්තේ වගකීමක් ඇතුවයි. ඒ වගේම අපි ප‍්‍රායෝගික වෙන්න ඕනේ. හැම දෙයක් ගැනම කෑකෝ ගහනවට වැඩිය, හැම දෙයක්ම කඩාකප්පල් කරන්න, හැම දේකටම බාධා කරන්න කටයුතු කරනවට වැඩිය, දෙමළ ජනතාවට වැදගත් වෙන දේවල් දිනා ගන්න අපි බලන්න ඕනේ.

එහෙම නැතුව, මොකක්ද තියෙන විකල්පය? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් ආයෙත් බලයට පත්කර ගන්න කාටවත් ඕනේ ද? ඒ හේතුව පෙන්නලා කිසි දෙයක් නොකර ඉන්න එක මං අනුමත කරනවා නෙවෙයි. ඒත් කෙනෙක් තේරුම් ගන්න ඕනේ, මේ ආණ්ඩුව යටතේ නීතියේ ආධිපත්‍යය තියෙන විත්තිය. ඉස්සර තිබිච්ච, ඕනෑම දෙයක් කරලා නීතියෙන් පැනලා යන්න පුළුවන් කම තිබිච්ච, දණ්ඩමුක්ති සංස්කෘතිය දැන් නැහැ. ඒ වගේම, අධිකරණයේ ස්වාධීනත්වය අද ස්ථාපිත කරලා තියෙනවා. සිවිල් ආයතන යළි පිහිටුවලා තියෙනවා. පවතින තත්වයේ සමස්ත චිත‍්‍රය දිහා බැලූවහම පේනවා, දෙමළ ජනතාවට අදාළ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඔබින වටපිටාවක් අද තියෙනවා කියන එක.

ප්‍රශ්ණය​: රටේ නිල විපක්ෂ නායකයා විදිහට, වෙනත් ප‍්‍රදේශවල සහ වෙනත් වාර්ගිකයන්ගේ ප‍්‍රශ්න නියෝජනය කිරීමට ඔබ මොන ආකාරයෙන් සමත් වෙලා තියෙනවා කියලද හිතන්නේ?

උත්තරය: ඒ පැත්ත ගැන මං මුළුමණින් නොතකා හැරලා නැහැ. ඒත් මීට වැඩිය මං ඒ දේවල් ගැනත් කටයුතු කළ යුතුයි කියලා හිතන පිරිසක් ඉන්න පුළුවන්. ඔවුන්ගේ ඒ මතයට මං විරුද්ධ නැහැ. ඒත් ඒ එක්කම මං කියන්න ඕනේ, මේ අවස්ථාවේ රට ඉදිරියේ තියෙන බරපතලම ප‍්‍රශ්නය වෙන්නේ ජාතික ප‍්‍රශ්නය කියන එක. මේ රට අද වෙනකොට යා යුතුව තිබුණු තැනට තවම ඇවිල්ලා නැත්නම්, ඒකට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නට බැරි වීමයි. ඒ වෙනුවෙන් මං කරන කාර්ය භාරය, මේ ගැන වෙනස් විදිහකට හිතන අයගේ කල්පනාව අනුව, සමහර විට අගය කිරීමට ලක් නොවෙන්න පුළුවන්.

ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නය ඔඩුදිව්වේ, දෙපැත්තකින් එකිනෙකා එක්ක තරග වැදිච්ච ජාතිකවාද දෙකක් නිසයි. ඒ කියන්නේ, සිංහල සහ දෙමළ ජාතිකවාද දෙක අතරේ තරගය නිසා. මේකෙන් එක ජාතිකවාදයක් අනිත් ජාතිකවාදයට වඩා ඊට වගකිව යුතුයි කිව්වොත් සමහර විට ඒක විවාදාත්මක කාරණයක් වෙන්න පුළුවන්. අද පවා, ප‍්‍රධාන දෙමළ දේශපාලනික සංවාදයේ ප‍්‍රමුඛත්වයක් ගන්නේ, වාර්ගික වශයෙන් එකිනෙකාගෙන් ඈත් විය හැකි ජාතිකවාදී දේශපාලනයක්. හුඟාක් වෙලාවට එල්.ටී.ටී.ඊ. සංවිධානය පැත්තට බර දේශපාලනයක්, පශ්චාත්-යුද්ධ සන්දර්භයක් ඇතුළේ කොහොමද දකින්න පුළුවන්? එම දේශපාලනයට පුළුවන් ද, දෙමළ සමාජය ඇතුළෙම තියෙන ආගමික අසහනය සහ කුල පීඩනය වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න? දෙමළ සමාජය ඇතුළෙම යම් නොපෑහීම් තියෙන බවට කිසි සැකයක් නැහැ. ඕනෑම සමාජයක ඒ වගේ දේවල් තියෙනවා.

මේ රටේ තමන්ව දෙවැනි පංතියේ පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා කියන හැඟීමෙන් දෙමළ ජනතාව ගොඩ එන්න ඕනේ. මහ ජාතියේ අයට තියෙන සමාන අයිතීන් දෙමළ ජනතාවට නැහැ. යුද්ධයක් ඇති වුණේ ඒක නිසා. යුද්ධය ඉවර වුණා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ, යුද්ධයේ හේතු ඉවර වුණා කියලා.

ප‍්‍රශ්න දිහා බලන ආකාරයේ යම් සමබරතාවක් තියෙන්න ඕනේ කියලා මං හිතන අතරේම, විවිධ ප‍්‍රශ්න කෙරෙහි පරිස්සමෙන් අවතීර්ණ වෙන්න ඕනේ කියලා මං හිතන අතරේම, අප විසින් ආමන්ත‍්‍රණය කළ යුතු එක් මූල හේතුවක් තියෙන බවත් අමතක කරන්න නරකයි කියන එක මං කියන්න ඕනේ. දෙමළ ජනතාවට තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් දල්වා ගැනීමේ හැකියාවක් අලූත් ව්‍යවස්ථාව හරහා ලැබෙයි නම්, ඉහත කී සෑම ප‍්‍රශ්නයකටම අදට වඩා යහපත් අන්දමින් ආමන්ත‍්‍රණය කිරීමට අනාගතේ දවසක පුළුවන් වේවි කියලා මං හිතනවා.

ප්‍රශ්ණය​: 2013 පැවැත්වුණු ඓතිහාසික උතුරු පළාත් සභා මැතිවරණය හරහා පළමු වතාවට ප‍්‍රාදේශීය දේශපාලනය තුළ යම් කාර්ය භාරයක් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරුණා. බලය බෙදා හැරීමේ සීමා කම් කෙසේ වෙතත්, මේ කාලය තුළ උතුරු පළාත් සභාව මොන විදිහෙන්ද දෙමළ ජනතාවට සේවයක් කරලා තියෙන්නේ? එම පළාත් සභාවට වෙන් කරපු මුදල්වලින් විශාල ප‍්‍රමාණයක්, අවශ්‍ය කරන අණපනත් පනවා නොගැනීම නිසා පාවිච්චියට අරගෙන නැහැ කියලා චෝදනාවක් තියෙනවා.

උත්තරය: මට ලැබිලා තියෙන හැම වාර්තාවක් අනුවම පේනවා උතුරු පළාත් සභාවට මීට වැඩිය වැඩ කොටසක් කරන්න තිබුණා කියන එක. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමා කම් තියෙනවා තමයි. ඒත්, ඒ සීමා කම් ඇතුළේ ඉඳගෙන වුණත් මීට වැඩි දෙයක් කර ගන්න තිබුණා. මුල් කාලයේ හිටපු ආණ්ඩුකාරවරයා දුෂ්කර පුද්ගලයෙක්. හමුදාකාරයෙක්. ඒත් 2015 ඉඳං අලූත් ආණ්ඩුකාරවරු ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ සෑහෙන්න ලිබරල් සහ ප‍්‍රගතිශීලී අය. උතුරු පළාත් සභාව, ඒ පළාතේ ජනතාවගේ ප‍්‍රශ්නවලට, ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන්ට මීට වඩා සාධනීය ආකාරයකින් යොමු විය යුතුව තිබුණා.

ප්‍රශ්ණය​: දෙමළ ජාතික සන්ධානය ඇතුළේ ප‍්‍රශ්න විටින් විට ඉස්මත්තට එනවා. සමහරු ඔබේ පක්ෂයට (ඉලන්කෙයි තමිල් අරසු කච්චි) චෝදනා කරනවා, සන්ධානය කෙරෙහි අධිකාරී බලයක් පානවා කියලා. ළඟ එන පළාත් පාලන ඡන්දය හේතුවෙන්, දෙමළ දේශපාලනයට සහ ජාතික දේශපාලනයට ඇති විය හැකි බලපෑම ඔබ දකින්නේ කොහොමද?

උත්තරය: පළාත් පාලන මැතිවරණය කියන්නේ සමාජයේ පහළම ස්ථරයේ ක‍්‍රියාකාරීත්වයක්. අලූත් ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන කාර්යයන් පිළිබඳ වෙනම ලැයිස්තුවක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ජාතික ලැයිස්තුවක් සහ ප‍්‍රාදේශීය ලැයිස්තුවක් වශයෙන්. අලූත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට සාකච්ඡුාවට ලක්වෙලා තියෙන කරුණු ඒ ආකාරයෙන් පනවා ගත්තොත්, පළාත් පාලන ආයතන අදට වඩා වැදගත් ආයතන බවට පත්වේවි.

දැනට මට පේනවා, මේ මැතිවරණයේදී මතු කරන්නේ ජාතික තලයේ මාතෘකා කියලා. කොහොම වුණත්, බහුතරයක් ජනතාව දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනයට පක්ෂපාතියි කියලා මං හිතනවා. ඒ දෙමළ ජාතික සන්ධානය දැනට සමන්විත වන්නේ, ඉලන්කෙයි තමිල් අරසු කච්චි, ප්ලොට් සහ ටෙලෝ කියන පක්ෂවලින්. ඊ.පී.ආර්.එල්.එෆ්. විතරයි සන්ධානයෙන් ඉවත් වෙලා තියෙන්නේ. මට සාධාරණ විශ්වාසයක් තියෙනවා, දෙමළ ජනතාව ඔවුන්ගේ බුද්ධියෙන් කරුණු වටහාගෙන, දැනට දෙමළ ජාතික සන්ධානය ගෙනයන දේශපාලනය අගය කරයි කියලා.

ප්‍රශ්ණය​: එතකොට, ජාතික වශයෙන් ගත්තොත්?

උත්තරය: අපි දන්නේ නැහැ මොනවද වෙන්න යන්නේ කියලා. දකුණේ ප‍්‍රධාන පාර්ශ්ව තුනක් තියෙනවා. ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, අගමැතිවරයාගේ එක්සත් ජාතික පෙරමුණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහෙයවන පොදු ජන පෙරමුණ. තවම මේ පාර්ශ්ව අතරේ තරගය ගැන යමක් කියන්න අමාරුයි. තව ටිකක් ඒ ගැන බලාගෙන ඉන්න වෙනවා.

ප්‍රශ්ණය​: ඔබෙන් පස්සේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය පිළිබඳව හිතලා තියෙනවද?

උත්තරය: කිසි දෙයක් මං සැලසුම් කරලා නැහැ. කිසි කෙනෙක් ගැන හෝ කිසි ක‍්‍රියා මාර්ගයක් ගැන හෝ මං හිතලා නැහැ. මං හිතන්නේ ඒක යම් කාලයක් තුළ සිද්ධ වෙයි. මෙහෙම යමු. මට හැම දාම ඉන්න බැහැ. කවුරු හරි කෙනෙක් නායකත්වයට එන්න ඕනේ. ඒක ලේසිපාසු දෙයක් නෙවෙයි. ඒකෙදී පරිස්සම් වෙන්න ඕනේ. ඉවසිලිවන්ත වෙන්න ඕනේ. හැම දෙනාටම උත්තර දෙන්න ඕනේ නැහැ. ඒක කරන්න පුළුවන් දේකුත් නෙවෙයි.

*ආර්. සම්බන්දන් සමග මීරා ශ්‍රීනිවාසන් පැවැත්වූ, “We Can’t Despair, We Can’t Abandon Things” නමින් 2018 ජනවාරි 5 වැනි දා ‘ද හින්දු’ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Tamil vote is called PROTEST vote. That is to protest Mahinda Rajapakse. they voted even Sarath fonseka and that was to protest Mahinda Rajapakse. So, who ever what ever says, the listener has to listen carefully.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.