By Rajasinghe Bandara –

Dr Rajasinghe Bandara
“ඉතිහාසයදෙසහැරීබලනමිනිසුන්යම්දිනකපුදුමවනුඇත්තේමිනිසුන්කළවැරදිගැනනොවදූෂිතපාලකයින්විසින්පමුණුවාඇතිදඬුවම්පිළිබඳවය.” – ග්රීකදාර්ශනිකප්ලේටෝ
ප්ලේටෝ මෙම ප්‍රකාශය කරනු ලැබුවේ, ඔහුගේ ගුරු දේවයන් වූ ශ්‍රේෂ්ඨ දාර්ශනික සොක්රටීස් ග්‍රීක අධිකරණයේ බහුතරයේ තීන්දුවක් පරිදි වස පොවා මරණීය දණ්ඩනයට ලක් කිරීමෙන් ඇති වූ කම්පාව තුලිනි. සොක්රටීස්ට එල්ල කර තිබූ චෝදනාව වූයේ ‘ග්‍රීක පාලකයින් දූෂිත’ යැයි ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.
ප්ලේටෝගේ කියමන සිහිපත් කරන ආසන්නත ම සිද්ධිය වන්නේ නොතැකිය යුතු තරම් සුළු වරදකට අත්අඩංගුවට ගත් එනම්, ග්‍රෑම් භාගයකටත් අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ළඟ තබා ගත්තා යැයි චෝදනා කොට අත්අඩංගුවට ගත් ඉෂාර සංජීව කුමාර නැමැති සිව් හැවිරිදි දරුවෙකුගේ තරුණා පියෙකු හෝමාගම පොලිසිය විසින් පහර දී මරා දැමීමයි. ධර්මචක්ර පළඳින පොලීසිය ඔහු මරා දමා තිබුණේ පසළොස්වක පොහෝ දිනක ය. එංගලන්තයේ නීතිය අනුව නම් මෙවැනි සාපරාධී ඝාතනයකට පොලීසිය කෝටි ගණනක වන්දියක් ගෙවීමට සිදු වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් ඝාතනය කිරීම (Extrajudicial Killings) ගැන Sunday Leader පුවත්පතට මා ලියූ ලිපියකට පදනම් වූයේ හැඳුනුම්පත නැතිව ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීම ගැන වයස අවුරුදු දෙකක දරුවෙක් ඇති තරුණ පියෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් පහර දී මරා දැමීම ය. මෙම ලිපිය විදේශ මාධ්‍ය ගණනාවක පලවිය. පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට පැනවූ සිරදඬුවම ද ප්ලේටෝගේ කියමන සිහිපත් කරයි.
අධිකරණයට විරුද්ධව කටක් හෙල්ලීමට සාමාන්‍ය ජනතාවට ඇත්තේ භීතියකි. ඒ අධිකරණයට අපහාස කිරීම ගැන පමුණුවා ඇති දැඩි දඬුවම් ගැන ඔවුන් හොඳින් දන්නා බැවිනි. එහෙත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ කෙරුවාව තේරුම් ගැනීමට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කළ හෙළිදරව්වෙන් ප්‍රීති පද්මන්ගේ රෙද්ද ගැලවී යයි. මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කිරීම සඳහා ලංකාවේ දිය හැකි උපරිම දඬුවම මාස 18 ක් වුවද ප්‍රීති පද්මන් සූරසේන මහාධිකරණ විනිසුරුව සිටියදී පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට දී ඇත්තේ වසර 6 ක සිර දඬුමක් බව එම අධිකරණ තීන්දුව හාස්‍යයට ලක් කරමින් පසුගිය මස පැවති ප්‍රසිද්ධ සම්බන්ත්රණයක දී හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහජනතාව දැනුවත් කළේය. එංගලන්තයේ මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කිරීමට දිය හැක්කේ මාසයක සිර දඬුවමකි. සැබවින්ම ඥානසාර හිමි අධිකරණයකට අපහාස කොට නැතැයි ද සරත් නන්ද සිල්වා පවසයි.
පූජ්‍ය ඤාණසාර හිමියන්ට ජනාධිපති සිරිසේන මහතා විසින් ප්රදානය කළ ජනාධිපති සමාව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවට එරෙහිව මහා සංඝයා පෙරටු කොට රට පුරා පැන නැගි විරෝධතාවලින් ප්‍රකාශ වූයේ ඥානසාර හිමියන්ට පමුණුවා ඇති සිර දඬුවම යුක්ති සහගත නොවන බවත් එසේ හෙයින් ඒ හිමියන්ට ජනාධිපති සමාව පිරිනමන ලෙසත් ය. එසේ වුවද ජනාධිපති අනුර දිසානායක බදුල්ලේ තම පක්ෂයේ කාන්තා සමුළුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ අධිකරණය විසින් ගනු ලබන්නේ නිවැරදිම තීන්දු බවත්, එසේ හෙයින් එය වෙනස් කිරීමට තමා කිසිසේත්ම මැදිහත් නොවන බවත් ය.
ඉහත කී ආකාරයේ දඬුවමක් පූජ්‍ය ඥානසාර හිමියන්ට දීමට ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු විනිසුරු මණ්ඩලය පෙළඹුණේ කාගේ මනදොල සැපිරීමට දැයි මා නොදන්නා අතර හිටපු ජනාධිපති මෛත්රීපාලන සිරිසේන මහතා විසින් ප්‍රධානය කර තිබූ ජනාධිපති සමාව මෙම රජය යටතේ නැවත ගොඩ ගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් ජනාධිපති සමාව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව සාපරාදී පැහැර ගැනීමකට ලක් වී අතුරුදහන් වූ සමාජ මාධ්‍යකරුවෙකු වූ ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ සිනා මුසු මුහුණින් අධිකරණයෙන් පිටවන සැටි රූපවාහිනී නාලිකා ඔස්සේ මා දුටු වෙමි. එහෙත් ඇය මෙම සතුට විඳින්නේ තම සැමියා පැහරගෙන ගොස් වද හිංසා පමුණුවා අතුරුදහන් කළා යැයි චෝදනා කරන චූදිතයින්ට අධිකරණයෙන් දඬුවම් දී ඇති සැටි දැක නොවන බව කණගාටුවෙන් පැවසිය යුතුය. ඇගේ සැමියා ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගැනීම සිදුව ඇත්තේ 2010 ජනවාරි 24 දා ය. මෙම රජය බලයට පත් වී අවුරුදු 2 කට වැඩි කාලයක් ගතව ඇත. එහෙත් ඇය අපේක්ෂා කළ යුක්තිය පෙනෙන තෙක් මානයක නැත. හිටපු බි්රතාන්ය අගමැතිවරයෙකු (William Ewart Gladstone) 1868 මාර්තු 16 වැනි දින බි්රතාන්ය පාර්ලිමේන්තුවේ විවාදයක දී උපුටා දැක්වූ “Justice delayed is justice denied” යන ප්‍රසිද්ධ කියමණ මෙහි දී සිහි වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දිගු කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික පරමාර්ථය ලෙස ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ ප්‍රමාදයකින් තොරව ජනතාවට යුක්තිය පසිඳලීමට ය. එහෙත් නීතිඥ සංගමය නීති විශාරදයින් හා විපක්ෂයෙන් පෙන්වා දුන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත් බලයේ තබාගෙන ආණ්ඩුවට පක්ෂපාතී විනිසුරුවරුන් රඳවාගෙන ආණ්ඩුවට අවශ්‍ය තීරණ විනිසුරුවරුන් ලබා ගැනීමට ජනතාවට කොළය වසා කරන මහා රැවටීමක් බවයි. මෙහි දී විපක්ෂය, නීතිඥ සංගමය ගෙනගිය විරෝධතා ප්‍රචාරවල මූලික හරය වූයේ විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීම ගැන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මරු පහරක් බවත් හිටපු ජනාධිපති J.R. ජයවර්ධන 1978 – 89 යුගයේවත් මෙවැනි ඇඟිලි ගැසීමක් අධිකරණයට නොවූ බවයි. J.R. ජයවර්ධන අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළා යැයි පුම්බා තැබූ කථිකයන් අතරින් නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් ද විය. J.R. ඇතුළු අතීත ජනාධිපතිවරුන් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගැසුවා යැයි ස්වකීය වාසි තකා පුම්බා තැබූ හා තබන මෙවැනි කථිකයින් හා සමාජ මාධ්‍යකරුවන්ට අමතක වී ඇති එක් උදාහරණයක් දක්වමි.
1983 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ඇමරිකානු තානාපති කාර්යාලයට සාමකාමී පෙළපාළියකින් ගිය සමසමාජ පක්ෂයේ නායිකාවක වූ විවියන් ගුණවර්ධන මහත්මිය බෙල්ලෙන් ඇදගෙන ගොස් පයින් ගසා කොල්ලූපිටිය පොලිසිය විසින් කළ නින්දා සහගත ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව ගැන විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බාන්ස් රත්වත්තේ, පර්ෂි කොලින් තෝමේ Percy Colin-Thomé, J.F. Soza සෝසා, 1983 ජූනි 10 වෙනි දින තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ විවියන් ගුණවර්ධන මහත්මියගේ ප්රජාතන්ත්රවාදී අයිතිය කොල්ලූපිටිය පොලීසිය විසින් උදුරාගෙන ඇගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇයට කළ සැලකීම අතිශයින් නිගරු සහගත බවත් ය. මෙම නඩු තීන්දුවට පසු ගිය දින එනම්‚ 1983 ජූනි 11 වැනි දා සංවිධානාත්මකව පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මැරවරයන් විශාල පිරිසක් නඩු තීන්දුව දුන් විනිසුරුවරුන්ගේ ගෙවල් ඉදිරියට පැමිණ ගල් ගසා, “අඩෝ කොලින් තෝමේ…… අඩෝ රත්වත්තේ, තොපි දැනගනියව්” කියමින් නඩුකාරයින් බියවද්දා ඇත. මේ පිළිබඳව ජනාධිපති J.R. ජයවර්ධන පැවසූවේ අධිකරණයේ වැරදි තීන්දුවලට එරෙහිව ප්රජාතන්ත්රවාදී ලෙස විරෝධය දැක්වීමට ජනතාවට අයිතියක් ඇති බවයි. මෙම මතය තහවුරු කරමින් විරෝධතාවය (ප්‍රහාරය) සංවිධානය කිරීමේ වගකීම බාරගෙන ඇත්තේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ නායකත්ව දැරූවකු වන ‘කළු ලකී’ හෙවත් ලක්ෂ්මන් ප්‍රනාන්දු නැමැත්තා ය. ඒ වන විට ඔහු ජනතා විමුක්ති පෙරමුණ හැර ගොස් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවකු ලෙස සිට ඇත.
නීතීඥ සංගමයත්, විපක්ෂයත්, විරෝධතා, සම්මන්ත්රණ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කළ සමස්ත ක්‍රියාදාමය ‘සොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ බඳු විය. විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීම වැළැක්වීම සැබෑ ජනතා අපේක්ෂාවක් නොවීය. එංගලන්තයේ සිට මෙම සියලු ක්‍රියාදාමයන් දෙස මා බලා සිටියේ ජනතාවගේ හෘද සාක්ෂිය උදුරා ගැනීමක් ලෙසයි. එක්සත් රාජධානියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 75 දක්වා වැඩිකර ඇත. නීතිඥ සංගමයත්, විපක්ෂයත් මහත් ධනයක් හා කාලයක් වැය කරමින් කළ උද්ඝෝෂණ හා විරෝධතාවන් ජනතාවට සැබෑ යුක්තිය ඉල්ලා කෙරෙන පෘථූල ව්‍යවස්ථා සංශෝධනයන් කෙරෙහි යොමු විය යුතුව තිබුණි. අධිකරණයෙන් යුක්තිය සොයා එන අත මිට හිඟ මිනිස්සුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සුළු පටු නොවේ. අධික නීතීඥ ගාස්තු ගෙවීමට කණ කර උකසට තබන මිනිසුන් අනන්ත අප්‍රමාණ ය. තවත් අතකින් තාක්ෂණික කරුණු. මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ යම් අයෙකු වින්දිතයට පත්වූ දින සිට මාසයක කාලයක් ඉකුත් වීමට පෙර ය. අනෙක් අතින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කිරීමට හා විවාද කිරීමට නීතිඥයන් ඉල්ලන ගාස්තු රුපියල් ලක්ෂ හය හතේ සිට ලක්ෂ දහය පහළොව විස්ස තරම් වේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යුක්තිය සොයා යාමට හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද?
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය සොයා යාමට සාමාන්‍ය ජනතාවට ඇති බාධක සැලකිල්ලට ගෙන 1997 මානව හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. මෙම කොමිෂන් සභාව මගින් දෙන තීන්දු හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන, අමාත්‍යංශ ලේකම්වරු බැඳී සිටියත් මෙම කොමිෂන් සභා නිර්දේශ ඇතැම් අමාත්‍යංශ ලේකම්වරු සහ සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුට්ටු දෙකකට මායිම් නොකරන බව මාගේ පෞද්ගලික සෘජු අත්දැකීම් තුළින් ජනාධිපති අනුර දිසානායක දැනුම්වත් කිරීමට අවස්ථාව පැමිණ ඇත.
අධිකරණයේ අවුරුදු පහළොව විස්ස තරම් සිදුවන නඩු පමාව ගැන හිටපු අගමැතිවරයෙකු වූ දී මූ ජයරත්න පැවසුවේ පෙරකදෝරුවකුට ඉඩම් නඩුවක් හම්බවුණහම වයසට යන දූට කසාදයට බූදලයක් හදලා දෙන්න ඒ නඩුවම ඇති කියා ය. නීතිඥ සංගමයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතාවට අධිකරණයෙන් සැබෑ යුක්තිය පසදිලීමට සැබෑ උවමනාවක් විණි නම් රජයට බල කළ යුතුව තිබුණේ ඉහත කී යුක්තිය ඉටුකර ගැනීමට අධිකරණය තුළින් ජනතාවට ඇති බාධක ඉවත් කිරීමට අවශ්‍ය නීති, රෙගුලාසි හා විධි විධාන සැලැස්වීමට රජයට බලකිරීමයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව තුළ ඇති වූ කතිකාවට පිළිතුරු දෙමින් ජනාධිපති අනුර දිසානායක පැවසුවේ අධිකරණය පිළිබඳ ජනතාව තුළ ඇත්තේ කළු සුදු චිත්‍රයක් බවයි. එය සැබෑවකි.
පසුගිය වකවානුව තුළ අධිකරණයේ ස්වාධීනත්වය ගැන සාකච්ඡාවකට භාජනය වූ ප්‍රධාන චරිත වූ අගවිනිසුරු ප්‍රීතිමත් සූරසේන ය. මෙහි දී ඔහුගේ පුතු පුතු කෝටි ගණන් වටිනා දේපළ කොළඹින් මිලදී ගැනීමට මුදල් සොයා ගනු ගනුයේ කොහින්ද යන කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය. ප්‍රීතිමත් සූරසේන අලුතෙන් බඳවාගත් මහේස්ත්‍රාත්වරු අමතා කළ කතාවේ දී කියා සිටියේ අධිකරණයට වඩා ඉහළින් සිටින්නේ ජනතාව බවත් අධිකරණය පිළිබඳ පරමාධිපත්තිය බලය ඇත්තේ ජනතාවට බවත් ය. භයානක ස්වභාවික විපත්වලට පමණක් නොව දුර්වල අධිකරණයකට ද රටක් කෙටි කාලයකින් විනාස කළ හැකි බව ඔහු තවදුරටත් පැවසීය.
අධිකරණය තුළින් සැබෑ යුක්තිය පසිඳලීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය පරමාධිපත්‍ය බලය ඔබටත් (වත්මන් ජනාධිපතිවරයාටත්) ජාතික ජන බලවේග ආණ්ඩුවටත් ලබා දී ඇත. එහි දී ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විසඳීමට පියවර ගැනීම පිළිබඳව පමණක් නොව අතීතයේ අධිකරණවලින් දී ඇති අයුක්ති සහගත තීන්දු ඉදිරි පරම්පරාවට අත් නොවිඳීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමටද අවශ්‍ය පරමාධිපත්‍යය බලය වත්මන් ආණ්ඩුව සතුව ඇති බැවින් ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා හා සමස්ත ආණ්ඩුවේ අවධානය පිණිස අධිකරණය ගැන මා දන්නා තිත්ත ඇත්ත ජනතා අධිකරණය ඉදිරියේ තැබීමට කැමැත්තෙමි.
දියුණු බටහිර ලෝකයේ යුක්තිය පසිඳලීමට තනා ඇති නීති පිළිබඳ සැලකූ විට අප රට ඇත්තේ යල් පැනගිය නීති පද්ධතියකි. රෝම ලන්දේසි නීතිත්, එක්දහස් අටසිය ගණන්වල බි්රතාන්යයන් පනවා තිබූ නීතිත් උපුටා දක්වන්නේ එබැවිණි. අප අධිකරණ පද්ධතිය යුක්තිය ඉටු කිරීමේ කාර්යයේ දී දැඩි ලෙස සලකා බලනුයේ තාක්ෂණික කරුණු ය. එහි දී වින්දිතයින්ට සිදු වී ඇති හානිය තක්සේරු කිරීමේ දී ඔවුන් ලද වද හිංසා, දැඩි මානසික පීඩා, කර ඇති අපරාධයේ තරම අනුව වින්දිතයින්ට මුහුණ පෑමට සිදුවන ඉරණම ආදිය රජයේ පාර්ශවයක් විසින් කරන අපරාධයට දඬුවම් පැමිණවීමේ දී හෝ වන්දි ගෙවීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත්කමක් නොදෙන බව මාගේ පෞද්ගලික අත්දැකීමක් වන අතර මා වෙනුවෙන් මානව හිමිකම් නඩුවලට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයින් හැම කෙනෙක් ම මා හට පැවසුවේ ‘At the supreme court no place for grievances, it is there to protect the government, judges always consider technical aspects” කියා ය. (මාගේ මීළඟ ලිපියෙන් අදාළ සංවේදී සාක්ෂි ඉදිරිපත් වේ.)
එසේ වුවද එංගලන්ත අධිකරණයේ දී පොලිසිය, ආරක්ෂක අංශ ඇතුළු ඕනෑම රජයේ පාර්ශ්වයක් කර ඇති අපරාධයකට දඬුවම් පැමිණවීමේ දී වින්දිතයින්ට සිදු වූ වද වේදනා, මානසික පීඩා, අපරාධයේ ප්‍රතිඵලයක් ලෙස පවුලේ කිට්ටුම සාමාජිකයින්ට අහිමිවූ දේ, අත් වූ ඉරණම ආදිය සැලකිල්ලට ගෙන දඬුවම් හා වන්දිය නියම කෙරේ.
මෙවැනි අවස්ථා කිහිපයක් මා උදාහරණ වශයෙන් දක්වමි.
■ 2005 ජූලි මාසයේ දී ලන්ඩන් නගරයට ත්‍රස්තවාදී ප්රහාරයන් සිදු වූ අවස්ථාවේ පොලීසියට ලද වැරදි තොරතුරක් මත අහිංසක බ්‍රසීල ජාතිකයෙකු ලන්ඩන් දුම්රියක් තුළ වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙය අත්වැරදීමක් බව පිළිගත් පොලීසිය මිය ගිය තරුණයා අවිවාහකයෙකු වූ බැවින් එංගලන්ත පවුම් £100000 ක් ජඔහුගේ මවට ගෙවීමට නියම කොට මහජන ආරක්ෂ ආරක්ෂාව පිළිබඳ නොසැලකිල්ලෙන් ක්‍රියා කිරීම ගැන අධිකරණය පොලීසියට පවුම් £385000 ක දඩ මුදලක් නියම කරේ ය.
■ 2023 වසරේ පොලිසිය ශිෂ්‍ය උද්ඝෝෂණයක් අවස්ථාවේ බැටන් පොල්ලකින් ගසා ශිෂ්‍යයකුගේ හිසට හානි කිරීම ගැන පවුම් 100000 ක වන්දියක් ගෙවීමට නියම කෙරිණි.
■ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකින් පීඩාවට පත් වූ තැනැත්තෙකුට පවුම් 25000 ක වන්දියක් ගෙවීමට ද අධිකරණයෙන් නියම කළේය.
මෙවැනි උදාහරණ කොතෙකුත් ඇත. පවුමක වර්තමාන වටිනාකම රු.445 ක් තරම් වේ. ඒ අනුව ගෙවා ඇති වන්දි මුදල් කෝටි ගණනක් වන බව ඔබට ගණන් බලා ගත හැක.
එසේ වුවද ලංකාවේ පොලිසියේ සිර මැදිරි තුළ මිය ගිය හෝ දරුණු පහර කෑම්වලට ලක් වූ වින්දිතයන්ට අධිකරණ මගින් පැනවූ දඬුවම් කවරේ ද? වන්දිවල ප්‍රමාණය තුට්ටු දෙකක් නොවේදැයි තීරණය කිරීම රජයට භාර කරමි.
ඉහත කී ආකාරයේ දඬුවම් තරාතිරම නොබලා එංගලන්ත අධිකරණයෙන් පමුණුවන්නේ නැවත එවැනි වැරදි නොකිරීමට වගබලා ගන්නා ලෙස පොලිසියටත් ආණ්ඩුවටත් දෙන දඬුවමක් ලෙස ය. එහෙත් ලංකාවේ අධිකරණය වින්දිතයින්ට යුක්තිය පසඳලා ඇත්තේ කෙසේද? මගේ මීළඟ ලිපිය ඒ පිළිබඳවයි.