
රශ්මි මදුසංඛ ප්‍රනාන්දු
ඔබේ භෞතික දේහය ආදාහනය කර හෝරා කීපයක් පමණක් ගතවෙලා ඇති තැන, ඔබ වෙනුවෙන් සටහනක් තබන්නට දෙන්න මට අවසර…
ඔබ රාජ්ය ගෞරව, අවමංගල්ය සභා කිසිත් නැතුවම බොහොම අල්පේච්ඡ විදිහට ඔබේ අන්තිම ගමන යන්න තීරණ කරපු නිසා, අද මුළු මහත් ජාතියක්ම ඔබ ගැන කථා වෙන්නේ, ඔබ වෙනුවෙන් කියන්නට බොහෝ දේ ඇති නිසාවෙනි… මගේ කොටස මම මෙසේ කියමි…
ඔබේ “අම්මාවරුනේ” ගීතයෙන් පටන් අරන්, මම ඔබේ හඩට ප්රිය කරන්න, ඔබේ දැක්මට ඇලුම් කරන්නට, ඔබේ චරිතෙට ගරු කරන්නට පටන් ගත්තේ මම ගෙදරින් පිටත් වෙලා පැවදි දිවියට යන්න ගිය කලේ ඉදලා.. ඒ මිට අවුරුදු 25කට පෙර. ඒ ගීතය මටත් මගේ අම්මාටත් ශක්තියක් උනා කියල මන් හොදටම දන්නේ, අම්මාවරුන් වෙනුවෙන් කියැවුණු ගීත එකතුවක් මම කැසට් පීස් එකක රෙකොර්ඩ් කරලා මගේ අම්මගේ අතට තෑග්ගක් හැටියට දීල ගිය නිසයි… ඒ අතර උඩින්ම තිබ්බේ ඔබේ “අම්මාවරුනේ” ගීතයයි…
මම ඉපදුන අවුරුද්දේ ඉදල ලංකාවේ යුද්ධයක් තිබුනා, පහුගිය අවුරුදු 25 පුරාවට, සුනාමි, ජල ගැලීම්, නායයාම් ආවා; කොවිඩ් ආවා; වසංගත, ව්යසන ආවා; ; මනුෂ්ය ගාතන වැඩි වුනා; මද්යවේදීන්, කලාකරුවන් අතුරුදහන් වුනා; යුක්තිය වෙනුවෙන් මොරගහපු බොහෝ හඬවල් නිහඩ වුනා, නිහඩ කලා; රට බංකොලොත් වුනා; දේශපාලකයෝ පැති මාරුවෙවී රට කෙරුවා; තරුණ තරුණියෝ අරගල කෙරුවා; රට දාල ගියා, මතින්, කුඩෙන් රට අදුරු වුනා; පාසල් වැහුනා, හිර ගෙවල් පිරුනා… ඒ බොහෝ දේවල් ප්රමානෙට වැඩියෙනුත්, පුරුද්දකට වගේත් සිද්ද උනා…
ඒ සේරම එක්ක ගායකයෝ සින්දු කිව්වා, කථිකයෝ කථා පැවැත්තුවා, රචකයෝ පොත් ලිවූවා, මාධ්යය රිසි සේ හැසිරුණා, පාලකයෝ රට කෙරුවා, සේවකයෝ වැඩ කෙරුවා, ආගමික නායකයෝ දේශනා කෙරුවා, අපි ආගම ඇදහුවා, පන්සල් ගියා, පල්ලි ගියා, කෝවිල් ගියා… තාමත් එහෙම්මමයි…
අනේ එත්… ඔබට දැනුනු විදිහට හැමෝටම දැනුනා නම්… ඔබට හැගුනු විදිහට හැමෝටම හැගුනා නම්… ඔබ හිතපු විදිහට හැමෝම හිතුවා නම්… ඔබ කියුව විදිහට හැමෝම කිව්වා නම්… ඔබ ගැයුව විදිහට හැමෝම ගැයුවා නම්… ඔබ ගිය විදිහට හැමෝම ගියා නම්…
සූර සරදියෙල්, කැප්පිටිපොල දිසාවේ, වීර පුරන් අප්පු, හික්කඩුවේ ශ්රී සුමංගල, වාරියපොළ ශ්රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ටිබෙට් ජාතික කවියා එස්. මහින්ද හිමි ප්රමුඛ වීරෝදාර බෞද්ධ පැවිද්දෝ; එෆ්.ආර්. සේනානායක, ඩී.එස්.සේනානායක, ඩී.බී. ජයතිලක, ජෝන් කොතලාවල, ජ්යෙෂ්ඨ, අනගාරික ධර්මපාල, පොන්නම්බලම් රාමනධන්, පොන්නම්බලම් අරුණාචලම්, පී.රාමනාදන්. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ටී.බී. ජයා, එස්.ඒ. වික්රමසිංහ, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන සහ බර්නාඩ් සොයිසා වැනි නායකයින්; ඒ.ඊ. ගුණසිංහ, එන්. සන්මුගතසන් සහ කන්දසාමි වැනි කම්කරු පන්ති නායකයින්; නටේසර් අයියර් වැනි වතු කම්කරු නායකයින්; මේරි රත්නම්, ඩේසි ඩයස් බණ්ඩාරනායක, ඩොරීන් වික්රමසිංහ, සෙලිනා පෙරේරා, පරමේෂ්වරි කන්දයියා, නොබල් රාජසිංහම්, විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, ෆ්ලෝරන්ස් සේනානායක වැනි කාන්තා නායිකාවන්; ඇග්නස් ද සිල්වා, පොන්සිනාහාමි වැනි කම්කරු පන්ති කාන්තා නායිකාවන් සහ මාරි මියුසියස් හිගින්ස්, ක්ලාරා මොට්වානි, කර්නල් ඕල්කොට් වැනි විදේශීය නායිකාවන් සහ විදේශ ආධිපත්යයට එරෙහි අපගේ නිදහස් අරගලයේ අනෙකුත් සියලු නොඇසුණු වීරයන් ගැන මම කියවලා තියෙනවා…
ඔවුන් කරපු කියපු දේවල් නිසා ඔවුන්ට ජාතිකානුරාගයෙන් වීරයන් සේ සළකන්නත්, ඔබ කරපු කියපු, ගයපු වයපු දේ නිසා ඔබට ගරහන්නත් තරම් අපි කුහක ඇයි? ඒ තරම්ම අපි දෙබිඩි ඇයි?
මම ඔබ දිහා බලාගෙන සිටියෙමි… ඔබේ ගීතයෙන් මගේ හිතේ කැකෑරෙන දේ කියැවුණු නිසා මම සැනසුනෙමි… එත් දැන් ඔබේ භෞතික දේහය සදාකාලිකවම නිහඩ නිසා මම ඔබ වෙනුවෙන් මගේ හඬ අවදි කෙළෙමි. ඒ, එහෙම නොකලොත් එය මගේ පරම යුතුකමක් පැහැරහැරියා සේ දැනෙන නිසාවෙනි…
ඔබ සරණ ගිය තුන් රුවනේ ආශීර්වාදයෙන්, හා ඔබ එකමුතු ශ්රී ලාංකික රටක්, ජාතියක්, දේශයක් වගේම, එහි උන්නතිය, නැගිටීම වෙනුවෙන් අභයව කල කී, ගැයූ වැයු දේ තුලින් රැස්කළගත් පුණ්ය බලයෙන්, ඔබ පැතූ නිවන් මගට යොදුනක් හෝ වැඩිපුර කිට්ටු වීමට ඔබට හේතු වාසනා උදා වේවා!
ආදරණීය මලනියේ, නන්දා… ඔබට දෙවි පිහිටයි…
රශ්මි මදුසංඛ ප්රනාන්දු, ජේ.නි. පියතුමා