27 April, 2024

Blog

එක්සත් ජාතික පක්ෂයේ විස්මිත ස්වයං-තෘප්තිය සහ ආණ්ඩුවේ කටයුතු ගැන සිරිසේනගේ නරුම නොතැකීම

රසික ජයකොඩි

රසික ජයකොඩි

මේ මාසයේ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ස්වකීය නියෝජිත පිරිස වශයෙන් ජනාධිපති සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් රැුගෙන යාමෙන් එක්සත් ජාතික පක්ෂය වෙත නිකුත් කළ පණිවිඩය ප‍්‍රබල ය. බදු ගෙවන්නන්ගේ වියදමින් ඒ සංචාරය තුළ ජොලියක් ගත් පිරිස වුණේ, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම, සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල, ලක්ෂ්මන් පෙරේරා, අංගජන් රාමනාදන් සහ ශ‍්‍රියානී විජේවික‍්‍රම යන පුද්ගලයන් ය.

ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාව මගින් එක්සත් ජාතික පක්ෂයට ඔහු අඟවා සිටියේ, පසුගිය ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීමට තමා ගත් තීරණය ගැන තවමත් තමා පසුතැවෙන්නේ නැති බව ය. එසේම, පසුගිය දෙසැම්බරයේ ඔහු විසින්ම පත්කරන ලද ඇමති මණ්ඩලය තමන් ගණන් නොගන්නා බවත් ඔහු මේ මගින් පෙන්වා සිටියේය. එක්සත් ජාතික පක්ෂය කෙරෙහි මෙතරම් අවඥාවෙන් ජනාධිපතිවරයා හැසිරීම ගැන ඔහුට දොස් කිව හැකි ද? කොහෙත්ම නැත. ඇත්තෙන්ම, මීට මාසයකට පමණ පෙර රනිල් වික‍්‍රමසිංහ නැවත අගමැති ධුරයේ පිහිටුවීමෙන් සහ ඔහුගේ ආණ්ඩුව නැවත ස්ථාපිත කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය හැසිරුණු අවස්ථාවාදී සහ උපයෝගීතාවාදී ආකාරය, මේ සැලකිල්ල සමග අගේට පෑහේ.

2018 දෙසැම්බර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අගමැති වශයෙන් දිව්රුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකයන් ඉදිරියෙන් තබාගෙන සිරිසේන කළ දෙහි කැපිල්ල ගැන එක්සත් ජාතික පක්ෂය කටක් හෙල්ලූවේ නැත. පසුගිය මාසයේ ඒ මහා දේශපාලනික කුණාටුව කාලයේ සිංහ ස්‍යොවෙන් කතා කළ බොහෝ නායකයන් ජනාධිපතිවරයාගේ ඒ අසංවර දේශනය හැඳින්නුවේ ‘පුංචි පහේ විවේචනයක්’ වශයෙනි. මේ නින්දිත ක‍්‍රියාවේදී ජනාධිපතිවරයා සමග සාංගමක සිටි සජිත් පේ‍්‍රමදාස, ‘විශිෂ්ඨ සාම දූතයෙකු’ වශයෙන් මේ පිරිස හැඳින්නූහ. දින 51 දේශපාලන කුණාටුව මැද්දේ සිරිසේනට ගුරුහරුකම් දුන්නේ පේ‍්‍රමදාසගේම ‘රූකඩ හාම්පුතුන්’ බව මේ පිරිසට අමතක විය.

ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපයෙන් පසු නෛතික ආණ්ඩුව යළි ස්ථාපිත කර ගැනීමේ අරගලය තුළ එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් පොරොන්දු වූ එක දෙයක් තිබුණි. එනම්, ජනාධිපති සිරිසේන සහ ඔහුගේ කුමන්ත‍්‍රණ සහායකයන් සම්බන්ධයෙන් තමන් බලයට පත් සැණින් පියවරක් ගන්නා බව ය. සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවලියටත්, නීති විරෝධී ආණ්ඩුවටත් සහාය දුන් ‘කළු මාධ්‍ය’ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙසත් වීරයෝ එදා ඉල්ලා සිටියහ.

එසේ තිබියදී, වික‍්‍රමසිංහ අගමැති ධුරයේ නැවත දිව්රුම් දෙන දවසේම, ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහස් නොකරන බව සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශයට පත්කිරීම හරිම සරදම්කාරී ය. මේ ප‍්‍රකාශයෙන් ප්‍රේමදාස කෙළේ, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී සහ ඒකාධිපති හැසිරීමට එරෙහිව වීදි බට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල අපේක්ෂා පාගා දැමීමයි. එපමණක් ද නොව, තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක්, පසුගිය කාලයේ රට ඉදිරියේ දිග හැරුණු ඒ ‘කළු මාධ්‍ය’ කල්ක‍්‍රියාව විළිලැජ්ජාවක් නැතිව ආරක්ෂා කළහ.

ලග්ගල පැවති ජනවාරි 8 විප්ලවයේ හතරවැනි සංවත්සරය සැමරීම සඳහා ජනාධිපති සිරිසේන අගමැතිවරයාව එක්කරගෙන ගියේ නැත. කෙසේ වෙතත්, ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාදාමයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කොට සිටි ජනාධිපති සිරිසේන ජනවාරි 8 විප්ලවය ඉතා නිහීන ආකාරයකින් ඒ වන විටත් ආපස්සට හරවා තිබුණි. ඒ සංචාරයට අගමැතිවරයාව සහභාගී කර නොගැනීම ගැන විරෝධය දක්වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂ නායකකාරකාදීහූ සජිත් පේ‍්‍රමදාසත් ඉස්සරහින් තබාගෙන ඒ විකාර සංවත්සර සැමරුමට සහභාගී වූහ.

ඊළඟට, කැබිනට් ඇමතිවරුන් විසින් නම් කරනු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති සිරිසේන කමිටුවක් පත්කෙළේය. ජනාධිපති කාර්යාලය කියන පරිදි මෙවැනි කමිටුවක් පත්කිරීමේ අරමුණ වුණේ, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වශයෙන් පත්වීම් ලබන පුද්ගලයන්, අවම අධ්‍යාපනික සුදුසුකම් සහිත, එම තනතුරුවලට ඔබින වෙනත් හැකියාවන් සහිත පුද්ගලයන් වන බවට වගබලා ගැනීමයි. මේ කාරණය පසුපස ඇති ජනාධිපතිවරයාගේ අරමුණ පිළිබඳ බරපතල අඩමානයක් ඇතත්, එසේ උසස් නිලතලවලට පත්කරන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීම නරකක් නැත.

කෙසේ වෙතත්, මේ කමිටුව පත්කිරීමෙන් දින කිහිපයකට පසු, සිරිසේන කලින් කියා සිටි ප‍්‍රමිතිය ඔහුම උල්ලංඝණය කෙළේය. ඒ, හිටපු ආණ්ඩුකාරවරුන් වන නිලූකා ඒකනායක සහ රෙජිනෝල්ඞ් කුරේ රාජ්‍ය ආයතන දෙකක ප‍්‍රධානීන් වශයෙන් පත්කිරීමෙනි. රෙජිනෝල්ඞ් කුරේ ජාතික මැණික් සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ද, නිලූකා ඒකනායක රාජ්‍ය දැව සංස්ථාවේ ප‍්‍රධානියා වශයෙන් ද පත්කරන ලදි.

රාජ්‍ය ආයතනවලට පත්කරන ප‍්‍රධානීන් විශ්ව විද්‍යාල උපාධිධාරීන් විය යුතු බවත්, පරිපාලන සහ කළමනාකරණ අංශයේ පළපුරුදු පුද්ගලයන් විය යුතු බවත්, ජනාධිපතිවරයාගේ ලේකම්වරයා නිකුත් කළ චක‍්‍රලේඛයේ පැහැදිළිව සඳහන්ව තිබුණි. මේ දෙන්නාගෙන් එක් කෙනෙකුටවත් ඒ සුදුසුකම් නොතිබුණි. රෙජිනෝල්ඞ් කුරේ දේශපාලඥයෙකු වීමට අමතරව වෘත්තියෙන් ගුරුවරයෙකි. නිලූකා ඒකනායක ජ්‍යොතිෂඥවරියකි.

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා ඇති කළ කමිටුවේ නිර්ණායකවලට පිටින් යමින්, ඔහු විසින්ම කියන ලද ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනාධිපතිවරයා මෙසේ නුසුදුසු ආයතන ප‍්‍රධානීන් පත්කිරීම ගැන එක්සත් ජාතික පක්ෂය කිසිවක් නොකීවේය. එක්සත් ජාතික පක්ෂයේ කිසි නායකයෙකු ජනාධිපතිවරයාගේ මේ අවකල් ක‍්‍රියාව ගැන වචනයක් නොකීවේ ඔහුගේ හිත නොරිදා සිටීම සඳහා විය යුතුය. කැබිනට් මණ්ඩලය මෙහෙයවන පුද්ගලයා වශයෙන් අගමැතිවරයා ද ඒ ගැන කටක් ඇරියේ නැත. පසුගිය 21 වැනි දා ජනාධිපතිවරයා නිල උත්සව කිහිපයක් සඳහා මුලතිව් දිස්ත‍්‍රික්කයට ගිය අවස්ථාවේ, උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වන අගමැතිවරයාට එහි පැමිණීමට ආරාධනා කෙළේ නැත. ජනාධිපතිවරයා එහිදී සහභාගී වු බොහෝ උත්සව, එම පළාතේ සංවර්ධනයට අදාළ ඒවා ය. එවැනි අවස්ථාවකින් තමන්ව ඉවත් කර තැබීම ගැන අගමැතිවරයාවත්, ආණ්ඩුවේ වෙනත් ඇමතිවරයෙකුවත් කටක් හෙල්ලූවේ නැතිවා පමණක් නොව, සමහර ඇමතිවරු ජනාධිපතිවරයා සමග ඒ සංචාරයට භජනේ දාගෙන ගියහ.

පිලිපීන සංචාරයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් කැඳවාගෙන යාම ඒ ක‍්‍රියාදාමයේ මෑතකාලීන සිද්ධියයි. එහෙත් සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු මුනිවත රැුක්කෝය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කර ගැනීම සඳහා මීට මාසයකට පෙර වීදි බට, සමාජයීය වශයෙන් සහ දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන්ගේ ඒ අරගලය ගැන දැන් තමන්ට වගක් නැති වග එක්සත් ජාතික පක්ෂය මේ වන විට ඕනෑවටත් වඩා ප‍්‍රදර්ශනය කොට තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් සම්බන්ධයෙන් ගත් විට, තමන්ගෙන් අහිමි වූ ඇමතිකම් තමන්ට යළි ලැබුණු සැණින් අර කී ප‍්‍රජාන්ත‍්‍රවාදී අරගලය නිමාවට පත්ව ඇතැයි ඔවුන් සිතන සෙයකි.

මේ බොළඳ ස්වයං-තෘප්තිය සඳහා දවසක තමන්ට දරන්ට වන වියදම ගැන මේ නායකයන් දැන ගන්නේ පෙරහැරත් ගියාට පසුව ය.

*2019 ජනවාරි 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ UNP’s Astounding Complacency & Sirisena’s Callous Disregard For Government Functions නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.