26 April, 2024

Blog

ජවිපෙ හතුරෙක් වුයේ අද විතරද ?

රසල් බණ්ඩාරවත්ත​ –

ජවිපෙ දේශපාලන ගමන ආරම්භ වූ 1965 මැයි 14 වන දින සිට මේ සටහන ලියන මේ මොහොත දක්වාම මේ රටේ ජනතාවට එරෙහි වූ සියලුම දේශපාලන පක්ෂවල අංක එකේ හතුරා බව අප දනිමු. ජවිපෙ මේ බිමේ ආරම්භ වීමත් සමගම වඩාත් ත්‍රාසයටත් භීතියටත් පත් වූයේ ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් රැවටිල්ලෙන් වසර හැත්තෑවක් මේ රට විනාශ කල අධම දේශපාලන කල්ලියයි.

1970 වන විට රෝහණ විජේවීර සහෝදරයාගේ මග පෙන්වීමෙන් මේ රටේ ගම් නියංගම් සිසාරා නවමු බලාපොරොත්තුවෙන් පිරිපුන් ජවිපෙ දේශපාලනය ගලා ගියේය. එවකට ධනපති පන්තියේ අගරැජින වූ සිරිමාගේ සාරි පොටේ එල්ලුණු මේ රටේ වමේ කියාගත් පිරිස විසින් ජවිපෙට පළමු මඩ පහර එල්ල කළේය. එනම් මෙය නම් සි.අයි.ඒ. කෙමනක් බවත් වහාම මර්ධනය කල යුතු බවත් ඔවුන් එක හඬින් කිවේය. එතැන් සිට එල්ල වූ මර්ධනය අවසන් වුයේ 71 ජනතා සටනත් සමග තරුණ තරුණියන් 25.000 කගේ පමණ ජීවිත මේ රටේ ගංගා ඇලදොළ වල පාකර හරිමිනි. ඔවුන් සියල්ලෝම සටන් වැදුනේ අද මෙන් අරක්කු වීදුරුවට, බත් පාර්සලයට නොව, සැබෑ අරමුණුවලින් පිරි සටන් මාවතකදීය. මේ රට විනාශකළ ධනපති පන්තියට එරෙහිව හඬ නැගීමේ වරදට පළමු මර්ධනය එල්ල වුයේ එසේය.

ඉන් පසුව උදා වූ එජාප මිනීමරු පාලනයේ මුල් අවධියේදී ශ්‍රීලනිප යනු ලිබ්බොක්කේ සැඟවුණු පක්ෂයකි. එජාපය විසින් සුපුරුදු මැර දේශපාලනය දසත පතුරවද්දී අද සිංහයන් සේ මොරදෙන කිසිවෙකු මේ ලාංකීය භුමියේ කොතැනක හෝ හමු නොවුනි. 1982 ජනපතිවරණයෙන් පසුව ශ්‍රීලනිප දේශපාලනයෙන් හාන්සි වූ අතර, ජේ.ආර්. ප්‍රමුඛ එජාපයට එරෙහිව සටන් වැදුනේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. අද මෙන් එදාද ව්‍යවස්ථා විරෝධීව ජේ.ආර්. තම විධායක බලතල හිතුවක්කාරී ලෙස මානන අවස්ථාවේදී , රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ දෑත් බැඳ නිසොල්මනේ බලා නොසිටියේය. එම සිදුවීමට පාදක වූ කාරණය වුයේ නියමිත මහමැතිවරණය 1982 නොපවත්වා ඊනියා ජනමත විචාරණයකින් ද්‍රෝහී එජාපය බලය පවත්වාගෙන යාමයි. එයට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් එම මැතිවරණය අවලංගු කරන ලෙස රෝහණ විජේවීර සහෝදරයා ඉල්ලා සිටියේය. මේ රට විපතට පත් වන කුමන අහෝ අවස්ථාවකදී පක්ෂයට කෙතරම් අවසා සහගත තත්වයක් මැදහෝ ජනතාවගේ නිදහසත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙනුත්, ද්‍රෝහී පාලකයන්ගෙන් රට ගලවා ගැනීම වෙනුවෙනුත් ජවිපෙ තීන්දු ගැනීමට දෙවරක් සිතන්නේ නැත. එහෙත් ඒ සෑම අවස්තාවකදීම හෙන ගෙඩි මෙන් ප්‍රහාරයන්ද, ඉවසිය නොහැකි තරම් අවලාදයන්ටද අප පක්ෂයක් ලෙස මුහුණු දුන්නේය. ජේ.ආර්. ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිවීමේ වරදට අප පක්ෂය තහනම් කර නොනැවතී මේ රටේ සුජාත දුදරුවන් 60,000ගේ පමණ ලේ උරා බොන ලදී. පක්ෂය තහනම් කල අවධියේදී පාලක මිනීමරුවන් විසින් ජවිපෙට එල්ල කල චෝදනා වුයේ රෝහණ විජේවීර දකුණු ඉන්දියාවේ කොටි කඳවුරක සිටින බවය. එසේ චෝදනා නැගු එජාපයට අමතක වුයේ පක්ෂය තහනම් කිරීමට නැගු චෝදනාව වන 83 කළු ජූලියේදී මේ රටේ දහස් ගණනක් දමිල ජනතාව මරා ඔවුන්ගේ දේපල සහමුලින්ම ගිනිතබා විනාශ කල සිදුවීම ජවිපෙට පටවා අත සෝදාගත් නිර්ලජ්ජී බවයි. ජවිපෙ මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීම වෙනුවෙන් ඔවුන්ට ගත හැකි සියලු උත්සාහයන් මේවන විට රැගෙන අවසන්ය. එහෙත් ජවිපෙ ජීවමාන, වඩාත් අවධියෙන් සිටින දේශපාලන ප්‍රවාහය බව මතක් වන වාරයක් පාසා ඔවුන් වියරුවෙන් මඩ ප්‍රහාරය තීව්‍ර කරන ආකාරයක් දැකිය හැක .

1989 මහා සංහාරයෙන් පසුව ඉතා අසීරුවෙන් ගොඩනැගු ජවිපෙ, වඩාත් සක්‍රියව නැවත වටයකින් මේ රටේ දේශපාලන බිමට අවතීර්ණ වන්නේ 1994 දී හම්බන්තොටින් මන්ත්‍රීධුරයක් ලබා දෙමිනි. එතැන් සිට ආ ගමන් මගද විල්ලුද අතුරා තිබුනේ නැත. බිඳ වැටීම් ජයග්‍රහණයන් මැදින් ආ ගමනේදී රට වෙනුවෙන් යම් නිශ්චිත අවස්තාවන් හිදී පාලක පන්තිය සමග සන්ධාන ගත වීමට පවා සිදුවුයේ රටක් විනාශය කරා යන ගමන වලක්වාලීමටය. ජවිපෙ පක්ෂයක් ලෙස අවංකව කටයුතු කලද, සහය ලබාගත් පිරිස් මේ රට තව තවත් හප කර දැමිය. කෙසේ වුවද, මහින්ද රාජපක්ෂ පළමු වරට ජනපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේදී ශ්‍රීලනිප ජේෂ්ඨයින් සියල්ලෝම ඔහුගෙන් ඈත් විය. අනුර බණ්ඩාරනායක වැන්නන් ප්‍රසිද්ධියේම මහින්ද විරෝධී විය. අන්න ඒ තීරණාත්මක මොහොතේ මහන්ද ගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රියව මැදිහත් වුයේ අද ඔවුන් විසින් රතු අලියා යැයි අවලාද නගන ජවිපෙ පමණි. මහින්ද රාජපක්ෂ දිනවීමට හේතු වුයේ රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රභාකරන්ට රට පාවාදීමේ කුමන්ත්‍රණයත් රට විකුණා රට කිරීමේ කුජිත දේශපාලනයත් එක මිටට ගෙන පරාජය කිරීමට වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවකදීය. මහින්ද රාජපක්ෂ නමැති දේශප්‍රේමියාගේ හිවල් හම විවර වීමත් සමගම මහින්ද විසින් ජවිපෙ කැප කල අවංක වැඩ කොටසද පල්වලකට ඇද දමන ලදී. එතැන් සිට මේ රටේ සිදු වූ මජර දේශපාලනය පිළිබඳව ලිපි දස දහස් ගණනක් ලියා ඇති අප, නැවත පුන පුනා කීමට අවැසි නොවේ. කිසි දිනක පරාජය කිරීමට නොහැකි යයි පාරම්භාන ලද මහින්ද රාජපක්ෂ, 2015 දී මැදමුලන ජනේලයක එල්ලීමට තරම් 2015 දී ජවිපෙ රටවටා යමින් එල්ලකළ මතවාදී ප්‍රහාරය බලවත් විය. එදා ජනපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සිරිසේන ජයගත්තේ 62 ලක්ෂ ජනතාවකගේ ආශිර්වාදයෙනි. එවැනි සුවිසල් ජනමතයක් ගොඩනැගීමට වඩාත් සක්‍රිය දායකත්වයක් සපයන ලද්දේ එදා මෙන්ම අදටත් රට වෙනුවෙන් අවංකව මැදිහත් වීමක් කරන ජවිපෙ විසිනි. නමුත් රටේ ජනතාව පාර්ථනා කල අරමුණු වෙනුවට සිරිසේන මේ රට මහදවල් පාවාදීමක් සිදු කලේ ඉතිහාස සිදුවීම් යලි යලිත් මතකයට නංවමිනි.

මේ ඉතිහාසගත සිදුවීම් පෙළ දිගේ ඇදී ආ අප, අද ලාංකීය මජර දේශපාලනයේ උච්ඡතම​ අවස්ථාවට පැමිණ ඇත. අද රටක් නැත. පාලනයක් නැත. පාර්ලිමේතුව රස්තියාදුකාරයින්ගේ පාරාදීසයකි. ඉදිරි ආර්ථික වැඩපිළිවෙලක් නැත. තව මාස දෙකකින් පමණන් මේ රටේ ජනතාවට තම වැටුප හෝ ගෙවා ගැනීමට නොහැකි තාවයක් උදා වී ඇත. විදේශ ණය මතින් යැපුණු ජාතියක් ලෙස 2019 වසරේ සිට අපට ණය ආධාරද අහෝසි වේ. බිලියන 20000 කට ආසන්න ණය කන්ද ගෙවා දැමීමට නොහැකි වුවහොත්, රොබර්ට් මුගාබේ ගේ සිම්බාබ්වේ රට මෙන් අපද අසාදු ලේඛනයට ඇතුලත්වනු ඇත. මේ රටේ සංචාරක ක්ෂේස්ත්‍ර බිඳ වැටුණි. රට ලෝකයේ අපකිරීතියට උපහාසයට ලක් විය. මේ සියලු ව්‍යසනයන් රටක් ලෙස මුහුණ දීමට ආසන්න මොහොතේදී සිරිසේන හා මහින්ද එක්ව තම ඉදිරි දේශපාලන බල අරමුණු වෙනුවෙන් රට දෙවැනි කොට වෙනම න්‍යායපත්‍රයක් සකසන ලදී. එහි පළමු වටය ඉදිරිපත් වීමත් සමගම ජවිපෙ එක හෙලාම ප්‍රහාරය ආරම්භ කල අතර, අද වන විට ඔවුන් ගෙනා ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී බල අරමුණු දෙදරා ගොස් ඇත. මෙවන් අවස්තාවකදී ජවිපෙ කර හැර ඉවත බලාගත්තා නම් එජාප සමග එක්ව මේ කල්ලි දෙක සියලු දේ සම්මතකර ඩීල් දේශපාලනය දිගටම ගෙන යනු ඇත. ජවිපෙ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වැලක්වීමට උත්සහ ගන්නා විට එජාපයට පුට්ටු කිරීමට තරම් ජඩ දේශපාලනයක විමල් වීරවංශ වැනි ද්‍රෝහීන් කටයුතු කරනු ලබන්නේ උමතුවෙනි. මෙම කල්ලි දෙකේ ප්‍රධාන හතුරාවන ජවිපෙට එරෙහිව බයිනෙත්තුවෙන් මර්ධනය කැඳවීමට ශක්තියක් නොමැති කමින්, තමන්ගේ කළු සල්ලි මතින් ඉදිවූ මාධ්‍ය ව්‍යාපාර හරහා දැවැන්ත අවලාද රැල්ලක් ජවිපෙට එල්ලකරමින් සිටි. මුහුණු පොත තුලද උදෑසන අවදි වූ මොහොතේ සිට රැය පහන් වන තුරු සොච්චම් මුදලකට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සට්ටඹිකරණයේ යෙදෙන කිසිවෙකු එජාපයට අබමල් රේණුවකින් හෝ දොස් නැගීමක් නොකරයි. ඔවුන්ගේ පරම සතුරා වන්නේ පරම චේතනාවෙන් මෙරටේ ද්‍රෝහීන්ට එරෙහිව සටන් වදින ජවිපෙ පමණි. මඩවලින් ජවිපෙ පැරදවීමට සිතා සිටින කැකිරනි, නුඹලාට තව ජවිපෙන් ඉගනීමට බොහෝ දේ ඇති බව පමණක් අප මතක් කරන්නෙමු.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    3

    කව්රැ මොන කතා කිව්වත් ජනතාව කැමති unp, slf, සහ මහින්දගේ පක්ෂයට.ජවිපෙට සිදුවෙන්නෙ මේ තුනෙන් එකකට වරින්වර පෙර කලා මෙන්(විජේවීරයන්ගෙන් පසු)ගොට්ට ඇල්ලීම පමණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.