25 November, 2020

Blog

බැඳුම්කරය අතරමං වේද? මහා මාර්ග කොන්ත්‍රාත්තුවත් කොල්ලයකට යටවෙලාද?

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

පසුගිය බදාදා බැඳුම්කර ගණුදෙනුවේ අක‍්‍රමිකතාවන් විමර්ශනය හා පරීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියට සාක්ෂි දීම සඳහා එම පරීක්ෂණයට භාජනය වී සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම හා එයට අනුබද්ධ සමාගම් වෙනුවෙන් එහි අයිතිකරුවෙකු වන අර්ජුන ඇලෝසියස් මහතා ඉදිරිපත් නොවන බව නීතිඥවරු මගින් දන්වන ලදි. ඒ අනුව එම කොමිසමේ සාමාජික විනිසුරුවරුන් දෙදෙනො සහ එහි තුන්වන සාමාජික කේ. වේලූපිල්ලේ මහතා නියෝගයක් මගින් එම ඉල්ලීමට අනුමැතිය ලබා දී ඇත. මෙම කාරණය බොහෝ දෙනෙකු තුල කිසියම් ආකාරයක ව්‍යාකූලත්වයක් ඇති කිරීමට හේතුවක් වී තිබෙන බව සිදුවෙමින් පවතින කථාබහ සහ සංවාද අනුව පැහැදිලි වේ. එමනිසා තත්ත්වාකාරයෙන් කරුණු පැහැදිලි කිරීමක් කාලෝචිත වේ යයි සිතමු.

ජනාධිපතිතුමන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ මෙසේද සඳහන් වී ඇත.

‘‘මෙහි උපලේඛනයෙහි සඳහන් කාරණයට අදාලව සිදු කෙරුණු අක‍්‍රමිකතා මාගේ අවධානයට යොමු කරනු ලැබ ඇති හෙයින්ද;

මෙම අධිකාර​ පත්‍රය​ යටතේ මෙම විමර්ෂණය හා පරීක්ෂණය පවත්වනුයේ …… සිය ව්‍යවස්ථාපිත හා නෛතික වගකීම් ඉටුකරලීමේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාල බලධාරීන් විසින් ගනු ලැබ ඇති හෝ ගනු ලබන කිසියම්

ක‍්‍රියා මාර්ගයනට අමතරව හා ඒවාට​ අගතියක් සිදු නොවන පරිදි බැව් සැලකිල්ලට ගනිමින්ද;

…….. අක‍්‍රමිකතා සත්‍ය බවට හෙලි වුවහොත් උපලේඛනයෙහි සඳහන් කෙරුණ කාරණයට අදාලව සිදු කෙරෙන අක‍්‍රමිකතාවන්ට එලෙසින් සම්බන්ධ වී ඇතැයි කියනු ලබන තැනැත්තන් හඳුනා ගැනීමක් අවශ්‍ය වී ඇති හෙයින්ද,

තවද ඉත කී උපලේඛනයේ සඳහන් කෙරුණු එකී කාරණයට අදාලව සිදු කෙරුන එකී අක‍්‍රමිකතා පිළිබඳ වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇති හෙයින්ද, ඒ සඳහා සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කෙරන බව…….”

උපලේඛනයේ වෙනත් කරුණු අතර ප‍්‍රධාන වශයෙන් සඳහන් වී ඇත්තේ:

‘‘2015 පෙබරවාරි මස 01 දින සිට 2016 මාර්තු මස 31 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව’’

මෙම ගැසට් පත්‍රයයෙහි සඳහන් වන ජනාධිපති නියෝගයට අදාල වන වැදගත් කරුණු කීපයක් සලකා බැලීම අවශ්‍ය වේ.

1. උපලේඛණයේ දක්වා ඇති බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතා සිදු වී ඇති බව,

2. එම අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති හෝ සිදු කිරීමට යන නෛතික හා ව්‍යවස්ථානුකූල ක‍්‍රියා මාර්ගයනට මෙම කොමිෂන් සභාවේ කටයුතු වලින් බාධාවක් නොමැති බව,

3. අක‍්‍රමිකතාවන්ට සම්බන්ධවූවන් හා වගකිවයුතු තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇති බව.

එමනිසා මෙම ජනාධිපති කොමිසම විමර්ශනය හා පරීක්ෂණ කරනු ලබන්නේ දැනටමත් සිදුවී ඇති බවට පිළිගත් අක‍්‍රමිකතාවන් පිළිබඳ බව පැහැදිලිය. එමෙන්ම එම විමර්ශන හේතුවෙන් වෙනත් ක‍්‍රියාමාර්ග නවතා දැමීම හෝ අත්හිටුවීම අවශ්‍ය නොවන බවත් පැහැදිලිය. එම අක‍්‍රමිකතාවයන්ට මොනයම් හෝ ආකාරයකින් සම්බන්ධවූවන් හා වගකිවයුත්තන් හඳුනාගත යුතු බවද දක්වා ඇත.

දැනට මෙම අක‍්‍රමිකතාවය පිළිබඳ ජනාධිපති කොමිසම සිදු කරගෙන යමින් තිබෙන ක‍්‍රියාවලියට අතිරේකව රාජ්‍ය දෙපාර්තමේන්තු මට්ටමින් හෝ ශ‍්‍රී ලංකා මහ බැංකු මට්ටමින් කිසියම් නෛතික ක‍්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවක් නම් වාර්තා වන්නේ නැත. එය එසේ වෙනස් විය යුතුද? අර්ථසාධක අරමුදල භාර ඇමතිවරයා තමාගේ ව්‍යවස්ථාපිත බලය යටතේ පවතින අරමුදල සම්බන්ධයෙන් සිදුවී ඇති අක‍්‍රමිකතාවයන් පිළිබඳව කිසිම විභාගයක් හෝ පරීක්ෂණයක් සිදු කරන බවක් වාර්තා නොවේ. තවත් පැත්තකින් අග‍්‍රාමාත්‍යවරයාට අයත් වන අමාත්‍යංශයක් යටතට පත්වී තිබෙන ශ‍්‍රී ලංකා මහ බැංකුවද මෙම කාරණය පිළිබඳ විනය ක‍්‍රියාමාර්ගවලට හෝ නෛතික ක‍්‍රියාවලට අවතීර්ණ වී ඇති බවක්ද නොපෙනේ. ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වන අගමැති වගකිවයුතු නොවන්නේද?

මෙබඳු තත්ත්වයක් පවතිද්දී ජනාධිපති කොමිෂන් සභාව සාක්ෂි හා තොරතුරු මගින් සිය විමර්ශන කටයුතු ඉදිරියටම ගෙන යමින් සිටී. අණ පණත් යටතේ පැවරී ඇති බලතල වලට අනුව මෙම විමර්ශන කොමිෂන් සභාව සියලු පරික්ෂණ අවසානයේ දී සිය නිර්දේශ අඩංගු වාර්තාවක් නිකුත් කිරීමට නියමිතය. එම කටයුත්ත ඉතාමත් අපක්ෂපාතී අන්දමටත්, සාමාන්‍ය නීතියේ ප‍්‍රතිපාදන වලට අනුකුලවත් මුළුමනින්ම අධිකරණ ක‍්‍රියාවලියක නෛතික රාමුව තුල සිදු කිරීමටත් කොමිසම බැඳී ඇත. එනිසාම සාක්ෂි ආඥ පණතේ විධිවිධාන වලට යටත්ව සාක්ෂි විභාග කිරීම කොමිසමේ වගකීමක් වී ඇත. බලවත් සැකයට තුඩුදෙන ආකාරයටත්, කිසියම් විධියකට ඉහලින් ලැබෙන තොරතුරු පදනම් කරගෙන ගණුදෙනු පවත්වා ඇති බවටත් දැනට සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත. පර්පෙචුවල් ටෙ‍්‍රසරිස් නමැති සමාගමේ අයිතිකරුවෙක් වන අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිඥයින් සාක්ෂි ආඥ පණතින් ලැබී ඇති මුක්තිය උපයෝගී කරගනිමින් කොමිසම ඉදිරියේ සාක්ෂි දීමෙන් සිය සේවා දායකයා නිදහස් කරගෙන ඇත. සත්‍ය වශයෙන්ම ඉදිරි දිනයකදී කොමිසම විසින් කරනු ලබන නිර්දේශ වලට අනුකූලව අපරාධ හෝ වෙනත් නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමේදී ස්වභාවික යුක්තියට අනුවම කටයුතු කරමින් කොමිසම සිය නිර්දේශ ලබා දී තිබීම අතිශයින් වැදගත් වනු ඇත. එබඳ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අර්ජුන ඇලෝසියස් මතාගේ සාක්ෂි ලබා ගැනීමට පෙළඹවීමක් නොකිරීමට කොමිසම ක‍්‍රියාකර ඇත්තේ එමනිසා බව පෙනී යයි.

කෙසේ වුවද කොමිසමේ විභාගය අවසානයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් හෙළිදරව් වී ඇති කරුණු පාදක කර ගනිමින් නීති ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමේ බලය මෙම කොමිසන් සභා පණතට අනුව ඉතා පැහැදිලිව ඇටර්නි ජනරාල් වරයාට (නීතිපතිතුමන්ට) ලැබේ.
සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා තමන්ට එරෙහිව ගොඩනැගී ඇති අවාසිදායක තත්ත්වය නැති නොවන බැවින්ද, සාක්ෂි දීමට ඉදිරිපත් නොවීමෙන්ම තමන් විසින්ම දැනටමත් තමන් පිළිබඳව අවිනිශ්චිත බවක් ප‍්‍රදර්ශනය කරන බැවින්ද, අවසාන යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේදී එම කටයුතු ජන සමාජයේ ප‍්‍රශංසාවට භාජනය වන ආකාරයට සිදුවන බවට සැකයකින් තොරව බලාපොරොත්තු තැබිය හැක. අර්ජුන ඇලෝසියස්ගේ සාක්ෂි නොදීම මගින් සිද්ධිය පිටුපස සිටින තවමත් හෙළිදරව් නොවූ ඊනියා සුදනන්ගේ නම් හෙලිදරව් වීම තාවකාලිකව යටපත් විය හැකි වුවද ජනතා අධිකරණය ඉදිරියේ ඔවුනට මේ වන විටත් විනිශ්චයක් ලැබී හමාරය.

ජනතා තීන්දුව ප‍්‍රකාශ කරන දිනයේදී හැංගි හැංගි ඔවුන් නැටූ නැටුම් පිළිබඳව ජනතාව කොතරම් දුරට නිවැරදිව තේරුම්ගෙන සිටියාද යන්න මෙම තිරයෙන් පිටුපස කල්ලියට අවබෝධ වනු ඇත.

මහා මාර්ග කොන්ත්‍රාත්තුවත් කොල්ලයකට යටවෙලාද?

මේ දිනවල සිදුවන්නට ගිය තවත් මහා පරිමාණ කොල්ලයක් පිළිබඳව තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් වෙමින් පවතී. අරුමයකට මෙන් මෙම සිද්ධියද නිරාවරණය වෙමින් පවතින්නේ බැඳුම්කර මගඩිය හෙළිදරව් වූ ආකාරයටමය. පළමු බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ 2015 පෙබරවාරි 27 වන දින සවස් වන විට සමස්ත මූල්‍ය ක්ෂේත‍්‍රය පුරාම මගඩියේ සුලමුල පැතිර ගියේ ය. පළමු දවසේම එම මගඩියේ අසාමාන්‍ය වාසි ලැබුණේ මහ බැංකුවේ අධිපති අර්ජුන මහෙන්ද්‍රන් ගේ බෑණා වූ අර්ජුන ඇලෝසියස් මහතාට අයත් සමාගමකට බව ප‍්‍රසිද්ධ විය. දින කීපයක් ගත වන විට අදාල ගණුදෙනුව සිදුවූ ආකාරය පිළිබඳව වාර්තා, තොරතුරු හා සංඛ්‍යා ලේඛන හෙළිදරව් විය. සමාජය පුරා පැතිර ගිය මහා දූෂිත ගණුදෙනුවක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැන නැඟුන ප‍්‍රශ්නවලට අදාලව අගමැතිවරයා 2015 මාර්තු 17 වන දින ප‍්‍රකාශයක් කළේය. එදා මොනම අක‍්‍රමිකතාවයක්වත් සිදුවූ බවට කිසිම පිළිගැනීමක් සිදු නොවූ අතර, එසේ අක‍්‍රමිකතාවයන් සිදුකල බවට චෝදනා නැගූ පුද්ගලයින්ට නිර්දය ලෙසින් පහර ගැසීමට භාජනය වීමටද සිදුවිය. වැඩිදුර විභාග කිරීම සඳහා තමන්ගේ පක්ෂයේ නීතිඥයින් තුන්දෙනෙක් පත්කල බව නිවේදනය කරන අතරම කිසිම අක‍්‍රමිකතාවයක් සිදුවී නැති බවද අගමැතිවරයා ඒ සමගම ප‍්‍රකාශකර සිටියේය. එහෙත් අද කොමිසන් සභාව ඉදිරියේ දිග හැරෙමින් පවතින තොරතුරු අනුව එදා රජය වෙනුවෙන් අගමැතිවරයා දැරූ ස්ථාවරය කොතරම් සාවද්‍ය දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ඉතාමත් හාස්‍යජනක ලෙසින් මහනුවර මාධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදීද අනුගමනය කර තිබෙන අවිධිමත් හා අක‍්‍රමික ක‍්‍රියාදාමය පිළිබඳව පැන නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් නිකුත් කළේද කලින් වතාවේදී කළ විදියටමය. මාධ්‍ය ආයතනවලට නිර්දය ලෙස බැණ වැදීමද, අනුගමනය කළ සාවද්‍ය ක‍්‍රියා කලාපය පිළිබඳ අර්ධ සත්‍යයන් ප‍්‍රකාශ කිරීමද, ලාමක තර්ක මගින් ජනතා බුද්ධියට සහ පාර්ලිමේන්තුවට නිගා වන ආකාරයේ සංඛ්‍යා ලේඛන දැක්වීමද මේ අවස්ථාවේත් සිදුවිය. රුපියල් බිලියන 25 ක් කේවල් කිරීමෙන් ඉතුරුකර ගත් බවට සඳහන් කිරීම විහිළුවක් බඳු විය. එහෙත් විවේචන එල්ල කළ පාර්ශවයන් සතුව තිබෙන ලිපි ලේඛන හා තොරතුරු අනුව මෙම මධ්‍යම මහා මාර්ග ව්‍යාපෘතියද දැවැන්ත මගඩියකට මුල පුරන ආකාරයට සැලසුම් කොට දියත් කිරීමට දැරූ ප‍්‍රයත්නයක් බව මාධ්‍ය තුළින් ඉදිරිපත් වී ඇති තොරතුරුවලින් පැහැදිලි වී ඇති අතර තවත් තොරතුරු අනාගතයේදී හෙළිදරව් වනු ඇත.

හතරවන ආර්ථික සංවර්ධන සැලැස්ම කොයිබටද?

රටේ ආර්ථික සංවර්ධනය සඳහා සකස් කොට ඉදිරිපත් කෙරුණ හතරවන යෝජනාව පසුගිය දිනවලදී ජන ගතවිය. අවුරුදු දෙකක කාල පරාසයක් තුලදී විවිධ වකවානු හා කාල පරිච්ඡේදයන් ආවරණය වන ආකාරයට සැලසුම් කළ සංවර්ධන යෝජනා මෙම වාර්තා තුළින් අපට දැක ගන්නට ලැබුනි. සමහර කරුණු එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ලෙස පෙනී ගිය අතර බොහොමයක් යෝජනා ජනතා බලාපොරොත්තුව ඇති කිරීම මුල් කරගත් හුදු වචන මාලා පමණක් බවද පෙනී ගියේය. 2025 දී සැමට රැුකියා, අතට සල්ලි යනාදී කියුම්වල කිසියම් හෝ හරයක් ගැබ්ව තිබේද යන්න ජනතාව විශ්වාස කිරීම සැක සහිතය.

ජනතාව මෙම තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, ඈත දිනකදී ලඟාවන බව කියන දෙව්ලොව ගැන උපේක්ෂාවෙන් බලා සිටින බවක් පෙනෙන්නට තිබේ. සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ආර්ථික සැලසුම් දෙස බලන විට ඒවා කොතරම් දුරකට නිශ්චිත ඉලක්ක දෙසට යොමුවී තිබේද යන වගත්, එම ඉලක්කයන් සංඛ්‍යාත්මක වශයෙන් පැහැදිලි ලෙසට ගණන් බලා ඉදිරිපත් කරන ඒවා බවද පෙනී යයි. තවද එම සැලසුම් ඉතාමත් දූරදර්ශීවත්, යථාවාදී ලෙසත්, සුක්ෂම ලෙසත් සෑම දෙනෙකුටම පිළිගත හැකි අයුරින් සකස්කර තිබෙන බවත් ඒවා දෙස බලන විට පැහැදිලි වේ. සිංගප්පූරු රජය ඉදිරිපත් කරන වාර්ෂික හා දීර්ඝකාලීන සැලසුම් අතිශයින් නිවැරදි ලෙසින් තක්සේරු කළ ජාතික ආදායම් ඉලක්ක සහිතව ඉදිරිපත් කරන බව අපට දැක ගැනීමට ලැබී ඇත.

රැුකී රක්ෂා දස ලක්ෂයක්, කිසිම එකඟත්වයක් ලැබී නැති වොක්ස් වැගන් පැක්ටේරියක්, අතේ පිච්චියක් වත් නැතිව මෙගා පොලිස් සංවර්ධනයක්, ඉල්ලුම්කරුවෙක් පවා ඉදිරිපත් වී නැති වටිනාකමකට විකිණීමට අදහස් කරගන්නා රාජ්‍ය දේපොලකට ලැබීමට අපේක්ෂා කරන මිල පාදක කරගත් මහා යෝජනා ක‍්‍රම වැනි බොහෝදුරට මනඃකල්පිත යෝජනා ක‍්‍රම ජාතික ආර්ථික සැලසුම් වශයෙන් භාර ගත නොහැක. එ්වා නිකම්ම නිකම් වැදගැම්මකට නැති දේශපාලන පොරොන්දු පමණකි. දියුණු රටවල් ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන සැලසුම්වල අඩංගු වන්නේ,

වරායකින් ලැබෙන ආදායම් ක‍්‍රමයෙන් වැඩිකර ගැනීම සඳහා වූ ඉලක්ක

ගුවන් තොටුපලකින් ලබාගත හැකි නිශ්චිත ආදායම

සංචාරක ව්‍යාපාරයෙන් ඒ ඒ සංචාරක කාල සීමාවන් තුලදී ලබාගත හැකි ආදායම

බලශක්ති ව්‍යාපෘති මගින් රජයට ඉතිරි කරගත හැකි වියදම් ප‍්‍රමාණය

ලාභ ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යාපාර හා බැංකු වැනි අංශවලින් නාස්තිය හා දූෂණය වලක්වා ගැනීමෙන් රජයට ඉතිරි කරගත හැකි නිශ්චිත මුදල් ප‍්‍රමාණය

දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ක‍්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ එම තත්ත්වයෙන් මුදවා ගැනීම හේතුවෙන් ඉතිරි කරගත හැකි මුදල් ප‍්‍රමාණය

නිසි ඵලදායී ආයෝජනයකට යටත් නොකිරීම නිසා වල් වැදී නාස්තියට පත්ව ඇති රජය සතු ඉඩම් සම්පත ඵලදායී ආයෝජනයට භාජනය කිරීමෙන් උපයා ගත හැකි ආදායම

විදෙස් රටවලට පුහුණු පිරිමි ශ‍්‍රමය සැපයීම හා තාක්ෂණ ක්ෂේත‍්‍ර වලින් උපයා ගත හැකි ආදායම

දේශීය භූ සම්පත් පාදක කර ගනිමින් සකස් කරනු ලබන වැඩ පිළිවෙල තුලින් ජනිත වන රාජ්‍ය ආදායම

නිශ්චිතව හඳුනාගත් අපනයන කටයුතු සංවර්ධනය මගින් ඒ ඒ අංශවලින් ලැබෙන ජාතික ආදායම් වර්ධනය

වැනි දහසකුත් එකක් නිශ්චිත පදනමක් මත ගණනය කෙරෙන, ඇස්තමේන්තු සහිත වැඩ පිළිවෙලකට නම් ආර්ථික සංවර්ධන සැලැස්මක් යයි කිව හැකිය.

එසේ නොමැතිව එලොවක් මෙලොවක් නැති, විෂම මානසික ආවේග පසුබිමක් යටතේ පහලව චිත්තවේග පදනම් කරගෙන සකස් කෙරෙන සිහින මාලිගා අපගේ අනාගත ඉරණම උදෙසා වූ ආර්ථික විසඳුම් ලෙස භාර ගැනීමට සිදුවීම අපගේ අභාග්‍යයක්ම බව නොකියා බැරිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.