19 October, 2017

එ.ජා.ප. යේ විජයදාස බිල්ල

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

ගමේ ගොඩේ  අසනීප වලදී බේත්හේත් වලින් සුවය ලැබීම ප‍්‍රමාද වන විට ශාන්ත කර්මයක් තොවිලයක් වැනි දේ කිරීමට අපේ ගැමියෝ හුරු වී සිටිති. ගමේ තරුණියකට යකෙක් වැහුණ විට ආතුරයා සමඟ ප‍්‍රලය වන යකැදුරු තරුණියට වැහී සිටින යකා අමතා ‘‘තොට ඕනෑ කුමන බිල්ලක්දැයි’’ අසයි. එවිට යකා වැහුණු තරුණිය ‘‘නර බිල්ලක් – නර බිල්ලක්’’ යනුවෙන් පවසනවා අපට ඇසී ඇත. එහෙත් යකදුරා ආතුරයාට වැසී සිටින යක්ෂයා සමග ටික වේලාවක් කේවල් කිරීමෙන් පසුව සැවොල් බිල්ලකට තරුණිය අතහැර යාමට යකා කැමති කර ගනී. වෙනත් සමහර අසනීප වැනි කරදර අවස්ථාවලදී දෙවියන්ට ප‍්‍රාණයට ප‍්‍රාණයක් භාරවන ගැමියන් පසුව පොල් පැලයක් පූජා කරනවා අප දැක ඇත.

දේශපාලන ව්‍යාධි වලදී ද මේ හා සමානව බිලි පූජා දොල පිදේණි දීමේ අවස්ථා කොතෙකුත් සිදුවී ඇත. ව්‍යාධියේ බරපතලකම අනුව ලබාදෙන බිල්ලද ප‍්‍රමාණයෙන් විශාල වන්නේය. ඇතැම් විටක සන්තෝෂමක් හැටියටද, තවත් අවස්ථාවක තනතුරින් මඳක් ඉවත්ව සිටීමේ විවේකයක් ලබා දෙමින්ද, වඩාත් දරුණු අවස්ථාවලදී මුළුමනින්ම නෙරපා දැමීමෙන්ද, දේශපාලන ව්‍යාධි සම්බන්ධයෙන් මෙම දොල-පිළි-බිලි දීම සිදුවේ.

විජයදාස රාජපක්ෂ බිල්ල තරමක් බරපතල අසාධ්‍ය රෝගී තත්ත්වයක් යටතේ ලබා දුන් කැපකිරීමක් බව සිතා ගැනීමට හේතු කාරණා බොහොමයක්ම ඇත. එනිසා එබඳු විශාල මිනිස් බිල්ලක් කැප කිරීමට තරම් වූ එ.ජා.ප.යට වැළඳී ඇති සන්නිය කුමක්දැයි විමසිලිමත්ව හා පරික්ෂාකාරී ලෙසින් බැලිය යුතු වන්නේය.

ගෙවීගිය වසර දෙකකටත් වඩා වැඩි කාලයක් පුරාම එ.ජා.ප.ය ජප කල එකම මන්තරය වූයේ මහින්ද රාජපක්ෂ සමයේ උරුම කළ ණය බරය. එයටම ඈඳමින් දිගින් දිගටම කියාගෙන ගිය තවත් දෙයකි. එනම් රාජපක්ෂ රෙජිමයේ බරපතල වංචා හා දූෂණ පිළිබඳ කතාන්දරයයි.

මේ අතර නොදැනීම වගේ ගෙවීගිය වසර දෙක තුල සිදුවූ ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳව ආවර්ජනය කිරීමේදී පහතින් දැක්වෙන දේ සිදුව ඇති බව පෙනී යයි.

  • ඇසට පෙනෙන කිසිම සංවර්ධනයක් සිදුවී නැත. කෝට්ටේ ගුවන් පාලම, කලින් රජය සැලසුම් කොට තිබූ මහා මාර්ග වැඩසටහනේ නොනිමි කොටස් යනාදිය පමණක් සංවර්ධන කටයුතු ලෙසින් දියත් වෙමින් පවතී.
  • පාර පුරාම දිනපතාම කවර හෝ ස්ථානයක පවත්වන ජන උද්ඝෝෂණයකි. බොහෝ විට ඒවා පාලනතන්ත‍්‍රයේ පවතින අසාධාරණකම් වලින් පීඩාවට පත්ව සිටින මිනිසුන්ගේ ප‍්‍රතික‍්‍රියාවන්ය.
  • වෛද්‍යවරු රෝගීන් පෙළමින් නිරතුරුවම වරින්වර වැඩ වරමින් සිටිති.
  • විශ්වවිද්‍යාල සිසුන්/ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, සයිටම් අර්බුදය පාදක කර ගනිමින් නොනවත්වාම ගෙනයමින් සිටින සැලකිය යුතු බරපතල ස්වභාවයක විරෝධතා පෙළකි.
  • අයවැය යෝජනා, බදු ප‍්‍රතිපත්තීන් යනාදියට අදාලව කලින් දක්නට නොලැබුණු ව්‍යාකුල සහ අක‍්‍රමවත් ක‍්‍රියාමාර්ග රාජ්‍ය ප‍්‍රතිපත්ති බවට පත්ව ඇත.
  • තිරසාර විසඳුම් මඟක් හෝ ඒ සඳහා සකස් කෙරුණ පිළිගත හැකි වැඩපිළිවෙලක සැලැස්මක් වත් නොමැතිව උත්සන්න වෙමින් පවතින බලශක්ති අර්බුදයකි.
  • එදිනෙදා විදුලිය සැපයීම සම්බන්ධයෙන් අද ක‍්‍රියාත්මක කෙරෙමින් පවතින ඇතැම් ක‍්‍රමවේද එක්තරා මාෆියා සංවිධානයක් පොහොසත් කරමින් ඒමතින් යැපෙමින් සිටින නිලදාරී පැලැන්තියක් හා මැති ඇමති කණ්ඩායමක අවශ්‍යතාවය මුල්කරගත් වැඩපිළිවෙලකට යටකර දමා ඇත.
  • මුළු රටටම තදින්ම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇතත්, එකවර මුදල් කුට්ටි ගසාකෑම සඳහා මැති ඇමතිවරුන්ට පාර කපා ගැනීම සඳහා දවසින් දවස ප‍්‍රමාද කරමින් සූර්ය බලශක්ති ව්‍යාපෘති ව්‍යාපාරය දියත් නොකර සිටීම.
  • නව යහපාලන සමයේදී මෙතෙක් ඉතිහාසයයේ නොවූ විරූ ප‍්‍රමාණයේ සහ තත්ත්වයේ බරපතල වංචා හා දූෂණ රාශියක්ම සිදුවීම හා ඒවා පිළිගත හැකි ලෙසින් හෙළිදරව් වීම.
  • එබඳු මහා පරිමාණ වංචා හා දූෂණ ක‍්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයින් ආරක්ෂා කිරීමට නිර්දය ලෙස එ.ජා.ප. නායකයින් විවෘතවම කටයුතු කර තිබීම හා ජනතාව ඒ පිළිබඳව ඉතා පැහැදිලි ලෙසින් දැනුවත්ව සිටීම.
  • විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ නිරාවරණය වෙමින් පවතින තොරතුරු හා දත්ත පක්ෂයක් වශයෙන් එ.ජා.ප.යටත් එහි නායකයින් කීප පොලකගේ සෘජු මැදිහත්වීම් හේතුවෙන් ඒ අයටත් ඉතාමත් අයහපත් තත්ත්වයක් ඇතිකරමින් නින්දාසහගත ප‍්‍රතිරූපයක් රට තුල නිර්මාණය කර තිබීම.

සාධාරණ සමාජයක සිතුම් පැතුම් අනුව යහපාලන යුගයක් උදා කිරීම සඳහා පත්වුන රජයක් ඉතා බරපතල අන්දමින් එම කාර්යය ඉදිරියේ කෙටි කාලයකදීම පරාජිතයින් බවට පත්ව තිබීමේ ව්‍යාධිය අද එ.ජා.ප. යට වැළඳී තිබෙන රෝග පීඩාව වී තිබේ. එය අසාධ්‍ය බවට පත්වෙමින් පවතී.

ලඟ එන පළාත් පාලන මැතිවරණ වලදී පරණ මන්තරය හැරෙන්නට වෙනත් කිව හැකි කිසිවක් සිය පාලන කාලය තුලදී සාක්ෂාත් කරගෙන නොතිබීම නිසා මෙම රෝගී තත්වය මරණීය සන්නි ස්වභාවයකට පත්වීම වැලැක්විය නොහැක. එහෙත් පරණ මන්තරය වූ ණය කන්ද සහ මහින්ද යුගයේ දූෂණ දැනට ජනතාව තුල හිස්වදන් හැටියට සහ හුදු අලංකාරයකට වැඩි බලපෑමක් ඇති නොකරන ත්ත්වයකට පත්ව තිබෙන නිසා අළුත් උපක‍්‍රම සොයා ගැනීමේ අවශ්‍යතාවයක් එ.ජා.ප. යට පැන නැගී ඇත.

දාපු නඩුවකුත් නැත. කල දඬුවමකුත් නැත. හරියට සොයාගත් පිළිගත හැකි දේකුත් නැත. කන්දක් විළිලා කෙන්දක් වැදුවා මෙන් පිරටවල ඩොලර් කෝටි ගණන්වල තැන්පතු ගැන පුරසාරම් ෙදාඩමින් චෝදනා කළ සමහර ඇමතිවරුන් ගලේ පහරපු බිළාලයන් බවට පත්වඇත. එම අහසුතාවයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා මෙන්ම යළිත් ජනතාව අතරට ගොස් පරණ තැටිය වෙනුවට අළුතින් කියන්නට යමක් සොයගත යුතුව ඇත. විජයදාස රාජපක්ෂ බිල්ල එයට හොඳ විසඳුමයි. දැන් එ.ජා.ප. නායකයින් රට වටේ යමින් කියන්නට යන්නේ විජයදාස රාජපක්ෂ නිසා හොරු අල්ලා ගැනීමට හා දඬුවම් කිරීමට නොහැකි වූ බවයි. එසේ කියමින් ඔවුන්ගේ පරණ සිංදුවම තවත් ටික කලක් ගායනය කිරීමට ඔවුන් එයින් ඉඩක් ලබාගෙන ඇත. එනම් මහින්දලාගේ හොරකම් වලට කිසිවක් කල නොහැකි වූයේ විජයදාස නිසා බව කීමය.

විජයදාස රාජපක්ෂ මේ සඳහා හොඳම බිල්ල වී ඇත. මක්නිසාද ඔහු අමු යූ.එන්.පී. කාරයෙක් නොවන නිසාය. පසු කාලීනව විවිධ දෝලනය වීම් හරහා යහපාලන රැුල්ලට අසුවී ඔහුට යූ.ඇන්.පී.යේ නතර වීමට සිදුවිය. එබඳු පරපුටුවෙක් එ.ජා.පයෙන් වැඩි අපහසුවක් නැතිවම නෙරපා දැමීමට හැකිවීම නිසා මෙය ඉතා පහසු බිල්ලක් ලෙසින් සලකමින් විජයදාස පැන යන එළුවෙක් කරගෙන ඇත.

යූ.ඇන්.පී. ඉතිහාසය අනුව ඔවුන් ඇතැම් අවස්ථාවලදී ගනු ලබන තීරණ දෙස ඉතා පරිස්සමින් බැලිය යුතු වන්නේය. අධිකරණය මෙල්ලකර ගැනීම පිළිබඳ එ.ජා.ප.යට හොඳ ඉතිහාසයක් ඇත. නෙවිල් සමරකෝන් මහතා අග‍්‍රවිනිශ්චයකාර තනතුරින් ඉල්ලා අස්වී යාමේ පටන් නඩුකාරයින්ට ගල් ගැසීම, එයට විරුද්ධව හඬක් නැගු මහාචාර්ය සරත්චන්ද්‍ර, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ඇතුළු පිරිසට මැරයන් ලවා පහරදීම, ගැටඹේ පන්සලට කටුකම්බි ගැසීම, පාර්ලිමේන්තු මැතිවරණ කුප‍්‍රකට ජනමත විචාරණයක් මගින් කල්දමා ගැනීම, ප‍්‍රබල දේශපාලන විපක්ෂ නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි අයගේ ප‍්‍රජා අයිතිය විශේෂ අධිකරණ ක‍්‍රියා මගින් අහෝසිකර දැමීම, ඇපැල් උසාවියේ අධිකරණ නියෝග පාර්ලිමේන්තු නව පනත් මගින් නිශේධනය කරවීම වැනි අපකීර්තිමත් ඉතිහාසයක් රටේ දේශපාලන පුරාවෘත්තයට එ.ජා.ප. ය එකතුකර ඇත. විජයදාසලා අධිකරණයට ඇඟිලි නොගැසීම යහපාලනයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කොතරම් අනුකූල වූවත්, එ.ජා.ප. දර්ශනයට එකඟ නැත.

බැඳුම්කර කොමිෂන් සභාව ඉදිරියට ඔවුන්ගේ ඇමතිවරයෙක් යාම මහත් අපරාධයක් හෝ මදිකමක් ලෙස එ.ජා.ප. පසුපෙළ මන්ත‍්‍රීන් සලකන බව ඔවුන් නඟන හඬ අනුව පැහැදිලි වේ. ඇමතිකම තාවකාලිකව ජනතා සේවයක් කිරීම සඳහා ඔවුනට ලැබුන පට්ටමක් පමණක් බවත් නීතිය ඉදිරියේ ඔවුන් මොනම ආකාරයකින් වත් සාමාන්‍ය ජනතාවට වඩා වෙනස් සුවිශේෂත්වයකට භාජනය නොකළ යුතු බවත් මෙම පසුපෙළ එ.ජා.ප. මන්ත‍්‍රීන්ට නොපෙනී යාම පුදුමයක් වුවද, ඊටත් වඩා පුදුම වීමට හේතුවක් වන්නේ එ.ජා.ප. යේ සාමාන්‍යයෙන් පවත්නා නායකයාගේ බසට අවනත වීම හා එයට දක්වන අනුකුලතාවය අනුව මෙතරම් බරපතල කාරණයක් නායකත්වයේ ආශිර්වාදයක් නොමැතිව කෙසේ නම් සභාගත වූයේද යන්නයි. වාර්තා වී ඇති පරිදි නායකත්වයෙන් එම අවස්ථාවේදී කිසිවක් ප‍්‍රකාශ වී නැතත් පසුපෙල, මැදපෙල හා ඉදිරිපෙල යන සියලූම කොට්ඨාශවලින් ප‍්‍රබල හඬක් නැගීමට තරම් සුභවාදී අනුග‍්‍රහයක් ඉහලින් ලැබී ඇති බවට සැකයක් නැත. මහින්දට එරෙහි ප‍්‍රබල ක‍්‍රියාමාර්ගයක් නොගෙන සිටින්නේ විජයදාස නිසාම නොවන බව පසුපෙළ මන්ත‍්‍රීන්ට තවමත් වැටහී නැත. මහින්ද රෙජීමයට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග නොගැනීම ගැන ළාමක ලෙසින් චෝදනා කරන එක්සත් ජාතික පක්ෂයේ සෙස්සන් එමඟින් උවමනාවෙන්ම එ්වා යටගසාගෙන සිටින සිය නායකත්වය කොතරම් දුරකට අපහසුතාවයකට පත් කරන්නේද යන වග ඔවුනට නොවැටහේ.

එක්සත් ජාතික පක්ෂය ගලක් ගසන විට බැලිය යුත්තේ ගල වැටෙන තැන දෙස නොව විරුද්ධ දිසාව දෙසය. මක්නිසාද ගල ගැසීම අවධානය වෙනතකට යොමු කිරීමක් පමණක් බැවිනි. 80 දශකයේ සහල් සලාක පොත අහෝසි කිරීමට තීරණය කළ අවස්ථාවේදීම එ.ජා.ප.ය තවත් බාල්දියක් පෙරළුවේය. එනම් සේවකයින්ගේ නිවාඩු කප්පාදු කිරීම සඳහා ධවල පති‍්‍රකාවක් ඒ සමගම නිකුත් කිරීමයි. මුළු රටේම සංවිධානය වූ කම්කරු පන්තිය නැගී සිටිමින් නිවාඩු කප්පාදුවට එරෙහිව මාරාන්තික අරගලයක් දියත් කළහ. ටික දිනකින් නිවාඩු කප්පාදුව අකුලාගත් නමුත් ඒ වන විට හාල්පොත කැපීම නීතිගත වී තිබුණි. ඒ ගැන හඬක් නගන්නට කිසිවෙක් සිටියේ නැත. සංවිධානය වූ යමකට එරෙහිව නැගී සිටින කොට්ඨාශයේ අවධානය සැලසුම් සහගතව වෙනතකට යොමුකර තිබු බැවිනි. ජේ.ආර්. ගේ වචනවලින්ම සඳහන් කළහොත් එක බල්ලෙක්වත් නැගී සිටියේ නැත.

එ.ජා.ප. ය සිය ප‍්‍රතිවාදීන් ඉතා හොඳින් මෙහෙයවන පක්ෂයකි. ඒ දක්ෂ කමකටත් වඩා කපටි කමකි. රාජිත එ.ජා.ප. නායකයා පතුරු ගැසූ කෙනෙකි. වාර්තාවී ඇති පාර්ලිමේන්තු විවාද වලදීද ඉන් බාහිරවද වෙනත් කිසිවෙකුටත් නොදෙවෙනි ලෙසින් ඔහුගෙන් එම කාර්යය සිදුවිය. දැන් ඔහු සිටින්නේ එයට අංශක 1800 ක් පස්ස හරවාගෙනය.

මංගල, එ.ජා.ප. නායකයා මිස්ටර් බීන්ට සමාන කළ කෙනෙකි. අවසානයේදී මංගලගේ නිවහන වී ඇත්තේ එම නායකයාණන්ගේ නිවහනමය.

විජයදාස රාජපක්ෂ ඇතුලේ සිටිනවාට වඩා එළියට යැවීමෙන් යූ.ඇන්.පී. යට වාසියක් ගතහැකි නම් එළියේ සිටින සතුරා ඇතුලට ගන්නවා වාගේම එයද ඔවුන්ට කළ හැකි බව මෙහිදී පෙන්වා ඇත.

මහින්ද සාධකය එ.ජා.ප. යේ පැවැත්මට ඉතා බරපතල ලෙසින් බලපවත්නා කාරණයකි. මහින්ද දුර්වල වන තරමටම මෛත‍්‍රී පිල ශක්තිමත් වේ. එමෙන්ම මහින්ද නිරුපද්‍රිත වන තරමට මෛත‍්‍රී පිල දුර්වල වේ. එනිසා එබඳු බල තුලනයක් පවත්වා ගැනීම එ.ජා.ප. යට විජයදාසට වඩා වැදගත්ය. වරෙක තද කරමින්ද, වරෙක ලිහිල් කරමින්ද මහින්දට එරෙහි පරීක්ෂණ දෝලනය වීම පාලනය කිරීම විජයදාස බිලි දීමෙන් පසුවද ඔවුනට කරගෙන යෑමට පුළුවන.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ඔබගේ සංක්ෂිප්ත විග්‍රහය මගින් අද රට පත්වී ඈති බෑරෑරුම් තත්වය අවබෝධ කර ගෑනීමට…එම අදහස් තුල ගෑබ්වී ඈති දෑ ගෑඹුරින් විෂ්ලේශණය කර තීරණ ගන්න තරම් ඥාණ සම්භාරයක් ඈති පුද්ගලයින්…මේ රටේ හෝ…පාලනතන්ත්‍රය තුල නෑහෑ….

    ඔබ පවසන අයුරුම ඔවුන්ට සත්යෙන්ම සන්නිය වෑළෑදී ඈත.. ඒ හේතුවෙන් ..දොඩවමින්…හිස් ලු ලු අත දුවමින් ඉන්නවා.. කොටසකට ගෙවල යකා වෑහිලා….සොයන්නේම විදේශ මුදල්…

    සෑම අංශයකින්ම රට දෑවෑන්ත අරාජිකත්වයකට ඉතා වේගයෙන් කරමින් සිටිනවා..

    නුමුත් රජයේ දෑන් උත්සාහය ස්වාධීන කෙරුවා කියූ අධිකරණය ඔවුන්ට නතු කොරගෙන ඒකාධිපති ගමනක් යෑමටයි….බෑදුම්කර මගඩිය වසා ගන්නේ කෙසේද…

    එම ගමනේදී මිනිසුන්ගේ මනස මූලික අරමුණෙන් වෙනතකට යොමු කිරීමට පහත දෑ උපයෝගී කරගන්න උත්සාහ කරමින් ඉන්නවා..

    1. මහින්ද රාජපක්ෂ දෙස්පාලනයෙන් අතුගා දමන්නේ කෙසේද..
    2. සයිටම් එක පවත්වාගෙන යන්නේ කෙසේද…
    3. හෝර්ටන් තෑන්න විකුණන්නේ කෙසේද..
    4. රටේ ආර්ථික මර්මස්ථාන විකුණන්නේ කෙසේද…

    නවතම ක්‍රියාවලිය තමයි…
    1. ජවිපෙ නායකයා විසින් රාජිතව ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම…
    2. රාජිතට විරුද්ධව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව…

  • 0
    0

    අ‌ෙග් ඇති ලිපියක් රැසිරිපාල මහත්මයා! යහපාලන ආංඩු‌ෙවන් පිට වන අ‌ෙධා් වාතයත් සුවදයි කියමින් ලියන කුලී ලියන්නන් සහ උනට ප්රශස්ත ලියන ‌ෙකා‌ෙමන්ටුකරැවන් ‌ෙගන් පිරි කළම්බු ‌ෙටලිග්රාපය ඔප් නැංවීමට ඔබ‌ෙග් ‌ෙමම සමබර ලිපිය ‌ෙහ්තු වී ඇත.

    එක තැන පල් ‌ෙවන ‌ෙම් රට ඉදිරියට තල්ලු කරන්න පුලුවන් ‌ෙවන්‌ෙන් ‌ෙමවැනි සමබර අදහස් දැක්වීම් වලින් විනා, ‌ෙ‌ෙවරය ද්‌ෙව්ශය පිරි පල් හෑලි වලින් ‌ෙනා‌ෙව්. ඔබට ස්තුතියි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.