ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියේ ඩිජිටල් සංක්‍රාන්ති අංශයේ, විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරු, ශාන්තිලාල් නානායක්කාර විසිනි.
අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකාවේ කලින් ඇනහිට තිබූ ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව ජපාන නියෝජිත පිරිසක් පසුගියදා නිවේදනය කළහ. එම ව්‍යාපෘති යේ ආරම්භය දැන් ආසන්නයට පැමිණ ඇත.
ශ්‍රී ලංකාව තුළ භෞමික රූපවාහිනී සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය වූ පසු, පැරණි ඇනලොග් භෞමික රූපවාහිනී සම්ප්‍රේෂණ පද්ධතිය සදහටම ඉවත්වනු ඇත. එබැවින්, ඩිජිටල් කිරීමේ අවසාන ප්‍රතිථලය වර්තමාන ඇනලොග් රූපවාහිනියට වඩා අනිවාර්යයෙන් ඉතා උසස් මට්ටමක පැවතිය යුතුය. එසේ නොවේ නම් එය එවන් ඉහළ තලයකට ගෙන ඒම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර එවැනි ඉලක්කයක් තැබීම ව්‍යාපෘතිය ඵලදායි ලෙස නිම කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.
මෙම ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා, ජපන් ඩිජිටල් සැලසුම්වල වත්මන් පරාමිතීන්වල පෙනෙන අඩුපාඩු, සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නැවත සමාලෝචනය කර ඒවා විසඳා ගත යුතුය. එසේ නොමැති නම්, අද පවතින පරිදි, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය නරඹන්නන්ට ඩිජිටල් ආවරණය මඟ හැරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතිනු ඇත (පහත සටහනේ මෙය දැක්වේ). එවැනි අනවශ්‍ය ප්‍රතිඵලයක් නව රජයට අතිශය ‘දේශපාලනික වශයෙන් සංවේදී’ ප්‍රශ්නයක් බවට පත්විය හැකිය.
ඩිජිටල්කරණය අවශ්‍ය වන්නේ මන්ද?
ඇනලොග් සම්ප්‍රේෂණ යේදී, රේඩියෝ තරංග ගැටලු කිහිපයකට මුහුණ දෙයි; සම්ප්‍රේෂණ වන ගුවන්විදුලි තරංගයක් විශාල ගොඩනැගිලි, බිත්ති, කඳු, කුළුණු ආදියෙහි ගැටීම නිසා පරාවර්තනය වී, විවිධ මාර්ගයන් ඔස්සේ ඇන්ටෙනාව වෙත පැමිණි විට, එම චැනලයට සුසර කර ඇති රූපවාහිනී තිරයේ සෙවණැලි දර්ශණද ඇති වේ. සමහර විටක දර්ශණ ඉතා අපහැදිලි මෙන්ම, තවත් අවස්ථාකදී සම්පූර්ණයෙන්ම දර්ශණ නොමැතිවීමටද ඉඩ ඇත.
ඩිජිටල් තාක්‍ෂණය මෙම ඇනලොග් සම්ප්‍රේෂණ දුර්වලතා මඟහරවා ගන්නා අතර විශාල අගය එකතු කිරීමක් ලෙස, ඇනලොග් ක්‍රමවේදයට වඩා වැඩි තොරතුරු රැගෙන යාමට සමත් වේ. මෙම ධාරිතාව වැඩි කිරීමේ විශේෂ හැකියාව නිසා එක් සංඛ්‍යාතයක් හෝ නාලිකාවක් මත වැඩසටහන් කිහිපයක් ගෙන යාමට උපකාරී වන බැවින්, ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ තාක්ෂණය ඇනලොග් ක්‍රමයට වඩා සමස්ථ ගුවන්විදුලි තරංග පද්ධතියේ (Frequency Spectrum) ඉහළ ඵලදායිතාවක් ඇති කරණ බව පැවසිය හැක. ඇනලොග් සම්ප්‍රේෂණ ක්‍රියා විරහිත කළ පසු, සාමාන්‍යයෙන් ඩිජිටල් ලාභාංශ (Digital Dividends) ලෙස හඳුන්වන, මෙම තරංග පද්ධතිය හෙවත් වර්ණාවලියේ ඵලදායිතාව රජයට ආදායම් උපයන්නක් බවට පත්වේ. මෙම හිස්වන තරංග පංතීන්, පුළුල් පරාස (Broadband) අන්තර්ජාල භාවිතය සඳහා Telco සමාගම් වෙත අලෙවි කළ හැකි බැවින්, මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ඵලදායි ලෙස රජයට ස්වයං මූල්‍යකරණ ලැබිය හැකි ව්‍යාපාරයක් වන අතර සියලුම පාර්ශවකරුවන්ටද ජයග්‍රහණයක් අත්වන බව කිව හැක.
ඩිජිටල්කරණයෙහිදී පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ
ශ්‍රී ලංකාවේ වත්මන් රූපවාහිනී සහ ගුවන්විදුලි භෞමික–සම්ප්‍රේෂණ සිතියම පදනම් වී ඇත්තේ ඇනලොග් තාක්ෂණය මතය. ලෝකයේ බොහෝ රටවල් දැන් ඩිජිටල් විෂය වෙත මාරු වී හෝ ගමන් කරමින් සිටී.
ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන ලද ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ ප්‍රමිතිය කුමක් වුවත්, බහුතර පාර්ශවකරුවනට ඇනලොග් සිට ඩිජිටල් රූපවාහිනියට පරිවර්තනය වීමේදී ලැබෙන ප්‍රතිලාභ බොහෝය.
මේවා විවිධ පාර්ශවකරුවන්ට එදිරිව පහත ලැයිස්තුගත කර ඇත: –
- රජය – JICA සැලැස්මට සුදුසු වෙනස් කිරීම් සිදු කරන්නේ නම්, සම්පූර්ණ ඩිජිටල් බවට පරිවර්තනය වීමෙන් පසුව, හිස් වූ අමතර වර්ණාවලිය Telco වෙත විකිණීමෙන් ලැබෙන සැලකිය යුතු ආදායමක්;
- විකාශකයින් – රූපවාහිනී නාලිකා වැඩි කිරීම සහ වෙළඳ ප්‍රචාරණ ආදායම වැඩි කිරීමට ඇති ඉඩකඩ;
- නරඹන්නන් – True High Definition (True HD) ගුණාත්මක භාවය සහ 5.1 Surround Sound සමඟින්, පුළුල් පරාසයක අන්තර්ගතයන් (වැඩසටහන්) තේරීමකට පහසුකම් සැලසීම සඳහා රූපවාහිනී නාලිකා සංඛ්‍යාව වැඩි කිරීම;
- අන්තර්ගත (වැඩසටහන්) සපයන්නන් – ඉල්ලුම ඇති පුළුල් පරාසයක වැඩසටහන් නිෂ්පාදනය කිරීමට අවස්ථාව;
- වැඩසටහන්නිෂ්පාදනස්ථාන – විශාල වශයෙන් වැඩි කරන ලද නිශ්පාදන වලින් විශාල ආදායමක්;
- සමාජ මාධ්‍ය සහ අනෙකුත් අන්තර්ජාල පාදක අන්තර්ගත නිර්මාපකයින් – නව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය අන්තර්ගතයන් වර්ධනය කිරීමේ අවස්ථා;
- ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන/පරීක්ෂණ – ඩිජිටල් රූපවාහිනී ග්‍රාහක(Receivers /Set Top Box) නිෂ්පාදනය කිරීමට සහ ග්‍රාහක එකඟතා වලට ගැළපෙන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඇති අවස්ථා;
- විකාශන කුළුණු (නෙළුම් කුළුණට සමාන) – රට තුළ ඒකාබද්ධ විකාශන කුළුණු ස්ථාපිත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථා;
- ටෙලිකොම් ආයතන – අනාගත ජංගම පුළුල්පරාස (Broadband) යෙදුම් සඳහා සුපිරි හිස් වර්ණාවලියක්(තරංග පද්ධතියක්) මිලදී ගැනීමට අවස්ථාව.

ලොව පුරා රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීමේ සිතියම
ස්වයං මුල්‍යකරණය හෝ අරමුදල් සපයා ගැනීම:
ශ්‍රී ලංකාවේ රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීම සඳහා ලැබීමට ඇති අරමුදල් ලැබෙන්නේ ජපන් රජය මගින් ලැබෙන ‘සහන ණයක්’ වශයෙන් වන අතර එය වෙනත් ව්‍යාපෘති සඳහා දෙනු ලබන ණය සමඟ එක කළඹක් ලෙස ගොණුකර ඇත. තවද, මෙම ණය මුදල ජපන් ඩිජිටල් රූපවාහිනී ප්‍රමිතිය වන ඒකාබද්ධ සේවා ඩිජිටල් විකාශන–භෞමික (ISDB-T) ක්‍රමවේදය මත පමණක්ම පදනම් වීම අනිවාර්යය විය යුතු බව සඳහන් වේ. කරුණු එසේ වූවද, ඇනලොග් සම්ප්‍රේෂණයන් නතර කල වහාම (Analogue Switch Off – ASO), හිස්වන තරංග පද්ධතීන්, ඉතා විශාල මුදලකට විකිණිය හැකි බැවින්, රජයට මෙම ව්‍යාපෘතිය, රජයේ වියදමින් තම ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණ කල හැකිවීමට අවස්ථාව ලැබෙන අතර, ඇනලොග් සම්ප්‍රේෂණ නතරකරණ තුරු, අවශ්‍ය වියදම් රජය විසින් දැරීමට සිදුවන අවස්ථාවන් මතුවිය හැකිය.
මෙම රචනාවේ අරමුණ:
මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ජපන් රජයේ සහයෝගය රඳවා ගනිමින් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වඩා යහපත් ලෙස තෝරාගනිමින්, එය ප්‍රශස්ත කිරීමේ ක්‍රම යෝජනා කිරීමයි. වර්තමාන ව්‍යාපෘති සැලසුමේ පෙනෙන්නට ඇති, විකාශකයින්ට හා නරඹන්නන්ට මුහුණදීමට සිදුවිය හැකි ඇති ගැටළු හා ප්‍රශ්න අවම පිරිවැයකින් විසඳාගත හැකිනම්, පෞද්ගලික විකාශකයින්ද සිය කැමැත්තෙන්ම මෙයට සහභාගි වනු ඇත. එවිට සියළුම පාර්ශවකරුවන්ට හා රජයටද මෙය සාර්ථක ව්‍යාපෘතියක් වනු නොඅනුමානය. එසේ නොවන්නේ නම්, කලින් අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුම සමාලෝචනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස දකිමි.
ජපන් ක්‍රමය වන ISDB-T, දෙවන පරම්පරාවේ යුරෝපීය ප්‍රමිතිය වන Digital Video Broadcast-Terrestrial 2 (DVB-T2) තරම් කාර්යක්ෂම නොවන බව ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතුවන නියැලෙන සියළු දෙනා හොඳින්ම දනී.
රූපවාහිනී ඩිජිටල්කරණය තේරුම් ගැනීම:
සරලව සඳහන් කල හොත්, වීඩියෝ දර්ශන සහ ශබ්දය ඩිජිටල්කරණය කිරීම මගින්, ගුවන්විදුලි තරංගවලට ඇනලොග් යුගයට වඩා එකම නාලිකාවක් හෝ කලාප පරාසයක් (bandwidth) තුළ වැඩි තොරතුරු රැගෙන යාමට හැකි වේ. මෙය දෘශ්‍ය සහ ශ්‍රව්‍ය අන්තර්ගතයන්(වැඩසටහන්) නිෂ්පාදකයින්ට පෙරට වඩා නිර්මාණශීලී වීමට ඉඩ සලසයි. මෙම තාක්‍ෂණය ස්ථාවර සහ ජංගම සන්නිවේදන පරිසරයන්හිද පහසුකම් සපයන අතර ඇනලොග් යුගයට වඩා ද්වි–මාර්ග සන්නිවේදනයට පහසුකම් සපයයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා යමෙකු විසින් විසඳිය යුතු ප්‍රධාන අන්තරායන් දෙකක් තිබේ. එනම්:
- ක්ලිෆ් ආචරණය– (Sudden loss of coverage): –
- ඇනලොග් යුගයේ මෙන් නොව, ප්‍රබල සංඥාවක් නැරඹුම් ස්ථානයේදී ග්‍රහණය කිරීමේ හැකියාවක් ග්‍රාහකයා (Setup Box / TV Receiver) සතුව තිබිය යුතුය. නොඑසේ නම් ‘ක්ලිෆ් ආචරණය’ නිසා ඇතිවන පික්සලේෂන්වීම හෙවත් ක්ෂණිකව පින්තූර කොටස් වලට බිඳීම සහ/හෝ හදිසි සංඥා නැතිවීම වැළැක්වීම සඳහා ග්‍රහකයට ශක්තිමත් සංඥාවක් අවශ්‍ය වීම (ඇනලොග් යුගයට වඩා ඉහළ විශ්වාසනීයත්වයක් යුතුව නරඹන ස්ථානයේ ලබා ගත හැකිවීම ) හා,
- සේවාවල සමානාත්මතාවය සහතික කිරීම සඳහා නරඹන්නන්ගේ ස්ථාන වෙත ළඟා වන සියලුම රූපවාහිනී ඩිජිටල් සේවාවන් එකම සංඥා ශක්තියෙන් යුක්ත බව සහතික කිරීම අවශ්‍ය වන අතර එම නිසා නෙළුම් කුළුණ වැනි එක් ස්ථානයකින් සම්ප්‍රේෂණයන ආරම්භ විය යුතුය.
දැඩිලෙස අවක්‍රමණය වීම හා එය සංඥා මට්ටම කෙරෙහි බලපාන අයුරු:
ඇනලොග් සංඥා ඉතා දුර්වල විටදී තිරය මත දිස්වන රූපරාමු සුදු පැහැ තිත්වලින් යුක්තවේ. නමුත් ආයාසයෙන් හෝ ඒවා නැරඹිය හැකිය. එහෙත් ඩිජිටල් සම්බන්ධයෙන් එසේ නොවේ. දැනට පැහැදිලිව නරඹන ඇනලොග් ආවරණයන්ට සමාන අයුරින් හෝ එයට වඩා උසස් ආවරණයක් සහිතව ඩිජිටල් ආවරණය සැපයීමෙන් මෙම ක්ලිෆ් ආචරණය මගින් ඇතිවිය හැකි බලපෑම මගහරවා ගත හැක. තාක්ෂණිව පැවසුවහොත්, VHF Band III තරංග පද්ධතිය තුල පැහැදිලිව නැරඹිය හැකි සංඥා තීව්‍රතාව 43dBu/m යන මිණුමෙන් අර්ථ දක්වා ඇති අවස්ථාවක, ඩිජිටල් සංඥාවේද තීව්‍රතාවය ඒ හා සමාන හෝ එයට වඩා වැඩි අගයකින් යුක්ත විය යුතුය.
ජපන් ප්‍රමිතියේ / සැලැස්මේ ඌණතාවයන්:
අපගේ රට තුළ ISDB-T පද්ධතිය යෙදවීමට සැලසුම් කිරීමේදී, සියලු පාර්ශ්වකරුවන්ට එය අතිශයින් වැදගත් වන බැවින් සෑම කෙනෙකුටම ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකි විය යුතුය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2014/2018 දී සපයන ලද ජපන් ලියකියවිලි වල මහජන/පාරිභෝගිකයින්, විකාශකයින් සහ රජයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි විසඳිය යුතු ගැටළු කිහිපයක් තිබේ. ඒවා ආරම්භයේ සිට, ප්‍රතිපත්තිමය ගැටළු, සැලසුම් කිරීමේදී තාක්ෂණික ක්ෂේත්‍ර සහ ඇනලොග් සම්ප්‍රේෂණ නතර කිරීම (ASO), සහ ඩිජිටල් සම්ප්‍රේෂණ පටන් ගැනීමෙහි (Digital Switch On – DSO) හා යෝජිත අදියරේදී ද කළමනාකරණ ගැටළු දක්වා විහිදේ.
ඩිජිටල් සඳහා තරංග පද්ධතීන්: VHF/UHF ගැටළුව:
විශේෂයෙන්ම, පවතින විකාශන තරංග පද්ධතියෙන් (Frequency Spectrum-වර්ණාවලියෙන්) කොටසක් පමණක් භාවිතා කිරීමට යෝජනා කිරීම නිසා රජයට අවසාන ඩිජිටල් ලාභාංශ ආදායමට බලපෑමක් ඇතිකෙරේ. ජපානය විසින් බ්‍රසීලයට සපයා ඇති ISDB-T ක්‍රමවේදය තුල, VHF සහ UHF තරංග කලාප දෙකම බ්‍රසීලයේ යොදවා ඇත, මේ සංදර්භය තුල එම තාක්ෂණික මෙවලම් ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා නොකිරීම පුදුමයට කරුණකි. නමුත්, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Sato Takefumi මහතා ඇතුළු ජපන් කණ්ඩායමක් 2017 වසරේ කොළඹදී නෙළුම් කුළුණ පිළිබඳ ගැටලු (නෙළුම් කුළුණ පිළිබඳ මා සැපයූ ලිපියක හෙළිදරව් වීමකින් පසුව) සහ ඩිජිටල්කරණය පිළිබඳව සාකච්ඡා කිරීමට ලේඛකයා හමුවූ විට ලේඛකයා විසින් මෙය පෙන්වා දුන්විට ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ‘කිසිවෙකු එය ඉල්ලුවේ නැත’ යන්නයි.
අද ශ්‍රී ලංකාවේ පවතින පරිදි, ඇනලොග් රූපවාහිනී සම්ප්‍රේෂණ VHF සහ UHF කලාප දෙකම භාවිතා කරන සංඛ්‍යාත මත පදනම් වී ඇති නමුත් යෝජිත ජපන් ඩිජිටල්කරණයේදී VHF කලාපය භාවිතා නොකරයි. විශේෂයෙන්ම, VHF Band III ප්‍රශස්ත සම්ප්‍රේෂණ ගුණාංග පෙන්නුම් කරන අතර අඩු විදුලි පරිභෝජනය කින් යුත් සම්ප්‍රේෂණ යන්ත්‍ර මගින් සේවා සැපයීමට දායක වේ. වඩා වැදගත් වන්නේ, සම්ප්‍රේෂණය වන මාධ්‍යයේදී සිදුවන සංඥා හානි හේතුවෙන් VHF රේඩියෝ තරංග වලට, UHF තරංගයන්ට වඩා වැඩි දුරකට ගමන් කලහැකි නිසා හා සංසන්දනාත්මකව බාධක වටා ගමන් කිරීමට VHF තරංගයන්ට වඩා හොඳින් හැකිවීම නිසා VHF තරංග පුළුල් ආවරණ සම්ප්‍රේෂණ සඳහා වඩාත් සුදුසු වේ.
දැනට, VHF කලාපයේ රූපවාහිනී විකාශන ජාල 3ක් එනම්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ටී.එන්.එල් විසින් භාවිතා කරමින් සිටී. VHF කලාප අතහැරීමේදී මෙම ජාලවලට ඔවුන්ගේ ආවේනික VHF පුළුල් ආවරණ වාසිය අහිමි වනු ඇත. UHF වර්ණාවලියේ ඩිජිටල් නාලිකාවක් අත්පත් කර ගැනීමේ අමතර බරක් ද දැරීමට ඔවුන්ට ඇත. විශේෂයෙන් ඩිජිටල් සඳහා වෙන් කර ඇති UHF නාලිකා UHF Band V කලාපයේ ඉහල සංඛ්‍යාතයන්හි ඇති විට, සම්ප්‍රේෂණ හානි වැඩි වේ.
ISDB-T නව කේතකය(Codec) H.265:
ජපන් ISDB-T ප්‍රමිතිය ගත්කල, දත්ත ගෙන යා හැකි ධාරිතාව අනුව, 2වන පරම්පරාවේ යුරෝපීය සම්මත DVB-T2 ප්‍රමිතියට(45Mb/s) දෙවැනි වන බව ක්ෂේත්‍රයේ සියළු දෙනා දන්නා කරුණකි. මුල් සැලසුම අනුව, ජපන් ප්‍රමිතියට අනුව දත්ත රැගෙන යා හැක්කේ එක් නාලිකාවකට 23 Mb/s වේගයකිනි. එය යුරෝපීය සම්මතයේ ඇති 45Mb/s ප්‍රමිතියෙන් ½ක් පමණි. නමුත් ජපන් ජාතිකයින් මුලින් ඉදිරිපත් කල H.264 අන්තර්ගත මූලාශ්‍ර කේතකය වෙනුවටදැන් H.265 කේතකය ලබාදීමට ඉදිරිපත් වී ඇති බැවින්, ඔවුන්ට 2-4 Mb/s වේගයකින් 1080P HD ලබා දීමට හැකිවේ. මෙම වෙනස දැන් සියලුම HD TV සඳහා සූදානම් විකාශකයින්ට 1920 x 1080P True HD අන්තර්ගතය සැපයීමට ඉඩ ලබා දෙන අතර සමහර විට කොළඹ පිහිටි සියලුම රූපවාහිනී නාලිකා සඳහා පහසුකම් සැලසිය හැක. නමුත් අවාසිය නම්, නව කේතකය සමඟ ග්‍රාහක උපකරණ වඩාත් සංකීර්ණ වීමයි. මෙය ශ්‍රී ලංකාවේ වඩා මිල අධික ISDB-T ග්‍රාහක (receivers) හෝ Set top Boxes-STB වලට හේතු විය හැක.
හිස්වන VHF Band III කලාපය:
UHF කලාපයේ තනි සංඛ්‍යාත ජාල (SFNs – වර්ණාවලි ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා එකම සංඛ්‍යාතය කිහිප වතාවක් භාවිතා කිරීමේ තාක්‍ෂණයක්) භාවිතයෙන් යම් ඵලදායිතාවයක් ලබා ගැනීම ජපන් උපාය මාර්ගය වුවද භාවිතයට නොගත් VHF කලාපය III හේතුවෙන් රජයට ලබාගත හැකිව තිබෙන ඩිජිටල් ලාභාංශය නැතිවී යාමකටද ඉඩ ඇත. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව සළකා බලන විට තනි සංඛ්‍යාත ජාල (SFN) ලබා ගැනීම සරල නොවේ, මන්ද යතහොත් එම SFN සංඥා ලබා ගැනීම ග්‍රාහක සංකීර්ණතා වලට යටත් වීමයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) අනාගත ඩිජිටල් ගුවන්විදුලිය සඳහා VHF කලාපය පමණක් වෙන්කරන බවට භීතියක් ඇත, නමුත් එම කලාපය කිසිදු ගැටළුවක් නොමැතිව ඩිජිටල් රූපවාහිනිය සමඟ සමව බෙදා ගත හැක. උදාහරණයක් ලෙස, ඔස්ට්‍ර්ලියාව කිසිදු ගැටළුවක් නොමැතිව ඩිජිටල් රූපවාහිනිය සහ ගුවන් විදුලිය යන දෙකම සඳහා VHF Band III කලාපය සමව බෙදා ගනිමින් සිටී.
ඩිජිටල් සඳහා UHF කලාපය පමණක් යෙදවීමත් සමඟ සියලුම ඇනලොග් සම්ප්‍රේෂණ ක්‍රියා විරහිත කළ පසු, මෙගා හර්ට්ස් 7ක පරාසයක් යුත්, පවතින VHF සංඛ්‍යාත නාලිකා 8ක් සහිත VHF Band III කලාපය හිස් වනු ඇත.
මෙය පැහැදිලිවම භාවිතයට නොගත් වර්ණාවලියේ (frequency spectrum) නාස්තියකි. මීට අමතරව, තරංග පන්තීන් නැවත සකස් කිරීමක් එනම් Restacking සඳහා ජපන් සැලැස්මේ ඇත. [Restack යනු වර්ණාවලියේ ඵලදායිතාව උපරිම කිරීම සඳහා VHF සහ UHF යන කලාප දෙකෙහි සංඛ්‍යාත ඉතා මැනවින් ප්‍රතිසැකසීමයි]. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා අමතර වියදම් පියවන්නේ කවුරුන්ද, කෙසේද යන්න පැහැදිලි නැත. එසේම
තරංග පන්තීන් නැවත සකස් කිරීම සඳහා නව අරමුදල් විධිවිධාන ගැන සඳහනක් නොමැති අතර නැවත සැකසීමෙන් පසු සංඛ්‍යාත වෙනස් කිරීමට අවශ්‍ය විය හැකි බැවින් එය STB/ග්‍රාහක පිරිවිතර පිළිබඳ ප්‍රශ්න ද මතු කරයි.
සමහර පෞද්ගලික විකාශකයින් ISDB-T භාවිතා කිරීමට කැමැත්තක් නොදක්වන්නේ නම්, DVB-T2 ප්‍රමිතිය වෙත යාමට ඉහල ප්‍රවණතාවයක් ඇති බැවින් පුරප්පාඩු වී ඇති VHF කලාපය භාවිතා කිරීමේ අවස්ථාව සඳහා ඔවුන් පෙළඹෙනවා ඇත. මෙය කෙසේ හෝ වළක්වා ගත යුතුය! එසේ වුවහොත් ලංකාවේ ඩිජිටල් පද්ධති දෙකක් ඇති වෙනවා නොඅනුමානයි. වඩාත් කාර්යක්ෂම යුරෝපීය DVB-T2 ක්‍රමය සඳහා පුරප්පාඩු වී ඇති VHF Band III මුදා හැරීමට වාණිජ විකාශකයන්ගෙන් රජය දැඩි පීඩනයකට ලක් වීමට ඉඩ ඇති බැවින්, මෙම ගැටළුව, විශේෂයෙන්ම, රජයට තවත් හිසරදයක් විය හැකිය. 2017/2018 දී ජපන් තානාපති කාර්යාලයේ Sato Takefumi මහතා සමඟ Yacheo ඉංජිනේරු සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකුගෙන් සමන්විත තවත් ජපන් කණ්ඩායමක් ලේඛකයා හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රශ්නය ද ලේඛකයා විසින් පෙන්වා දෙන ලදී.
පුරප්පාඩු වී ඇති VHF Band III වර්ණාවලිය නැවත සකස් කිරීමෙන් භාවිතා කිරීමට සැලසුම් කර නොමැති නම්, විකාශනය සඳහා විශේෂයෙන් වෙන් කර ඇති මෙම VHF වර්ණාවලිය අපතේ යනු ඇත.
ඩිජිටල් සංඥා විශ්වාසනීයත්වය සහ පැහැදිලිව ලැබිය හැකි බව
ඇනලොග් විෂය පථයේදී මෙන් නොව, ඩිජිටල් රූපවාහිනී සංඥා ලබාගැනීමේදී, එහි විශ්වාසනීයත්වය එනම් එය පැහැදිලිව ග්‍රහණය කරගැනීමට හැකි සංඥා ශක්ති මට්ට්මක් නැරඹුම් ස්ථානයේ පැවතීම ඉතා තීරණාත්මක වේ. ඇනලොග් යුගයේදී, සේවා සංඥාවල සපයන ක්ෂේත්‍ර ශක්ති මට්ටම, ස්ථාන අනුව ගත්කල 50% කට නොඅඩු සහ කාල වශයෙන් ගත්කල, සපයන ලද ශක්ති මට්ටම සියයට පණහක කාලයක් තුල අඩු නොවිය යුතු ලෙස රූපවාහිනී විකාශන සැලසුම් කර ඇත. නමුත් ඩිජිටල් වලදී මෙය ස්ථාන අනුව 80%-95% ක් බවට පත් වන අතර ඩිජිටල් සංඥාවේ විශ්වසනීයත්වය සහ පැහැදිලිව ලබා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා සියයට 90ක කාලපරාසයක් තුල සංඥා ශක්තිය වෙනස් නොවය යුතු බව පිළිගැනේ. එබැවින් අවශ්‍ය විශ්වසනීයත්වය සහ පැහැදිලි සංඥා ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ක්ෂේත්‍ර ශක්තිය මැනවින් සැලසුම් කිරීම අවශ්‍යවේ.
කෙසේ වෙතත්, 2014/2018 ප්‍රකාශිත ජපන් සැලසුම්වල ඇති ලේඛනවලින් මෙම ගැටලුව ආමන්ත්‍රණය කර තිබේද නැතහොත් වෙනත් ආකාරයකින් හඳුනාගෙන ඇතිදැයි පැහැදිලි නැත. 2018 ජපන් ලියකියවිලි වල සඳහන්කර ඇති සංඥා ශක්ති මට්ටමේ තාක්ෂණික මිණුම වන 51 dBuV/m සංඥා මට්ටම UHF කලාපයේ ග්‍රාමීය ශ්‍රේණියේ සේවාවක් සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා එය UHF Band IV කලාපයේ 50 dBu/m හා UHF Band V කලාපයේ 54 dBuV/m පරාසයේ මිණුමක් විය යුතුය.
ද්විකරණ පරාමිතිය:
සැලසුම්ගත ඇනලොග් ආවරණයක සංඥා ශක්ති මට්ටමේ සීමාව VHF Band III සඳහා 50 dBuV/m වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සමහර ප්‍රාදේශීය සහ ග්‍රාමීය නරඹන්නන්ට දැනට නැරඹිය හැකි ඇනලොග් සංඥා මෙම අගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී. 2014 දී කළ ජපන් අධ්‍යයනයන් මගින් සැලසුම් කර ඇති පරිදි, වත්මන් ඇනලොග් ආවරණය වෙනුවෙන් සැලසුම් කළ ඇති 50dBuV/m කඩඉම් මට්ටම, ඩිජිටල් සංඥා සඳහා 55 dBuV/m ට පරිවර්තනය කරන්නේ නම්, දැනට කිසිදු ගැටලුවක් නොමැතිව ඇනලොග් රූපවාහිනිය නරඹන ප්‍රාදේශීය සහ ග්‍රාමීය නරඹන්නන්ගෙන් බහුතරයකට, ඩිජිටල් රූපවාහිනී ආවරණය ලබා ගැනීමට නොහැකි වනු ඇත. මෙය නව රජයට දේශපාලනිකව අතිශයෙන් අහිතකර හිසරදයක් වනු ඇත. එබැවින්, ඉහත දක්වා ඇති පරිදි කපා හැරීමේ සංඥා මට්ටම ඔස්ට්‍රේලියාවේ මෙන් 43 dBuV/m දක්වා අඩු කළ යුතුය. (ඉහත රූප සටහන බලන්න)
තනි සංඛ්‍යාත ජාල (SFNs) මෙම ආවරණයේ වෙනස අවම කිරීමට විසඳුමක් වුවද, Set-Top-Boxes (STBs) ග්‍රාහක ආකෘතිවල ඇති වෙනස්කම් සහ SFN ග්‍රාහකයේ සංකීර්ණතා හේතුවෙන් ග්‍රාහක අන්තයේ ඒවා ක්‍රියාත්මක කිරීම පහසු නොවේ.
ජපන් නිර්මාණකරුවන්, මෙම ගැටළුව දැන සිටියද, සමස්ථ තරංග පදධතියේ එනම් වර්ණාවලියේ ඵලදායිතාවයේ අවශ්‍යතාවය හේතුවෙන් මෙලෙස දැඩි ලෙස සීමා කර ඇතැයි විශ්වාස කෙරේ. බොහෝ දුරට, ඩිජිටල් සඳහා පවතින UHF තරංග කලාපයේ සීමාවන් සහ ජපන් ISDB-T ප්‍රමිතියේ අඩු දත්ත කාර්යක්ෂමතාවය සැලකිල්ලට ගෙන, මෙම ඉහළ ද්විකරණ සීමාව නිර්මාණකරුවන් විසින් යම් වර්ණාවලි ඵලදායිතාවයක් ආරක්ෂා කර ගැනීම සඳහා (අවම සංඛ්‍යාත ප්‍රමාණයකින් ව්‍යාපෘතිය නිමකිරීමට) යෝජනා කර ඇත.
ඩිජිටල් සඳහා එක් ජාල ක්‍රියාකරුවෙක්
ඩිජිටල් රූපවාහිනිය ක්‍රියාත්මක වීමත් සමග, එක් ස්ථානයක සිට එක් සංඛ්‍යාතයක් මගින් අන්තර්ගතයන් (හෙවත් නාලිකා කිහිපයක්) ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන බැවින්, ඒ ඒ නාලිකා විසින් පවත්වාගෙන ගිය තනි සංඛ්‍යාත සම්ප්‍රේෂණ පහසුකම්වල අවසානය ද ඒ සමග සිදුවේ. ඒකාබද්ධ ඩිජිටල් සම්ප්‍රේෂණ සේවා සපයන්නා අනාගතයේදී ස්වාධීන ආයතනයක් විය හැකි අතර, ප්‍රායෝගික ව්‍යාපාර සැලැස්මක් මත ගාස්තු අයකිරීමේ පදනමක් මත විකාශකයින්ට පහසුකම් පිරිනැමිය හැකිය. අනාගත ඩිජිටල් විකාශන පවතින පසුබිමක, වත්මන් විකාශකයින් අත්‍යාවශ්‍යයෙන්ම ‘අන්තර්ගත‘ (වැඩසටහන්) සපයන්නන් වනු ඇත. සමහර විට, නව අන්තර්ගත සපයන්නන් ද ඩිජිටල් සම්ප්‍රේෂණ භාවිතා කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම්, පවතින විකාශකයින්ට යම් ආකාරයක ආරක්ෂාවක්ද රජය විසින් සැපයිය යුතුයැයි යෝජනා කෙරේ.
ප්‍රේක්ෂකයන් සහ විකාශකයින් සඳහා පිරිවැය
සියලුම පාරිභෝගික රූපවාහිනී යන්ත්‍ර වලට ඩිජිටල් සම්ප්‍රේෂණ වලින් දශ්‍ය සහ ශ්‍රව්‍ය අන්තර්ගතය උකහා ගැනීමට ඩිජිටල් ග්‍රාහක අවශ්‍ය වේ. එබැවින්, ISDB-T ග්‍රහණය කිරීමට නිෂ්පාදනය කර ඇති රූපවාහිනී යන්ත්‍ර හෝ එසේ නොමැතිනම් ගැළපෙන Set Top Box එකක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම LCD / LED තිර සහිත රූපවාහිනී යන්ත්‍ර වල ඩිජිටල් සම්ප්‍රේෂණ ක්‍රමයන් ග්‍රහණය කිරීමේ හැකියාව ඇතත්, ඉන් සමහරක ISDB-T ලබාගැනීමේ පහසුව නැත. ඒවා භාවිත කරන්නන්ට අමතර පිරිවැයක් දරා ISDB-T ග්‍රාහක උපකරණයක් (Set Top Box) එකක් මිලදී ලබාගත යුතුය. H.265 ප්‍රමිතියේ මෙවන් ග්‍රාහක, ඒවායේ සංකීර්ණතාව අනුව මිල බොහෝවිට ඇමරිකානු ඩොලර් 50 සිට 100 දක්වා විය හැකිය.
යම් හෙයකින් මෙම අවස්ථාවෙහිදී, VHF බෑන්ඩ් ඇතුළු සංඛ්‍යාත තරංග පන්තීන් නැවත සකස් කිරීමකට ඉඩ තිබේ නම්, ඒවා ග්‍රහණය කිරීමට STB එකක් හෝ දෙකක් අවශ්‍ය විය හැකිය; එකක් පළමු අදියරේදී ද, අනික VHF Band III තරංග කලාපයට සුසර කිරීමේ හැකියාව ඇති නාලිකා ස්ථාපනය කිරීමෙන් පසුවය. මීට අමතරව, සමහර ගෘහස්ථ ස්ථානවල, VHF/UHF නාලිකා ලබා ගැනීම සඳහා නව ග්‍රාහක ඇන්ටනා ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් ද තිබිය හැකිය. එසේ නම් මෙය නරඹන්නාට ද අමතර වියදමකි.
HD සූදානම් චිත්‍රාගාර සැපයීම, බාහිර විකාශන (OB)/ඉලෙක්ට්‍රොනික ප්‍රවෘත්ති එකතු කිරීමේ (ENG) උපකරණ, සහ නිෂ්පාදිත වැඩසටහන් ඩිජිටල් විකාශන ස්ථානය වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය වන මෙවලම් ආදිය වෙනුවෙන් වාණිජ රූපවාහිනී විකාශකයින්ට සැලකිය යුතු පිරිවැයක් ද දැරීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, වාණිජ රූපවාහිනී විකාශකයින් ඒකාබද්ධ විකාශන කුළුණු භාවිතා කිරීමට තෝරා ගත් පසු, ඩිජිටල් පරිසරයක් තුළ ඔවුන්ගේ ස්වාධීන සම්ප්‍රේෂණ ජාලයන් තවදුරටත් අවශ්‍ය නොවන බැවින් ඇනලොග් යුගයේ සම්ප්‍රේෂණ පිරිවැය ද අතුරුදහන් වනු ඇත. රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීම සඳහා වන ජපන් මූල්‍ය යෝජනාව මූලික වශයෙන් ජාතික රූපවාහිනිය සඳහා වන අතර එය True HD චිත්‍රාගාරයක්, බාහිර ප්‍රචාරක රථයක් සමග සම්ප්‍රේෂණයක් ලබා දීම, යෝජිත ඩිජිටල් විකාශන ජාල මෙහෙයුම් (DBNO) සඳහා උපකරණ සහ මධ්‍යම පාලන මධ්‍යස්ථානයක් නෙළුම් කුළුණේ ස්ථාපිත කිරීම ඇතුළු රූපවාහිනී පහසුකම් ඩිජිටල් හුවමාරුවට අනුරූප අරමුදල් සැපයීමට සීමා වී ඇති බව අවධාරණය කිරීම කැපී පෙනේ.
මෙම අවස්ථාවෙහිදී, වාණිජ නාලිකාවල ඇනලොග් සම්ප්‍රේෂණයේ සිට ඩිජිටල් සම්ප්‍රේෂණය දක්වා සුමට සංක්‍රමණයකට පහසුකම් සැලසීම සඳහා වන ‘මාර්ග සිතියමක්’ සැකසීම සඳහා විකාශකයින් සමඟ කිසිදු සාකච්ඡාවක යෙදීමට සලකුණක් පෙනෙන්නට නොමැත. සංඛ්‍යාත නැවත ගොඩනැගීමක් (Restack) සිදු වන්නේ නම්, අමතර පිරිවැයක් දැරීමට ඉඩ ඇත, නමුත් එවැන්නක් සඳහා වත් තවදුරටත් ජපන් අරමුදල් ගැන සඳහනක් නොමැත. වාණිජ රූපවාහිනී විකාශකයින්ට අමතර පිරිවැයක් දැරීමට ඉඩ ඇති බැවින්, ඉහළ තරඟකාරී වෙළඳපොලක් තුළ අතිරේක ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා උපායමාර්ගික රජයේ ප්‍රතිපත්තියකට මුලපිරීමක් වේ.
ඉදිරි මග
ISDB-T නාලිකාවක රැගෙන යා හැකි අන්තර්ගතයන්ගේ ධාරිතාව උපරිම ලෙස භාවිතා කිරීමේ අරමුණින් ජපන් සැලැස්මෙහි දැන් වඩාත් කාර්යක්ෂම කේතකය වන H.265 ඇතුළත් කර ඇති බව සටහන් කිරීම සතුටට කරුණකි, එවිට True HD සම්ප්‍රේෂණ ය (1920 x 1080P) කොළඹ සියලුම බලපත්‍රලාභී රූපවාහිනී නාලිකා සඳහා ලබා දීමට හැකිවනු ඇත.
ජපන් උපදේශකයින්ට VHF Band III භාවිතා කිරීමේ ගැටළු පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ හැකි නම්, අන්තර්ජාතික සංනිවේදන සංගමයේ (ITU) ප්‍රමිතීන්ට අනුව UHF සඳහා වන සංඥා මට්ටම සකසා ගැනීම සඳහා ක්ෂෙත්‍ර ශක්ති අවශ්‍යතා වෙනස් කිරීම ඇතුළුව හා විශේෂයෙන් ද්විකරණ පරාමිති ගැටළු විසඳාගැනීමට හැකි නම්, රජය සහ විකාශකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට ශ්‍රී ලංකාවේ රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපාරය දෙස ඉතා ඔනෑකමින් බලා සිටින බවට සැකයක් නැත.
*සිංහලට පරිවර්තනය කළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු නි.අධ්‍යක්ෂ (ඉංජිනේරු), අනුර මුණසිංහ විසිනි.