25 April, 2024

Blog

විකල්පය කුමක්ද​: රාජපක්ෂ වන්දනාවේ යෙදෙන එජාපය​ හෝ සජබද? නැත්නම් ජාතික ජන බලවේගයද​?

සිසිර කොඩිතුවක්කු –

දැන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර තරගය ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් වැඩි පිරිසක් තමන් වෙත දිනා ගැනීමටත් වඩා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිත දිනා ගැනීමටය. මීට පෙර අවස්ථා ගණනාවකදී මෙන්ම අද හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයෙන්ද එය පැහැදිලි වේ.රනිල් වික්‍රමසිංහලා සහ රවී කරුණානායකලාද, සජිත් පේමදාසලා සහ හරීන් ප්‍රනාන්දුලා තරඟයට මෙන් ජනාධිපතිවරයා වටේ දැවටෙමින් කියන්නේ කුමක්ද? ඔහුට සහාය දෙන බවයි.

මේ කුමන වර්ගයේ දේශපාලනයක් ද? ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ කඳවුරට බරපතළ චෝදනා ඉදිරිපත් කරමින් ඡන්ද ව්‍යාපාරය සිදු කර, ඊයේ පෙරේදා ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව පවසමින් උසාවියට ගිය සජිත් පේමදාස ලා දැන් කියන්නේ ජනාධිපති ගේ දෑත් ශක්තිමත් කළ හැක්කේත්, ජනාධිපතිගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය හැකි එකම කණ්ඩායම ඔවුන් බවය.

එසේනම් ඒ ගෝඨාභය රාජපක්ෂ ගේ කුමන ප්‍රතිපත්තිවලට ද? මොවුන් පසුගිය 2015-2020 පාලනයේ දී ද සිදු කළේ මෙයමය. ඒ අවස්ථාවේදී මැතිවරණයේදී එකක් කියා පසුව රාජපක්ෂලා සමග යටි ගිවිසුම් සහිතව වැඩ කර එක්සත් ජාතික පාක්ෂිකයා මෙන්ම එම ආණ්ඩුව පිහිටුවීමට ඡන්දය ලබා දුන් සියලුම ඡන්ද දායකයන් අනාත කළේය.
දැන් ඔවුන් ඡන්දයට පෙරම රාජපක්ෂ පවුලේ ප්‍රතිපත්ති සමග සහයෝගයෙන් කටයුතු කරන බව පවසයි.

රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස ලා මැතිවරණයෙන් පසුව රාජපක්ෂලා සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් ජනතාව කෙලින්ම රාජපක්ෂලාට ම ඡන්දය නොදිය යුත්තේ ඇයි?

එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් දිගින් දිගටම සිදු කරන මෙම රාජපක්ෂ වන්දනාවට හේතු මොනවාද?

තම තමන්ට එල්ලවී ඇති මහ බැංකු වංචාව හෝ රේගුවේ වාහන නිදහස් කිරීමේ වංචාව හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලෙ වංචාව හෝ වැනි දෙයක් මුල් කරගෙන රාජිත සේනාරත්නට, චම්පික රණවකට හිමි වූ ඉරණම තමාට ද අත්පත් වේය බියෙන් රාජපක්ෂ වන්දනාවේ යෙදීම ය.

එසේ නැතිනම් රාජපක්ෂලාගේ රටට ,එරෙහි ප්‍රතිපත්ති ගැන කිසිදු හිරිකිතයකින් තොරව තමන්ට පාරම්පරිකව ලැබෙන ඡන්ද ප්‍රමාණය රාජපක්ෂලාගේ දෙපතුල ළඟ තබා හෝ තමා බේරී තම ඡන්දදායකයා බිල්ලට දීමෙ ප්‍රතිපත්ති විරහිත දේශපාලනය ය.

එසේත් නැතිනම් රාජපක්ෂ පවුල් පාලනය විසින් මේ රටට අත්පත් කර දීමට ඉඩ තිබෙන බරපතළ විනාශය පිළිබඳ කිසිදු තැකීමක් නැති කමය.

මේවායින් කුමක් වුවද මේ එලිපිට පෙන්නුම් කරන්නේ දේශපාලන දීන බව හා තමාගේම පාක්ෂිකයන් රැවටීම හැර අන් කුමක්ද?

රාජපක්ෂලාට සහයෝගය දිය හැකි කුමන ප්‍රතිපත්තියක් වත් නැති බව පසුගිය මාස 7 තුළ දී රාජපක්ෂ පාලනය ඕනෑවටත් වඩා ඔප්පු කර තිබේ.එය ජනතාව කෙරෙහි කිසිදු තෙතමනයක් නැති පාලනයක් බවත්, එය දේශපාලන පක්ෂයක පාලනයන් නොව පවුලක පාලනයක් බවත්,රටේ නීතිරීති වලට හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට කිසිදු ගරු කිරීමක් නොමැති හැකි පළමුවන මොහොතේම ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසි කරන, දහනව වැනි සංශෝධනය ඉවත් කරන, රටේ සම්පත් විනිවිද භාවයෙන් තොරව තම හිතවතුන්ට විකිණීමට (චීනයට, ඉන්දියාවට ඇමරිකාවට) නොපැකිළෙන,තම බල උවමනාව වෙනුවෙන් කොරෝනා වසංගතය පවා නොසලකා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන, සිවිල් පාලනයකට වඩා හමුදා පාලනයකට ලෝලත්වයක් දක්වන, ජාතිවාදය හා වර්ගවාදය තම ප්‍රධාන දේශපාලන උපාය මාර්ගය කර ගත් පවුල් පාලනයක් බව සනාථ කර තිබේ. එවන් පාලනයකට සමගි ජන බලවේගයේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහයෝගය දෙනවාය යන අදහසම පවා මේ මොහොතේ තමන්ට ලැබුණු 56 ලක්ෂයක ජනතාව පාවා දීමකි.

මංගල සමරවීර කල්තබාම ඉල්ලා අස්වෙන්නේ මේ ජුගුප්සාජනක ප්‍රතිපත්තියක් සහ කොන්දක් නැති සජිත් පේමදාසලගෙ සහ වික්‍රමසිංහ ලා ගේ දේශපාලනය හොඳින් දන්නා නිසා විය යුතුය. එම පිළිකුල ම සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයන්ට ම(කණ්ඩායම් දෙකේම) හොඳින් දැනේ.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා නොදී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට සහයෝගය ලබා දීම ඒ මොහොතේ හැටියට අප්‍රායෝගික දේශපාලනයක් බව පැහැදිලිය. නමුත් ඒ මොහොතේ දී එම ප්‍රායෝගිකභාවය වෙනුවට නිවැරදි දේශපාලනය තෝරා ගත්තේ නම්, අනුර කුමාර ප්‍රමුඛ මාලිමාවට ඡන්ද ලක්ෂ 15ක්- 20ක් ලබා දුන්නේ නම් ,ජනාධිපතිවරනයේ ද කුමන අපේක්ෂකයෙක් දමා හෝ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි තත්ත්වයක් යටතේ, එම ලක්ෂ 15- විස්සේ ආයෝජනය අගෝස්තු 5 ට නියමිත මහ මැතිවරණයේදී බරපතළ ආයෝජනයක් විය හැකිව තිබුණි.

නමුත් දැන් සිදුවී ඇත්තේ ලක්ෂ පනස් හයක් ගත් අපේක්ෂකයා රාජපක්ෂ වන්දනාවෙ යෙදීම නිසා අගෝස්තු 5 රාජපක්ෂලා ගෙ අභියෝගයට මුහුණ දීමට තරම් විශාල කඳවුරක් ජනතාවට අහිමි වී තිබීමය.

රටට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂලා නියෝජනය කරන දුර්දාන්ත දේශපාලන ප්‍රතිපත්ති වලට එරෙහි ප්‍රතිපත්තිමය කඳවුරකි. එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත, ශිෂ්ට සම්පන්න දේශපාලන ප්‍රතිපත්ති මත, පුරවැසි බලය ගැන විශ්වාසය තබන,අවශ්‍ය විටෙකදී රාජපක්ෂලා සමග මුහුණට මුහුණ වුව අභිමුඛ විය හැකි දේශපාලන කඳවුරකි. දැනට ඒ සඳහා ඇත්තේ අනුර කුමාර ලාගේ ජාතික ජන බලවේගය යි. ජාතික ජන බලවේගයට ඉහත සියලුම සුදුසුකම් ඇතත් එය රාජපක්ෂලා පැරදවීමට අවශ්‍ය ඡන්ද කදවුර බවට මේ මොහොතේ ද පත්වන්නේ නැත. අනුර කුමාරලා පමණක් නොව මේ මොහොතේ දී බෙදී සිටින එක්සත් ජාතික පක්ෂයේ කුමන කණ්ඩායමක් වත් එයට මේ මොහොතේ සමත් වන්නේ නැත. නමුත් ජාතික ජන බලවේගය 2020 දී ශක්තිමත් කිරීම හා 2025 දී හෝ රාජපක්ෂලාට ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ඡන්දම ය වශයෙන් ද අභියෝග කළ හැකි, ශක්තිමත් දේශපාලන කඳවුරක් බිහි කිරීම ප්‍රතිපත්ති විරහිත දුර්වල සහ දියාරු එක්සත් ජාතික පක්ෂ නායකයන්ගෙන් හෙම්බත් වී ඇති පාක්ෂිකයන්ට සහ හිතවතුන්ට කළ හැකි කළ යුතු එකම දේ ලෙස සිතමි.

මා නැවත කියන්නේ 2019 ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායකට ලක්ෂ 15-20ක ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට සජිත් පේමදාස පස්සේ ගිය ජනතාවගෙන් කොටසක් හෝ සිතුවේ නම් එය මෙම අගෝස්තු 5 සටනට රටේ ජනතාවගේ පැත්තෙන් කොපමණ විශිෂ්ට දේශපාලන සම්පතක් විය හැකිව තිබුණේ ද යන්න කල්පනා කරන ලෙසයි.
එසේ වූයේ නම් රනිල්ලාගේ ,සජිත්ලාගෙ මෙම ප්‍රතිපත්ති විරහිත කොන්දක් නැති දේශපාලනය වෙනුවට රාජපක්ෂලාගේ ඡන්ද කදවුර අභියෝගයට ලක් කල හැකි මට්ටමේ ඡන්ද කඳවුරක් මෙවර මහ මතිවරණයේ දීම නිර්මාණය කරගත හැකිව තිබුණි.

නමුත් එම අවස්ථාව අප විසින්ම අහිමි කරගෙන තිබේ.දැන් ඇත්තේ 2025 දී ගොඩනගන පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන්, නවීන ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් අගෝස්තු 5 මහ මැතිවරණයේදී අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කදවුරට ඡන්දය ලබා දී, 2025 දී රටට අවශ්‍ය බලවේග උපරිම මට්ටමින් ගොඩනැගීම 2020 අගෝස්තු 5 සිට ආරම්භ කිරීම යි. හිතන මතන එක්සත් ජාතික පාක්ෂිකයන්ටත්,

රාජපක්ෂ පාලනයන් හි මහා පරිමාණ විනාශයන් වැළැක්වීමේ අරමුණින් පමණක් ම එක්සත් ජාතික පක්ෂයට නිරන්තරව ඡන්දය ලබා දෙන හිත වතුන්ටත් මෙම රනිල් සජිත් උගුලෙන් මිදී මට ඇති එකම මාවත එයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    හඳුන්නෙතිගේ අපේක්ෂකත්වය ගැන පවසන දේට මම සවන් දුනිමි. ඩ්‍රයි අමිලා තෙරෝ පුනරාවර්තනය වන විට, ෆයිබර් කැන්ට් බොහෝ වැඩ කරයි, නමුත් කෙඳි පොකුරක් එකට කඹයක් බවට පත්වීම නිසා එය බර නැවක් ජැටියකට නැංගුරම් දැමිය හැකිය. දැනට පවතින එකතැන පල්වෙන තත්වයට වඩා සුනිල් හන්ඩුනෙතිට වඩා පැහැදිලි වෙනස්කම් කළ හැකිය. එහිදී මට තේරුණා, ඔහුගේ අදහස් කොතරම් ශ්‍රේෂ් are ද කියා. අන්තිම පාර්ලිමේන්තුවේදී ඔහු සහ ඔහුගේ මිනිසුන් විශාල වැඩ කොටසක් කළා. ඔවුන් පාර්ලිමේන්තුවේ සිටියා නම්, ඉහළ අපරාධ හා සොරකම් සම්බන්ධයෙන් බොහෝ දේ හෙළි නොවනු ඇත. කෙසේ වෙතත්, ජේවීපී අපේක්ෂකයින් අනෙක් අයගෙන් වෙන්කර හඳුනා ගැනීමට ජනතාව තවමත් සිතුවේ නැත. අද, අපට පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීමට තවත් බොහෝ ජේ.වී.පී. සුපුරුදු පරිදි ජනතාව නොමඟ යවමින් රාජාක්ෂ්ෂේ ආධාරකරුවන් සහ හෙංචයියන් තෝරා ගත හැකි බව දැන සිටීම, ජේවීපී කාරයින් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම තීරණාත්මක ය. එබැවින් කරුණාකර ඉදිරි මැතිවරණයේදී ඔබේ ඡන්දය නාස්ති කිරීමට පෙර දෙවරක් සිතන්න. ඔබේ හදවත ඔබ සමඟ එකඟ නොවන්නේ නම්, කිසිඳු අපරාධකරුවෙකු වෙනුවෙන් ඔබේ ඡන්දය නාස්ති නොකරන්න. රට තුළ පැහැදිලි වෙනසක් කළ හැකි හා කළ හැක්කේ ඔබයි. අනාගත ප්‍රතිසංස්කරණ සඳහා නීති සම්පාදකයින් තවත් බොහෝ දේ කළ යුතුය. සෑම කුඩා අවස්ථාවකම, තේරී පත්වන අය, ඕනෑම කුඩා වෙනසක් පවා වර්ධනය කිරීම සඳහා සුළු පියවරක් ගත යුතු විට, පණ නැති වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.