17 June, 2025

Blog

ග්‍රාම්ස්ෂි පිළිබඳ මතකය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ඒ ටියුරින් නගරයේ ‘වියා දෙල් ආචිවෙස්කොවාඩෝ’ හි රාත්‍රීයේ පශ්චිම යාමයකි. දකුණුදිග භාෂා විලාසයක් ඇති මිනිසෙක් “නව පර්යාය” පුවත්පතේ කාර්යාලය ඉදිරිපිට පෙනී සිටියි. ඔහු තමන්ට ප්‍රධාන සංස්කාරකවරයා මුණ ගැසීමට වුවමනා යැයි තදින්ම කියා සිටියි. “නව පර්යාය” යනු කම්කරුවන්ගේ දෛනික පුවත්පත පමණක් නොවීය; එය ග්‍රාම්ස්ෂිගේ පුවත්පතද විය.

එසේ වුවත්, 1920 ගණන්වල මුල් භාගයේදී ටියුරින්හි පැවති දේශපාලන වාතාවරණය අතිශය පීඩාකාරී එකක් විය. සෑම රාත්‍රියකම ෆැක්ටරි කම්කරුවන් මාරුවෙන් මාරුවට ගොඩනැගිල්ලේ දොරටුව මුර කරයි. මේ ස්ථානය කඩා බිඳ දැමීමට ඉක්මනින් හෝ කල් පසුවී ෆැසිස්ට් බලකායන් කඩා වදිනු ඇතැයි සියලු දෙනාම අපේක්ෂාවෙන් සිටියි.

ගොඩනැගිල්ලට මුරකාවල් යොදා ඇත. කම්කරුවන් සන්නද්ධය. ප්‍රධාන පිවිසුම සහ සංස්කාරක කාර්යාලය අතරමැද දිගු කොරිඩෝවක්, ගෙමිදුලක්, ගේට්ටුවක්, කටුකම්බි වැටක්, විශාල වානේමය බාධකයක්, බෝම්බ සහ මැෂින් තුවක්කු තිබේ; නැතහොත්, එසේ කියනු ලැබේ.

මුර භටයා මිනිසාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බලයි. ඔහු නේපල්ස් නගරයේ සිට පැමිණි අයෙකු බැව් පෙනේ. නමුත්,ඔහු ෆියට් කොම්පැණියේ ඔත්තුකරුවෙකු විය හැකිය; ෆැසිස්ට්වාදියෙකු විය හැකිය; පොලිස්කාරයෙකු විය හැකිය (නැත්නම් ඒ තිදෙනාම වීමටද හැකිය). ඔහුට ග්‍රාම්ස්ෂිව මුණ ගැසීමට අවශ්‍ය නම් අතරමග මුරකාවල් නොපෙනෙන පරිදි ඔහුගේ ඇස් බැඳිය යුතු බව මුරභටයා පවසයි.

“සැක කටයුතු” ආගන්තුකයා කෝපයට පත්වේ; පිටත්ව යාමට සැරසේ. නමුත්, පියවර කිහිපයක් ඉදිරියට ඇවිද ගොස් ආපසු හැරී බලා මෙසේ පවසයි:

“ග්‍රාම්ස්ෂිට කියපං බෙනෙඩෙත්තෝ ක්‍රොචේ එයාව මුණ ගැහෙන්න ආව කියලා”

(බෙනෙඩෙත්තෝ ක්‍රොචේ යනු එකල ඉතාලියේ විසූ වඩාත්ම බලපෑම් සහගත බුද්ධිමතාය; ග්‍රාම්ස්ෂිද ඔහුගේ ආභාසය ලබා ඇත. ක්‍රොචේට විවේචනාත්මකව ප්‍රතිචාර දැක්වීම සඳහා ග්‍රාම්ස්ෂි පසුකාලීනව ඔහුගේ සිරගෙයි සටහන් විශාල ප්‍රමාණයක් වැය කොට තිබේ; ඇතැමුන් ග්‍රාම්ස්ෂි සහ ක්‍රොචේ අතර සම්බන්ධය මාක්ස් සහ හේගල් අතර සම්බන්ධය සමග සසඳයි – පරිවර්තක).

ඔහුව මුණගැසීමට නොහැකි වීම ගැන ග්‍රාම්ස්ෂි කණගාටු විය. නමුත්, ඒ අතරම ඔහු හඬ නගා සිනාසුණේය. එකල ඉතාලියේ සිටි වඩාත්ම සම්භාවනාවට පත් බුද්ධිමතා දෙනෙත් බැඳගෙන අන්තෝනියෝව මුණ ගැසීමට අසීරුවෙන් ඇවිද එන දර්ශනය මැවී පෙනෙන විට ඔහුට සිනා නොවී සිටිය නොහැකි විය. එසේම ඔහු සිනාසුණේ ඔහු සරල හාස්‍ය රසය දන්නා මිනිසෙකු වූ නිසාය; ඔහු සමාජශීලී, සිනාමුසු මිනිසෙකි. ග්‍රාම්ස්ෂි නිතර කුඩා දරුවෙකු සේ හඬ නගා සිනාසෙන විට කව්රුත් පාහේ හොඳ මානසිකත්වයකට පැමිණේ.

ජීවිතයේ බාධක කම්කටොළු

මා පසුගිය වසරේදී රෝමයේ ග්‍රාම්ස්චි පදනමෙහි වැඩ කරන අතරතුරදී මට ග්‍රාම්ස්චි සැබවින්ම කෙබඳු අයෙකු විණිදැයි දැන ගත හැකි පුද්ගලික සාක්ෂ්‍ය රැසක්ම අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබිණ. මට මුලින්ම ග්‍රාම්ස්ෂිගේ සිරගෙයි සටහන් පොත් හඳුන්වා දුන් ෆබියු දෙයි විසින්ද මාරියා ලුයීසා රීගි සහ ෆ්‍රන්චෙස්කෝ ජියාසිගේ පර්යේෂණ විසින්ද දිරි ගන්වනු ලදුව, ඒ මිනිසාව සැබවින්ම අවබෝධ කර ගන්නට මට හැකියාව ලැබිණ. මා සොයා ගත් දෙය නම් ග්‍රාම්ස්ෂි විහිළු තහළු කරන්නට හුරු අයෙකු බවයි; සමාගමයට හුරු අයෙකු බවයි; සරදම් කිරීම්වලට (ඒවා අන් අයට සිදු කරන ඒවා හෝ තමන්ටම ඉලක්ක වූ ඒවා විය හැකිය) හුරු අයෙකු බවයි – ඔහු සාමාන්‍යයෙන් අප සිතින් මවා ගන්නා ආකාරයේ රළු ශෝකාන්තමය වීරයෙකු නොවේ.

ග්‍රාම්ස්ෂි 1937 වසරේ අද වන් දිනයක ෆැසිස්ට්වාදයේ ගොදුරක් ලෙස මරු මුවට පත් වන විට ඔහුගේ සුප්‍රසිද්ධ “බුද්ධියේ සර්ව අසුබවාදය” නමැති යෙදුම හැරුණු කොට ඔහුගේ ජීවිතය තුළ අසුබවාදයේ මං සලකුණු පැවතියේ නැත. ග්‍රාම්ස්ෂිට අනුව, “බාධක ජය ගැනීම පිණිස තමන් සතුව ඉතිරිව ඇති අධිෂ්ඨාන ශක්තිය සහ සර්ව සුබවාදය පෙළ ගස්වා ගැනීම සඳහා” අප වඩාත්ම නරක තත්ත්වය පරිකල්පනය කිරීම වටී.

නමුත්, ග්‍රාම්ස්ෂි පොට් රෝගයෙන් පීඩා වින්දේය. මේ රෝගය නිසා ඔහු නිතරම දුෂ්ට ගති ඇත්තන්ගේ ඔච්චමට ලක් විය – එසේම ඔහුගේ තියුණු තර්කවල සුපිරිතම භාවයට මුහුණ දෙන්නේ කෙසේදැයි නොදත් අයවළුන්ද එසේ කළහ.

1925 වසරේදී බෙනිටෝ මුසෝලිනී සම්පූර්ණ රාජ්‍ය බලය අත් පත් කර ගැනීමට ආසන්නව තිබියදී ග්‍රාම්ස්චි ඉතාලියානු පාර්ලිමේන්තුවේදී කළ එකම කතාව එවන් අවස්ථාවකි. ග්‍රාම්ස්ෂි ෆැසිස්ට් පාලනාධිකාරය හෙළා දකිමින් කළ ඒ කතාවට ෆැසිස්ට් මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කළේ “කට වහපන් රිගොලෙත්තෝ!” යනුවෙන් මොර දෙමිනි. (රිගොලෙත්තෝ යනු ජුසෙප්පේ වෙර්දි විසින් එනමින්ම නිර්මාණය කරන ලද ඔපෙරාවක එන කුදු සිරුරකින් යුතු චරිතයකි. ග්‍රාම්ස්ෂිද කුඩා කල ලක් වූ හදිසි අනතුරක් හේතුවෙන් කුදු ගතියකින් යුක්ත විය – පරිවර්තක).

ඔහුගේ සරසවි ජිවිතයේදීද ඔහු එවන් අපහාසයන්ට ලක් විය; වරක් ඔහුගේ පංතියේ සිටි ඇතැම් සිසුන් ඔවුනගේ මහාචාර්යවරයා වූ වැලන්ටිනෝ අන්නිමලේ පස්තොරේ හට මෙලෙස පවසා තිබේ: “අර ග්‍රාම්ස්චි ඉන්නවා නේද…ඔයාට පේනවනේ මිනිහා නිකම් කුද්දෙක් විතරයි.” (වැලන්ටිනෝ අන්නිමලේ පස්තොරේ පැවැත්වූ දේශනවලට ග්‍රාම්ස්චි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහභාගී වී ඇති අතර ඒවා මාක්ස්වාදය පිළිබඳ ග්‍රාම්ස්ෂිගේ අවබෝධය වර්ධනය කර ගන්නට ප්‍රයෝජනවත් වී ඇතැයි සැලකේ – පරිවර්තක).

“ඔව් මිනිහා කුද්දෙක්” මහාචාර්යවරයා පිළිතුරු දුන්නේය. “ඒත් කොහොම කුද්දෙක්ද!”

මෙය පෝල් සෙසාන් විසින් ක්ලෝඩ් මොනේ අරභයා පවසන ලදැයි සලකන “ඔහු ඇසක් පමණයි, ඒත් කවර නම් ඇසක්ද එය!” යන ප්‍රකාශය ප්‍රතිරාවය කරන්නකි (පෝල් සෙසාන් සහ ක්ලෝඩ් මොනේ යනු විසිවන සියවසේ ප්‍රංශයේ විසූ ප්‍රකාශනවාදී චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකි. මොනේ වර්ණ අන්ධ භාවයෙන් පෙළුණු නමුත් එය ඔහුගේ කලාත්මක ප්‍රකාශනය වෙත සාධනීයව බලපෑ බැව් ඇතැමුන් පවසති – පරිවර්තක).

මේ රෝගී බව ග්‍රාම්ස්ෂිගේ ජීවිත කාලය පුරාම ඔහුව ලුහු බැඳ ආවේය – එසේම ඔහු ෆැසිස්ට් සිර ගෙය තුළ විඳි දුක් පීඩා ඔහුව අඩු වයසින් මරණයට පත් කරන්නට පවා හේතු විය. නමුත්, එය ඔහුගේ දෛනික ජීවිතය බෙහෙවින් සංකීර්ණද කළේය. ග්‍රාම්ස්ෂි හට පොට් රෝගය නොතිබුණි නම් ඔහු කෙවැනි පුද්ගලයෙකු වන්නට තිබුණාදැයි අපට දීර්ඝව විමසා බැලිය හැකිය. නමුත්, බොහෝ විට ජුසෙප්පේ අමොරෙත්ති ආදරණීය ලෙස සඳහන් කොට ඇති පරිදි,

“අන්තෝනියෝ වෙන විදියක කෙනෙක් විය නොහැකිය – වෙනස් නැත්නම් වඩා හොඳ අන්තෝනියෝ කෙනෙකු ගැන සිතිය නොහැකිය. ඔහු වනාහී සොබා දහම සහ සමාජය විසින් සැබවින්ම මවන ලද පුෂ්පය විය යුතුව තිබිණ. සෙසු සියලුම විශිෂ්ටයන්ගේ සහ විරුවන්ගේ මෙන්ම ඔහුගේද ශාරීරික සහ මානවීය ඉරණම උසස් හා අද්විතීය විය යුතුව තිබිණ; ඔවුනට තිබිය හැක්කේ සතුටු වන්නට හෝ දුක් වන්නට දේ නොව අවසානය දක්වාම යා යුතු ශ්‍රේෂ්ට සුපුෂ්පිත මාවතකි.”

නමුත්, 1920 ගණන්වල මුල් භාගයේ ටියුරින් නගරය තුළ නාස්ති කිරීමට කාලයක් තිබුණේ නැත – එසේම ග්‍රාම්ස්ෂි හට ඔහුගේම පැවැත්ම පිළිබඳ ගැටළු නිතරම දෙවන තැනෙහි ලා සලකන්නට සිදුව තිබිණ. ග්‍රාම්ස්චි ඔහුගේ එකම සේව්‍යයා වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන්නෙකු විය. එම සේව්‍යයා වූයේ කම්කරු පංතියයි. නමුත්, ටියුරිනයේ ෆැක්ටරි කම්කරුවන් සමග වූ ඔහුගේ ගනුදෙණුව සරල බවින් ඉතා දුරස් වූවක් විය. මන්ද යත්, ඔහු (අද මෙන්ම එදාද විසූ බොහෝ බුද්ධිමතුන් මෙන්) කම්කරුවන් නිෂ්ක්‍රීය විෂයයන් ලෙස නොසැලකූ බැවිනි.

1947 දී උම්බර්තෝ කලෝසෝ ව්‍යවස්ථා සභාවේ රැස්වීමකදී පැවසූ පරිදි ග්‍රාම්ස්ෂි සිතුවේ කම්කරු පංතිය යනු මිනිස් වර්ගයාගේ “ප්‍රභූ තන්ත්‍රය” යැයි කියාය – එබැවින් එයට එලෙස සැලකිය යුතුය. ඔව්, බුද්ධිමතුන් සහ බහු ජනයා අතර සම්බන්ධය අධ්‍යාපනික වූවක් විය යුතුය. නමුත්, ඉගැන්වීම සහ සංස්කෘතිය දෙපසටම ගමන් කළ යුතුය. එනම් කම්කරුවන්ගෙන් බුද්ධිමතුන්ට සහ එහි විලෝමය. සැබෑ බහුජන දේශපාලන ශික්ෂණ ශාස්ත්‍රයක් ගොඩ නැගෙනුයේ එලෙසිනි.

ග්‍රාම්ස්ෂිට අනුව යමෙකු කම්කරු පංතිය “වෙතට” ගමන් කළා නොවේ; නැතහොත්, ඔවුනට යහපත් පණිවුඩ රැගෙන යාම පිණිස ඔවුන් කරා හිස පහත් කොට බැලුවා නොවේ. ඔහුගේ වදන් කෝෂය අනුව සිදු වූයේ යමෙකු “කම්කරු පංතියේ තලයට නැගීමයි.” එනයින් පර්යාලෝකය අනෙක් පසට හැරෙයි. සිර ගෙදර විසූ ඔහුගේ “ශිෂ්‍යයෙකු” ප්‍රකාශ කළ පරිදි “බුද්ධිමතෙක් එක්ක කතා කරන ඕනෑම වෙලාවක කම්කරුවෙකුට දැනෙන බර ගතිය, දුරස්ත ගතිය අපට එයා ළඟදී දැනුනේ නෑ. එයා අපට සැලකුවේ විප්ලවය තේරුම් ගන්න බැරි බුද්ධියක් නැති නිකං සමාජ කැරැල්ලක උපකරණ විදියට නෙමෙයි.”

ක්‍රියාධරයන් බවට පත් වීම

ග්‍රාම්ස්ෂි 1919 වසරේදී “නව පර්යාය” පුවත්පත නිර්මාණය කළේ බහුජන දේශපාලන ශික්ෂණය ජීවමාන කරනු පිණිසය. එහි තවත් සංස්කාරකවරුන් තිදෙනෙකු සිටියහ. එනම්, පළමු ලෝක යුද්ධයට තිරසරව එරෙහි වූ ඇන්ජෙලෝ ටස්කා, පසුකාලීනව කොමියුනිස්ට් පක්ෂ මහා ලේකම් තනතුර හෙබ වූ පල්මිරෝ තොලියත්ති සහ 1948 දී පශ්චාත් යුද කාලීන ඉතාලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන්නට හවුල් වූ අයෙකු වන උම්බර්තෝ තෙරචිනී යන අයයි.

ඔවුන් සියලුම දෙනා වයස 30 නොඉක්මවූ අයවලුන් වූහ. සියලුම දෙනා මුසෝලිනීගේ හිංසනයට ලක් විය. ටස්කාට සහ තොලියත්තිට රටින් පළා යාමට බල කෙරිණ. අනෙක් දෙදෙනාට ෆැසිස්ට් අධිකරණය විසින් වසර හතලිස් පහක සිර දඬුවම් පැනවිණ. පසුකාලීනව තෙරචිනී පැවසූ පරිදි, ඔවුන් සියලුම දෙනා එක්සත් කරනු ලැබූයේ නිර්ධන පාන්තික සංස්කෘතිය සඳහා වූ එක් විසිරුණු අනුරාගයක් විසිනි; “අපට අවශ්‍ය වූයේ වැඩ කිරීම, වැඩ කිරීම සහ වැඩ කිරීමය.”

කරන්නට ඇති වැඩවල අඩුවක් නොතිබිණ. පළමු ලෝක යුද්ධයේ මහා සංහාරය අවසන් වී තිබුණේ මාස කිහිපයකට ඉහතදීය. එය ඉතාලියේ බහුජන පන්තීන්වලට හිමි කර දී තිබුණේ අන් කිසිවක් නොව මිලියන් ගණනක ජීවිත අහිමි වීම් පමණි. ටියුරින් නගරය පිපිරීමට ආසන්න කාල බෝම්බයක් වැනි විය; කම්කරු පන්තියේ කෝපය ප්‍රත්‍යක්ෂ වූවක් විය; එසේම ස්වකීය “විප්ලවවාදී” අලංකාරිකයන් කිසි දිනෙක ප්‍රයෝගිකත්වයට නැගීමට අසමත් වූ පැරණි සමාජවාදී පක්ෂයේ “වාචික රැඩිකල්වාදය” කම්කරුවන් තව දුරටත් විශ්වාස කළේ නැත.

කෙසේ වුවද, මේ අතර, රුසියාවේ වූ සංසිද්ධීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණේ මාක්ස් ශ්‍රේෂ්ට බවත් ලෙනින් ඔහුගේ ශාස්තෘවරයා බවත්ය. පොදු ඇදහීම් මාදිලිය වූයේ “සාමය, පාන්, ඉඩම්” යන්නය. රතු ඔක්තෝබරය පීඩිතයන්ගේ බලාපොරොත්තුව විය; ඉතාලියානු සහ ගෝලීය කම්කරු පන්තියේ වඩාත්ම දේශපාලනීකරණය වූ කොටස්වලට බෝල්ෂෙවිකයන් යනු අනුගමනය කළ යුතු නිදර්ශකයක් විය.

ඉතාලිය තුළ සියල්ලන් අතුරින් වඩාත්ම බෝල්ෂෙවික් වූයේ ටියුරින්හි “නව පර්යාය” සංස්කාරකවරුන්ය. ගිනි පුළිඟුව අල්ලා ගත යුතුව තිබුණි; වසර දෙකක් තුළදී කම්කරු ව්‍යාපාරය ඇවිලිණ. 1919-20 දී බියැන්යෝ රොස්සෝ පූර්ව-විප්ලවවාදී කාලගුණයක් මෙලෙස දිටීය: “එකක් පසුපස එකක් වැඩ වර්ජන පැමිණියේය; කම්කරුවන් විසින් කම්හල් අල්ලා ගන්නා ලදී; කම්කරුවන් ආයුධ සන්නද්ධ වී රතු ආරක්ෂකයින් බවට පත් වූහ; කම්හල් අත් පත් කරගෙන පාලකයින් නොමැතිව නිෂ්පාදනය දිගටම කරගෙන යන ලදී; ඒ කම්කරුවන්ට සමාජය පෙරට ගෙන යා හැකි බැව් ප්‍රකට කරමිනි.”

එතෙක් කාලයක් ඉතාලියේ “මෝටර් නගරය” ලෙසින් නැතහොත් මෝටර් රථ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය ලෙසින් දක්නා ලද නගරය (මෙයින් අදහස් වන්නේ ෆියැට් මෝටර් රථ කම්හල පැවති ටියුරින් නගරයයි. ග්‍රාම්ස්චි දේශපාලනිකව ක්‍රියාකාරී වූයේ එහි සිටය – පරිවර්තක), ඉතාලියේ කම්හල් සභාවල නගරය බවට පරිවර්තනය විය; ලොව පුරා ජනමාධ්‍යවේදීන් පැමිණෙන නගරය බවට පත් විය; ඉතාලියානු කොමියුනිස්ට්වාදයේ “මෙකා නුවර” බවට පත් විය; ඉතාලියානු පෙට්‍රොග්‍රාඩ් නගරය බවට පත් විය. කම්කරුවන් එලෙස ස්වකීය බලය සාක්ෂාත් කර ගත්තේ ‘මිලිටරි’ ශක්තිය ඔස්සේ පමණක් නොවේ; වඩාත් වැදගත් දේ වන්නේ ඔවුන් සාමූහික බුද්ධියේ තලය තුළ බලය සාක්ෂාත් කර ගැනීමයි. එනම්, කම්හල්වල පාලකයින් වෙනුවට ආදේශ විය හැකි කම්කරු පන්තියක් වීමයි.

පාලකයින් – ඉතාම නිවැරදිව – මෙයින් ත්‍රස්තයට පත් විය. ඔවුන්ට අනුව, මෙසේ ලෝකය අනිත් පැත්තට හැරීම දරා ගත නොහැක්කක් විය. අපරාධකාරී දෙයක් විය. ප්‍රජාතාන්ත්‍රික ලිබරල් යැයි සිතනු ලබන ආයතනවලට තව දුරටත් බිම් මට්ටමේ ජනතා කැමැත්ත ගොඩ නැගිය නොහැකි වූ විට, පැවති පර්යාය ප්‍රතිස්ථාපනය කළ හැකි වූයේ ෆැසිස්ට්වාදයෙන්, එනම් කම්කරුවන් තලා පෙලා දැමීමෙන් පමණි.

නමුත්, මේ තවමත් ෆැසිස්ට්වාදීන්ගේ රෝම පා ගමනට පෙර වසරවල් විය (1922 ඔක්තෝබරයේ සිදු වූ ‘රෝම පා ගමන’ මුසෝලිනී බලයට ගෙනඒමට මග සැලසීය – පරිවර්තක). එසේම, “නව පර්යාය” පුවත්පත් කාර්යාලය ක්‍රියාකාරීත්වයෙන් පිරී තිබිණ. එය නගරයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ අපි-කේන්ද්‍රය විය. සෑම සන්ධ්‍යාවකදීම ග්‍රාම්ස්ෂිව මුණ ගැසෙන්නට එන මිනිසුන්ගේ “පෙරහැරක්” දැක ගත හැකි විය. ප්‍රාදේශීය කොමියුනිස්ට් පාර්ශවයේ සගයන්, තරුණ සහ කාන්තා ව්‍යාපාරයේ නායක නායිකාවන්, වෘත්තීය සමිති ප්‍රධානීන්, බුද්ධිමතුන්, රතු භටයින්, අන්තෝනියෝගේ පැරණි මහාචාර්යවරුන්, පක්ෂ කාඩරයේ සගයන් සහ පක්ෂයක් නොමැති අයවළුන් පවා ඒ අතර විය.

අපට සිතා ගත හැකි පරිදි, මේ අධිකතර මුණ ගැසීම් විසින් “නව පර්යාය” කිසිදු මොහොතක සැබෑ දේශපාලන ක්‍රියාවලියෙන් දුරස් නොකිරීමට වග බලා ගනු ලැබීය. නමුත්, මුණ ගැසෙන්නට එන්නන්ගේ පෙරහැර ග්‍රාම්ස්ෂිට ගැටළු ඇති කළේය. ඔහු නිතරම පාහේ ඉල්ලා සිටි වෙලාවට ඔහුගේ ලිපි අවසන් කිරීමට අසමත් විය. තවත් සංස්කාරකවරයෙක් වූ මාරියෝ මොන්ටග්නානා සිහිපත් කරන පරිදි, ඇතැම් විට ග්‍රාම්ස්චිට ලියන්නැයි වචනාර්ථයෙන්ම බල කරනු කරන්නට සිදු විය.

“රාත්‍රී නමයට හෝ දහයට, කිසිදු ආගන්තුකයෙකු නොමැති විට, සංස්කාරකවරයෙකු ග්‍රාම්ස්චි වෙත පැමිණ එක එල්ලේම මෙසේ පවසයි: “ලිපිය ඉවර වෙනකල් කිසිම ආගන්තුකයෙක් ඇතුළට ගන්න බැහැ.” දොර අගුළු දමා, බාධාවන් වැලැක්වීමට භටයෙකු කොරිඩෝවේ සිට ගනියි. පැයකට පමණ පසුව ග්‍රාම්ස්චි අන්තිමේදී අත්ලක් තරම් කුඩා ප්‍රමාණයේ කඩදාසි දෙක තුනක් මත පැහැදිලිව තද අත් අකුරින් කිසිදු දෝෂයකින් තොරව ලියන ලද ලිපියක් ගෙනත් භාර දෙයි.”

නමුත්, මේ කුඩා අපහසුතාවන් හැරුණු විට, සෑම සන්ධ්‍යාවකම සිදු වූ මේ අඛණ්ඩ යාම් ඊම් “නව පර්යාය” පුවත්පතට එහි පළමු සංස්කාරක සටහනේදී නියම කර ගත් අරමුණ සාක්ෂාත් කර ගන්නට ඉඩ සැලසීය. එනම්, සමකාලීන යුගයේ වඩාත්ම දියුණු දේශපාලනික-සංස්කෘතිකමය ප්‍රවණතාවන් සියල්ලම ජනප්‍රිය කරලීමේ පුහුණු බිමක් බවට පරිවර්තනය වීමයි. මෙය ග්‍රාම්ස්ෂිගේ සිතේ පැවති බලවත් අදහසක් සංයුක්ත තත්ත්වයට ගෙන ඒමට උපකාරී විය. එනම්, පක්ෂ කාඩරය පුහුණු කිරීමයි.

අතරමැද නායකයින් විශාල පිරිසක් තැනීමට වඩා නායකයින්ගේ කුඩා කණ්ඩායමක් ගොඩ නැගීම පහසු බව ග්‍රාම්ස්චි ඉතාම හොඳින් දැන සිටියේය. නායකයින් කම්කරු පන්තියේ පුෂ්පයන් නියෝජනය කළ යුතු වූ අතර කොමියුනිස්ට් පක්ෂයේ කොඳු නාරටිය තැනිය යුතු විය. එසේම මෙම ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුළ ග්‍රාම්ස්ෂිගේ මුළුමහත් ඉවසීම සහ ශික්ෂණ හැකියාව ප්‍රතීයමාන විය; මක් නිසාද යත්, ඔහු නිරන්තරයෙන්ම තම සගයන්ට හැදෑරීමට බල කළේ සටන් පෙරමුණේ කිසියම් විප්ලවවාදීන් පිරිසකුත් මේස පිටුපස තවත් පිරිසකුත් නොසිටිය යුතු බව ඔවුනට ඒත්තු ගන්වමිනි. ඒ වෙනුවට, සියළුම දෙනා සංස්කෘතිය (එනම් ක්‍රියාකාරීත්වයේ උසස්තම සහායකයා) ප්‍රගුණ කළ යුතු විය.

විවේචනාත්මක ශික්ෂණය

මෙම “සොක්‍රටික’ වැඩවලදී ග්‍රාම්ස්ෂි ඔහුගේ සගයන් අතින් සිදු වූ අත්වැරදීම් ගැන නිතරම විවේචනාත්මක විය. නමුත්, මොන්ටග්නානා පැවසූ පරිදි, ඔහුගේ විවේචන තුළ කිසිදු නිශේධනීය දෙයක්, අධෛර්යමත් කරන දෙයක් හෝ සගයන්ගේ ස්ව-ශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය නැති කරන දෙයක් කිසිදාක පැවතුණේ නැත. ඒ වෙනුවට ග්‍රාම්ස්චිගේ විවේචන තුළ පැවතියේ කිසි විටෙකත් පුද්ගලික නිර්දය බවේ සලකුණක් හෝ නොමැති මානවීය අවංකභාවයයි. ඒ දෛනික ජීවිතයේ ක්‍රියාකාරීත්වය ඔස්සේ වර්ධනය වූ ශික්ෂණයකි.

ග්‍රාම්ස්ෂි නිකම්ම මෘදු හදක් ඇති සොක්‍රටීස් කෙනෙකු විණැයි අප අපවම මුළා කර නොගත යුතුය. ඒ වෙනුවට ඔහු අතිශයින්ම දැඩි සහ අනුකම්පා විරහිත වූයේ ඔහුගේ ප්‍රතිවාදීන් සමග පමණක් නොවේ. වරක් දේශපාලන “පරිණතභාවයට” පත්ව, ඉහළින්ම, සැබෑ ලෙසම නිර්දෝෂ්‍ය ලෙසින් සලකනු ලදුව අනෙක් අයගේ ගුරුවරුන් බවට පත් කරන ලද ඔහුගේ සියලුම සගයන් සම්බන්ධයෙන්ද එසේ විය.

ග්‍රාම්ස්ෂි, අන්ද්‍රේයා විග්ලොන්ගෝ නමැති ඔහුගේ මුල්ම ශිෂ්‍යයෙකු පුවත්පතේ සංස්කාරක මණ්ඩලයට පුහුණු කළ ආකාරය සිහිපත් කරමින් ඔහුගේ සගයෙකු වූ වින්චෙන්සෝ වියාන්කෝ හට 1924 දී ලියූ ලිපියකින් මෙය මනාව ප්‍රත්‍යක්ෂ වේ. “ඔහුගේ ලිපි තුන් හතර වතාවක් මුල පටන් නැවත ලියන්නට සලස්වා ඒවා ජේද අටේ සිට ජේද එක හමාර දක්වා අඩු කළෙමි.” ඉනික්බිති ග්‍රාම්ස්ෂි තම අනුකම්පා විරහිත හමාර සටහන ලියයි: “වැරදි පාරක ගිය විග්ලොන්ගෝ අන්තිමේදී ඉතාම හොඳින් ලියන්නට පටන් අරන් මා සිතන ආකාරයට ඔහුට අපට වඩා ලොක්කෙකු වී අපෙන් දුරස් වේවි. ඉතින්, මම තව දුරටත් ඒ ජාතියේ තරුණයින්ගේ ශික්ෂකයෙක් වෙන්නේ නැහැ. මට තවම පුළුවන් නම්, මම ශික්ෂකයෙකු වන්නේ ලොකු ධනපති පුවත්පත් කලාවේදීන් බවට පත් වීමේ උන්නතිකාමයක් නැති කම්කරුවන් හට පමණයි.”

ග්‍රාම්ස්ෂි පිළිබඳව අප සිතන්නට හුරු වී සිටින්නේ මුළුමනින්ම බුද්ධිමතෙකු ලෙස පමණි. එබැවින්, ග්‍රාම්ස්ෂිගේ ක්‍රියාකාරීත්වය තුළ ලිවීම ඉතා කුඩා කොටසක් වූ අතර ඔහුගේ ප්‍රධානතම දායකත්වය සිදු වූයේ වාචික සහ ප්‍රායෝගික ඉගැන්වීමෙන්ය යන ජියොවන්නි පැරොදිගේ විනිශ්චය අපට නුපුරුදු යමක් ලෙස පෙනිය හැකිය.

පැරොදිද මේ ශික්ෂණ ශාස්ත්‍රීය මෙහෙවර මනාව මූර්තිමත් කළේය. වයස දාහතරේදී ෆැක්ටරියට පැමිණෙන ලදුව, මෙම කම්කරු නායකයා ඔහුගේ දේශපාලන සංස්කෘතිය (සහ තාක්ෂණික දැනුම) කොතරම් දුරට ඉහළ නංවා ගත්තේද යත්, කම්හල් අත්පත් කරගැනීමේ කාලයේදී ඔහුට ෆියට් කම්හලේ ප්‍රධාන යන්ත්‍රාගාරයේ නිෂ්පාදනය මෙහෙයවිය හැකි විය. “ලෝකය අනෙක් පැත්තට හැරවුණු” බවට සාක්ෂ්‍යයක් ලෙස පශ්චාත්-1918 ටියුරිනයේ, ප්‍රසිද්ධ ජායාරූපයක් තිබේ. එයින් පෙන්වන්නේ කම්හලේ ප්‍රධානියා වූ ජියොවන්නි අඥල්ලිගේ මේසය වටා වාඩි වී සිටින කම්කරුවන් පිරිසකි. ෆැක්ටරි කවුන්සිලයට නායකත්වය දෙමින් ඔවුන් අතර සිටින්නේ පැරොදිය.

දුර්ලභ රස විද්‍යාව

“නව පර්යාය” පුවත්පත වටා වර්ධනය වූ පුනරාවර්තනය කළ නොහැකි රස විද්‍යාව පැහැදිලි කිරීමට ප්‍රයත්න දරමින් තවත් බොහෝ දේ කිව හැකිය. ග්‍රාම්ස්ෂි පිටුපස පැවති විජ්ජාව කුමක්ද? එතරම් සංකීර්ණ තේමාවන් සමග ගණුදෙණු කළ වාර ප්‍රකාශනයක් “කම්කරුවන්ගේ පුවත්පත” බවට පත් වූයේ කෙසේද? රතු භටයින් එම පුවත්පතේ කාර්යාලය ෆැසිස්ට්වාදීන්ගෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මියෙන්නට වුවත් සූදානම් වූයේ ඇයි? එසේම, මේ සියල්ලටමත් වඩා, මද අන්ධභාවයෙන් යුත් අවුල් දුබලයෙක්, දුර ඈත දිවයිනකින් පැමිණි තිස් වියැති පුද්ගලයෙක් කම්කරු පන්තියේ අභිලාෂයන්ගේ අර්ථකථකයා බවට පත් කරන ලද්දා වූ හැඟීම්, සහයෝගීතාවන් සහ අසීරු අරගලයන්ගේ අන්තර්-හුවමාරුව නිර්මාණය කරන ලද්දේ කවරක් විසින්ද?

මෙහිදී සැබවින්ම චරිතාපදානමය කාරණා වැදගත් වේ. ග්‍රාම්ස්ෂි පැමිණියේ සුළු-ධනේශ්වර පවුලකින් වුවත්, ඔහු ඔහුගේ ළමා විය ගත කළේ අතිශයින්ම අසරණභාවයකිනි. ඒ ලිපිකරුවෙකු වූ ඔහුගේ පියා 1900 වසරේදී මූල්‍ය අපයෝජනයකට වැරදිකරු වී සිරගත වීමේ පසුබිම යටතේය. ග්‍රාම්ස්ෂිගේ අති දුර්ලභ බුද්ධිය විසින් ඔහුව යුරෝපීය සංස්කෘතියේ දීප්තිමත් මනසක් බවට පරිවර්තනය කරන ලද බව සැබෑය. නමුත්, එය විසින් දුක් කම්කටොළුවලින් පිරුණු ජීවිතයත් සමාජ පන්තියෙන් හදිසියේ පහතට ඇද වැටීමෙන් නිපන් භෞතික දරිද්‍රතාවත් පිළිබඳ මතකය මකා දමනු නොලැබිණ.

සැබවින්ම, අප කාලය ඔස්සේ තව මදක් ඉදිරියට ගිය හොත්, ඔහු ටියුරින් විශ්වවිද්‍යාලයට පැමිණියේ ගිනි උදුනට අවශ්‍ය දර මිළදී ගැනීම හෝ රාත්‍රී ආහාරය යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වුනු ආකාරයේ දුක්ඛිත ශිෂ්‍ය ආධාරයක් සමගය යන්න අපට පෙනෙනු ඇත. කැමිලා රවෙරා පවසන පරිදි, ග්‍රාම්ස්චි සතුව කිසි කලෙකත් එතරම් මුදල් තිබුණේ නැති අතර ඔහු සතුව තිබුණු දේද ඔහු පොත් සඳහා වියදම් කළේය. ඇතැම් කාලවල ඔහු සතුව තිබුණේ කොතරම් අල්පයක්ද යත්, මේස් පවා මිළදී ගත නොහැකි වූ ඔහු සපත්තු පමණක් පැළඳ පුවත්පත් කාර්යාලයට පැමිණියේය.

ටියුරින් විශ්වවිද්‍යාලයේම උගත් තොලියත්තිගේ පියාද පිළිකා රෝගයෙන් මරණයට පත්ව තිබිණ. නමුත්, සාමාන්‍ය පසුබිමක් සහිත ඔහුට අඩු තරමින් ඉඳුම් හිටුම් සඳහා කුළියක් ගෙවන්නට සිදු වූයේ නැත (ඔහු ජීවත් වූයේ ඔහුගේ පවුල සමගිනි). ඒ අතර ග්‍රාම්ස්ෂිගේ මවට දස අතේ ණය වී ඇයගේ පුතාට මුදල් යවන්නට සිදු විය. මේ සියල්ලටමත් වඩා ග්‍රාම්ස්චි ඇතුළතින්ම සාදිනියාවෙකු වූ අතර, ඔහුගේ සෙසු දිවයින්වාසීන් බොහොමයකගේ අසරණ, හුදෙකලා සහ අවිනිශ්චිත ජීවිත පිළිබඳ සුවිශද මතකයක් ඔහු දරාගෙන සිටියේය.

ග්‍රාම්ස්ෂිගේ ප්‍රියතම සහෝදරිය වූ තෙරේසාගේ මතකයන් තුළින් අපට ඔහුගේ සාදිනියානු ළමා විය පිළිබඳ ඉතාම සිත් කාවදින ප්‍රතිරූපයක් මවා ගත හැකිය. ඔවුනට කිසිදු සෙල්ලම් බඩුවක් මිළදී ගත නොහැකි වූ බැවින් ඔවුන් ඒ වෙනුවට තමන්ම ඒවා නිපදවා ගන්නට ඉගෙන ගත්හ.

“මම පිදුරු බෝනික්කෝ හදලා එයාලට පාට පාට පොඩි ඇඳුම් කෑලි ඇන්දුවා. නිනෝ හැදුවා බෝට්ටු, රුවල් නැව්, නැත්නම් ඔළුවේ පිහාටු තියෙන හිනා යන විදියේ පුංචි කුරුල්ලෝ. ඊට පස්සේ අපි ලොතරැයියක් සංවිධානය කළා. හැම එකේම අංකයක් ගැහුවා. අහළ පහළ ඉන්න ඔක්කොම ළමයි, පෝසත් ඉඩම් හිමියන්ගේ ළමයි, එයාලගේ වාසනාව උරගාල බලන්න ආවා. එයාල අපට සල්ලි වෙනුවට ඇපල් ගෙඩියක් හරි පෙයාස් ගෙඩියක් හරි දුන්නා.”

ඇත්ත වශයෙන්ම, අපට ග්‍රාම්ස්ෂිගේ විශිෂ්ටත්වය සහ සංකීර්ණත්වය ඔහුගේ චරිතාපදානමය සාධකවලට පමණක් ඌණනය කළ නොහැකිය. නමුත්, ඔහුට දරා ගන්නට සිදු වූ ජීවිතයේ කර්කෂතාවත් නිර්ප්‍රභූ පන්තීන්වලට සේවය කිරීමට සහ ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කරන්නට පවා ඔහුට තිබූ හැකියාවත් අතර පැහැදිලි සම්බන්ධයක් පවතී.

(අනෙකාට) සවන් දීමේ සහ (අනෙකාගේ) අත්දැකීම් බෙදා ගැනීමේ ඔහුගේ මූලික ශක්‍යතාවට අමතරව, ඔහුගේ අද්විතීයභාවය රඳා පවතින්නට ඇත්තේ බුද්ධිමතෙකුගේ සිතීම් රටාවෙන් යුත් ඔහුගේ ඓශ්චර්යාත්මක මොළයත් කම්කරුවෙකුගේ ජීවිතයට සමාන වූ ඔහුගේ භෞතික ජීවන අත්දැකීමුත් අතර පැවති දුර්ලභ සමපාත වීම මතය.

ඇතැම්විට, ග්‍රාම්ස්ෂිගේ සැබෑ රහස වන්නට ඇත්තේ මෙයයි. පක්ෂ හිතවාදියෙකු සහ පසුකාලීන ඉතාලියානු සමාජවාදී ජනාධිපතිවරයෙකු වූ සැන්ඩ්‍රෝ පර්ටීනි එය මෙලෙස ලෝකයට පැවසීය. “මගේ ගමන් මාර්ගය තුළදී මට මුණ ගැසුණු වඩාත්ම විචක්ෂණශීලී දේශපාලනඥයා වූ ග්‍රාම්ස්ෂිගේ අභාවය ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයට පමණක් නොව ඉතාලියානු සහ ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයට ඉමහත් හිඩැසක් ඉතිරි කළේය. ඒ කිසිවෙකුට කිසි කලෙක පිරවිය නොහැකි හිඩැසකි.”

ග්‍රාම්ස්ෂි මිය ගිය දිනයේ අපට ඇත්තේ වැළපිය යුතු අහිමි වීමකි.

– ලොරෙන්සෝ අල්ෆානෝ

(1937 අප්‍රේල් 27 වන දින විසිවන සියවසේ විසූ විශිෂ්ටතම මාක්ස්වාදී බුද්ධිමතා ලෙස සැලකිය හැකි අන්තෝනියෝ ග්‍රාම්ස්ෂි රෝමයේදී මරණයට පත් විය. ඒ වනවිට ඔහුට වයස 46 කි – පරිවර්තක)

පරිවර්තනය: සුමිත් චාමින්ද

මුල් ලිපිය: https://tribunemag.co.uk/2023/04/remembering-antonio-gramsci-2

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.