30 June, 2022

Blog

රනිල්ගේ ප්‍රත්‍යාරම්භය සහ ජන අරගලයේ ප්‍රත්‍යාවේක්ෂණයක අවශ්‍යතාව

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ලාංකීය මධ්‍යම පන්තිකයාට දැන් අනගි වේදනා නාශකයක් ලැබී තිබේ. ඒ දින කිහිපයකට වරක් නොවරදවාම එළි දැක්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජාතිය ඇමතීමේ දේශනා ය. ඒවා වරෙක තම හාත්පස ගිනි ගන්නා ලෝකය න්‍යායිකව විචාරමින් නරුම ශාස්ත්‍රාලයීය රසයක් අත්විඳින වරප්‍රසාදිත බුද්ධිමතෙකුගේ ස්වරයක් ආදේශ කර ගනී. තවත් වරෙක පවතින අර්බුදයේ බිහිසුණු බව විචිත්‍ර ලෙස ගෙන හැර දක්වන නිර්දය යථාභූතවාදියෙකුගේ වේශය අත්පත් කර ගනී. අවසානයේදී මේ මොහොතේ සිහි කල්පනාව ඇති කිසිවෙකුටත් අදහාගත නොහැකි අන්දමේ අනාගත සිහින රාජ්‍යයක් ප්‍රදානය කරමින් කතාව පරිසමාප්තියට පත් වේ. ඒ කොතෙක්ද යත්, ශ්‍රී ලාංකීය නිදහසේ ශත සංවත්සරය උදා වන 2048 වසර වන විට මෙරට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම තම මූලික අරමුණ වන්නේ යැයි රනිල් තම නවතම කතාවේදී ශපථ කළේය!

නිසැකවම තම දේශනාවල දේශපාලනික වැදගත්කම රඳා පවතින්නේ ඒවායෙහි අභිවාහන (performative) ගුණය මත බව සමකාලීන යුගයේ මාධ්‍ය දේශපාලනය ගැන දැනුවත් අග්‍රාමාත්‍යවරයා අවබෝධ කරගෙන සිටිනවා විය යුතුය. පසුගියදා ඔහු වික්ටෝරියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වූ ඩබ්ලිව්.ජී. ග්‍රේස්ව උපුටා දක්වමින් ප්‍රේක්ෂකයින් පැමිණ සිටින්නේ මගේ පිති හරඹය බැලීමට මිස ඔබේ විනිශ්චය බැලීමට නොවේ යැයි කතානායකවරයාට පැවසීමෙන් ගම්‍ය වන්නේ එයයි. නමුත්, ඔහුගේ වාග්මය පිති හරඹය සංවිධානය වී ඇත්තේ කිසියම් ‘ගේම් ප්ලෑන්’ එකක් අනුව නොවේ යැයි කිව නොහැකිය. එම ගේම් ප්ලෑන් එක ඉදිරි අනාගතයේදී මෙරට ජන ජීවිතයේ ඉරණම හැඩ ගැස්වීමේදී අතිශය තීරණාත්මක වූවක් වීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකිය.

එබැවින්, පළමුව, මේ මොහොතේදී මෙරට පාලක බල-හවුලේ පාර්ශවයෙන් වඩාත් බලසම්පන්න උපායමාර්ගික හැරවුම ඉදිරිපත් කරමින් සිටින පරිණත දක්ෂිණාංශික නායකයා ඉදිරිපත් කරන්නා වූ ඉදිරි දැක්ම විචාරයට ලක් කිරීමට ප්‍රජාතාන්ත්‍රික අරගලයේ නිරත සියළු කණ්ඩායම් උත්සුක විය යුතුය. ඒ අතරම අරගලයේ පළමු රැල්ලේ බැස යාමත් සමග නිර්මාණය වී ඇති විරාමය තුළ අප මෙතෙක් පැමිණි මාවත දෙස ආපසු හැරී බැලීමටත් ඉදිරි මග පරිකල්පනය කිරීමටත් අප දැන් අවෙහෙසකර බුද්ධිමය ප්‍රයත්නයක් දැරිය යුතුව තිබේ. මේ කෙටි ලිපියෙහි මූලික අවධාරණයන් වන්නේ ඒවාය.

සාමාන්‍ය තත්ත්වය පිළිබඳ අයැදුම

රනිල් ලංකාව ක්‍රියාවිරහිත වූ පරිගණකයකට සමාන කරයි. එය අළුතින් ව්‍යුහගත කිරීමට පෙර නැවත පන ගැන්විය යුතු යැයි පවසයි. දැනටමත් අඩපණ වී තිබෙන තම ඊනියා සාමාන්‍ය ජීවන පිළිවෙල කරා නැවත ගමන් කිරීමට අපේක්ෂාවෙන් සිටින මධ්‍යම පන්තික ජනයාගෙන් බහුතරයකට මේ ඇරයුම ආකර්ශනීය වන්නේ නම් එය කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. දැනට තමන් දන්නා ඉතිහාසය තුළ බරපතලම අර්බුදයට මුහුණ දී තිබියදීත් ලාංකීය මධ්‍යම පන්තික බහුතරය තම සුපුරුදු පාරිභෝජනවාදී ජීවන පිළිවෙල කෙලෙසක හෝ ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට උත්සුක වී ඇති තරම දෙස බලන විට රනිල්ගේ දෘෂ්ටිවාදීමය ඇරයුම ආකර්ශනීය වීමට විශාල ඉඩකඩක් තිබේ.

අප ජීවත් වන්නේ සමස්ත සමාජයටම සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ණය පදනමක් යටතේ ලබා ගත් පසුවත් පෙර පරිදිම පුද්ගලික යාන වාහනවලින් මහාමාර්ග පිරී ඉතිරී පවතින රටක් තුළ බව අමතක නොකළ යුතුය. අඩු තරමින් ඉන්ධන ලබා දීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබා දෙන සහ පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාවට නැගී නොමැත. මෙතෙක් කලක් වසංගතයේ අර්බුදයට සේම ආර්ථික අර්බුදයටද අප මුහුණ දී තිබෙන ආකාරය මෙයයි. මහා ව්‍යසනයක් හමුවේ කෙසේ හෝ තම සුපුරුදු පුද්ගලික පාරිභෝජන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට දැරෙන අසරණ ප්‍රයත්නයක් ලෙස එය හඳුනාගැනීම සාධාරණය. තමන් සතු මුළු සේසතම සිඳී ගිය පසුවත් කාගෙන් හෝ ලැබුණු ණය මුදලක් වියදම් කර තම සුපුරුදු ජේත්තුකාර ජීවන රටාව තවත් සතියක කාලයක් පවත්වාගන්නට ප්‍රයත්න දරන නාස්තිකාර මධ්‍යම පන්තිකයෙකු සිහියට නගන්න. වත්මන් ශ්‍රී ලාංකීය පාරිභෝගික සමාජය එබඳුය. පසුගිය දශක හතර හමාරක කාල පරිච්ජේදය තුළ පාරිභෝජනවාදය විසින් අපගේ සාමූහික අවිඥානය (collective unconscious) කෙරෙහි සිදුකර තිබෙන බලපෑම අතිමහත්ය. රනිල්ගේ දෘෂ්ටිවාදී ආමන්ත්‍රණයේ බලපෑම වටහාගත යුත්තේ මෙම සංධර්භය තුළය. අප දැන් සිටින්නේ අසාමාන්‍ය තත්ත්වයක් තුළ බැව් නැවත නැවතත් අවධාරණය කරන නව අග්‍රාමාත්‍යවරයා ඒ සමගම තමන්ට අහිමි වූ ජීවිතයේ ඊනියා සාමාන්‍ය තත්ත්වය නැවත අයැද සිටින මධ්‍යම පන්තික ජන මනසටද දක්ෂ ලෙස ආමන්ත්‍රණය කරයි.

රැකවරණය පිළිබඳ අයැදුම

වත්මන් අර්බුදය හමුවේ ආර්ථිකමය සහ සමාජමය පීඩනයන්ට ගොදුරු වන ජන කණ්ඩායම් අතුරින් පැන නගිමින් තිබෙන තවත් ප්‍රබල දෘෂ්ටිවාදී අයැදුමක් වන්නේ රාජ්‍යයේ රැකවරණය උදෙසා වූ අයැදුමයි. මගේ අදහස වන්නේ ලාංකීය සංධර්භය තුළ මෙම අයැදුමෙහි ප්‍රධාන පැතිමාන දෙකක් පවතින බවයි. එකක් නම්, කාල් පොලන්යී වැනි චින්තකයින් පෙන්වා දී ඇති පරිදි කිසියම් සමාජයක් සුවිසල් පරිවර්තනයකට හෝ ඛේදවාචකයකට මුහුණ දෙනු ලබන විට සමාජයීය රැකවරණය සඳහා වූ ප්‍රති-රැල්ලක් එකී සමාජය තුළින්ම මතු වී ඒමේ පොදු තත්ත්වයයි. අහිමි වූ සාමූහික ජීවිතය යළි දිනා ගැනීම උදෙසා වූ එම ප්‍රති-රැල්ල ඉතාම ප්‍රගතිශීලී දිශානතියකට සේම ඉතාම විනාශකාරී දිශාවකටද ගමන් කළ හැකිය. පොලන්යී පවසන පරිදි 1930 දශකයේදී එක්සත් ජනපදය, ජර්මනිය සහ පොදුවේ යුරෝපය මුහුණ දුන් ඛේදජනක බිඳ වැටීම විසින් ජෝන් එෆ්. කෙනඩිගේ සුභසාධනවාදය වෙතට සේම නාසිවාදය සහ ෆැසිස්ට්වාදය වෙතටද මග පාදනු ලැබිණ. ශන්තාල් මූෆ්ගේ තර්කය වන්නේ වත්මනෙහි ගෝලීය වසංගතය සහ ඉනික්බිතිව උදා වූ ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණය වී ඇති තත්ත්වයද එවැන්නක් බවයි.

ලංකාව සම්බන්ධයෙන් වන දෙවන වැදගත් පැතිමානය වන්නේ මෙරට පොදුජන අවබෝධය තුළ තීව්‍ර ලෙස පැල පදියම් වී තිබෙන ජනසම්මතවාදී රාජ්‍යත්වයක් පිළිබඳ අදහසයි. එය මෙරට සාමූහික දේශපාලන අවිඥානය තුළ ඓතිහාසිකව මුල් ඇද තිබෙන අංගයකි. ලාංකීය දේශපාලන සංස්කෘතියේ සුවිශේෂකත්වය වටහාගැනීමේදී මේ පැතිමානය කෙරෙහි අපගේ විශේෂ අවධානය ලක් විය යුතු යැයි මම සිතමි. ලාංකීය පොදුජන අවබෝධය තුළ රාජ්‍යය නොහොත් රාජ්‍යත්වය දකිනු ලබන්නේ බටහිර ලෝකයේ මෙන් මිනිසුන්ගේ පුද්ගලික නිදහසට බාධා කරන්නා වූ ආයතනයක් ලෙසින් නොව අපගේ සමාජයීය රැකවරණය සහ සුබසිද්ධිය සැලසීමට බැඳී සිටින ජනසම්මතවාදී උත්තර-නිර්මිතයක් ලෙසයි. වත්මන් අර්බුදය තුළ පෙනෙන පැහැදිලි පරිවර්තනයක් වන්නේ මෙතෙක් කලක් මෙම ජනසම්මතවාදී රාජ්‍යත්වය පිළිබඳ අදහස මූර්තිමත් කළා වූ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයද දැන් කිසියම් පසුබෑමකට ලක්ව තිබෙන බවයි.

මේ අනුව, වත්මනෙහි විවෘත වී තිබෙන දේශපාලනිකයේ අවකාශය ග්‍රහණයට ගත හැක්කේ පත්ළක් නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබෙන සමාජය කෙරෙන් පැන නගින්නා වූ රැකවරණයක් උදෙසා වූ ඉල්ලීමට සාර්ථකව ආමන්ත්‍රණය කරන්නට සමත් වන නායකත්වයකට ය. දැනට දක්ෂිණාංශයේ පැත්තෙන් එවන් ආමන්ත්‍රණයක් කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහට අමතරව මෑතදිනෙක පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කරමින් “සාමූහිකව බල ගැන්විය හැකි විකල්පයක්” ගැන කතා කළ පාටලී චම්පික රණවක පමණි. රනිල්ගේ ඊනියා සහන යෝජනාවලියෙහි අන්තර්ගත ආහාර සුරක්ෂිතතා වැඩ සැලැස්ම, සහනාධාර සීමාව ඉහළ නැංවීම, ගොවි ණය කපා හැරීම, ජනයාට පවරා ඇති රජයේ ඉඩම් සඳහා සින්නකර අයිතිය ලබා දීම, නාගරික තට්ටු නිවාස හිමියන්ට සහනදායී පදනමක් යටතේ නිවාස අයිතිය ලබා දීම සහ චීන ආධාර මත ඉදි කළ නිවාස ජනතා අයිතියට පත් කිරීම යන දේ සෘජුවම රැකවරණය පිළිබඳ සමාජ අයැදුම ඉලක්ක කර ගත් ඒවාය.

සංග්‍රාමික මෙහෙයුමෙන් ස්ථානික යුද්ධයට

අද දිනයේ ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයේ කිසියම් පසුබෑමක් ඇති වී තිබීම ඉහත කී නව දේශපාලන වර්ධනයන් පසුබිමෙහි තබා අප වටහාගත යුතුය යන්න මගේ අදහසයි. ජන අරගලයේ පසුබෑම ආරම්භ වූයේ ගාලු මුවදොර ප්‍රහාරයෙන් පසුව නිර්මාණය වූ අතීරණාත්මක නිමේෂය තුළදී ආරම්භ කරන ලද සමස්ත මහා වැඩවර්ජනය හදිසියේ නතර කර දැමීමත් සමගය. ඒ වනතෙක් ජනතා අරගලයට වාසිදායක ලෙස පැවති බල තුලනය යළිත් දේශපාලන සංස්ථාපිතයට වාසිදායක වන්නා වූ බල තුලනයක් බවට හරවමින් නව අග්‍රාමාත්‍යවරයාගේ හෙජමොනික ක්‍රියාන්විතය ආරම්භ වූයේ ඉන්පසුවය.

කෙසේ වුවත්, අර්බුදයේ දේශපාලන-ආර්ථික හැඟවුම් දෙස බලන විට පෙනී යන්නේ මෙය ඉදිරියේදී පැන නගින වඩා තීව්‍ර ජනතා විරෝධතා රැල්ලකට පූර්වයෙන් මුණගැසෙන තාවකාලික විරාමයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි. ඉදිරි ජනතා රැල්ලක් වඩා ප්‍රචණ්ඩකාරී සහ අරාජකවාදී වීමේ අනතුරද බැහැර කළ නොහැකිය. එම අනතුර ජය ගැනීමට නම්, දැන් සිටම වඩා පුළුල් ප්‍රජාතාන්ත්‍රික දැක්මක් ඔස්සේ ජන අරගලය සංවිධානය කිරීමේ ආකෘතීන් නිර්මාණය කිරීමට අරගලකරුවන් උත්සුක විය යුතුව තිබේ. එසේම, මෙම විරාමය ජන අරගල ව්‍යාපාරය මෙතෙක් ආ මාවත ගැන කිසියම් ප්‍රත්‍යාවේක්ෂණයක යෙදීම සඳහා ලැබුණු අනගි අවස්ථාවක් ලෙසින්ද සැලකිය හැකිය. අරගලයේ ජයග්‍රහණ හා සමත්කම් සේම අසමත්කම් හා අභියෝගද හඳුනාගත යුතුව ඇත.

මෙම නව තත්ත්වය න්‍යායිකව පැහැදිලි කරන්නේ නම්, අප දැන් අන්තෝනියෝ ග්‍රාම්ස්චි කතා කළ ප්‍රහාරක මෙහෙයුම (War of Manoeuvre) නමැති අදියරේ සිට ස්ථානික යුද්ධය (War of Position) නමැති අදියරට මාරු විය යුතුව තිබේ. පළමුවැන්නෙන් අදහස් වන්නේ බලවේග අතර සෘජුව මුහුණට මුහුණ කෙරෙන සටනකි. දෙවැන්න, සිවිල් සමාජයේ ආයතන තුළ කඳවුරු බැඳගෙන තම විකල්ප ලෝක දැක්ම ගොඩ නගමින් කෙරෙන කල් පවත්නා අරගලයක් හඟවයි.

වත්මන් ජන අරගලයේ ස්ථානික යුද අදියරේදී අප අපගෙන්ම විමසිය යුතු ඇතැම් ප්‍රශ්න වන්නේ මේවාය. අරගලයේ නිරත එකිනෙකට වෙනස් හා විවිධ කණ්ඩායම් අතර සාමූහික අනන්‍යතාවක් ගොඩ නගා ගන්නේ කෙසේද? ඒ සඳහා ගෝඨා ගෙදර ගිය පසුව අප දකින්නට කැමති ලෝකය පිළිබඳ පොදු පරිකල්පනයක් ගොඩ නගා ගත හැකිද? එසේනම්, ඒ කෙසේද? අර්බුදය තුළ පැන නගින සමාජයීය රැකවරණය පිළිබඳ ඉල්ලීම ජන අරගල ව්‍යාපාරය තුළට සාධනීය ලෙස ඇතුල් කරගන්නේ කෙසේද? ඒ සඳහා විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට ගොස් විකල්ප විසඳුම් නිර්මාණය කරන්නා වූ ප්‍රතිජනනාත්මක දේශපාලනයක් කරා ගමන් කරන්නේ කෙසේද? පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නැගෙන ජනතා බලයක් මගින් ඇතැම් සාර්ව-ආර්ථික ගැටළු විසඳිය නොහැකි වුවත්, ප්‍රජාමය තලයේ ඇතැම් ගැටළු සඳහා එයින් ඉදිරිපත් කළ හැකි විසඳුම් මොනවාද? ජන අරගල ව්‍යාපාරය රාජ්‍යයට බලපෑම් කරන පුරවැසි ව්‍යාපාරයක් පමණක්ද? එසේ නොමැති නම්, ජන අරගලය තුළින් පෙරට එන ප්‍රජා නායකත්වයන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට තෝරා යවන්නේ කෙසේද? පවත්නා සංකේතීය යථාර්ථයෙන් ඔබ්බෙහි පවත්නා විශ්වීය නිෂ්ටාවක් හඹා යන ජනතාවාදී දේශපාලනයක මග ගැනීමට අප සූදානම්ද? එසේනම්, එම විශ්වීය අරමුණත් අරගලයේ නිරත බලවේගවල ආසන්න අභිලාෂයනුත් අතර හෙජමොනික බැම්මක් තනන්නේ කෙසේද? සරලව, මේ මොහොතේ පොදු ජනයාට ඒත්තු යන පරිදි අපට කිව හැකි සරල කතාන්දරය කුමක්ද?

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Dear Sumith,
    .
    thanks for the article. I have formulated the text below for your note.
    .
    අරගලය තරුණ ප්‍රයත්නයෙන් අප ලබාගෙන ඇති සියල්ල අතිමහත්ය. මළ ජාතියට ජීවය දෙන නවීන සේලයින් බවට පත් විය. තාරුණ්‍යය සහ ඔවුන්ගේ ප්‍රායෝගිකත්වය ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ගේ දිගු නිද්‍රාව අවදි කළ අතර, තරුණයන්ට මේ ජාතියට ජීවිතයක් දිය හැකි බව ඔප්පු කළේය.

    යමෙක් තාරුණ්‍යයට ඇගිල්ල දිගු කරන්නේ නම් එයින් ලැබෙන ජයග්‍රහණ නොදැනීම කණගාටුදායකය.
    ජාතියේ ලේ උරා බොන මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම යථාර්ථයක් නොවනු ඇත, අරගලය ඇති නොවුණා නම් – එළවා දැමීම පමණක් නොව, ඔවුන් “මේ ජාතියේ සැබෑ කොල්ලකරුවන්” ලෙස හංවඩු ගැසීමට ඔවුන්ට හැකි විය: රාජපක්ෂගේ දෙමාපියන්ගේ ස්මාරක පවා කුඩු කර දැමූහ. මිනිසුන්ගේ වියදමින් ගොඩනගා ඇත –
    ඉන්පසුව, හිටපු රජය නෙරපා හරින ලදී, නව නායකයින් ඉදිරියේ GOTA ට දණගැසීමට සිදු විය, – GOTA ඉල්ලා අස්වීම පරමාදර්ශය වනු ඇත, කෙසේ වෙතත්, විශ්වාස කරන්නා එසේ නොකරනු ඇත, දෙවන විකල්පය වන්නේ නව කැබිනට් මණ්ඩලයක් දිගටම කරගෙන යාමයි. ගෝඨාට අද මිනිසුන්ගේ ඇස් පෙනෙන්නේ නැත, මන්ද ඔහු පෙර තැබූ පියවර සියල්ල අරගලය හරහා මිනිසුන් විසින් පරාජය කරන ලදී. ඔහු කාබනික පොහොර ප්‍රවර්ධනය කළ පසු පොහොර සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තට යොමු විය. අද යළිත් පොහොර පිටරටින් ගෙන්වීමට බලකර තිබෙනවා.

    tbc

  • 0
    0

    continuing.
    .
    අපේ ජනතාව පොදුවේ කරුණු පරීක්‍ෂා කරන්නන් නොවේ. ඔවුන් ඉලක්ක කර ගනිමින් “පහසු උපක්‍රම” වලට හසු වනු ඇත.
    ඔවුන් අතර බහුතරය වන දේශපාලනයේ සිටින තක්කඩියන් දේශපාලන බලය තම අතට ගැනීම සඳහා නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ ජනතාවගේම සතිපතා ගැන ය. ඇත්ත වශයෙන්ම, රාජපක්ෂ සහෝදරයන්ගේ වඩාත්ම අපවාදාත්මක පුද්ගලයා වන බැසිල්, මහජන වසම තුළ ඉල්ලීම් කිරීමට නිර්භීතකම සහ නිර්ලජ්ජිතභාවය ඇත – අඩුම තරමින් ඔවුන්ගේ ධුර කාලය අවසන් වන තුරුම ජනතා වරම ලබා ගැනීම. දේශපාලකයන්ගේ මේ ස්වභාවය යුරෝපයේ දුර්ලභ ය, මන්ද මිනිසුන් දැනුමැති අය බැවිනි. ඒ අපේ දකුණු ආසියානු කලාපයේ විරුද්ධ පැත්තයි. බොහෝ මිනිසුන් කරුණු වලින් ඈත් කර ඇත. නැත්නම් ගොතපු ප්‍රවෘත්ති වලට අහුවෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 ක් වත් නොවේ, එය අසල්වැසි ඉන්දියාවේ මිලියන 1300 න් ඉතා කුඩා කොටසකි. – ඉන්දියානුවාට වඩා 65 ගුණයක් කුඩාය. නමුත් අද ඉන්දියානුවන්ට වඩා අපි අරගල කරනවා. මිථ්‍යාවන්, ගුප්ත විද්‍යාව, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සහ තවත් නොයෙකුත් ඒවා ඔවුන්ගේ 2500 උරුමයන් තුළ ජාතියට සංස්කෘතික සම්බන්ධතා ලෙස ඔවුන් හඳුන්වනු ලබනවා.
    යුරෝපීය ජාතීන්, ඔවුන් සෝවියට් සංගමයේ හිටපු රටවල් හෝ බටහිර ජාතීන් වේවා, ඔවුන් සියල්ලන්ටම පොදු බොහෝ දේ ඇත, ඒවා “කරුණු සහ සංඛ්‍යා” වලට ගරු කරයි: කෙසේ වෙතත්, zschec ජනරජය, පෝලන්තය, බල්ගේරියාව, ලැට්වියාව සහ සුදු රුසියාව යන සියල්ලම පැරණි බටහිර යුරෝපීය රටවල් අභිබවා ගොස් ඇත. . ජර්මනියේ, ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ බොහෝ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් වැඩ කරන්නේ පෝලන්තයේ සහ රුසියාවෙනි. යුරෝපයේ සමහර අංශවල කොටස් වලට ඉන්දියානුවන් විසඳුමක් විය හැකි යැයි සමහර විශේෂඥයින් සිතුවද, ඔවුන් විසින් උත්පාදනය කරන ලද පුහුණු ශ්‍රමිකයන් සපයා ඇත. දකුණු ආසියානුවන් මුහුණ දෙන පරිදි යුරෝපයේ සිට පැමිණෙන ජාතීන්ට යුරෝපයේ සංස්කෘතික කම්පනයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. එවැනි සබඳතාවල තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ එයයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.