21 April, 2026

Blog

වෙනස් වූ දේශපාලන පොළෝ තලය සහ වියුක්ත විපක්ෂ සංවාද

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

2022 අරගලයෙන් සහ 2024 ජනාධිපතිවරණයෙන් පසු ලාංකීය දේශපාලනයේ යුග පෙරළියක් සිදුව ඇති බව පිළි නොගන්නා කණ්ඩායම් කිහිපයක් ඇත. සමාජවාදී විප්ලවය මිස අන් කිසිදු පරිවර්තනයක වැදගත්කම වටහාගැනීමේ සූදානමක් නොමැති රැඩිකල් වාමාංශිකයින් එවන් එක් කණ්ඩායමකි. ඔවුනට අනුව මෙරට දක්ෂිණාංශික පක්ෂ සහ ජවිපෙ/ජාජබ අතර කිසිදු වෙනසක් නොමැත. නමුත්, ඒ අතරම ජනතාව විසින් පරාජය කරන ලද පැරණි අවතාරවලට යළි නැගිටින්නට ඉඩ නොදිය යුතු යැයිද ඔවුහු පවසති. සියල්ලන් එක හා සමාන වන්නේ නම් ඒ අතුරින් එක් පිරිසකට යළි නැගිටින්නට ඉඩ නොදිය යුත්තේ මන්දැයි පැහැදිළි නැත. න්‍යායිකව කුමක් කීවද තමන් හට වුවත් දැන් දේශපාලනය කරන්නට සිදුවන්නේ 2024 ජනපතිවරණයට පෙර කාලයේ දේශපාලනය කළ ආකාරයට නොවේ යැයි භාවිතය තුළ පිළිගන්නට ඔවුනට සිදුව තිබේ. දේශපාලන සංධර්භය පරිවර්තනයට ලක්ව තිබේය යන්නෙහි අරුත එයයි.

ලාංකීය දේශපාලනයේ යුග පෙරළියක් සිදුව ඇති බව පිළිගන්නට අකමැති නොහොත් එසේ කිරීමට හැකියාවක් නොමැති තවත් කණ්ඩායමක් නම් පසුගිය මැතිවරණවලදී අන්ත පරාජයකට පත් ‘සුන්බුන් විපක්ෂයේ’ කොටස්ය. ඔවුනට අනුව සිදුව ඇත්තේ 1987-89 ප්‍රචණ්ඩ දේශපාලනයේ උරුමය නියෝජනය කරන ජවිපෙ ජනතාව රවටා බලය අත්පත් කරගෙන සිටීමයි. ආරම්භයේදී මේ විපක්ෂ කණ්ඩායම් කල්පනා කළේ ජවිපෙ/ජාජබ මෙරට රාජ්‍ය මෙහෙයවීමට නුසුදුසු නොහොත් නොගැලපෙන කණ්ඩායමක් බැවින් නව ආණ්ඩුව ඉක්මණින් කඩා වැටෙනු ඇති බවයි. මෙය පුදුමයට කාරණයක් නොවේ. මන්ද යත්, තමන්ට සිදු වූ විපත්තිය තාවකාලික එකක් යැයිද ඉතාම ඉක්මණින් පැරණි සාමාන්‍ය තත්ත්වය යළි උදා වේ යැයිද කල්පනා කිරීම විපතට පත් කවරෙකුගේ වුවද පළමු මානසික ප්‍රතිචාරයයි. නමුත්, තමන් අපේක්ෂා කළ ආකාරයට අතීතය කරා ආපසු හැරීමක් සිදු නොවන බව ක්‍රම ක්‍රමයෙන් වැටහෙන්නට පටන් ගත් විට ඔවුනගේ ප්‍රතිචාරය වන්නේ බාහිර ලෝකයට චෝදනා නැගීමයි. ආණ්ඩුව මර්දනකාරී ගමනකට සැරසෙන්නේ යැයිද ඒ අනුව ඉදිරියේදී විශාල භීෂණයක් උදා වේ යැයිද චෝදනා කිරීම මේ මානසිකත්වයේ ප්‍රකාශ වීමක් ලෙස ගත හැකිය.

වියුක්ත විපක්ෂය

මෙහිදී ඔවුනට නොවැටහෙන කාරණය නම් තම පක්ෂ කවවලින් පිටත සමාජයට එවන් මර්දනකාරීත්වයේ හැඟීමක් නොදැනෙන්නේ මන්ද යන්නයි. මර්දනකාරීත්වයක් නිර්මාණය වන මොහොතක පළමුව එයට එරෙහි ප්‍රතිචාර මතු විය යුත්තේ පොදුජන සමාජය තුළිනි. නිදසුනක් ලෙස, 2022 අරගලයට පෙර පටන් මෙරට ජන මනස තුළ ගොඩ නැගී වර්ධනය වූ ‘225ම එපා’ යන සටන් පාඨය මතුව වූයේ ජන සමාජය කෙරෙනි. වත්මන් සන්ධර්භය තුළ එවන් සටන් පාඨයක් යෝජනා කිරීම පවා විහිළුවක් බවට පත් වනු ඇත. ඒ මන්ද? විපක්ෂය කැමති වුවද අකමැති වුවද, මෙරට පොදුජන මනස තුළ වැදගත් පරිවර්තනයක් සිදුව ඇති නිසාය. ජන මනසේ සිදුව ඇති මේ පරිවර්තනය වටහා නොගත් විපක්ෂයක ඉරණම වනු ඇත්තේ තව තවත් පොදු ජනයාගෙන් වියෝ වීමය. ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ නොවැම්බර් 21 රැළිය මෙසේ විපක්ෂයේ සාමූහික හැඟීමත් ජන සමාජයේ සාමූහික හැඟීමත් අතර නිර්මාණය වෙමින් පවතින දුරස්තභාවයේ සංදර්ශනයක් වීමට ඇති ඉඩකඩ වැඩිය.

සමකාලීන දේශපාලන පරිවර්තනය පිළි නොගන්නා තවත් කණ්ඩායමක් වන්නේ නව ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවලම අඛණ්ඩත්වයක් නියෝජනය කරන්නේ යැයි තර්ක කරන ලාංකීය ලිබරල්වාදීන් සහ ඊනියා පශ්චාත්-නූතනවාදීන්ය. ඔවුන් බොහොමයක් දෙනා පසුගිය ජනපතිවරණයේදී සහාය දැක්වූයේ වික්‍රමසිංහ හටය. ඒ ඇතැමෙකු (විශේෂයෙන්ම පශ්චාත් නූතනවාදීන්) වික්‍රමසිංහ ජයගනු ඇතැයි අවංකව විශ්වාස කළහ! මීට අමතරව වික්‍රමසිංහ ප්‍රතිපත්ති සහ ජවිපෙ/ජාජබ ප්‍රතිපත්ති අතර වෙනසක් නැතැයි යන විශ්වාසය මත ජවිපෙ/ජාජබට සහාය දක්වන ලිබරල්වාදීන් සුළුතරයක්ද සිටින බව අප අමතක නොකළ යුතුය. මේ සමස්ත කණ්ඩායම අවබෝධ කර නොගත් කාරණයක් වන්නේ වික්‍රමසිංහගේ දේශපාලනය වනාහි 1977 ඇරඹි ජයවර්ධන ව්‍යාපෘතියේ අඛණ්ඩත්වයක් බවය; දූෂණය, අනුග්‍රාහක දේශපාලනය සහ කළු ආර්ථිකය මත පදනම් වූ ලාංකීය ලුම්පන් නොහොත් පාදඩ ධනවාදය එහි අත්‍යන්ත අංගයක් බවය; රාජපක්ෂ බල ව්‍යාපාරයද එම ලුම්පන් ධනවාදය කෙරෙන්ම පැන නැගුණු දේශපාලන ප්‍රවණතාවක් බවය; එබැවින්, 2022දී රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ හවුල සමග කදවුරුගත වීම පුදුමයට කරුණක් නොවන බවය; අවසන් වශයෙන්, ජවිපෙ/ජාජබ බලයට පත්වීම ඉහත කී සමස්ත ව්‍යාපෘතියෙන් ඛණ්ඩනය වීමක් බවය. පැරැන්න සහ නව දෙය අතිසරල ලෙස සමාන කළ හැක්කේ මෙම සමස්ත දේශපාලන ආර්ථික චිත්‍රය දෙස නොබලා යම් යම් පැරණි සහ නව ප්‍රතිපත්ති වියුක්තව සසඳා බැලීමෙන් පමණි.

පක්ෂ-රාජ්‍යය පිළිබඳ මිත්‍යාව

සමකාලීන දේශපාලනය පරිවර්තනය පිළිබඳ ඉහත කිසිදු ප්‍රවර්ගයකට ඇතුළත් කළ නොහැකි තවත් විපාක්ෂික තේරුම් කිරීමක් පවතී. එය ඉදිරිපත් කරනු ලබන්නේ පවතින දකුණ වෙනුවට නව දකුණක් ගොඩ නැගිය යුතු යැයි යෝජනා කරන ඇතැම් දක්ෂිණාංශික බුද්ධිමය කව විසිනි (දිනන දකුණ, මැද-දකුණ යනාදී නම්වලින් පෙනී සිටින කණ්ඩායම්). එම කව තුළ නියෝජනය වන නායකත්ව චරිත පසුගිය එජාප, සජබ පමණක් නොව රාජපක්ෂ බල ව්‍යාපෘතීන් තුළ පවා කේන්ද්‍රීය කාර්ය භාරයක් ඉටු කළ පුද්ගලයින් වූ බව අපි මදකට අමතක කරමු. ඔවුන් වත්මන් දේශපාලන පරිවර්තනය තේරුම් කරන්නේ අතිශය නිශේධාත්මක එකක් ලෙසිනි. ඒ අනුව අප දැන් ජවිපෙ මෙහෙයවීමෙන් තනි පක්ෂ පාලනයක් වෙතටත්, ඉනුත් ඔබ්බට පක්ෂ-රාජ්‍යයක් (party-state) වෙතටත් ගමන් කරමින් සිටිමු. මෙය කලක් මුළුල්ලේ ලංකාවේ ස්ථාපිතව පැවති ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට එරෙහි ප්‍රවණතාවකි. මර්දනකාරීත්වයේ කතාන්දරය මෙන්ම මේ කතාන්දරයද ඒත්තු ගොස් තිබෙන බව පෙනෙන්නේ එහි ප්‍රකාශකයින් හට පමණි. සාමාන්‍යයෙන් පක්ෂ-රාජ්‍යය ලෙස හඳුන්වනු ලබන්නේ ‘සැබවින්ම පැවති සමාජවාදී’ රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වූ තනි පක්ෂ පාලන මොඩලයයි. එම මොඩලය තුළ සිවිල් සමාජ නිදහස හැකිලී යන අතර බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නොමැත. රාජ්‍යයේ මෙන්ම සමාජයේද සෑම ක්ෂේත්‍රයක් තුළම පාලක පක්ෂයේ ආධිපත්‍ය ව්‍යාප්ත වේ. වත්මන් ලංකාවේ මෙවන් වාතාවරණයක් නිර්මාණය වී තිබේ යැයි කිව හැක්කේ තම නිගමනය කලින්ම තීරණය කොට එම නිගමනයට සහාය වන කරුණු පමණක් අසීරුවෙන් තෝරා බේරා ඉදිරිපත් කරන පක්ෂග්‍රාහී පර්යේෂකයෙකු හට පමණි.

සැබවින්ම මෙතෙක් ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි එල්ල වෙමින් පැවති විවේචනය වූයේ ජනතා ජන්දයෙන් බලයට පත් වන දේශපාලන පක්ෂය අතින් සැබෑ බලය ගිලිහී ගොස් ඒ වෙනුවට වෙනත් බල ව්‍යුහයක් (පවුලක්, ඥාති කණ්ඩායමක් හෝ ගජ මිතුරු කවයක්) ආදේශ වන්නේය යන්නයි. විවිධ කාලවල ‘කුස්සි කැබිනෙට්ටුව’, ‘පවුල් පාලනය’, ‘සහෝදර සමාගම’ යනාදී යෙදුම්වලින් හඳුන්වන ලද්දේ මෙම ජනතා සුජාතභාවයක් නොමැති අභ්‍යන්තර බල ව්‍යුහයන්ය. එවන් බල ව්‍යුහ නිර්මාණය වීම නිදහසින් පසු ලාංකීය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අත්දැකීමෙහි ඓන්ද්‍රීය අංග ලක්ෂණයක් විය. ජයවර්ධන යුගයේ ගොඩ නැගී විකාශනය වූ ලාංකීය පාදඩ ධනවාදය තුළ එය වඩාත් විපරීත අන්තයකට ගමන් කළේය. සැබවින්ම එවන් බල ව්‍යුහ පදනම් වූයේ විධායක බලය දරන නායකයාගේ හෝ නායිකාවගේ පුද්ගලික සබඳතා මතය. ඒ වෙනුවට අද වනවිට සැබෑ බලය දේශපාලන පක්ෂයක් අතට මාරු වී ඇත්නම් එය සැලකිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලෙසිනි. ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව ජනතාව ජන්දය දෙන්නේ පළමුව දේශපාලන පක්ෂයට වන අතර අපේක්ෂකයාට ජන්දය දෙනු ලබන්නේ දෙවනුවය. එබැවින් මූලධාර්මිකව ගත් කල මැතිවරණයකින් ජය ලබන පක්ෂයට ජනතා සුජාතභාවයට හිමිකම් කිව හැකිය.

අනෙක් වැදගත් කාරණය වන්නේ දේශපාලන පාරිභාෂිකය තුළ පක්ෂ-රාජ්‍යය ලෙස හඳුන්වනු ලබන ආකාරයේ පාලන මාදිලියක් කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවට කිසිදු ඒත්තු යන සුළු ආකාරයේ සාධකයක් අද දක්නට නොලැබෙන බවයි. පාලක පක්ෂය විසින් රාජ්‍ය ව්‍යුහය ග්‍රහණයට ගනු ලැබීම සහ එහි ප්‍රතිපලයක් ලෙස පක්ෂ තන්ත්‍රයම රාජ්‍යය බවට රූපාන්තරණය වීම එම පාලන මාදිලියෙහි ස්වරූපයයි. ඒ වෙනුවට පසුගිය මාස කිහිපය මුළුල්ලේම මෙරට දේශපාලන සංවාදය වී තිබුණේ ආණ්ඩු බලය හිමි කරගත් පක්ෂයට රාජ්‍යය මෙහෙයවීම සඳහා පැවති දුෂ්කරතා සහ බාධාවන්ය. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගැනුණේ මෙතෙක් කලක් බලය දැරූ දේශපාලන පක්ෂ සමස්ත රාජ්‍ය ව්‍යුහයම තම අනුග්‍රාහක ජාලයන් යටතට පත් කොට තිබීමයි. එම සම්ප්‍රදායික බල ව්‍යුහයට පිටතින් පැමිණි පක්ෂයක් පවත්නා රාජ්‍ය යාන්ත්‍රණයට අරක්ගත් පැරණි දේශපාලන අත පෙවීම්වල නෂ්ටාවශේෂ මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම පුදුමයට කරුණක් නොවේ. එය කිසිසේත්ම පැරණි සෝවියට් සංගමයේ හෝ වත්මන් චීනයේ පවතින ආකාරයේ පක්ෂ-රාජ්‍යයක් කරා ගමන් කිරීමක් යැයි නිගමනය කිරීම වනාහි බරපතල අතිසරලකරණයකි.

අවසන් වශයෙන්, ඉතිහාසය සාක්ෂි දරන පරිදි පක්ෂ-රාජ්‍යය යන්න ගොඩ නැගී ඇත්තේ ඉන් පෙර බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අත් විඳ නොමැති සමාජ සැකසුම් තුළය. ආසියා-අප්‍රිකා ලෝකයේ පැරණිම සහ අඛණ්ඩම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව තුළ එවැන්නක් පරිකල්පනය කිරීම සැලකිය යුත්තේ සැබවින්ම පවත්නා සංයුක්ත තත්ත්වයන් නොතකා හැර තම සිතැඟියාවන්ට ගැලපෙන ආකාරයේ කතාන්දර ගෙතීමේ භාවිතයක් ලෙසය; එය කිසිසේත් බරපතලව ගත හැකි දේශපාලන විශ්ලේෂණයක් නොවේ.

මගහැරෙන සැබෑ ප්‍රතිවිරෝධතා

මෙහි අදහස ඉදිරි ලාංකීය දේශපාලනය තුළ විපාක්ෂික කඳවුරක් පැවතිය නොයුතු බව නොවේ. ඉදිරිගාමී විපක්ෂයක් නිර්මාණය විය හැක්කේ සිදුව ඇති දේශපාලන පරිවර්තනය නොතකා හැරීම හෝ එය අවතක්සේරු කිරීම මගින් නොවන බවයි. අනාගතයේ පැවැත්මක් ඇත්තේ තමන් දැන් පිවිස සිටින්නේ නව දේශපාලන පොළෝ තලයක් මතට බව වටහා ගැනීමට සමත් දේශපාලන ප්‍රවණතාවලටය. සිදුව ඇති පරිවර්තනයේ සාධනීය ගතිකතා පෙරට ගෙන යාමෙන් තොරව එය ප්‍රතික්ෂේප කරන්නට තර්ක ගොඩ නගන නව දේශපාලන කණ්ඩායම් සහ බුද්ධිමය එකතූන් ඉතාම ඉක්මණින් ‘සුන්බුන් විපක්ෂයේ’ ගොඩට ඇද වැටීමට නියමිතය. ‘දිනන දකුණ’ එකතුව ‘සුන්බුන් විපක්ෂයේ’ 21 වනදා රැළියට සුබ පැතුම් එක් කිරීම එම ගමනෙහි පළමු සංකේතය විය හැකිය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයන් කෙරෙහි තියුණු විවේචක අක්ෂයක් ගොඩ නැගිය හැක්කේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඓතිහාසිකව හේතු වූ 2022 ජන අරගලයේ අපේක්‍ෂාවන් ආරක්ෂා කිරීමේ සහ පෙරට ගෙන යාමේ මගක් ගැනීමෙනි. තවමත් සුවිසල් ආර්ථික සහ සමාජයීය පීඩනයකට මුහුණ දී සිටින ජන කොටස් වෙනුවෙන් ප්‍රමාණවත් රාජ්‍ය සුභසාධක වැඩ සටහන් ක්‍රියාත්මක නොකිරීම ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ කැපී පෙනෙන දුබලතාවකි. කෙසේ වුවද, එම ජනතා අපේක්ෂාව නියෝජනය කළ හැක්කේ එජාප/සජබ වර්ගයේ ‘නිදහස් වෙළඳපල මූලධර්මවාදය’ (මේ යෙදුම ජෝෂප් ස්ටිග්ලිට්ස් විසින් හඳුන්වා දෙන ලද්දකි) සමග අනුගත වීමෙන් නොව රාජ්‍ය සුභසාධනය පිළිබඳ මධ්‍ය-වාමාංශික ප්‍රතිපත්තිය ඔස්සේම ගමන් කිරීමෙනි. නව ආණ්ඩුව කිසිදු ජනතා මත විමසීමකින් හෝ සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්නට අර අදින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ගැන කිව යුත්තේද එවැන්නකි. එම අදූරදර්ශි වැඩ පිළිවෙල පරාජය කිරීමේ මගද වැටී ඇත්තේ දකුණින් නොව වමෙනි. කෙසේ වුවද, නව දේශපාලන සන්ධර්භය තුළ ගොඩ නැගෙන වඩා ඉදිරිගාමී නව විපක්ෂයක් පරිකල්පනය කළ හැක්කේ යථාර්තය තුළ නොපවතින මර්දනකාරීත්වය, පක්ෂ-රාජ්‍යය වැනි වියුක්ත තේමා ඉදිරිපත් කිරීමෙන් නොව ආර්ථිකමය සහ සමාජමය තලය තුළ ගොඩ නැගෙන සැබෑ ප්‍රතිවිරෝධතා අභිමුඛ වීමෙනි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.