29 October, 2020

Blog

වාම ජනතාවාදයක් කරා – පස් වන කොටස

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට රැගෙන යා යුතු බවයි; එසේම ජනතාව විඳින දහසකුත් එකක් ආර්ථිකමය සහ සමාජමය දුක්ඛ දෝමනස්සයන්ට ආමන්ත්‍රණය කරන්නට වාම ජනතාවාදීන් සමත් විය යුතු බවයි. මෙය අප ඉදිරිපත් කරමින් සිටින විශ්ලේෂණ ඒත්තු යා යුතු අයවලුන් හට ඒත්තු ගොස් තිබෙන බවට සංඥාවකි.

ලාල්කාන්ත සහෝදරයාගේ අදහසට එක් කළ යුතු යමක් තිබේ නම්, ඒ මෙරට අද අනතුරට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ලිබරල් නිදහස හා අයිතීන් බවයි. වත්මනෙහි බලයට පත්ව සිටින දක්ෂිණාංශික ජාතිකවාදී ආණ්ඩුවට ජනතාවගෙන් අති විශාල බහුතරයක් සහාය දක්වන බව රහසක් නොවේ. එසේම, 2015 “ජනවාරි විප්ලවයෙන්” බලයට පත් වූ නව-ලිබරල් ආණ්ඩුවට සාපේක්ෂව ගත් කල වත්මන් ආණ්ඩුව තමන්ට ජන්දය දුන් ජන කණ්ඩායම්වල ආර්ථික සහ සමාජමය අභිලාෂයන් ගැන සංවේදී බවක් දක්වන බවද පිළිගන්නට සිදු වේ. ඇතැම් යහපාලනවාදීන්ගේ සිනහවට ලක් වූ නව ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදීමේ ක්‍රමය එයට එක් නිදසුනකි. එම නව ක්‍රමය අනුව දැන් ගමේ සහ නගරයේ කුඩා ව්‍යවසායන් පවත්වාගෙන යන ශිල්පීන් හටත් කුඩා ව්‍යාපාරිකයන් හටත් සෘජුවම තමන්ට සම්බන්ධ විය හැකි අමාත්‍යාංශයක් පවතී. එය ඔවුන් තුළ උපද්දවන්නේ සරදම් සහගත සිනාවක් නොව සොම්නස් සිනාවකි. උපාධිධාරීන් විශාල සංඛ්‍යාවකට රජයේ රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල තවත් නිදසුනකි. රනිල්-චන්ද්‍රිකා-මංගල ත්‍රිත්වයේ නව-ලිබරල් දැක්ම අනුව එය විය නොහැක්කකි. නමුත්, “රාජ්‍ය සැලසුම්ගත ධනවාදයක්” පිළිබඳ නැගෙනහිර ආසියාතික ආදර්ශය අනුව එය තාර්කික තෝරා ගැනීමකි.

ජනාධිපති ගෝඨාභය නිතර පවසන පරිදි ඔහු මහජනයා අතර සැරිසරමින් ඔවුනගේ දුක් ගැනවිලිවලට සහ අදහස්වලට සවන් දීමෙන් තම සංවර්ධන වැඩ පිළිවෙල සකස් කරන්නෙකි. මෙය හුදෙක් දෘෂ්ටිවාදී ප්‍රචාරණයක් පමණකැයි සලකා බැහැර කළ හොත් අපට එක් වැදගත් කාරණයක් මග හැරී යනු ඇත. එනම්, නව-ලිබරල් යහපාලනවාදය තුළ නොතිබූ ජනතා නියෝජනයේ මානය (වාර්ගික ජාතිකවාදී මුහුණුවරකින් වුවත්) වත්මන් ආණ්ඩුව සතුව තිබෙන බවයි. එබැවින්, එය අභියෝගයට ලක් කළ හැක්කේද මහජනයා අතරින් ගොඩ නැගෙන ඓන්ද්‍රීය විපාක්ෂික බලවේගයකට පමණි. (සමගි ජන බලවේගයද දැන් තමන් “ජනතාවාදී විපක්ෂය” ලෙසින් හඳුන්වා ගනී. නමුත්, එහි නායකයින් තවමත් ජනාධිපතිවරයා මෙන් ගම් නගර පුරා සැරිසරා මහජන අදහස්වලට සවන් දීමේ වැඩ පිළිවෙලක් දියත් කොට නොමැත. ඇතැම් විට, විසි වන සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතා සංවිධානය කිරීමට වඩා ජන දුකට හා ජන හඬට සවන් දීමේ එවන් චාරිකාවක් වඩා බලපෑම් සහගත වනු ඇත). කෙසේ වෙතත්, ඉහත කරුණු මගින් ගම්‍ය වන්නේ වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ යැයි නිගමනය කිරීම අසීරු බවයි.

ලිබරල්-නොවන ප්‍රජාතන්ත්‍රය

නමුත්, වත්මන් ආණ්ඩුව විසින් අනුයනු ලබන අධිකාරීමය ධනවාදී සංවර්ධන මොඩලය තුළ පුද්ගල සහ සමාජ නිදහස විශාල අනතුරකට ලක් වීමේ ඉඩකඩක් තිබේ. සමාජ සහ සංස්කෘතික බහුවිධත්වය හැකිලී යාමේ අනතුරද ඒ හා සමගාමීව එයි. මහජන තලයේ පමණක් නොව පුද්ගල සබඳතාවල අවකාශය තුළදීද රාජ්‍යයේ නිරන්තර සෝදිසියට සහ සුපරීක්ෂණයට ලක් වීමේ තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. මෑතකදී ස්ථාපිත කරන ලද “ආරක්‍ෂිත රටක් සහ විනයගරුක, ආචාර ධාර්මික සහ නීති ගරුක සමාජයක් ගොඩ නැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ඒ සඳහා කදිම නිදසුනකි. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහතික කිරීමට මිලිටරි බුද්ධි අංශ යොදා ගැනීමේ අදහසද අධිකාරීමය ධනවාදී මොඩලය හා මනාව ගැළපෙන්නකි. මෑතකදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ විශ්වවිද්‍යාලවල නවක වදය තුරන් කිරීම සඳහාද බුද්ධි අංශ යොදා ගන්නට ඔහු බලාපොරොත්තු වන බවයි. මහජන අවකාශවලදී පෙම්වතුන් හා පෙම්වතියන් අත් අඩංගුවට ගැනීමෙන් සංකේතවත් වන්නේද දැන් අපගේ පුද්ගලික චර්යාවන් පවා නිරන්තර සුපරීක්ෂාවට විවෘත වී පවතින්නේය යන්නයි. ජෝජ් ඕවල්ගේ “1984” නවකතාවේ සඳහන් වන පරිදි “ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටී” (big brother is looking at you!). ඔබ රාජ්‍යයට එරෙහිව සිතීමේ “චින්තන අපරාධවල” (thought-crime) යෙදෙන්නෙක්ද යන්න දැන් සමීපව පරීක්ෂාවට ලක්වෙමින් තිබේ. යම් යම් වෙබ් මාධ්‍යවේදීන් හදිසියේම ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබීමෙන් ගම්‍ය වන්නේ මෙයයි. (මෙයින් කියැවෙන්නේ කලින් පැවති තත්ත්වය යහපත් බව නොවේ; දැන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවයි).

මේ අනුව, පෙනී යන්නේ බහුතරයේ සක්‍රීය කැමැත්ත ඇතිව ක්‍රියාත්මක වන පාලනයක් තුළින්ම ලිබරල් නිදහස සීමා කරනු ලබමින් පවතින්නේය යන්නයි. අප දැන් ගමන් කරමින් සිටින්නේ ඒකාධිකාරී පාලනයක් (tyranny) කරා යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඉතාම නිවැරදිව පෙන්වා දී තිබිණ. එය වඩාත් සමීප වන්නේ නිර්-ප්‍රජාතාන්ත්‍රික ඒකාධිකාරීත්වයකට වඩා බහුතරයේ ඒකාධිකාරීත්වයකට (tyranny of the majority) බව මගේ අදහසයි. එහි අදහස ලිබරල් නිදහසට සහ බහුවිධත්වයට ඇති අවකාශය හකුළුවා දමමින් තිබෙන්නේ බහුතරයේ කැමැත්ත මත පදනම් වෙමින්ය යන්නයි. මෙවැන්නක් සිදු වන්නේ ඉතිහාසයේ පළමු වතාවට නොවේ. ලිබරල් නිදහසෙන් තොර ප්‍රජාතන්ත්‍රයන් ගැන නූතන නිදසුන් ඕනෑතරම් තිබේ. වත්මන් රාජපක්ෂ පාලනයේ දෘෂ්ටි නියාමකයින් උත්කර්ෂයෙන් අගයන ඇතැම් නැගෙනහිර ආසියාතික රටවල තත්ත්වයද එබඳුය. ශන්තාල් මූෆ් නොයෙක් වර පෙන්වා දී ඇති පරිදි ලිබරල්වාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය දිශානත වී ඇත්තේ ඒකාධිකාරීත්වය දෙසටය. (ෆරීඩ් සකාරියා එවන් පාලන තන්ත්‍ර හැඳින්වූයේ “illiberal democracy” යන යෙදුමෙනි). දැන් විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් ඉඟි කෙරෙන්නේ ලිබරල් නිදහස සීමා කිරීම සඳහා වූ වත්මන් පාලනාධිකාරයේ ප්‍රයත්නය යම් ආකාරයකින් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් යටපත් කිරීමටද හේතු විය හැකිය යන අනතුරයි.

ලිබරල්වාදය පිළිබඳ ලාංකීය ගැටළුව

කෙසේ වුවත්, හැකිලී යමින් තිබෙන ලිබරල් නිදහස සහ බහුත්වවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීමට අසමත් වන විපක්ෂ බලවේගයකට වත්මන් පාලනාධිකාරය අභියෝගයට ලක් කිරීමට හැකි වේ යැයි සිතිය නොහැකිය. ඒ වෙනුවට, රාජපක්ෂලාට වඩා ජාතිකවාදී වීමෙන් හෙජමොනික අවකාශය අත්පත් කර ගැනීමට යමෙකු උත්සාහ කරන්නේ නම්, එය උපතේදීම පරාජය සනිටුහන් වී ඇති ප්‍රයත්නයක් වනු ඇති බව මගේ හැඟීමයි. පළාත් සභා අහෝසි කිරීම වැනි සටන් පාඨවල එල්ලීමෙන් ජවිපෙට වුවත් ගොඩ යාමක් නොමැති වනු ඇත. පැහැදිලි ලෙසම ඉදිරි දේශපාලන පසමිතුරුතා අක්ෂය ඇඳෙනු ඇත්තේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දී ඇති පරිදි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සහ විපක්ෂ යන බෙදීම මුල් කොටගෙනය. මගේ අවධාරණය වන්නේ එහිදී පුද්ගල සහ සමාජ නිදහසත් බහුවිධත්වයත් පිළිබඳ ගැටළුව වඩා තීරණාත්මක වනු ඇති බවයි.

නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කෙසේ වෙතත් ලිබරල්වාදය සම්බන්ධයෙන් අරගල කිරීම ශ්‍රී ලංකාව තුළ අතිශය අසීරු කටයුත්තක් බවද මෙහිදී කිව යුතුව ඇත. මන්ද යත්, ලිබරල්වාදය සම්බන්ධයෙන් අප සමාජයේ පවතින නිශේධනීය සමාජ ආකල්පවලට ඓතිහාසික පසුබිමක් පවතින බැවිනි. මෙරට සිංහල දේශපාලන සාහිත්‍ය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට හිමි වන තැන තවමත් ලිබරල්වාදයට හිමිව නැත. පාසැල්වල උසස් පෙළ දේශපාලන විද්‍යාව සඳහා බොහෝ කාලයක් තිස්සේ රූසෝගේ “සමාජ සම්මුතිය” කෘතිය ඉගැන්වුවද, ජෝන් ස්ටුවර්ට් මිල්ගේ “On Liberty” සඳහා එතරම් වැදගත් තැනක් ලැබී නොමැත. සම්භාව්‍ය මාක්ස්වාදී කෘතීන් ගණනාවක් සිංහලට නැගී තිබුණද සම්භාව්‍ය ලිබරල්වාදී කෘතීන් තවමත් ප්‍රමාණවත් පරිදි සිංහලට පරිවර්තනය වී නොමැත.

දකුණු ආසියාතික සමාජයන්හි දේශපාලන චින්තාව තුළ ලිබරල්වාදය ආන්තික වී යාම ගැන කෙරුණු පර්යේෂණ ගණනාවක්ම තිබේ. ඇතැම් ඉන්දියානු දේශපාලන විද්‍යාඥයින් තර්ක කරන පරිදි බටහිර යුරෝපීය සමාජවල පුද්ගල-කේන්ද්‍රීය චින්තනයක් ගොඩ නැගීම සඳහා බලපෑ ඓතිහාසික තත්ත්වයන් පැවතුණද, දකුණු ආසියාතික සමාජ ඓතිහාසිකවම ප්‍රජා-මූලිකය. මගේ අදහස වන්නේ මීට අමතරව ශ්‍රී ලංකාවේ ලිබරල් අයිතීන් සහ නිදහස පිළිබඳ කතිකාවක් වර්ධනය වීමට බාධා කළ සුවිශේෂී ඓතිහාසික සාධකයක්ද තිබූ බවයි. එනම්, මෙරට යටත් විජිත ධනේශ්වරය ගොඩ නැගුණු සුවිශේෂී ආකාරයයි. කුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි එම පන්තිය ගොඩ නැගී ඇත්තේ යටත් විජිත දේශපාලන ආර්ථිකය සමග පරායත්ත සම්බන්ධයක් දැක් වූ සමාජ ශ්‍රේණියක් ලෙසයි. කොටින්ම එය රේන්ද රාළලාගේ පන්තියක් විය. එම පන්තියට රාජ්‍යය සමග තිබුණේ පරායත්ත සම්බන්ධයක් බැවින් රාජ්‍යයෙන් ස්වායත්ත වූ සමාජ අවකාශයක් (එනම් සිවිල් සමාජයක්) පිළිබඳ අදහස ඔවුන් අතර වර්ධනය නොවීම වටහාගත හැකිය. (අඩු තරමින් ඉන්දියාවේ තත්ත්වය මෙයින් වෙනස්ය). ලිබරල්වාදයේ මූලික සටන් පාඨය නිදහසය. කාගෙන් නිදහසද? රාජ්‍යයෙන් නිදහස. මෙරට අධිපති දේශපාලන චින්තනය තුළ රාජ්‍යයෙන් නිදහස ඉල්ලීම වෙනුවට රාජ්‍යයේ අනුග්‍රහය ඉල්ලා සිටීමේ චින්තනය තවමත් ඉතා ප්‍රබලය. එසේ වීමේ ඓතිහාසික තත්ත්වයන් කවරේදැයි අපගේ ඉදිරි පර්යේෂණවල තේමාවක් විය යුතුව ඇත.

ආර්ථික ලිබරල්වාදය සහ දේශපාලන ලිබරල්වාදය

අවසන් වශයෙන් කිව යුත්තක් නම්, මෙරට විවිධ ධාරාවල වාමාංශික කණ්ඩායම්ද ලිබරල්වාදය කෙරෙහි දක්වමින් සිටින්නේ ඉතාම නිශේධනීය ආකල්පයක් බවයි. එයට බලපාන එක් හේතුවක් විය හැක්කේ ආර්ථික ලිබරල්වාදය සහ දේශපාලන ලිබරල්වාදය අතරැති වෙනස න්‍යායිකව පැහැදිලි කර නොගැනීමයි. යමෙකු දේශපාලන සහ සමාජ ලිබරල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින විට ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම නිදහස් වෙළඳපල ක්‍රමය සහ ධනවාදය වෙනුවෙන්ද පෙනී සිටින්නේය යන අතිසරල වටහා ගැනීම තවමත් මෙරට ශාස්ත්‍රීය ලේඛකයන් අතරද දැක ගත හැකිය.

මීට අමතරව, ලිබරල්වාදී අදහස් මත පදනම් වූ කිසියම් බුද්ධිමය ශ්‍රේණියක නැගීම විශේෂයෙන්ම 1980 දශකයේ අග භාගයෙන් පසුව විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මුල් කොටගෙන ආරම්භ විය. බොහෝ විට මෙරට සිවිල් සමාජය ලෙස (න්‍යායිකව වැරදි ලෙස) හඳුන්වනු ලබන්නේ එම බුද්ධිමය ශ්‍රේණියයි. මේ වන විට ජාතික ජන බලවේගය සමග එක්ව සිටින බොහොමයක් පිරිස් එන්නේ එම බුද්ධිමය දෘෂ්ටිවාදීමය ප්‍රවාහය කෙරෙනි. නමුත්, එම බුද්ධිමය ශ්‍රේණියේ ප්‍රධාන අසමත්භාවය වී ඇත්තේ ලිබරල්වාදී බහුත්වවාදී අදහස් වැළඳගන්නා බහුජන ශ්‍රේණීන් නිර්මාණය කිරීමය. ඔවුන් ස්වකීය බලකායක් නොමැති සෙන්පතියන් බවට පත්ව ඇත. ඔවුන් ජවිපෙට සහාය දීම නිසා ජවිපෙ දෙසට හැරෙන මිනිසුන් නොමැත.

මේ අනුව පෙනී යන්නේ ඉදිරි විපාක්ෂික අරගලය ප්‍රජාතාන්ත්‍රික එකක් වන අතරම බහු විධ ලිබරල් නිදහස සඳහා වූ එකක්ද විය යුතු වුවත් එය එතරම් පහසු කාර්ය භාරයක් නොවනු ඇති බවයි. එම අසීරු අභියෝගය භාර ගන්නා වාම ජනතාවාදී නායකත්වයකට මෙරට නූතන දේශපාලන ඉතිහාසයට අදාළ මූලික ව්‍යුහාත්මක ගැටළුවක්ද මුණ ගැසෙනු ඇතැයි මම සිතමි. ඒ ලාංකීය අක්‍රීය විප්ලවය (passive revolution) පිළිබඳ ගැටළුවයි. එය ඉදිරි ලිපියකදී සාකච්ජාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.