4 March, 2024

Blog

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා – කොටස IV

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

පසුගියදා වෘත්තීය සමිති එකතුවක නියෝජිත පිරිසක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග කළ සාකච්ජාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. ඉතාම ඉක්මණින් උණුසුම් විවාදයක් බවට හැරුණු එම සාකච්ජාව මෙරට වාමාංශික දේශපාලනය පැත්තෙන් ඉතාම සුවිශේෂී නව සලකුණක් සටහන් කරන්නට සමත් වූවකි. ඒ මන්ද යත්, මෙවර මහ බැංකු අධිපතිවරයාට අනපේක්ෂිත ලෙස මුණ ගැසුණේ පසුගිය අරගලය තුළ පෙරට ආ තරුණ වාමාංශික බුද්ධිමතුන් කිහිපදෙනෙකි. ඔවුන් දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුමින් සේම සමකාලීන දේශපාලනය පිළිබඳ තියුණු අවබෝධයකින්ද සන්නද්ධව සිටි අතර ඉතාම පහසුවෙන් මහ බැංකු අධිපතිවරයාව තර්කයෙන් පරාජය කරන්නට සමත් වූ බව පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි විය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනත් විකල්ප තිබේද යන සුපුරුදු ප්‍රශ්නය නන්දලාල් වීරසිංහ තම ප්‍රතිවාදීන් වෙත එල්ල කළේ තම ලිබරල් ආර්ථික විද්‍යා දැනුමින් ඔවුන්ව මෙල්ල කළ හැකිය යන ආත්ම විශ්වාසයෙන් යුත් ස්වරයකිනි. නමුත්, ඔහුගේ අභියෝගය සාර්ථක ලෙස භාර ගත් ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට අත නොතබා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේදැයි මහ බැංකු අධිපතිවරයාට තේරුම් කර දුන්නේ දේශන ශාලාවකදී ශිෂ්‍යයෙකු විමසූ පහසු ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතිදක්ෂ කතිකාචාර්යවරයෙකුගේ විලාසයෙනි. මහ බැංකු අධිපතිවරයා යනු සේවක අර්ථසාධක අරමුදලේ ජනතා භාරකරු බව ඔහුට නැවත නැවතත් සිහිපත් කළ ස්වස්තිකා අරුලිංගම් තමන් කිසිසේත් තම මූලික ඉල්ලීම සම්මුතිගත කරන්නට සූදානම් නොමැති බව තියුණු ලෙස අවධාරණය කළාය. තරිඳු උඩුවරගෙදර සහ දුමින්ද නාගමුව ඊනියා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවන්නේ අර්බුදයේ බර අසමාන ලෙස බෙදී යන ආකාරයෙන් බව පෙන්වා දුන්හ. කොටින්ම අයි.එම්.එෆ් කාර්ය මණ්ඩලයේද කලක් සේවය කළ ලිබරල් ආර්ථික විශේෂඥයා තාර්කික විවාදයක් තුළ දුර්මුඛ කරවන්නට තරුණ වාමාංශික බුද්ධිමය ක්‍රියාධරයින් පිරිස සමත් විය.

මේ වනාහී ආර්ථිකය පිළිබඳ කාරණයේදී වාමාංශය සතුව ප්‍රායෝගික විසඳුම් නැතැයි යන නව-ලිබරල් ආකල්පය බිඳ දැමුණු ප්‍රාසාංගික සිදුවීමකි. තවද, 1990 දශකයේ අධිපති සංවාදය තුළ තවමත් සිරවී සිටින පැරණි වමේ බුද්ධිමතුන් දැන් තමන් වාමාංශිකයින් නොවේ යැයි ආඩම්බරයෙන් පවසන අතර, නව සහශ්‍රකයේ තරුණ බුද්ධිමතුන් අතුරින් නව වාමාංශික ධාරාවක් මතුවෙමින් පවතින බවට මෙය කදිම සාක්ෂියකි. නව සහශ්‍රකයේ ප්‍රගතිශීලී පරම්පරාව නිර්මාණය කරනුයේ ස්ලේවෝයී ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත් තමන්ගේ නම කියන්නට බිය නොවන වාමාංශයකි. වාමාංශික බුද්ධිමතුන් තමන් වාමාංශික යැයි කියන්නට බිය වූයේ නව-ලිබරල්වාදයට විකල්පයක් නැතැයි යන මතය ප්‍රචලිත වූ 1990 දශකයේදීය. වම-දකුණ යන බෙදීම යල් පැන ගොස් ඇතැයි යන මතයද එම යුගයේ ප්‍රසිද්ධ වූවකි. කාරණය නම් එම මතය නිතරම පාහේ යොදා ගනු ලැබුවේ දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති යුක්ති සහගත කිරීම සඳහා වීමය. ජර්බෝඩෝ පෙන්වා දෙන පරිදි එකල වම-දකුණ යන බෙදීම අවසන්ය යන මතය ව්‍යාප්ත වූයේ දෘෂ්ටිවාදී අරගලයෙන් තාවකාලිකව දකුණ ජයග්‍රහණය කිරීම නිසාය. නමුත්, ජර්බෝඩෝ මෙන්ම ශන්තාල් මූෆ්ද තර්ක කරන පරිදි 2008 මූල්‍ය අර්බුදයෙන් පසු ලෝකය තුළ වම-දකුණ යන බෙදීමට යළි වලංගුතාවක් ලැබී තිබේ.

සමාජ යුක්තිය සහ රාජ්‍ය සුභසාධනය

අද දවසේ ලාංකීය දේශපාලන සංවාදය තුළ කේන්ද්‍රයට පැමිණෙමින් තිබෙන්නේ සමාජ යුක්තිය සහ රාජ්‍ය සුභසාධනය පිළිබඳ තේමාවන් ය. මේ ලංකාවට පමණක් අදාළ ප්‍රවණතාවක් නොව 2008 මූල්‍ය අර්බුදයෙන් පසු සහ කොවිඩ්-19 වසංගතයෙන් පසු ගෝලීය ප්‍රවණතාවකි. පොදු ජන විඥානය තුළ මේ පරිවර්තනය සටහන් වන්නේ කෙසේදැයි පාවුලෝ ජර්බාඩෝ මෑතකදී ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක් ඇසුරින් පහදයි (The Great Recoil, පි. 184). දශක හතරක් තිස්සේ ක්‍රියාත්මක වූ නව-ලිබරල් ප්‍රතිපත්ති රාමුව තුළ ධනය බෙදී යාමේ අසමානතාව කොතෙක් උග්‍ර වී ඇතිදැයි කිවහොත්, ටොඩ් ෆිලිප්ස්ගේ ‘Joker’ චිත්‍රපටයේ එන ගොතම් නගරයේ දූෂිත ධන කුවේරයින්ට එරෙහි උද්ඝෝෂකයින්ගේ සටන් පාඨයක් වන්නේ ‘ධනවතුන් මරා දමනු’ යන්නයි. කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙන්ම ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන ‘Platform’ ද සමාජ ආර්ථික අසමානත්වයේ බිහිසුණු වර්ධනයට ප්‍රතිචාර දක්වන ඒවාය. දෙවැන්න තුළ කියැවෙන පරිදි දරිද්‍ර සමාජ තලවල වෙසෙන ජනයාට දිවි රැක ගන්නට සිදුවන්නේ ඉහළ මහල්වල වෙසෙන්නන් විසින් ඉවතලනු ලබන පිළුණු ආහාර ගිල දැමීමෙනි.

මේ දිනවල ලංකාවේ තිරගත වන අරුන් කුමාර්ගේ ‘ජවාන්’ චිත්‍රපටයද ජනප්‍රිය සිනමාව තුළ පොදු ජනයාගේ සමාජ ආර්ථික පීඩනයන්ට එරෙහි විරෝධය ප්‍රකාශ වීම ගැන කදිම නිදසුනකි. එහිද දේශපාලන ලෝකය අරක්ගෙන සිටින්නේ ආයුධ වෙළෙන්දන් ඇතුළු මාෆියා ව්‍යාපාරික කල්ලියක් විසිනි. මුම්බායිහි කාන්තා සිරකාරිනියන් පිරිසක් සංවිධානය කරගන්නා අසාද් නමැති ජේලර්වරයා මගී දුම්රියක් අල්ලා ගැනීමෙන් කතාව ආරම්භ වේ. මුලදී පෙනී යන්නේ ඔවුන් කිසියම් කොල්ල කල්ලියක් ලෙසිනි. නමුත්, ඔවුනගේ ඉල්ලීම් සමාජ යුක්තිය හා සමානත්වය අරමුණු කරගත් ඒවාය. නිදසුනක් ලෙස,කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ලබාගන්නා අල්ලස් මුදල ඔවුන් භාවිත කරන්නේ දුගී ගොවීන් ලක්ෂ හතක ණය ගෙවීම සඳහාය. සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැර ගන්නා අසාද්ගේ කල්ලියේ ඉල්ලීම වන්නේ සියලු රජයේ රෝහල්වලට මූලික පහසුකම් ලබා දිය යුතුය යන්නයි. ‘ජවාන්’ චිත්‍රපටයේ ගැටළුව වන්නේ මේ ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා සුපිරි වීරයෙකු අවශ්‍ය වීමේ බොලිවුඩ් දෘෂ්ටිවාදය තුළ එය සිරවීමයි. නමුත්, සෞඛ්‍ය සේවය ඇතුළු පොදු සුභසාධනය පිළිබඳ තේමාව යළිත් වරක් පොදු ජන විඥානය තුළ තියුණු ලෙස ඉහළට එසවීම චිත්‍රපටයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

අප දැන් කලාව හා සංස්කෘතික නිෂ්පාදන තුළ පිළිඹිබු වන ජන විඥානයේ සිට සමකාලීන දේශපාලන සංවාදය වෙතට හැරී බැලුවහොත් දේවල්වල එකම රටාවක් නිරීක්ෂණය කරන්නට අපට හැකි වනු ඇත. සරලව, මේ දිනවල ලංකාවේ දේශපාලන විවාදයේ කේන්ද්‍රයට පැමිණ තිබෙන සෑම කාරණයක්ම පාහේ සමාජ යුක්තිය හා සමානත්වය පිළිබඳ පොදු තේමාව හා බැඳුණු ඒවා නොවේද? පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන් වූ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත බර සේවක අර්ථසාධක අරමුදළ මත පැටවීමේ යෝජනාව, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳ විවාදය, පුද්ගලික විශ්ව විද්‍යාල හතරකට කැබිනට් අනුමැතිය හිමි වීමේ පුවත, සහ දුම්රිය සේවක වැඩ වර්ජනය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා නිදසුන් කිහිපයක් පමණි. මේ සෑම කාරණයකදීම වික්‍රමසිංහ පාලනාධිකාරය පෙනී සිටින්නේ ව්‍යාපාරික-දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන් වෙනුවෙන් පොදු ජනයාගේ සුභසාධන අයිතීන් කප්පාදු කරන ස්ථාවරයකය.

නව-ලිබරල් නිදහස් වෙළඳපලවාදයත් ලාංකීය මාෆියා ධනවාදයත් ඇත්තේ එකම කඳවුරක් තුළය. ඊට එරෙහි ජනතාවාදී අක්ෂය ගොඩ නැගෙනු ඇත්තේ රාජ්‍ය සුභසාධනය යළි ගොඩනැගීම අරමුණු කරගත් වාමාංශික උත්සුකය පදනම් කොටගෙනය. ලොව බොහෝ රටවල ජාතිකවාදී ප්‍රවණතා පෙනී සිටින්නේ ආන්තික නිදහස්කරණය වෙනුවට රාජ්‍ය සුභසාධනය වෙතට නැවත හැරීම වෙනුවෙන් වුවත් මෙරට අධිපති සිංහල ජාතිකවාදයේ එක් ධාරාවක් (එනම් චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය) වැළඳගෙන සිටින්නේ වික්‍රමසිංහගේ ආර්ථික ධර්මයමය. එබැවින් ඔවුනගේ පක්ෂයේ නම කුමක් වුවත් ඔවුන් සිටින්නේ ජනරජවාදයේ මූලික පදනමට එරෙහිවය. සිංහල ජාතිකවාදයේ අනෙක් ප්‍රධාන ධාරාව (එනම් විමල් වීරවංශගේ උත්තර ලංකා සභාගය) රාජ්‍ය සුභසාධනය මූලධාර්මිකව ප්‍රතික්ෂේප කරන්නේ නැති වුවත් පසුගිය දශක දෙක තුළ රාජපක්ෂ පාලනයේ ඓන්ද්‍රීය කොටස්කරුවන් ලෙස ඔවුන් ලාංකීය මාෆියා ධනවාදය සමග ගොඩ නගාගෙන තිබෙන සම්බන්ධය කිසිවෙකුටත් රහසක් නොවේ. එබැවින් ඔවුන් දැන් සුජාතභාවය පිළිබඳ දිගුකාලීන අර්බුදයකට ලක්ව සිටී. මේ තත්ත්වය තුළ සමාජ යුක්තිය, සමානාත්මතාව සහ රාජ්‍ය සුභසාධනය පිළිබඳව නැගී එන ජනතා අභිලාෂයට ආමන්ත්‍රණය කිරීමේදී දැන් මෙරට මධ්‍ය-වාමාංශයට සහ රැඩිකල් වාමාංශයට වාසිදායක පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ. සරලව, ‘ජවාන්’ චිත්‍රපටයේ වීරත්වයේ සංකේතය වන වික්‍රම් රතෝර් සිටින්නේ වාමාංශය සමගය.

ධනවතුන්ට බදු ගසනු!

නෙදර්ලන්ත ආර්ථික ඉතිහාසඥයෙකු වන රුට්ගර් බ්‍රෙග්මන් පෙන්වාදෙන පරිදි ඉතිහාසයේ අන් කවර කලෙකවත් නොවූ විරූ තරමින් උග්‍ර වී ඇති ආර්ථික හා සමාජ අසමානතාවට විසඳුම වන්නේ ධනවතුන්ගේ ව්‍යාජ දානපති කටයුතුවලට දිරි දීම නොව ඔවුනට විශාල වශයෙන් බදු පැණවීමය. ධනවතුන්ගෙන් අය කරගන්නා බදු මුදල් යෙදවිය යුත්තේ සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, මගී ප්‍රවාහණය ඇතුළු පොදු සුභසාධක සේවාවන් වර්ධනය කිරීම සඳහාය. 1930 දශකයෙන් පසුව ස්කැන්ඩිනේවියානු රටවල සාර්ථකව ක්‍රියාත්මක කරන ලද සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති රාමුව දෙස නැවත හැරී බලන්නට දැන් එක්සත් ජනපදය තුළ සේම බටහිර යුරෝපය තුළද උනන්දුවක් ඇති වී තිබේ. නමුත්, විසි එක්වන සියවසට තම පසුපසත් විසිවන සියවසට මුහුණත් හරවාගෙන සිටින රනිල් වික්‍රමසිංහ දැන් කරමින් සිටින්නේ දේශීය මාෆියා ධනවතුන්ගේ ධනයට කිසිදු හානියක් නොවන පරිදිත් වැඩ කරන පන්තිය මත සියලු බර පැටවෙන පරිදිත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි.

ධනවතුන් මත බදු නොගැසීමේ ලාංකීය දේශපාලන චාරිත්‍රය යට සැඟවුණු වැදගත් දේශපාලන රහස් කතාවක් තිබේ. ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ සියල්ලම ඔවුනගේ මැතිවරණ ව්‍යාපාර ගොඩ නගා ගනු ලබන්නේ ලාංකීය පන්නයේ මාෆියා ධනවතුන්ගේ මුදල් ආධාර මතය. මේ යුගයේ මැතිවරණ ව්‍යාපාරයක් යනු මහා පරිමාණයෙන් ධනය හා සම්පත් බෙදමින්, මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෙරෙන අනුග්‍රාහකවාදී සැණකෙළියක් බව කවුරු නම් නොදනිත්ද? බටහිර ලෝකයේ ධන කුවේරයින් බදු ගෙවීම වෙනුවට කරන්නේ ඊනියා දානපති වැඩවල යෙදීම නම්, ශ්‍රී ලංකාවේ ධන කුවේරයින් බදු ගෙවීම වෙනුවට කරන්නේ තමන්ට හිතවත් දේශපාලකයින් හට මුදල් පරිත්‍යාග කිරීමය. එබැවින්, බදු ආදායම ඔස්සේ රාජ්‍ය සුභසාධනය වර්ධනය කිරීම වෙනුවට මෙරට තුළ ආදේශ වී ඇත්තේ ව්‍යාපාරිකයින්ගෙන් රැස් කරගන්නා ධනය යොදවා දේශපාලකයින් විසින් පුද්ගලික අනුග්‍රාහක දේශපාලන කටයුතුවල යෙදීමයි. 1977 න් පසුව මෙරට තුළ නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තීන්වලට සමාජ සුජාතභාවයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය සුභසාධන ව්‍යුහයන් යොදා ගනු ලැබීය යන තර්කය වැරදිය. සැබවින්ම සිදුව ඇත්තේ රාජ්‍ය සුභසාධනය වෙනුවට අනුග්‍රාහක දේශපාලනය ආදේශ වීමයි. රාජ්‍ය සුභසාධනය ගලා එන්නේ යම් යම් ආයතන ඔස්සේ නම්, දේශපාලන අනුග්‍රහයන් ගලා එන්නේ සෘජුවම කිසියම් පුද්ගලික දේශපාලකයෙකු ඔස්සේය. පළමුවැන්නෙන් කෙනෙකු දිරිමත් කරනු ලබන්නේ සුභසාධනය සැපයූ පක්ෂයට ජන්දය දීමට නම්, දෙවැන්නෙන් ඔහුව/ඇයව උනන්දු කරවනු ලබන්නේ තමන්ට අනුග්‍රහය සැපයූ නිශ්චිත දේශපාලකයා හට ජන්දය දීමටය. පළමුවැන්න මගින් තැනෙන්නේ පක්ෂය හා එහි ජන්දදායක ප්‍රජාව අතර සම්මුතියකි. නමුත්, දෙවැන්නෙහි ප්‍රතිපලය වන්නේ පුද්ගලික දේශපාලකයා සහ ඔහුගේ ජන්දදායකයා අතර ගණුදෙණු සම්බන්ධයකි (ටකරමක් සමග ජන්දයක් හුවමාරු වීම). මෙහිදී නව-ලිබරල් තර්කණයත් අනුග්‍රාහක දේශපාලනයත් ගැඹුරු ලෙස එකිනෙක සමග බද්ධ වී තිබේ.

මේ අනුව, කොළඹ හතේ හැදී වැඩුණු යටත්විජිත ප්‍රභූ-ධනේශ්වර පන්තියත් ’77 න් පසු බිහි වූ මාෆියා ප්‍රභූ පන්තියත් අතර කිසියම් දේශපාලනික හෝ සංස්කෘතික වෙනසක් පවතීය යන දෘෂ්ටිවාදය දැන් ඇස් පනාපිට බිඳ වැටෙමින් පවතී. මෙයින් බරපතලම අර්බුදයට ගොදුරුව ඇත්තේ වික්‍රමසිංහ පාලනයේ ලිබරල්වාදී ආරක්ෂකයින්ගේ පටන් ඊනියා පශ්චාත්-නූතනවාදී ආරක්ෂකයින් දක්වා වන බුද්ධිමය බලකායයි. දැන් ඔවුනට කරන්නට සිදුව තිබෙන්නේ තම දේශපාලන ස්වාමියාට අනුග්‍රහ දක්වන මාෆියා ව්‍යාපාරික පන්තියේ ආරක්ෂකයින් බවටද පත්වීමටය. තම ස්වාමියා මත ලිබරල්වාදී, නවීකාරකවාදී, අගනාගරිකවාදී දෘෂ්ටිවාදී සළුපිළි පළඳවන අතර ඔහුගේ අනුග්‍රාහක ජාලයේ සිටින සනත් නිශාන්ත, නිමල් ලන්සා වැන්නවුන්ගේ නොනිල උපදේශකයින් බවටද පත්වීමටය. වික්‍රමසිංහ දැන් දක්ෂිණාංශික තත්කාර්යවාදී දේශපාලනයේ පාරප්‍රාප්තියට පැමිණ සිටින බැවින් ඔහුගේ උපදේශකයෙකු වීමට කිසිවෙකුටත් නොහැකිය. (ඉංග්‍රීසි කතා කරන ලිබරල්වාදියෙකුට පවා වික්‍රමසිංහගේ උපදේශකයෙකු වීමට නොහැකි නම් සිංහල පමණක් කතා කරන ඊනියා පශ්චාත්-නූතනවාදියෙකු ගැන කවර කතාද?).

වාම ජනතාවාදී හැරවුමක සංඥා

වික්‍රමසිංහ පරිපාලනය වත්මන් බහු-විධ අර්බුදයට විසඳුම ලෙස ඉදිරිපත් කරමින් සිටින වැඩ පිළිවෙල බරපතල ලෙසම නව-ලිබරල් වෙළඳපල මූලධර්මවාදය මත පදනම් වූවකි. එම වැඩපිළිවෙල තුළ මෙරට සංස්ථාපිත මාෆියා ව්‍යාපාරික-දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ අපේක්ෂාවන් ආරක්ෂා කෙරෙන අතර අර්බුදයෙන් වඩාත්ම බැට කන සමාජ කොටස්වලට කිසියම් හෝ රැකවරණයක් ලැබෙන රාජ්‍ය සුභසාධන ව්‍යුහයන් දුර්වල කෙරෙනු ලැබේ. නමුත්, විශේෂයෙන්ම වසංගතයෙන් පසු ලෝකය තුළ වැඩෙන නව ප්‍රවණතාව වන්නේ රාජ්‍ය සුභසාධනය දෙසටත් සමාජ සමානාත්මතාව දෙසටත් දිශානත වූවකි. වසංගතයෙන් පසු යුගයේ නව වමේ ව්‍යාපාරවල ජනප්‍රියත්වය වර්ධනය වෙමින් පවතින්නේ එබැවිනි. පසුගිය වසර තිස්සේ ඉහල නැගුණු ලතින් ඇමෙරිකාවේ නව රෝස රැල්ල ඒ සඳහා එක් නිදසුනක් පමණි. 2022 ජූනි මසදී කොලොම්බියාවේ රැඩිකල් වාමාංශික නායකයෙකු වූ ගුස්ටාවෝ පෙට්‍රෝ බලයට පත් විය. චිලී දේශයේ වාමාංශික ශිෂ්‍ය නායකයෙකු වූ ගේබ්‍රියෙල් බෝරික් ජයග්‍රහණය කළේය. ඉන්පසුව හොන්දුරාස්හි ශියෝමාරා කැස්ත්‍රෝ ජය ගත්තේය. බ්‍රසීලයේ ලූලා ද සිල්වා ජය ගත්තේය. මේ අතර එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාර හිස ඔසවමින් තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ රාජ්‍ය සුභසාධනය අයිතීන් ලෙස සලකන සමාජ මනෝභාවය විශේෂයෙන්ම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව පාවුලෝ ජර්බෝඩෝ පෙන්වා දෙයි. වත්මන් ලාංකීය සංධර්භය තුළද දේවල් පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒ දිශාවටය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.