25 April, 2024

Blog

දේශගුණික ව්‍යාපාරය දේශපාලනික කළ යුතුයි! වාමාංශයට වැඩ පිළිවෙලක් වගේම කතාන්දරේකුත් අවශ්‍යයි!!

ශන්තාල් මූෆ් සහ අමන්දා මෂීන් අතර සංවාදයක්:

අමන්දා මෂීන් සහ ශන්තාල් මූෆ්

අමන්දා මෂීන්: වයඹදිග ලන්ඩනයේ ප්‍රබෝධමත් හේමන්ත ඉරුදිනක සවස් යාමයක්. මම ශන්තාල් මූෆ් සමග ඇයගේ ගෙවත්තේ හිඳගෙන සිටිමි. මා මෙහි සිටින්නේ ඇයගේ අලුත් පොත ගැන දැනගන්නටය. එහි නම ‘හරිත ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා: වාමාංශික ජනතාවාදය සහ අනුරාගයේ බලය’ යන්නයි. තව දින කිහිපයකින් එය වර්සෝ ප්‍රකාශනයක් ලෙස එළිදකිනු ඇත.

මූෆ් වනාහී ඉතා ඉහළ පිළිගැනීමක් ඇති දේශපාලන දාර්ශනිකාවකි. ඇය ජනතාවාදය, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන අරගලවාදය පිළිබඳ ලිවීම් සම්බන්ධයෙන් මෙන්ම සබුද්ධිකවාදයත් ප්‍රජාතන්ත්‍රවාදයේ සංවිචාරණීය ප්‍රවේශයනුත් පිළිබඳ ඇයගේ එඩිතර විවේචන සම්බන්ධයෙන්ද චිර ප්‍රසිද්ධය.

යුරෝපයේ, උතුරු ඇමෙරිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල ගණනාවක උගන්වා ඇති ඇය හාවඩ්, කෝර්නෙල්, කැලිෆෝනියා යන විශ්වවිද්‍යාලවලත් උසස් අධ්‍යයන සඳහා වූ ප්‍රින්ස්ටන් ආයතනය, පැරිසියේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය යන ආයතනවලත් පර්යේෂණ තනතුරු හොබවා ඇත. ඇය දැනට ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ දේශපාලන න්‍යාය පිළිබඳ සම්මානිත මහාචාර්ය පදවිය දරයි.

ඇයගේ පොත් භාෂා 18 කට පරිවර්තනය කරනු ලැබ තිබේ. ඒ අතර ඇය ඇයගේ ජීවන සහකරුවා වූ අර්නෙස්ටෝ ලැක්ලාවූ සමග එක්ව ලියූ පරිවර්තනීය කෘතියක් වන ‘හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ග: රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයක් කරා’ (1985) යන කෘතියද වෙයි. එම කෘතිය 1980 ගණන්වල දේශපාලන වාමාංශයේ ගතිකයන් අවලෝකනයට සහ අභියෝගයට ලක් කළේය. එය කතිකාව, හෙජමොනිය සහ පශ්චාත්-මාක්ස්වාදය පිළිබඳ න්‍යායන් අවබෝධ කරගැනීමේදී ඉතාම වැදගත් වූවකි.

මෑත වසරවලදී මූෆ් විශේෂයෙන්ම ඇය ‘වාමාංශික ජනතාවාදී උපායමාර්ගය’ යනුවෙන් හඳුන්වන දේ ප්‍රවර්ධනය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් විය. ඇය ‘වාමාංශික ජනතාවාදයක් සඳහා’ නමැති කෘතියේ එය පැහැදිලි කරන්නේ (විවිධ අනන්‍යතා) ඇතුළත් කරගන්නා සහ ප්‍රගතිශීලී ආකාරයකින් ‘ජනතාව’ ගොඩ නංවන උපායමාර්ගයක් ලෙසිනි. සාමාන්‍යයෙන් විවිධාකාර සමාජ කණ්ඩායම් බැහැර කරන්නා වූ දක්ෂිණාංශික ජනතාවාදයට වෙනස්ව, වාමාංශික ජනතාවාදය විසින් ‘ප්‍රභූ තන්ත්‍රය’ නමැති පොදු සතුරාට එරෙහිව සංක්‍රමණිකයන්, කම්කරුවන් සහ වෙනස් ලිංගික නැමියාවන් සහිත ප්‍රජාවන් (LGBTQIA+) එක්සත් කරනු ලැබේ. ඇය විශ්වාස කරන ආකාරයට මේ උපායමාර්ගය විසින් හෙජමොනික නව-ලිබරල් මොඩලයේ අර්බුදයේ නිමේෂයක් තුළ දේශපාලනික වාමාංශයට වාසියක් හිමි කර දෙනු ලබන අතර නව හෙජමොනික සැකැස්මක් ස්ථාපිත කරන්නටද ඉඩ විවර කර දෙනු ලබයි.

ඇයගේ ගෙවත්තේ සිටින විට අපට බටහිර හැම්ප්ස්ටඩ් පෙදෙසේ නාගරික ජීවිතයේ ඝෝෂාකාරී ශබ්ද, දරුවන් සෙල්ලම් කරන හඬ හා අසල්වැසියන්ගේ අල්ලාප සල්ලාප කණ වැකේ. ඇය දැන් වසර ගණනාවක සිට මෙහි පදිංචිව සිටියද, ලන්ඩනය ඇයගේ ප්‍රියතම නගරය නොවේ යැයි මූෆ් මා හට පැවසුවාය. මෙහි රැඳී සිටීමට එක් හේතුවක් වන්නේ ඇය පැරිසියේ හෝ වියානාවේ පදිංචි වන්නට තීරණය කළ හොත්, ඒ සමග රැගෙන යන්නට සිදු වන අති විශාල පොත්පත් ප්‍රමාණයයි. විවෘත හා උදාර හදැති ඈ කවරදාටත් වඩා අසිපතක් සේ තියුණුය. මා අන්තිමේදී ඇයගේ අලුත් පොත ගැන අසන්නට පෙර අපි ග්‍රේටා තන්බර්ග් ගැනත්, රුසියානු-යුක්රේන යුද්ධය ගැනත් බ්‍රිතාන්‍ය දේශපාලනය ගැනත් නොයෙක් දේ කතා කළෙමු.

ශන්තාල් මූෆ්: මට මේ පොතෙන් කරන්න ඕන කරපු දෙයක් තමයි මම “වාමාංශික ජනතාවාදයක් සඳහා” (2018) පොත ලියනකොට පැවතුන දේශපාලන සංධිස්ථානයට සාපේක්ෂව අපි අද ඉන්න සංධිස්ථානය මොන වගේද කියල පරීක්ෂා කරන එක. එදා ඉඳන් වැදගත් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා – උදාහරණයක් විදියට ගත්තොත් වසංගතය. ඒත් මගේ තර්කය තමයි දේශපාලන සංධිස්ථානය වෙනස් උනත්, තවමත් වාමාංශයට වඩාත්ම සුදුසු උපායමාර්ගය වෙන්නේ වාමාංශික ජනතාවාදයයි කියන එක. “වාමාංශික ජනතාවාදය වැඩ කළේ එක් සුවිශේෂී මොහොතක විතරයි, ඒක අන්තිමේදී අසාර්ථක උනා, ඒ නිසා අපි ආපහු පන්ති එක්ක බැඳුණු සාම්ප්‍රදායික වාමාංශික උපායමාර්ගයට යන්න ඕනි” කියල තර්කයක් තියෙනවා.

ඔව්. ඇත්තෙන්ම දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මම “වාමාංශික ජනතාවාදයක් සඳහා” පොතේ ඉදිරිපත් කරපු ගොඩක් ව්‍යාපාර පරාජයන්ට මුහුණ දීලා තියෙනවා; ඔවුන් කවදාවත් ඔවුන්ගේ අරමුණු සම්පූර්ණයෙන්ම ජයගෙන නැහැ. ඒත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මුලු උපායමාර්ගයම වැඩ කරන්නේ නැහැ කියලා. ඒක අලුත් සංධිස්ථානයට ගලප්පන්න ඕන වෙලා තියෙනවා විතරයි.

මට මේ පොතෙන් සාකච්ජා කරන්න ඕන උනු තව කාරණයක් තමයි වසංගතය විසින් අපිව ‘පශ්චාත් නව-ලිබරල්’ යුගයකට’ හදිසියේ තල්ලු කරලා තියෙනවයි කියන කතාව ඇත්තක්ද කියන එක. සමහරු තර්ක කළා අඩු තරමින් මේ වෙලාවේ වසංගතයේ අර්බුදය විසින් නව-ලිබරල්වාදයේ සීමාව හෙළිදරව් කරනු ලැබුවා කියලා; මොකද, එය විසින් සමාජවලට අර්බුදයට මුහුණ දෙන්න තියෙන හැකියාව නැති කර දැමූ නිසා. සමහර අය කල්පනා කළා අපට ඉතාම ඉක්මන් වෙනස්කම් දකින්න ලැබෙයි කියලා. ඒත් අනෙක් අය තර්ක කළා දේවල් පුරුදු විදියටම පවතියි කියලා. යථාර්තය තුළ අපට කිසිම බරපතල වෙනස්කම් දකින්න ලැබුණේ නැහැ.

අමන්දා මෂීන්: අනිවාර්යෙන්ම මේකද උනේ? අර්බුදයෙන් යම් නිමේෂයක් සටහන් වෙන්නේ නැද්ද? දේවල් වෙනස් වෙන්න පුළුවන් විදියේ හැරවුම් ලක්ෂ්‍යයක්? මම දැනගන්න කැමතියි අර්බුදයෙන් කිසියම් නිමේෂයක් හෝ ඛණ්ඩනයක් සලකුණු වෙනවද, නැත්නම් ඒක ගැටළු දේශපාලන-හරණයට ලක් කරන්න හේතු වෙනවද කියලා. ඔයා කොහොමද ‘අර්බුදය’ දකින්නේ?

ශන්තාල් මූෆ්: අර්බුදය වෙනස් ආකාරවලට ගොඩ නගන්න පුළුවන්…ඒත් මේ කාරණයේදී, මේක නවලිබරල්වාදයේ අවසානය වේවි කියල විශ්වාස කරපු අයට වෙනස්ව, මේ අර්බුදය සරලව නව-ලිබරල්වාදයට තව කල් ගන්න මොහොතක් උනාද කියන එකයි මට තියෙන බය. මගේ තර්කය තමයි වසංගතය නව-ලිබරල්වාදයේ අලුත් ආකෘතියකට මග පෑදුවා කියන එක. ඒ කියන්නේ අධිකාරීවාදී ආකෘතියක්. දැනටමත් අධිකාරීමය නැඹුරුතා දකින්න පුළුවන්. උදාහරණයක් විදියට, ‘කහ කබා ව්‍යාපාරයට’ එල්ල වුනු ප්‍රතිචාරය. වසංගතය ඒ නැඹුරුතා තවත් සුජාතකරණය කළා.

වසංගතයේ බලපෑම වෙලා තියෙන්නේ අසරණභාවය ගැන හැඟීමක් ඇති කිරීම සහ ආරක්ෂණයත් ආරක්ෂාවත් සඳහා පුළුල් ඉල්ලීමක් නිර්මාණය කිරීමයි. මේක දක්ෂිණාංශය විසින් පාවිච්චි කරමින් සහ ප්‍රයෝජනයට ගනිමින් ඉන්න දෙයක්. ඒ තමන් ආරක්ෂණය ලබා දෙනවා කියල කියා පෑමෙන්. ඒ වගේම මිනිස්සු කලින් පිළිගත්තේ නැති පාලන ක්‍රියාමාර්ග දැන් පිළිගනිමින් ඉන්නවා. ඉතින්, මගේ පොතේ කේන්ද්‍රීය තර්කය තමයි වාමාංශය මේ ආරක්ෂාව සඳහා වූ සමාජ ඉල්ලීම වටහාගත යුතුයි කියන එක. අද දවසේ වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් විසින් ජනතාවට ආරක්ෂණයක් සහ ආරක්ෂාවක් ප්‍රදානය කළ යුතුයි. ඒත්, ඒක ජනතාවාදී දකුණටත් එහි අධිකාරීවාදී ප්‍රවේශයටත් වෙනස්ව යමින්, වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින ආකාරයෙන් සුසම්බන්ධ කිරීම වැදගත්.

අමන්දා මෂීන්: ඔයා ‘අධිකාරීවාදී ඩිජිටල් නව-ලිබරල්වාදයේ’ නැගීම ගැන විශේෂයෙන් සඳහන් කරනවා. ඔයා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියල පැහැදිලි කරන්න පුළුවන්ද?

ශන්තාල් මූෆ්: හොඳයි. දැන් සෞඛ්‍ය සේවය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වෙන විදිය සලකල බලන්න. මේක වසංගතයට කලින්ම සිදුවෙමින් තිබුණා. ඒත් වසංගතයට ගෙනාපු ප්‍රතිපත්ති මගින් මේ නැඹුරුතාව වේගවත් කළා වගේම සුජාතකරණය කළා. දැන් මේ පාලන ආකෘතිය අනෙක් ක්ෂේත්‍රවලටත් පැතිරෙමින් තියෙනවා. උදාහරණයක් විදියට අධ්‍යාපනය. දැන් අපිව වඩ වඩාත් ඇල්ගොරිතමයන් මගින් පාලනයට ලක් වෙමින් තියෙනවා.

අමන්දා මෂීන්: ‘ඩිජිටල්කරණය’ ඉතාම පුළුල් විදියට මෙහෙයවමින් තියෙනවා. මේක මේ විදියටම ප්‍රවර්ධනය කරන තවත් දෙයක් වෙන තිරසරභාවයේ අරමුණු එක්ක ප්‍රතිවිරෝධාත්මකයි කියල පේනවා. ඔයා ඒ ගැන කල්පනා කළාද? ඩිජිටල් ආණ්ඩුකරණ ආකෘතියක් වෙතට ගමන් කරන එක විශාල බලශක්තියක් වැය වෙන දෙයක්. මේ ඩිජිටල්කරණයේ උපායමාර්ග සහ තිරසරභාවය අතර තියෙන ප්‍රතිවිරෝධය ගැන පුළුල් සාකච්ජාවක් සිදු නොවීම මට හරිම උනන්දුව ඇති කරන කාරණයක්…

ශන්තාල් මූෆ්: ආහ්, මේක අපිට හැමතැනම පේන්න තියෙන ප්‍රතිවිරෝධයක්. මිනිස්සු හරිම අසංගතයි. එයාලට එයාලගේ ස්මාර්ට් ෆෝන් තියෙනවා, ඒත් ජන්දේ දෙන්නේ හරිත පක්ෂවලට. ඒකෙ යම්කිසි අබූතරූපී ගතියක් තියෙනවා. හැබැයි, මටත් ඒ වගේ අසංගතකමක් ගැන වරදකාරී හැඟීමක් තියෙනවා. උදාහරණයක් විදියට මම ඇමසෝන් පාවිච්චි කරනවා. වසංගතය නිසා මට තවදුරටත් ප්‍රංශ පොත් ගෙන්න ගන්න බැරි වුණා. මට තේරුණා මට ඒවා ඇමසෝන් හරහා දවසකින් ගෙන්න ගන්න පුළුවන් කියලා. ඒත් කාලගුණ විපර්යාසය ගැන අවබෝධය වර්ධනය වෙලා තියෙනවා; ඒ පාර්ශ්වීය වශයෙන් තරුණයන්ගේ පෙළගැසීම නිසයි. අපි කාලගුණික ප්‍රශ්න ගැන වඩාත් දැනුවත් වෙලා තියෙනවා වගේම ඒක දැන් හදිසි කාරණයක් වෙලත් තියෙනවා.

මට වඩා ගොඩක් කලින් ඉඳන් ඔයා ඒ ප්‍රශ්න ගැන උනන්දු වෙලා තියෙනවා. හොඳයි, මමත් උනන්දු වුණා. ‘හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ග’ පොතේ අපි පරිසරවාදය ගැන සාකච්ජා කළා. නමුත්, මුලින් මට ඒක ඉතාම න්‍යායික කාරණයක් විදියටයි තිබුණේ. දැන් ඒක පැවැත්ම පිළිබඳ ගැටළුවක්. අද අපි සමාජ-ආර්ථික අර්බුදය, සනීපාරක්ෂාව පිළිබඳ අර්බුදය වගේම කාලගුණික අර්බුදයත් සැලකිල්ලට ගන්න ඕනි. කාලගුණික විපර්යාසය ප්‍රජාතාන්ත්‍රික විදියට ආමන්ත්‍රණය කළ යුතුයි. නව-ලිබරල්වාදයෙන් සහ මූල්‍ය ධනවාදයෙන් කැඩෙන්න අවශ්‍යයි. මේක තමයි මම පාරිසරික පක්ෂවල දකින ගැටළුව. ඔවුන් නව-ලිබරල්වාදයෙන් ඛණ්ඩනය වීමක් යෝජනා කරන්නේ නැහැ.

අමන්දා මෂීන්: ඔව්. ගොඩක් හරිත පක්ෂ සහ ව්‍යාපාර හැම දෙනාවම ඇතුළත් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. එයාලට ඕන වෙලා තියෙනවා දේශගුණික විපර්යාසය ගැන සම්මුතියක්.

ශන්තාල් මූෆ්: හරියටම හරි. සතුරුභාවයක් පවතිනවයි කියලා එයාල පිළිගන්නේ නැහැ. මම ප්‍රජාතන්ත්‍රවාදයේ ‘සාංගමික’ මොඩලය කියලා හඳුන්වන දේ එක්ක බැඳෙන්න එයාලා නැඹුරු වෙනවා. ඒ මොඩලය බහුත්වවාදය පිළිගන්නවා උනත් සාමූහික දේශපාලන අනන්‍යතා ගොඩ නැංවීමේදී ගැටුම විසින් ඉටුකරන භූමිකාව ප්‍රතික්ෂේප කරනවා. අපිට දේශගුණික විපර්යාසය එක්ක පොරබදන කොට සතුරුභාවයක් පිළිගන්න වෙනවා. වාමාංශික ජනතාවාදයේ තියෙන ශක්තිය තමයි ඒක කිසියම් සීමා ඉරක් නිර්මාණය කිරීම සහ සතුරුභාවයක් පවතින බව වටහා ගැනීම. ඒ වගේම අපි දේශගුණික විපර්යාසය එක්ක ගණුදෙණු කරනකොට ඒක ඉතාම තීරණාත්මකයි.

අමන්දා මෂීන්: මේක ඔයා ඔයාගේ කලින් ලියපු පොත්වල පෙන්වා දුන් විදියට දේශපාලනික කාරණා සදාචාර කාරණා බවට හැරවීමේ ගැටළුවක් නේද? හරිත ධනවාදය මට පේන්නේ දේශපාලනික කාරණයක් ආර්ථික කාරණයක් බවට හරවන විදියක් වගේ. අනෙක් අතට, දේශගුණික විපර්යාසය ආචාර ධාර්මික කාරණයක් විදියට දකින නැඹුරුවකුත් තියෙනවා. මම තර්ක කරලා තියෙනවා දේශගුණික විපර්යාසය වටේ තියෙන නොඑකඟතා සහ අනුරාගයන් නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා
කිසියම් ජවයක් නැතිනම් ‘ශෝකාන්තයක් තුළින් ලැබෙන වාසිදායක අවස්ථාවක්’ ලබාදෙනවා කියලා. සාමාන්‍යයෙන් දේශපාලනයට සහභාගී නොවෙන ජනතාව ඒකට මැදිහත්වෙලා සන්ධාන ගොඩ නගනවා. ඔයා මේකට එකඟද?

ශන්තාල් මූෆ්: ඔව්. හරියටම මේ නිසා තමයි වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් අදාළ වෙන්නේ. මොකද ඒක මම ‘රැඩිකල් පාරිසරිකවාදී විභේදනය’ කියලා හඳුන්වන දේ ඉල්ලන්න පුළුවන් විදියේ සන්ධානයක් ගොඩ නගනවා. මම ඒකෙන් අදහස් කරන්නේ මූල්‍ය ධනවාදයෙන් ඛණ්ඩනය වීමක්.

මගේ අලුත් පොතේ අන්තිම පරිච්ජේදයේ මම පෙන්නලා දුන්නා දේශගුණික ව්‍යාපාරය දේශපාලනීකරණය කරන්න ඕන කියලා. මම ඒක තේරුම් කරන්නේ මෙහෙමයි. දේශගුණික විපර්යාසය එක්ක ගණුදෙණු කරන්න අපට හොඳ ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒත් ඒක ප්‍රමාණවත් නැහැ. ප්‍රතිපත්තිවලට ආශාවත් අවශ්‍යයි. මේ නිසා තමයි අනුරාගයන්ගේ භූමිකාව වැදගත් වෙන්නේ. ජනතාව දිරි ගන්වන්න පුළුවන් විදියේ පරිකල්පනයක් නිර්මාණය කිරීම වැදගත්. ඒ වගේම මේ පරිකල්පනාව, ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ අලුත් අදියරක් විදියට පාරිසරිකවාදී විභේදනයේ වැදගත්කම දකින්න සලස්වන්න ඕනේ. ඉතින්, ජනතාවට දැනෙයි හොඳ ජීවිතයක් හොයාගන්න ඔවුන් බල සම්පන්න වූ බව. දේශගුණික දේශපාලනයේදී නරකම ප්‍රවේශය තමයි දඬුවම් දීමේ ප්‍රවේශය.

අමන්දා මෂීන්: ඔයා අදහස් කරන්නේ ඔයා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ නැති නම් නරක පුද්ගලයෙක් වෙනවා කියනව වගේ ප්‍රවේශයක්ද?

ශන්තාල් මූෆ්: ඇත්තෙන්ම. නානාප්‍රකාර වූ ජනගහණයකින් ‘ජනතාවක්’ නිර්මාණය කරන්න පුළුවන් ආකාරයේ වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් ක්‍රියාවට නගන්න උනන්දු කිරීම වැදගත්. මම ‘විවෘත ප්‍රජාතන්ත්‍රවාදය’ සඟරාවට මීට කලින් ලියපු ලිපියක හරිත ‘පරිවර්තනයක්’ ගැන සඳහන් කළා. ඒක හරිත ‘විප්ලවයක්’ විදියට වෙනස් කරන්න මම තීරණය කළා. මම මුලින් හිතුවේ ඒක ඕනෑවට වඩා බෝල්ෂෙවික් ගතියක් තියෙන එකක් කියලයි. ඒත් මම දැන් හිතන්නේ ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනය සක්‍රීය කරන්න පුළුවන් ආකාරයේ මේ ශක්තිමත් හැඟවුම්කාරකය අපට අවශ්‍යයි කියලයි. මම හිතන්නේ ‘හරිත නව ගිවිසුම’ කියන එක හැඟවුම්කාරකයක් විදියට යුරෝපයේ වැඩ කරන්නේ නැහැ. ඒක යුරෝපීය හරිත ගිවිසුම එක්ක ගොඩක් සමීපව බැඳිලා තියෙනවා.

අමන්දා මෂීන්: පොදුවේ ගත්තහම යුරෝපීය සංගමයේ අනෙක් කතිකාවන් වගේම යුරෝපීය හරිත ගිවිසුමේ භාෂාව හරිම වියළියි. උදාහරණයක් විදියට යානීස් ස්ටව්රකාකිස් පෙන්නලා දෙන විදියට මේ කතිකාවන්වල ජනතාවාදී කතිකාවේ තියෙන සිත් බැඳගන්නා ගතිය නැහැ. ඇත්තෙන්ම, මම ඔයාගෙන් ටික කාලෙක ඉඳන් අහන්න හිටිය ප්‍රශ්නෙකට මේකෙන් මග පෑදෙනවා. ඔයා ඒත්තු යන විදියට තර්ක කරනවා වාමාංශික පක්ෂවලට වැඩ පිළිවෙළක් තිබුණට මදි ඒවා හැඟීම් එක්ක සම්බන්ධ වෙන්නත් ඕන කියලා. ඒ ක්‍රියාවලිය කොහොමද වැඩ කරන්නේ? ඒක ස්වයං-සිද්ධව ඇති වෙනවද? නැත්නම්, ඒක හිතා මතා ගේන උපායමාර්ගයක්ද? ඒක එතකොට සබුද්ධික වෙන්නේ නැද්ද? වමේ පක්ෂ කොහොමද අනුරාගයන් එක්ක ගණුදෙණු කරන්නේ?

ශන්තාල් මූෆ්: හොඳයි. මේ බලන්න. මම මගේ පොතේ 2019 එක්සත් රාජධානියේ මහා මැතිවරණය තුළ දේශපාලන පක්ෂවල උපායමාර්ග සංසන්දනය කරනකොට මේ ප්‍රශ්නයට උත්තර දෙනවා. කොන්සර්වේටිව් පක්ෂයට කොහෙත්ම වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. ඒත් ‘බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරමු’ සහ ‘පාලනය ආපහු අතට ගමු’ කියන සටන් පාඨ විතරයි තිබුණේ. ඒකෙන් ජන්දදායකයින්ට තමන් බලවත් වුණා කියන හැඟීම ඇති වුණා. අනෙක් පැත්තෙන්, කම්කරු පක්ෂයට සම්පූර්ණ වැඩ පිළිවෙළක් තිබුණා. ඒත් එයාලා කිව්වේ ‘අපිට ජන්දය දෙන්න, අපි ඔබ වෙනුවෙන් එය කරන්නම්’ කියලයි. හරියට පුරවැසියන් කියන්නේ සේවාදායකයින් වගේ. වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ එයින් ජනතාව බල ගැන්වෙන ආකාරයට නෙමෙයි. ඒක ඔවුන්ව නිෂ්ක්‍රීය භූමිකාවකට ඇදල දැම්මා.

ප්‍රතිපත්ති වැදගත් වුනත් ඒවා ප්‍රමාණවත් නැහැ. වාමාංශික පක්ෂවලට වැඩපිළිවෙළක් වගේම කතාන්දරේකුත් අවශ්‍යයි. හැඟීම්වල භූමිකාවත් ඔවුන් සැලකිල්ලට ගන්න ඕනි. මම හැඟීම් කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලික ආවේග නෙමෙයි. මම අදහස් කරන්නේ ජනතාව අතර බැඳීමක් ඇති කරන්නට උදව් වෙන පොදු අනුරාගයන්. මම හිතන්නේ මේකයි වැදගත්. මම ‘ප්‍රජාතාන්ත්‍රික විප්ලවය’ උඩට ගන්නේ මේ නිසායි. ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනය අපේ සමාජවල ප්‍රධානයි. මම මේ පොතේ පැහැදිලි කරන විදියට අපි ජනතාව පෙළ ගස්වන්න යන්නේ ‘සමාජවාදය’ ගැන කතා කරලා නෙමෙයි. ඒ වෙනුවට, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන හැඟවුම්කාරකය පාවිච්චි කරලයි. ‘කළු ජීවිත වටී’ ව්‍යාපාරය ගැන හිතන්න. වීදි අත්පත් කරගැනීමේ ව්‍යාපාරය සහ ස්පාඤ්ඤයේ මහජන නැගිටීමේ ව්‍යාපාරය ගැන හිතන්න. අපේ යුරෝපීය පරිකල්පනය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ හැඟවුම්කාරකය අඛණ්ඩව අනුනාද නැංවෙනවා.

අමන්දා මෂීන්: ලෝකයේ සමහර තැන්වල ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත්තම ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ හැඟවුම්කාරකය සූරාකෑම සහ යටත් විජිතවාදය එක්ක එකට ගමන් කරනවාය කියන අවබෝධය දේශපාලන න්‍යායික කව අතර වර්ධනය වෙමින් තියෙනවා නේද?

ශන්තාල් මූෆ්: ඒත් හරියටම කිව්වොත් මගේ තර්කය බටහිර යුරෝපය සඳහා වූ තර්කයක්. මම ඒක විශ්වීයකරණය කරන්න උත්සාහ කරන්නේ නැහැ.

අමන්දා මෂීන්: ඒක කොහොමද දේශගුණික විපර්යාසය අදාල දේශපාලනය එක්ක වැඩ කරන්නේ?

ශන්තාල් මූෆ්: ආදිවාසික ප්‍රජාවන් දැනටමත් දේශගුණික විපර්යාසය ගැන දැනුවත්. එයාලට මේ කාරණය ඉදිරිපත් කරන්න වුවමනා නැහැ. ඒක දැනටමත් පැවැත්ම පිළිබඳ ගැටළුවක් විදියට ඇවිල්ලයි තියෙන්නේ. එයාලා දැනටමත් පෙළ ගැහිලයි ඉන්නේ. ඒ වගේම අපි ‘සොබාදහම’ කියල හඳුන්වන දේ එක්ක එයාලට තියෙන්නේ වෙනස් සහ හරිම සංකීර්ණ සම්බන්ධයක්. එයාලට අනුව ඒක අනිවාර්යයෙන්ම මානවීය සමාජයෙන් වෙන් කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් ෆිලිප්පේ දෙස්කොලා නමැති මානව විද්‍යාඥයාගේ ලිවීම්වලට මම හරිම කැමතියි. අපිට ආදිවාසික ප්‍රජාවන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මට ප්‍රශ්නය වෙන්නේ අපි මෙහේ, බටහිර යුරෝපයේ, ජනතාව දේශගුණික විපර්යාසය පිළිබඳ ගැටළුව වටා පෙළ ගස්වන්නේ කොහොමද කියන එකයි.

අමන්දා මෂීන්: මට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලන සාම්‍යතා දාමයකට මානවීය-නොවන දේ රැගෙන ඒම ගැන ඔයා සඳහන් කරනවා. එහෙම නැත්නම්, වෙනත් වචනවලින් කිව්වොත්, පොදු සතුරුභාවයකට එරෙහිව එක්සත් කරන්න පුළුවන් විවිධ කණ්ඩායම්වලින් එන විවිධාකාර ඉල්ලීම් අතර ශක්තිමත් සන්ධානයක් ගොඩ නැගීම. ඒත් අපි මානවීය නොවන අයව නියෝජනය කිරීම නැත්නම් ඔවුන්ට සවන් දීම පිළිබඳ කියා පෑම් ගැන සැක කරන්න ඕන නැද්ද? එවැනි කියා පෑම් සොබාදහමේ හෝ අනාගත පරම්පරාවල අභිලාෂ හෝ පර්යාලෝක දන්නවා කියනවට වඩා බලයේ ප්‍රකාශමාන වීම් වෙනවා නෙමෙයිද? ඇත්තෙන්ම සොබාදහම ‘නියෝජනය කරන්න’ පුළුවන්ද?

ශන්තාල් මූෆ්: බෘනෝ ලැටෝර් ‘දේවල්වල පාර්ලිමේන්තුවක්’ ගැන කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම මේකෙන් මතු වෙන ප්‍රශ්නය තමයි මේක ක්‍රියාවට නගන්නේ කොහොමද කියන එක. උදාහරණයක් විදියට, ගංගාවලට අයිතීන් දෙනවා වගේ දේවල්. මම මේ අදහසට තදින්ම විරුද්ධවයි හිටියේ. මම හිතුවේ මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලයි. අයිතීන්වලින් වගකීමුත් හැඟවෙනවා යනාදී වශයෙන්. ඒත් දැන් මම මගේ හිත වෙනස් කරගෙනයි ඉන්නේ. මේ සංධර්භය තුළ අයිතීන් කියන දෙයින් ඇත්තෙන්ම අදහස් වෙන්නේ රූපිකයක්. ගංගාවක් සතු අයිතිය කියන එකෙන් සරලව අදහස් වෙන්නේ ගංගාව පවතින්නේ අපි වෙනුවෙන් (හරියට අපි විශ්වයේ ස්වාමීන් වගේ) නෙමෙයි කියන එකයි. අපි සොබාදහම මත අපේ පරායත්තතාව ගැන දැනුවත් වෙන්න වුවමනායි. අපි සොබාදහම මත මානවීය බලපෑමේ යුගය (Anthropocene) පිළිබඳ අවලෝකනයක යෙදෙන්න ඕනි.

අමන්දා මෂීන්: අන්තිම ප්‍රශ්නය, ඔයා තව අලුත් පොතක් සැලසුම් කරලා තියෙනවද?

ශන්තාල් මූෆ්: කොහෙත්ම නැහැ. මට ලිපි කීපයක් ලියන්න අදහස් ටිකක් තියෙනවා. ඒත් ටික කාලෙකට අලුත් පොතක් නැති වෙයි.

පරිවර්තනය: සුමිත් චාමින්ද

මුල් ලිපිය සඳහා ලින්කුව: https://democracy.uia.no/mouffe-interview-green-democratic-revolution/

අමන්දා මෂීන් නෝර්වේ රාජ්‍යයෙහි ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ සමාජ වැඩ දෙපාර්තමේන්තුවේ දේශපාලන සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියකි. ඇය රචනා කළ කෘතීන් වන්නේ ‘Negotiating Climate Change: Radical Democracy and the Illusion of Consensus’ (Zed Books, 2013), ‘Against Political Compromise: Sustaining Democratic Debate’ (with Alexander Ruser, Routledge, 2017), ‘Society and Climate: Transformations and Challenges’ (නිකෝ ස්ටේහ් සමග, World Scientific, 2020) සහ ‘Bodies of Democracy: Modes of Embodied Politics’ (අත්පිටපත 2022) යන ඒවාය. ඇය දැනට මාර්ෂල් විසෙන්බර්ග් සමග එක්ව ‘Handbook of Environmental Political Theory in the Anthropocene’ නමැති කෘතිය සංස්කරණය කරමින් සිටියි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.