
සුමිත් චාමින්ද
ලොව වැඩියෙන්ම අළෙවි වන ‘සේපියන්ස්’ (Sapiens) කෘතියේ කතුවරයා වන යුවාල් නොවා හරාරි පවසන පරිදි මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී ඇත්තේ මිනිසුන්ට කතාන්දර කීමට ඇති හැකියාව මතය. දෙවියන් පිළිබඳ කතාන්දරය, ජාතිය පිළිබඳ කතාන්දරය, නොඑසේනම් සංවර්ධනය පිළිබඳ කතාන්දරය අප මත කොතරම් බලපෑමක් සිදු කොට තිබේද? මිනිසුන් දහස් ගණනින් නොව මිලියන ගණනින් එකිනෙකා හා බැඳ තබන්නට, ඔවුන් එක් අරමුණක් කරා මෙහෙයවන්නට, එමගින් තවත් මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත ඉරණම තීරණය කරන්නට මේ කතාන්දර සමත්ව තිබේ. කතාන්දර කීමේ හැකියාවේ බලපෑම වඩාත්ම තියුණු ලෙස දැනෙන සමාජ කලාපයක් වන්නේ දේශපාලනයයි. යම් යුගයක බහුතර ජනතාවකට ඒත්තු ගැන්විය හැකි කතාන්දරය වන්නේ කුමක්ද? ඒ යුගයේ දේශපාලන බලය හැඩ ගැසෙන්නේ ඒ කතාන්දරය අනුවය.
මෙයින් කියැවෙන්නේ ඕනෑම මොහොතක ඕනෑම කතාන්දරයක් සමාජයේ අධිපති කතාන්දරය බවට පත් කළ හැකිය යන්න නොවේ. න්‍යායිකව ගත් කල ඕනෑම කතාන්දරයකට ඒ හැකියාව පවතින බව සැබෑය. නමුත්, ප්‍රායෝගිකව ගත් කල එය එසේ නොවේ. කතාන්දරයක් ජන සමාජයට ඒත්තු ගැන්විය හැක්කේත් ඒ වටා ඔවුන් බලමුළු ගැන්විය හැක්කේත් යම් යම් සුවිශේෂී තත්ත්වයන් තුළය. කෙටියෙන් කිව හොත්, සමාජයේ අධිපති කතාන්දරය සමග බලය, දැනුම, ප්‍රාග්ධනය, දේශපාලන සංවිධානාත්මක බව, දෘෂ්ටිවාදය යනාදී සාධක ගණනාවක් සම්බන්ධය. තමන්ගේ කතාන්දරය සමාජයේ වැඩි දෙනෙකුට ඒත්තු යන සුළු මහා කතාන්දරය බවට පරිවර්තනය කිරීම වනාහි අතිශය අසීරු සහ බරපතල දේශපාලන කාර්යයකි. දේශපාලනයේදී වඩාත්ම තියුණු අභියෝගය වන්නේ තම පක්‍ෂය හෝ කණ්ඩායම විසින් පිළිගනු ලබන කතාන්දරය සමස්ත සමාජයේම පොදු කතාන්දරය බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්නයි. සරලව හෙජමොනික දේශපාලනය යනු මෙයයි. මේ සරල කාරණය වටහා නොගෙන පොදුජන සමාජයට පමණක් නොව තම කණ්ඩායමට පවා බෙදා ගත හැකි විශ්වසනීය කතාන්දරයක් ගොඩ නගන්නට අසමත් වන තැනැත්තා දේශපාලන ලෝකය තුළ උපහාසයටත් හාස්‍යයටත් බඳුන් වේ. මේ සඳහා කදිම නිදසුනක් සපයන්නේ ශ්‍රී ලංකාවේ සමකාලීන දක්ෂිණාංශික විපක්ෂයයි.
‘මර්දනීය පාලනයට එරෙහි’ ඒකාබද්ධ විපක්ෂයේ කතාව
විපක්ෂය දැන් තමාවත් පොදුජන සමාජයත් ඒකාබද්ධ කරන්නට උත්සාහ කරන්නේ කවර නම් කතාන්දරයක් වටාද? ඒ කතාව සැකෙවින් මෙසේය. වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව මර්දනකාරී දිශාවකට ගමන් කරමින් සිටී. එම මර්දනයේ අරමුණ විපක්‍ෂයේ විවිධ කණ්ඩායම්වලින් දේශපාලනිකව පළි ගැනීමයි. ආණ්ඩුව දැන් දූෂණ, සංවිධානාත්මක අපරාධ හා විස මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපාරයේ නාමයෙන් කරමින් සිටින්නේ විපක්ෂය මර්දනය කිරීමයි. මේ සඳහා ආසන්න නිදසුන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඝාතනයට ලක් කිරීමයි. එය දේශපාලන ඝාතනයකි. එසේම, එය ජවිපෙ 1987-89 ප්‍රචණ්ඩ දේශපාලනයේ නැවත පැමිණීමකි. ජවිපෙ නායකත්වයේ අරමුණ වන්නේ සියළු විපක්ෂ කණ්ඩායම් මර්දනය කොට චීනයේ මෙන් තනි පක්ෂ පාලනයක් කරා ලංකාව රැගෙන යාමය (‘දිනන දකුණ’ පවසන කතාව). ඉදිරියේදී මේ මර්දනය සමස්ත සමාජයම භීෂණයෙන් වෙලා ගන්නා එකක් බවට පත් වනු ඇත. (මෑතකදී එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකා වැඩ සටහනකදී උදය ගම්මන්පිළ පැවසුවේ වත්මන් ආණ්ඩු පක්ෂය තම සිරුර තුළ හිට්ලර්ව නිදි කරවාගෙන සිටින බවයි). දැනටමත් විපක්ෂ මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරීන් සහ ඔවුනගේ දරු පවුල් සිටින්නේ බියෙනි. ඔවුන්ට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව පවා ඉවත් කොට තිබේ. එබැවින් විපක්ෂයේ සියලු කණ්ඩායම් දැන් මේ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම්වලට සහ මර්දනයට එරෙහිව ඒකාබද්ධ විය යුතුය. මේ මස 21 වනදා විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධ විපක්ෂය ලෙස ජනතාව අතරට එන්නට යන්නේ මේ කතාන්දරය ඉදිරිපත් කරමිනි.
ඉහත කතාන්දරය මෙරට පොදු මහා ජනතාවට තබා විපක්ෂයේ කණ්ඩායම් බහුතරයකට පවා ඒත්තු ගැන්විය හැක්කක් නොවන බැව් අද දවසේ දේශපාලනය පිළිබඳ අවම සංවේදනයක් හෝ ඇත්තෙකුට වැටහී යා යුතුය. ඊනියා ඒකාබද්ධ විපක්ෂ රැළියට සහභාගී වන පක්ෂ සංඛ්‍යාවට වඩා සහභාගී නොවන පක්ෂ සංඛ්‍යාව වැඩිවෙමින් පැවතීමෙන් ගම්‍ය වන්නේ එයයි. මේ කතාන්දරය බොහෝ දෙනෙකුට ඒත්තු නොයන්නේ ඇයි? සරලව, කතාන්දරයක් සාර්ථක වන්නේ අදහස් ලෝකයේ එය ප්‍රචාරය කරන තරමට නොවේ. මිනිසුන් එය සැබෑවක් යැයි ඒත්තු ගන්නා තරමටය. එම කතාන්දරය මිනිසුන්ගේ දෛනික ජීවිතයේ අත්දැකීම් තේරුම් කරගන්නට ඔවුනට සහාය වන තරමටය. අපගේ යථාර්ථ ලෝකය හැඩ ගැස්වීමට අදහස්වලට හැකියාවක් පවතින අතරම අදහස් පැන නගින්නේ මිනිසුන්ගේ ව්‍යවහාරික ජීවිතය කෙරෙනි. (අදහස් හා ව්‍යවහාරික ජීවිතය අතර පවතින මේ සම්බන්ධය ගැන හරාරි එතරම් අවධානයක් නොදැක්වුවත් කාල් මාක්ස් දැනට සියවස් දෙකකට පමණ පෙර එය මනාව පැහැදිලි කොට තිබේ).
මේ අනුව, අද දවසේ මෙරට පොදුජන ජීවිතය තුළ මර්දනකාරී පාලනයක් පිළිබඳ කතාන්දරයට වලංගුතාවක් ලැබෙනු ඇත්දැයි විමසිය හැක්කේ ජනතාවගේ දෛනික ජීවිතයේ අත්දැකීම් සමග එම කතාන්දරය සැසඳීමෙනි. මර්දනකාරී පාලනයක් යනු කුමක්දැයි ඓතිහාසිකව අත් විඳ ඇති ජන සමාජයකට රාජ්‍ය මර්දනයේ ස්වභාවය කවරාකාරදැයි අමුතුවෙන් තේරුම් කළ යුතු නැත. විරුද්ධ දේශපාලන පක්ෂ තහනම් කිරීම, දේශපාලන නායකයින් හා ක්‍රියාධරයන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ මාධ්‍ය ආයතන ගිනිතැබීම, මර්දන නීති පැණවීම, වද කඳවුරු පවත්වාගෙන යාම, මැතිවරණ නොපවත්වා සිටීම සහ මැතිවරණ කොල්ලකෑම, මහජන රැස්වීම් සහ උද්ඝෝෂණවලට ඉඩ නොදීම යනාදී කොතෙකුත් මර්දනකාරී ක්‍රියා මෙරට ජනතාව අත් විඳ තිබේ. පොදුජන සමාජය භීතියට පත් කළා වූ ජයවර්ධන-ප්‍රේමදාස පාලන තන්ත්‍ර ගැනත් එළිපිට මැතිවරණ කොල්ල කෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන තන්ත්‍රය ගැනත් මතකය තවමත් අපට දුරස් නැත.
මීට සාපේක්ෂව සැලකූ කල පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගත වූ කාල පරිච්ජේදය වනාහි මෙරට බහුතරයක් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සේම බියෙන් තොරව ජීවත් වීම යනාදිය අත් විඳින්නට ලැබුණු කාල පරිච්ජේදයකි. එම කාලය තුළ ඉතාම සාමකාමී සහ දූෂණයෙන් තොර මහා මැතිවරණයක් හා පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලද බැව් විදේශීය ජන්ද නිරීක්ෂකයින් පවා පිළිගත්හ. මීට වෙනස්ව, ජයවර්ධන යුගයේ පැවති 1982 ජනමත විචාරණය දූෂිත වූවක් බව එකල සිටි මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කළ බව මෙහිදී සිහිපත් කිරීම වටී. ජන්ද දූෂණයේ සහ මංකොල්ලයේ ජයවර්ධන වාර්තාව දෙවෙනි වූයේ චන්ද්‍රිකා පාලනය යටතේ පැවති 1993 වයඹ පළාත් සභා මැතිවරණයේ වාර්තාවට පමණි. ප්‍රජාතන්ත්‍රවාදයේ එකම මිණුම් දණ්ඩ මැතිවරණ පමණක් නොවේ. එසේනම්, අප අනෙකුත් සාධක දෙස බලමු. ජවිපෙ/ජාජබ ආණ්ඩුව විසින් කිසිදු දේශපාලන පක්ෂයක් තහනම් කොට තිබේද? විපාක්ෂික දේශපාලනයේ යෙදීම යන කාරණය පදනම් කොටගෙන කිසිදු දේශපාලන නායකයෙකු හෝ ක්‍රියාධරයෙකු ඝාතනයට, පහරදීමට හෝ අත් අඩංගුවට ගෙන තිබේද? කිසිදු මාධ්‍ය ආයතනයක් තහනම් කොට තිබේද? මාධ්‍යවේදීන් ඝාතනයට හෝ පහරදීමට ලක් කොට තිබේද? උද්ඝෝෂණ පෙළපාලිවලට මැරයන් යොදා පහර දී තිබේද? අපට තවත් මෙවන් ප්‍රශ්න ගණනාවක් ඇසිය හැකි අතර ඒවාට පිළිතුර ‘නැත’ යන්නයි.
එබැවින්, විපක්ෂයේ ඇතැම් දේශපාලකයින් අද මර්දනකාරී පාලනයක් බිහි වී ඇතැයි කියන කතාන්දරය ඔවුනගේ පක්ෂ කව වලින් පිටත සමාජයට කිසිසේත්ම ඒත්තු ගැන්විය හැක්කක් නොවේ. යන්තම් තෙවසරකට පෙර ‘225ම එපා’ යැයි කියූ ජන සමාජයක්, ජන්දයෙන් පත් කළ ජනපතිවරයෙකු ජන අරගලයකින් ගෙදර යැවූ ජන සමාජයක්, ඉන්පසුව අරගලකරුවන් වෙත රාජ්‍ය මර්දනය මුදා හළ තවත් ජනපතිවරයෙකු ජන්දයෙන් තුන්වන තැනට ඇද දැමූ ජන සමාජයක් තමන්ම තෝරා පත් කරගත් අලුත් ආණ්ඩුවට මර්දනකාරීත්වය වෙතට හැරෙන්නට ඉඩ දෙනු ඇත්ද? අද රාජ්‍ය මර්දනකාරීත්වයේ කිසියම් හෝ ප්‍රවණතාවක් පැන නැගේනම්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විපක්ෂ කණ්ඩායම්වලට පෙර ඊට එරෙහි විරෝධය මතුවනු ඇත්තේ ජනතාව කෙරෙනි. 2022 අරගලයෙන් පසු මෙරට පොදුජන සමාජය දේශපාලනීකරණය වී ඇති තරම එබඳුය. ඒ වනාහී අතීතය දෙසට තම මුහුණත් අනාගතයට පසුපසත් හරවාගෙන සිටින විපක්ෂ නායකත්වය වටහාගෙන නොමැති වැදගත් දේශපාලන පරිවර්තනයකි.
බියෙන් අත් මිදීම
රාජ්‍ය මර්දනකාරීත්වය යන කාරණයෙහි මෙතෙක් එතරම් සාකච්ජාවට ලක් නොවූ තවත් පැතිමානයක් තිබේ. එනම් පුද්ගලයා රාජ්‍ය කෙරෙහි දක්වන බියයි. ලංකාවේ පුද්ගලයා සහ රාජ්‍යය අතර සම්බන්ධය තුළ බිය යන සාධකය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටියේය. රාජ්‍ය පාලකයා තමන්ට දුරස්ථ පමණක් නොව ඕනෑම මොහොතක තමන් වෙත මර්දනය ගෙන ආ හැකි බලවත් අයෙකුය යන මානසිකත්වය පසුගිය දශක ගණනාවක් පුරාම මෙරට ජන සමාජය තුළ පැල පදියම්ව තිබිණ. මෙසේ රාජ්‍යයත් පුද්ගලයාත් අතර බිය මත පදනම් වූ සම්බන්ධයක් නිර්මාණය වන්නට බලපෑ හේතූන් හතරක් අපට හඳුනාගත හැකිය.
පළමුවැන්න වන්නේ පශ්චාත්-යටත් විජිත යුගයේ සිට මෙරට රාජ්‍ය පාලන බලය කිසියම් ‘ප්‍රභූ’ පවුල් ජාලයක් අත සංකේන්ද්‍රණය වී තිබීමයි. එම ප්‍රභූන් වනාහි යටත් විජිත දේශපාලන ආර්ථිකය මත පදනම් වී ගොඩ නැගුණු කොන්ත්‍රාත්කාර පැලැන්තියක් බව ආචාර්ය කුමාරි ජයවර්ධන විශිෂ්ට ලෙස පෙන්වා දී තිබේ. කෙසේ වුවද, ඔවුන් යටත් විජිත පාලකයින් සමග දැක්වූ සමීප සම්බන්ධය, ඔවුනගේ ඇන්ග්ලිකන් සහ ඉංග්‍රීසි භාෂා පසුබිම, ධනවත්භාවය යනාදී සාධක කරණ කොටගෙන මෙරට පොදුජන සමාජයට ඉහළින් සිටින වංශවත් පැලැන්තියක් ලෙස පෙනී සිටින්නට ඔවුනට හැකි විය. ආසියා-අප්‍රිකා ලෝකයේ සෙසු බොහෝ රටවල මෙන් ලංකාවේද මෙම පශ්චාත් යටත් විජිත පාලක පැලැන්තියට රාජ්‍ය පාලනය කිරීමේ සොබාවික හිමිකමක් පවතීය යන වැඩවසම් ස්වරූපයේ පොදුජන අවබෝධයක් (common sense) නිර්මාණය වී පැවතිණ. මේ වනාහි යටත් විජිත අවිඥානයේ දේශපාලන ප්‍රකාශමාන වීමකි. යටත් විජිත අවිඥානය වත්මන් යුගයේදී පවා කොතරම් බලවත්ව පවතීද යන්න වටහා ගන්නට යමෙකු කළ යුත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ වටා එක්ව සිටි ඇතැම් බුද්ධිමතුන් ඔහු පිළිබඳව නිර්මාණය කරන ලද අලංකාරෝක්ති පරීක්ෂා කර බැලීමයි. තමන් පශ්චාත් නූතනවාදියෙකු ලෙස පෙනී සිටින එක්තරා ප්‍රාඥයෙකු එකල රනිල් වික්‍රමසිංහගේ ඉංග්‍රීසි දැනුම, බටහිර ආභාසය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනාදිය වර්ණනා කරන අතර අනුර කුමාර දිසානායකගේ ග්‍රාමීය කෘෂිකාර්මික පවුල් පසුබිම ගැරහීමට ලක් කළේය. කෙසේ වුවත්, මෙසේ උපතින්ම සාමාන්‍ය ජන සමාජයට වඩා ඉහළින් සිටින වංශවත් පාලක පැලැන්තියක් පිළිබඳ විශ්වාසය විසින් ජන සමාජය තුළ රාජ්‍යය කෙරෙහි බියක් ඇති කරනු ලබයි. රාජ්‍යය වනාහි තමන්ට දුරස්, පරාරෝපිත සහ තමන්ට ළඟා විය නොහැකි බලවත් හා ආගන්තුක ආයතනයක්ය යන හැඟීම ඇති කරනු ලබයි. මෙය වැඩවසම් යුගයේ රාජ්‍ය පාලනයෙහි ප්‍රධාන ලක්ෂණයක්ව පැවතිණ.
මෙරට රාජ්‍යය කෙරෙහි බියක් ජනනය කළ දෙවන වැදගත් හේතු සාධකය වූයේ රාජ්‍යය වඩ වඩාත් මර්දනකාරී ආයතනයක් බවට පරිවර්තනය වීමයි. මෙය විශේෂයෙන්ම 1970 දශකයේ ආරම්භයේ සිට ප්‍රවණතාත්මක ලෙස වර්ධනය වූ තත්ත්වයකි. උතුරත් දකුණත් ගිනි ඇවිල වූ ජයවර්ධන-ප්‍රේමදාස පාලන සමය මෙහි කූට ප්‍රාප්තිය ලෙස සැලකිය හැකිය. එකල රාජ්‍යය ජන සමාජය ඉදිරියේ අභිමුඛ වූයේ හමුදාව, පොලීසිය, රැඳවුම් කඳවුරු යනාදී මාධ්‍යයන් ඔස්සේය. විශේෂයෙන්ම ’80 දශකයේ තරුණ පරපුරට රාජ්‍යයේ සංකේත දෘෂ්‍යමාන වූයේ බිය ජනිත කළ සංකේත ලෙසය. උතුරේ එම තත්ත්වය තවත් කාලයක් පුරා පැවතිණ. රාජ්‍යයට එරෙහි වූවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ මේ කාල පරිච්ජේදය තුළය. ඒ අනුව පළමුව 1979 දී තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දෙන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත ඉන්පසුව දශක ගණනාවක් පුරාම ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය තත්ත්වය ලෙසිනි. ජෝර්ජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් රාජ්‍යයේ ව්‍යතිරේඛීය තත්ත්වය සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය විය.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පෙරටු කොටගත් සිවිල් සමාජ ව්‍යාපාරයේ එක් සටන් පාඨයක් වූයේ ‘බියෙන් අත් මිදෙමු’ යන්නයි. එම සටන් පාඨයේ ප්‍රකාශිත අරුත වූයේ අසූව දශකය පුරාමත් අනූව දශකයේ මුල් වසරවලත් ජන සමාජය වෙලාගෙන පැවති භීෂණකාරී මානසිකත්වයෙන් අත් මිදීමයි. නමුත් ඇයගේ පාලන සමය තුළදී රාජ්‍යය කෙරෙහි බිය ජනිත කළ තෙවන සාධකයක ක්‍රමානුකුල වර්ධනයක් අපට නිරීක්ෂණය කළ හැකිය. එම සාධකය වන්නේ නිල රාජ්‍ය යාන්ත්‍රණයට පිටතින් (එසේම නීතියටද පිටතින්) ඊනියා කළු ආර්ථිකය, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සමාන්තර බල යාන්ත්‍රණයක් ගොඩ නැගීමයි. මෙය ජයවර්ධන පාලන සමයේදී පැන නැගුණු ප්‍රවණතාවක් බව සැබෑය. නමුත්, මෙකී සමාන්තර බල යාන්ත්‍රණයට පක්ෂ දේශපාලනය විනිවිද යමින් වර්ධනය වන්නට හැකියාව ලැබුණේ චන්ද්‍රිකා යුගය තුළදීය. ගසක් මත රෝපණය වී එම ගසෙහි සාරය උරා බොමින් වැඩෙන දිලීරයක් සේ රාජ්‍යය මත වැඩුණු අපරාධ රාජ්‍යයක් ක්‍රමානුකුලව වර්ධනය වූයේ එලෙසිනි. ඉන්පසුව කවර පක්ෂයක් බලයට පත් වුවද මෙම අපරාධ රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක් නොවන තත්ත්වයක් නිර්මාණය විය. ඒ අනුව නීතියේ පාලනයක් නොපැවතුණා පමණක් නොවේ. අපරාධ රාජ්‍යයේ අත්තනෝමතික බලපෑමෙන් පුද්ගලයින් ආරක්ෂා කරන්නට නීතිය හා රාජ්‍යය අසමත් වන තත්ත්වයක්ද නිර්මාණය විය. මෙම අපරාධ රාජ්‍යයේ කූට ප්‍රාප්තිය සිදු වූයේ රාජපක්ෂ පාලන සමය තුළදී බව අමුතුවෙන් කිව යුතු නැත.
රාජ්‍යය කෙරෙහි බියක් ජනිත කළ සිව්වන සාධකය ලෙසින් සැලකිය හැක්කේ රාජ්‍ය බලය අභ්‍යාස කරන දේශපාලන පන්තිය පොදුජන සමාජයෙන් විශාල සංකේතීය දුරක් පවත්වාගෙන යාමේ ප්‍රවණතාවයි. ඔවුන් විශේෂ ආරක්ෂක වළල්ලකින් වට කරගත් පිරිසක් බවට පත් විය. ඔවුන් ගමන් කළේ වෙඩි නොවදින වීදුරු කළු කළ වාහනවලය. ඒවා තවත් වාහන පෙළකින් ආරක්ෂාව ලැබුවේය. ඔවුන් පොදු මාර්ගවල ගමන් කරන විට සෙසු මගීන්ට පාරවල් වසා දමන තරම් දුරකට මෙය ගමන් කළේය. මෙම සංකේතීය භාෂාවෙන් ගම්‍ය කෙරුණු අරුත වූයේ රාජ්‍ය බලය හොබවන ‘වී.අයි.පී පන්තියට’ ලං වීම පවා බියජනක නැතහොත් ගෞරවාන්විත සිද්ධියක් බවයි.
අද දවසේ දේශපාලන ස්පන්ධනය
ඉහත විවිධ ආකාරවලින් රාජ්‍යය සහ සමාජය එකිනෙකින් දුරස් වීම පසුගිය දශක කිහිපය පුරාම අපට නිරීක්ෂණය කළ හැකි විය. ඒ වෙනුවට, වත්මන් ජවිපෙ/ජාජබ පාලනය තුළ රාජ්‍යය සහ සමාජය අතරැති දුරස්ථභාවය විශාල වශයෙන් අඩුව ගොස් තිබේ. පළමුව, නව පාලකයින් ප්‍රභූ වංශවත් පැලැන්තියක් නොවේ. දෙවනුව, අද මර්දනකාරී රාජ්‍ය උපකරණ වැඩි වශයෙන් එල්ල වෙමින් පවතින්නේ පැරණි පාලක පන්තියට එරෙහිව මිස ජන සමාජයට එරෙහිව නොවේ. තෙවනුව, රාජ්‍යය සහ අපරාධ රාජ්‍යය අතර හුය කපා වෙන්කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ ඇත. එම මෙහෙයුම සාර්ථක අවසානයක් දක්වා රැගෙන යන්නට අසමත් වුවහොත් එය වත්මන් ආණ්ඩුවේ ඉරණම තීරණය කරන්නට පවා ඉඩ ඇත. සිව්වෙනුව, පාලකයින් සහ පොදුජන සමාජය අතර සංකේතීය දුරස්ථභාවය විශාල වශයෙන් අඩුව ගොස් තිබේ. මේ අනුව, අද දවසේ ලාංකීය සමාජ ස්පන්ධනයට සංවේදී කිසිවෙකුත් දැන් මෙරට පොදුජන සමාජය මර්දනකාරී පාලනයක් යටතේ සිටින්නේය යන හැඟීම බෙදාගනු ඇතැයි සිතිය නොහැකිය. එසේ වුවත්, ‘සුන්බුන් විපක්ෂයේ’ කණ්ඩායම්වලට එවන් හැඟීමක් දැනීම යමෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය. එම විපක්ෂයත් පොදුජන සමාජයත් අතර විශාල හැඟීම්මය දුරස්තභාවයක් නිර්මාණය වී තිබේය යන්න මෙයින් ගම්‍ය වන තවත් කාරණයකි.
කිව යුතු තවත් කාරණයක් නම්, දැන් මෙරට පුද්ගලයා රාජ්‍යය කෙරෙහි දක්වන බියමුසු සම්බන්ධය මුළුමනින්ම අහෝසි වී ගොස් ඇති බවක් හෝ රාජ්‍යය සහ සමාජය අතරැති දුරස්තභාවය සහමුලින්ම නැතිව ගොස් ඇති බවක් හෝ රාජ්‍යයේ මර්දනකාරී පැතිමානය අතුරුදහන්ව ගොස් ඇති බවක් මෙයින් අදහස් නොවන බවයි. රාජ්‍යය නිර්වචනාත්මකවම දෘෂ්ටිවාදී යාන්ත්‍රණවලින් හා මර්දනකාරී යාන්ත්‍රණවලින් සමන්විතය. නමුත්, අපගේ අවධාරණය වන්නේ සාමාන්‍යයෙන් දේශපාලන පාරිභාෂිකය තුළ මර්දනකාරී පාලනයක් ලෙසින් හඳුන්වන ප්‍රවර්ගයට වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව ඇතුළත් කළ නොහැකි බවයි.
ආතල් නොකඩා ‘ඉවත් වෙනු’!
අවසන් වශයෙන්, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මගේ යෙහෙළියක් අද දවසේ සමාජ මනෝ භාවය පිළිබඳව සඳහන් කළ සිත් ගන්නා සුළු අනුභූතික නිදසුනක් ගැන කියන්නට මට ඉඩ දෙන්න (ඇය ජවිපෙ/ජාජබ සහායිකාවක් නොවේ). ඇයගේ නිරීක්ෂණය වන්නේ මේ වසර තුළදී විශේෂයෙන්ම මධ්‍යම පන්තික කොටස් අතර සංගීත සංදර්ශන, ප්‍රිය සාද, විනෝද ගමන්, චිත්‍රපට නැරඹීම යනාදියෙහි වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බවයි. ඇයගේ අදහස වන්නේ පසුගිය සමයේ සිංහල චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව තිරගත වීමට එකම හේතුව ඒවා විශිෂ්ට චිත්‍රපට වීම පමණක් නොවේය යන්නයි. රසිකයන් චිත්‍රපට නැරඹීමට පෙරට වඩා උනන්දුවක් දැක්වීමද එයට හේතුවක් බව ඇය පවසයි. අවශ්‍ය නම් යමෙකුට මේ පුද්ගලික අනුභූතික නිරීක්ෂණය සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් මගින් පරීක්ෂාවට ලක් කළ හැකිය. මෙහි ඇත්ත නැත්ත කවරක් වුවත් ආණ්ඩුව ප්‍රවේසමෙන් සහ සංවේදීව ගණුදෙණු කළ යුතු කලාපයක් ගැන මෙයින් ඉඟි කෙරේ. එනම්, බියෙන් අත්මිදෙන සමාජයක් තුළ පුද්ගලික නිදහස, සතුට සහ විනෝදය කෙරෙහි ලාලසාවක් නිර්මාණය වන්නේය යන්නයි.
නමුත්, තවමත් ගතානුගතික ආකල්ප හා දෘෂ්ටිවාදවලින් මෙහෙයවෙනු ලබන මෙරට පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන මේ මිනිසුන්ගේ පුද්ගලික නිදහසට හා විනෝදයට අනවශ්‍ය බාධා කිරීමට ඉඩ තිබේ. ආණ්ඩුවේ ‘රටම එකට’ වැඩ පිළිවෙළ තුළ තමන්ගේ වැඩ පෙන්වන්නට කැමති ඇතැම් නිලධාරීන් තරුණ තරුණියන්ගේ ෆේස්බුක් සාද වැටලීම, පෙම්වතුන්ගේ නිදහසට වැට බැඳීම, ඉඳහිට මිතුරන් සමග ‘ජොයින්ට්’ එකක රස පහස විඳින්නෙකු කුදලාගෙන යාම (දේශීය ගංජා යනු විස මත්ද්‍රව්‍ය කුලකයට ඇතුළත් කළ නොහැකි ඖෂධීය ගුණයෙන් යුක්ත වූවක් බව අවශ්‍ය නම් පෙන්වාදිය හැකිය) වැනි විනාශකාරී ක්‍රියාවල නිරතවීමට ඉඩ තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපාරයේ ආරම්භයේදීම සිදු වූ අත් වැරදීමෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙනගත යුතුව ඇත. බියෙන් හා විස මතින් තොර රටක ජනතාවගේ අහිංසක ආතල් එක නොකැඩීමට ආණ්ඩුව ප්‍රවේසම් විය යුතුය.
මේ කරුණ අවධාරණය කරන්නට සිදුවන්නේ ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතිය තුළ ශ්‍රේෂ්ඨ අන්තර්ගතයන් රාශියක් තිබුණද පුද්ගලයාගේ නිදහස, සතුට හා විනෝදය පිළිබඳ සංකල්පයක් එතුළ අන්තර්ගත නොවීම නිසාය. එබැවින්, මේ වනාහී ජවිපෙ නායකත්වයට වැරදීමක් විය හැකි දුර්වල ස්ථානයකි. එසේම, අප ජීවත් වන ‘GEN Z’ යුගය තුළ මේ කලාපයෙහි සිදුවන අත් වැරදීමක දේශපාලන ප්‍රතිපල අතිශය බරපතල වනු ඇත. විශේෂයෙන්ම නව පරපුරට තමන් මර්දනකාරී පාලනයක් යටතේ සිටින්නේය යන හැඟීම දැනෙනු ඇත්තේ සුන්බුන් විපක්ෂයේ නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගන්නා විට නොව ආණ්ඩුවේ ‘රටම එකට’ වැඩ පිළිවෙල තම අහිංසක නිදහස, සතුට හා විනෝදය කඩන තරම් දුරකට ගමන් කළ හොත් එවිටය. මේ කලාපය සමග ගණුදෙණු කිරීම ජවිපෙ නොව ජාජබ කොටස් (ජගත් මනුවර්ණ, කෞශල්‍යා ආරියරත්න වැනි) බාරගැනීම වඩා උචිත වේය යන්න මගේ අදහසයි. එය අධීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති ජවිපෙ නායකයෙකු සිටී නම්, ඒ ලාල් කාන්ත සහෝදරයා ය.