30 July, 2021

Blog

හැඳුනුම්පත් නැති නූතන සිටුවරු

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

වර්තමානයේ මහා මාර්ගවල ධාවනය වන අනේක විධ වාහන අතරේ අධි සුඛෝපභෝගී වාහන ද අතීතයට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. සාමාන්‍ය සමාජය ව්‍යවහාර කරන අන්දමට ‘දළ කාරයන්’ ‘කෙළි කාරයන්’ ‘තද පොරවල්’ ආදී වශයෙන් හැඳින්වෙන කිසියම් සමාජමය පැලැන්තියක් නියෝජනය කරන ජන කොටසක් ගමන් කරන බවක් පෙනෙන මෙම වාහන සම්බන්ධයෙන් රථවාහන රාජකාරීවල යෙදෙන ඇතැම් පොලිස් නිලධාරීන් පවා කිසියම් සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන බවට මතයක් තිබේ. යාන වාහන ඔස්සේ මාර්ගස්ථ වී ඇති මෙම සුඛෝපභෝගීත්වය ඔවුන්ගේ නිවාස, දේපල ඇතුළු සෙසු උපභෝග පරිභෝග සම්පත් මඟින් ද නිරූපණය වේ. මහා පරිමාන ව්‍යාපාරිකයන්, සුප්‍රකට සමාගම් අධ්‍යක්ෂ වරුන්, ඇතුළු සීමිත පිරිසක් සතුව ඇති මෙම සුවිසල් ධනෝපායන හැකියාවන් වත්මන් සමාජයේ සුවිසල් පරාසයක් පුරා විසිරණය වී ඇති බවක් ද ඔවුන් අත් විඳින අධි සුඛෝපභෝගීත්වයෙන් පෙනී යයි. නමුදු ධනවත් බව අතින් සමාජයේ ඉහළම ස්ථාවරත්වයකට පත්ව අයථා ලෙසින් VIP සන්නාමය හිමිකරගත් මෙම නව පැලැන්තිය පිළිබඳ සැබෑ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැත. ඒ සම්බන්ධයෙන් මහ බැංකු වාර්තා සහ වෙනත් ආර්ථික විශ්ලේෂණ, දේශීය ආදායම් සහ ජන හා සංඛ්‍යා ලේඛන මූලාශ්‍රවලින් ද නිසි තොරතුරක් ලබා ගත නොහැකි වී තිබේ.

ව්‍යාපාර කිහිපයක නියුතු බව අඟවන මෙබඳු එක්තරා පුද්ගලයකු සෑම සතියකම සිකුරාදා සවස තම සමීප මිතුරන් කිහිප දෙනකු වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රිය සාදයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් වැය කරන බව මට දැන ගත හැකි විය. ඒ අනුව එම ‘සුළු විනෝදාංශය’ සඳහා පමණක් ඔහු මාසිකව රුපියල් ලක්ෂ දොලහක් පමණ වැය කරයි.

මේ අතර එක්තරා රූපවාහිනී ජාලයක් මඟින් ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීමෙන් අවිචාර වත් සමාජය හමුවේ ‘ජ්‍යොතිෂ තරුවක්’ බවට පත් පුද්ගලයකු ද මේ වන විට කෝටි, ප්‍රකෝටි ගණනක මහා ධනස්කන්ධයකට හිමිකම් කියන මහා ධන කුවේරයකුව හිඳින බවක් පැවසෙයි.

එක් එක් පුද්ගලයන් සතු හැකියාව හෝ වාසනා මහිමය අනුව ඔවුන් කෝටිපතියන්, ප්‍රකෝටි පතියන් වීම තවත් කෙනකුට ප්‍රශ්නයක් වන්නේ කෙසේ දැයි තර්ක කිරීමට යමකුට පුළුවන. එහෙත්, එවන් සුවිශේෂ හැකියාවක් පළ කරන මෙතෙක් හඳුනා නොගත් නව සමාජ පැළැන්තිය පිළිබඳව සංවිභාගශීලී වීමත් ඔවුන් ගේ ජීවන රටාවන් සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් කීරීමත් වැදගත් සමාජ අශ්‍යතාවක්ව පවතී.

විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් හිමි වන සමාජමය අගැයුම් විවිධාකාර ය. වර්තමානය වන විට එම අගැයුම් ලබා දීමේ කේන්ද්‍රීය සාධකය ඒ පුද්ගලයා ගේ වත් පොහොසත් කම බව නොහරසකි. අතීතයේ මුදල හැඳින්වීම පිණිස යොදා ගන්නා ලද ‘දෙවියන් ගේ මල්ලි’ යන යෙදුම අද වන විට ‘දෙවියන්ගේ අයියා’ ලෙස හැඳින්වීම තෙක් මෙම තත්වය විපරිනාමය වී තිබේ.

අපගේ සාම්ප්‍රදායික ජන සමාජයේ ද පුද්ගලයකු හට අගැයුම් ලබාදීමේ දී ධනවත්කම ද සලකා බැලිණි. එහෙත්, ඒ අතරම සලකා බැලෙන තවත් වැදගත් සාධකයක් වූයේ ඒ පුද්ගලයා සතු ගුණවත් කම හා නැණවත් කම ය. මෙහි දී කිසියම් ධනවතෙකු ගුණවත් කමින් හෝ නැණවත් කමින් හීන වූයේ නම් ඔහුට නිසි සමාජමය අගැයුමක් ලබා නොදීමට අතීත ජනයා වගබලා ගත්හ. එමෙන්ම කිසියම් ගුණවතෙකු හෝ නැණවතෙකු කෙරෙහි නිසි සමාජමය වටිනාකමක් දීමට ඔහුගේ ධනවත් බව ද තරමක් දුරට හෝ සලකා බැලෙන ලදී. අතීත සාම්ප්‍රදායික ජන සමාජය තුළින් ගුරුවරුන්, වෙද මහතුන් සේම විවිධ කර්මාන්ත ශිල්පීන් ආදී ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික සමාජ තලයන් වෙතින් සමාජමය අගැයුම් හිමි කරගත් පැලැන්තියක් බිහි වන ලද්දේ ඒ අනුව ය.

මෙහි දී එම ධනවතා මසුරකු වී නම් හෝ ගුරුවරයා නැතහොත් වෙදමහතා දුසිරිතෙන් යුතු වී නම් ඔහු ඒ සමාජමය අගැයුමට හිමි කරුවෙක් නොවිණි. එමෙන්ම, ධනවත් කම හෝ නැණවත් කම නැතහොත් උගත් කම අවම මට්ටමක තිබුණ ද ඇතැමුන් තුළ පවත්නා ගුණවත්කම ප්‍රශස්ථ මට්ටමක පැවැතියේ නම් ඔහුට ද එම සමාජය තුළින් විශේෂිත අගැයුමක් හිමි ව තිබූ බව රහසක් නොවේ. මෙහි දී සුරා, සූදු ආදී සදාචාර විරෝධී ක්‍රියාවලින් ඉවත් වීම සහ ගිහි පිරිත්, වන්දනා ගමන් සංවිධායකත්වය ආදී ජන සමාජය වෙත ආධ්‍යාත්මික සේවා සපයන පෙදරේරුවන්, ලෝකුරුවන් ආදී පහළ මධ්‍යම පාන්තික සමාජය නියෝජනය කරන පිරිස් ද ඉහළට ඔසවා තැබීමට අතීත ජන සමාජය පසුබට නොවිණි. සත්භාවයෙන් යුතුව පොදු ජන සේවා සපයන්නෝ ද මෙම සමාජමය අගැයුම් හිමි කර ගැනීමේ ඉදිරි පෙළෙහිම වැජඹුනහ. ඒ අනුව අතීත සමාජය නියෝජනය කළ සෑම ධනවතෙකුම, ගුරුවරයෙකුම, වෙද මහතකුම යහපත් සේ නොසැලකුණු අතර එකී සමාජය අගැයුම් සම්බන්ධ ප්‍රශස්ථ මට්ටම පවත්වා ගෙන යාම සඳහා ඔහුගේ ජීවිතය සමාජ සම්මත සදාචාරාත්මක ආකෘතියක් තුළ ස්ථාපිත වී තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බව පෙනෙයි. 

එහෙත්, 1970 දශකයේ අග භාගයේ මෙරටට හඳුන්වා දෙන විවෘත ආර්ථික සංකල්පයත් සමඟ මෙම සාම්ප්‍රදායික සමාජ ආකෘතිය ගරා වැටෙන්නට වූ අතර මිල මුදල් මත පදනම් වන ධනවත්කම පසුකාලීන සමාජයේ ප්‍රධාන පුරුෂාර්ථය බවට පත් විය. එලෙස ධනෝපායනය කෙරෙහි ජනතාව තුළ පැන නැගී තිබූ අසීමාන්තික උනන්දුව කොතෙක් ද යත් ‘කොහොම හරි කමක් නෑ’ යන වදනට ද යම් සමාජමය අගැයුමක් හිමි වන ලද්දේ එතෙක් පැවැති සමාජ සදාචාර මට්ටම ශීඝ්‍රයෙන් පසු ගන්වමිනි. විවෘත ආර්ථිකයත් සමඟම ආරම්භ වූ නව ධනෝපායන මාර්ග සහ එම කාල සීමාවේ ආරම්භ වූ විදේශ සේවා නියුක්තිය හේතුවෙන් හැත්තෑවේ දශකයේ අග භාගය තෙක් අප සමාජයේ පැවැති සාම්ප්‍රදායික සමාජ ආකෘතිය බිඳ වැටෙන ලද්දේ අතීත සමාජය මඟින් නැණවත්කම හා ගුණවත්කම පදනම් කර ගනිමින් අගැයුම් ලබා දුන් සමාජ පැළැන්තිය ශීඝ්‍ර පසුබෑමකට ලක් කරමිනි.

විවෘත ආර්ථිකයත් සමඟ අප සමාජය තුළ මුල් බැස ගත් භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය යටතේ පරිභෝජන වාදය නමින් හැඳින්වෙන සමාජ ආර්ථික අවනතිය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ජන සමාජයට අවශ්‍ය සෑම දෙයක්ම මිල කළ හැකිය යන නරුම, මායාකාරී සිතිවිල්ල පසුකාලීන සමාජය තුළ ශීඝ්‍රයෙන් ස්ථාපිත විණි. ඒ සමඟම එතෙක් පැවැති පොදු බව පදනම් කර ගත් ප්‍රජා සහ සමාජ ඒකාබද්ධතාව බිඳ වැටී ජනතාව තමන්ගේ ලෞකික පැවැත්ම තහවුරු කරගත් කුහක ආත්මාර්ථකාමීත්වය වෙත සංක්‍රමණය වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී බහුලත්වය, විවිධත්වය, ආටෝපය, සුඛෝපභෝගීත්වය ආදී නිසරු සමාජමය පරමාදර්ශයන් ශීඝ්‍රයෙන් මස්තකප්‍රාප්ත වීම ය.

සමාජය තුළ පවත්නා භාණ්ඩ සහ සේවා මුල් කොට ගත් මෙම පරිභෝජනවාදී වුණන්දුව කොතෙක් ප්‍රබල ලෙස සමාජ ගත වූයේ ද යත් මිනිසුන් තුළ ස්වභාවිකව පැනනඟින ආධ්‍යාත්මික අවශ්‍යතා ද කිසියම් පරිභෝජන වාදී ආකෘතියක් තුළ සිරගත වනු දක්නා ලදී. අතීත ජන සමාජය තුළ පැවැති බුද්ධ වන්දනාව අතික්‍රමණය කරමින් මෙම කාලය වන විට ජනප්‍රිය බෝධි පූජා රැල්ලක් සමාජයේ ස්ථාපිත වීම ඒ සඳහා කදිම නිදසුනකි. අතීත බෞද්ධ සමාජය තමන් ගේ ආධ්‍යාත්මික කටයුතු සඳහා යොදා ගන්නා ලද සතර පොහොය වෙනුවට දෙවිවරුන් ගේ බැල්ම සහිත කෙම්මුර දින වශයෙන් සැලකෙන බදාදා සහ සෙනසුරාදා සන්ධ්‍යා කාලවල දී ජනතාව බෞද්ධ විහාරස්ථානයන් හි බෝධි වෘක්ෂ වටා ඒකරාශී වන්නට වූයේ බුදුන් ගේ නාමයෙන් එම දෙවිවරුන් ලවා තමන් ගේ ලෞකික අපේක්‍ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අරමුණිනි.

මේ සියළු කලබැගෑනි මධ්‍යයේ අතීත සමාජයේ අගැයුම් පද්ධතියකට හිමිකම් කී ගුරුවරයා ගේ භූමිකාව සමාජයෙන් ඉවත් වී ගිය අතර ඒ වන විට ශීඝ්‍රයෙන් තීව්‍ර වෙමින් පැවැති ධනෝපායන තරඟයට සාර්ථක ලෙස මුහුණ දිම පිණිස සමහර ගුරුවරු ටියුෂන් තරඟයකට අවතීර්ණ වූහ. එහිදී ගුරුවරයා සතු ශාස්ත්‍රීය දැනුම, විනයවත් බව පරයමින් ඔහුගේ බාහිර පෙනුම, පෞරුෂය, ඇඳුම පැළඳුම, මුකරි බව සේම මෝටර් රථය ආදී බාහිර සාධක කෙරෙහි ද සිසුන් ගේ විශේෂ ආකර්ෂණයක් පවතින බව ඉතා පැහැදිලි ය. ඒ අතර හුදෙක් රෝගීන් සුවපත් කිරීමේ කාර්ය භාරයට වඩා පවත්නා සමාජ ආර්ථිකය හමුවේ පසුගාමී වීමට නොහැකි වෛද්‍යවරු ද ‘ආ රෝගියා පරමා ලාභා’ යන සංකල්පයෙන් යුතුව ව්‍යාපාරික පදනමක් යටතේ තම වෘත්තිය පවත්වා ගෙන යාමට පෙළඹුනහ. මෙහිදී එම අතිරේක ධනෝපායනය ‘පොල් කැඩීම’ සහ ‘පොළේ යාම’ යන සරදම් නම් වලින් ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා බව නොරහසකි.  

මේ සකලවිධ තත්වයන් යටතේ අතීතයේ සමාජයේ අගැයුම් පද්ධතිය ස්ථාපිත ව තිබූ ධනවත්කම, නැණවත්කම සහ ගුණවත්කම යන කනප්පුවේ දෙවන තුන්වන පාද සිඳී බිඳී ගොස් දැන් එය ධනවත්කම නම් වන තනි පාදය මත ස්ථාපිතව ඇති කනප්පුවක් බවට පත්ව ඇත.  මේ තත්වය අද වන විට කෙතරම් ව්‍යාකූල වී තිබේ ද යත් ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රමුඛතම ධනෝපායන ශක්තිය සම්මත වෘත්තීයවේදීන් ගෙන් පවා ගිලිහී ගොස් ව්‍යාපාරිකයන් වශයෙන් නාමිකව හඳුන්වා ගන්නා වෙනයම් පැලැන්තියක් සතුව ඇති බව පෙනේ.

මෙසේ ව්‍යාපාරිකයන් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින බොහෝ දෙනකු නොවිධිමත් ධනෝපායන මාර්ග වෙතින් කෝටිපති, ප්‍රකෝටිපති තත්වයට පත් වූවෝ වෙති. මොවුන් ගෙන් කොටසක් මත්ද්‍රව්‍ය ඇතුළු අනේක විධ නීති විරෝධී ජාවාරම් වලින් මුදල් උපයන අතර සාදාචාර විරෝධී ව්‍යාපාර ආදියෙන් මුදල් උපයන්නෝ ද මොවුන් අතර සිටිති. එමෙන්ම මෙලෙස අසීමාන්තික අයුරින් මුදල් ඉපැයීමේ යාන්ත්‍රණය බොහෝ විට තනිව සිදු කරන්නක් නොවේ. ප්‍රබල දේශපාලනඥයන් ගේ පොලිසීයේ සේම පාතාලයේ සහය ද මොවුනට සෘජුවම හෝ අනියමින් හිමිව තිබේ. 

මේ අතර මෙලෙස නූතන සමාජයේ සිටුවරුන් සේ කැපී පෙනෙන ධන කුවේරයන් අතරේ නොවිධිමත් මුල්‍ය කළමණාකරණයේ යෙදෙන ‘සක්විති’ මොඩලයේ ධනවත්තු ද සිටිති. එසේ මුළුමනින් අසාර්ථක මූල්‍ය කළමණාකරණයක් සිදු නොකළ ද මෙහි ඉහත සඳහන් කළ පාරිභෝගික භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් බහුලත්වය, විවිධත්වය, ආටෝපය, සුඛෝපභෝගීත්වය වැනි නිසරු පුරුෂාර්ථ කෙරෙහි ඉව ඇල්ලීම මුල් කොට මොවුන්ගේ ධනවත්කම් අතිශයෝක්තියෙන් යුතුව සාමාන්‍ය සමාජය හමුවේ ප්‍රදර්ශණය වෙයි.

එහෙත්, සදෙව් ලෝක සැප මිහි පිට දී භුක්ති විඳින බවට සාමාන්‍ය ජනතාව තුළ විශ්වාසයක් ජනිත කොට තිබෙන මොවුන් ගේ ජීවිතාභ්‍යන්තරයෙන් හි සැබැවින්ම සතුට, සැනසුම, අස්වැසුම, රඳා පවත්නේ ද යන්න වෙනම සලකා බැලිය යුතු ය. නමුදු වත්මන් සමාජ ආර්ථිකය තුළින් හිමිවන නොවිධිමත් ප්‍රතිලාභ ඉවක් බවක් නොමැතිව ග්‍රහණය කර ගැනීම පිපාසයට ලුණු වතුර බොන්නාක් වැනි ක්‍රියාවකකැයි මට සිතෙයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මිනිසුන් පහසුවෙන් නොමඟ යැවීමට ඉඩ දෙන්නේ ඇයි. ? ඒ ඔවුන්ට වෙනත් විකල්ප නොමැති නිසා ද? ජනතාව නොමඟ යවා විරෝධතා දැක්විය යුතුය. කිසියම් විශාල අසාධාරණයක් දුටු විට ගෝත්‍රික අප්‍රිකාව පවා අද අක්‍රියව පවතින්නේ නැත.

    https://www.youtube.com/watch?v=l0dHGNNe_n4

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.