පසුගිය 22 දා මහනුවර දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතරතුර දී පෙරහැර නරඹනින් සිටි කුඩා දරුවකුගේ නලා හඬක් මුල් කොට ඇතකු බිය පත්ව ඇතුන් දෙදෙනකු කුලප්පු වීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වෙයි. නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් බියට පත්ව එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබේ. කලබලයට පත් වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිව ගොස් ඉන් එක් ඇතකු බිය පත්ව රැජින හෝටලයේ කෙටි තාප්පයකින් නැඟ එහි කොරිඩෝව තුළට රිංගා ගෙන කලබල කිරීමත් සමග ඇත්ගොව්වන් පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳ දැමීමට කටයුතු කළ බව පැවසෙයි. මෙම කලබලයේ දී දී ඔවුන් “ගමරාලගේ ලොව ගමන” සිහි ගන්වමින් ඒ ඇතුන් ගේ වලිග වල එල්ලී යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ ගත වී තිබේ. අනතුරුව බිය පත්ව කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කොට තිබේ. මෙහි දී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
සාමාන්‍යයෙන් මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ උත්කර්ෂවත් අවස්ථාවන් එළඹෙනුයේ රන් දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමත් සමඟ ය.එම දිනවලට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් ජනතාව ඇදී එති. එහෙත්, ඊට සාපේක්ෂව ඊට පෙර දිනවල පැවැත්වෙන කුඹල් පෙරහැර නැරඹීමට එතරම් පිරිසක් නොපැමිණෙන අතර ඒ සඳහා බොහෝ විට පැමිණෙනුයේ මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ජනතාව ය.ඒ අනුව මෙසේ ඇතුන් දෙදෙනකු කුලප්පුවීම රන්දෝලි පෙරහැර දිනයෙක සිදුවිණි නම් තත්වය මීට වඩා බෙහෙවින් බරපතල වන බවට කිසිදු සැකයක් නැත.නමුත් ඇති වූ සිද්ධිය පිළිබඳව විනා මතු එළඹිය හැකි එවැනි බරපතල සිදුවීම් ගැන ඒවාට වගකිව යුත්තන් කී දෙනකු නම් සිතා ඇත්දැයි අපි නොදනිමු.
සීමිත ඉඩ ප්‍රමාණයක් තුළ සීමාව ඉක්මවූ පිරිසක් තෙරපෙමින් සිටින විට සිදුවන මාරක තත්වයන් (Fatal crowd crushes) පිළිබඳව ලොව නන් දෙසින් වාර්තා වෙයි. වර්ග මීටරයකට පුද්ගලයන් 4-5ක් (පුද්ගලයෙකුට වර්ග අඩි 2.5ක් පමණ හෝ පැත්තකට වර්ග අඩි 1 අඟල් 7ක්) පොදි ගැසෙන විට හෝ එම සංඛ්‍යාව ඉක්මවන විට, කිනම් හෝ තත්වයක් මත එක් එක් පුද්ගලයා වෙත ඇති වන පීඩනය නිසා පුද්ගල සමූහයම කඩා වැටීමට හේතු විය හැක. මෙහි දී පුද්ගලයන් බිම ඇද වැටීමට, අන්‍යයන්ට පෑගී හුස්ම සිරවීමට පහසු අවකාශයක් තිබේ. එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් 1992 සහ 2002 අතර වසර දහය තුළ පමණක් මරණ 232 ක් සහ තුවාල 66,000 කට වඩා වැඩි බව එක් අධ්‍යයනයකින් ගණනය කර ඇත. ඒවායින් සැලකිය යුතු කොටසක් ආගමික හා සංස්කෘතික උත්සව හා සම්බන්ධ තෙරපීම් බව ද අනාවරණය වී තිබේ.
සාමාන්‍යයෙන් මහනුවර ඇසල පෙරහැරේ ප්‍රදර්ශනාත්මක බව රැජින හෝටලය ඉදිරියේ දී වඩාත් තීව්‍ර වන බවට ජන මතයක් තිබේ. ඒ එහි සිට විදේශ සංචාරකයන් සහ ප්‍රභූන් පෙරහැර නරඹන බැවිනි. ඒ අනුව සාමාන්‍ය ජනතාව ද පෙරහැර නැරඹීම පිණිස රැජින හෝටලයත් නුවර වැවත් අතර ඇති කුඩා ඉඩ ප්‍රමාණය තෝරා ගනිති. එහෙත්, එසේ එක් රොක් වන පිරිස කොතෙක් ද යන්න කල් ඇතිව සහ ඒ වේලාවට වත් ගණනය කළ නොහැක. එය එදින කාලගුණික තත්වය රට තුළ පවත්නා සාමකාමී වාතාවරණය ආදී සාධක මත පදනම් වන්නකි. අනෙක එක් එක් ව්‍යාපාරික ආයතනවල ප්‍රවර්ධනය වෙනුවෙන් ඔවුන් මාධ්‍ය ආයතන වල ආදායම් තර කිරීම පිණිස යම් යම් ආගමික සංස්කෘතික උත්සව වලට දක්වන “බැතිබර දායකත්වයන්” නිසා ද මහනුවර ඇසල පෙරහැර කෙරෙහි වැඩි සමාජමය නැඹුරුවක් ඇති වේ. ඊට අමතරව නුවර පෙරහැර වෙනුවෙන් අතිරේක දුම්රිය හා බස් රථ සේවා ද යොදවනු ලැබේ. මේ සියළු කරුණු මුල් කොට පෙරහැර නැරඹීමට එන්නවුන් කූඩු වනුයේ සීමිත පරිශ්‍රයන් තුළ ය. එකී සියළු සාධක යටතේ මහනුවර ඇසල පෙරහැර නැරඹීමට එන පිරිස් වසරින් වසර වැඩි වනු මිස අඩු වීමක් දක්නට නැත.එවන් තත්වයක් යටතේ පෙරහැර නැරඹීම පිණිස ඇති ඉඩකඩ වැඩි වීමක් නැත.
මූලික බුදු දහමේ “හුළඟක් වත් වැදී නැතත්” මහනුවර ඇසල පෙරහැර දේශීය බෞද්ධ සංස්කෘතික මංගල්‍යයකි. එහෙත් ඊට සම්බන්ධ කර ගන්නා අලි ඇතුන් අසංස්කෘතිකය. ඒ ඔවුන් වන ජීවීන් වන බැවිනි. ඒ අනුව අප මෙම සංස්කෘතිකාංගය සඳහා පුහුණු කරවන ලද අසංස්කෘතික වන ජීවීන් යොදවන බව පිළිගන්නට අපට සිදුවේ. එමෙන්ම මහනුවර ඇසල පෙරහැර සඳහා එක් වන අලි ඇතුන් තුළ දළඳා වහන්සේ කෙරෙහි අති මහත් ශ්‍රද්ධාවක් භක්තියක් ඇති බවට හා ඒ අනුව ඔවුන් මහත් සතුටින් මහනුවර ඇසල පෙරහැරට සහභාගී වන බවට වන අන්ධ විශ්වාසයක් අප සමාජයේ තවමත් පවතී. නමුදු අලි ඇත්තු ස්වභාවිකව අධික ශබ්ද සහ අධික ආලෝක ධාරා කෙරෙහි බිය වෙති. ඒ අනුව හීලෑ අලි ඇතුන් අතුරින් පවා පෙරහැර සඳහා පුරුදු පුහුණු කළ හැක්කේ ඉතා සුළුතරයක් පමණි. එවන් අලි ඇතුන් පවා තීව්‍ර නලා හඬ ලේසර් ආලෝක ධාරා වැනි තත්වයක් යටතේ බියපත්ව කලබලයට පත්ව තම ජීවිතය රැක ගැනීම වෙනුවෙන් පෙරලි කිරීමට ඉඩ තිබේ. එහෙත් අධික ජන පීඩනයක් මධ්‍යයේ එවන් තත්වයක් උද්ගත වුවහොත් ජනතාව ඉන් ඉවත් කරවීමේ සැලසුමක් ( Evacuation plan ) බලධාරීන් සතුව ඇතැයි අපට නම් නොසිතේ. මෙවර පෙරහැර බලමින් සිටි පිරිසක් ඒ අවස්ථාවේ මර බියට පත්ව වැවට පැන්නේ එනිසාය. පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන්ගේ ජීවිත බේරාගෙන ඇතත් මීට වඩා සුවිසල් ජනගහණයක් සිටින විට වැඩි පිරිසක් මෙසේ වැවට පැන්නේ නම් කුමකින් කුමක් සිදුවේද? නමුදු එහි දී සිදුවන එක් දෙයක් ගැන නම් අනාවැකි කීමට පුළුවන. එනම් තම බැතිමතුනට ආරක්ෂාව සැලකීමට දළදා වහන්සේට නොහැකි වීම පිළිබඳව පාර්ශව කිහිපයකින් උන් වහන්සේට චෝදනා එල්ල වීමය. එහෙත් මූලික බුදු දහමින් බැහැර මෙබඳු සංස්කෘතිකාංග පිළිබඳව ත්‍රිපිටකයේ අගැයුමක් තබා ඒවා පිළිබඳව සඳහනක් වත් නොමැත.
ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක ජීවමාන ඇතකු වෙනුවට රොබෝ ඇතකු එහි චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා යොදා ගෙන ඇත. සත්ව හිංසනය අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඉරිංජාඩපිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිල සඳහා යොදාගෙන ඇති මෙම රොබෝ ඇතා අඩි 11ක් පමණ උසින් යුතු ය. මෙම සත්වයා කෝවිල් බලධාරීන් විසින් ඉරිංජාඩපිලි රාමන් ලෙස නම් කර තිබේ. යකඩ සැකිල්ලකින් සහ රබර් මතු පිටකින් යුතු, කිලෝග්‍රෑම් 800ක් බරැති මෙම ඇතා People for ethical treatment of Animals PETA විසින් පරිත්‍යාග කොට ඇත. සාමාන්‍ය ඇතකුට මෙන් කන් ගසා, ඇස් සහ වලිග චලනය කළ හැකි ඉරිංජාඩපිලි රාමන්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක් වීම මත එය සත්ව හිංසනයෙන් තොර ආගමික සංස්කෘතික කටයුතු සම්බන්ධ මනා පූර්වාදර්ශයක් වනු ඇතැයි ඉන්දීය විචාරකයෝ මත පළ කරති.එහෙත් නවීන විද්‍යා තාක්ෂණය නම් අගනා මැණික ඔලොගුවේ බහා ගෙන සිඟමන් යදින්නවුන් සේ බුදු දහමට ඉඳුරාම පටහැනි යල් පැන ගිය සාම්ප්‍රදායිකත්වයන්ගේ එල්බ සිටින අපට ඉරිංජාඩපිලි රාමන් කෙනකු භාවිතයට ගැනීම පසෙක තිබිය දී එවැන්නකු සිහිනයෙන් දැක ගැනීමට පවා අඩුම තරමින් තව සියවසක් වත් ගත වනු ඇතැයි මට සිතෙයි.