19 March, 2024

Blog

“රනිල්” 41 ඉය(ර්)ස් ඔන් හෙඩ්ලයින්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවන දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිස් එකක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත්වන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොදින් දැක තිබේ. එසේම රට තුළ පැවති දීර්ඝ කාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සිට අගමැති ධූරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදුකරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලබන්නෝ ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැගීමයි. 

දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය පාරාජය දෙකම ඔහු හොදින් අත්විද තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොදින් භුක්තවිද තිබේ. ඔහු විටෙක වීරයෙකු ලෙසද, තවත් විටෙක ද්‍රෝහියෙකු ලෙසද මෙරට මාධ්‍ය හා දේශපාලන අංකූරන් විසින් හංවඩු ගසා තිබුණි. ඔහු පාගා යටපත්කොට බලය පවත්වා ගැනීමට උත්සහ කළ ප්‍රභාකරන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ද තම පක්ෂයේම වූ ද්‍රෝහියෝද දේශපාලන වේදිකාවෙන් බැසගොස් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව දශක හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තවමත් මෙරට පුවත්පත්වල හා විද්‍යුත් නාලිකාවල සිරස්තල වල සිටී. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබාදුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නයි. වසර 41 ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වීමට හැකි වීම, සැම දිනකම රටේ මාධ්‍යයන්ගේ හෙඩ්ලයින් බවට පත් වීම, මිනිසෙකුට අසීරු කාර්යකි. විශේෂයෙන් ඕනෑවටත් වඩා දේවදත්තලා ඉන්නා සමාජයක් එය ඉතා අසීරු කාරණාවකි.  

රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්‍යුහාත්මක වෙනස්කම් නිසාවෙන් අදත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞර්ෂයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වේ. එම ව්‍යුහාත්මක වෙනස්කම් කොතරම් ප්‍රබලද යත් දශක හතරකට පසුත් ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. ඉන්පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකර යාමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබුණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන පරිදි රටේ තරුණ කටයුතු වල විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවයි. ඒ බොහෝමයක් වෙනස්කම් සදහා ඔහු මූලික අත්තිවාරමද දමා තිබේ. 

එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයාව සිටියදී ඉදිරිපත් කරනු ලැබු කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළද කළාප දශක තුනකට පසුත්, අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළද කළාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලුම කර්මාන්ත ඇමතිවරු ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සහ කරනු ලැබුවේ රටපුරා නිදහස් වෙළද කළාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතියන්ය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරනු ලබයි. ප්‍රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනු ලබන්නේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළද කළාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය අද තොරතුරු තාක්ෂණ යුගයට නොගැලපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මේ රටේ ජනතාවගේත් අනෙකුත් කොටස්වලත් විශේෂයෙන්ම ජනමාධ්‍යයේත් සහයෝගය ලබාදෙන ලෙසය. 

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටි මීට වසර 25 කට 30 කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් අදද මේ රටේ අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සදහා විද්‍යා පීඨ, වයස් සීමාවකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්ව විද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සදහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්‍යුහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණයන්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තිබු බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැගීමයි. 

එසේම 2001 – 2004 කාලයේ ඔහු මේ රටේ අගමැති ධූරය දරමින් ජනවාර්ගික අර්බුධයට සාමකාමී විසදුමක් සොයන අතරම ජාත්‍යන්තරය L.T.T.E යට එරෙහිව ශක්තිමත් කොට, ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට, සාමයෙන් විසදා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසදා ගැනීම සදහා වූ අගමැතිවරයාගේ කැපවීම, අනගිබවනීය බව මාගේ හැගීමයි. එසේම 2015 ජනවාරි 8 වනදා පරාජය කරන ලද රාජපක්ෂවාදී දරුණු රෙජීමය පරාජය කිරීමට තම පක්ෂයත්, රටත් පොළඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් අද බිහිවී තිබේ. එසේම මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින සංවර්ධන වැඩසටහන් හා සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම පාහේ ඔහුගේ දාර්ශනික මතවාදය මත පදනම් වුවා වෙති.

අගමැතිවරයා සතුව විශාල ව්‍යවස්ථාපිත බලතල නොමැතිවුවද ජනාධිපතිවරයා හා සහයෝගයෙන් සමහරක් විට එතුමන්ගේ මාරාන්තික විරෝදය මතින් රටේ ආර්ථිකයේත්, සමාජයේත්, දේශපාලන ක්ෂේත්‍රයේත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දරණ උත්සහයට රටේ ප්‍රතිගාමී බලවේග මගින් විශාල විරෝධයක් හා වෛරයක් එල්ල කරනු ලැබුවද ඒ දහසකුත් බාධක මැද එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් නියෝජනය කරනු ලබන, සෑමදෙනාටම ප්‍රතිලාභ ලැබෙන සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට ඔහුගේ ඇති කැපවීම අගය කළ යුතුය. නමුත් මෙරට සම්ප්‍රදායික මාධ්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කරනු ලබන මාධ්‍ය ප්‍රහාරය මේ රටේ ඉදිරි ගමන ප්‍රාර්ථනා නොකරනවුන්ගේ කොන්ත්‍රාත්තුවක් බව මාගේ හැගීමයි. එබැවින් අප අදිටන් කරගත යුත්තේ රනිල් වික්‍රමසිංහට අවස්ථාවක් දියයුතු බවයි. 

කුවේණිය විසින් ජාතිය ගොඩනගා ලංකාවේ පළවෙනි විධිමත් ජාතික රාජ්‍යය ගොඩනැගීමෙන් පසු අප කවුරුත් දන්නා පරිදි කුවේණියගේ ඉරණම වූයේ පළවා හැරීමයි. එසේම ඇය තම ඥාතී සමූහයා විසින්ම විනාශ කර දැමීමේ ඉරණමට ලක්විය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්ද එය එසේමය. එවන් ජාතියක් වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අනේකවිධ දුක්ඛ දෝමනස්නයන් විදි දේශපාලන නායකයෙකු වන ඔහුට, ඔහු ඉල්ලා සිටින කාලය අප ලබා දිය යුතුය. රට ජයග්‍රහණය අත්කරගත් පසු විජය කුමාරයා කුවේණිය පන්නා දැමුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමුවද කමක් නැත. වඩා වැදගත් වන්නේ රට අද ඉන්නා තත්ත්වයෙන් ගොඩ ඒමය. එබැවින් මේ වසරේ ඉතාම නුදුරුව පැමිණීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහු නැවතත් මේ රටේ ජනවරම ඉල්ලා සිටිනු ඇත. එය ලබාදෙනවාද නැද්ද යන්න මෙරට ජනතාවගේ තීරණයකි. එය කුමක් වුවත් රනිල් යනු මෙම රටේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකම නායකයාය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.