26 April, 2024

Blog

අකිල මේ පාරත් පාස්ද?

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූවා. මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල දැකිය හැකි විශේෂ ලක්ෂණය නම් රට පුරා ඇති සියලුම පාසල් වල උසස් පෙළ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතර සම සමව ප්‍රතිඵල බෙදී යාමයි. මීට වසර කිහිපයකට පෙර, දශක ගණනාවක් පසුපසට උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කළ විට පෙනී ගිය කාරණයක් නම් විශ්ව විද්‍යාල වරප්‍රසාද ලබාගනු ලැබුවේ හෝ උසස් පෙළින් වැඩිම ලකුණු ලබාගනු ලැබුවේ කොළඹ හා තදාසන්න නගරවල වරප්‍රසාධිත පාසල්ය. උදාහරණයක් ලෙස ගතහොත් පසුගිය දශක ගණනාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබුවේ කොළඹ ප්‍රධාන පාසල් තුන හතරකුත්, කුරුණෑගල හෝ තදාසන්න නගරවල ප්‍රධාන පාසලුත්, අනුරාධපුරය, මහනුවර, මාතර, ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රධාන නගරවල පිහිටි පාසල්වල සිසු සිසුවියන්ය. එනම් අප කුලකයක් ලෙස ගතහොත් රට පුරා පිහිටි ජනප්‍රිය පාසල් දෙසීයකටත් වඩා අඩු සංඛ්‍යාවකින් උසස් පෙළ ප්‍රතිඵල තබා ළමුන් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබුවේය. නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී රට පුරා ඇති ප්‍රධාන පාසල් වල ළමයින් පමණක් නොව ඈත ගම් දනව් වල පාසල් වලින්ද උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලබා විශ්ව විද්‍යාලයට සිසු සිසුවියන් තේරී තිබේ. උදාහරණයක් ලෙස බණ්ඩාරවෙල දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි හුරුකුඩේ සාරිපුත්‍ර විද්‍යාලය දශක ගණනාවකට පසු මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුවියකට විශ්ව විද්‍යාල වරම් ලබා දී ඇත. එමෙන්ම රත්නපුරය වැනි අධ්‍යාපනය සදහා වැඩි නැඹුරුවක් නොදැක්වූ දිස්ත්‍රික්ක වල සිසු සිසුවියන්ද මෙවර ඉතා ඉහළ ප්‍රතිඵල ලබා දී තිබේ. එහිදී ඈත උතුරේ යාපනය මෙන්ම, මෑත දකුණේ මාතරද උසස් පෙළින් ඉහළම ප්‍රතිඵල ලබා ගනිමින් කොළඹ පාසල් පරදවා තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුව නම් එය වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද කැඩපතයි.

වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් අතර තමා නිවැරදි යැයි කල්පනා කරනු ලබන තීන්දූ දැඩි ලෙස ක්‍රියාත්මක කරන, එමෙන්ම එම තීන්දු වෙනුවෙන් තදින් පෙනී සිටින, එසේම එම තීන්දූ ක්‍රියාත්මක කිරීමට යාමෙන් තමන්ගේ දේශපාලන අනාගතයම අවධානමකට හා සූදුවකට යොදවන තරුණ ඇමතිවරයෙකි. ඔහුගේ රාජ්‍ය පරිපාන ක්‍රියාවලිය හා දේශපාලන ක්‍රියාවලිය එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිත් භීතියට පත් කරමින්, ශරීරයන්හී හිරිගඩු නන්වයි. මන්ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේ එතරම්ම ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගණනාවක් ගත් අතර ඒවා තීරණාත්මක ලෙස ලංකාවේ අධ්‍යාපනය වෙනස් කළේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරණු ලබන ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය, රටේ ජනප්‍රිය පාසල් මිත්‍යාවෙන් මිදීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද සාධනීයම වැඩසටහනයි. රටේ ජනප්‍රිය පාසල් කිහිපයක් වෙනුවට ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ රට පුරාම පාසල් ප්‍රතිඵල පෙන්වීම ආරම්භ කොට තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල වලින් පෙන්වා දෙන්නේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ සාර්ථකත්වයයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය මගින් රටේ දරුවන්ගේ සෞඛ්‍ය රැකගන්නා අතරම පාසල් 3600 ක් සදහා ක්‍රීඩා පුහුණුකරුවන් බදවාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. දශකයකට පමණ පසු විධිමත් ක්‍රමවේදයක් මගින් තරුණ විදුහල්පතිවරුන් 5000 ක් බදවාගෙන ඔවුන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදෙමින් අවවරප්‍රසාධිත පාසල් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයට නව නිලධාරීන් 800 ක් බදවාගෙන එම සේවය සක්‍රීයව අධ්‍යාපනයේ සංවර්ධනයට යොදාගෙන ඇති අතර පාසල් තුල භෞතික සංවර්ධනය සදහා පළාත් සභා හා ඒකාබද්ධව විශාල වශයෙන් ප්‍රතිපාදන යොදවා වැඩසටහන් ආරම්භ කර තිබේ. ඒවා මගින් නව විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පරිගණක අංශ, ක්‍රීඩා පිටි හා නාට්‍ය ශාලා රට පුරා පාසල් වල ඉදිවෙමින් තිබේ. අවිධිමත්ව මාෆියා ග්‍රහණයකට හසුව තිබූ ගුරු මාරුවීම් ක්‍රමවේදය දේශපාලන බලපෑම්වලින් තොරව විධිමත්, වඩාත් සාධාරණ තත්ත්වයකට ගෙනැවිත් ඇත. මෙකී නොකී සියලුම කාරණා අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සිදුකර ඇති ප්‍රධානතම හා තීරණාත්මකම කාරණය වන්නේ පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ අවිධිමත් ක්‍රමවේදයන්ට තදින් ක්‍රියා කොට පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමට බලවතුන්ට තිබූ හැකියාව නැත්තට නැතිකොට තිබීමයි. එමගින් රටේ සියලුම පාසල් වලට ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර සෑම පාසලක්ම වරප්‍රසාධිත ජනප්‍රිය පාසලක් බවට පත්වී තිබේ. ළගම පාසල හොදම පාසල යනු යැයි, එනම් තමන්ට ළගම පාසල හොදම පාසල බවට පත්වීමයි.

රාජ්‍ය පරිපාලනය විෂයෙහි විශාරදයෙක් බවට අකිල ඇමැති වරයා පත්වෙමින් තිබේ. දැනටමත් ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීමේදී අකිල ඇමැතිවරයා දක්වන සාමාර්ථය දැක්වීමට බොහෝ අය අසමත් වී ඇත්තේ ඔවුන්ගේ කාලය, හැකියාවන්ගේ හා සබඳතාවයේ ඇති නොගැලපෙන බවත්, නිවැරදි නිලධාරීන් තෝරාගැනීමට ඇති නොහැකියාවත් නිසාවෙනි. එම නිසාම බොහෝ දෙනා නිලධාරීන්ගේ ලණු වළදද්දී, අකිල ඇමැතිවරයා යකුන්ගෙන් වැඩ ගනී. එබැවින් අකිල අධ්‍යාපන ඇමතිතුමා නැවතත් පාස්වී තිබේ. මේ අනුව කිව හැක්කේ රටේ විකෘතියක්ව තිබූ අධ්‍යාපන ක්‍රමවේදය සීඝ්‍රයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි. විශේෂයෙන් අධ්‍යාපනයේ ව්‍යුහගත වෙනස්කම් මෙන්ම විෂයමාලා සංවර්ධනයේදී හා ප්‍රතිසංස්කරණ වලදී ආණ්ඩුව පෙන්වා ඇති සමත් බව මේ රටේ අනාගත පරපුරට සුභදායක බලාපොරොත්තුවක් ඇතිකොට තිබේ.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ තිබිය යුතු අනිවාර්ය පොරොන්දුවක් වූයේ සැමට සමාන, නව ලොවට ගැලපෙන අධ්‍යාපනයක් රටේ සියලුම දරු දැරියන්ට සුරක්ෂිත කරවීමයි. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ A සාමාර්ථයක් අධ්‍යාපන අමාත්‍යංශයටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලටත් ලැබී තිබේ. එම A සාමාර්ථයෙන් විශාල කොටසක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තරුණ ඇමතිවරයාට හිමිවිය යුතු යැයි මට සිතේ.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Thishara: YOu are govt employee. why doe snot this amount to abuse of the office by politicians. They are using govt resources to promote themselves. Only answer is Sri lanka a lawless country. this kind os corrupt politicians never should become Sri lankan leaders.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.