20 May, 2019

Blog

කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප‍්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය

ආචාර්ය තිලක් සියඹලාපිටිය –

වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප‍්‍රවර්ධනය කිරීමට නොව, ඝාතනය කිරීමට ගත් තීන්දුවකි. යම් ව්‍යාපෘතියක් ඝාතනය කිරීමට ගත් තීන්දුවක් වුව, අඩු වශයෙන් අර්ධ වශයෙන්වත් වෙනත් ආකාරයකින් අර්ථවත් වීමට තිබුණි. ඒ, ගෑස් ආනයන පර්යන්තයක් සහ ගෑස් විදුලි බලාගාරයක් ගොඩනැගීම සඳහා වන විධිමත් ප‍්‍රයත්නයක් ඒ හා සමගම මේ නායකයන් දෙන්නා දියත් කෙළේ නම් ය. එහෙත් එවැන්නක් සිදු නොවීය.

2016 මැයි 15 වැනි දා, රජයේ පුවත්පතක් ‘සාඩම්බරයෙන්’ මෙසේ සඳහන් කොට තිබුණි: ‘සාම්පූර් පැත්තකට දැමේ: ගල් අඟුරු බලාගාර ඉවරයි’. ඉන් අනතුරුව අදාළ කාරණය මෙසේ විස්තර කොට තිබුණි: ‘‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ තීරණ කිහිපයක් ගෙන තිබේ. ඉන් එකක් වන්නේ, ගල්අඟුරු බලාගාරයක අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡුාව තුළ ගල්අඟුරු බලාගාර වෙනුවට එල්.එන්.ජී වැනි ඊට වඩා පිරිසුදු මාදිලියක් තෝරා ගැනීමයි. ඒ අනුව, මේ දක්වා කැඳවා තිබූ සියලූ ටෙන්ඩර් ඇතුළු ඊට අදාළ සියලූ කටයුතු අත්හිටුවීමට ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ තීරණය කෙළේය.’

ඉහත සඳහන් ප‍්‍රකාශය තුළ අඩංගු තාක්ෂණික දෝෂ කිහිපයක් දෙස බලන විට, එය ලියා ඇත්තේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති කෙනෙකු නොව, දේශපාලඥයෙකු බව පැහැදිලි ය. කෙසේ වෙතත්, අවශ්‍ය අභිමතාර්ථය සාධනය කරගෙන තිබේ. ඊට මාස කිහිපයකට කලින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සාම්පූර් බලාගාර ව්‍යපෘතිය කරගෙන යාම පවරා තිබූ නියෝජ්‍ය ඇමතිවරයා පසුව කී පරිදි එම තීරණය ඔහුගේ ඇසට කඳුළු නංවන්නක් වී ඇත.

ඉහත කී තීරණය බොහෝ දෙනෙකුට ඉමහත් සතුටක් ගෙන දෙන්නට ඇතිවාට සැක නැත. (අ) ‘ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ’ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට, (ආ) ගල්අඟුරු බලාගාර විරෝධී කඳවුරට සහ (ඇ) ඞීසල් බලශක්ති යන්ත්‍රෝපකරණ සැපයීමට ඇස ගසාගෙන සිටියවුන්ට එම තීරණය සතුටට කාරණයක් වූවාට සැක නැත.

මේ සාම්පූර් විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳ කිසිවක් නොදන්නා මහජනතාවත්, රටේ තිබූ එකම ගල්අඟුරු බලාගාරයත් ඒ වන විට විටින්විට අඩපණ වීම නිසා ඇති පින්තාරු කෙරෙමින් තිබූ නරක චිත‍්‍රය ඉදිරියේ මේ තීරණය ගැන සතුටු වන්නට ඇත. එක ගල්අඟුරු බලාගාරයක් මේ වගේ නම්, තවත් එවැනි ගල්අඟුරු බලාගාරයක් කුමටද යන ප‍්‍රශ්නය ජනතාවගේ හිත් තුළ ඇති වන්නට ඇත. ඒ සියල්ලන්ටමත් වඩා, සාම්පූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පරිසර හානියක් වළක්වා ගත හැකි විණැයි සතුටු වන්නට ඇත. විදුලිබල ජනනය ගැන ඉංජිනේරුවන්ට, ආර්ථික විද්‍යාඥයන්ට සහ විද්‍යාඥයන්ට වඩා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කරුණු කාරණා දන්නා බවක් පෙනෙන්ට තිබෙන්නේ, ඔවුන් දෙන්නා තමන්ගේම වන තනි සාකච්ඡා මාර්ගයෙන් මේ විෂය පිළිබඳ තීරණ ගෙන ඇති නිසා ය. රට ගැන, ජනතාව ගැන සහ විදුලි බල සම්පාදනය ගැන ඔවුන්ගේ තැකීම මොන තරම්දැ යි එයින් පෙන්නුම් කෙරේ.

මේ විදිහේම ප‍්‍රකාශ අප ඊට ඉහතදීත් අසා තිබේ. දැක තිබේ. ඒ, මේ කියන එකම පුද්ගලයන්, බලශක්ති අමාත්‍යාංශයේ නොව, ආණ්ඩුවේ විවිධාකාර අස්පෂ්ට ‘කමිටුවල’ සාමාජිකයන් වශයෙන් සිටියදී ය. ඒ අතීත සිදුවීම් කිහිපයක් මෙසේ ය:

1992 – ‘මාවැල්ල ගල්අඟුරු බලාගාරය පිළිබඳ ඉදිරි කටයුතුවලින් වැළැකී සිටින්නැයි ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන ලෙස ගරු ජනාධිපතිවරයා මට දැනුම් දී තිබේ.’ ජනාධිපති ලේකම්වරයා ලංකා විදුලිබල මණ්ඩලයට ලියමින් කියා සිටියේය. ඒ මොහොතේ ‘බලශක්ති කමිටුව’ භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් රැුස්වෙමින් සිටියේය. මෙහිදී, ඉංජිනේරුවන් නොව, අදාළ කාරණය තීරණය කෙළේ ජනාධිපතිවරයා ය.

2002 – ජපාන තානාපතිවරයාව සිය නිවෙසට කැඳවූ අගමැතිවරයා, කලින් පැවති ආණ්ඩුවත්, වර්තමාන ආණ්ඩුවත් විදුලිබල මණ්ඩලය විසින් නොමග යවා ඇති බව කියමින්, නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය අවලංගු කර දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව කියා සිටියේය. මේ මොහොතේ ඒ පිටුපස සිටියේ ‘බලශක්ති සැපයුම් කමිටුව’ නැමැති පිරිසකි. මෙහිදී, ඉංජිනේරුවන් නොව, කාරණය තීරණය කෙළේ අගමැතිවරයා ය.

2016 – ඉහත සඳහන් 1992 දී සහ 2002 දී සිටි පුද්ගලයන්ම මෙහිදීත් විවිධ සැක කටයුතු කමිටුවල වාඩි වෙමින්, විදුලිබල සැපයුම් පද්ධතිය ගෙන යා යුත්තේ කෙසේද යන්න ගැන අමාත්‍යාංශයට නියෝග දුනි. මේ හැම විටකම, ඔවුහූ අවාසනාවන්ත අන්දමින් රටේ අපේක්ෂා කඩ කළෝය. මෙවර අදාළ කමිටුව හැඳින්වුණේ ‘ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ යන නමිනි.

මේ අන්දමින්, පරණ ‘සම්ප‍්‍රදායම’ ගෙන යමින්, නියෝජ්‍ය ඇමතිවරයාගේ ඇසට කඳුළු ඉනූ තීරණයෙන් පසු, අගමැතිවරයා තවත් ‘කමිටුවක්’ පත්කෙළේය. එක පුද්ගලයෙකු හැරුණු කොට එහි සිටි වෙන කිසි සාමාජිකයෙකුට විද්‍යුත් බලශක්ති පද්ධති පිළිබඳ මෙලෝ අත්දැකීමක් තිබුණේ නැත. මේ කමිටුවේ වාර්තාව, බලාපොරොත්තු වූ නිගමනයටම එමින් එළිදැක්කේය. ‘‘ගෑස් බලශක්ති බලාගාර පිහිටුවන්න. සාම්පූර් ඉවතලන්න.’’ තීරණයක් ගැනීමෙන් පසු පිහිටුවන ‘කමිටුවකින්’ ඊට වෙනස් තීරණයක් කෙසේ නම් බලාපොරොත්තු වන්නද?

බැඳුම්කර වාර්තාව අභියෝගයට ලක්වුවද, මේ කමිටු වාර්තාවේ නිර්දේශ අභියෝගයට ලක්වූයේ නැත. ඒ කමිටු වාර්තාවට වැඩි ප‍්‍රසිද්ධියක් දුන්නේද නැත. කොරේ පිටට මරේ කීවා සේ, ජනාධිපතිවරයා විසින් පසුව මේ ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ විසුරුවා හරින ලදි. දැන් තවත් කමිටුවක් තිබේ. ඒ, ‘ජාතික ආර්ථික කවුන්සිලයයි’. එසේ වන විට, බලශක්ති අංශය තුළ ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ ඇති කළ අවුලට දැන් වගකියන්නේ කවුද?

බලශක්ති අංශය මරා දැමුවේ කවුද?

ඉතිං, විදුලිබල සැපයුම් කර්මාන්තය ඝාතනය කළෝ කවරහුද? ජනාධිපතිවරයා කියන්නේ තමා නොවන බවයි. ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ හෝ අභ්‍යන්තර කමිටුව හෝ ඊට අදාළ වෙනත් ඉතුරුබිතුරු කියන්නේ තමන් තවදුරටත් නොපවතින බවයි. මේ අවුල සිදුකෙළේ ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ බව බලශක්ති අමාත්‍යාංශය කියයි. විදුලිබල අමාත්‍යාංශය කියන්නේ, තමන් එය නොකළ බවයි. ‘ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම’ කියන්නේ, බලාගාර නසා දැමීම ‘ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක්’ බවයි. එහෙත් තමා එවැන්නක් නොකී බව කියන ජනාධිපතිවරයා එය ‘ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය’ නොවූ බව කියයි.

මේ අනුව, විදුලිබල ජනනය කිරීමේ කටයුත්ත දැන් ගමන් කරන්නේ කඩාකප්පල්කාරීන්ට අවශ්‍ය කළ මාවත දිසාවට ය. පැත්තකට දමා තිබු ඉන්ධන බලාගාර යළි පිළිසකර කොට ගනිමින් තිබේ. විවිධ සමාගම් එක ඉන්ධන බලාගාරයකට වඩා තවත් එකක මිල අධික වන්නේ කෙසේදැයි කියමින් වාර්තා ඉදිරිපත් කරන්නේය. ‘ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම’ ඉන්ධන බලාගාර පිළිබඳ කොන්ත‍්‍රාත් අනුමත නොකරයි. මේ ඉන්ධන බලාගාර පිළිබඳ චෝදනා සහ ප‍්‍රතිචෝදනා රාශියකි. කෙසේ වෙතත්, අවසානයේදී යෙදවෙන්නේ ඉන්ධන ය. තව තවත් ඉන්ධන ය. මේ වසර අවසානයේ මැතිවරණ පැවැත්වීමට නියමිත නිසා මේ දිනවල ඇති වන විදුලි බලය කපා හැරීම් වැළැක්වීම සඳහා හදිසි අවශ්‍යතා පදනම මත තව තවත් ඉන්ධන බලශක්ති පරියන්ත‍්‍ර මිලදී ගැනීමට සිදුවෙයි. එවැනි හදිසි අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන ප‍්‍රසම්පාදන කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලබන අතර, ‘ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම’ හැරෙන තැපෑලෙන්ම අනුමත කරනු ඇත.

මෙය මතක තබාගන්න: 2019 සහ 2020 යන වසරවල මෙවැනි ‘හදිසි බලශක්ති අවශ්‍යතා’ රාශියක් උද්ගත වනු ඇත. බලශක්ති ප‍්‍රසම්පාදන බලයද ඉතා හොඳ එකකි. එහෙත් ඒ, විදුලි පාරිභෝගිකයාට හෝ බදු ගෙවන්නාට හෝ නොව, තීරණ ගන්නා තැනැත්තාට ය.

*මේ ලිපියේ ඉතිරි කොටස හෙට බලාපොරොත්තු වන්න….

2019 මාර්තු 24 වැනි දා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ  “Electricity Generation Moving as Planned by Saboteurs” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.