
තිස්ස ජයතිලක
අපේ කාලය ගත්විට, පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලය, සිසුන් විශාල පිරිසක් නොගැවසුන නේවාසික සරසවියකි. ඒ නිසාම, එහි සිටි අප සෑම කෙනෙක් ම අනෙක් සියල්ලන්ම මෙන් දැන සිටියෙමු. එසේත් නැත්නම්, අවම වශයෙන් අප සමඟ වූ බොහෝ දෙනා දැන සිටියෙමු.
පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය විජය කුමාර් එසේ නැත්නම් අප විසින් ඔහුව ආදරයෙන් හඳුන්වන ලද පරිදි ‘කුමාර්’ ගැන මම අසා තිබුනේ පසු කාලයෙහි ඔහු හමුව දැන හැඳුනුම්කම් ඇති වීමටත් පෙර පටන් ය. රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් වූ ඔහුගේ ආදරණීය බිරිඳ සාවිත්‍රි, ඔවුන්ගේ සමහර සිසුන් විසින් සුහද නමින් අමතන ලද්දේ ‘කුමී’ යන ආදරණීය හැඳින්වීමෙනි. සහෘදයන්ට ඔවුන් දෙදෙනා ආදරණීය ‘කුමාර්’ සහ ‘කුමී’ වූහ.

සම්මානිත මහාචාර්ය විජය කුමාර්
පේරාදෙණියේ විද්‍යා පීඨය මම නිතර ගැවසෙන සුළු ස්ථානයක් බවට පත් වුනේ මහාචාර්ය මහේෂ්වරන් විසින් පවත්වනු ලබන මූලික ගණිතය පිළිබඳ දේශනවලට සහභාගී වීමට මගේ වසරේ සිසුන් පිරිසක් ද සමඟ එහි යාම ඊම හේතුවෙනි. මහාචාර්ය මහේෂ්වරන්ගේ දේශන සඳහා මම සහභාගී වුනේ ගණිතය විෂය සඳහා සාමාර්ථයක් ලැබීම අපගේ කලා යෝග්‍යතා පරීක්ෂණයේ අවශ්‍යතාවයක් වූ බැවිනි. විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ එකල සංවිධානය කර තිබුන “Popular Science Gossip” නම් වැඩසටහනක් යටතේ පැවැත්වුන විශිෂ්ට දේශන මාලාවකට සවන් දීමට ද මම සහභාගී වී ඇත. එදා එහි පැවැත්වුන එම දේශන හුදෙක් විද්‍යාවට පමණක් සීමා නොවූ අතර, ඒවා සාහිත්‍යය, ඉතිහාසය සහ කලාව වැනි වෙනත් අංශ ද ඇතුළත් පුළුල් දැනුම් පරාශයක් කරා විහිද ගිය ඒවා විය. එම දේශනවලට සවන් දෙන්නෙන් අතර කුමාර් ද සිටිනු මම බොහෝ විට දැක ඇත. නැත්නම්, විද්‍යා පීඨයේ කොරිඩෝවලදී ඔහු මගේ නෙත ගැටෙයි. එහෙත් මට කුමාර් පෞද්ගලිකව දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ මම උපාධි අපේක්ෂක කාලය තුළ නේවාසිකව සිටි අරුණාචලම් ශාලාවේ ශාලාධිපති (Warden) බවට ඔහු පත්වීමෙන් සහ පසුව මා ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්වීම් ලැබීමෙන් අනතුරුව ය.
විශේෂයෙන් ම විද්‍යා පීඨයට අතේ දුරින් පිහිටි අපගේ ‘වාසභවන’ වූ අරුනාචලම් ශාලාවේ සහ අසල්වැසි ජයතිලක ශාලාවේ ලැගුම්ගත් සිසු සගයන් ද ඇතුළුව අපට සමකාලීන විද්‍යා පීඨ උපාධි අපේක්ෂකයෝ තම ගුරුවරුන් වූ කුමාර් සහ සෙසු කථිකාචාර්යවරුන් ඇතුලත් කරමින් ගොතන ලද බොහෝ රස කථා (anecdotes) රස විඳීම විනෝදයක් ගෙන දුන්නේය. එයින් එක කතන්දරයක් ගොතා තිබුනේ කුමාර් ගේ විශ්මයජනක රිය පැදවීමක් සම්බන්ධයෙනි. කුමාර් ‘පසු පැදවීමේ ගියරයේ’ (reverse gear) සිටිමින් සිය සරසවි බංගලාවේ සිට විද්‍යා පීඨයට රිය පැදවීමේ වික්‍රමයක් එම රස කතාවට ඇතුළත් විය. එම කතාව ආරංචි වූ කුමාර් එය ඔහුගේ ජීවිත කාලය තුළ ඇසූ ලොකුම රස කතාවලින් (yarns) එකක් යයි පසුව ඇතැමෙක් තම වෘත්තීය සගයන් බවට ද පත් වූ එවකට ඔහුගේ මිතුරු සිසුන් සමඟ පවසා තිබුණි.
සියලු වෘත්තීය සහ පරිපාලන අන්තර්ක්‍රියා වලදී කුමාර් විශ්ව විද්‍යාල ප්‍රජාවේ අනෙකුත් අය සමඟ උනන්දුවෙන් සහ මිත්‍රශීලීව කටයුතු කළ බව ඔහු මෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඔහුගේ සමකාලීන තරුණ සගයන්ව සිටි කීපදෙනෙක් මා සමඟ සඳහන් කර ඇත. නමුත් ශිෂ්‍ය ‘නවකවධය’ (ragging) නම් වූ අශෝභන විනෝදාංශයේ නියැලුණු පුද්ගලයන් කෙරෙහි ඔහු තුළ කිසිදු සුහදතාවක් හෝ අනුකම්පාවක් නොවුණි. කුමාර් සියලු නවක සිසුන් සඳහා ‘නවකවධ’ තර්ජනයෙන් තොර පරිසරයක් සහතික කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රබල ලෙස යෝජනා කළ අයෙකි. ‘නවකවධ’ සමයේදී ඔහු ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැඩි අවධානයකින් පසු විය. කුමාර් ‘නවකවධය’ දෙන්නන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලා ගැනීමේ අවස්ථා පිළිබඳ කථා තිබේ. පසුව සමීප මිතුරෙකු බවට පත් වූ සහ අඩ සියවසකට වැඩි කාලයක් ගතව ඇතත් අදත් නොවෙනස්ව සිටින මහාචාර්ය මහේෂ්වරන් ද, ‘නවකවධකයන්ට’ දැඩි ලෙස විරුද්ධ වූ තවත් විද්වතෙකි. නවකවධය දීමේ නිරතවෙන පුද්ගලයකු අල්ලා ගැනීම සඳහා මහේෂ්වරන් ප්‍රධාන පුස්තකාලයේ පඩිපෙළ දිගේ ඉහළට සහ පහළට එම තැනැත්තා ලුහුබැඳ යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මම පෞද්ගලික සාක්ෂිකරුවෙකු වීමි.
විද්‍යා පීඨයේ කුමාර්ගේ කාර්යාල කාමරය සෑම විටම පිළිවෙලකට නො පැවැති බව ඔහුගේ ශිෂ්‍යයෙක් සඳහන් කර ඇත. මේස මත පොත් පත් සහ ලිපි ලේඛන කඳු ගැසී තිබුනේ කුමාර් ඔහුගේ මේසය අසල අසුන්ගෙන සිටිනු පහසුවෙන් දැකගත නොහැකි තරම් උසටය. එහෙත් අරුමය නම්, ඔහුට ඕනෑම වේලාවක අවශ්‍ය ඕනෑම ලියවිල්ලක් පහසුවෙන් තෝරා ගැනීමේ සුහුරුබවක් තිබීම ය. ඔහුගේ මේසය පිරිසිදු කිරීමට උදව් කිරීමට යමෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවහොත්, කුමාර් ස්ථිර ලෙස ප්‍රතිචාර දක්වන්නේ “මගේ මේසයට අත නොතබන්න!” යනුවෙනි.
වෙනත් පීඨවලට අයත් වූවන් ද ඇතුළුව කුමාර්ගේ වෘත්තීය සගයන් කීප දෙනෙකුට මෙන්, ඔහුටද ආවේණික වූ ඇතැම් විකාරරූපී ගති ලක්ෂණ ද තිබුණි. විශ්වාසදායක මූලාශ්‍රවලින් ලැබුණු තොරතුරුවලට අනුව, කාබනික රසායන විද්‍යාව (Organic Chemistry) ඉගැන්වූ කුමාර්, ඔහුගේ දේශනවලට අදාළ සටහන් ඔහුගේ කමිසය තුළ හෝ කලිසම් සාක්කුවක බහා රැගෙන ගියේ, ‘සමස්ත දේශනය ම කඩදාසි ඉරුවක හෝ කඩදාසි ඉරු භාගයක සංක්ෂිප්තව සටහන් කර’ ගනිමිනි. ඒ අතරම, තවත් යමක් සොයා ගැනීමට අවශ්‍ය විටෙක කුමාර් කට දක්වා ලට්ට ලොට්ට පිරුණ තම උරහිස් මල්ල අවුස්සන ආකාරය සිසුන් විනෝදයට පත් කළ තවත් දසුනකි.
කුමාර්, රාජකීය සහ ශාන්ත තෝමස් විදුහල් දෙකෙහි එකමුතු නිර්මාණයක් වීම සිත්ගන්නා කරුණකි. කොල්ලුපිටියේ ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහලින් මූලික අධ්‍යාපනය ලද කුමාර්ගේ සම්පූර්ණ ද්විතීයික අධ්‍යාපනය 1953 දී ඔහු ඇතුළත් වූ රාජකීය විද්‍යාලයෙන් ලබා ගත්තේය. කුමාර් විසින්ම ලියන ලද සටහනක දැක්වෙන පරිදි, විශිෂ්ට ගුරුවරුන් සිටිය ද, ඔහුගේ රාජකීය පාසල් ජීවිතය සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කරන ලද අවධියක් නොවුණි. “මට පුරසාරම් දෙඩවිය හැකි එකම ජයග්‍රහණය සාමාන්‍ය දැනුම සඳහා පිරිනැමෙන පාසල් ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා වීම පමණක් යයි” ඔහු වැඩි දුරටත් පවසයි. කෙසේ වෙතත්, ඔහු පාසලෙන් පිටත දිවියෙහි බාලදක්ෂ කණ්ඩායමක ක්‍රියාකාරීව කටයුතු කළේය. පසුව ඔහු එම සාමුද්‍රික බාලදක්ෂ සංවිධානයේ සහකාර ප්‍රධානියා බවට පත්විය.
1961 දී පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූ කුමාර් 1965 දී රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් දිනා ගත්තේය. අනතුරුව,එම වසරේදී ම එම විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එක් වූ තරුණ විද්‍යාර්ථියා ඊළඟ වසරේ දී එනම් 1966 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මැග්ඩලන් කොලීජියට (Magdalen College) ඇතුළත්ව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. වෘත්තීය වශයෙන් කුමාර් ගේ සමස්ත ගුරු ජීවිතය පේරාදෙණිය සරසවියට සීමා වූ අතර, 2003-2006 කාලය තුළ ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති පදවියෙහි කටයුතු කළේය. ඉන් දශක කීපයකට පෙර ඔහුගේ නැසීගිය මාමණ්ඩිය විසින් ද එම පදවිය දරනු ලැබ ඇත.
ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් කැපී පෙනෙන අවස්ථා අතර කාර්මික තාක්ෂණ ආයතනයේ (කලින් ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය, CISIR) සභාපති; 1999 සිට 2007 දක්වා ජිනීවා නගරය මූලස්ථානය කරගත් එක්සත් ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සාමාජික (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) සහ 2001-2003 දක්වා එහි සභාපති; 1989 සිට ශ්‍රී ලංකා වතු කම්කරු සංගමයේ සභාපති; 1988 සිට 2014 දක්වා ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ වර්තමානයේ පාලක ජාතික ජන බලවේගයේ (NPP) විධායක කමිටුවේ සාමාජිකයකු වීම ආදිය සඳහන් කළ හැකිය.
විජය සහ ඔහුගේ බිරිඳ සාවිත්‍රි කුමාර්, ෂාමලා (Shamal) සහ රම්‍යා (Ramya) දියණියන්ගේ දෙමව්පියෝ වෙති. දියණියන් දෙදෙනා ද ඔවුන්ගේ දෙමව්පියන් අඩිපාරේ ගමන් ගනිමින් සිටින අතර, ඔවුන්ගෙන් පළමුවැන්නා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ දෙවැන්නිය යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටිති.
(මෙම කෙටි රචනය ලිවීමේ දී සහාය වූ බන්දුල වර්ණකුලසූරිය, සම්මානිත මහාචාර්ය රත්නායක බණ්ඩාර, මහාචාර්ය මහින්ද වික්‍රමරත්න, මහාචාර්ය ස්වර්ණා විමලසිරි සහ මණික් ද සිල්වා යන විද්වතුන්ට ලේඛකයාගේ ස්තුතිය පිරිනැමෙයි.)
* කර්තෘ සටහන: ජාතික ජන බලවේගයේ(NPP) ජාතික විධායක කමිටු සාමාජිකයෙකු සහ තවමත් සක්‍රීය දේශපාලනයේ නිරත ක්‍රියාධරයකු වන මහාචාර්ය විජය කුමාර්ට පසුගිය දා වයස අවුරුදු 84 ක් සම්පූර්ණ විය. එක්සත් ජනපදයේ – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් අන්‍යෝන්‍ය අධ්‍යයන හුවමාරු කොමිසමේ (Sri Lanka Fulbright Commission for Mutual Academic Exchange) හිටපු විධායක අධ්‍යක්ෂ තිස්ස ජයතිලකගේ මෙම ලිපිය, මහාචාර්ය කුමාර්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් විසින් ඉදිරියේදී පළ කිරීමට නියමිත ලිපි එකතුවක් වෙනුවෙන් රචිතය.
සිංහල පරිවර්තනය; උපාලි ගජනායක – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථි