

උපාලි ගජනායක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තිබුනත් ආගමික නායකයන්ගේ හෝ ආගමික මූලස්ථානවල නිර්දේශ අනුව පාලනය කෙරෙන රටවල් රැසක් අදත් පවතී. සමහරක් රාජ්‍යයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික මූලධර්ම නීතිගත කරමින් ආගමික පාලනය මූලික නීතිය යටතට ගෙනෙනු ලැබ ඇත. මුල්ලාවරුන්, සුල්තාන්වරුන් එසේත් නැත්නම් අයටොල්ලාහ්වරයකු වැනි නායකයකු යටතේ පාලනය කෙරෙන එවැනි ආගමික මූලධර්මවාදී සමාජයන්හි ප්‍රජාතන්ත්‍රීය සමාජයක දක්නට ලැබෙන නිදහස සහ මානව හිමිකම්, ඇතුළු සාරධර්මයන්ට අත්වෙන ඛේදජනක ඉරණම කුමක්ද යන්න සම්බන්ධයෙන් දිනපතාම මෙන් තොරතුරු වාර්තා වෙමින් පවතී.
ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේත් ආගම රාජ්‍යත්වය කෙරෙහි අසීමිත බලපෑමක් ඇති කරන ලද බවට සමහර ඉතිහාසඥයෝ සාක්ෂි සපයති. බුදුදහම රාජ්‍යපාලනය කෙරෙහි සිදුකරන ලද එම තීරණාත්මක බලපෑමට සාක්ෂි වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ මහාවංශය ඇතුළු පෞරාණික කෘතීන්ය. මෑත කාලයෙහි ආචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් ‘භික්ෂුවගේ උරුමය” නමැති ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන්නේ එම ඓතිහාසික සාක්ෂි පදනම්කර ගනිමිනි. එම ඓතිහාසික උරුමය වර්තමාන බෞද්ධ භික්ෂුව සතු බවට රාහුල හිමියෝ තර්ක කළහ.
ගරු රාහුල හිමියෝ භික්ෂුවට දේශපාලනයේ නිරතවීමට අවශ්‍යකරන න්‍යායික පසුබිම සකස්කර දුන්නා පමණක් නොව ප්‍රායෝගිකව දේශපාලන ප්‍රචාරක රැස්වීම් ඇමතීම නිසා උන්වහන්සේ ශාරීරික වශයෙන් ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරයන්ට ද ගොදුරු විය. විද්‍යාලංකාර ප්‍රකාශනය රාහුල හිමියන්ගේ ද මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කෙරුන භික්ෂු දේශපාලනය යුක්ති සහගත කෙරුණ නූතන ප්‍රකාශනයකි. එම ප්‍රකාශය සම්පාදනය කිරීමට හවුල් වූ රාහුල හිමියන් ඇතුළු කණ්ඩායමට එල්ල වූ එම ප්‍රහාරය පිටුපස සිටියේ පළමු අගමැති ඩී.එස්. සේනානායක සහ එවකට කැලණිය ඡන්ද කොට්ඨාශය නියෝජනය කළ ජේ.ආර්.ජයවර්ධන බව එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවෝ පවා ප්‍රකාශ කළහ.
රාහුල හිමියන් විසින් දොරටුව විවෘතකරනු ලැබීමත් සමඟ අතිවිශාල සංඛ්‍යාවක් භික්ෂූන් දේශපාලන වශයෙන් බෞතීස්ම වුනේ 1956 මහා මැතිවරණ සමයේදීය. 1956 මහ මැතිවරණය පැවැත්වුනේ බුද්ධ ජයන්තියත් සමඟ රටේ බෞද්ධ ප්‍රජාව අතර විශාල ප්‍රබෝධයක් ඇතිව තිබුන පරිසරයකය.දේශපාලන බලයේ වෙනසක් සිදු වූ 1956 මහ මැතිවරණයේ දී ඡන්දදායකයන් තමන්ට අවශ්‍ය ස්ථානය කරා රැගෙනයාම අතින් බෞද්ධ ජනයාගේ මගපෙන්වන්නන් හැටියට කටයුතු කිරීමේ ඉතිහාසයක් සහිත භික්ෂූන්ට අසීරු දෙයක් නොවුණි. සිංහල රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමෙන් පසුව කොන්වී සිටි බෞද්ධ භික්‍ෂූහු යළිත් පාලන තන්ත්‍රය හසුරුවනු ලැබීමේ දේශපාලන බලපත්‍රය ඔවුන්ගේ අතට ගත්හ.
බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම
1956 දී අගමැති බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ බලයට පත්කිරීම සඳහා මුල් වූ පංච මහා බලවේගයේ (සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු) ප්‍රමුඛ බලවේගය වුනේ බෞද්ධ භික්ෂු පරපුරයි.බෞද්ධ භික්ෂූන්ගේ එකී දේශපාලන සහයෝගය අගමැති බණ්ඩාරනායකට පාරාවළල්ලක් වුනේ ඔහු බලයට ගෙනඒමට මුල්වූ භික්ෂූන් කණ්ඩායමක් විසින් සිය රොස්මීඩ් නිවාස වටකරන ලද අවස්ථාවේ සුප්‍රකට ‘බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම’ ඉරාදැමීමට සිදුවීමත් සමඟය. එම ගිවිසුමේ එක් එකඟතාවක් වුනේ ප්‍රාදේශීය මට්ටමින් බලය විමධ්‍යගත කරානු ලැබීමයි.’රට සභා’ යනුවෙන් හඳුන්වන ලද එම ප්‍රාදේශීය පාලන ඒකක රටබෙදීමේ පිඹුරුපතක් හැටියට තේරුම්ගත් භික්ෂූන් කණ්ඩායමක් රොස්මීඩ් පෙදෙසේ පිහිටි අගමැති පෞද්ගලික නිවස වටකරමින් වාඩිලාගත් මොහොතේ උන්වහන්සේලා අස්වැසීම පිණිස ඔවුන් ඉදිරිපිට අගමැතිවරයාගේ අතින්ම ගිවිසුමේ කොපියක් ඉරාදමනු ලැබුණි. ශ්‍රී ලංකාව තුළ සාමකාමී බල බෙදීමක් සඳහා පැවැති ඓතිහාසික අවස්ථාවක් එමගින් මගහැරී ගියේය.
එයින් නොනැවතී අගමැති බණ්ඩාරනායකට තමා බලයට පත්කිරීමට මුල්වූ භික්ෂුවක් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවුනේ තම ජීවිතයෙන් වීම සරදමක් නොවන්නේද? අගමැතිවරයාගේ හදවත ඉලක්ක කරගනිමින් වෙඩිපහර එල්ලකරන ලද්දේ සෝමාරාම නමැති භික්ෂුවක් වුවද, ඔහුට ඒ සඳහා පුහුණුවක් ලබාදී අවියක් ද සමග රොස්මීඩ් පෙදෙසට එවන ලද්දේ කැළණිය විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත බව අගමැති ඝාතන නඩු විභාගයේ දී කියැවුනි. 1956 මහ මැතිවරණ සටනේ දී අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සම්පාදනය වුනේ බණ්ඩාරනායකගේ පෞද්ගලික වත්කම් මගින් සහ කැලණිය විහාරයේ පිංකැට හරහා බුද්ධරක්ඛිත අතපත් කාසි බව එකල ප්‍රසිද්ධ කරුණකි. ඒ සඳහා බුද්ධරක්ඛිත විසින් ඉල්ලා සිටි ආර්ථික වන්දිය ගෙවා ගැනීමට නොහැකි වූ විට අගමැති බණ්ඩාරනායකට සිදුවුනේ සිය ජීවිතයෙන් වන්දිය ගෙවීමටය.
දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත්වල ඉරණම
බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට පමණක් නොව අගමැති බණ්ඩාරනායකගේ 1958 දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට පවා එරෙහිව භික්ෂු බලවේගය ක්‍රියාත්මක විය. එවකට විපක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය එම භික්ෂූන්ගේ නැගිටීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට යාම තත්වය තවත් නරක තැනකට ගෙන ආවේය.
බෞද්ධ භික්ෂූන්ගේ එම හැසිරීම මගින් කියවෙන්නේ ඔවුන් ලංකාව බහුජාතික බහු සංස්කෘතික සමාජයක් බව පිළිගනු ලැබීමට ඔවුන් තුළ පවතින අකැමැත්තයි. ආගම සහ රාජ්‍යය අතර පැවතිය යුතු පරතරය කිසිදාක තේරුම් නොගන්නා එවැනි භික්ෂූන්ගේ ප්‍රධාන සටන්පාඨය සිංහල භාෂාව සහ බුද්ධාගම රාජ්‍යයේ ප්‍රමුඛස්ථානයේ තබා ගැනීමය.එහෙත් එමගින් රාජ්‍යයට පමණක් නොව තම ධර්මයටත් සිදුකරගනු ලබන හානිය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ය. ඔවුන්ගේ එම පටු දැක්ම ශ්‍රී ලංකාවේ බලලෝභයෙන් සිටින බොහෝ දේශපාලකයන් විසින් කපටි සහගතව ඔවුන්ගේ වාසිය සඳහා පාවිච්චි කරනු ලබති.
දෙමළ ජනයාට ඔවුන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය පැවරීමේ ප්‍රයත්නයට බෞද්ධ භික්ෂූන්ගේ විරෝධය එල්ල වූ එකම අවස්ථාව 1958 නොවේ. එය මෑත ඉතිහාසයේ දිගින් දිගටම වාර්තාවෙමින් පවතින විරෝධයකි.
1966 දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතටත් එම විරෝධය එල්ල විය. 1966 ජනවාරි 8 දින දියත් වූ දෙමළ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයක දී එක භික්ෂුවක් පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්විය. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කැළලක් වී තිබෙනේ ප්‍රධාන වාමාංශික පක්ෂත් එම දමිල විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්වීමය.
මතු සඳහන් කරන ලද දමිළ විරෝධය කෙළවර වුනේ රට බිහිසුණු යුද්ධයකට ගොදුරුවීමෙනි. එම විරෝධයේ අනර්ථකාරීභාවය ස්ෆුටවන්නේ මුලින් යටපත් කෙරුණ භාෂා අයිතිය පසුව සහතික කරමින් දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් ලෙස නීතිගත කිරීමට සිදුවීමෙනි. 1950 දශකයේ දී මුලදීම එම පියවර ගන්නා ලද්දේ නම් ජීවිත රාශියක් විනාශ කෙරුන ගැටුම් රැසක් වළක්වා ගැනීමට ඉඩ තිබුණි.
යථාර්ථය එය නමුත්, 1987 ඉන්දු – ලංකා ගිවිසුම සහ අනතුරුව පළාත්සභා හඳුන්වාදෙනු ලැබීමේ පටන් ඊට එරෙහිව බෞද්ධ භික්ෂූහු පාරට බැසීම අදත් නතරකරනු ලැබ නැත.පලාත්සභාවන්ට පොලිස් බලතල පවරන බවට ජනාධිපති වික්‍රමසිංහ විසින් කරන ලද ව්‍යාජ ප්‍රකාශයෙන් පවා ඔවුන් යලිත් කුපිතව ඇත.13 වෙනි සංශෝධනයේ පිටපතකට පසුගියදා මහමග දී ගිනිතබන ලද්දේ බුදුන් වහන්සේගේ සාම පණිවුඩය රැගෙන මිහිඳු හිමියන් පැමිණි මිහින්තලේ රජමහා විහාරයේ වර්තමාන නායක හිමියන් විසිනි. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන්කරනු ලැබීම සඳහා ලංකාවට පැමිණි අගමැති රජිව් ගාන්ධිට රයිෆලයකින් පහරදුන් නාවික හමුදා භටයා ජාතික වීරයකු ලෙස හැඳින්වීමට පවා උන්වහන්සේ නොපසුබට වූහ.
මුස්ලිම් ජනයාට එරෙහිව
දෙමළ ප්‍රජාව පමණක් නොවේ. ඉහත සඳහන් කරන ලද භික්ෂු කණ්ඩායම්වල විරෝධයට වෙනත් ජනවාර්ගික කණ්ඩායම් ද ගොදුරු වෙති.උදාහරණ වශයෙන් මෑත කාලයෙහි ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ද එවැනි විරෝධතා ව්‍යාපාර දියත්විය.මුස්ලිම් ප්‍රජාව සිතාමතාම සිය ජනසංඛ්‍යාව වැඩිකර ගැනීමේ සැලසුමක් තුළ සිටින බවට කරන අමානුෂික ප්‍රකාශනයෙන් නොනැවතුන ඇතැම් භික්ෂූන් සහ සිංහල වර්ගවාදී සංවිධාන මුස්ලිමුන් විසින් සිංහල ගැහැනුන් වඳ කිරීමේ ව්‍යාපෘතියක නිරතවෙමින් සිටින බවක් ප්‍රචාරය කරමින් සිටියේ නිර්ලජ්ජා සහගතවය.
දෙමළ සහ මුස්ලිම් වශයෙන් වාර්ගිකත්වය ඉලක්ක කරගනිමින් පමණක් නොව, ආගමික වශයෙන් ද එම පීඩාව එල්ලවෙයි. බෞද්ධයන් ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපාරයක් ගැන අනතුරු අඟවමින් මතුකරන ආගමික විරෝධය ඇතැම් ස්ථානවල ප්‍රකාශයට පත්වුණේ ක්‍රිස්තියානි ආගමික කීපයක් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමෙනි.
මෙය බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් සපුරා පාවාදෙන හැසිරීමකි. අන්‍ය ආගම් ඇදහීමේ බුදුන්ගේ චර්යාව පමණක් නොව මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත පුළුල් චිත්‍රය එමගින් විකෘති කෙරෙයි. එය සිදුකරනු ලබන්නේ වාර්ගික සහ ආගමික උන්මාදයෙන් පෙලෙන භික්ෂූන් කණ්ඩායමක් විසිනි.
දේශපාලන භික්ෂූන් විසින් එවැනි හැසිරීමක නිරතවෙමින් සිටින්නේ අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විධිමත් අවබෝධයකින් තොරව වීම අවාසනාවකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන භික්ෂුව කෘෂිකර්මය සම්බන්ධයෙන් කරන ලද මැදිහත්වීම මීට කදිම නිදසුනක් සපයයි. අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හැදෑරීමකින් තොර පුද්ගලයකු වන රතන භික්ෂුව කිසිම විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම සඳහා කරන ලද ඔහුගේ සහ එවැනි වෙනත් අයගේ මැදිහත්වීම කෙලවර වුනේ රට බරපතල ආහාර අහේනියකට ගොදුරුවීමෙනි.
බුදුදහම යනු වැදගත් විනයානුකූල ජීවන පැවැත්මකට ශක්තිමත් ආරම්භයක් සපයන දර්ශනයක් අන්තර්ගත ඉගැන්වීමකි.බුදුන්ගේ භික්ෂු සංස්ථාවත් එවැනි විනයානුකූල පදනමක් මත පිහිටුවන ලද සංස්ථාවකි.නමුත් අද ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂූන් කටයුතු කරන්නේ එම විනය සැලකිල්ලට නොගනිමිනි.දේශපාලන ආයතන කෙරෙහි තෙරපීම් ඇතිකළ ඇතැම් භික්ෂූහු අද අධිකරණයට පවා නිගරු ආකාරයට බලපෑම් කිරීමට යොමුවෙති. මිනීමැරීමේ චෝදනාවට වරදකරු වූ සිරකරුවකු මුදාහරින ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ අතුරලියේ රතන හිමි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබ සිරගත කරනු ලැබුණි.
භික්ෂු ප්‍රචණ්ඩත්වය
විසිවෙනි සියවසේ මැදභාගයේ පෙරට පැමිණි දේශපාලන භික්ෂූන්ගේ ඊළඟ පරපුර එම සියවසේ අන්තිම භාගයේ දී ඉහත දැක්වූ පරිදි ප්‍රචණ්ඩවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කෙරෙයි. 1983 ජූලි දමිළ ජනසංහාරයේ දී ප්‍රහාරකයන් උසිගන්වන ලද බවට ඇතැම් භික්ෂූන්ට චෝදනා එල්ල වී ඇත. 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව කොළඹ නගරයේ සිදුකෙරුන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ඇතැම් භික්ෂූන්ගේ සහයෝගය ලැබුණි. තවද, ඉන්දු – ලංකා ගිවිසුමට සහ පළාත්සභා ක්‍රමයට සහයෝගයන් ප්‍රකාශකළ භික්ෂූන් දඩයම් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දුන් තරුණ භික්ෂූන් ඇතුළත් කණ්ඩායමක් ‘කුඩාපොළ බලකාය’ නමින් ක්‍රියාත්මක විය. කොටිකාවත්තේ සද්ධාතිස්ස, වැල්ලේතොට පඥාතිස්ස, පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමිවරුන් ඇතුළු ප්‍රකට භික්ෂූන් කීපදෙනකු එම අවධියේ ඝාතනය කරනු ලැබුණි.
මෑතදී වාර්තාවූ සිද්ධීන් දෙකකින් භික්ෂූන්ගේ පහරදීම් දෙකක් සමාජ අවධානයට ලක්විය. ඉන් එක අවස්ථාවක් වුනේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් ප්‍රමුඛ පිරිසක් මුස්ලිම් ජනයා සමඟ කටයුතු කළ වටරැක විජිත නම් තවත් භික්ෂුවකට පහරදෙනු ලැබීමයි. තවත් වාර්තාවකට අනුව එක්තරා දේශපාලන භික්ෂුවක් තමන්ට බාධාකළ උසස් පොලිස් නිලධාරියකුට ඔහුගේ හිස්වැස්ම විසිවීයන ලෙස පහර දී තිබුණි. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නඩු විභාගයක් පැවැත්වෙන අතරවාරයේ උසාවියට පැමිණ කළ බලපෑම එම ක්‍රියාවලියේම තවත් දිගුවකි. පසුගියදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ දී භික්ෂූන් පොලිසිය සමඟ ගැටුණ අවස්ථාවේ ඔවුන් අතින් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ තරු,නිල ලාංඡන ආදිය ගැලවී ගිය බවක් උන්වහන්සේලා උද්දාමයෙන් ප්‍රකාශ කළ බවක් මාධ්‍ය මගින් වාර්තාකර තිබුණි.ඉහත සඳහන් කරන ලද ප්‍රහාර සියල්ල මෙහෙයවනු ලැබුනේ අන්‍ය ආගම් හෝ අන්‍ය වාර්ගිකත්වය නුරුස්නාභාවයට අදාළ මානසික බලපෑම සහ අවස්ථාවාදී දේශපාලන මෙහෙයවීම මගිනි.
වැරදි දේශපාලන පාසල්
ශ්‍රී ලංකාවේ බලලෝභී දේශපාලකයන්ගෙන් ආශ්‍රයෙහි ගුරුහරුකම් ලබන දේශපාලන භික්ෂූන් වැඩි පිරිසකගේ හැසිරීම නිරන්තරයෙන්ම සේවය කරනු ලබන්නේ අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්වලටය. දේශපාලන වශයෙන් බල කෑදරකමින් පෙළෙන ඊනියා දේශපාලකයන්ට ඡන්දදායකයා මුලාකර ගැනීම සඳහා යොදාගත හැකි ප්‍රබල අවියක් වී තිබෙන්නේ සමාජ බලයක් සහිත චීවරය පෙරට තැබීම වී තිබීම අවාසනාවකි. මෙය වඩාත් හානිකර වන්නේ බහුවාර්ගික බහු ආගමික සමාජයක තීන්දු තීරණ ගැනීමේ දී තමන් විසින් බලයට ගෙන ආ කණ්ඩායම් කෙරෙහි එම භික්ෂූන් විසින් කරනු ලබන බලපෑම නිසා එක ජනකොටසක අභිලාශය හමුවේ සෙසු ජන කොටස් නිරන්තරයෙන් දෙවැනි තැනකට වැටීමය.
රාජ්‍යයේ වගකීම
ආගමික සංස්ථාවන් රාජ්‍යය කෙරෙහි බලපෑම් කෙරෙන එකම රට ශ්‍රී ලංකාව නොවේ. උදාහරණයක් වශයෙන් අසල්වැසි ඉන්දියාවේ ‘සිවසේනා’ වැනි සංවිධාන හින්දු රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අතර මුස්ලිම් විරෝධයක් ගෙනයමින් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බලපෑම් කිරීමෙහි නිරතවෙයි. මියන්මාරයේ ‘රෝහින්ග්‍යා’ මුස්ලිම් විරෝධී බෞද්ධ සංවිධාන විසින් ද සිදුකරන ලද්දේ එවැනි බලපෑමකි. රාජ්‍යයේ ව්‍යවස්ථාපිත නීතිය ඉක්මවා යමින් කටයුතු කරමින් ෂාරියා නීතිය බලගැන්වීමට යන ආයතන ගැන මුස්ලිම් රටවලින් බොහොම වාර්තා ලැබෙයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ දේශපාලන සහභාගිත්වය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් ලබන වැදගත් අයිතියකි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මගින් දැක්වෙන සීමාවන් තුළ කටයුතු කෙරෙනතාක් එම අයිතීන්ට අභියෝග කළ නොහැකි නමුත් දේශපාලන සමාජයක එක්තරා බලපෑම් කණ්ඩායමක් විසින් තමන්ට අනන්‍ය වූ අභිලාෂයන් උදෙසා සමස්ත රාජ්‍ය යන්ත්‍රය යටපත් කරගැනීමේ ප්‍රයත්නයක නිරතවෙනවිට සෙසු සමාජ කණ්ඩායම්වලට සිදුවෙන අලාභය නොතකා හැරිය නොහැක. මේ නිසා එවැනි තත්වයන් වළක්වා ගැනීම සහතික කරගනු ලැබීමට වර්තමාන ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි සිදුකෙරෙන්නේ ආගම රාජ්‍යයෙන් වෙන්කර තැබීමය.
leelagemalli / February 16, 2023
හිතවත් උපාලි,
සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙරට නූතන පරපෝෂිතයන් ය. අපේ මෝඩ සමාජය තුළ ඔවුන් තම ස්ථානය අයුතු ලෙස භාවිතා කරති. නමුත් ඒ වෙනුවට ඔවුන් සමාජයට ලබා දෙන්නේ වෛරය සහ භේදය පමණයි. මෙය රවුම් වලට යයි.
ගොඩක් උන් පාලි, සංස්කෘත දන්නෙ නෑ, පිරිවෙන් ජීවිතේ ඉගෙන ගන්නව කියල විශ්වාස කරනවනම්. ඔවුන් පාලි සහ අනෙකුත් බෞද්ධ භාෂා නොදන්නේ නම්, ඔවුන් ගිහියන්ට වඩා වෙනස් වන්නේ කෙසේද? සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා ධර්මය පිළිබඳව වැඩි දැනුමක් ඇත්තෝය යන ව්‍යාජ විශ්වාසයන් මිත්‍යාවකි. මගේ වැටහීම අනුව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කිසිවක් නොදනිති … ඔවුන් තම සැඟවුණු ෆැන්ටසිවල ජීවත්වීම සඳහා ඔවුන්ට ලබා දී ඇති ගෞරවය අපයෝජනය කරති.
එසේ නම් දේශපාලනඥයන් උපදේශකයන් විය යුත්තේ ඇයි? ගිහියන්ට තිබිය යුතු බලය හැර වෙනත් බලතල ඔවුන්ට තිබේ නම්, සමහරුන්ට තමන් හරි යැයි සිතන ඕනෑම දෙයකට අනුග්‍රහය දැක්වීමට ඉඩ දිය හැකිය. නමුත් තමන් විසින්ම හදාගත් සමාජය විසින් අපේ ජනතාව නොමග යවා ඇත.
–
මගේ අදහස නම් රටක දේශපාලනයෙන් ආගම වෙන් කළ යුතු බවයි. රටේ දේශපාලනයට භික්ෂූන් වහන්සේ මැදිහත් නොවිය යුතුයි. කළත් බෞද්ධ උසාවිවලින් දඬුවම් ලැබිය යුතුයි. අතීතයේ ඝණ්‌සාර ඇතුළු බල්ලන් මේ ජාතිය දෙකඩ කළ හැටි අමතක කරන්න බැහැ. මුන් ඔක්කොටම අරාබි රටවල වගේ නීතිය තදින් ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න ඕනේ.
/
leelagemalli / February 19, 2023
උදාසීන, උදාසීන, අතාර්කික, පළිගැනීමේ, අපරාධවලට නැඹුරු, සම්පූර්ණයෙන්ම නූගත්, සමාජයේ ප්‍රතිඵලය ධනාත්මක නොවනු ඇත. මම රටින් බැහැරව ජීවත් වූ නමුත් පළමු දිනට මගේ මව්බිම ගැන හොඳින් අධ්‍යයනය කරමින් සිටිමි. මම මගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ එම රටේ වන අතර මගේ 20 දශකයේ මුල් භාගය දක්වා මගේ මවගේ මාර්ගෝපදේශය මට ලබා දෙන ලදී. එයට කෘතගුණ සැලකීමක් ලෙස මගේම ජනතාවට සහ රටට තවත් බොහෝ දේ කිරීමට මම බැඳී සිටිමි. අඩුම තරමේ මට එහෙම හිතෙනවා.
මම අපේ සමාජය හොඳින් අධ්‍යයනය කරනවා. වඩාත් මෑතකදී. ඒ වගේ ම මිනිස්සු මෝඩ නැත්නම් මෝඩ නායකයෝ බිහි වෙන්නේ නැහැ. මෝඩ දේශපාලකයෝ බිහි වෙන්නේ නැහැ. මෝඩ වෘත්තිකයන් බිහි නොවනු ඇත. මෝඩ හාමුදුරුවෝ දියුණු වෙන්නේ නැහැ. මෝඩ බලධාරීන් බිහි නොවනු ඇත.
දශක තුනක සිවිල් යුද්ධයෙන් ජාතිය නැගිටින විට පළමුව කළ යුත්තේ සමාජය යළි ගොඩනැගීමයි. අවාසනාවට, නූගත් රාජපක්ෂට මොළයක් නොතිබුණත්, රට පුරා කීර්තියක් තිබුණි. මෙය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි වූවත් මෑත කාලයේ ඒ රටේ යථාර්ථය එය විය. රාජපක්ෂ ගොම කෑවා නම් මිනිස්සු ඒවා අනුකරණය කළා. හොඳම උදාහරණය නම් “පිරිත් නූල්” සහ “ඕනෑම ආකාරයක මැණික්කටු මුදු” හෝ එවැනි ඕනෑම දෙයක් පැළඳීමයි. ඒ අපායේ බොහෝ මිනිසුන් එක හා සමානව පැළඳ සිටියහ. අදටත් මහා අපරාධකාරයන් පිරිත්නූල් අඳින අතර ඔවුන්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුවේ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යයි.
–
එය ඔවුන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් කරන ලද ව්‍යාජ මහිමයක් සහ ප්‍රශංසාවක් විය. ජාතියට පිළිකාවක් වීමට රාජපක්ෂ ගුණ බෙර ගැසුවේ මෝඩ මහනායක හාමුදුරුවරුය. සුළු ජාතීන් තවදුරටත් කොන් කරන ලද අතර ඊනියා “සිංහල ආධිපත්‍යය” දැඩි ලෙස අවධාරණය කරන ලදී. ඔබ ඇත්තෙන්ම නිවැරදියි, අසාර්ථකත්වය විශාල වශයෙන් පවතින්නේ ජනතාව මතයි. basta.
/