
උපාලි ගජනායක
ඇමෙරිකානු ආක්‍රමණයක් මගින් පැහැර ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) නිව්යෝර්ක්හි බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයේ මැදිරියක සිරකර තබා සිටින බව වොෂිංටන් පාලනය විසින් තහවුරු කරනු ලැබ ඇත. බරපතල චෝදනාවලට වරදකරුවන් කෙරෙන අපරාධකරුවන් රඳවා තබන සිරගෙයකට වෙනිසියුලානු නායකයාත් සෙනසුරාදා රාත්‍රියේ නවය වන විට රැගෙන ආ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා මගින් තහවුරු කරනු ලැබුණි.
දෑස් බැඳ මාංචු දැමූ දෑතින් යුතුව රැගෙන යන සිය 63 හැවිරිදි ජනාධිපති මදුරෝගේ පින්තූර දැකීමෙන් වෙනිසියුලානු ජනතාව මවිත වූ බව එරටින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. වසර 37 කට පෙර පැනමාව ආක්‍රමණය කිරීමෙන් පසු ලතින් ඇමරිකානු කලාපයේ වොෂින්ටනයේ වඩාත්ම මතභේදාත්මක මැදිහත්වීම මෙයයි.
අත්අඩංගුවට ගත් වහාම විලංගු දමන ලද ජනාධිපති නිකොලස් මධුරෝ පැය 24 කට පමණ පසු සිය නිහඬතාවය බිඳ දමමින් තමා අවට සිටි ඇමෙරිකානු DEA නිලධාරීන්ට “සුබ රාත්‍රියක්. සුභ නව වසරක් වේවා” යනුවෙන් ප්‍රකාශ කළ බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
වෙනිසියුලානු ජනාධිපතිවරයා පමණක් නොව ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් (Cilia Flores) මේ මොහොතේ එක්සත් ජනපද සිරකාරියක් ව සිටින්නීය.
ඇමෙරිකානු හමුදා ඛණ්ඩයක් විසින් ඉතා රහසිගතව වෙනත් රාජ්‍යයකට(වෙනිසියුලාව ) ඇතුල් වී එල්ල කරන ලද ඉහත සඳහන් කරන ලද ප්‍රහාරයේ දී අවම වශයෙන් පුද්ගලයන් හතළිහක් (40)වත් මරා දමන්නට ඇතැයි දැනට ඇස්තමේන්තු කෙරෙයි. සිකුරාදා රාත්‍රියේ (02) ට්‍රම්ප් නියෝග දීමෙන් පසු කරකාස් (Caracas) අගනුවර එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ බෝම්බ හෙලන ගුවන් යානා ඇතුළු ගුවන් යානා 150 කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇති බව වාර්තා වෙයි. ප්‍රහාරයේ දී මරා දමා ඇති සංඛ්‍යාව තවමත් නිශ්චිත නොවන අතර, හමුදා නිලධාරීන් ට අමතරව සිවිල් වැසියන් ද ඝාතනය කරනු ලැබ ඇති බව වෙනිසියුලානු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ආක්‍රමණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ”එම මෙහෙයුමේ දී එක ඇමෙරිකානු ජීවිතයක් වත් විනාශ නොවූ” බව සඳහන් කළේ ගර්වයෙනි.
චෝදනා පත්‍රය
ජනාධිපති මධුරෝ ලබන සතියේ ෆෙඩරල් අධිකරණයක් ඉදිරියට ගෙන ඒමට නියමිත අතර, එහිදී ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී අවි ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියනු ලැබේ. වොෂිංටන් බලධාරීන් වෙනිසියුලානු නායකයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට ඇතුළත් විය හැකි සමහර කරුණු දැනටමත් අනාවරණය වී ඇත. නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සහ තවත් ඉහළ නිලධාරීන් කණ්ඩායමක් ‘සිනලෝආ’ (Sinaloa) සහ ‘සීටාස්’ (Zetas )ඇතුළු මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටලවලට උදව් පිණිස වෙනිසියුලානු හමුදාව, වරාය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන භාවිතා කළ බවයි, එම චෝදනා මගින් පැවසෙන්නේ. “ජෙනරාල්වරුන්” හැටියට හඳුන්වන ලද හමුදා නිලධාරීන් කණ්ඩායමක රැකවරණ සහිතව කොකේන් මත්ද්‍රව්‍ය කන්ටේනර් ටොන් පහේ (5) සිට විස්සක් (20) අතර ප්‍රමාණයක් මෙක්සිකෝවට රැගෙන යාම අදාළ චෝදනාවල සාරය වනු ඇත.
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා දීම, කොකේන් ආදායම මෙක්සිකෝවේ සිට වෙනිසියුලාවට ගෙන ඒම සඳහා පෞද්ගලික ගුවන් ගමන් පහසුකම් සැලසීම වැනි කැරුණු ඈඳීම මගින් මදුරෝට එරෙහි චෝදනා පත්‍රය තවත් දීර්ඝ කෙරෙනු ඇත. එපමණක් නොවේ. සිදුවිනැයි කියන මත් ජාවාරමට එරෙහි පුද්ගලයන් බිය ගැන්වීමට, දඬුවම් කිරීමට හෝ තුරන් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලත් කල්ලි සම්බන්ධීකරණය කළ බවටත් මදුරෝ ට එරෙහිව චෝදනා ගොණු කෙරෙන බවයි වාර්තා වන්නේ.
මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ජාතික මත්ද්‍රව්‍ය විරෝධී කාර්යාලයට ප්‍රවේශ වීම සඳහා තැරව්කාරියක ලෙස ලක්ෂ ගණනක් අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා ලබන්නීය. සමස්ත මදුරෝ පවුලම ඇමෙරිකානු දණ්ඩන නීතියේ ගොදුරු බවට පත්ව ඇති බව පෙනීයන්නේ ජනාධිපති මදුරෝ පුත් අර්නස්ටෝ මදුරෝ ගුවෙරා අදාළ නැව්ගත කිරීම අධීක්ෂණය කළ බවට චෝදනා ලබන හෙයිනි.
ට්‍රම්ප්ගේ පෙර සූදානම
වෙනිසියුලාව සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් අනුගමනය කරන ක්‍රියාමාර්ගය සිකුරාදා රාත්‍රියේ ‘කරකාස්’ (Caracas) අගනුවර ජනාධිපති මන්දිරයට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයට පමණක් ලඝු කරමින් ලෝකය කතා කරමින් සිටින නමුත් අමතක කලයුතු නැති තවත් පසුබිම් කරුණු රැසකි. ඒවා මොනවාද? ජනාධිපති මදුරෝ ගේ නිල කටයුතු පමණක් නොව ඔහුගේ ආහාර පාන ඇඳුම් පැළඳුම් පමණක් නොව නිදි යහන පවා මාස කීපයක පටන් සෝදිසි කරන ලද බව ඇමෙරිකානු ප්‍රකාශන මගින් ම හෙළිදරව් වී ඇත. එය එක්තරා ආකාරයක ජයග්‍රාහී ක්‍රියාවක් ලෙස ඇතැමුන් හඳුන්වනු ලබන නමුත් පැහැදිළි ලෙසම සිදුකරනු ලැබ තිබෙන්නේ සිය ඒජන්තයන් (ඇතැම් විට වෙනිසියුලානු ජාතිකයන් ද ඇතුළුව) විදේශ භූමියක නිරත කරවීම පමණක් නොව ජනාධිපතිවරයකුගේ සයනාගාරයක් තුළ පවා ඔත්තුකාරයන් ලෙස නිරත කරවීමකි. මෙහිදී වඩා බරපතළ වන්නේ ‘කරකාස්’ (Caracas) අගනුවර ජනාධිපති මන්දිරය ආක්‍රමණය කිරීමට පෙර ඇමෙරිකානුවන් තුළ වූ පූර්ව සූදානමය.ජනාධිපති ට්‍රම්ප් විසින් පළමුව සිදුකරන ලද්දේ වෙනිසියුලානු මුහුදු සීමාව හරහා මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා කරමින් වෙනිසියුලානු අධිවේගී බෝට්ටු කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමය.නැගෙනහිර කැරිබියානු සහ ශාන්තිකර කළාපය ඇතුළු වෙනත් තැන්වල එල්ල කෙරුන එම ප්‍රහාරවලින් මරාදමන ලද මිනිසුන් සංඛ්‍යාව 110 ක් පමණ යයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එපමණක් නොවේ.එක්සත් ජනපද හමුදා විසින් වෙනිසියුලානු තෙල් නැව් දෙකක් ඔවුන්ගේ භාරයට ගනිමින් තවත් ලුහුබැඳීම් සිදුකරමින් සිටියේය. එවැනි පෙරහුරුවක් ලබාගත් ජනාධිපති ට්‍රම්ප් ‘වෙනිසියුලාවට එරෙහි ප්‍රහාරයක්’ සම්බන්ධයෙන් ද නත්තල් දිනවල පළමු වරට සඳහන් කළේය.
‘කරකාස්’ පාලනයේ මත් ජාවාරම් සම්බන්ධයෙන් පළමුව චෝදනා කළ ඇමෙරිකානු නායකයා දැන් පවසන්නේ කුමක්ද? ඔහුගේ වචනයෙන් ම සඳහන් කරන්නේ නම්, “ආරක්ෂිත, නිසි සහ නුවණක්කාර සංක්‍රාන්තියක් සිදුකෙරෙන තෙක් එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පාලනය කරනු” ඇත. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරයි. “ඇමරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවේ බිඳ වැටී පවතින යටිතල පහසුකම් යළි සකස්කොට රට වෙනුවෙන් මුදල් ඉපයීම ආරම්භ කරනු ඇත”. ට්‍රම්ප්ගේ එවැනි ප්‍රකාශ මගින් ඇඟවෙන්නේ කුමක්ද? ට්‍රම්ප්ගේ ප්‍රයත්නය වෙනිසියුලානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ අනාගතයක් උදාකරනු ලැබීම යයි කෙනෙකුට තර්ක හැකි නමුත් ඇමෙරිකානු ප්‍රයත්නය වෙනිසියුලානු තෙල් ධනය කොල්ලකෑම ද? යන බැරෑරුම් ප්‍රශ්නයට පිළිතුරු නොදී පළායාමට ඔහුට නොහැකි වනු ඇත.
ජනාධිපති ට්‍රම්ප් හමුදාමය ක්‍රියාමාර්ගයක් මගින් වෙනිසියුලාව ආක්‍රමණය කරන ලද්දේ මත්ද්‍රව්‍ය නිසා නොව තෙල් නිසා බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දැනටමත් චෝදනා කර තිබේ.
පැනමා ආදර්ශය
1989 දෙසැම්බර් මාසයේ මැද භාගයෙහි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පැනමාව ආක්‍රමණය කරන ලද්දේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (ජ්‍යෙෂ්ට) පාලන සමයේ (1989-1993) දීය. වෙනිසියුලානු ආක්‍රමණයේදී ජනාධිපති මදුරෝට එරෙහි චෝදනා ගොනුකරන පරිද්දෙන් ම එවකට ඇමෙරිකානු පාලනය විසින් පැනමා ජනාධිපති මැනුවෙල් ඇන්ටෝනියෝ නොරීගාට (Manuel Antonio Noriega) එරෙහිව ද ඉදිරිපත් කරන ලද්දේ මත් ද්‍රව්‍ය ජාවාරමට අදාළ චෝදනාවන්ය.
ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද ආකාරයට ම ජනාධිපති බුෂ් (ජ්‍යෙෂ්ට) විසින් 1989 දී පළමුව සිදුකරන ලද්දේ පදවියෙන් ඉවත්ව යන ලෙස ජනාධිපති නොරීගාට බල කිරීමය. මදුරෝ මෙන්ම නොරීගා ද පදවිය අත් නොහළ අතර ඇමෙරිකානු ප්‍රයත්නය අසාර්ථකවීමෙන් අනතුරුව කෙළින්ම සිදුකරන ලද්දේ යුදමය මැදිහත්වීමකි. එම ආක්‍රමණයේ දී සිදු වූ ජීවිත විනාශය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත සංඛ්‍යාවන් තහවුරු කෙරී නැත. අඩුම තරමින් සිවිල් වැසියන් ද ඇතුළුව විනාශ වූ ජීවිත සංඛ්‍යාව දහසකට ආසන්න බව අදාළ වාර්තා කියවීමේ දී අනාවරණය වෙයි.
එක්සත් ජනපද අධිකරණයක් ඉදිරියේ නඩු පවරන ලද නොරීගා වසර හතළිහක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.
ජාත්‍යන්තර නීතිය
වෙනිසියුලා සම්බන්ධයෙන් ගත්විට ඇමෙරිකානු මැදිහත්වීම ජාත්‍යන්තර නීතිය ප්‍රකාරව විසඳා ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. මේ සඳහා අපට භාවිතා කළ හැකි එක මිණුමක් වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (4) වගන්තියේ මෙසේ සඳහන් වේ:
“සියලුම සාමාජිකයින් තම ජාත්‍යන්තර සබඳතාවලදී ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව හෝ එක්සත් ජාතීන්ගේ අරමුණු සමඟ නොගැලපෙන වෙනත් ආකාරයකින් බලය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය”.
මේ අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් සහාය දක්වන්නේ නම් පමණක් එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග නීත්‍යානුකූල වනු ඇත. එක්සත් ජනපදය සිය ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළේ නම් හෝ – මෙය බොහෝ විට නොසලකා හරිනු ලැබේ – මැදිහත්වීම සඳහා වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය විසින් කැමැත්ත ලබා දී ඇත්නම් එයත් සිය ක්‍රියාව යුක්ති සහගත කර ගැනීම සඳහා හේතුවක් වන්නේය.
එක්සත් ජනපදය විසින් සිකුරාදා පටන් වෙනිසියුලාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත නීත්‍යනුකූල එකක් වීමට නම් අඩුතරමින් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් මගින් අනුමැතිය ලැබ තිබුනේ නම් එය ප්‍රමාණවත් වනු ඈත. එහෙත් වෙනිසියුලාව තුළට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවසරයක් නොතිබූ අතරම, අනිත් අතින් එක්සත් ජනපදය වෙනිසියුලාව පාර්ශ්වය කෙරෙන් සිදුකෙරුණ අඛණ්ඩ හෝ ආසන්න ආක්‍රමණශීලී ක්‍රියාවකට ගොදුරු වී නොමැත. තවද, මදුරෝ පාලන ව්‍යුහයෙන් ඉවත්කරන ලෙස වෙනිසියුලානු ආණ්ඩුව පාර්ශ්වයෙන් ද කිසිදු නිල ඉල්ලීමක් ඉදිරිපත් නොවී තිබීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි.
මෙම කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් සහිත ට්‍රම්ප් පරිපාලනය ඔවුන්ගේ පැත්තෙන් තර්කයක් ඉදිරිපත් කරයි. එනම්, වෙනිසියුලානු භූමියේ එල්ල කළ ප්‍රහාරය “බලය යෙදවීමක්” නොව, “නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක්” හැටියට විග්‍රහ කර ගැනීමය. මෙය වඩාත් හොඳින් පැහැදිළි වුනේ ප්‍රහාරයෙන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් වෙනිසියුලා ජනාධිපතිවරයා “ඇමරිකානු අධිකරණයෙන් පලා යන්නෙකු” හැටියට හඳුන්වා දීමෙනි. එහෙත් අමතක කළ යුතු නැති විශේෂ කරුණක් වන්නේ එක්සත් ජනපද බලධාරීන් (වෙනිසියුලා) ප්‍රහාරයට පෙර කොංග්‍රසයට දැනුම් දී නොතිබීම ය.
පසුගිය වසරේ ජුනි මාසයේදීත් එක්සත් ජනපදය මෙවැනි මැදිහත්වීමක් සිදුකරනු ලැබුණි. එනම්, ඉරානයට එරෙහිව එල්ල කරන ලද මිලිටරි ප්‍රහාරයයි. බොහෝ විචාරකයන් එම ප්‍රහාරය විග්‍රහ කරන ලද්දේ විදේශීය රාජ්‍යයක ගුවන් සීමාවන් උල්ලංඝනය කරමින් එල්ල කරන ලද නිර්ලජ්ජිත සහ නීති විරෝධී පහරදීමක් හැටියටය. එබැවින්, මෙවැනි ආක්‍රමණ මගින් ඇමෙරිකාව දිගින් දිගටම සිදුකරනු ලබන්නේ බියෙන් සැකයෙන් තොරව ජාත්‍යන්තර නීතියට අභියෝග කිරීමකි. එවැනි හැසිරීම් ඉදිරියේ ළාමක ප්‍රකාශනවලට පමණක් සීමාවීමෙන් ලෝකයේ ඇස් අන්ධ වූ ස්වභාවයක් දක්නට ලැබෙන නමුත් මතකයේ තබා ගතයුඉතුව් වැදගත් කරුණ වන්නේ බලවතුන් ගරු නොකරන පමණින් ජාත්‍යන්තර නීතිය “මිය ගොස්” නැති බවය.ජාත්‍යන්තර නීතිය නිර්මාණය කරනු ලබන්නේත් පවත්වා ගෙන යනු ලබන්නේත් බලවත් ස්වල්ප දෙනෙකු විසින් පමණක් නොව, සියලුම රාජ්‍යයන් විසිනි. එබැවින් ඒවා උල්ලංඝනය කරනු ලැබීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවෙහි ප්‍රතිචාරය විශේෂයෙන් වැදගත් කරුණක් වෙයි. ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කර ගැනීමට හැකිවන්නේ එවැනි සාමූහික ප්‍රයත්නයක් තුළිනි.
මදුරෝට එරෙහිව
වෙනිසියුලාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරනු ලැබීම සහ රටේ ජනාධිපතිවරයා පැහැර ගනු ලැබීම සහ ජාත්‍යන්තර නීතිය අතර ගැටුම තුලනය කරන ඇතැම් විචාරකයන් මදුරෝ ඉවත්කරනු ලැබීම ජනාධිපති හියුගෝ චාවේෂ් සමයේ පටන් එරට මහජනතාවට අහිමි කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අවධිය කරා රට ගමන් කිරීමේ සමාරම්භය ලෙස මෙය හඳුන්වා දෙන ප්‍රවණතාවක් ද දක්නට ලැබෙයි. පසුගිය දා නොබෙල් සාම ත්‍යාගය ලද විපක්ෂ නායිකා මචාඩෝ විසින් කරන ලද ප්‍රකාශයන්හි ඇතුළත් ඇතැම් කරුණු ඔවුන්ගේ විශ්වාසයෙහි පදනම වී ඇත.
රටේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත්විට මදුරෝ යනු දිගින් දිගටම මතභේදාත්මක චරිතයක් බව කිසිවෙකු විසින් සැඟවිය යුතු නොවේ.ඔහුගේ පාලනය එතරම් ප්‍රශ්න සහගතය. වෙනිසියුලානු විපක්ෂය දිගින් දිගට කියා සිටින පරිදි ඔහු මැතිවරණ වංචාව නමැති සූදුව හොඳින් ප්‍රගුණ කරන ලද්දෙකි.විපක්ෂ නායකයන් ඇතුළුව ආණ්ඩුවට එකඟ නොවන සියළු විවේචකයන් මත මර්දනය මුදාහරියි. මහජනයා අඩ කුසගින්නේ සිටින තරමට රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. මදුරෝ ඇතුළු ඉහළ පාලන තන්ත්‍රයේ අතළොස්සක් විසින් ජාතික ධනයෙන් වැඩිහරියක් ඔවුන්ගේ සුඛෝපභෝගී දිවි පැවැත්ම සඳහා සූරා ගනිති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් කවර මට්ටමේ අලංකාර වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහතික කරනු ලැබ තිබුනත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ඇත්ත ඛේදවාචකය එම රටවල නායකයන් සහ ඔවුන්ගේ සහචරයන්ගේ දේශපාලන හැසිරීම සහ ආර්ථික විනාශයයි. එය අමෙරිකානු හෝ වෙනත් බලවත් දේශයකින් නැගෙන චෝදනාවකට ලඝුකොට න්‍යායික ස්ථාවරයන්ට කොටුවී කටයුතු කිරීම බොහෝවිට කෙළවර වන්නේ වෙනිසියුලාවේ සහ ඉන් පෙර ඉරාකයේ ලිබියාවේ හෝ සිරියාවේ සිදු වූ විනාශය යයළිත් තවත් බොහෝ තැන්වල පුනරුච්චාරණය වීමෙන් විය හැකිය.
ප්‍රායෝගික සත්‍යය වන්නේ එය නමුත් පෙරළා ඇසිය යුතු ප්‍රශ්නයක් ද ඇත. එනම්, බටහිර නායකයින් තමන් පිළිගනු නොලබන ආණ්ඩු පමණක් ඉවත් කිරීමේ අයිතිය ඉල්ලා සිටින විට එම ක්‍රියාමාර්ගය සඳහා පාදක වන යුක්තියේ උල්පත කොතැනද? යන්නය. ඇත්තෙන්ම ඔවුන් අතින් සිදු කෙරෙන්නේ සුපිරි බලය අදට ඔබින පරිදි වෙනත් මුහුණුවරකින් නැවත පණ ගන්වනු ලැබීමකි. පැරණි හෝ නව අධිරාජ්‍යවාදී රාජ්‍යයන් මිනිස් අයිතිවාසිකම් සහ “ශිෂ්ට” මෙහෙයුම් ගැන කතාකරන විට සැඟවුන න්‍යාය පත්තර ගැන සිහිපත් කිරීමට දුප්පත් රටවල පවා මහජනතාව පෙළඹෙන්නේ එම තේරුම් ගැනීම හේතුවෙනි.
ට්‍රම්ප්ගේ වෙනිසියුලානු ආක්‍රමණයේ යටි අරමුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාජයේ පමණක් නොව ඇමෙරිකානු සමාජයේත් සැක සංකා මතුව පවතින්නේ එවැනි පසුබිමකය.