23 April, 2024

Blog

රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද?

උවිඳු කුරුකුලසූරිය

උවිඳු කුරුකුලසූරිය

ලන්ඩනයේ මහ රැජිනට කිඹුහුමක් ගියහොත් හෙම්බිරිස්සාව හැදෙන මට්ටමේ පිරිසකගෙන් සමන්විත බමුණු කුලයේ කුමන්ත‍්‍රණකරුවන් කල්ලියක් විසින් මෙහෙයවනු ලබන කොළඹ කේන්ද්‍රීය බලපෑම් කණ්ඩායමක තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ ඌණනය වී ඇත. ආදි කාලයේදී යූ.ඇන්.පී.ය බමුණු කුලයත්, මහජනයාත් යන දෙපාර්ශ්වය විසින්ම එකසේ සහයෝගය ලබා දෙනු ලබන උද්දීප්ත වූ දේශපාලන ව්‍යාපාරයක්ව තිබිණ. මැතිවරණ ජයග්‍ර​හණය කිරීම පසෙක තැබුවද ප්‍ර​මාණවත් දේශපාලන සංකර්ෂණයක් ලබා ගැනීම සඳහා වුවද තම අහිමි වූ ප්‍ර​තිරූපය සහ ශක්තිය එය විසින් නැවත ලබා ගත යුතුය. ජනාධිපති රාජපක්ෂ වනාහි හිටපු ජනාධිපති ප්‍රේම​දාස මෙන්ම බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව හසල අවබෝධයක් ඇත්තෙකු බැවින් රනිල්ගේ වැඩ ප්‍රමාණය සීමා වී ඇත.” -දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ කතුවැකියෙන් උපුටා ගන්නා ලද්දකි.

අපි ලන්ඩනයෙන් පටන් ගනිමු! මාග්‍ර​ට් තැචර් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1975 පෙබරවාරි 11 වනදාය. 1979 දී පැවැති මැතිවරණයෙන් ජයග‍්‍රහණය කොට අගමැති ධුරයට පත්වන ඇය, 1983 සහ 1987 යන වසරවල පැවැති මැතිවරණද පිටපිටම ජයග‍්‍රහණය කරමින් ගතවූ වසර 150 තුළ එංගලන්තයේ වැඩිම කාලයක් ධුරය දැරූ අගමැති බවට පත් විය. 1990 දී ජෝන් මේජර් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර 1992 සිට 1997 දක්වා ඔහු අගමැති වශයෙන් කටයුතු කළේය. ඒ අනුව එක්සත් රාජධානියේ ඇති යූ.ඇන්.පී.යේ පිළිබිඹුව වන කොන්සර්වේටිව් පක්ෂය එක දිගට වසර 18 ක කාලයක් බලයේ සිටීමට සමත් විය.

1973 දී ජේ.ආර්. ජයවර්ධන යූ.ඇන්.පී. යේ නායකත්වයට පත් වූ අතර ඔහු 1977 මැතිවරණය ජයග‍්‍රහණය කළේය. ඔහු කඩිනමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්විය. ඉන් අනතුරුව පේ‍්‍රමදාස සහ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් වශයෙන් 1994 දක්වා කටයුතු කළහ. එනම්, එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂය කළාක් මෙන්ම යූ.ඇන්.පී.ය ද අවුරුදු 17 ක් බලයේ සිටීමට සමත් විය. යූ.ඇන්.පී.ය මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයද විවෘත ආර්ථිකය මත පදනම් වූ එක හා සමාන දේශපාලන චින්තනයක් බෙදා හදා ගත් අතර එය අනුගමනය කළහ. ජනසතු කර්මාන්ත පුද්ගලිකකරණය කිරීම සහ වෘත්තීය සමිතිවල බලය බිඳීම සඳහා ක‍්‍රියා කළ දැඩි සහ සම්මුති විරහිත ස්වරූපය පිළිබඳව ඔවුහු ප‍්‍රසිද්ධියට පත්වූහ.

යූ.ඇන්.පී.ය 1994 දී ද කොන්සර්වේටිව් පක්ෂය 1997 දී ද මැතිවරණයෙන් පරාජය විය. ඉන් පසු රටවල් දෙකෙහිම වාමාංශිකයන් දේශපාලන බලයට පැමිණියහ. නමුත් ඔවුන් බලයට පත්වූයේ නව දේශපාලන දර්ශනයක් සමඟය. ටෝනි බ්ලෙයාර් ‘වගකීම් සහගත ධනවාදයක්’ පිළිබඳව දේශනා කරමින් ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ‘විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්’ දීම පිළිබඳව දේශනා කරමින් බලයට පැමිණියාය. මේවා කරන ලද්දේ විවෘත ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතරම වාමාංශිකයන් සතුටු කිරීම ද පිණිසය. ඊනියා සමාජවාදී/සෝවියට් මාදිලියේ ආර්ථික පර්යාය බිඳ වැටීම සම්පූර්ණ විය.

මෙම නව ප‍්‍රපංචය විසින් වාමාංශය අතරමැදට කිට්ටු ස්ථානයකට ගෙන ආවේය. ආර්ථික පෙරමුණේදී විරුද්ධ පක්ෂය සහ පාලක පක්ෂය අතර ඒ හැටි වෙනසක් දැකීමට නොහැකි විය. බැසිල් රාජපක්ෂ ඇමරිකාවට කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටි සියල්ල ආණ්ඩුව විසින් ඉටු කරන ලද බවයි. මහ බැංකුවේ අධිපති කබ්රාල් ඇමරිකාවට කීවේ නව බදු ක‍්‍රම හඳුන්වා දීම සහ මූල්‍ය ප‍්‍රතිපත්තිය වෙනස් කිරීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා ඇති සියලු දේ ලංකාවේ ආණ්ඩුව විසින් ඉටු කර ඇති බවයි.

රනිල් වික්‍ර​මසිංහ

1997 දී කොන්සර්වේටිව් පක්ෂය පරාජය වූ පසු ලොව පුරා හැමතැනම පොදුවේ සිදුවන ආකාරයට පක්ෂ අභ්‍යන්තර නායකත්ව අරගල මතුවන්නට විය. ඔවුහු නායකයන් පස් දෙනෙකු මාරු කළහ: 1997 සිට 2001 දක්වා විලියම් හේග්, 2001 සිට 2003 දක්වා ඩන්කන් ස්මිත්, 2003 සිට 2005 දක්වා මයිකල් හොවාඞ් සහ 2003 සිට 2005 දක්වා ඬේවිඞ් කැමරන්. ඩේවිඩ් කැමරන් හැරුණු විට මේ සියලූ දෙනාම මහ මැතිවරණයන්හිදී පරාජය වූ අතර ආණ්ඩුවක් පිහිටුවීමට අසමත් වූහ. 2010 මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගත් නමුත් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරය සඳ හා ඔවුන්ට තවත් ආසන 19 ක් හිඟ විය. බලයට පැමිණීම සඳහා ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ සභාගයක් ඇති කරගැනීම සඳහා නියෝජ්‍ය අගමැති ධුරය ඇතුළු බලවත් අමාත්‍යාංශ ප‍්‍රමාණයක් ඔවුන් වෙත ප‍්‍රදානය කිරීමට කොන්සර්වේටිව් පක්ෂයට සිදු විය.

නමුත් ලංකාවේදී ඡ​න්දයෙන් පරාජය වීම් නොතකා රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නායකත්වයේ දිගටම රැඳී සිටියි. මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කිරීමට මම කැමැත්තෙමි. පළමුව කොන්සර්වේටිව් පක්ෂය තම පරාජයෙන් පසුව පක්ෂ නායකයන් පස් දෙනෙකු මාරු කළ බව සැබෑ නමුත් ඔවුන් නායකත්වයේ වෙනස් වීම නිසා මැතිවරණයක් ජයගැනීමට සමත් වී ද? දෙවනුව, මැතිවරණ පරාජයන් නොතකා පක්ෂ නායකයන් නායකත්වයේ රැඳී සිටීම ලංකාවේ සම්ප‍්‍රදායකි. ලංකාවේ පැරණිම සහ සමහරවිට වඩාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලෙස සැලකිය හැකි ලංකා සමසමාජ පක්ෂය දෙස බලමු. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා එහි ආරම්භයේ සිටම ඔහු මියයන තෙක්ම පක්ෂ නායකයා වශයෙන් කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායක ඇය මිය යන තුරුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටියාය. මරා දමන තුරුම විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විය. මෙම සම්ප‍්‍රදාය වෙනස් කිරීමට යමෙකු යෝජනා කරන්නේ නම් එය වෙනම කාරණයකි. නමුත් මැතිවරණ පරාජය වීම යනු රනිල්ට පමණක් සීමාවූ සාධකයක් නොවන බව කෙනෙකු විසින් පිළිගත යුතුය.

මගේ තර්කය නම් පරාජයට හේතුව රනිල් නොවන බවයි. සාම ක‍්‍රියාවලියේ නියමුවා ලෙස සිහිපත් කරනු ලැබීමට රනිල් අවාසනාවන්ත විය. ඇත්ත වශයෙන්ම එම සාම ක‍්‍රියාවලියෙන් සිදු වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දුර්වල කිරීමට මග පෑදීමයි. මා ඔහුගේ සාම උපාය මාර්ගය අනුමත නොකරන නමුත් ඔහුගේ පක්ෂය තුළ සිටින ඔහුගේ විරුද්ධවාදීන් සහ දේශපේ‍්‍රමීන් වශයෙන් පෙනී සිටින සහ මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබන අනෙකුත් විවේචකයන්ද එය පිළිගත යුතුය. මාධ්‍ය නිදහස පිළිබඳව සහ ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳව ඔහු කළ ප‍්‍රතිසංස්කරණ දෙදහස් ගණන්වල මුල් භාගයේදී ආර්ථිකය වේගවත්ව සුවපත් වීම සඳහා වන අඩිතාලමෙන් කොටසක් දැමීය. සෑම යහපත් නායකයකු මෙන්ම ඔහු විපක්ෂයේ, මාධ්‍යයන්හි සහ පසු පෙළ මන්ත‍්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම් හමුවේ කුලප්පු වීමට කෙරෙන පෙළඹවීමට යට නොවීය.

රනිල් මැතිවරණය ජයග‍්‍රහණය කොට අගමැති ධුරයට පත්වූ විට ඔහු හොඳය. 2004 අපේ‍්‍රල් මැතිවරණය පරාජය වීමත් සමඟම ඔහුට විරුද්ධව මඩ ව්‍යාපාරයන් ආරම්භ විය. 2004 මැයි මාසයේදී කොළඹ සිටි ඇමරිකානු තානාපති ජෙෆ්රි ජේ. ලන්ස්ටීඞ් වොෂින්ටනයට ලියා යවන ලද්දේ ළඟ දී පැවැත්වුණු මැතිවරණය පරාජය වීමෙන් පසුව යූ.ඇන්.පී. නායක රනිල් වික‍්‍රමසිංහ තම පක්ෂය තුළ ප‍්‍රබල විවේචනයකට ලක්ව සිටින බවය. පැරණි යූ.ඇන්.පී. සාමාජිකයන් පවා වික‍්‍රමසිංහගේ මැතිවරණ උපාය මාර්ගය විවේචනය කරන ලද බවද මේ විවේචන බොහෝ දුරට සිදු වූයේ පුද්ගලික මට්ටමෙන් බවද ඔහු ලියා යැව්වේය.

උදාහරණයක් වශයෙන් 2004 මැයි 10 වනදා ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොන්සියුලර්වරයා සමඟ වූ සාකච්ඡාවකදී හිටපු අභ්‍යන්තර කටයුතු සහ ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග කියා ඇත්තේ එ.ජා.ප. ය මැතිවරණය පරාජය වීමට එක් හේතුවක් නම් රනිල්ගේ ආකර්ෂණයක් නැතිකම බවයි. මේ චෝදනා සැබෑ නම් 2001 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළේ කෙසේද?

සෑම දේශපාලන පක්ෂයකම අතෘප්තිමත් පුද්ගලයින් සහ කචල්කාරයන් සිටිති. 1999 දී රනිල් තම ප‍්‍රථම මැතිවරණයට මුහුණදීමට පෙර සිටම එ.ජා.ප.යේ සමහර කොටස්, විශේෂයෙන්ම විජේපාල මෙන්ඩිස් සහ සුසිල් මුණසිංහ වැනි බලවත් පුද්ගලයන් ප‍්‍රසිද්ධියේ රනිල් විවේචනය කිරීමට පටන් ගත්හ. 1997 දී මම රනිල්ගෙන් මෙසේ ඇසුවෙමි. “මොකක්ද මේකෙ තේරුම? මොකද මේ වගේ විවේචන ප‍්‍රසිද්ධියේ සිද්ධ වෙන්නෙ?” රනිල් මෙසේ පිළිතුරු දුන්නේය. “මම පේ‍්‍රමදාස නෙවෙයි. ඔවුන් විවේචනය කරපුවාවේ. ජනාධිපති පේ‍්‍රමදාස කිසි කෙනෙකුට තමන්ව විවේචනය කරන්න ඉඩ දුන්නෙ නැහැ. එයා විවේචකයන් මර්දනය කළා. අන්තිමේදී එයාට ඒකේ ප‍්‍රතිඵලවලට මුහුණ දෙන්න වුණා.” ඔබ චන්ද්‍රිකාගේ දේශපාලන යෝජනාවලියට නැත්නම් දේශපාලන පැකේජයට සහයෝගය නොදෙන්නේ ඇයි?” තවත් අවස්ථාවක මම රනිල්ගෙන් විමසුවෙමි. ”ප‍්‍රශ්නෙ තියෙන්නෙ පාර්ලිමේන්තු කණ්ඩායමෙයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙයි. ඒ අයව නාම යෝජනා කරලා පත් කෙරුවේ ගාමිණී දිසානායක.” රනිල් පිළිතුරු දුන්නේය. පිළිතුර පැහැදිලිය. ඔහු පක්ෂයේ නායකයා වුවත් තීරණ ගන්නා මණ්ඩලය පැවතියේ ඔහුගේ පාලනය යටතේ නොවේ. ඔවුන් පත් කොට තිබුණේ ඔහුගේ ප‍්‍රතිවාදියා වූ අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක විසිනි. සෑම නායකයෙකුම කලින් කලට වෙනස්කම් ඇති කිරීමට කැමති වන අතර රනිල් එසේ වෙනස්කම් ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පක්ෂයේ නායකයා වශයෙන් එය සම්පූර්ණයෙන්ම ඔහුගේ අයිතියකි. එවැනි තීරණ ගැනීමට අවශ්‍ය ආධිපත්‍යයක් පක්ෂ නායකයා වෙත තිබිය යුතුය. එය යූ.ඇන්.පී.යේ සම්ප‍්‍රදායයි. (මෙහි නරක වර්ෂන් එක ලංකාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක තිස්ස විතාරණ ඇමතිවරයාය. තමාට වාසිදායක ලෙස තීරණ ලබා ගැනීම සඳහා ඔහු පක්ෂයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සාමාජික ලැයිස්තු මැනිපියුලේට් කළේය.) එ.ජා.ප. කැරලිකරුවන්ට සම්ප‍්‍රදාය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙන මාර්ගයක් සොයා ගත යුතුය. නමුත් රනිල් පරාජිතයෙකු වීම හෝ ඔහුට විරුද්ධව එල්ල කරන ඔහුගේ ලිංගික නැඹුරුව පිළිබඳ ඊනියා චෝදනා හෝ ඔහුගේ සිනහව මත එම මාර්ගය පදනම් නොවිය යුතුය.

තම දෙවැනි ධුර කාලය ආරම්භ කිරීම සඳහා දිවුරුම් දීමට පෙර 18 වන සංශෝධනය ගෙන ඒමට මහින්ද රාජපක්ෂ පෙළඹීම පිටුපස තිබෙන හේතුව කුමක්ද? තමා දෙවන ධුර කාලය සඳහා ජනාධිපති ධුරයට පත් වුවද ඊළඟ ජනාධිපති ධුරයට පත් වීම සඳහා වන අරගලයන් පක්ෂය තුළින්ම ඇරඹෙන බවද තමාට එය පාලනය කිරීමට නොහැකි වන බවද ඔහු දැන සිටියේය. ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකා කුමාරතුංග යන දෙදෙනාම තම දෙවන ධුර කාලයන්හි දී පක්ෂය තුළ නායකත්ව අරගලවලට මුහුණ දුන්හ.

උත්ප‍්‍රාසාත්මක ලෙස එංගලන්තයේ දේශපාලන පක්ෂ තුළද ගම් මට්ටමෙන් හා බිම් මට්ටමෙන් නායකත්වය සඳහා මතුවූ අරගල ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පත්කරනු ලබනවා වෙනුවට බිම් මට්ටමේ සාමාජිකයන් විසින් පත් කරනු ලැබූ පළමු කොන්සර්වේටිව් පක්ෂ නායකයා ඩන්කන් ස්මිත් විය. කෙසේ වුවද එය එතරම් සතුටුදායක අත්දැකීමක් නොවීය. තමා විසින්ම නිහඬ මිනිසා ලෙස හඳු න්වාගනු ලැබූ ඔහු පක්ෂ නායකයා වශයෙන් කිසිදු මැතිවරණයකට මුහුණ දීමට පෙරාතුවම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත් විය.

එ.ජා.ප.යට මහින්ද හෝ පේ‍්‍රමදාස වැනි නායකයකු අවශ්‍ය බව සමහරු තර්ක කරති. ඇත්ත තමයි, රනිල් ඔවුන් වගේ නෙවෙයි. එක් අතකින් මා සිතන්නේ රටට තවත් පේ‍්‍රමදාස කෙනෙකු හෝ රාජපක්ෂ කෙනෙකු අවශ්‍ය නැති බවයි. අඩු ගණනේ පේ‍්‍රමදාස වැනි පුතෙකු හෝ අවශ්‍ය නැති බවයි. මේ අදහස දේශනා කරන අය අමතක කරන්නේ පේ‍්‍රමදාස හෝ මහින්ද යනු කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලකයන්ද යන්නයි. අනෙක් අතට එ.ජා.ප.යට මහින්ද වැනි නායකයෙකු ලැබුණහොත් ඡුන්ද දායකයන් මෙසේ කියනු ඇත. ”ආ. දැනටමත් මහින්ද බලයේ ඉන්නවනේ. ඉතින් මොකටද ඒ වගේ තව එක්කෙනෙක්. මහින්දට පුළුවන් යූ.ඇන්.පී.කාරයට වඩා හොඳට වැඩේ කරන්න. මහින්ද දැනටමත් වාර දෙකක්ම පත් වෙලා තියෙන නිසා එයා හොඳයි ආධුනිකයෙකුට වැඩිය.”

1994 මැතිවරණයෙන් පසුව එජාපය කැඩී බිදී යෑම ආරම්භ විය. එය යුගයක අවසානය වූ අතර ඒ සා දීර්ඝ කාලයක් බලයේ රස විඳ සිටි බොහෝ දෙනෙකුට කම්පනයක් ගෙන දුන් කාල පරිච්ඡේදයක් විය. කාලයාගේ ඇවෑමෙන් මහජනයාට පක්ෂයක් එපා වන හෙයින් එය නොවැළැක්විය හැක්කක් විය. 1991 පමණ සිට පේ‍්‍රමදාස යුගය අවසන් වන බවට හැගීමක් ඇතිවෙමින් තිබිණි. ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි අළුත් පක්ෂයක් පිහිටුවාගෙන තිබූ අතර එජාපයේ බිම් මට්ටම දියවී යාම සහ පාක්ෂිකයන් පක්ෂය හැරයාම ආරම්භ වෙමින් තිබිණි.

රනිල් යනු පරාජිතයෙකු යැයි සලකන පිරිස අමතක නොකළ යුතු කරුණක් නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය මියගොස් හෝ ඝාතනයට ලක්ව තිබූ බවයි. එමෙන්ම රනිල් නායකත්වයට පත් වූයේ සිය ප‍්‍රතිවාදියා වූ ගාමිණී දිසානායකට පක්ෂපාතී පාර්ලිමේන්තු කණ්ඩායමක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් සමග බවය. ඉතින් පක්ෂය ගොඩනැගීම සහ නව දේශපාලන දර්ශනයක් ගොඩ නැගීම වනාහි සරල අභියෝගයක් නොවීය.

සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම ගැන එජාප කැරළිකරුවන් ළතැවෙන බවත් එය නැවත දිනාගැනීමට ඔවුන්ට අවශ්‍ය බවත් මම අසා ඇත්තෙමි. මා සිතන විදියට ඔවුන්ගේ නායක සජිත් පේ‍්‍රමදාස රටපුරා ඇවිදිමින් පන්සල්වලට විශාල මුදල් බෙදා දෙන්නේ එබැවින් විය යුතුය.

ඇත්තවශයෙන්ම රනිල් එවැන්නෙක් නොවේ. ලසන්ත වික‍්‍රමතුංගගේ අවමංගල්‍ය සංවිධායක කමිටුවේ දී අප අවමංගල්‍ය කටයුතු පිළිබඳ කරන ලද සාකච්ඡාවට රනිල් සහ කරු ජයසූරිය යන දෙදෙනාම සහභාගී වූ බව මට මතකය. මාදුළුවාවේ සෝභිත හිමි වැනි අයෙකුට අවමංගල්‍ය සභාවේ කතා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු යැයි කිසිවෙකු විසින් යෝජනා කළේය. “අපි මෙය ගිහියන්ගේ කටයුත්තක් වශයෙන් සිදු කරමු” යන්න රනිල්ගේ ස්ථාවරය විය. රනිල්ට දේශපාලනය සහ ආගම මිශ‍්‍ර කිරීමට අවශ්‍ය නොවීය.

සැබැවින්ම එය ඔහුගේ පක්ෂයේ ඉතිහාසය සහ එහි නායකයන්ගේ දර්ශනයට පටහැණිය. “අපි එක ලෙය ඇති එක ජාතියක් වෙමු. අප තෝරාගනු ලැබූ ජනතාවකි. බුදුන් දේශනා කළේ සිය ධර්මය වසර 5500 ක් පවතින බවය. එහි තේරුම එම ධර්මයේ භාරකරුවන් වන අපද එපමණ කාලයක් පවතින බවය.” යනුවෙන් ඩී. එස්. සේනානායක පැවසීය. එය වනාහි දක්ෂිණාංශික ජාතිකවාදයේ දේශපාලන දර්ශනය විය. තම දේශපාලනයේ මුල් යුගයේදී රනිල් ද එම දර්ශනයට හිමිකම් කීවේය. ඔබ 80 දශකයේ මුල් භාගයේ, විශේෂයෙන්ම 1983 කෝලාහල වලින් පසුව ඔහුගේ පාර්ලිමේන්තු කතා කියවුවහොත් ඒ බව දැකගත හැකි වනු ඇත. ඒ ජාතිවාදී නාසිවාදය හේතුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දිය අපි සැවොම දනිමු. එජාප කැරළිකරුවන්ට අවශ්‍ය වන්නේ නැවතත් ආපස්සට ගොස් පස්වැනි ඊළාම් යුද්ධය ඇති කිරීමටද?

මෙම දෘෂ්ටිවාදයේ සහකරුවෙකු වශයෙන් සලකනු ලැබීම බුද්ධාගමේ ප‍්‍රතිරූපයට සහ අඩංගුවට බලපාන ලද බව රාජන් හූල් තම ‘බලයේ මහන්තත්වය’නම් පොතෙහි පැහැදිලිව විග‍්‍රහ කොට ඇත. එක් ජනවාර්ගික කණ්ඩායමකට සහ පාලක පන්තියේ අනුග‍්‍රාහකයන්ගේ බලය පිළිබඳ උන්නතිකාමයට බැඳීම මගින් මේ වර්ගයේ බුද්ධාගම එහි සාර්වත‍්‍රික ආකර්ෂණය සහ සදාචාරමය අන්තර්ගතය අහිමි කොට ගෙන ඇත. එය එක් ප‍්‍රශ්නයක් මත පදනම් වූ ආගමක්- එනම් දෙමළ ප‍්‍රශ්නය මත පදනම් වූ ආගමක් බවට පත්ව ඇත. බෞද්ධ භික්ෂුවක් වෙනත් ඕනෑම මාතෘකාවක් පිළිබඳව කතා කරන විට එයට උපේක්ෂාවෙන් සවන් දෙනු ලැබේ. නමුත් දෙමළ ප‍්‍රශ්නය පිළිබඳව වූ කල මොවුන්ගෙන් අපේක්ෂා කරනු ලබන්නේ සාම්ප‍්‍රදායික දැඩි මතධාරී ස්ථාවරය වන අතර එයට මාධ්‍ය මගින් ඇතිපදම් ප‍්‍රචාරයක් ද ලබා දෙනු ලැබේ. සිංහල ජනතාව ෆෙඩරල් මාදිලියේ විසඳුමක් සඳහා සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි කීමට එවිට දේශපාලන නායකයන් ඉක්මන් වේ. මෙය වනාහි ඕනෑම රටක ආගමික සංස්ථාව විසින් රඟපානු ලබන භූමිකාවයි.

දේශපාලන නායකයකු බෞද්ධ භික්ෂුවක් ඉදිරිපිට දණින් වැටීම වනාහි ඒ දෙදෙනාම නරුමවාදී ලෙස ඇත්තටම විශ්වාස නොකරන්නාවූ නමුත් මහජන ප‍්‍රදර්ශනය පිණිස සිදුකරන දෙයකි. නමුත් මෙය වනාහි දෙදෙනාටම වැඩදායක වන්නාවූ චාරිත‍්‍රයකි. දේශපාලන නායකයා තමන් ඉදිරිපිට දණ ගැසීම නිසා ලැබෙන සංකේතීය බලය භික්ෂුව විසින් භුක්ති විඳියි. ඒ හා සමඟම දේශපාලකයාට කෙළින්ම ප‍්‍රකාශ කරන්නට බැරි දෙමළ ප‍්‍රශ්නය පිළිබඳ සම්මුති විරහිත අන්තවාදී මතය බෞද්ධ ස්ථාපිතය විසින් ඔහු වෙනුවෙන් ප‍්‍රකාශ කරනු ලැබේ. දෙමළ ප‍්‍රශ්නය විසඳීම අතිශයින්ම අසීරු වී ඇත්තේ අපගේ දේශපාලන සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති මෙම චාරිත‍්‍රමය කුහකවත හේතුවෙනි.

රාජපක්ෂ සන්ධානය විසින් දේශනා කරන ජාතිවාදී නාසිවාදය වෙත ආපසු යෑමට රනිල්ට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ පැකේජයක් ඔහු සතුව ඇත. කැලණිය පන්සල සිංහල ජාතියේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසය සහ එහි වර්තමාන අනුග‍්‍රාහකයන් වන විජේවර්ධන පවුල අනුයෝජනය කරමින් ලියන ලද වැදගත් දෘෂ්ටිවාදී ලේඛනයක් වන ‘පන්සලේ පෙරළිය’ ලියන ලද්දේ හෙලේනා විජේවර්ධනගේ පුත් දොන් චාල්ස් විජේවර්ධන විසිනි. ඔහු වනාහි රනිල්ගේ මුත්තණුවන්ය. ‘‘කැලණිය වැටුණු විට ලංකාවද වැටේ. කැලණිය නැගෙන විට ලංකාවද නැගේ” යන සිය එලක්වන්ට් සටන් පාඨය මගින් ඔහු රටේ සහ කැලණිය පන්සලේ අනුග‍්‍රාහකයන්ගේ දෛවයන් එකට සම්බන්ධ කළේය. (උත්ප‍්‍රාසජනක ලෙස දැන් කැලණිය වැටී ඇත. දැන් එහි පාලකයා වන්නේ මර්වින් සිල්වා මිස රුවන් විජේවර්ධන නොවේ). ජොනතන් වෝල්ටර්ස් කියන ආකාරයට මෙය වනාහි ‘‘කැලණි පන්සලේ දායකයන් ලෙස විජේවර්ධන පවුලට හිමිව තිබෙන ඓතිහාසික ඳුත මෙහෙවර කෙරෙහි දෙමළුන් තර්ජනයක් බව ප‍්‍රකාශ කරන්නා වූද, නිදහසෙන් පසු ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා වන විජේවර්ධනගේ සැලැසුම ඉදිරිපත් කරන්නා වූද සෘජු ප‍්‍රකාශනයකි.” රනිල් කළ යුත්තේ තම මුත්තණුවන්ගේ තියරිය තරමක් අප්ගේ‍්‍රඞ් කොට දෙමළුන් සමඟ තවත් යුද්ධයක් සඳහා අත්තිවාරමක් දැමීමයි. එ.ජා.ප.යේ සිටින ඔය කැරලිකරුවන්ට අවශ්‍ය මෙයද? ඔවුන් යෝජනා කරන්නේ මහින්දගේ සිංහල බෞද්ධ ජාතිවාදය අභිබවා යන ලෙසද? රටට එවැන්නක් අවශ්‍යයැයි මම නම් නොසිතමි.

මා සිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් මෙය පැහැදිලිව තේරුම් ගෙන ඇති බවයි. එමෙන්ම ඔහු තම පක්ෂයේ දර්ශනය වෙනස් කොට ඇති බවයි. අවාසනාවකට එම දෘෂ්ටිවාදය ගම් මට්ටම හා බිම් මට්ටම කරා ගෙන යාමට අවශ්‍ය ජවසම්පන්න කණ්ඩායමක් ඔහු සතුව නැත. ඔහු සතුව ඇත්තේ කොහොමහරි අනිත් පැත්තට පැනගන්නේ කෙසේදැයි කල්පනා කරන මිනිසුන් සහ ගැහැනුන් රොත්තකි. මම එ.ජා.ප. ලෝලියෙකු නොවුණද මා එ.ජා.ප.ය තේරුම් ගන්නේ මහින්ද රාජ්‍යයට සමරූපී ලෙස එ.ජා.ප.ය = සමාජය ලෙසය.

ආරක්ෂණවාදය වෙනුවට නිදහස් වෙළෙඳාම, ජනසතුකරණය වෙනුවට පෞද්ගලිකකරණය, වෘත්තීය සමිති බලය වෙනුවට පාරිභෝගික බලය, ජාතිවාදය වෙනුවට ලිබරල්වාදය: මේ සියලූ තර්කවලින් සන්නද්ධ වූ කදිම ජවසම්පන්න කණ්ඩායමක් එ.ජා.ප. ය විසින් ස්ථාපිත කරගත යුතුය. ඔබේ පක්ෂයට යන එන මං නැතිවීමට පිළිතුර විය යුත්තේ වැටවල් උඩින් පැනීම නොවේ. ඔබට අවශ්‍ය ධාරණාවක් හෝ හැගීමක් ඇති කර ගැනීමට නම් මේ මග යමින් ඔබට අවශ්‍ය ආකර්ෂණීය නූතන එක්සත් ජාතික පක්ෂය බිහිකර ගත හැකිය.

සමහර මිනිසුන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රතිරූපය ඔවුන්ගේ පුද්ගලික ජීවිතයෙන් සපුරා වෙනස් ය. රනිල් වික්‍ර​මසිංහ යනු දේශපාලන නායකයකු වශයෙන් ඔබට හමුවීමට ලැබෙන කදිම සහ කාරුණික පුද්ගලයන් අතුරින් කෙනෙකි. මම මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ඔහු සමග කළ හැකි එකම දේ ඕපාඳුප කියවීමයි. නමුත් රනිල් සතුව ඇත්තේ විශ්වාස කළ නොහැකි තරමේ විදග්ධ මනසකි. ඔහු ඉතාම තීක්ෂණ පුද්ගලයෙකි. 1997 එක් දවසක මයිකල් රොබට්ස් මට ඔහු විසින් අලූතෙන්ම සංස්කරණය කරන ලද ”සාමූහික අනන්‍යතා නැවත විමසීමක්” නම් පොත මා වෙත පිළිගැන්වීය. ඉන් අනතුරුව මට රනිල් සමඟ රැස්වීමක් තිබුණු බැවින් මම ඔහු හමුවීමට යන විට ඒ පොතද මා අත විය. රනිල් ඒ පොත පිළිබඳව මට විශිෂ්ට හැඳින්වීමක් කළේය. රනිල් බොහෝ සෙයින් පොත පත කියවා ඇති පුද්ගලයෙකු වන අතර ඔහුගේ එක් සමීපතම මිතුරෙකු කියන ආකාරයට තමා වැරදි ස්ථාවරයක සිටින අවස්ථාවකදී වුවද ඔහු තර්කයෙන් ජයගැනීමට සමත්ය. එය දේශපාලනඥයෙකුට සතුරන් ඇති කරගැනීමට හොදම මාර්ගයයි. නමුත් දේශපාලනයේදී කෙනෙකු තමාගේ නියම ස්වරූපයෙන් පෙනී සිටිය යුතුය. එය දුෂ්කර වුවත් රනිල් ඒ ගැන සිතා බැලිය යුතුය. මා කල්පනා කරන්නේ ලංකාවේ විද්‍යුත් මාධ්‍ය විසින් කොළඹ අධ්‍යාපනය ලැබූ රනිල් සහ ලන්ඩනයේ අධ්‍යාපනය ලැබූ සජිත් අතර විවාදයක් සංවිධානය නොකරන්නේ මන්ද යන්නය. එවිට වඩා සුදුස්සා කවුරුද යන්න ගැන එ.ජා.ප. සාමාජිකත්වයට මෙන්ම සමස්ත රටටමද තීරණය කළ හැකි වනු ඇත.

*උවිඳු කූරුකුලසූරිය විසින් ලියන ලද මේ ලිපිය ඒ කාළයේදී සිංහලට අනුවර්තනය කරන ලද්දේ සුදර්ශණ ගුණවර්ධන විසිනි. මේ ලිපිය ඔහුගේ සන්ඩේ ලීඩර් කොලමේ 2011/12/25/ දී ලියන ලද්දකි. පරිවර්තකයා ඇතැම් කරුණු නොසලක හැර ඇත​. සම්පූර්ණ ඉංග්‍රීසි ලිපි කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න​.

What is Wrong With Ranil? Did The UNP Win Because Of John’s Charisma Or John’s Smile ?

The UNP’s Leadership Struggle; Ranil,Sinhala-Buddhist Racism and Rosy

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    උවිඳු කුරුකුලසූරිය,

    RE: රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද?

    Believing Sirisena, the Traitor, Paklala-sena, Sevala-sena, Pacha-sena and Petetha-sena.

    From the grape vines, bulath vines and vettila vines.

    Part 1

    ජනාධිපති සමග සාකච්ඡාවෙන් පසු සිරිසේන කෙරෙහි දැඩි සේ කළකිරුණු සම්බන්ධන් පිටව යයි

    විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපති සමග අද දහවල් සාකච්ඡාවකට ගිය ද්‍රවිඩ එක්සත් සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා සමග දැඩි කළකිරීමකට පත්ව ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    “ඔබ තුමා ජනාධිපති ලෙස පත් කිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමටත් අපි දෙමළ ජනතාව ලෙස සහයෝගය දුන්නා. ඒ දුන්නේ ඔබ දෙපොල එකතු වී සමගියෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාවි යයි කියලයි. අපි ඒ බව ජාත්‍යන්තරයටත් කියා සිටියා. දැන් මෙවැනි දේවල් වලට ඉඩ නොතබා දෙපාර්ශවය සමගියෙන් ඉදිරියට යා යුතුයි. රටේ ප්‍රශ්න විසඳා ගත යුතුයි. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම, දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳා ගැනීම ආදී රාශියක් ප්‍රශ්න ඔබ දෙදෙනා සමගියෙන් විසඳිය යුතුව තිබෙනවා. ඒ නිසා මෙලෙස ගැටුම් ඇති කර නොගෙන ආණ්ඩුව සමගියෙන් ගෙන යන්න කියා අපි කියා සිටිනවා“ යි දැනට ලංකාවේ සිටින වියපත්ම දේශපාලනඥයා වන ආර් සම්බන්ධන් මහතා ඉතා අවධාරණයෙන් ජනාධිපතිවරයා වෙත පවසා තිබේ.

    ගත් කටටම ඊට පිලිතුරු දුන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ විශ්වාස භංගයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ විධායක සභාවට තීන්දුවක් ගැනීමට තමා ඉඩ දී තිබෙන බවත් ඒ අනුව ඔවුන් තීන්දු ගන්නවා මිස තමාගේ කිසිදු සම්බන්ධයක් විශ්වාස භංගය කෙරෙහි නැතැයි ඇඟ ගලවා ගැනීමේ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් කර ඇත.

  • 0
    0

    උවිඳු කුරුකුලසූරිය,

    RE: රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද?

    Believing Sirisena, the Traitor, Paklala-sena, Sevala-sena, Pacha-sena and Petetha-sena

    Part 2.

    මෙම ප්‍රකාශයෙන් දැඩි ලෙස කලකිරීමට පත්වූ සම්පන්දන් මහතා පිටත්ව පැමිණ ඇති අතර විශ්වාසභංගයේ දී තම පක්ෂය ගන්නා තීරණය හෙට ජනාධිපතිට දැනුම් දෙන බව පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කළ දෙමළ ජාතික සන්ධාන සාමාජිකයෙකු කියා සිටියේ තම පක්ෂය සිරිසේන ජනාධිපති කිරීමට ඡන්දය දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වචනය විශ්වාස කළ නිසා බැවින් දැන් මඩුවලිගෙන් තැලිය යුත්තේ චන්ද්‍රිකාට බව ය.

    මේ අතර මංගල සමරවීරගේ මාධ්‍ය ලේකම් වරයා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ජනාධිපති හා මංගල සමරවීර ඇමැතිවරයා අතර වූ බහින් බස් වීමක් වාර්තා කර තිබිණ. ඒ මෙසේය.

    “දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට හැකියාවක් තිබෙන බව එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇති අතර එම හැකියාව සම්බන්ධයෙන් එජාප ඇමතිවරුන් අද උදෑසන ජනාධිපතිවරයා සමග පවසා තිබේ. ඉන් කලබලයට පත් වූ ජනාධිපතිවරයා කෙලින්ම අගමැතිවරයාට පවසා ඇත්තේ ‘දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා’ කියාය.

    අගමැතිවරයා ඊට පිළිතුරු දීමට පෙර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට පිළිතුරු ලබා දී ඇත්තේ බොහෝ දෙනාට අමතක වී ඇති ඉතිහාසය ද ජනාධිපතිවරයාට සිහිපත් කරවමිනි.

  • 0
    0

    Part 3

    Sirisena, Trtaitor, Patola-sena, Pacha-sena, Peretha-sena exposed.

    ‘TNA එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අද ඔබතුමා ඔය පුටුවෙ ඉන්නෙ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. ඔබතුමා දිනුවෙ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තං, TNA එක සහයෝගය දුන්නෙ නැත්තං තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නං ඔබතුමා ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.’

    තවදුරටත් කරුණු දක්වමින් සමරවීර මහතා, ‘එදා හොඳ වෙච්ච TNA එක ඇයි දැන් නරක වෙන්නෙ ?’ යනුවෙන් ජනාධිපතිවරයාගෙන් සෘජුවම විමසා තිබේ.“

    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු කියා සිටියේ මහින්ද ගේ විශ්වාස භංග නාටකයට ජනාධිපති සහාය දීම හේතුවෙන් ‘මොනවා වුනත් අපි පත් කළ ජනාධිපති නේ‘ කියා මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි තිබූ අනුකම්පාව පවා මෙයින් නැතිවී ගිය බවයි.

  • 0
    0

    Compare with Phillipines, Nigeria like countries. the politicians reflect the country.

  • 0
    0

    Ranil is still a child. the day he understands he will grow up . Until that, he is perfectly correct and right. Nothing wrong, I did not do anything wrong. We will write it later not now.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.