

විජයානන්ද ජයවීර
ජනරජ පක්ෂයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සිය ෆේස්බුක් පෝස්ටුවක් මගින් “ප්‍රධාන මාධ්‍යජාලා දෙකක් දේශපාලන පක්ෂ පිහිටුවා රටේ දේශපාලනය කිරීම ගැන ඔබේ අදහස” කුමක්ද යනුවෙන් කළ විමසීමකට මම “දේශපාලන පක්ෂවලට විද්‍යුත් විකාශන බලපත්‍ර ලබා දීම වැරදියි. නමුත් මෙතැන වෙලා තියෙන්නෙ විද්‍යුත් මාධ්‍ය හිමිකාරයෝ දේශපාලන පක්ෂ පිහිටුවල තියෙන එකයි. ඒ නිසා ඔවුන් කරන්න ඕනෙ විද්‍යුත් මාධ්‍යයට තියෙන තමුන්ගේ හිමිකම් විකුනල අයිතිය අතහැරල දේශපාලනය කරන එකයි. ඒක නොකෙරෙනව නම් ඔවුන්ට හෝ ඔවුන්ට අයිති සමාගම්වලට දීල තියෙන විකාශන බලපත්‍ර අහෝසි කළ යුතුයි. විද්‍යුත් මාධ්‍ය බලපත් ලබාදීම ප්‍රධාන කොට නියාමන කටයුතු සඳහා නීති රීති නැති රටක පොදු දේපළ මේ වගේ අයුතු පරිහරණයට ඇති ඉඩ කඩ වැඩියි”යනුවෙන් ප්‍රතිචාරය දැක්වීමි.
නිසි නියාමන නීති ක්‍රමයක් නැති සන්දර්භයක මැතිවරණ සමයකදී තමන් සතු විද්‍යුත් මාධ්‍ය සෘජුව හෝ වක්‍රව තම දේශපාලන පක්ෂය හා එහි අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට සහ තමන්ගේ දේශපාලන අභිලාෂ සඳහා යොදා ගැනීමට අයිතිකරුවන් පෙළඹෙයි. මේ මැතිවරණ සමයක් නිසා තරඟ වදින දේශපාලන පක්ෂ නායක කාරකාදීන්ට කිසියම් විද්‍යුත් මාධ්‍යක් අයත් නම් ඒ ගැන සොයා බලා මැතිවරණය අවසන් වන තෙක් එම විද්‍යුත් මාධ්‍යයවල චර්යාව නිසි ලෙස නියාමනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිසි බලධරයෙකු පත් කිරීම මැතිවරණයේ සාධාරණත්වය රැකීමට සහ එසේ රැකෙන බව පෙන්වීමට අත්‍යවශ්‍යයය. එනිසා මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් නො පමාව මැදිහත්විය යුතුය.
විද්‍යුත් මාධ්‍ය සඳහා යොදා ගන්නා විඛාශන සංඛ්‍යාත පොදු වස්තුවකි. ඒවා භාවිත කළ හැක්කේ සීමිත සංඛ්‍යාවකට බැවින් ඒ සඳහා උචිත පුද්ගලයන්ට බලපතු ලබා දිමේදී එම බලපත්‍රය පොදු යහපත නොතකා තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ සඳහා විද්‍යුත් මාධ්‍ය යොදා ගැනීම වලක්වන, විද්‍යුත් මාධ්‍ය චර්යාවේ අපක්ෂපාතීත්වය සුරකින විධිවිධාන බලපත්‍ර කොන්දේසිවල තිබිය යුත්තේ එබැවිනි. බලය අත්පත් කරගැනීම අභිලාෂය කරගත් දේශපාලනඥයන්ට අයිති හෝ දේශපාලනඥයන්ට වැඩි කොටස් අයිතියක් ඇති ආයතනවලට විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා දීම බැඳියාවන් අතර ගැටුමක් බවට පත්වන්නේ එබැවිනි. ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී හා මතභේදාත්මක කරුණු පිළිබඳ වැඩසටහන් වල දී බලපත්‍ර හිමියාගේ අභිමතය ප්‍රකාශ කිරීම හෝ බලපත්‍ර හිමියා කැමති මතවාදයට මුල් තැන දීම වැළැක්විය යුතු අකටයුත්තක් ලෙස යහපත් නියාමන නීති මගින් පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් ඇති යුරෝපීය නීති අතරින් හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ බ්‍රිතාන්‍ය නියාමන නීතියේ (Communication Act) 320 වැනි ඡේදයේ සඳහන් අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව[1] Special Impartiality Requirement නමැති විධිවිධානයයි.
අපක්ෂපාතීත්වය පිළිබඳ මේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ නො තිබෙන්නට 2017 පැවැතුණු මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සංනිවේදන මහාචාර්ය ජස්ටින් ලුවිස්[2] පෙන්වා දුන්නේ ය[3]. මාධ්‍ය හිමියන් අතර අධිරාජ්‍යයෙක් ලෙස සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන ප්‍රධාන පුවත්පත් බොහෝමයක් එකී මැතිවරණයේ දී පක්ෂපාතීත්වය දැක්වූවේ කොන්සර්වෙටිව් පක්ෂයටයි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසි වෙන ලෙස යොදා ගත නො හැකි වූයේ නියාමන නීතියට අනුව මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි. ඒ නිසා සිය විධ්‍යුත් මාධ්‍ය හරහා මැතිවරණයේ දී මහජන මතය තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි විය.
දේශපාලනඥයන්ට දේශපාලන පක්ෂවලට විධයුත්මාධ්‍ය විකාශන බලපත්‍ර ළබා දීම වළක්වන එවැනි කදිම විදිවිධාන ඔස්ට්‍රෙලියාව, දකුනු අප්‍රිකාව, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල නියාමන නීති විමසා බැලූ විට දැක ගත හැකිය.
ඒ අනුව දේශපාලනඥයන් සතු හෝ දේශපාලනඥයන්ට වැඩි කොටස් අයිතියක් ඇති විද්‍යුත්මාධ්‍ය මැතිවරණ සමයේදී අපක්ෂපාතීව නියාමනය කිරීම පිණිස නිසිබලධරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිසම නොපමාව කටයුතු යෙදිය යුතුය.