12 May, 2026

Blog

ලංකාව සහ ඉන්දුනීසියාව – පවුල් බලයේ එක සමාන පුනරාගමනයක් ද? 

විජයානන්ද ජයවීර

විජයානන්ද ජයවීර

මහජන නැගිටීමකින් ඒකාධිපති සුහර්තෝ බලයෙන් පහ කොට අවුරුදු 26කට පසු සුහර්තෝ පවුල නැවත වරක් එරට දේශපාලන බලය තහවුරු කර ගැනීම පිළිබඳ ෆේස්බුක්හි මා පළ කළ පෝස්ටුවට ප්‍රතිචාර ලෙස එවන් තත්වයක් ලංකාවේ ද ඇතිවිය හැකිදැයි පී.ජී.කරුණාතිලක මහතා විමසා තිබුණි. ඒ ගැන ලිපිය අග දී වෙසෙසින් සාකච්ඡා කරමු.

කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ සිදු වූයේ හුදෙක් රජ පවුලක් නැවත රජකමට පත්වීමක් වැනි සරල සිදුවීමක් නොවේ. එය උපායශීලීව ප්‍රතිරූපය වෙනස් කිරීම, බලවතුන් සමඟ ඇති කරගත් හවුල් සහ අතීතය අමතක කළ තරුණ පරම්පරාව ඉලක්ක කර සිදු කළ සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

සුහර්තෝගේ බෑණා වූ (දුවගේ හිටපු සැමියා) ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) 2024 ජනාධිපතිවරණය ජය ගැනීම හරහා මෙම පවුලේ බලය නැවත තහවුරු විය.

ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් ම විය:

1. ප්‍රබෝවෝ සුබියන්තෝ සහ පවුලේ එකමුතුව (The Prabowo Vehicle)

සුහර්තෝ පවුලට නැවත බලයට පැමිණීම සඳහා තිබූ හොඳම වාහනය වූයේ ප්‍රබෝවෝ ය.ප්‍රබෝවෝ, සුහර්තෝගේ දියණිය වන ටිටික් සුහර්තෝ (Titiek Suharto) ගෙන් දික්කසාද වී සිටිය ද, දේශපාලනික ව ඔවුන් තවමත් එකට සිටී. මැතිවරණ වේදිකාවේ  ඔවුන් දෙදෙනා එකට පෙනී සිටීම හරහාසමගි වූ පවුලක්යන හැඟීම ජනතාවට ලබා දුන්නේය. සුහර්තෝ යනු දරුණු ඒකාධිපතියෙකු ලෙස සැලකුව ද, ප්‍රබෝවෝගේ ව්‍යාපාරය මගින් සුහර්තෝව හඳුන්වා දුන්නේසංවර්ධනයේ පියා” (Father of Development) ලෙසයි. එනම් රටට ස්ථාවරත්වය ගෙනා නායකයෙකු ලෙස ඔහුව හුවා දැක්වීය.

2. විඩෝඩෝ සාධකය (Joko Widodo’s Influence)

ලංකාවේ ප්‍රභුහවුල් වල සිදු වෙන්නාක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව නිසා ජනප්‍රිය වූ හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ සමග ප්‍රබෝවෝ හවුල් විය. ඔහු ප්‍රබෝවෝව තම ආරක්ෂක ඇමති ලෙස පත් කර ගැනීමත්, 2024 දී ඔහුට සහාය පළ කිරීමත් නිසා, ප්‍රබෝවෝට එල්ල වී තිබූ මානව හිමිකම් චෝදනා සහඒකාධිපති හිතවාදියෙක්යන චෝදනා ජනතාව ඉදිරියේ යටපත් විය. ඒ අතර විඩෝඩෝගේ පුතා (Gibran) ප්‍රබෝවෝගේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. මෙය පවුල් දේශපාලන බල කඳවුරු දෙකක් එකතු වීමකි.

3. තරුණ පරම්පරාවේ අමතක වීම සහ ටික්ටොක් උන්මාදය (Generational Amnesia)

මෙවර ඡන්දදායකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් 1998 දී සුහර්තෝ පාලනය බිඳ වැටෙන විට ඉපදී හෝ නොතිබූ “Gen Z” (නව යොවුන්) පරපුරයි. ඔවුන් සුහර්තෝගේ භීෂණ පාලනය, ශිෂ්‍ය මර්දනය හෝ ආර්ථික කඩාවැටීම් අත්විඳ නැත. ඔවුන් දන්නේ සමාජ මාධ්‍ය හරහා දකින තොරතුරු පමණි. Gemoy (හුරතල්) සීයා: ප්‍රබෝවෝ යනු දරුණු හමුදා නිලධාරියෙකු වුවද, ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය හරහා ඔහුව හුවා දැක්වූයේහුරතල් සීයා කෙනෙක්” (Gemoy) ලෙසයි. මෙම ප්‍රචාරණ උපක්‍රමය නිසා තරුණ පරම්පරාව ඔහුගේ අඳුරු අතීතය ගැන තැකීමක් කළේ නැත.

4. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරීම (Disillusionment with Reformasi)

1998 දී ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත්තද, ඉන්දුනීසියාවේ දූෂණය සහ අකාර්යක්ෂමතාව දිගින් දිගටම පැවතුණි. දූෂණය සහ අකාර්යක්ෂමතාව මහජනතාවට දැනෙන ලෙස තුරන් කර දැමීමට සුහර්තොගෙන් පසු බලයට පත් වූවන් කටයුතු නො කළේ ය. සුහර්තෝ පවුල ද ඇතුළුව දේශපාලන බලය අවභාවිත කළ කිසිවකුට ඔවුන් කළ අපරාධ විනිශ්චයට ලක් කොට දඬුවම් දීමේ අවංක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.

පැරණි දේ හොඳයි යන මතය: වර්තමාන දේශපාලන අවුල් සහගත බව දකින ජනතාවට, “සුහර්තෝගේ කාලේ මීට වඩා හොඳයි, එදා බඩු මිල අඩුයි, රට ස්ථාවරයියන මතය (Nostalgia) ආකර්ෂණීය විය. මෙය ලංකාවේ දී ද ඇතැම් විට අපට ඇසෙනහිට්ලර් කෙනෙක් හරි කමක් නෑ රට හදනවා නම්වැනි මතවාදයට සමානය.

5. මූල්‍ය ශක්තිය (Financial Power)

සුහර්තෝ පවුල බලයෙන් ඉවත් වුවද ඔවුන් සතු අතිවිශාල ධනය විනාශ වූයේ නැත. ව්‍යාපාරික ලෝකය තුළ ඔවුන් සතු බලය එලෙස ම පැවතුණි. දේශපාලන බලය අහිමි වී තිබූ කාලය තුළ පවා ඔවුන්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය හරහා දේශපාලන ක්‍රියාවලියට අරමුදල් සැපයීමට ඔවුන්ට හැකි විය.

සරලව ම කිව හොත්, සුහර්තෝ පවුල නැවත බලයට පැමිණියේ බලහත්කාරයෙන් නොවේ. ඔවුන් කළේ ජනතාවට අතීතය අමතක වන තෙක් බලා සිටීමයි. වත්මන් ජනප්‍රිය නායකයා (විඩෝඩෝ) සමඟ එකතු වී, සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පැරණි ඒකාධිපති පාලනයරටට වැඩක් වූ ස්ථාවර යුගයක්ලෙස නැවත අර්ථකථනය කරමින් (Rebranding) ඔවුහු 2024 දී ජයග්‍රහණය කළහ.

ඉන්දුනීසියාවත් ලංකාවත් පවත්වාගෙන යන්නේ උදක් ම ප්‍රභූ බලය පවත්වා ගැනීම සඳහා සැකසු එකම වර්ගයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති ප්‍රෝඩාවක් නිසා ඉන්දුනීසියාවේ සිදුවූ දෙය ලංකාවේද  සිදු නොවේ යැයි කිව නොහැකිය. මට හිතෙන අන්දමට එය වැළැක්වීමට නම් ප්‍රභුතන්ත්‍රයක අධිකාරි පාලනය වෙනුවට තමන්ගේ ම වූ නියම ප්‍රජාතන්ත්‍රයක සංවිචාරණීය පාලනයකට ජනතාවට සංක්‍රමණය වීමට හැකිවන ව්‍යුහාත්මක වෙනස්කම් ආණ්ඩුක්‍රමයට ඇති කරගැනීමට අපට හැකි විය යුතුය. ඒ කටයුත්ත නොවළහා දියත් කළ යුතු එකකි. (සංවිචාරණීය ආණ්ඩුක්‍රමයක් යන්න වැඩි විස්තර මගේ සංවිචාරණීය සමාජයක් කෘතියේ සාකච්ඡා කර තිබේ.)

ඒ හා සමග දේශපාලන බලයක් නැති ආන්තික ජන කොටස් ඇතුළු ග්‍රාමීය ජනතාව ප්‍රභුතන්ත්‍රයේ රැවටිලිකාර ප්‍රයෝගවල ඉත්තන් බවට පත්කර ගැනීමට ඇති ඉඩ අවම කරගැනීමට නම් එක තැන පල් වෙන සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය, යහපත් අනාගතයකට තමන් පා තබා ඇති බව එම ජනතාවට දැනෙන ආකාරයට, ඵලදායී ලෙස පරිවර්තනය කිරීමේ ආයෝජන වැඩපිළිවෙළක් සමග එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධන සම්පත් නිශ්චිත ලෙස ප්‍රතිව්‍යාප්ත කිරීමත් හඳුන්වා දිය යුතුය. මෙය හුදෙක් පොහොර සහනාධාරය හෝ අස්වැසුම වැනි සිල්ලර අනුග්‍රාහක වැඩ අතික්‍රමණය කරමින් ග්‍රාමීය ආර්ථිකය සමස්ත ආර්ථිකය තුළ  කුළු ගන්වන ආකර්ශනීය වැඩ පිළිවෙළක් විය යුතුය. ඒ් සඳහා අලුතින් ම සිතිය යුතුය.

ප්‍රභුතන්ත්‍රවාදී පාලනය බොහෝ විට යැපෙන්නේ ම අවභාවිතාව, දූෂණය හා වංචාව මුල් කොට උපයා ගත් ධනය මතය. අන්තේවාසික පාලනයක් පවත්වා ගැනීමට නම් ඔවුන්ට තම අභිලාෂ අනුුව කටයුතු කරන මාධ්‍ය මෙහෙයුම්කරුවන් සහ පක්ෂග්‍රාහී ජන ජනමාධ්‍ය ද අවශ්‍යය ය. ඒ් නිසා මහජන යහපත පාදක කරගත් ජනමාධ්‍ය ක්‍රමයක් ඇති කරගැනීමට ජනමාධ්‍යයේ ස්වාධීනත්වය, සංලේඛ්‍ය නිදහස සහ අදීන බව තහවුරු කරන වැඩපිළිවෙළක් ද වහාම දියත් කිරීම අත්‍යවශ්‍යය ය.

මේ සියල්ලත් සමග වැදගත් ම සහ  නො පසුබට ව ම කළ යුතු කටයුත්ත නම් පාලකයන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් ලෙස කටයුතු කරමින් සිය තනතුරු, පොදු දේපළ සහ අරමුදල් අවභාවිත කළ සියලු දූෂිතයන් සහ වංචනිකයන් කල් නො යවා නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම් ලබා දී පුනරුත්තාපනය වන තෙක් දේශපාලන අයිතිය අහෝසි කිරීමයි. ඉන්දුනීසියාවේ සුහර්තොගෙන් පසු බලයට පත් ප්‍රභූ පැලැන්තියට මේ කටයුත්ත ඉටු කිරීමට අවශ්‍යතාවක් නොවීය. ඒ වෙනුවට ඔවුහු ලංකාවේ මෙන්ම අන්තර් පවුල් සහයෝගිතාව ගොඩනගා ගෙන දිගින් දිගටම ප්‍රභුතන්ත්‍රය රැක ගත්තෝ ය.

පසුබට වීමට කාලයක් නැත.

Latest comment

  • 0
    0

    ඉතාම කාලෝචිත ලිපියක්. ඒ වගේම ඉන්දුනීසියාව සමග කල සුහුරු සමරූපී සංසන්දනයක්. ඔබ කියනා ඉන්දුනීසියාවේ පෙර සිදුවීම් සහ ලංකාවේ විය හැකි සිදුවීම් අතර සමීපත්වයක් මම ද දකිනවා. ඔබ නිවැරදිව කිවූ කාරණා අතරින් මේ කරුණ නම් මම ඉතා දැඩි ලෙස විමසිලිමත් වන දෙයක්. එනම් “…පොදු දේපළ සහ අරමුදල් අවභාවිත කළ සියලු දූෂිතයන් සහ වංචනිකයන් කල් නො යවා නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම් ලබා දී පුනරුත්තාපනය වන තෙක් දේශපාලන අයිතිය අහෝසි කිරීමයි. …” ඉතාම කනගාටුදායක ලෙස මෙම කාරණය ධනාත්මකව ක්‍රියාත්මක වීම නම් තවම පෙනෙන තෙක් මානයේ නෑ.
    NPP රජය මේ කාරණය මත කල් මැරීම දිගටම කරගෙන යන්නේ නම් එය ඔවුන්ගේම සිය දිවි හානි කර ගැනීමේ සීඝ්‍රගාමී මාර්ගය (fast track) බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.