
විජයානන්ද ජයවීර
ලංකාවේ ආපදා ව්‍යසන ප්‍රතිසාධනය කිරීමේ දී යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කරන්නේ අදාළ දෙපාර්තමේන්තු හා ආයතන මගිනි. ඒ අතර ව්‍යසනයට ලක්වූවන්ගේ අවශ්‍යතා පිළිබඳ තක්සේරු කිරීම්, වන්දී ගෙවීම සහ ආධාර සැපයීමේ රාජ්‍ය වගකීම බිම් මට්ටමේ දී සාමාන්‍යයෙන් ඉටු කෙරෙන්නේ දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක ක්‍රමය හරහා ය. පළාත් පාලන ආයතන වලට එම වැඩපිළිවෙළේ දී එතරම් වැදගත් තැනක් නො ලැබේ. කෙසේ වෙතත් ක්ෂණික සහනාධාර සැපයීම සඳහා සහකම්පනය මත මැදිහත් වන පුරවැසි කණ්ඩායම් සහ සංවිධානවලින් කැපී පෙනෙන සේවයක් ඉටු වීම ආපදාවලට මුහුණ දුන් ජනතාවගේ සමීප ඕනෑ කම් ඉටු කිරීමේ කාර්ය වඩාත් පහසු කර තිබේ.
කෙසේ වෙතත් ව්‍යසනයේ විපාකවලට ලක්වූවන් හුදු වින්දිතයන් ලෙස සැලකීමට වඩා ඔවුන් ස්වෝත්සාහයෙන් නැවත ජීවිත ගොඩ නගා ගැනීමට වැර වෑයම් කරන්නන් ලෙස සලකා ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ඔවුන්ගේ සෘජු සහභාගිත්වය ලබා ගැනීමේ ආයතනික වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අපට තවමත් හැකිව නැත. ප්‍රතිසාධන කටයුතුවල විනිවිද භාවය සහ විශ්වසනීය භාවය තහවුරු කිරීමට තීරණ ගැනීමේ දී ඔවුන්ගේ ද සහභාගිත්වය තහවුරු කිරීමෙන් කළ හැකිය. උදාහරණයක් ලෙස අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ දී පෙරට වඩා සුදුසු ආරක්ෂිත තැන්වල නැවත පදිංචි කරවීමේ දී ඇතිවිය හැකි විරසක අවම කර ගත හැකි වන්නේ තීරණ ගැනීමේ දී ඔවුන්ගේ සහභාගිත්වය ද තහවුරු කොට එම අදහස් ද සාකච්ඡාවට ලක් කළ විට ය.
ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් දැනටමත් සැලකිය යුතු අවධානයක් යොමු වෙමින් ඇති බැවින් මේ ව්‍යසනය නව අවදානම් ඇති වීම වැළැක්වීමේ විධිවිධාන කෙරෙහි බරපතළ ලෙස යොමු කිරීම වටී. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව ආපදා හානි නිසා ශී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 50 අලාභයක් ඇතිවෙන අතර ඉන් රුපියල් බිලියන 32 ක් ගංවතුර නිසා ද බිලියන 11ක් අධි සුළං හෝ සුළි සුළං නිසා ද සිදුවන අලාභ හානි වේ. මෙවර සිදු ව ඇති හානිය තවම ගණන් බලා නැති වුවද එය ලෝක බැංකුවේ ඉහත ඇස්තමේන්තුවට වඩා අතිශයින් ම වැඩි විය හැකි බව දනිමු . කාලගුණ විද්‍යා වාර්තා වලට අනුව මෙවරත් සමග 1881 සිට මෙතෙක් අපට මුහුණ දීමට සිදු ව අත්තේ සුළි සුළං (Cyclone) යැ‘යි සැලකිය හැකි ආපදා හයකට පමණි. ඒ සියල්ල ම නැගෙනහිරින් පැමිණි ඒවා ය. කෙසේ වෙතත් ගෝලීය උණුසුම ඉහළ යාම සමඟ ඉන්දියානු සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බැවින් සුළි සුළං ඇතිවීමේ ප්‍රවණතාව සහ වාර ගණන ඉහළ යාමට හැකි බව දේශගුණ විපර්යාස නිරීක්ෂණ වලින් පෙන්නුම් කරයි. ඒ නිසා අවදානම් වලට මුහුණ දීමට සහ ඉන් ඇතිවෙන හානිය අවම කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් අප සතුව තිබිය යුතුය.
බොහෝ දේශපාලනඥයෝ නො දන්නවාට ලංකාව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් ඇතිකරගෙන තිබෙන ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ ප්‍රදාන ජාත්‍යන්තර එකඟතාවේ පංගු කරුවෙකි. එම එකඟතාව හඳුන්වන්නේ සෙන්ඩායි වැඩ රාමුව (Sendai Framework) යනුවෙනි. 2015 මාර්තු මාසයේ දී ජපානයේ සෙන්ඩායි නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ තුන්වැනි ආපදා අවදානම අවම කිරීමේ ලෝක සමුළුවේ දී මෙය සම්මත කර ගන්නා ලදී
සෙන්ඩායි වැඩ රාමුවේ ප්‍රධාන ඉලක්කය වන්නේ නව ආපදා අවදානම් ඇතිවීම වැළැක්වීම සහ දැනට පවතින අවදානම් අවම කිරීමයි. හුදෙක් ආපදාවක් සිදු වූ පසු එය කළමනාකරණය කිරීමට වඩා (Disaster Management), ආපදා ඇතිවීමේ අවදානම කල් තියා කළමනාකරණය කිරීම (Disaster Risk Management) මෙහි මූලික හරයයි.
රටවල් සහ ප්‍රජාවන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ප්‍රමුඛතා හතරක් සෙන්ඩායි වැඩ රාමුවට අයත් වේ. එනම්:
1. ආපදා අවදානම අවබෝධ කර ගැනීම: ආපදා අවදානම, ඊට ඇති නැඹුරුව සහ ඊට ඔරොත්තු දීමේ හැකියාව ගැන නිවැරදි තොරතුරු රැස් කිරීම සහ අවබෝධ කර ගැනීම.
2. ආපදා අවදානම් පාලනය ශක්තිමත් කිරීම: ජාතික, ප්‍රාදේශීය සහ ගෝලීය මට්ටමින් ආපදා අවදානම් කළමනාකරණය සඳහා නීති රීති සහ පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම.
3. ආපදා අවදානම අඩු කිරීම සඳහා ආයෝජනය කිරීම: ඔරොත්තු දීමේ හැකියාව (Resilience) වර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම.
4. ආපදා සඳහා සූදානම් වීම සහ “යළි ගොඩනැගීම” (Build Back Better): ආපදාවක දී කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට සූදානම් වීම සහ ආපදාවෙන් පසු යළි ගොඩනැගීමේ දී පෙරට වඩා ශක්තිමත් ව සහ ආරක්ෂිත ව එය සිදු කිරීම.
මෙකී ප්‍රම්‍රඛතා අනුව 2030 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක 7ක් සෙන්ඩායි රාමුව මගින් හඳුන්වා දී ඇත:
* ආපදා මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීම.
* ආපදා නිසා පීඩාවට පත් වන ජනගහනය අඩු කිරීම.
ආපදානිසාසිදුවනසෘජුආර්ථිකඅලාභයඅවමකිරීම.
* අත්‍යවශ්‍ය යටිතල පහසුකම් (පාසල්, රෝහල් ආදිය) වලට සිදුවන හානිය අඩු කිරීම.
* ජාතික සහ ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ උපාය මාර්ග ඇති රටවල් ගණන වැඩි කිරීම.
* සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම.
* බහු–උවදුරු පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති (Multi-hazard early warning systems) සහ තොරතුරු ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි පරිදි ව්‍යාප්ත කිරීම.
සෙන්ඩායි රාමුව ආපදා අවදානම් කළමනාකරණය හුදෙක් රජයේ වගකීමක් පමණක් නොව, පළාත් පාලන ආයතන, පෞද්ගලික අංශය සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මුළු මහත් සමාජයේ ම වගකීමක් ලෙස හුවා දක්වයි.
සෙන්ඩායි වැඩ රාමුව අනුව කටයුතු කිරීමට 2015 සිට කාර්යක්ෂම වැඩ පිළිවෙළක් දියත් කර තිබුණේ නම් ආපදා ඇතිවීමේ අවදානම කල් තියා කළමනාකරණය කර ගත හැකිව තිබුණි එසේ වී නම් මේ සා ව්‍යසනයකට මුහුණ දීමට අපට සිදුවන්නේ නැත. දැන් විපක්ෂයට තල්ලු වී සිටින අයට ද මෙවැනි එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම නො සලකා හැරීමේ පාපයෙන් ගැලවීමට නොහැකිය. ඒ නිසා වර්තමාන රජය වත් සෙන්ඩායි වැඩ රාමුව අවබෝධ ජනක ලෙස ක්‍රියාවට නැංවීමට අප්‍රමාද ව කටයුතු කළ යුතුය.
එම කටයුත්ත ප්‍රාදේශීය සභා මට්ටමින් ආපදා අවදානම අවබෝධ කර ගැනීමේ කටයුතු වලින් ඇරඹීම වඩා ඵලදායක ය. මන්ද සියලු අවදානම් අවසානයේ දී ප්‍රාදූර්භුත වන්නේ ලෝකල් මට්ටමෙන් වන බැවිනි. අවදානමට ලක් විය හැකි භුමි සහ අවදානමට ඇති නැඹුරුව පිළිබඳ විස්තර සමග සිතියම් ගත කිරීම, ආපදාවට ලක් විය හැකි පවුල් සහ නිවාස ගොඩනැගිලි, ව්‍යාපාර සහ දේපොළ පිළිබඳ තොරතුරු, අනතුරු ඇඟවීමට භාවිතා කළ හැකි ක්‍රමවේද, හදිසි ඉවත් කිරීමේ පූර්ව සැලසුම් සහ ඒ සඳහා යොදන විධිවිධාන හා ආයතන වල කාර්යභාරය, අවදානම් අවම කිරීම සඳහා හදිසි අවස්ථාවල දී යොදා ගන්නා පිරිස් බලය සහ අවශ්‍ය සම්පත් ආදී වසයෙන් ප්‍රාදේශීය සභා නගර සභා ආදී වසයෙන් පළාත් පාලන ආයතන මට්ටමෙන් පෙර සූදානම් සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍යය. මේ සඳහා එකී ආයතනවලට අවශ්‍ය කරන මාර්ගෝපදේශ, මෘදුකාංග මොඩල සැපයීම, තාක්ෂණික උපදේශ සඳහා විශ්ව විද්‍යාල ඇතුළුව අවශ්‍ය දැනුම සහ විශේෂඥතාව ඇති ආයතන සම්බන්ධ කර ගත හැකිය. මේ කටයුතු නොවළහා දියත් කරනු ඇතැ’යි අපි බලාපොරොත්තු වෙමු. ඒ අනුව තමන්ට අභිමුඛ වීමට සිදුවන ආපදා මොනවාද ඒවායේ අවදානම අවම කර ගැනීමේ ලා තම තමන්ගේ කාර්යභාරය කුමක් ද යන්න වටහා ගැනීමට සියලු පුරවැසියන්ට හැකි වනු ඇත.
එය පුරවැසියන් සතු තොරතුරු දැන ගැනීමේ අයිතියේ ද අනිවාර්යය අංගයක් මෙන්ම ව්‍යසන නිසා සිදුවන හානි අවම කර ගැනීමේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ද වේ.
*විජයානන්ද ජයවීර -යුනෙස්කෝ ආයතනයේ සංනිවේදන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක ව සිටි විශ්‍රාමිකයෙකි.