18 June, 2026

Blog

ගල්අඟුරු අවලාදයට පිළිතුර අලුත් විමර්ශන අච්චාරුවක් නොවේ

විජයානන්ද ජයවීර​ –

විජයානන්ද ජයවීර

ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් එය වැදගත් පියවරක් විය හැක්කේ එම කොමිසමේ පරීක්ෂණය විගනකාධිපතිවරයා ඉදිරිපත් කළ අළුත්ම වාර්තාවෙන් පෙන්වාදී තිබෙන විවාදයට තුඩු දී ඇති වර්තමාන ගල් අඟුරු මිළ දී ගැනීමේ සිද්ධියට පමණක් සීමා කිරීමෙන් මිස මීටත් වඩා දේවල් ඉස්සරත් වෙලා තියෙනවා යැයි පෙන්වීමට මේ සිද්ධිය පරණ ආණ්ඩුවල දූෂණ වලින් වසා දැමීමට හැකිවන සේ කොමිසමේ මැන්ඩේටය පුළුල් කොට වසර ගණන් ඇදෙන විමර්ශන අචිචාරුවක් දැමීමෙන් නොවේ.

මේ සඳහා පත්කරන පූර්ණ බලැති ජනාධිපති කොමිසම ශ්‍රේෂ්‍ටාධිකරණ විනිසුරු වරෙයකු සභාපති ධුරය දරන මහජන ගෞරවය දිනූ තවත් අදීන වෘත්තිකයන් දෙදෙනෙකු ඇති එකක් විය යුතු අතර එහි මැන්ඩේටය විය යුත්තේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති පරිදි පාඩුව සිදුව ඇත්තේ කිසියම් දූෂණයක් නිසාද නැතහොත් අදාළ වගකිව යුත්තන්ගේ නොසැලකිල්ල හා අකාරියක්ෂමතාව නිසාද යන්න විමසා වගකිව යුත්තන් සමිබන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසමේ කටයුතු අවසන්වන තෙක් බලශක්ති ඇමැතිවරයා ස්වේච්ඡාවෙන්ම සිය ධුරය අත්හැර ජනාධිපතිවරයා විසින් වැඩ බැලීමට කෙනෙකු පත්කිරීමට ඉඩ ලබා දිය යුතුය. කොමිසමේ විමර්ශන කාලය තුන් හාර මාසයකය සීමා කිරීම ද එක් කොන්දේසියක් විය යුතුය. තම සගයන් බොහෝ කැපවීම් කොට දිනාගත් මහජන විශ්වාසය රැක ගැනීම පිණිස කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම පිණිස එසේ ස්වේච්ඡාවෙන් ඉවත්වීම ඇමැතිවරයාට කළහැකි ගරුකටයුතු දෙයකි.

පරණ ගල් අඟුරු දූෂණ සොයා බැලීම කොහොමටත් මේ රජයට ලැබුණු ජනවරමට ඇතුලත් වන බැවින් ඒ කටයුතු මහජන විශ්වාසය නිරන්තරයෙන් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මේ සුවිශේෂී කටයුත්ත සමග පටලවා නො ගත යුතුය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.