19 July, 2024

Blog

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

විජයානන්ද ජයවීර

විජයානන්ද ජයවීර

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවායන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ ව මම මගේසංවිචාරණිය සමාජයක්කෘතියේදේශපාලනයට නව දැක්මක්නම් මුල් කොටසින් වෙසෙසින් සාකච්ඡා කළෙමි. මේ අතර එන මස පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අරභයා ප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකු හා සමාජ විචාරකයෙකු වන ජෝර්ජ මොන්බියට් මහ මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ විගඩමකිමහජනතාවට නියම හඬක් දෙමු යන මැයෙන් ජුනි 06 දින ගාඩියන් පුවත්පතට ලියූ ලිපියෙන් පෙන්වා දුන්නේ ද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට යෙදිය හැකි පිළියම් ගැනය. “අපේ ක්‍රමය සැලසුම්කර ඇත්තේ ම පාලනය බලවත් අය අතර පමණක් ම රඳවා තබා ගැනීම සඳහාය. ඒ නිසා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොතැරැයි ක්‍රමයට නියෝජිතයන් තෝරා ගැනීම නියම නියෝජනයක් ඇතිකර ගැනීමට භාවිතා කළ හැකි ඵලදායීක්‍රම දෙකක් බව මම සිතමියනුවෙන් මොන්බියොට් සිය ලිපියේ සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ ඊනියා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මැතිවරණ වටා ජනතාව ඇන්දවෙන අපේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ද ඔහුගේ ඒ විවේචනය අදාළය.

මොන්බියොට් සිය ලිපිය අරඹන්නේ සති හා මාස ගණනක් තිස්සේ මහ මැතිවරණය බ්‍රිතාන්‍ය වැසියන්ගේ සමාජ ජීවිතය අරාගෙන සිටින බව අපට මතක් කරමිනි. මාධ්‍ය වාර්තා සහ පොදු කතාබහ ද  මැතිවරණ වටා බිහිවන කෝපභරිත පොරකෑම් වලින් හා වියරු අනුමානවලින් පිරීතිරී ගොස් තිබේ. එහෙත් අනෙක් හැම වැදගත් දෙයක්ම, එනම් වැඩදායක ප්‍රතිපත්ති සම්පාදනය, වැසියන් මුහුණ දෙන ප්‍රශ්න නිරවුල් කොට විසඳා ගැනීම සහ සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු කාරණා ඒත්තු යන ලෙස හේතු යුක්ති දැක්වීම මුලුමනින්ම පාහේ ඇනහිට තිබේ. කෙසේ වෙතත් පුදුමයක් නො වන්නේ මේ මහා කළබැගෑනිය නිම වූ විට අවසානයේදී අප අපේ කිසිදු ගැටළුවක් විසඳා ගෙන නැති බව සොයා ගැනීම බව මොන්බියට් පෙන්වා දෙයි.

මැතිවරණයක් යනු ගැටුම් අතිශයින් තීව්‍ර කරන සහ ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින් අවම කරණ සංසිද්ධියකි. අපටද එකඟවිය හැකි මොන්බියට්ගේ මතයට අනුව මැතිවරණයක දී දේශපාලන පක්ෂ සිය ප්‍රතිරූපය තහවුරු කර ගැනීමට බොහෝවිට තැත්කරන්නේ වැඩකට නැති දේවල් තම වාසියට යොදාගනිමින් භේදය සහ ක්‍රොධය වැපිරීමෙනි. ඒ අතර ම බලගතු අධිපති කල්ලි පුද්ගලික අයිතියට පැවරූ බ්‍රිතාන්‍ය පොදු සේවාවල අකාර්යක්ෂතාව, නිතිපතා උග්‍රවන ඇතිහැකි හා නැතිබැරි පරතරය, පොදු වියදම් කප්පාදුව වැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් ජාවාරම්කාර වාණිජ ලොබිය සහ බිලියනපතියන් සතු මාධ්‍ය හා එකට එක්ව මහජන මතය නෙමග යැවීමට කටයුතු කරන බව මොන්බියට් පවසයි. ඡන්දය ඉල්ලන බොහෝ දෙනෙක් කරන්නේ ඇත්ත ප්‍රශ්නවලින් අපේ අවධානය වෙනතකට යොමු කිරීම, ජනතාව ඇන්දවීම සහ බොරු පොරොන්දු දීමයි.

අපේ දේශපාලඥයන් මෙන් ම ප්‍රජා කණ්ඩායම් එකිනෙකට එරෙහිව යොදා ගැනීම බ්‍රිතාන්‍ය මැතිවරණ දේශපාලනයේ ද ප්‍රකට මැතිවරණ උපක්‍රමයකි. මෙයට කදිම උදාහරණයක් වන්නේ  තරුණ ජනතාව යනු අවශ්‍යෙයන් ම විසඳිය යුතු සමාජ ප්‍රශ්නයකි යන්න සිය වැඩිහිටි ඡන්ද පදනමට ඒත්තු ගැන්වීමට බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂය දරන වෑයමයි. ඔවුන් කියන අන්දමට තරුණයන් හීලෑකර තැබීම සඳහා ජාතික ශ්‍රම බලකායක් යොදාගත යුතුය. මොන්බියෙට් පෙන්වාදෙන අන්දමට සංකීර්ණ ප්‍රශ්න ඒ අන්දමින් දේශපාලන පක්ෂ විසින් කෘර ලෙසඒක නැත්තම් මේකයන බයිනරි තේරීම්වලට ලඝු කොට තිබේ. 2019 බ්‍රිතාන්‍ය මැතිවරණයේදී බෙහෙවින් යොදාගත්යුරෝපයෙන්  වෙන්ව යමව් (Get Brexit Done)’ යන චචන තුනේ විලාපයද එවැන්නකි. ගෝලීය උණුසුම ඉහළයාම ප්‍රමුඛ පරිසර අර්බුධය, ධනය ප්‍රතිව්‍යාප්තවීම වළකමින් ධනකුවේරයන් අතර පමණක් එන්න එන්න ම අධික ලෙස එක්රැස්වන ඉමහත් ධන සම්භාරය, අත්‍යවශ්‍ය ආහාර පද්ධති කඩාවැටීමේ අනතුර හෝ න්‍යෂ්ටික යුද්ධයක අවදානම වැනි වැදගත් ප්‍රශ්න නො විසඳීම පමණක් නොව සඳහන් කිරීමකට පවා ලක් නො කිරීමට මැතිවඑණ දේශපාලනය ඉටා ගෙන තිබේ. ඒ අනුව හැම වසර පහකටම වරක් ඡන්දය සලකුණු කිරීම නැමැති තත්පර 10ක ක්‍රියාව ඉටු කොට ඉඳගෙන බලාසිටීම හැර අපට කරන්නට දෙයක් නැත. අවසානයේදී අපේ නියෝජනයක් ඇත්තේම නැති පාර්ලිමේන්තුවක් සමග නියෝජන ක්‍රමයකැයි කියා ගන්නා ආණ්ඩුක්‍රමයක් තුළ කළකිරීම නමැති සදාකාලික හැඟීමත් සමග සිරගත වී සිටීමට අපට සිදුව ඇති බව මෙන්බියොට් පවසයි. අපේ අසාර්ථක නියෝජන ක්‍රමය මේ කළකිරීම 225හම අපට එපා යන අරගල සටන්පාඨයෙන් නිරූපණය කළේය.

තාර්තිතව බැලූවිට ධනවාදය යනු ඇත්තටම වෙළඳපොළවල් යන්නෙහි විරුද්ධාර්ථ පදය ලෙස ගිනිය හැකිය. එමෙන්ම අප දැන් මුහුණ දෙන ආකාරයේ මැතිවරණ ද ප්‍රජාතන්ත්‍රවාදයේ විරුද්ධාර්ථපදය ලෙස සැලකිය හැකිය. අපේ සමාජ ජීවිතයේ අනෙකුත් බොහෝ කරුණු මෙන් ම මුලුමනින්ම වෙනස් අදහස් ගෙන ඒමට​ යොදාගත් එවැනි බොහෝ සංකල්ප දැන් අප බලාපොරොත්තු නොවූ ආකාරයේ මුලා කිරීම් වලට පරිවර්තනය වී තිබේ.

මේ වෙනස පිළිබඳව කිසියම් අවබෝධයක් පූර්ව සමාජවලට තිබුණු බව මොන්බියොට් මතක් කරයි. මැතිවරණ හරහා බිහිවන්නේ අතලොස්සක් අත බලය රැඳෙන වරප්‍රසාදලත් කල්ලියක ආණ්ඩුවක් බව ඇරිස්ටෝටල් සහ මොන්තෙස්කියු පවසා තිබුණි. ඇමෙරිකානු හා ප්‍රංශ විප්ලව වලින් පසු නව ආණ්ඩුක්‍රම සැලසුම්කරුව්න් ද ඇත්ත වසයෙන් ම ඉටු කළේ ඔවුන් විසින් විශ්වාසය තැබීමට බිය වූ අතිබහුතර ජනතාව බලය භුක්ති විඳීමේ හවුල්කරුවන් වීම වැළැක්වීමයි. ඔවුන් අතරින් ජේම්ස් මැඩිසන්, ජෝන් ඇඩම්ස්, අන්තුවාන් බර්නාව් (Antoine Barnave) සහ බුවාසි ඩොන්ග්ලා (Boissy D’Anglas) ආදීන් ප්‍රජාතන්ත්‍රවාදය යනු බියකරු සංකල්පයක්යැයි දොස්නගමින් මැතිවරණයේදී ඡන්දයෙන් තෝරා පත්වන නියෝජිතයන් සාමාන්‍ය පොදු මහජනතාවගෙන් සහමුලින්ම වෙනස් වූ අවංක හා විචක්ෂණ ඥානවන්තයන්ගේ ස්වභාවික වංසක්කාර පන්තියක් ලෙස සැලකිය යුතුයැයි කියා සිටියේය. එහෙත් ඔය කියන අවංක ඥානවන්ත වංසක්කාර ගතිගුණ මැතිවරණයෙන් පත්වෙන නියෝජිතයන් තුළ අනිවාර්යයෙන් ම ඇති නොවන බව අපි දැන් අත්දැකීමෙන් දනිමු යනුවෙන් මොන්බියට් පවසයි.

ලංකාව කොපිකරගත් බ්‍රිතාන්‍යෙය් සම්ප්‍රදායික දේශපාලන මොඩලය මොන්බියට් පෙනවා දෙන පරිදි ප්‍රජාතන්‍ත්‍රවාදය යනු කැත වචනයක් ලෙස සැලකුණු මහජනතාව යනු නින්දිත සැහැසි ජනසන්නිපාතයක් ලෙස හුවා දැක්වුණු 18වැනි සියවසේ දී පිහිටුවන ලද එකකි. සර්වජන ඡන්දය හඳුන්වා දුන් පසුව වුවද එම මොඩලය කිසිදු හානියකින් තොරව සුරැකුණි. අපේ අභිප්‍රායන්, අපේ ආදායම්, අපේ වත්කම්, අපේ අවශ්‍යතා සහ අප හිතන ආකාරයට හාත්පසින්ම  වෙනස්  මිනිසුන් අපේ මැතිවරණ ආණ්ඩුක්‍රම මගින් නිරතුරු ව පාලකයන් ලෙස තෝරාපත්වන්නේ ඇයි යනුවෙන් අසන මොන්බියොට් ඊට හේතුව එම මොඩලය සැලසුම් කර ඇත්තේම ඒ ආකාරයට වැඩ කිරීමට පමණක් වන බැවින් යැයි පවසයි.

එහෙත් මේ දුර්වලතා ජයගත හැකි බෙහෝ විකල්ප තිබේ. මොන්බියොට් පෙනවා දෙන අන්දමට ඒවා ක්‍රියාත්මක කිරීම වැළැකී ඇත්තේ ප්‍රායෝගික නො වීම නිසා නොව ඒ නිසා සිය බලය ගිලිහී යතැයි බලගතු අය තුළ ඇති බිය නිසාය. තමන් මීට පෙර කොලමකින් විස්තර කළ ඊසාන දිග සිරියාවේ රොජාවා හි ක්‍රියාත්මක වන ඉහළින් තීරණ ගැනීම වෙනුවට ප්‍රජාමට්ටමින් තීරණ ගන්නා මරේ බුචින්ගේ ජනප්‍රිය මහජන සභා මොඩලය සහ දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලෙග්‍රේහි ඉතා සාර්ථකව බාවිතාවන අයවැය සම්මත කිරීමේ මහජන සහභාගීත්ව සාකච්ඡා උදාහරණ ලෙස ගන්නා මොන්බියොට් එකී කොලමෙන් අවධාරණය කරන්නේ නියෝජන ක්‍රමය තුළ පවතින අඩුපාඩුකම් අතික්‍රමණය කිරීම පිණිස මහජන සහභාගිත්ව මොඩල ද නියෝජන ක්‍රමය සමඟ යොදාගත යුතු බවයිඅයිස්ලන්තයට නව ව්‍යවස්ථාවක් ජනසම්මතයෙන් යෝජනා කිරීම පිණිස ලොතැරයි මගින් තෝරාගත මහජන මණ්ත්‍රණ සභාව සහ මොන්ගෝලියාවේ ව්‍යවස්ථාව සහ අගනුවර විවිධ ව්‍යාපෘතිවල ප්‍රමුඛක්ව තීරණය කිරීම පිණිස අහඹු ලෙස තොරාගත් ජනසම්මුති සම්මණ්ත්‍රණ සබා ක්‍රමය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මගේසංවිචාරණීය සමාජයක්කෘතියේ ගැඹුරෙන් සාක්ච්ඡාවට ලක් කර තිබේ.

Against Elections හෙවත්මැතිවරණවලට එරෙහිවනමැති කෘතිය ලිවූ ඩේවිඩ් වැන් රේ බෲක් දේශපාලන ආයතන වල සාමාජිකත්වය ලොතරැයි ඇදීම මගින් අහඹු ක්‍රමයට තෝරාගැනීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නෙකි. පැරණි ග්‍රීසියේ මෙන්ම මධ්‍යකාලීන ව වැනීසිය හා ෆ්ලොරන්ස් වැනි පෞර රාජ්‍ය වල ද දේශපාලන තීන්දු ගැනීමේ පුරවැසි සභා සංයුක්ත වූයේ මැතිවරණ වලින් නොව ලොතරැයි මගින් තෝරාගත් පුරවැසි නියැදියකින් බව මොන්බියට් මතක් කරයි. සමාජයක සංයුතිය නියම ආකාරයෙන් පිළිබිඹුවන අන්දමට ඇල්ගොතරිම යොදා පරිගණනය කිරීමෙන් ලොතරැයි ක්‍රමයට තොරාගත් මහජන මණත්‍රණ සභාවක සංයුතිය කාර්යක්ෂම ව තීරණය කළ හැකිය

ජූරිසභාවක් තොරාගන්නා ආකාරයට මෙන් ලොතරැයි ඇදීමෙන් තෝරාගත් මහජන සභාවක් මගින් කරණ දැනුවත් සංවිචාරණයක් මගින් දේශපාලන තීන්දු ගැනීමේ Deliberative Democracy හෙවත්  සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බැලීම පිණිස ආචාර්ය ජේම්ස් ෆිෂ්කින් කළ නියාමන ව්‍යාපෘති ඇගයීමකට ලක් කරමින් රේබෲක් පල කළ සාධනීය අදහස්සංවිචාරණීය සමාජයක්කෘතියේ ද සවිස්තරව උපුටා දක්වා තිබේ.  එහෙත් ලොතරැයි ඇදීමෙන් කරන තෝරා ගැනීමකදී කිසිදු විචක්ෂණ බවක් නැති අදක්ෂ, දූෂිත, ඔලමොට්ටල හෝ ආත්මාර්ථකාමී පුද්ගලයන් වගකීම් සඳහා තෝරා ගැනීමට සිදුවුව හොත් කුමක් වෙයිද යන ප්‍රශ්නය පැන නැගිය හැකි බව නො රහසකි. එවැනි අවදානමක් නැතැයි කිව නො හැකිය. එහෙත් අදාල විෂයකරුණ මණ්ත්‍රණ සභාව තුළ සංවිචාරණයට ලක් කිරීමේ විධි විධාන නිසි ලෙස සකසා තිබුනොත් එමගින් ම සහභාගිවන්නන් තුළ කැපී පෙනෙන පරිණාමණයක් ඇති වේ.

ලොතරැයි ක්‍රමයට මණ්ත්‍රණ සභිකයන් තෝරා ගැනීමේ ක්‍රමයට එරෙහිව එන හැම තර්කයක්ම මැතිවරණ මගින් තොරාගන්නා නියෝජිතයන්ටද පෙරළා ඒ සමානව ආදේශ කළ හැකිය. අවම වශයෙන්  ලොතරැයි මගින් තොරාගන්නා විට මැතිවරණයක දී මෙන් මුදල් බලය හෝ අනෙකුත් අනිසි බලපෑම් යොදා ගනිමින් පත්වන පුද්ගලයා තීරණය කරගැනීමට කිරීමට ඉඩකඩක් නැත. විශේෂඥතාවය නැති පුද්ගලයන් පත්වීමට තිබෙන ඉඩකඩ ගැන කිව යුත්තේ මැතිවරණ වලින් පත්වෙන බහුතරයකට ඇත්තේද ස්වයංප්‍රවර්ධනය සහ මැතිවරණ වලදී ජනතාව ඇන්දවීම පිළිබඳ විශේෂඥ භාවය පමණක් බවයි. එක ඇමතිකමක සිට වඩාත් වාසිදායක ඇමැතිකමකට පැන ගැනීමට අවශ්‍ය කපටිකම ඇතිකර ගැනීම හැරෙන විට අප මුහුණ දෙන ගැටළුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමේ උනන්දුවක් ඔවුන් තුළ නැත.

ලොතැරැයි ඇදීමෙන් මණ්ත්‍රණ සභාවල බහුතරය තෝරා ගැනීම ගැන ඇති බොහෝ විවේචන පංති බෙදීම මත පදනම් වූ ඒවා මිස අන්තර්ජාලගත සංනිවෙදනය, තොරතුරු ලබා ගැනීම හා අධ්‍යාපනික අවස්ථා පුළුල්වීම ආදීය හේතු කොට 19 හා 20වැනි සියවස්වල පැවතියාට වඩා අවබෝධය වැඩිකර ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට හැකිවීම සැලකිල්ලකට ගත් ඒවා නොවේ.

ලොතරැයි ඇදීමෙන් තෝරාගත් සභාවක ඇතිවන විධිමත් සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස සහභාගි වන්නන්ගේ පරිඥානය වෙනස් වන ආකාරය ආචාර්ය ජේම්ස් ෆිෂ්කින්ගේ මහජන සංවිචාරණීය සභා පිළිබඳ පුරෝගාමී අධ්‍යනවලින් සොයාගෙන තිබේ. ඒ සඳහා ඔහු සංවිචාරණයට පෙර, සංවිචාරණය අතර මග දී මෙන් ම සංවිචාරණය අවසානයේ දී සංවිචාරණයට සහභාගි වන්නන් විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නාවලි තුනක් පිළියෙළ කර තිබුණි. සහභාගි වන්නන් හැම දෙනෙකුට ම සංවිචාරණයට විෂය වන කරුණු සහිත තොරතුරු ගොනුවක් කල් තියා සපයා දී තිබුණිඔවුනොවුන් අතර මෙන් ම විෂය විශේෂඥයන් සමඟ ද සාකච්ඡා කොට කරුණු විමසා බැලීමට හා ගැටලු නිරාකරණය කර ගැනීමට සහභාගි වන්නන්ට ප්‍රමාණවත් අවස්ථා ද සලසා දී තිබුණිෆිෂ්කින් අධ්‍යනයේ නිරීක්ෂණවලට අනුව සහභාගී වූ බොහෝ අය තුළ තමන් සහභාගි වන්නේ පොදු මෙහෙවරක් සඳහා ය යන හැඟීම, අන්‍යෝන්‍ය ගරුත්වය සහ ප්‍රසාද ජනක බව තිබුණු අතර පරස්පර මත ඉතා ඉවසිල්ලෙන් සහ සාවධාන ව සාකච්ඡා කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමට ද ඔවුහු සමත් වූහ.

පිෂ්කින්ගේ අධ්‍යනවලට අනුව සංවිචාරණයට පෙර සහ පසු තත්වය සසඳන විට සහභාගි වන්නන්ගේ අදහස්වල ඇතිවී තිබූ වෙනස් වීම විස්මය දනවන සුලු විය. දේශපාලන තීරණ ගැනීමේ සංකීර්ණ භාවය පිළිබඳ වඩා දැනුවත් වීම සිය අදහස් වෙනස් කර ගැනීමට සහභාගි වන්නන්ට සැලකිය යුතු ලෙස බලපා තිබුණි . සහභාගිත්ව සංවිචාරණය දේශපාලන තීන්දු ගැනීමෙහි ලා සහභාගී වූවන්ගේ හැකියාව සහ විදග්ධ බව බෙහෙවින් මුවහත් කළ බව නිසැක ලෙස පෙනී ගියේ ය. අවශ්‍ය මෙවලම්, විශේෂඥ උපදෙස්  හා තොරතුරු සැපයූ විට සාමාන්‍ය ජනතාවට ද  නිපුණ පුරවැසියන් බවට පත් විය හැකි බව පළමු වරට විද්‍යාත්මක ව තහවුරු කළ අවස්ථාව එය බව ෆිෂ්කින්ගේ ප්‍රයත්නය ගැන විවරණයක් කරමින් රේබෲක් පවසයි.

සිය අත්හදා බැලීම නිසා වොයිස් කට්, සටන් පාට, වෙළඳ දැන්වීම් හා ඊනියා ජනමත සමීක්ෂණ යොදා ගෙන පැවැත්වෙන ගාල ගෝට්ටි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියම මහජන මතය සාවධානව ඉස්මතු කර ගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය වඩා ශක්තිමත් කිරීමට අවස්ථාවක් සැලසිය හැකි බව ෆිෂ්කින් පෙන්වා දුන්නේය.

බරපතළ ලෙස රෝගාතුර ව ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට නව ජීවන හුස්මක් පිඹීමට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති හැකියාව තව දුරටත් සැක කිරීමට කිසිදු දැනුවත් විද්‍යාර්ථීයෙකුට හේතුවක් නැති බව සංවිචාරණීය සභා පිළිබඳ ෆිෂ්කින්ගේ නියාමක ව්‍යාපෘති විමසුමට ලක් කරන රේබෲක් පවසයිපුරවැසි සහභාගිත්වය යනු හුදෙක් පෙළපාලි යෑමට, වැඩ වර්ජනය කිරීමට, පෙත්සම් අත්සන් කිරීමට හෝ පොදු තැන්වල එක් රැස්ව ජන ඝෝෂා පැවැත්වීමට ඉඩ ලබා දීම පමණක් නො වේ. පුරවැසි සහභාගිත්වය යනු ආණ්ඩුකරණය තුළ නිතිපතා ආයතනික ව තහවුරු කළ යුතු දෙයකි. ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් සමන්විත මහජන සභා හරහා ක්‍රියාත්මක වන සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) එයට මඟ සලසයි. එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීමකි

සාර්ථකත්වය පිළිබඳ විශ්වශනීය සාක්ෂි වලින් තොරව පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු නැති බව සැබවක් නමුත්‍ සම්ප්‍රදායික ක්‍රම වලින් ආමණ්ත්‍රණය කළ නොහැකි තරම් භේදකාරී සහ සංකීර්ණ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩු විසින් සාර්ථක පුරවැසි සභා සහ මහජන ආණ්ඩුක්‍රම සම්පාදන සභා පිහිටුවීම පිළිබඳ ඇති සාක්ෂි අනුක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව මොන්බියට් සිය ලිපියෙන් පෙන්වා දෙයි. හොඳින් සැලසුම් කොට ක්‍රියාත්මක කළහොත් මැතිවරණ වලින් තොරා පත් කරගන්නා නියෝජිත සභා විසින් අවුල් කර දමා තිබූ බෙහෝ ප්‍රශ්න විසඳීමේ ලා ලොතැරයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් යුතු සංවිචාරණීය මහජන සබා පොහොසත්වන බව මොන්බියොට් උදාහරණ සහිතව පෙන්වා දෙයි. උදාහරණ ලෙස බහුතරය කතෝලිකයන් වන අයර්ලන්තය සම ලිංගික විවාහ සහ ගබ්සා කිරීම පිළිබඳ පුරවැසියන් අතර තිබූ මතබේද සහ වාද විවාද විසඳා ගත්තේ අහඹුලෙස තෝරාගත් පුරවැසියන් බහුතරයක් සහිත කණ්ඩායම් යොදා ගනිමින් සංවිධානය කළ සංවිචාරණිය සභා මගිනි. ස්වකැමැත්තෙන් මරණය ළඟාකර ගැනීමට නීතියෙන් අවසර දීම පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රංශය එවැනිම පුරවැසිසභා බාවිතා කළ බව මොන්බියට් පෙන්වා දෙයි. ඒ හැර විවිධ අසීරු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2021 සිට 2023 දක්වා කාලපරිච්ඡේදය තුළ ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයක් සහිත නව පුරවැසි සභා 160ක් යුරොපය තුළ පිහිටුවා ගත් බවත් ඉන් හතලිහක් ස්ථිර සංවිචාරණිය සභා බවට පරිවර්තනය වී ඇති බවත් මොන්බියට් පෙන්වා දෙයි. පැරිසියේ  වීදිවාසීන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමට පැරිසියේත්, නව නාගරික සැලසුම මහජන සංවිචාරණයට ලක් කිරීමට ලිස්බනයේත් දේශගුණ විපර්යාසය ආමන්ත්‍රණය කිරීමේ ප්‍රතිපත්ති සංවිචාරණයට ලක් කිරීමට බ්‍රසල්ස් නගරයෙත් පැවැති ජනසභා ඉන් ඇතැම් ඒවාය. ඒ හැර විශේෂයෙන් සඳහන් කළ යුතු උදාහරණයක් වන්නේ බෙල්ජියමේ ජර්ම්න බස කතා කරන කොටසේ ඡන්දයෙන් පත්වන පළාත් පාර්ලිමේන්තුවට අතිරේකව දෙවැනි මණ්ත්‍රණ සභාවක් ලෙස ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් යුතු මහජන කවුන්සිලයක් පිහිටු වීමයි.

වැන් රේ බෲක් සිය කෘතියෙන් යෝජනා කරන අන්දමට ද්විත්ව මණත්‍රණ සභා පවතින එංගලන්තයේ සාමි මන්ත්‍රී සහ සහ එක්ස්ත් ජනපදයේ සෙනෙට් සභාව වෙනුවට ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවට හා කොන්ග්‍රස් සබාවට ඌනපූරණයක් ලෙස ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයක් සහිත මහජන කවුන්සිලයක් එකතු කළ හැකිය. නියෝජන ප්‍රජාතනත්‍රවාදයේ දුර්වලකම් ආමණ්ත්‍රණය කිරිමට පමණක් නොව ලොතරැයි මගින් තොරා ගැනෙන එවැනි ක්‍රමයක සියලු පුරවැසියන්ට තමන්ට වැදගත්වන කරුණු සම්බන්ධයෙන් ගන්නා තීරණ වලට මැදිහත් වීමට සම අවස්ථා සැලසේ.

උදාහරණයක් ලෙස අපේ නියෝජන ක්‍රමයේ දුර්වලතා අවම කිරීමේ අටියෙන් දැනට ඇති පාර්ලිමෙන්තුවට අතිරේකව දෙවැනි මණ්ත්‍රණ සභාවක් ලෙස බහුතරය ලෝතරැයි ඇදීමෙන් තෝරාගත් මහජන කවුන්සිලයක් පිහිටුවීයැයි සිතමු. එහි සංයුතිය තීරණය කිරීමේ දී පළාත් නියෝජනය හා ස්ත්‍රී පුරුෂ සමානත්වය නිරූපණය වීම තහවුරු කළ හැකි විය යුතුය. ඒ හැර හැම වසරක් පාසාම සංයුතියෙන් හරි අඩක් අලුතෙන් ලෝතරැයි ඇද තෝරා පත්කර ගැනීමෙන් සහභාගිත්වය යාවත්කාලීන කළ හැකිවා පමණක් නොව ලොතරැයි මගින් තෝරාගත් සභිකයන් විවිධ බල කණ්ඩායම් වල ඉත්තන් බවට පත්වීමට ඇති අවස්ථා ද අඩුකළ හැකිය. එවැනි මහජන මණ්ත්‍රණ සභාවක තීරණ ගැනීම දැනුවත් සංවිචාරණයකින් පසු ඇතිවන එකඟත්වය නොහොත්පොදු යහපත තකා එක හිතින් වැඩ කිරීමමත සිදු කිරීමට සැම විටම උත්සාහ කළ යුතුය. ලොතරැයි ඇදීමෙන් තොරාග්නනා සභිකයන්ට අතිරේකව විශේෂඥ මත ඉදිරිපත් කරමින් සභාව ඇමතීම පිණිස සභාව විසින් තෝරාගන්නා ගන්නා විශේෂඥයන්ට හා මහජන බුද්ධිමතුන්ට මෙන්ම අදාල කරුණ සම්බන්ධයෙන් තහවුරු කළ කරුණු මත වැදගත් විකල්ප යෝජනා ඉදිරිපත් කරන කණ්ඩායම් හා සංවිධාන වල නියෝජිතයන්ට සිය මතය ඉදිරිපත් කිරීම සඳහා සංවිචාරණයට සහභාගිවිය හැකි විය යුතුය. කෙසේ වෙතත් තීරණ ගැනීමේ හෝ ඡන්දය භාවිතා කිරීමේ බලය තිබිය යුත්තේ ලොතරැයි ඇදීමෙන් තෝරාපත්වන පුර වැසියන්ට පමණි. කවුන්සිලයේ සංවිචාරණය මාර්ගගත ක්‍රමයට සජීවීව විකාශනය කළ යුතු අතර ප්‍රස්තුත කරුණ සම්බන්ධව ලැබෙන මහජන ප්‍රතිචාර කවුන්සිලයේ අවධානයට ලක් කිරීමට අවශ්‍ය විදිවිධාන යෙදිය යුතුය

රජය හෝ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන අණපනත් ප්‍රථමයෙන් සංවිචාරණයට ලක් කොට අනතුරුව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කළ යුතු සුදුසු සංශෝධන තීරණය කළ යුත්තේ ලෙතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් සමන්විත මෙකී මහජන මන්ත්‍රණ සභාවේ දීය. එමගින් රාජ්‍ය ප්‍රතිපත්ති හා අදාල නීතිරීති සැකසීමේදී දැනුවත් මහජන සහභාගිත්වය තහවුරු කරගත හැකි අතර ම අදාළ ප්‍රස්තුතය පිළිබඳ නියම මහජන මතය කුමක්ද යන්න වටහා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉඩ සැලසේ. මහජන කවුන්සිලය යොජනා කරන සංශෝධන වලට රජය හෝ යෝජක මන්ත්‍රීවරයා එකඟ නොවන අවස්ථා වලදී රජය වෙනුවෙන් විෂය බාර ඇමති වරයා හෝ යොජක මන්ත්‍රීවරයා මහජන මණ්ත්‍රණ සභාව අමතා කරුණු පැහැදිලි කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් මණ්ත්‍රණ සභා සාමාජිකයන්ගෙන් සහ ඔවුන් විසින් තෝරා ගනු ලබන විෂය විශේෂඥයන්ගේ විමසීම් වලට පිළිතුරු සැපයයි යුතුය. විෂය භාර ඇමතිවරයා හෝ යෝජක මන්ත්‍රීවරයාගේ මතය කවුන්සිල සාමාජිකයන් අතර සංවිචාරණයට ලක් කොට අමාත්‍යවරයා හෝ යෝජක මන්ත්‍රීවරයා හා එකඟත්වයකට පැමිනිය නොහැකි අණපනත් හෝ වගන්ති ඇතිනම් ඒවා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තේ මන්ත්‍රීන් හතරෙන් තුණක වැඩි ඡන්දයකින් පමණි.

ඉහත කී විධිවිධාන වලට අතිරේකව පුරවැසියන් 50,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්සන් කොට ඉදිරිපත් කරන ඕනෑම පණත් කෙටුම්පතක් සංවිචාරණයට ලක් කොට සිය නිර්දේශ සමග විවාද කොට අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද එකී මහජන කවුන්සිලයේ වගකීමක් කිරීම තුළින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විසින් නොතකා හරින වැදගත් කරුණු සම්බන්ධයෙන් සෘජු මහජන මැදිහත්වීම සහතික කළ හැකිය.

නියෝජන ක්‍රමයේ පිරිහීම පිලිබිඹුවන්නේ පාර්ලිමෙන්තුවෙන් පමණක් නොවේ. මැතිවරණ මගින් තෝරාපත්වන පක්ෂ නායකත්වයේ අන්තේවාසිකගල්වැලිපස් කල්ලිකාරයන්ලෙස ඇතැම් විචාරකයින් හඳුන්වන කප්පම්කාර සභිකයන් විසින් මෙහෙයවන පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින්ද පවතින දුෂිත නියෝජන ක්‍රමය ප්‍රාදේශිය දේශපාලනය, ග්‍රාමීය ආර්ථිකය පමණක් නොව ප්‍රාදේශීය සංවර්ධනයද අවතැන් කොට තිබේ. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මුළුමනින් ම අවලංගු කොට ඒ වෙනුවට ලොතරැයි ක්‍රමයට පත්කරගත් බහුතරයක් සහිත මහජන කවුන්සිල පදනම් කොට පළාත් පාලනය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යළි පරිකල්පනය කිරීමේ ලා තීරණාත්මක පියවරකි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    WJ, මට මතක විදියට මේ මාතෘකාව පහුගිය දශක හතරක් විතර කාලයක අපේ සමාජයේ පා පන්දුවක් මෙන් එහාට මෙහාට ගිය එකක්. අපි අදත් මේ ගැන කතා කරනවා කියන එක ගැන මට ඇත්තේ ඉතාම උපේක්ෂා සහගත මතයක්. මා කියන්ට උත්සහ දරන්නේ globally මැතිවරණ හෝ ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප වල ඇති වලංගු භාවයට වඩා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඒ සංකල්පය මැනවින් අවබෝධ කර ගෙන ඇත්ද කියන කාරණයයි. අපිට නිදහස ලැබීම හෝ universal suffrage ලැබීමට වඩා ඔබ්බට ගිය කතන්දරයක් තියෙනවද කියන එකයි. මගේ පෞද්ගලික මතය නම් 1948 ලාංකිකයන් නිදහස් මැතිවරණයකට සූදානම් වී තිබුනේ නෑ. එසේම, 2024 දීත් ලාංකිකයන් නිදහස් මැතිවරණයකට සූදානම් වී නෑ. මොකද, අපි අවුරුදු 2500 රජ්ජුරුවන්ගේ බල, අණ සකට යටත් වී හිටිය ජාතියක් නේ?? ජාතියක් වශයෙන් අපේ DNA එක තවම programme වෙලා තියෙන්නේ රජ්ජුරුවන්ට කොන්ද නවාගෙන ඉන්න එකටයි! ඉතිං මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අපිට greek!!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.