12 May, 2026

Blog

බහුපාර්ශවික ලෝක දේශපාලනය අලුත් කිරීමේ අවශ්‍යතාව: ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස්

බහුපාර්ශවික ලෝක රටාවකට ඇති එකම සැබෑ විකල්පය නව බල තුලනයක් නොව, අරාජිකත්වය සහ අවුල් සහගත බවයි. බහුපාර්ශවික ලෝක දේශපාලනය (Multilateralism) අලුත් කිරීමේ අවශ්‍යතාව ගැන කරුණු දක්වමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් “Le Monde Diplomatique“ පුවත් පතට The fiction that moves the world forward, if we defend it යන මැයෙන් ලියූ මේ ලිපිය (සිංහල අනුවාදය) ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලනඥයන් ප්‍රමුඛ පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුත්තකි.

අප ආරක්ෂා කළ යුතු ලෝකය ඉදිරියට ගෙන යන ප්‍රබන්ධය

හිස් කඩදාසි මිටියක් දුටු පමණින් කිසිවෙකු තමන්ගේ හැසිරීම වෙනස් කරන්නේ නැත. නමුත් ඒ යමෙකු එයමුදල්යැයි පවසන තුරු පමණි. ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රවීණයෙකු වන දාර්ශනික ජෝන් සර්ල් (John Searle), ගැඹුරු සත්‍යයක් පැහැදිලි කිරීමට මෙම සරල උදාහරණය භාවිතා කළේය: එනම්, සමාජ ලෝකයෙන් වැඩි කොටසක් පවතින්නේ අප සැවොම සාමූහිකව එය පවතින බවට එකඟ වන නිසා පමණක් බවයි. සිතියමක ඇති ඉරක්දේශ සීමාවක්බවට පත්වෙයි. ගිවිසුමක ලියන ලද වචනබැඳී පවතින වගකීම්බවට පත්වෙයි. එමෙන්ම ඔව්, කඩදාසි කැබැල්ලක්ධනයබවට පත්වෙයි.

මෙම හවුලේ සංකල්පිත කරගත් ප්‍රබන්ධයන් (shared fictions) සමාජ ජීවිතය ගොඩනැගීමට ඉඩ සලසයි. මුදල් යනු ඉන් එකකි. රාජ්‍යයන් අතර සබඳතා සංවිධානය කරන බහුපාර්ශවික පද්ධතිය සහ ජාත්‍යන්තර නීතියේ රීති ද එසේමය. කෙසේ වෙතත්, මුදල් පිළිබඳ විශ්වාසය කිසි විටෙක ප්‍රශ්න නොකරන බොහෝ දෙනෙක්, ජාත්‍යන්තර නීති ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් වෙති. එයට හේතුව සරලයි: ඇතැම් නීති මගින්බලයටසීමාවන් පනවනු ලබයි. නීති මත පදනම් වූ ලෝක රටාව බිඳ දැමීම කිහිප දෙනෙකුට වාසිදායක විය හැකි නමුත්, එය සිදුවන්නේ අනෙක් සැමට ම පාඩු කිරීමෙනි.

මෑත වසරවල දී ජාත්‍යන්තර පිළිවෙළ (International Order) මත එල්ල වන පීඩනය පෙරමුණු දෙකකින් තීව්‍ර වී ඇත. එක් අතකින්, සමහර ප්‍රධාන සහ නැගී එන බලවතුන් පවතින සම්මතයන් දුර්වල කර ඒවා තමන්ගේ වාසියට අනුව සකස් කර ගැනීමට අවස්ථාවක් දකිති. මෙම ප්‍රවණතාවේ වඩාත් ම ම්ලේච්ඡ ප්‍රකාශනය වන්නේ යුද්ධයයි. රුසියාවේ යුක්රේන ආක්‍රමණය, ගාසා තීරයේ සිදුවන විනාශකාරී ජන සංහාරය සහ වෙනිසියුලාවේ මෙන්ම දැන් ඉරානයේ ද පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ගනු ලබන ඒකපාර්ශ්වික උත්සාහයන්මේ සියල්ල ජාත්‍යන්තර අනුමැතියක් පවා අපේක්ෂා නොකර සිදු කිරීම හරහා පෙනී යන්නේ ඇතැම් රජයන් ජාත්‍යන්තර පද්ධතියේ පදනමට විවෘතව අභියෝග කරන බවයි. යුධ පිටියෙන් ඔබ්බට, වෙළඳාම, තාක්ෂණය සහ සංක්‍රමණික ප්‍රවාහයන් පවා තමන්ගේ භූදේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් අවියක් ලෙස භාවිතා කිරීමේ තර්කනය ද මෙහි ම කොටසකි.

නීති උල්ලංඝනය කිරීම් නො සලකා හරිනු නො ලැබේ

අනෙක් අතට, ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කරනවා වෙනුවට දේශපාලන නායකයන් නිහඬතාව හෝ අපැහැදිලි පිළිවෙතක් තෝරා ගන්නා විට ද මෙම නීති මත පදනම් වූ ලෝක රටාව දැඩි පීඩනයකට ලක් වේ. ගැටුම් මග හරවා ගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන්සංසිඳවීමේ‘ (appeasement) උපාය මාර්ගයට වැටෙතිඑනම් නීති කඩ කරන්නන් ඉවසීමෙන් ඔවුන් ව සන්සුන් කළ හැකි බවට වන වැරදි විශ්වාසයයි. බෝම්බ මෙන් වචන වලින් ජාත්‍යන්තර පිළිවෙළට හානි කළ නොහැකි බව ඔවුහු විශ්වාස කරති. නමුත් ඔවුන් වැරදිය. සම්මතයන් ගැන කතා කරන විට, වචන මගින් ලෝකයන් නිර්මාණය වේ. මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් ගෝලීය නීති ආරක්ෂා කිරීමට අපොහොසත් වන විට හෝ ඒවා අත්හැර දමන විට, එම නීති සෝදාපාළුවට ලක් වීම වේගවත් වේ. නීති අත්හැර යාම මිතුරන් මෙන්ම සතුරන් ද දකිති. නීති තවදුරටත් වැදගත් නොවන බව ප්‍රමාණවත් පිරිසක් තීරණය කළ හොත්, මුළු පද්ධතිය ම බිඳ වැටීමට පටන් ගනී.

මෙම ගතිකත්වයට පිටුපසින් ඇත්තේ සරල නමුත් වැරදි අදහසකි: එනම් බහුධ්‍රැවීය ලෝකයක (multipolar world) නැවතත්බලපෑම් කලාප‘ (spheres of influence) වලට හැරීම මහා බලවතුන්ට මෙන්ම පුරවැසියන්ට ද අස්ථාවරත්වයක් ගෙන දෙනු ඇති බවයි. නමුත් ඉතිහාසය පවසන්නේ වෙනත් දෙයකි. පොදු නීති අතුරුදහන් වූ විට ස්ථාවරත්වය ඇති නොවේඒ වෙනුවට ඇති වන්නේ තරගකාරිත්වයයි. මෙය සැමට දරිද්‍රතාවය සහ අරගලය ගෙන එයි. ආර්ථික වර්ධනය, ක්‍රියාකාරී වෙළඳපොළ සහ සමාජ සුභසාධනය වැනි අප භුක්ති විඳින බොහෝ දේ ජාත්‍යන්තර ස්ථාවරත්වය සහ සාමය මත පදනම් වන බව මිනිසුන් වටහා ගත යුතුය.

බහුපාර්ශ්විකවාදය යනු වියුක්ත පරමාදර්ශයක් නොවේඑය එදිනෙදා යථාර්ථයකි. අපේ සමෘද්ධිය රඳා පවතින්නේ නීති මත පදනම් වූ ලෝක රටාව මතයි. යමෙකු තවමත් ඒ ගැන සැක කරන්නේ නම්, මැදපෙරදිග දීර්ඝ කාලීන යුද්ධයක් නිසා තෙල් මිල බැරලයකට ඩොලර් 150 දක්වා ඉහළ ගිය ලෝකයක අපේ සුභසාධන රාජ්‍යයන් පවත්වාගෙන යා හැකි දැයි සිතා බලන්න. බලයේ ආධිපත්‍යය රජ කරන විට සිදුවන්නේ මෙයයි. බහුපාර්ශවික ලෝක රටාවකට ඇති එකම විකල්පය නව බල තුලනයක් නොව, අරාජිකත්වය සහ අවුල් සහගත බව බවට එය ම සාක්ෂියකි.

සමහරු පවසන පරිදි මෙම පද්ධතිය මිනිසුන් ව අසාර්ථක කර නැත. ඒ වෙනුවට එය, පසුගිය වසර 75 තුළ මානව ඉතිහාසයේ වඩාත් ම සමෘද්ධිමත් සහ ස්ථාවර කාල පරිච්ඡේදය ලබා දීමට උදව් වී ඇත. සන්නද්ධ ගැටුම් වලින් සිදුවන මරණ පසුගිය දශක කිහිපය තුළ අඩකින් පමණ අඩු විය. ගෝලීය ඒක පුද්ගල ආදායම පස් ගුණයකින් වැඩි විය. ජාත්‍යන්තර වෙළඳාම 1950 සිට 40 ගුණයකින් පමණ වර්ධනය වී ඇති අතර අන්ත දරිද්‍රතාවය 60% සිට 10% දක්වා අඩු වී ඇත. මෙම වාර්තාව පරිපූර්ණ නොවිය හැකි නමුත්, එය මානව වර්ගයා මෙතෙක් අත්හදා බැලූ ඕනෑම විකල්පයකට වඩා බෙහෙවින් යහපත් ය.

පද්ධතියේ පවතින අඩුපාඩු අප හඳුනා ගත යුතුය. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තවමත් නිරූපණය කරන්නේ 21 වන සියවසේ බල තුලනය නොව 1945 වසරේ බල තුලනයයි. ජාත්‍යන්තර සම්මතයන් ඇතැම් විට තෝරා බේරා ගෙන ක්‍රියාත්මක කරන අතර, නීති උල්ලංඝනය වන විට ඒවා බලාත්මක කිරීමට ආයතන වලට හැකියාවක් නැත. නමුත් ගොඩනැගිල්ලේ ඉරිතැලීම් ඇති නිසාම එය සම්පූර්ණයෙන්ම කඩා දමා එළිමහනේ නිදා ගැනීමට අප තීරණය නොකළ යුතුය. නීති රහිත ලෝකයක සිදුවන්නේ තිරශ්චීන බලය (brute force) පාලනය අතට ගැනීමයි.

හදිසි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

අද අපට ගෝලීය පාලන මෙවලම් වෙන කවරදාකටත් වඩා අවශ්‍ය වී ඇත. දේශගුණික විපර්යාස, සංක්‍රමණික ගැටලු සහ කෘතිම බුද්ධිය (AI) පාලනය කිරීම වැනි අභියෝග කිසිදු රටකට තනිවම විසඳිය නොහැක. මේවා ජාතික සීමාවන් ඉක්මවා යන ගැටලු ය. මෙම අභියෝග ජය ගැනීමට ගෝලීය සහයෝගීතාව අවශ්‍ය වන අතර එය සැපයිය හැක්කේ බහුපාර්ශවික ලෝක පද්ධතියකට පමණි. නමුත් ඒ සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

පළමුව, දැනට ඇති බහුපාර්ශවික ලෝක පද්ධතිය පවතින ආකාරයට ම පැවතිය හැකිය යන මිථ්‍යාව අප අත්හැරිය යුතුය. එය සක්‍රිය කිරීමට නම් 21 වන සියවසේ බල තුලනය නිරූපණය කළ යුතුය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය, ව්‍යුහය සහ නිෂේධ බල (veto) ක්‍රමය සංශෝධනය කිරීම මෙයට ඇති පැහැදිලිම උදාහරණයයි.

දෙවනුව, පද්ධතිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, විවිධත්වයෙන් යුත් සහ සියල්ලන් ඇතුළත් කරගන්නා එකක් විය යුතුය. ගෝලීය දකුණේ (Global South) රටවල් හුදෙක් සම්පත් ලබා ගන්නන් පමණක් නොවිය යුතුය. ඔවුන් තමන්ගේ අනාගතය තීරණය කරන ක්‍රියාකාරී පාර්ශවකරුවන් විය යුතුය.

තෙවනුව, ජාත්‍යන්තර ආයතන වල අධීක්ෂණ සහ නීති බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කළ යුතුය. නීති රකින්නන්දැඩි කනස්සල්ලපළ කරන ප්‍රකාශ නිකුත් කරන අතරතුර නීති කඩ කරන්නන් සැපසේ නිදා ගන්නා යුගය අවසන් විය යුතුය. නීති කඩ කරන්නන් මත පීඩනය එල්ල විය යුතු අතර නීති රකින්නන් දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුය.

යුරෝපයේ අත්දැකීම

බහුපාර්ශ්විකත්වයේ තර්කනය යුරෝපයට වඩා හොඳින් පැහැදිලි වන වෙනත් තැනක් නැත. යුරෝපීය සංගමය (EU) බිහි වූයේ දැඩි පාඩමකිනි: එනම් සීමා රහිත තරඟකාරිත්වය දෙවරක් ම මහා විනාශයන් (ලෝක යුද්ධ) ඇති කළ බවයි. යුරෝපීය ව්‍යාපෘතිය පෙන්වා දෙන්නේ එකිනෙකා මත යැපීම (interdependence) බිය නොවී කළමනාකරණය කරන විට සිදුවන යහපතයි. කලක් යුද්ධයෙන් බැට කෑ මහද්වීපයක් සහයෝගිතාවෙන් සහ ඒකාබද්ධතාවෙන් පිරි එකක් බවට පත් විය.

යුරෝපය සඳහා බහුපාර්ශ්විකත්වය යනු හුදු ප්‍රතිපත්තියක් නොව ව්‍යුහාත්මක අවශ්‍යතාවයකි. නීති මත පදනම් වූ ලෝකයක යුරෝපයට ලැබෙන බලය එහි ජනගහනයට හෝ දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩිය. නීති සහ සහයෝගීතාවය හරහා යුරෝපා සංගමය එහි සාමාජික රටවල බලය තවදුරටත් වර්ධනය කරයි.

ප්‍රතිවිරුද්ධ දෙය ද සත්‍යයකි. බලපෑම් කලාප සහ අධිකාරි බලය රජ කරන ලෝකයක යුරෝපයේ තත්ත්වය පිරිහී යයි. එවිට යුරෝපයේ විවෘතභාවය ශක්තියක් වෙනුවට දුර්වලතාවක් බවට පත් වේ. බහුපාර්ශ්විකත්වය අත්හැරීමෙන් යුරෝපයට ස්වෛරීභාවය ලැබෙන්නේ නැතඒ වෙනුවට සිදුවන්නේ එහි බලපෑම අඩු වීමයි.

සියවසකට වරක් ලැබෙන අවස්ථාව

ජාත්‍යන්තර පිළිවෙළ පදනම් වන්නේ පොදු විශ්වාසයක් මතයි: එනම් බලය නීතියෙන් පාලනය කළ හැකි බවත්, සහයෝගිතාවෙන් තරඟකාරිත්වය සමනය කළ හැකි බවත් ය. සමහරු මෙයසංකල්පීය එකඟතාවක්හෝප්‍රබන්ධයක්ලෙස හැඳින්විය හැක. එහෙත් බිලියන සංඛ්‍යාත ජනයාට සහයෝගයෙන් කටයුතු කිරීමට, වෙළඳාම් කිරීමට සහ සාමයෙන් ජීවත් වීමට ඉඩ සැලසුවේ මෙම එකඟතාවයි.

වත්මන් අර්බුදය බහුපාර්ශ්විකත්වය අනිවාර්ය බිඳවැටීමක් ලෙස නොව, එය අලුත් කිරීමට අප තුළ ඇති කැමැත්ත පිළිබඳ පරීක්ෂණයක් ලෙස සැලකිය යුතුය. සහයෝගීතාවයට මග පාදන ගෝලීය නීති, සම්මතයන් සහ ආයතන අත්හැර දැමීම වෙනුවට ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට පරම්පරාවකට වරක් ලැබෙන අවස්ථාව දැන් අප සතුය. ඒවා නොමැතිව, ‘යථාර්ථවාදයලෙස හඳුන්වන දේ ඉතා ඉක්මනින් ම්ලේච්ඡශක්තිවන්තයාගේ නීතියබවට පත් වනු ඇත.

පෙඩ්රෝ සැන්චෙස් –ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය: https://mondediplo.com/2026/04/02multilateralism

*සිංහල අනුවාදය විජයානන්ද ජයවීර​ 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.