නදීශිකා මධුශානි – පුෂ්පිකා ප්‍රියදර්ශනී – කේ. සඳුෂි සාවින්ධ්‍යා – ඒ. ඒ. අංජන රුවිනාත් අතපත්තු – ජයනි රුවන්තිකා ඒකනායක –
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයින් විසින් සිදු කරන ලද ස්වාධීන පර්යේෂණ නිබන්දන පහක් ආශ්‍රෙයන් ලබා ගත් සම්මුඛ සාකච්ඡා දත්ත විශ්ලේෂණයෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් බෙදීයාමේ අසමානතාවයක් පවතින බව පිළිඹිබු විය. මෙකී සමාජ ගැටලුව විවරණය කිරීම සදහා මෙම ලිපිය සකස් කරන ලදි. අධ්‍යයනයන් වලට සම්බන්ධ වූවන්ගේ අනන්‍යතාවය හා සම්බන්ධ පෞද්ගලික තොරතුරු ආචාරධර්ම පදනම් කරගනිමින් මෙම වාර්ථාවට ඇතුළත් නොකරනු ඇත.
හැඳින්වීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948.12.10 දින සම්මත කරන ලද මානව අයිතිවාසිකම් සම්මුතියේ 26 වන වගන්තියේ සියලු දෙනා හට ලැබිය යුතු අයිතිවාසිකමක් ලෙස අධ්‍යාපනය දක්වා ඇත. එහි සඳහන් වන්නේ සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි වන බවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්වය පිළිබඳව විමසීමේදී 1938 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව අධ්‍යාපන ආඥා පනතක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ කන්නන්ගර මැතිතුමා ව්‍යවස්‌ථා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත අධ්‍යාපන විධායක කාරක සභාවක් නිර්මාණය කර යම් යම් බලපෑම් වලට යටත් වූවත් එහි සභාපති ලෙස කටයුතු කරමින් සියළු දෙනාට සම අධ්‍යාපන අයිතිය ලබා දීමට යෝජනා කොට නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙන ලදි. මෙහිදී ප්‍රජාවක් ලෙස ආන්තීකරණයට ලක්වී ඇති මෙන්ම සුළු ජන කොටස් සහ නොයෙකුත් අපහසුතා නිසා දරුවන් අධ්යාපනයට යොමු කල නොහැකි පුද්ගලයන් හට ද උස් පහත් භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමට සමාන ඉඩ ප්‍රස්ථාවන් මෙම නිදහස අධ්‍යාපනය තුළින් හිමි විය. එමෙන්ම ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දරුවන් සඳහා ද උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමට මෙම නිදහස් අධ්‍යාපනය මාහැගි ප්‍රවේශයකි. නමුත් කණගාටුවට කරුණ වන්නේ නිදහස් අධ්‍යාපනය හරහා උසස් ප්‍රතිඵල ලැබූවන් අදවන විට එහි වටිනාකම අමතකකර දැමීමයි.
1949 දී ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දිමෙන් පසු, පළමු වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සෑම දරුවෙකුටම නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි විය. එතැන් සිට පාසල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වූ අතර රට පුරා අධ්‍යාපන පහසුකම් පුළුල් ලෙස ව්‍යාප්ත වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට රජයේ පාසල් 10126ක ගුරුවරුන් 236738ක් සිසුන් 3969597ක් සඳහා සේවය කරති (Annual School Census Summary Report, 2022) රජයේ පාසල්වලට අමතරව පිරිවෙන් 822 ක් සහ පෞද්ගලික පාසල් 95 ක් රට තුළ සේවය සපයයි. ජාතික විශ්ව විද්‍යාල සංඛ්‍යාව ද 19 දක්වා ව්‍යාප්ත වී ඇත. 2020 වසර වන විට ගෝලීය වශයෙන් අධ්‍යාපනය සඳහා ඩොලර් ට්‍රිලියන 5ක් පමණ වැය කර ඇත. එනම් එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.33% කි. 2023 වසරේදී ඉන්දියාව විසින් අධ්‍යාපනය සඳහා මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.9%ක් වැය කර ඇති අතර මාලදිවයින රජය විසින් ද 10.8%ක් වැය කර ඇත. තවද භූතාන රජය විසින් අධ්‍යාපනය සඳහා මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 2022 වසරේදී 8.1%ක් වැය කර ඇත. නමුත් 2022 දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා රජයේ වියදම්කර ඇත්තේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2 ක් පමණි (World Bank, 2022).
කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කල සමීක්ෂණයකට අනුව පාසල් යා යුතු වයසේ එනම් වයස අවුරුදු 5 – 17 අතර දරුවන් 51249ක් කිසිදා පාසල් ගොස් නොමැති බවට අනාවරණය වී ඇති අතර ඒ අතර වතු දරුවන් 2329 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 4.54% කි.
ශ්‍රී ලංකාව තුල සමසාධාරණත්ව ප්‍රතිපත්ති සහ සමානාත්මතාවය සඳහා විවිධ ප්‍රතිපත්ති මෙන්ම වැඩසටහන් තිබියදීත් පාසල් අතර විෂමතා පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සංගණන දත්ත වලට අනුව පැහැදිලි වේ (ජාතික අධ්‍යාපන කොමිසම් සභාව, 2023). 2017 දී රජයේ පාසල් අතුරින් සිසුන් 1000 ට වැඩි පාසල් 6.1% ක්ද, සිසුන් 100 ට අඩු පාසල් 27.4% ක් ද ලෙස විෂමතාවක් පවතින බව අනාවරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2022 පාසල් සංගණන දත්ත වලට අනුව මෙය තවදුරටත් වර්ධනය වී ඇති බවක් හඳුනා ගනී. ඒ අනුව සිසුන් 1000ට වැඩි පාසල් 9.5% ද, සිසුන් 100ට අඩු පාසල් 29.9% ක්ද ලෙස විෂමතාවක පවතී.
සම්පත් බෙදීයාමේ අසමානතාවය
මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසලක් තුළ දක්නට ලැබුණු භෞතික සම්පත් හිඟතාවයන් ලෙස පාසල වෙත ළඟා වීමට මාර්ග පද්ධතියක් නොමැති වීම, පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීම, දරුවන් හට අධ්‍යාපනය ලැබීමට නිසි ලෙස සකස් වූ පන්ති කාමර නොමැතිවීම, විදුලිය, ජලය නොමැතිවීම, පන්ති කාමර සඳහා අවශ්‍ය මේස පුටු හිගය, ගොඩනැගිලි, විද්‍යාගාර උපකරණ හා පරිගණක ආදිය අවම වීම යන ගැටලු හදුනාගත හැකි විය.
අධ්‍යාපනික සාධාරණත්වය යනු, සෑම සිසුවෙකුටම එක සමාන සාධාරණ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාවයි. ශ්‍රී ලංකාව තුළ දියුණු පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක පහසුකම්, එනම් තමාට අවැසි මේසය හා පුටුව ආදී සියලුම භෞතික උපකරණ හිමි වේ. නමුදු සම්පත් බෙදීයාමේ අසමානතාවය හේතු කොට ගෙන දුෂ්කර පළාත්හි දරුවන්ට තමාට පාසල් ගොස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මේසයක් හා පන්ති කාමරයෙහි අසුන් ගැනීමට පුටුවක් නොමැතිව තමන්ගේ අනාගතය තනන අධ්‍යාපනය අතරමග හැර දැමීමට තරම් අවාසනාවකට මුහුණ දීමට සිදුව ඇති බව පැහැදිලි වේ.
මට ඉස්කෝලේ යන්න විදියක් නෑ. අපිට පහේ පන්තියෙන් හයට එද්දි ඩෙස් එකයි පුටුවයි හදන් එන්න කිව්වා. ඒත් මට ඩෙස් පුටු හදන්න සල්ලි නෑ. අම්මා කිව්වා ටික කාලයක් ගෙදර ඉන්න කියලා. (පාසල් සිසුවෙක්,මොණරාගල දිස්ත්‍රික්කය)
වෙනත් දියුණු පාසල්වල දරුවන් වායු සමනය කළ පන්ති කාමර තුළ තාක්ෂණය යොදා ගනිමින් තම අධ්‍යාපන කටයුතු සිදු කරයි. එකම රටක් තුළ තවත් පාසලක දරුවන්ට පන්ති කාමරය තුළ අසුන් ගැනීමට පුටුවක් හෝ නොමැති වීම සංවේදී ඛේදවාචකයකි.
පන්ති කාමර හා ගොඩනැගිලි හිඟතාවයත් සමඟ බහු ශ්‍රේණි ලෙස ඉගැන්වීම් සිදුකරන බවක්ද පැහැදිලි වේ. මෙමඟින් සමාජ අසමානතාවය හා සම්පත් බෙදී යාමේ අසමානතාවය ගම්‍ය වේ. 2017 වර්ෂයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පාසල් පිළිබඳ නිකුත්කර ඇති දත්තයන්ට අනුව ඌව පළාත තුළ ඇති පාසල් අතුරින් 26% කට ජල පහසුකම්ද, 51%කට පරිගණක පහසුකම් ද නොමැති බව පෙන්වා දෙනු ලබයි. මේ අනුව පෙනී යන්නේ තාක්ෂණයත් සමඟ නව දැනුම උත්පාදනය කර දියුණු පාසල් තුළ දරුවන් හා එකට වාණිජ ලෝකයට පා තබන මෙම දරුවන් තාක්ෂණික දැනුම, පරිගණක දැනුම නොමැතිව ඔවුන් සමඟ තරගකාරී රැකියා ලෝකයට ප්‍රවිෂ්ට වෙද්දී එම අවම දැනුම හා අවම අධ්‍යාපන මට්ටම මත ග්‍රාමීය දරුවන් තරගකාරී ලෝකය තුළ නොසිතන අයුරින් පහතට ඇද හෙලනු ඇත.
ළමයි ඉස්කෝලෙ ගියත් නිකන්ම ඉඳලා එනවා. මෙහෙට ගුරුවරු ආවත් එන්න යන්න බස් නෑ දුෂ්කරයි කියලා වෙනම ඉස්කෝලෙකට පත්වීම හදන් යනවා.(මවක්,මොණරාගල දිස්ත්‍රීක්කය)
පාසල්හි පවතින ප්‍රධාන මානව සම්පත් හිගතාවය ලෙස ගුරු හිගය පෙන්වා දිය හැකිය. ගුරුවරුන් පත්වීම් ලබා සේවයට පැමිණිය ද පවතින මාර්ග දුෂ්කරතා හා සම්පත් ප්‍රමාණවත් නොවීම මත නැවත පත්වීම් මාරු ලබා ගන්නා බවත් සාකච්ඡා මගින් පැහැදිලි විය. මේ ආකාරයට පාසල් යන දරුවන්ට පාසල තුල ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් නැවත නිවස කරා පැමිණීම හෝ නිකරුණේ පාසලට වී කාලය ගත කිරීම සිදු කරන බවක් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ දියුණු යැයි පිළිගැනෙන ප්‍රදේශයන්හි පාසල් වල ගුරුවරුන් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා සිටින බවක් දක්නට ලැබුණ ද මෙවැනි දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට පාසලේ ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීම සංවේදී කරුණකි. අධ්‍යාපන සහභාගීත්වය යනු පාසල් යාමට සුදුසු වයසේ පසු වන සියලුම සිසුන් පාසල් අධ්යාපනයට යොමු වීමයි. නමුදු ශ්‍රී ලංකාව තුළ මෙලෙස පාසල් අධ්‍යාපනයට යොමුවන දරුවන් හටද ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ගුරුවරුන් නොමැතිවීම තුළ රටෙහි අධ්‍යාපන සහභාගිත්වය සාර්ථකව සිදුවේද යන ගැටලුව පැන නගී.
ග්‍රාමීය ප්‍රදේශයන්හි පවතින සමාජ– ආර්ථික අංශයේ පසුබැසුණු ස්වභාවය විවිධ ව්‍යුහීය ගැටලු රාශියකට හේතු වී තිබේ.ඒ අනුව දරිද්‍රතාවය මෙසේ දැකිය හැකි මූලිකම සමාජ – ආර්ථික ගැටලුකාරී තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව හා සම්බන්ධ අධ්‍යාපනය සහ මූලික අධෝව්‍යුහීය පහසුකම් වැනි අංශයන්හි පවතින දුර්වලතාවයන් සහ ගැටලු ඒ අතර වේ. ග්‍රාමීය දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග නවතාලීමට පවුලේ දරිද්‍රතාවය විශාල බලපෑමක් එල්ල කර ඇති බවක් හදුනාගත හැකිය.
දිළිඳුබව අධ්‍යාපනය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම
ග්‍රාමීය ප්‍රදේශයන්හි පවතින සමාජ– ආර්ථික අංශයේ පසුබැසුණු ස්වභාවය විවිධ ව්‍යුහීය ගැටලු රාශියකට හේතු වී තිබේ. ඒ අනුව දරිද්‍රතාවය මෙසේ දැකිය හැකි මූලිකම සමාජ – ආර්ථික ගැටලුකාරී තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව හා සම්බන්ධ අධ්‍යාපනය සහ මූලික අධෝව්‍යුහීය පහසුකම් වැනි අංශයන්හි පවතින දුර්වලතාවයන් සහ ගැටලු ඒ අතර වේ. ග්‍රාමීය දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග නවතාලීමට පවුලේ දරිද්‍රතාවය විශාල බලපෑමක් එල්ල කර ඇති බවක් හදුනාගත හැකිය.
මමයි අම්මයි විතරයි ඉන්නේ.තාත්තා අපිව දාලා ගිහින්.අම්මා කුලී වැඩ කරන්නේ.අම්මා වැඩ තියෙන දවසට උදේ වැඩට යනවා. මටත් යමු කියනවා. ඉස්කෝලේ යන්න ඕන නෑ කියලා.ඉස්කෝලෙ යන්න මට පොත් සපත්තු එහෙම නෑ. ඉස්කෝලේ දුරයි පයින් යන්නත් බෑ.මට බයිසිකලයකුත් නෑ.මන් අම්මා එක්ක වැඩවල් වලට යනවා. ගිහින් කුඹුරේ පැලට වෙලා හරි හෙවන තියෙන ගහක් යටට වෙලා හරි ඉන්නවා අම්මා වැඩ ඉවර වෙනකල්. එදාට අම්මට හම්බවෙන සල්ලි වලින් තමයි කන්න බඩු ගේන්නේ. අම්මට ගොඩක් දවස් වැඩ නැති වුනොත් අපිට සල්ලි නැති වෙනවා. (සිසුවෙක්, මොණරාගල දිස්ත්‍රීක්කය)
මාතෘ මූලික කුටුම්භයක් තුළ මවටද ස්ථිර රැකියාවක් නොමැතිව කුලී වැඩ කරමින් දෛනික වැටුපෙන් ආර්ථික දුෂ්කරතා හමුවේ ජීවත්වන බවක් හඳුනාගත හැකිය. සෑම දිනකම තම දරුවාගේ කුස පිරවීම අභියෝගයක් වූ මවට අධික දරිද්‍රතාවය හමුවේ දරුවාට පාසල් අධ්‍යයනය සදහා අවශ්‍ය වියදම් දැරීමට හෝ ළමයා පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීමට නොහැකියාවක් ගොඩනැගී ඇත.මෙම දරුවාට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය දිරිගැන්වීම හෝ නිදහස් පරිසරය පවුල තුළින් හඳුනා ගැනීමට නොහැකි වන අතරම අනෙක් දරුවන් උදෑසන සූදානම් වී තමාගේ අනාගතය ගොඩනගා ගැනීමට අධ්‍යාපනය සඳහා පාසල වෙත ප්‍රවිශ්ඨ වෙද්දී මෙම දරුවා හට උදෙන්ම අවදිව එදා වේල සොයා ගැනීමට කුලී වැඩ සඳහා පිටත්ව යන මව සමඟ ගොස් හේනක හෝ කුඹුරක හෝ සෙවණැති ගසක් යට මව වැඩ අවසන් කරන තුරු සිටීමට සිදුව ඇත. දරිද්‍රතාවයෙන් බැට කන මවට දරුවාගේ අධ්‍යාපන යුතුකම් ඉටු කිරීමේ නොහැකියාවක් පවතින බව කා හට වුව අවබෝධ වන්නකි. එබැවින් මවටද ස්ථිර රැකියාවක් නොමැතිව පියාගේ ආදරය, රැකවරණයද නොලබන දරුවා හට අධ්‍යාපන අයිතිවාසිකම් උරුම නොවන බව දත් ඔහු කිසිදු පැකිලීමකින් තොරව අධ්‍යාපන ගමන නවතා දැමීමට කටයුතු කර ඇති බව පැහැදිලිය. මේ ආකාරයට දරිද්‍රතාවයේ පත්ල ස්පර්ශ කරන්නා වූ දරුවන් මෙකී දිළිඳු බව නිසාම තම පාසල් ගමන හමාර කර ඇති බවක් හඳුනාගත හැකිය.
දෙමාපියන් විදෙස්ගත වීම දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාව තුළ, වඩා හොඳ ආර්ථික අවස්ථා සොයා දෙමාපියන්, විශේෂයෙන් මව්වරුන් විදේශ රටවලට සංක්‍රමණය වීම සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව ඇත. මෙම සංක්‍රමණය බොහෝ විට පවුල් සඳහා වැඩි දියුණු කළ මූල්‍ය ස්ථාවරත්වයට හේතු වන අතර, එය විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සැලකිය යුතු අභියෝග ද ගෙන එයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සම්පත් බෙදා හැරීමේ අසමානතාවයන් මෙම අභියෝග උග්‍ර කරන අතර, දරුවන්ගේ අධ්‍යයන කාර්ය සාධනය, චිත්තවේගීය සෞඛ්‍යය සහ සමස්ත සංවර්ධනය කෙරෙහි බලපාන ගැටළු සහිත සංකීර්ණ ජාලයක් නිර්මාණය කර තිබේ.
එක් දරුවෙක් තම මව විදේශගතව සේවය කිරීම හේතුවෙන් දිගු කලක් නොපැමිණීම ගැන මෙසේ ප්‍රකාශ කරයි.
මගේ අම්මා රට ගිහින් දැන් අවුරුදු ගානක් ගෙනාවා. එයා මුලින්ම රට යන්න පටන් ගත්තේ මම චූටි ඉඳන් කියලා අත්තම්මා කියලා ඒ කාලෙ ඉඳන්ම එයා සැරින් සැරේ යනවා එනවා. ගොඩක් වෙලාවට එයා එහෙ ඉන්නේ. දැනට දෙපාරක් වගේ තමයි මෙහෙ ආවෙ. අම්මා කියන්නේ අපිට හොඳට උගන්නන්න නිසා එයා රට යනවා කියලා. අපිට සල්ලි තියෙනවා. සමහර වෙලාවට අම්මාගේ අඩුව ගොඩක් දැනෙනවා. මතක් වෙද්දි දුක හිතෙනවා. ඉස්කෝලේ රැස්වීම් වලට, class වලට අනිත් ළමයිගේ අම්මලා ඉද්දි අපේ අම්මත් හිටියනම් හොඳයි කියලා හිතෙනවා. (ගැහැණු දරුවෙක්, වයස අවු. 16, මහනුවර දිස්ත්‍රික්කය)
මෙමගින් මූල්‍ය ස්ථාවරත්වයට පවා පිරවිය නොහැකි සංක්‍රමණික දෙමව්පියන් විසින් ඉතිරි කරන ලද චිත්තවේගීය හිස්බව පිළිබිඹු කරයි. දරුවා ආර්ථික ප්‍රතිලාභ පිළිගන්නා නමුත්, ඔහුගේ පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක අවස්ථාවන්හිදී මවගේ නොපැමිණීම චිත්තවේගීය වශයෙන් ගැඹුරින් බලපෑම් එල්ල කරයි. මෙම තත්වය තුළ ඇති උත්ප්‍රාසය ඉස්මතු කරයි. දෙමවිපියන් තම දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා සංක්‍රමණය ලුහුබඳින අතර, එමගින් ඇතිකරන චිත්තවේගීය හා මානසික බලපෑම් වලක්වා ගත නොහැකිය.
තවත් අවස්ථාවක, කලින් මූල්‍යමය වශයෙන් දුෂ්කරතා ඇති පවුලක් සංක්‍රමණය ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කළ ආකාරය විස්තර කරයි.
අම්මා රට යන්න කලින් අපිට සල්ලි තිබුණෙ නැහැ ඒ කාලේ අපි ගොඩක් දුප්පත්. තාත්තා කුලී වැඩ කලේ. සමහර දවස්වලට මගේ ඉස්කෝලේ පහසුකම් ගාස්තු ගෙවන්නවත් ගෙදර සල්ලි තිබුණෙ නැහැ. කොහෙන්හරි ණයකට ඉල්ලගන්නෙ. Tution class යන්න අයියට දෙන්න සල්ලි තිබුණෙ නෑ. එයා කවදාවත් අමතර පංතියකට ගිහින් නැහැ. දැන් අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපේ අවශ්‍ය දේවල් ගන්න අපිට සල්ලි තියෙනවා. මම විෂයන් කිහිපයක්ම tution classes යනවා. (අවු 10 පිරිමි දරුවෙක්, මහනුවර දිස්ත්‍රික්කය)
මෙමගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින මූල්‍ය විෂමතා අවධාරනය කරයි. බොහෝ පවුල් සඳහා, මූල්‍ය සම්පත් හිඟය, අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා බොහෝ විට තීරණාත්මක වන උපකාරක පන්තිවලට ප්‍රවේශය වැනි අධ්‍යාපන අවස්ථා දැඩි ලෙස සීමා කරයි. එබැවින්, මෙම පරතරය පියවා ගැනීමට දෙමාපියන්ගේ සංක්‍රමණය අත්‍යවශ්‍ය කරුණක් බව සමාජය අවධාරණයට ලක්කර තිබේ. කෙසේ වෙතත්, මෙය දෙමාපියන්ගේ පැමිණීමේ වියදමෙන් පැමිණේ, එය ආපසු හැරවිය නොහැකි ය.
එහෙත්, සංක්‍රමණයේ ප්‍රතිවිපාක අධ්‍යාපන ප්‍රවේශයට පමණක් සීමා නොවී, දරුවන් අතර චර්යාත්මක හා සමාජීය ගැටලුවලට ද හේතු විය හැක.
මට ආරංචියක් ආවා මගේ ලොකු පුතා දැන් හරියට ඉස්කෝලෙ යන්නෙත් නෑ කියලා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ යනවා කියලා ගිහින් යාළුවො එක්ක ඇවිදින්න යනවාලු. කොල්ලො එක්ක එකතුවෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද දන්නෙත් නැහැ. මහත්තයත් උදේ වැඩට ගියහම හවස ගෙදර එන්නෙ. එයාට වැඩිය හොයන්න වෙලාවකුත් නෑ. මට බයයි මේ ලමයි නොමග යයි කියලා. එයාලට හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ නිසා මම මේ දුක් විදින්නේ. අවසානේ මට මගේ දරු පැටව් ටිකත් නැති වෙයිද මන්දා මිස්. දැන් මට මේ ඔක්කොම දමල ගහලා ලංකාවට එන්න හිතිලා තියෙන්නේ. (විදේශගත වූ මවක්, මහනුවර දිස්ත්‍රික්කය)
මෙමගින් මාපිය සංක්‍රමණයේ අනපේක්ෂිත ඍණාත්මක බලපෑම් හෙළි කරයි. එහිදී දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැතිකම, දරුවන් අතර චර්යාත්මක ගැටළු සහ විකෘති හැසිරීම් වලට තුඩු දෙයි. දරුවන්ගේ චිත්තවේගීය හා සදාචාරාත්මක හැදී වැඩීම සමඟ ආර්ථික අවශ්‍යතා සමතුලිත කිරීමේ අරගලය පැහැදිලිව පෙනේ. සෘණාත්මක බලපෑම්වලට තම දරුවන් අහිමි වීමේ බිය දැඩි සැලකිල්ලක් බවට පත් වන අතර, සංක්‍රමණයේ ගැඹුරු සමාජ පිරිවැය පෙන්නුම් කරයි.
එපමණක් නොව, දෙමව්පියන් නොමැති විට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම දැඩි ලෙස අවදානමට ලක් විය හැකිය.
ගියපාර මේ ළමයාගේ අම්මා රට ගිහින් ඉන්න වෙලාවේ මේ ළඟදීම සොයා ගැනීමට කරදර වුණා. එතකොට ගමේ ග්‍රාම සේවක මහත්තයා, පොලිසියෙන් නිළධාරී මහත්වරු එහෙම මැදිහත් වෙලා මේ ළමයගේ අම්මව ආයෙත් ලංකාවට ගෙන්න ගත්තා. ඔය ටික කාලෙයි හිටියේ කොහොම හරි හොරට ලේඛන හදාගෙන ළමයාව තමා නංගිට දාලා ආයෙත් රට ගිහින්. එහෙදිත් ඒ ළමයාට කරදර හිරිහැර වෙනලු. (අසල්වැසි කාන්තාවක්, වයස අවු.45, මහනුවර දිස්ත්‍රික්කය)
මෙම තත්ත්වය සූරාකෑමට සහ අපයෝජනයට ලක්වීමට ඇති හැකියාව ඇතුළුව, දෙමාපියන් නොමැති විට දරුවන් මුහුණ දෙන අවදානම් තත්වය පිළිබඳව අවධාරණය කරයි. මෙමගින් මවගේ නොපැමිණීම දරුවාට දැඩි චිත්තවේගීය හා සමහරවිට ශාරීරික හානියක් කිරීමට හේතු වන අතර, දෙමාපියන්ගේ සංක්රමණයෙන් ඇති කළ හැකි සෘණාත්මක බලපෑම ඉස්මතු කරයි.
තනි මා පිය පවුල් හා අධ්‍යාපනය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය” නිදහස් හා සාධාරණ ප්‍රවේශය යන මූලධර්ම මත පදනම් වුව ද” සම්පත් බෙදා හැරීමේ සැලකිය යුතු විෂමතාවන්ගෙන් සලකුණු වේ. බොහෝ විට තම දරුවන්ට වඩා ධනවත් හෝ ද්විත්ව දෙමාපිය පවුල්වල අයට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමට අරගල කරන තනි මාපිය පවුල් මුහුණ දෙන අද්විතීය අභියෝග සලකා බැලීමේදී මෙම අසමානතා තවදුරටත් විශාල වේ.
ශ්‍රී ලංකාවේ තනි මාපිය පවුල්, තම දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව සීමා කරන මූල්‍ය දුෂ්කරතාවලට බොහෝ විට මුහුණ දෙයි. එක් ආදායම් මාර්ගයක් මගින් පවුලේ සියලුම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව ඇති මෙම පවුල්, අඩු වරප්‍රසාද ලත් පාසල්වල සම්පත් හිඟකම නිසා තවදුටත් අසමානුපාතික ලෙස පීඩාවට පත්වේ. මෙය විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පවතින අඩු අරමුදල් සහ අඩු සම්පත් සහිත පාසල්වල දැකිය හැකි වේ.
බොහෝ තනි මාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම සමඟ පවුලේ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීම අඛණ්ඩ අභියෝගයකි. රැකියා අවස්ථා හිඟ ග්‍රාමීය හෝ ආන්තික ප්‍රජාවන්හි ජීවත්වන අයට මෙම බර ඊටත් වඩා බර වන අතර, නිල ඇඳුම්, පොත්පත්, ප්‍රවාහනය සහ පෞද්ගලික උපකාරක පන්ති වැනි අධ්‍යාපනයට අදාළ වියදම්වල පිරිවැය අතිමහත් විය හැකිය.
දික්කාලිසම් ඕනේ කීවනේ දහය වසරට. එතකොට දික්කලිසමක් අන්දලා එවන්ඩ මට විදිහක් තිබ්බෙ නෑ. ඉස්කෝලේ ඇවිල්ලා නතර වුන ළමයි ඉන්නවනේ, එයාලගෙන් ඉල්ලගෙන තමයි ඇනදුවෙ. (වයස 43, තනි මවක්,කුරුණෑගල දිස්ත්‍රික්කය)
අලුතෙන් වාරයක් පටන් ගත්තහම, පන්තියකට ගියාම පොත්පත්වල අඩුපාඩු ගන්න සල්ලි තිබුනෙ නෑ. අපේ ගෙදර ලග කඩේ අක්ක කීවා සල්ලි නැතත් කමක් නෑ ළමයින්ට ඉස්කෝලෙට පොත් ටික අරගෙන යන්න කියල. මං එයාගෙන් පොත් එකොළහක් ගෙනාවා. (වයස 38, තනි මවක්,කුරුණෑගල දිස්ත්‍රික්කය)
එසේම, පෙළපොත්, තාක්‍ෂණය සහ විෂය බාහිර වැඩසටහන් වැනි ප්‍රමාණවත් පාසල් සම්පත් නොමැතිකම, බොහෝ විට විශාල පුද්ගලික සහ මූල්‍ය පිරිවැයක් දරා හිඩැස් පිරවීම සඳහා මෙම දෙමාපියන්ට අමතර පීඩනයක් එල්ල කරයි. වඩා හොඳින් අරමුදල් සපයන සහ සන්නද්ධ නාගරික ප්‍රදේශවල පාසල්වලට සුදුසුකම් ලත් ගුරුවරුන් සඳහා ප්‍රවේශය, විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ඩිජිටල් ඉගෙනුම් මෙවලම් ඇතුළුව වඩාත් පුළුල් අධ්‍යාපන අත්දැකීමක් ලබා දිය හැකිය. ඊට ප්‍රතිවිරුද්ධව, ග්‍රාමීය හෝ ආර්ථික වශයෙන් අවාසි සහගත ප්‍රදේශවල පාසල්වලට නිසි පන්ති කාමර, පුස්තකාල හෝ සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික සම්පත් පවා බොහෝ විට නොමැත.
මෙම ප්‍රදේශවල තනි මාපිය පවුල් සඳහා, ප්‍රතිවිපාක දරුණු ය. මෙම කුටුම්භවල දරුවන් අඩු සම්පත් සහිත පාසල්වලට පැමිණීමට වැඩි ඉඩක් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යයන කාර්ය සාධනය අඩු වන අතර දියුණුව සඳහා ඇති අවස්ථා සීමිත වේ. මෙය දිළිඳුකමේ සහ අධ්‍යාපනික අවාසියේ චක්‍රයක් පවත්වා ගෙන යන අතර එය බිඳ දැමීමට අපහසුය.
ලොකු ලොකු ඉස්කෝලවලට යවන්න නම් මට බෑ. සාමාන්‍යපෙළ කරාට පස්සේ ඉස්කෝලේ ගෙදරට ළඟයිනෙ, ඒ ඉස්කෝලේට දානවා. එතකොට එයාට ඉස්කෝලේ ඇරිලා තනියම ගෙදර එන්නත් පුළුවන්. (වයස 43, තනි මවක්,කුරුණෑගල දිස්ත්‍රික්කය)
එපමණක් නොව, COVID-19 වසංගතය තුළ භෞතික අධ්‍යාපනික ක්‍රමය, මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට මාරුවීම, ග්‍රාමීය ප්‍රදේශවල තනි මාපිය පවුල්වලට අසමාන ලෙස බලපෑවේය. නාගරික ප්‍රදේශවල සිසුන්ට පහසුකම් සමඟ මාර්ගගත ඉගෙනීමට සංක්‍රමණය වීමට හැකි වූ අතර, ග්‍රාමීය ප්‍රජාවන්හි, විශේෂයෙන්ම තනි මාපිය කුටුම්භවල සිටින අය, ඩිජිටල් උපාංග සඳහා ප්‍රවේශය නොමැතිකම සහ ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පසුගාමී විය. මෙමගින් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වූවා පමණක් නොව පවතින ජයග්‍රහණ පරතරය ද වැඩි විය.
කොරෝනා ආවට පස්සේ ළමයින්ගේ අධ්‍යාපනය ගොඩක් වැටුනා. විශේෂයෙන්ම මේ තනි මාපිය පවුල්වල දරුවන්ගෙන් ගොඩක් අයට ඔන්ලයින් ඉගෙනගන්න දුරකථනයක්වත් තිබුනේ නෑ. ඒ වෙලාවේ දුරකථනයක් ගන්න තරම් ආර්ථික ශක්තියක් ඔවුන්ට තිබුනේ නෑ. ගුරුවරු විදිහට අපිත් ඒ වෙලාවේ අසරණයි. (වයස 35, ගුරුවරයෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කය)
මෙම අභියෝග ජය ගැනීම සඳහා තනි මාපිය පවුල්වලට සහාය වීම සඳහා අධ්‍යාපන සම්පත් වඩාත් සාධාරණ ලෙස බෙදා හැරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් තනි මාපිය පවුල් වැඩි වශයෙන් පදිංචි වී සිටින ග්‍රාමීය ප්‍රදේශවල, අඩු වරප්‍රසාද ලත් පාසල් සඳහා අරමුදල් සහ සම්පත් වෙන් කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රමාණවත් ඉගෙනුම් ද්‍රව්‍ය සැපයීම සහ මෙම ප්‍රජාවන් තුළ වැඩ කිරීමට පෙළඹෙන සුදුසුකම් ලත් ගුරුවරුන් පාසල්වල සිටින බව සහතික කිරීම මෙයට ඇතුළත් වේ.
මීට අමතරව, තනි මාපිය පවුල් ඉලක්ක කරගත් නිශ්චිත ආධාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් අධ්‍යාපනය හා සම්බන්ධ මූල්‍ය බර සමහරක් ලිහිල් කිරීමට උපකාරී වේ. නිදසුනක් වශයෙන්, තනි මාපිය පවුල්වල ළමුන් සඳහා ශිෂ්‍යත්ව හෝ මූල්‍ය ආධාර ලබා දීමෙන් මෙම සිසුන්ට අධ්‍යාපනික වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය සම්පත් සඳහා ප්‍රවේශය ඇති බව සහතික කළ හැකිය.
මෙනිසා පීඩාවට පත්වන දක්ෂ සිසුන් පසුගාමීවන ස්වරූපයක් පෙන්නුම් කරන අතර ඔවුන්ව දිරිගැන්වීමට උපස්ථම්භන ලබාදුන්න ද කුලය ආදී සාධක උලුප්පා එය ද වළකාලන තත්ත්වයක් පාසල් පරිසරය තුළින් හඳුනාගත හැකි විය.
මගේ දක්ෂ දරුවෙක් ඉන්නවා ඔලිම්පියාඩ් යන. හැබැයි ඒ දරුවාට තරඟවලට ඉදිරිපත්වෙන්න අනිත් අයගෙ අම්මලා අවස්ථාව දෙන් නෑ. මොකද ඒ දරුවා අඩු කුලේ කියලා. එයාගෙ අම්මලා දරුවා වෙනුවෙන් මහන්සි වුනාට අනිත් අම්මලාටම හරියන්න මේකෙ විදුහල්පති ඉන්න නිසා මට මුකුත් කරන්න බෑ.(අවු 42, ගුරුවරිය, කුරුණෑගල දිස්ත්‍රික්කය)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ගම්මානවල පන්ති විෂමතාවයට අමතරව පාසල තුළ කුලභේද පවතින බව ද පසක් විය. මෙලෙස සමාජ අසමානතාවය කුලය හා පන්තිය පදනම්ව ක්‍රියාත්මක වෙමින් එය පාසල් පද්ධතිය තුළට ද අවතීර්ණ වි තිබීම සංවේදී කාරණයකි. උපතත් සමඟ පුද්ගලයා කිසිවක් රැගෙන නොඑන අතර කුලය යන්න පහත්කොට සැලකීමේ නිර්ණායකයක් නොවේ. ඒ අනුව අධ්‍යාපන අවස්ථා ලැබීමේ දී එය ඉස්මතුකර කතා කිරීම එම දරුවන් පීඩාවට හා අසරණභාවයට පත් කරන අතර එනිසාම දෙමව්පිය උපස්ථම්භන ලබාදුන්න ද යළි එම දරුවන්ගේ ප්‍රගමනයක් දැකීම අපහසු බව අනාවරණය විය. සැබවින්ම එය කණගාටුවට කරුණකි.
වතු අංශයේ අධ්‍යාපනය කෙරෙහි වන බලපෑම
සබරගමුව පළාත තුළ දමිළ මාධ්‍ය උසස් පෙළ සියලු අංශ වලින් සමන්විත පාසල් පවතින්නේ හතරක් පමණි.මෙහිදී මෙම පාසල් වලට ළගා විය නොහැකි රත්නපුර ප්‍රදේශයේ ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ට තමා කෙතරම් දක්ෂ වුවද යාබද පාසල තුල පවතින්නේ කලා විශයන් නම් අකමැත්තෙන් වුවද එම අංශයෙන් අධ්‍යාපනය හැදෑරීමට සිදු වේ. මෙහිදී සාමාන්‍යෙයන් මුදල් ඇති පුද්ගලයන් තම දරුවන් හැටන්, යාපනය වැනි ප්‍රෙද්ශ වලට උසස් පෙළ සදහා යොමු කරනු ලබයි.
වතු ක්ෂේත්රය වෙත අවධානය යොමු කිරීමේදී ඔවුන්ටද වතුකම්කරුවන්ට නාමිකව සම අයිතිවාසිකම් ශ්රී ලාංකිකයන් ලෙස හිමි වන බව පැවසුවද අදටත් එසේ සම ප්රවේශයක් හිමිවනවාද යන්න ගැටලු සහගත වේ.
මූලික අවශ්යතා වන ආහාර පාන පවා ලබා ගැනීමට තරම් ආර්ථික තත්වයක් නොමැති විටක මොවුන්ගෙන් බහුතරයක් දරුවන් අධ්යාපනයට යොමු කිරීමට සැලකිල්ලක් නොදක්වන බව මෙම අධ්යයනය තුළින් හඳුනාගත හැකි විය. මෙහිදී මූලික වශයෙන් දරුවන්ට ඔවුන්ගේ ශාරීරික වර්ධනය සඳහා අත්යවශ්ය වන පෝෂ්යදායී ආහාර වේල් මඟ හැරී යාම සිදු වේ.
පෝෂණය කියන්නෙ ඒ ළමයින්ට ඒ වයසට දෙන කෑම දෙන්නෑ. දවසට සෝයා මීට් හරි කාලා යනවා එච්චරයි. එක්කො පරිප්පු හරි උයලා කාලා යනවා. ඒ ළමයින්ට එදාට හම්බෙන්න ඕනි පෝෂණය අම්මලා බලලා දෙන්නෑ. මේ දවස් වල කොහොමත් කන්න නැතුවනෙ ඉන්නෙ..(වයස 45, ගුරුවරියක්,රත්නපුර දිස්ත්‍රික්කය)
කොරෝනා වසංගතයෙන් පසුව 2021 වන විට පැන නැඟුණු ආර්ථික අර්බුධය දරුවන් පාසල් අධ්යාපනයට යොමු නොවීම කෙරෙහි ඍජුවම බලපා තිබේ. ශ්රී ලංකාව තුළ නිදහස් අධ්යාපනයක් ක්රියාත්මක වුවද ඒ සඳහා අවශ්ය පසුබිම සකස් කර ගැනීම සඳහාද බොහෝ සාධකයන්හි සංඝටනයක් අවශ්ය වේ.එමෙන්ම දරුවන්ගේ නිල ඇඳුම්, පොත් පත්, ලිපි ද්රව්ය මිළදී ගැනීමට නොහැකි වන්නේද දරිද්රතාවය පදනම් කරගෙනය. මේ නිසාවෙන්ද දරුවන් පාසල් වලට යොමු කිරීම වෙනුවට නිවෙස් තුළම තබා ගනිමින් කටයුතු කරන ආකාරය දැකිය හැකි වේ.
දෙමාපියන් ලබා දුන්නේ පහතාකාරයේ අදහස් දැක්වීමකි.
ඇත්තටම මහත්තයා ළමයි තුන්දෙනෙක් ඉස්කෝලෙ යවන එක ලේසි නෑ. කවුරු කෝම කිව්වත් කන්නත් නැතුව ඉද්දි ඔව්ව කරන්න බෑ.. රජයට ඡන්දෙ කාලෙට අනන් මනන් ඕනි උනාම බොරුවට ඇවිත් ශෝ එක දාලා තමා යන්නෙ… (වයස 38, කාන්තාවක්, රත්නපුර දිස්ත්‍රික්කය)
දරුවන් පාසල් යවනවාට වඩා ඔවුන්ට දැවැන්ත ජීවන අරගලයකට මුහුණ දීමට ඇති බව මනාව පසක් වන අතර ඔවුන් දේශපාලන අතකොළු බවට පත්වී තිබෙන බව ඔවුන්ටද තේරුම් ගොස් ඇති බවත් හඳුනාගත හැකි වේ. කෙසේ නමුත් මේ සඳහා තාවකාලික පැලැස්තර ක්රමයක් වෙනුවට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් දියත් කිරීම සුදුසු බවත් එසේ ඔවුන් හා සම්බන්ධ වී ඔවුන්ටද එම සැලැස්ම පිළිබඳව අවබෝධ කර දීමෙන් වඩා යහපත් ප්රතිපලයක් ලබා ගත හැකි බවටත් මේ තුළින් අවධාරණය කර ගත හැක.
එමෙන්ම වතු ප්රජාව තරමක් දුරට හෝ අතීතයේ පැවති තත්වයට සාපේක්ෂව ඉදිරියට පැමිණ ඇති බව හඳුනාගත හැකි වේ. එසේ වුවද බොහෝ විට මොවුන් ගුරු වෘත්තියෙන් ඔබ්බට යාමක් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බව අපේ හඬ සිවිල් සංවිධානයේ ලේකම්වරයා විසින් අදහස් දක්වන ලදි.
ටීචර්ස්ලා වෙන එක ඇරුණම ඩොක්ටර්, ඉංජිනියර් කෙනෙක් වෙන්න සෑහෙන්න මහන්සියක් දරන්න වෙනවා. ඒක සාමාන්යයෙන් පොදු තත්වයක්නෙ.වත්තට ආවම ඒක තවත් අමාරුයි. (සිවිල් සංවිධානයේ ලේකම්, වයස 32,රත්නපුර දිස්ත්‍රික්කය)
වතු අංශයේ ඉංජිනේරු හෝ වෛද්ය වෘත්තියට පැමිණෙන්නන් බොහෝ විට වතු ගුරුවරුන්ගේ දරුවන් බවට පෙන්වා දෙන ලදි. එමෙන්ම මෙම ප්රදේශ වල දරුවන්ට බොහෝ විට උසස් පෙළ හැදෑරීමට ප්රමාණවත් පහසුකම් නොමැති වේ. විද්යාගාර ප්රමාණවත් නොවීම, යටිතල පහසුකම් නොමැති වීම වැනි තත්වයන් මෙහිදී හඳුනාගත හැකි වේ.
මම රස්සාවට ගියාම ගෙදර වැඩ කරන්නේ පුතා. එයා මං එනකොට දර පළල තියෙනවා. අපේ නෝනත් ගෙදර නෑනේ මායි පුතයි විතරයි. එයා රොටී එහෙම හදනවා. තව එයාගේ මල්ලිවත් එයා බලාගන්නව එයා තාම මොන්ටිසෝරි වයසේ. නෝනා කොළඹගේ ගෙදරක වැඩ කරන්නේ. මාත් වහලයක් ගහන්න ගිහින් කකුල කැඩිලා අවුරුද්දක් වගේ ඉඳියා. එතකොට තමා මෙයා අපිව බලාගත්තේ… (වයස 55,වතුකරයේ පියෙක්,රත්නපුර දිස්ත්‍රික්කය)
මොවුන්ගේ මෙම අදහස් තුළින් තම දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට හඳුනාගත හැකි අතර මොවුන් සිය දරුවන් පෙන්වා දෙන්නේ තමන්ට ජීවත්වීමට පහසු කරවන තවත් එක් උපකාරයක් ලෙසයි. පාසල් යා යුතු වයසේදී දරුවන් මුදල් වලට එක් එක් කුඩා රැකියාවන් කෙරෙහි යොමු කර ඔවුන්ගෙන් මුදල් උපයා ගැනීම නෛතිකව සිදුකළ නොහැකි වුවද එය වතුකරයේ සාමාන්‍ය තත්වයක් බවට පත් වී තිබේ.
නිගමනය
උක්ත කරුණුු අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයෙහි පැහැදිලි අසමානතාවයක් පවතින බවට හඳුනාගත හැකිය සෑම පහසුකමක්ම පාහේ නගරබද පාසල් වලට පමණක් හිමිවීමේ ප්‍රවණතාවයක් පිරිමු වන බව පෙනී යන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පාසල වැනි පාසල් සඳහා සුහුරු පන්ති කාමර ආදිය මෑතකදී ලබාදීමේ ්නට ලැබුණු බැවිනි. පවතින තත්ත්වය එසේ වන විට ග්‍රාමීය දුෂ්කර ඇතැම් පාසල් සඳහා සාමාන්‍ය පන්ති කාමරයක් තුළ අවම පහසුකම්වත් ඔවුන්ට නොලැබෙන බව දක්නට ලැබුණි. එයින් පෙනී යන්නේ පාලකයන් පවා දුෂ්කර පාසල් කෙරෙහි දක්වන අඩු අවධානයත් ජනප්‍රිය පාසල් කෙරෙහි වැඩි ගැඹුරුවක් දැක්වීමට පෙළඹී ඇති බවත්ය ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතුනද පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් බෙදීයාමේ අසමත් අසමානතාවයක් පැවතීම කෙරෙහි විද්වතුන්ගේ අවධානය යොමු විය යුතු නොවන්නේද? වගකිවයුතු පාර්ශ්වයන් කවුරුන්ද?