14 July, 2026

Blog

ප්‍රකාශනයේ සිට ක්‍රියාකාරීත්වය දක්වා ප්‍රමාදයකින් තොරව

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණදීමට සිදුවූ පළමු ප්‍රධානතම අර්බුදය බවට පත්ව තිබේ. දශක ගණනාවක් තිස්සේ ගොඩගැසී බන්ධනාගාර පද්ධතිය බෝම්බයක් බවට පත්කිරීමට හේතු වූ මෙකී තත්ත්වයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු හෝ නොවීමට හැකිය. එහෙත් සැබෑ කරුණ නම්, රජය විසින් දියත් කරන ලද ‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන හේතුවෙන්, 2024 අගභාගයේදී 28,000ක් ලෙස පැවති රටේ සමස්ත බන්ධනාගාර රැඳවියන් ගණන 2026 වන විට 41,000 දක්වා ඉහළ යෑමයි. බන්ධනාගාරගතවල පවතින ප්‍රධානම ගැටළු අතර, අධික තදබදය, දුර්වල යටිතල පහසුකම්, ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් බන්ධනාගාර තුළට රීංගා තිබීම මෙන්ම අනුප්‍රාප්තික ආණ්ඩු විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ දිගුකාලීනව නොසලකා හැරීම ද ඇතුළත් වේ. ගැටුම ඇති වන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,600ක් පමණ රඳවා සිටි අතර, එය ඉදිකර ඇත්තේ රැඳවියන් 650කට පමණක් ඉඩ පහසුකම් සැලසීමට පමණකි. බන්ධනාගාරයේ සාමය යළි ස්ථාපිත කරන විට, බන්ධනාගාර නිලධාරීන් හත්දෙනකු ඇතුළුව පුද්ගලයන් 29 දෙනකුට ජීවිත අහිමි වී තිබූ අතර තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා සිටි බව වාර්තා විය.

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුව හමුවේ මෙහි වගකීම පිළිගත් අතර, බන්ධනාගාරය වෙත ගොස් ඇප ලබාදීමට පහසුකම් සැලසීම සහ රැඳවුම් භාරයේ තැබීමට විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම ඇතුළු ව්‍යවස්ථාදායක වෙනස්කම් සඳහා වන ක්ෂණික පියවර ප්‍රකාශයට පත්කළේය. එහෙත් ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම අනතුර කල්තියා හඳුනාගැනීමට අපොහොසත් වීම සහ ගැටලුව මතු වූ වහාම ප්‍රමාණවත් වේගයකින් හා නිපුණතාවයකින් යුතුව ඊට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම පිළිබඳ වගකීම භාරගත යුතුය. රැඳවියන් 10,000කට පමණක් ඉඩකඩ ඇති බන්ධනාගාර තුළ 42,000කට අධික රැඳවියන් පිරිසක් රඳවා තැබීමෙන් මුළු රට පුරාම භයානක තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිය. මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ බරපතලකම හුදෙක් හුදකලා සිදුවීමක් ලෙස නොව, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවත් කාලයකට කල් දැමීමට රජයට නොහැකි බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතුය. ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව මත තේරී පත් වූ ආණ්ඩුවකට, තමන් පෙර සිටි කණ්ඩායමට වඩා අවංක සහ දූෂණයෙන් තොරය යන පදනම මත පිහිටා, තමන්ට පෙර සිටි අයගේ අසාර්ථකත්වයන් නැවත සිදුකිරීම සාධාරණීකරණය කළ නොහැකිය.

පොරොන්දුවලින් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම තවත් ක්ෂේත්‍ර කිහිපයකම පැහැදිලිව පෙනෙන්නට තිබේ. නොවිසඳුණු ගැටලු හේතුවෙන් ගොවීහු අඛණ්ඩව උද්ඝෝෂණවල නිරත වෙති. වතු කම්කරුවෝ සාමාන්‍ය ජීවිතයට අර්ථවත් ලෙස ඒකාබද්ධ වීමට තවමත් මඟ සොයමින් සිටිති. ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පීඩාවට පත් වූ ඔවුන්ගෙන් බොහෝදෙනෙක්, ඉඩම් සහ නිවාසවල අයිතිය නොමැතිකම වැනි ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී රජය දක්වන මන්දගාමීත්වය හේතුවෙන් තවමත් අන්ත අසරණ තත්ත්වයන් යටතේ ජීවත් වෙති. මඩකලපුව මයිලතම්මඩු ගව පාලකයන්ගේ ප්‍රශ්නය, ජනාධිපතිවරුන් දෙදෙනකු වන රනිල් වික්‍රමසිංහ සහ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධිකරණ නියෝගවලට අනුකූලව අනවසරයෙන් ඇතුළුවූවන් ඉවත් කිරීමට නියෝග කිරීමෙන් පසුව පවා නැවතත් මතු වී තිබේ. එහෙත් පොලිසිය සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් අධිකරණ තීන්දු පවා ක්‍රියාත්මක නොකරන මට්ටමට, පියවර ගැනීමට මන්දගාමී වන බවක් පෙනෙන්නට තිබේ. අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් පීඩාවට පත්වූවන් සහ අතුරුදහන්වූවන්ගේ පවුල් දහස් ගණනක් තවමත් යුක්තිය ඉටු වන තෙක් බලා සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට දුන් පොරොන්දුව තවමත් ඉටු වී නැත. බන්ධනාගාර ප්‍රතිසංස්කරණය ද දැන් මෙම කල් දමන ලද පොරොන්දු ලැයිස්තුවට අලුතින්ම එකතු වී තිබේ.

ජාතික ජන බලවේගයේ පොරොන්දු

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය මඟින් පොරොන්දු වූයේ හුදෙක් අවංක ආණ්ඩුවක් පමණක් නොව, පද්ධතිමය පරිවර්තනයකි. බන්ධනාගාර සම්බන්ධයෙන් වන කොටස යටතේ, බන්ධනාගාර පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට, එහි තදබදය අඩු කිරීමට, විවෘත බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීමට, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ මනෝවිද්‍යාත්මක සහයෝගය ලබාදීමෙන් පුනරුත්ථාපනය ශක්තිමත් කිරීමට, විධිමත් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට මෙන්ම බන්ධනාගාර දඬුවම් දෙන ස්ථානවල සිට පුනරුත්ථාපනය සහ සමාජගත කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට ජාතික ජන බලවේගය පොරොන්දු විය. එම පොරොන්දු අන්තර්ජාතික හොඳම භාවිතයන් පිළිබිඹු කළ අතර, මානුෂීය බන්ධනාගාර පද්ධතියක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය බව පිළිගත්තේය. එසේ වුවද, ඔවුන්ගේ ධුර කාලයෙන් වසර දෙකක් ගතවීමට ආසන්න වුවද, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පෙනෙන්නට තිබෙන ප්‍රගතිය ඉතා අල්පය.

ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයන් දැක ඇත. ඇතැම් ඒවා දරාගත නොහැකි බන්ධනාගාර තත්ත්වයන්, අධික තදබදය සහ කලකිරීම් හේතුවෙන් ස්වයංසිද්ධව පුපුරා ගොස් තිබේ. තවත් සමහරක් සිදුවූයේ රාජ්‍යයේ මැදිහත්වීම පිළිබඳව බියකරු ප්‍රශ්න මතුකරන තත්ත්වයන් යටතේය. 1983 ජූලි මාසයේ පැවැති දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය අතරතුර වැලිකඩ බන්ධනාගාරය තුළදී දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු සමූල ඝාතනය කිරීම රටේ ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් ලෙස පවතී. එම සිරකරුවන් රජයේ භාරයේ සිටියදීත් ඔවුන්ට ආරක්ෂාව සැලසුණේ නැත. කොවිඩ් තත්ත්වයන් හේතුවෙන් ඇති වූ විරෝධතාවලින් පසු රැඳවියන් එකොළොස් දෙනකු මියගිය 2020 නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය ද, ඒ හා සමානව ඉලක්ක කරගත් ආයුධ භාවිතය පිළිබඳ බරපතල චෝදනා මතු කළ අතර ස්වාධීන පරීක්ෂණයක් සඳහා පුළුල් ඉල්ලීම් ඇති කළේය.

කොවිඩ් වසංගත සමයේ මහර බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වයෙන් පසුව, එවකට විපක්ෂ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, “රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ සිරගත කර සිටින අය සිටින්නේ රජයේ භාරයේය. එබැවින් රජයේ භාරයේ සිටින සිරකරුවන්ගේ සහ රැඳවියන්ගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම පැවරෙන්නේ රජයටය” යනුවෙනි. ඔහු වැඩිදුරටත් කියාසිටියේ, “රජයේ ආරක්ෂාව යටතේ සිටින සිරකරුවන් රජයේ භාරයේ සිටියදීම වෙඩි තබා ඝාතනය කිරීම මානව හිමිකම් අගයන ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත්ම පිළිගත නොහැකි” බවයි. එහෙත් මීගමුව ඛේදවාචකයේදී ද, ජනාධිපති දිසානායකගේ නායකත්වයෙන් යුත් රජයට රැඳවියන් ආරක්ෂා කිරීමට නොහැකි විය; කෙසේවෙතත් රජය මෙම ප්‍රචණ්ඩත්වය සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. වසර දෙකක් තිස්සේ බලයේ සිටින බැවින්, මීට වඩා හොඳ වැළැක්වීමේ පියවරක් ගැනීමට ඔවුන්ට තිබූ හැකියාව පිළිබඳව සාධාරණ අපේක්ෂාවක් ජනතාව තුළ පවතී.

හදිසි අවශ්‍යතාවය

කෙසේවෙතත්, මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ශ්‍රී ලංකාවේ දිගු බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසයේ තවත් එක් සිදුවීමක් පමණක් නොව, එය හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි විශේෂ කරුණු දෙකක් තිබේ. පළමුවැන්න නම්, මෙම සිදුවීම් සිදුවන තෙක් රට, විශාල සංවිධානාත්මක දේශපාලන හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයකින් තොරව දීර්ඝ කාලයක් පැවතීමයි. ශ්‍රී ලංකාව 2025 ගෝලීය සාම දර්ශකයේ (Global Peace Index) රටවල් 163ක් අතුරින් ස්ථාන තිහක් ඉදිරියට පැමිණ 67 වැනි ස්ථානයට පත්වීමත් සමඟ මෙම දියුණුව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්විය. මෙම දර්ශකය මඟින් රටවල් මනිනු ලබන්නේ පුළුල් දර්ශක තුනක් ඔස්සේය, එනම් සමාජීය සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව, පවතින දේශීය හා ජාත්‍යන්තර ගැටුම්වල ප්‍රමාණය සහ මිලිටරිකරණයේ මට්ටමයි. මෙම දියුණුව පිළිබිඹු කරන්නේ දේශපාලන කැලඹීම් සහ ආර්ථික බිඳවැටීම්වලින් රට යථාතත්ත්වයට පත්වීම වන අතර, ශ්‍රී ලංකාව වඩාත් සාමකාමී අනාගතයක් කරා ගමන් කරමින් සිටින බව එයින් ඇඟවෙයි.

දෙවැනි සුවිශේෂී ලක්ෂණය නම්, වත්මන් ආණ්ඩුවට, අතීතයේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැම් කොටස් සමඟ නිතර සම්බන්ධ වී තිබූ සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ලෝකය සමඟ කිසිදු සබඳතාවක් නොමැති වීමයි. මෙය ආණ්ඩුවට ඇති ලොකුම ශක්තියකි. ජනාධිපති අනුර කුමාර දිසානායක සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් විශුද්ධිකරණය සහ දේශපාලනය අතර ඇති සබඳතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කතාකර ඇති අතර, අපරාධ ජාලයන් සමඟ සබඳතා පවත්වන සාමාජිකයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දේශපාලන පක්ෂවලට අභියෝග කර ඇත. සංවිධානාත්මක අපරාධවලට මුහුණදීමට ඇති එම සූදානම, පෙර පැවති පාලනයන්ට නොතිබූ විශ්වසනීයත්වයක් වත්මන් ආණ්ඩුවට ලබාදෙයි. එහෙත් අවංකකම පමණක් ප්‍රමාණවත් නොවේ. අවංක චේතනාවන් පරිපාලනමය නිපුණතාවය සහ දේශපාලන කැමැත්ත සමඟ නොගැලපේ නම් පලක් නැත. ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කරන පාලනයක්, තමන්ට පෙර සිටි කණ්ඩායමට වඩා ඵලදායී ලෙස රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට සහ කළමනාකරණය කිරීමට තමන්ට හැකි බව ඔප්පු කර පෙන්විය යුතුය. මීගමුව ඛේදවාචකය පෙන්නුම් කරන්නේ මෙය තවමත් ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින බවයි.

ආණ්ඩුවේ විශාලතම සම්පත වන්නේ මහජනතාව ආණ්ඩුවේ අවංකභාවය කෙරෙහි තබා ඇති විශ්වාසයයි. පෙර පැවති බොහෝ ආණ්ඩු මෙන් නොව, සංවිධානාත්මක අපරාධ ආරක්ෂා කිරීම හෝ දූෂණයෙන් ලාභ ලැබීම පිළිබඳ චෝදනාවලින් මෙම ආණ්ඩුව බර වී නැත. එමඟින් අන් අයට විශ්වසනීය ලෙස කළ නොහැකි වූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වත්මන් ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබේ. එහෙත් තමන් අනෙක් අයට වඩා උසස් යැයි සිතමින් ඔවුන් තම ජයග්‍රහණ මත පමණක් සැහැල්ලුවෙන් නොසිටිය යුතුය. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය, මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්ප්‍රේරකයක් (ප්‍රධාන හේතුවක්) කරගත යුතුය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණය හුදකලාව නැරඹිය නොහැකිය. එය ක්‍රමය වෙනස් කිරීමට, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට සහ රජය අවංකභාවයෙන් මෙන්ම නිපුණතාවයෙන් යුතුව ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ඇති පුළුල් කැපවීමේ කොටසකි. වී ගොවීන්ට, ගව පාලකයන්ට, වතු ප්‍රජාවට, අතීත මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පීඩාවට පත්වූවන්ට සහ නව ඇරඹුමක් අපේක්ෂාවෙන් රජය දෙස බලා සිටි සියලුදෙනාටම පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ද මෙවැනිම හදිසි අවශ්‍යතාවයක් ලෙස සැලකිය යුතුය. ජාතික ජන බලවේගය පොරොන්දු වූ සහ රට දශක ගණනාවක් තිස්සේ බලා සිටි ව්‍යුහාත්මක වෙනස්කම් කල් දැමීම, වෙනත් කිසිදු ප්‍රමුඛතාවයක් මත සාධාරණීකරණය කළ නොහැකිය.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment