25 July, 2026

Blog

ආයෝජනයක්ද? නැතිනම් උගුලක්ද?

නිෂාදි තෙන්නකෝන්

ආචාර්ය නිෂාදි තෙන්නකෝන්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ පුත් බාලුගේ වගකීම් විරහිත හැසිරීමත්, ඩොක්ටර් පාල්ගේ බලපෑමත් සමඟ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙයි. බොහෝ තැන්පතුකරුවන් එකවර තම මුදල් ආපසු ඉල්ලා සිටින විට, එම ඉල්ලීම් සපුරාලීමට මාර්ගයියා අසමත් වන අතර, ඔහු ගොඩනඟාගත් මූල්‍ය අධිරාජ්‍ය ඉතා කෙටි කාලයක් තුළ කඩාවැටෙයි.

වාසනාවකට, මාර්ගයියා අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ නොව, ආර්. කේ. නාරායන්ගේ The Financial Expert නවකතාවේය. එහෙත් එම කතාව අපට ලබාදෙන පාඩම අදත් අපගේ සමාජයට ඉතා අදාළය. මූල්‍ය ආයතනයක ශක්තිය රඳා පවතින්නේ මුදල මත පමණක් නොව, ජනතාවගේ විශ්වාසය මතය. විශ්වාසය බිඳ වැටුණු විට, ඉතා විශාල මූල්‍ය අධිරාජ්‍යයක් පවා දින කිහිපයකින් කඩාවැටිය හැකිය.

ඔබේ මුදල් වල වගකීම කාගේද?

නීතිමය බලයක් නොමැතිව ජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගන්නා විවිධ ආයතන පිළිබඳ නැවතත් රට පුරා කතා බහ මතුවී ඇත.

වගා ආයෝජන සමාගම් හෝ ආයෝජන මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පතු භාර ගන්නා වෙනත් නීති විරෝධී ආයතන පීළිබඳව ජනතාව දැනුවත් කිරීම් මහ බැංකුව විසින් නිරතුරුව සිදු කරනු ලබයි. එහෙත්, ඉහළ සාක්ෂරතාවක් සහිත සමාජයක් ලෙස අප තවමත් නැවත නැවතත් එකම වරද සිදු කිරීම කනගාටුවට කරුණකි.

අපේ රටේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ඉතිහාසය දෙස බැලුවහොත්, දඬුවම් මුදලාලි, දැඩි දඬුවම් මුදලාලි, සක්විති රණසිංහ සහ Golden Key වැනි සිද්ධීන් නිසා තම ජීවිත කාලයක් පුරා උපයාගත් ඉතුරුම් අහිමි වූ දහස් සංඛ්‍යාත පවුල් අපට මතකය. ඇතැම් පුද්ගලයන් ඒ ආර්ථික හා මානසික පීඩනය දරාගත නොහැකිව සිය දිවි නසාගත් අවස්ථා ද තිබිණි.

අපේ රටේ නීතියට අනුව මහජනතාවගෙන් තැන්පත් ලෙසට මුදල් ලබා ගැනීමට මහ බැංකුවේ අවසරයක් අවශ්‍ය වේ. එවැනි අවසරයක් ලබා දෙනවිට ඒ ආයතනයේ ව්‍යපාර ක්‍රමවේදය, කළමනාකාරිත්වය , සහ සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාමට ඇති හැකියාව ගැන සලකා බැලෙයි. තැන්පතු ලබා ගැනීමට අවසර දුන් පසුව විශේෂයෙන්ම තැන්පතු කරුවන් තම මුදල් ඉල්ලා සිටියොත් නොපමාව ගෙවීමට හැකි වන පරිදි අනුමත මුදල් ප්‍රමාණ ආයතනයේ තබා ගත යුතු බවට නීති පනවනු ලබයි.

එහෙත් සරල සත්‍ය නම් නීතිමය බලයක් නැතිව මුදල් එකතු කරන පුද්ගලයන් හෝ ආයතන තැන්පතු කරුවන් ඉල්ලූ ඕනෑම විටක ගෙවීමට සූදානම්ව සිටිය යුතු බවට ඔවුන්ට බැඳීමක් නැත. තැන්පත් කරුවන් බොහෝ පිරිසක් මුදල් එකවර ඉල්ලා සිටිවිට ගෙවීම සඳහා ඒ ආයතන වලට මහ බැංකුවෙන් ණය ගැනීමටද නොහැක. එවන් තත්ත්වයක් තුළ සිදු වන්නේ ආයතනය වසා දමා අයිතිකරුවන් පලා යාමයි. ඉහත සඳහන් කල අතීත අවස්ථාවල සිදුවී ඇත්තේ එයයි.

එසේ තම මුදල් නීති විරෝධී ආයතන වල දමා ඒවා අහිමි වූ විට මහ බැංකුව හෝ වෙනත් රජයේ ආයතන වෙත පෙලපාලි යාමෙන් ඵලක් නැත. අයිති කරුවන් ආයතනය වසා පලා ගොස් නම් නීති විරෝධී ආයතන වල මුදල් තැන්පත් කළ ජනතාවට වන්දි ගෙවීමට මහ බැංකුවට බලයක් නැත. අයිති කරුවන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගේ දේපල ආදිය පවරගෙන වන්දි ලබා දීමට අධිකරණයට දිගු කාලයක් ගත වන අතර එය ප්‍රායෝගිකව ඉතා දුෂ්කර වේ.

නීති විරෝධී ආයතන වල මුදල් තැන්පත් නොකරන්නැයි ඔබට පුන පුනා කියා තිබියදී ඒ අනතුරු ඇඟවීම් නොතකා අධික තණ්හාවට මුදල් දමා ඒවා අහිමි වූ විට කෙතරම් පොල් ගැසුවත් ජනතා බදු මුදලින් ඔබට වන්දි දීම කළ නොහැකි අතර එය සාධාරණ ද නොවේ.

නීත්‍යානුකූල මූල්‍ය ආයතන ලැයිස්තුව පහසුවෙන් ලබාගත හැක

මහ බැංකුව විසින් නීත්‍යානුකූලව තැන්පතු භාර ගැනීමට අවසර ලැබූ බැංකු සහ මූල්‍ය ආයතන පැහැදිලිව දක්වා ඇත. එහෙත් තවමත් බොහෝ දෙනා අසන්නේ, “නීතිවිරෝධී ආයතන ලැයිස්තුවත් කියන්න.” යනුවෙනි.

එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි.

අද එක නමකින් ක්‍රියා කරන ආයතනයක් හෙට වෙනත් නමකින් පෙනී සිටිය හැකිය. නව සමාගම් බිහි විය හැකිය. ව්‍යාපාර ආකෘති වෙනස් විය හැකිය. ඒ නිසා නීති විරෝධී ආයතනවල සර්ව සම්පූර්ණ ලැයිස්තුවක් දිය නොහැකිය.

ඒ නිසා අප ඇසිය යුතු ප්‍රශ්නය වෙනස් විය යුතුය.

මේ ආයතනයට මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකූල බලපත්‍රයක් තිබේද?

ඒ ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට ඉතා පහසුය. මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇති තැන්පතු භාර ගැනීමට නීතිමය බලය ඇති ලැයිස්තුව ඔබට පහසුවෙන් බලා ගත හැකිය. ඔබෙන් තැන්පතු ලබා ගන්නා ආයතනය ඒ ලැයිස්තුව තුල ඇති දැයි බැලීමට ඔබ දැරිය යුත්තේ සුළු උත්සාහයකි. නමුත් එම උත්සාහය විසින් ඔබ ජීවිත කාලයක් පුරා රැස් කළ ඉතුරුම් ආරක්ෂා කර දෙනු ඇත. මුදල් තැන්පත් රැස් කිරීමට නීතිමය අවසර ඇති ආයතන ලැයිස්තුව පැහැදිලිව තිබියදී නීති විරෝධී ආයතන ලැයිස්තු ඉල්ලා ඔබ තැවෙන්නේ මන්දැයි නොතේරේ.

මෑතකදී ඇතැම් වැවිලි ආයෝජන පිළිබඳවද විශාල කතාබහක් ඇති විය. මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් ඇත.

වැවිලි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම නීතිවිරෝධී නොවේ.

නමුත්, එම ව්‍යාපාරය “ආයෝජනයක්” යන නාමයෙන් මහජනතාවගෙන් මුදල් ලබාගෙන, මුල් මුදල ආපසු ලබාදෙන බවටත්, නියමිත හෝ සහතික කළ ප්‍රතිලාභයක් ගෙවන බවටත් පොරොන්දු වන්නේ නම්, එම ගනුදෙනුවේ සැබෑ ස්වභාවය පිළිබඳව නීතිමය ප්‍රශ්න මතු විය හැකිය. එය ආයෝජන මුවාවෙන් කරන තැන්පතු එකතු කිරීමක් විය හැකිය.

ගනුදෙනුවකට දී ඇති නම නොව, වැදගත් වන්නේ අදාළ ව්‍යපාරයේ සැබෑ ස්වභාවයයි. ඉතා සාර්ථක ව්‍යපාර සැලසුම් ඇති වගා සමාගමකට ජනතාවගෙන් කුඩා කුඩා මුදල් ප්‍රමාණ ලබා ගැනීමට අවශ්‍ය නොවේ. නීත්‍යනුකූල මූල්‍ය ආයතන බිහි වී ඇත්තේ එවන් සාර්ථක ව්‍යපාර වලට ණය දීමටයි. එසේ බැංකුවකින් ණය ලබා නොගෙන ඔබේ මුදල වගා ව්‍යාපාරයට ඉල්ලන්නේ ඇයි කියා ඔබ සිතුවාද?

ඔබේ මුදලත් ඒ ආයතනයට ලබා දෙන ණයක්ය. අපි කාට හෝ ණයක් දෙනවිට ඒ පුද්ගලයාට අපේ ණය ආපසු ගෙවිය හැකිදැයි සලකා බලන්නෙමු. ඔබ විසින් මුදල් යොදවන මේ වගා සමාගම් වල ව්‍යාපාර සැලැස්ම, ගිණුම් වාර්තා, කළමනාකරුවන්ගේ සුදුසුකම් ආදිය සොයා බැලීමට ඔබට හැකිද? ඒ ආයතන විසින් ඒ තොරතුරු ඔබට ලබා දෙනවාද ? ලබා නොදුනහොත් ඊට එරෙහිව ඔබට කුමක් කළ හැකිද? මේ සරල කරුණු ඔබ අනිවාර්යයෙන් සලකා බැලිය යුතුය.

නීත්‍යානුකූල බැංකු හා මුදල් සමාගම් වලට වඩා පොලිය ගෙවන ආයතනයක් වේ නම් ඒ සඳහ අධික ලාභ ලබන ආයතනයක් විය යුතුය. ඵ් පිළිබඳව සොයා බැලීමට ඔබට හැකියාවක් තිබේද?

ගිණුම් වාර්තා කියවීමට ඔබට නොහැකි වුනත් අතීතයේදී විවිධාකාර නීති විරෝධී ආයතනවල මුදල් තැන්පත් කර ඒ මුදල් අහිමි වි දැඩි ලෙස අසරණ වු පුද්ගලයන්ගේ කතා ඔබට වටහා ගත හැකිය. මහ බැංකුවට හෝ වෙනත් ආයතනවලට බැන වැදීමට ගත කරන කාලය ඒ ආයතන විසින් ඔබට කරන අනතුරු ඇඟවීම වටහා ගැනීමට වැය කිරීම වැදගත්ය. ඒ ආයතන විසින් දැනුවත් කිරීම් කරනුයේ ඔබ වැනි ජනතාව අතීතයේදී මුහුණ දුන් දුක්බර ඉරණමින් ඔබව මුදා ගැනීමටයි.

ඇයි අපි තවමත් මෙවැනි යෝජනා ක්‍රමවලට මුදල් යොදවන්නේ?

එයට හේතුව නොදැනුවත්කම පමණක් නොවේ.

අපි බොහෝ විට විශ්වාස කරන්නේ අප දන්නා කෙනෙකුගේ නිර්දේශයයි. “මමත් දාලා ලාභ ලැබුවා” කියන වචනය, නීතිමය අනතුරු ඇඟවීමකට වඩා ප්‍රබල වෙයි. සමහරුන්ට “අනෙක් අය ලාභ ලබනවා, මම විතරක් පසුබැසිය යුතුද?” යන සිතුවිල්ල ඇති වෙයි. තවත් සමහරුන් සිතන්නේ, මෙතරම් ප්‍රසිද්ධියේ ක්‍රියා කරන ආයතනයක් නම්, එය නීත්‍යානුකූල විය යුතු බවයි. මෙය මිනිස් ස්වභාවයයි.

නමුත් මූල්‍ය තීරණ ගැනීමේදී, අන් අය අනුගමනය කරනවාට වඩා නීතිය සහ තොරතුරු අනුගමනය කිරීම ආරක්ෂිතය.

ඉතිහාසය අපට නැවත නැවතත් උගන්වන්නේ එකම පාඩමයි.

වැඩි ප්‍රතිලාභයක් පොරොන්දු වන තැන, වැඩි අවදානමක් තිබිය හැකිය.

මුදල් ආයෝජනය කිරීමට පෙර ඔබ මෙම සරල ප්‍රශ්න කිහිපය සිතා බලන්න.

* මේ ආයතනයට නීත්‍යානුකූල බලපත්‍රයක් තිබේද?

* මගේ මුදලෙන් ඔවුන් ලාභ උපයන්නේ කෙසේද?

* සාමාන්‍ය මූල්‍ය වෙළඳපොළට වඩා ඉහළ සහ “සහතික” ප්‍රතිලාභයක් ලබා දීමට ඔවුන්ට හැක්කේ කෙසේද?

* මට මේ මුදල අහිමි වුවහොත්, ඒ පාඩුව දරාගැනීමට මට හැකිද?

* මට වන්දි මුදලක් ලැබෙනවාද?

මෙවැනි ප්‍රශ්න කිහිපයක් ඇසීමට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. නමුත් ඒ මිනිත්තු කිහිපය විසින් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ඔබ උපයාගත් මුදල ආරක්ෂා කර දෙනු ඇත.

ඔබේ මුදල් වල පළමු ආරක්ෂකයා ඔබමය.

මූල්‍ය නිදහස ලැබෙනුයේ ඉහළ ප්‍රතිලාභයක් සෙවීමෙන් නොව, දැනුවත් සහ නිවැරදි මූල්‍ය තීරණ ගැනීමෙනි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment