26 September, 2026

Blog

“තරුණ නැගිටීමට” වෙනත් ආඛ්‍යානයක්

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

තරුණ නැගිටීම් (Youthquake) – ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවල මෑතක  මතුවූ තත්වයන් පිළිබඳව ඩිජිටල් ලෙස සම්බන්ධ වූ පුරවැසියන් සහ සම්ප්‍රදායික මාධ්‍ය  තත්ත්වයන් ආශ්‍රයෙන්  ජනමාධ්‍යවේදීන්ගේ ආඛ්යානයක් ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු පොත මම කියැවීමි. පොත ලියා ඇත්තේ රංග කලන්සුරිය සමඟ ඉන්දුනීසියාවේ ඊවා දනයන්ති, ශ්‍රී ලංකාවේ මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, බංග්ලාදේශයේ නාසියා අෆ්රින් මොනාමි, නේපාලයේ සෝනියා අවාලේ සහ මියන්මාරයේ නව් බෙටි හන් විසිනි. පොත එළිදැක්වීමේ උත්සවයේදී සෝනියා අවාලේ සමඟ කතාබස් කර ඇගේ සහ රංග කලන්සූරියගේ අත්සන මගේ පොතේ පිටපතට ලබා ගැනීමට මට අවස්ථාවක් ලැබුණි.

මෙය එම පොත පිළිබඳ විචාරයක් නොවේ, මන්ද යත් ඊට අවශ්‍ය තරම් සුදුසුකම් මට නොමැති බැවිනි. නමුත් එම පොත කියවීමෙන් පසු මා තුළ ඇති වූ අදහස් මම සටහන් කළෙමි.

එම පොතෙහි මෙසේ සඳහන් විය: “තවද, මෙම කෘතියේ අරමුණ වන්නේ එම තරුණ නැගිටීම්වලට හේතු වූ කරුණු විශ්ලේෂණය කිරීම හෝ එම මහජන විරෝධතා හා බැඳුණු දේශපාලනමය පැතිකඩයන් ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින් විමසා බැලීම නොවේ. එම කාර්යය දේශපාලන හා සමාජ විද්‍යාඥයින්ට භාර කළ යුත්තකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ලෙස අපගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි.” එබැවින්, අදාළ රටවල සිදුවූ තරුණ නැගිටීම් මෙම ලේඛනයට පසුබිම් වුවද, එම නැගිටීම් කෙරෙහි ‘පස්වන බලවේගය‘ (Fifth Estate) මගින් එල්ල වූ බලපෑම කෙරෙහි මෙම කෘතියේ අවධානය යොමු කර තිබුණි.

ප්‍රංශ විප්ලවයට පෙර, ප්‍රංශ සමාජය පරම්පරාගත සමාජ පන්ති තුනකට දැඩි ලෙස බෙදී තිබුණි. එනම්, රෝමානු කතෝලික සභාව නියෝජනය කළ ‘පළමු වැනි පන්තිය‘ (First Estate), ඉහළ රාජ්‍ය, අධිකරණ සහ හමුදා තනතුරු දැරූ ප්‍රභූවරුන්ගෙන් සමන්විත ‘දෙවැනි පන්තිය‘ (Second Estate) සහ ධනවත් වෙළඳුන් , නාගරික කම්කරුවන් හා දිළිඳු ග්‍රාමීය ගොවීන් ඇතුළුව සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් 90% සිට 96% දක්වා ප්‍රමාණයක් නියෝජනය කළ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත ‘තුන්වැනි පන්තිය‘ (Third Estate) යි. 18 වන සියවසේදී පුවත්පත් මාධ්‍යය ‘සිව්වැනි පන්තිය ‘ (Fourth Estate) ලෙස හඳුනා ගැනුණි. 1960 දශකයේදී විකල්ප හෝ රහසිගත මාධ්‍ය  ‘පස්වැනි පන්තිය ‘ (Fifth Estate) ලෙස හඳුනාගත් අතර, පසුව මෙම සංකල්පය අන්තර් ජාලය  පදනම් කරගත් මාධ්‍ය, බ්ලොග්කරුවන් සහ පුරවැසි ජාලයන් දක්වා පුළුල් විය.

මා ඇතුළු මෙහි සඳහන් සමහර ලේඛකයින්ගේ නම්වල මූලයන් සංස්කෘත භාෂාව හා බැඳී පවතී. ලෝකයේ මෙම කලාපයට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබුවේ බාහිර බලපෑමක් මගිනි.  එක්සත් රාජධානියේ හෝ ප්‍රංශයේ ජනතාව මෙන් අප ඒ වෙනුවෙන් සටන් කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ රටවල ප්‍රධාන ලක්ෂණය වන්නේ පුද්ගල කේන්ද්‍රීයත්වය වුවද, අපගේ සංස්කෘතිය බොහෝ දුරට සාමූහිකත්වය මත පදනම් වූවකි. සාරාංශයක් ලෙස ගත් කල, ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් බහුතරයේ පාලනය පමණක්ම නොවේ; එය සුළුතරයේ මූලික අයිතිවාසිකම්වලට හානියක් නොවන පරිදි බහුතරය විසින් පාලනය ගෙන යාමයි. සාමූහිකත්වය මුල් කරගත් සමාජයන් තුළ මෙම දෙවන කරුණ පහසුවෙන් පිළිගැනීමට හෝ අවබෝධ කර ගැනීමට නොහැකි වී තිබේ. අප මුහුණ දෙන බොහෝ ගැටලුවලට මූලික හේතුව මෙයයි.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල වීදි විරෝධතා මගින් ආණ්ඩු පෙරළා නොදමනු ලබන්නේ ඒ නිසාය. එහෙත් එහිදී ද වීදි විරෝධතා පැවැත්වේ. මීට කලකට පෙර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තම ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වීදි විරෝධතාකරුවන් සමඟ වාද විවාදවල නිරත වෙමින් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීය. ප්‍රංශ විප්ලවය තුළින් පරිණාමය වූ ප්‍රජාතන්ත්‍රවාදය එය වන අතර, අප තවමත් සිටින්නේ එම මට්ටමේමය.

මීට වසර 2600කට පෙර මෙම කලාපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පැවතුණි. ලිච්ඡවී ජනරජය පිහිටා තිබුණේ බංග්ලාදේශයට සහ නේපාලයට ආසන්නව, වත්මන්  ඉන්දියාවේ පැට්නා ප්‍රදේශයේය. ලිච්ඡවී ජනරජයේ පදනම ගොඩනැගී තිබුණේ සාමූහික පාලනය, සාමූහික තීරණ ගැනීම සහ ෆෙඩරල් ක්‍රමයේ සංගමයක් ලෙස ක්‍රියා කිරීම යන කරුණු මතය. මෙය ප්‍රභූ පැලැන්තියේ සහභාගීත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් විය. බුදු දහමේ ථෙරවාදී සම්ප්‍රදායට අයත් මහා පරිනිබ්බාණ සූත්‍රයට අනුව, ලිච්ඡවීන්ගේ පරිහානිය වැළැක්වීමට  විසින් අනුගමනය කරන  මූල ධර් ම හතක් බුදුහු  පෙන්වා දුන්හ.  ඉන් පළමු කරුණු දෙක වූයේ (i) නිතර හා නිතිපතා රැස්වීම සහ (ii) එකමුතුකමින් හා සමගියෙන් රැස්වීම, කටයුතු කිරීම සහ විසිර යාමයි.

මෙම කරුණු දෙකෙන් අවධාරණය වූයේ එකමුතුකමෙන් හා සමගියෙන් නිතර නිතර රැස්වීම් පැවැත්වීමයි. බොහෝ විට ඒවා  ඒකමතික තීරණ වන්නට ඇත. එහි ප්‍රධාන අංගය වුයේ  සම්මුතිය යි.  මෙය ද ප්‍රජාතන්ත්‍රවාදය වන අතර එය සාමූහික සංස්කෘතියකට වඩාත් සුදුසු ය.

බටහිර සම්භවයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සාමූහිකත්වය මුල් කරගත් පෙරදිග රටවල ක්‍රියාත්මක කිරීමේදී සිදුවන්නේ මෙයයි: එනම්, ආණ්ඩු බලවත් වන විට ඒකාධිපති පාලන තත්ත්වයන්ද, ආණ්ඩු දුබල  වන විට අරාජික තත්ත්වයන්ද උද්ගත වීමයි. අප කලාපයේ මෑතකාලීන මෙන්ම ඊට පෙර ඉතිහාසය තුළද – විශේෂයෙන්ම බංග්ලාදේශය ආශ්‍රිතව – මෙම තත්ත්වය නිරීක්ෂණය කළ හැකිය.

ඊට හේතුව වන්නේ, බහුතරයේ පාලනයට යටත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සුළුතර කණ්ඩායම්වල මූලික අයිතිවාසිකම් (ඒවා දේශපාලන, වාර් ගික, ආගමික හෝ වෙනත් ඕනෑම ආකාරයක ඒවා වුවද) පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීමයි. සුළුතරය තමන් අයත් ‘කණ්ඩායමට‘ අයත් නොවන පිරිසක් ලෙස සලකන බහුතරය, ඔවුන් කෙරෙහි සතුරු ආකල්ප දැරීම වරදක් නොවන බව විශ්වාස කරති. ජපානය ද සාමූහිකත්වය අගයන රටක් වුවද, එහිදී ‘තමන්ගේ කණ්ඩායම‘  ලෙස සැලකෙන්නේ සමස්ත ජාතියමයි.

මානව ඉතිහාසය තුළ තොරතුරු ක්ෂේත්‍රයේ විවිධ දියුණුවීම් සිදුවී ඇති අතර, සිව්වන බලවේගය හෙවත් සිව්වන පන්තිය  (Fourth Estate) යනු ඉන් එක් වැදගත් දියුණුවකි. තරුණ පරපුර සියවස් ගණනාවක් පුරා පැවතියද, මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ තරුණ පරපුර සහ තාක්ෂණය අතර ඇති සම්බන්ධතාවයි. මෙවැනි තත්ත්වයක් මීට පෙරද දක්නට ලැබුණි; එනම්, තාක්ෂණය භාවිත කරමින් ‘අරාබි වසන්තය‘ මෙහෙයවනු ලැබුවේ ‘මිලේනියල්‘ හෙවත් සහස්‍ර පරපුරේ තරුණ තරුණියන් විසිනි.

‘අරාබි වසන්තය‘  හේතුවෙන් බලපෑමට ලක්වූ පළමු රට ටියුනීසියාවයි. එහිදී ඒකාධිපති නායකයෙකු බලයෙන් පහ කෙරුණු අතර, රට තුළ අස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් පැවතුණි; නමුත් වර්තමානයේ එම රට නැවතත් ඒකාධිපති නායකයෙකුගේ පාලනයට නතුවී ඇත. ඊජිප්තුවේදී ද නායකයා බලයෙන් පහ කෙරුණු අතර ‘මුස්ලිම් සහෝදරත්වය‘ බලයට පත්විය. ඉන් අනතුරුව සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් පසු ඒකාධිපති නායකයෙකු බලයට පත්විය. ලිබියාවේදී ඒකාධිපති නායකයා බලයෙන් පහ කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අසමත් බිහිවිය. යේමනයේදී ද ඒකාධිපති නායකයා බලයෙන් පහ කෙරුණු අතර, කලාපීය බලවතුන්ගේ මැදිහත්වීම ද සහිතව අද දක්වාම පවතින සිවිල් යුද්ධයක් එහි ක්‍රියාත්මක වෙමින් පවතී.

දිගු කාලීන ඒකාධිපති පාලන හේතුවෙන්, මෙම රටවල ශක්තිමත් ආයතන, විකල්ප නායකයින් හෝ ශක්තිමත් සිවිල් සමාජයන් නොතිබුණි.

ප්‍රකට විද්වතකු වූ  ජීනි ෂාප් විසින් රචිත පොතක් ‘ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට – විමුක්තිය සඳහා සංකල්පීය රාමුවක්’ යන මැයෙන්  මම  සිංහලට පරිවර්තනය කර ඇත්තෙමි. පොතේ දහවන පරිච්ඡේදයේ ෂාප් කල් පවතින ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පදනම විස්තර කළේය. ඒකාධිපතිත්වයක් පෙරලා දැමීමෙන් පමණක් කල් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ නොහැකි බව ඔහු පැහැදිලි කළේය.

මියන්මාරය ෂාප්ගේ පොතට ගැලපෙන සමීපතම ආකෘතියයි. දේශපාලන විරෝධතා දැක්වීම සඳහා ෂාප් ක්‍රම 198 ක් හඳුනා ගත් නමුත් මියන්මාරය දැන් එම යුගය පසු කර ඇති අතර රට සිවිල් යුද්ධයක නිරතව සිටී. වසර පහකට පෙර මා  මියන්මාරය ගැන ලිපියක් ලියා ඇත (https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-22-april-2021/) එහිදී මම මෙසේ කියා ඇත්තෙමි.  “ලෝකය මියන්මාර ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව පිළිගැනීම දිශාවට ගමන් කළ යුතුය. ” එමෙන්ම චීනය සහ රුසියාව හමුදා රෙජිමයට ආධාර කරන බවද මා කියා ඇත.

“බමාර් තරුණයින් දැන් පොදු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් සඳහා විවිධ වාර් ගික  සහෝදරවරුන් සමඟ එකතුවී ලේ හැලෙන සටන් වල නියුතු වන විට, මෙම ෆෙඩරල්වාදී සහජීවනය හමුදාවේ සියවසක් පැරණි බෙදීම් සහ පාලනය කිරීමේ උපාය මාර් ගය  බිඳ දමා ඇත” යනුවෙන් නව් බෙටි හන් පොතේ ඇගේ පරිච්ඡේදයේ සඳහන් කිරීම ගැන මම සතුටු වෙමි.

“සියල්ලන් ඇතුළත් කර ගැනීමේ ස්වභාවය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ වාර්ගික යුක්තිය යන අගයන්ට ප්‍රමුඛත්වය ලබා දීම මගින්, පෙර පරම්පරාවලට ළඟා කර ගැනීමට අපහසු වූ ජාතික සමගිය පිළිබඳ හැඟීමක් ‘Gen Z’ (වර් තමාන  තරුණ පරම්පරාව) විසින් ගොඩනංවා ඇත.”

මගේ ලිපියේ පැහැදිලි කර ඇති පරිදි ඇත්ත වශයෙන්ම  පෙර පරම්පරාවන් ජාතික සමගිය ප්‍රතික්ෂේප කළ අතර එම තත්ත්වය ගැටලුවේ මූලික හේතුව විය.

2015 බල හුවමාරුව ගැන සඳහන් කරමින් ඇය මෙසේ කියා ඇත.  “ප්‍රමුඛ පෙළේ නායකයින් සම්මුතිවාදී චක්‍රයක සිරවී, විප්ලවය වෙනුවෙන් සිදු කළ කැපකිරීම් පවා අමතක කර දැමූ බවක් පෙනෙන්නට තිබුණි.”

මුළු ලෝකයේම සහාය ඔවුන්ට හිමිව තිබූ එම අවස්ථාවේදී හමුදාව සමඟ බලය බෙදාගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කළේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණිදැයි මම නොදනිමි. මම මෙහිදී “ඔවුන්” යන වචනය භාවිතා කළේ, සු කී (Suu Kyi) ට දොස් පැවරීමට තරම් මා නිර් භීත  නොවන බැවිනි. එසේ නිර් භීත නොවන්නේ ඇය කෙරෙහි ඇති දැඩි ගෞරවය නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ.

ශ්‍රී ලංකාවේ පැවති ‘අරගලය‘ අතරතුර, අගමැතිනි ෂීක් හසීනා දැරූ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විරෝධතාකරුවන්ට එරෙහිව කිසිදු බලයක් භාවිතා නොකළේය. මුලින් එය සාමකාමී විරෝධතාවක් විය. මම එම අරගලයේදී අදහස් දැක්වීමක් ද සිදු කළෙමි.  (https://www.youtube.com/watch?v=5lPdA_tFNM0)

මා පැවසූයේ ශ්‍රී ලංකාව මීට පෙර අත්විඳි සන්නද්ධ අරගලවලට හාත්පසින්ම වෙනස්ව  ‘අරගලය‘ සාමකාමී එකක් බවයි.  මෙම අරගලවලට මූලික වූ තරුණ පරපුරේ ගැටලු සහ දුක්ගැනවිලිවලට ඉන්පසු බලයට පත් රජයන් විසින් නිසි විසඳුම් ලබා නොදුන් බැවින්, තවත් සන්නද්ධ අරගලයක් ඇති වේදැයි මම බියෙන් යුතුව බලා සිටි බව මම කීවෙමි. එබැවින්, ඒ අවස්ථාවේ සිදුවෙමින් පැවති දේ පිළිගත හැකි තත්ත්වයක් විය. අප අනුගමනය කළේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයක් බැවින්, ජනාධිපතිවරයාට ඉන් ඉවත්ව යාම සඳහා මාවතක් ලබා දිය යුතුව තිබුණි. තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ මාවත  පමණි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැර කණ්ඩායම් ‘අරගලය‘ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තත්ත්වය ප්‍රචණ්ඩකාරී වූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් අගතියට පත් පාර් ශ්වයන්  ගත් ක්‍රියාමාර් ග  හේතුවෙන් ජීවිත හානි කිහිපයක් මෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ නිවාසවලට දැඩි හානි සිදුවිය. එවිට මම එම අරගලයෙන් ඉවත් වීමි. එක් අවස්ථාවකදී ජනාධිපති ලේකම් කාර් යාලය  සහ ජනාධිපතිවරයාගේ නිල නිවසට අමතරව, පාර් ලිමේන්තුව ද  වටලෑමකට ලක්වීමේ අවදානමක පැවතුණි. පසුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බල හුවමාරුවක් සිදුවිය.

නේපාලයේ සහ බංග්ලාදේශයේ තත්ත්වය මීට වඩා වෙනස් විය. එහි අන්තර්කාලීන රජයන් පත් කෙරුණු අතර, පසුව එම රටවල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ධාරාවට පිවිසෙන ලදී.

අතීතයේ පැවති ප්‍රවණතා හේතුවෙන්, මෙම රටවල් දෙකෙහි – විශේෂයෙන්ම බංග්ලාදේශයේ – හමුදාව බලය අත්පත් කර ගනී දැයි මම කනස්සල්ලට පත්ව සිටියෙමි. “හමුදාව බලය අත්පත් කරගැනීමක් සහ රජු නැවත බලයට පැමිණීමක් පිළිබඳ කටකතා පැවතුණි” යනුවෙන් සෝනියා අවාලේ  ඇයගේ පරිච්ඡේදයේ සඳහන් කර තිබුණි. වාසනාවකට මෙන්, එවැනි දෙයක් සිදු නොවීය.

ඒ මන්ද? ‘අරාබි වසන්තය‘ අත්විඳි රටවල මෙන් නොව, අප කලාපය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙමින් පවතින බැවිනි.  තරුණ අරගල ද ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වූ අතර, මේ කලාපයේ  මනා ලෙස ස්ථාපිත ආයතන පද්ධතියක් ද පවතී. ඉන්දුනීසියාව කිසිවිටෙකත්  සුහර් තෝ  යුගය වෙත ආපසු නොයනු ඇත.

කෙසේ වෙතත්, සමෘද්ධියක් නොමැති නම් සහ දරිද්‍රතාවය තුරන් නොකළහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තිරසාර නොවනු ඇත. ඒ සඳහා අදාළ රජයන් විසින් සුදුසු  ආර් ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය. ශ්‍රී ලංකාවේ මෙන් හුදෙක් ‘සොරකම් කළවුන් අල්ලා ගැනීමේ‘ අදහස මත පමණක් යැපීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

‘Youthquake’ (යූත්ක්වේක්) නම් මෙම කෘතිය කියවීම සිත්ගන්නාසුලු අත්දැකීමක් වූ අතර, මෙය කියවන ලෙස මම නිර් දේශ කරමි. මා සතුව ඇති පිටපත පුරාම විවිධ තැන්වල ඉරි ඇඳීම් සහ සටහන් තබා ඇත.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment