17 October, 2021

Blog

මියන්මාරය සහ ශ්‍රී ලංකාව – අත්තනෝමතික බල කේන්ද්‍රණය

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව සහ බුරුමය හෙවත් මියන්මාරය ශත වර්ෂ ගණනාවක සිට මිත්‍ර රාජ්‍යයෝ වෙති. අශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේදී  මිහිඳු හිමියන් ලංකාවට එවන විට දැනට මියන්මාරය වන ස්වර්ණභුමිය ටද භික්ෂූන් යැවූ බව සඳහන් වේ. මියන්මාරයේ අනවරත (ක්‍රි 1014-1078) රජු ගේ යුගයේදී ලංකාවේ භික්ෂූන් එහි බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කළහ. ඉන් පසුව දෙරට අතර බුදු දහම මතු නොව වෙළෙඳාම සම්බන්ධයෙන් බොහෝ සම්බන්ධතා තිබුණි. නැතිවූ උපසම්පදාව 16 වන සියවසේ පළමුවන විමලධර්මසුරිය රජු ගේ කාලයේදී අපට මියන්මාරයෙන් ලැබුන අතර පසුව නැවතත්  19 වන සියවසේ දී අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ මියන්මාරයේ අනුග්‍රහයෙනි. මෑත කාලයේදී ලංකාවේ ප්‍රචලිත වූ ථෙරවාදී විපස්සනා භාවනා ක්‍රම වලින් බොහොමයක් අප වෙත ලැබුනේ මියන්මාර ගුරු සම්ප්‍රදායයන් ගෙනි. මහාසී සයාඩෝ සහ එස්. එන්. ගොයෙන්කා ගේ ගුරුවරයා වූ බා කින් එයින් ප්‍රධානය.

මේ දිනවල මියන්මාරය ජාත්‍යන්තර පුවත් සිරස්තල වල තිබේ. මෙම වසරේ පෙබරවාරි පළමුවන දා එරට බලය හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී. ජනතාව විරෝධතා දක්වන අතර හමුදාව ඔවුන්ට වෙඩි තබති. දිනෙන් දින මරණ සංඛ්‍යාව ඉහල යයි. එරට ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව මගින් පිහිටුවන ලද  විකල්ප ආණ්ඩුවේ වැඩබලන ප්‍රධානි  මාන් වින් කයින් තාන් හමුදා ආණ්ඩුව පෙරලා දැමීම සඳහාවිප්ලවයක්කරන බව කියා සිටියේය. බලයෙන් පහ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානයේ නායකයන් බොහෝ දෙනෙක් සමඟ ඔහු සැඟවී සිටියි. ඔහු ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ෆේස් බුක් හරහා .

මියන්මාර හමුදාව අනුකම්පා විරහිත විශ්වාස කළ නොහැකි දේශපාලන බල අධිකාරියක් ලෙස පිළිගත නොහැකි කණ්ඩායමකි. ඔවුන් පිළිගත හැක්කේ පසුගියදා එරට හමුදා ජුන්ටාවේ ඊනියා විදේශ ඇමති වරයාට කොළඹ පැවැත්වීමට නියමිත බෙංගාල බොක්ක අවට රටවල තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන සමුළුවට ආරාධනා කළ දිනේෂ් ගුණවර්ධන වැන්නවුන්ට පමණි. හමුදාව විසින් ස්ථාපනය කරනලද මියන්මාර 2008 ව්‍යවස්ථාවේ හතර වන වගන්තිය අනුව රාජ්‍යයේ ස්වෛරීත්වය උත්පාදනය වන්නේ ජනතාව වෙතිනි. එරට සිදුවන දේ අනුව හමුදා ජුන්ටාව කිසිසේත්ම ජනතා අභිලාෂයන් නියෝජනය නොකරයි. මියන්මාරය  හමුදාවට පාලන උරුමය සහිත රාජධානියක් නොවේ. එබැවින් මෙම ආරාධනය ප්‍රශ්ණකාරීය.

වර්ෂ 1962 ජුලි මස රැන්ගුන් විශ්ව විද්‍යාලයේ අරගල තිබුන අතර ඒවා මැඩපැවැත්වීමට හමුදාව යවන ලදී. හමුදා ආඥාදායකයා වූ නේ වින් මෙසේ කීය.” මෙම අරගල අපට අභියෝග කරනු සඳහා ඇති කරන ලද්දේ නම් කඩුවට කඩුවෙන් හෙල්ලට හෙල්ලෙන් මුහුණ දීමට අප සූදානම් බව ප්‍රකාශ කරමි.” හමුදාව විරෝධතා කරුවන්ට වෙඩි තැබූ අතර ශිෂ්‍ය සංගම් මුලස්ථානය පුපුරුවා හරින ලදී. වර්ෂ 1988. 8.8 අරගල ආරම්භ වූ විට එම නේ වින් මෙසේ කීය. “හමුදාව කැඳවීමට සිදුවී තිබෙන අතර හමුදාව වෙඩි තබන විට අහසට වෙඩි තැබීමේ සම්ප්‍රදායක් නොමැති බවද ඔවුන් කෙලින්ම ඉලක්කයට වෙඩි තබන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.” අවසානයේදී මරණ සංඛ්‍යාව 3000ක් පමණ වූ බව වාර්තා විය.

මියන්මාරය

මියන්මාරයේ ප්‍රධාන වාර්ගික කණ්ඩායම බමර් ජාතිකයෝ (68%)වෙති. අනෙක් අය නම් ශාන්  (9%), කරින් (7%), රඛින් (1.7%), චීන (2.5%), මොන් (2%), කචින් (1.5%), ඉන්දියානු (1.25%), කායා (1.83%),චින් සහ තවන් කණ්ඩායම් රාජ්‍යය විසින් වාර්ගික කණ්ඩායම් 135ක් පිළිගනු ලැබ ඇත. මියන්මාරය තුළ බංග්ලා දේශයට මායිම් වූ උතුරු රඛින් දේශයේ වෙසෙන රොහින්ග්යා ජන කොටසට පිළිගැනීමක් නැත. ඔවුන් බංග්ලා දේශයෙන් පැමිණි සරණාගතයන් ලෙස සලකනු ලැබේ. බෞද්ධයන් 88% ක් වන අතර ක්‍රිස්තියානිහු   6% ක්ද ඉස්ලාම් ලබ්ධිකයෝ  4%ක් වෙති.

නිදහසට පෙර භාරකාර ආණ්ඩුවේ නායකයා වූ අවුන්ග් සාන් විසින් 1947 පෙබරවාරි මස වාර්ගික කණ්ඩායම් වල නායකයන් සමග ඉක්මනින් නිදහස ලබාගැනීමේ අභිප්‍රායයෙන් යුතුව අත්සන් කරන ලද පෑන්ග්ලෝන්ග් සම්මුතිය මගින් දේශසීමා ප්‍රදේශ වල පිහිටි ඉතිහාසයේ කිසි කලෙකත්  බමර් ජාතිකයන්ට යටත් වී නොසිටි වාර්ගික කොටස් වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ප්‍රතිපත්තිමය වශයෙන් පොරොන්දු විය.  අවුන්ග් සාන් 1947 ජූලි මස ඝාතනය කරන ලද අතර එම ප්‍රදේශ වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ලබා දීමට එකඟ නොවූ බමර් ජාතිකයන් බහුතරයක ගෙන් සමන්විත ආණ්ඩු විසින් පන්ග්ලෝන්ග් සම්මුතිය ක්‍රියාත්මක නොකරන ලදී. ප්‍රතිඵලය වශයෙන් වාර්ගික ගැටුම් ආරම්භ විය.

නිදහසෙන් පසුව මියන්මාරයේ ප්‍රථම අගමැති වූ නූ ගේ සමයේදී කොමියුනිස්ට් කැරැල්ලක් මර්දනය කරන ලදී. බලයේ සිටි පැසිස්ට් විරෝධී ජනතා නිදහස් සන්ධානයේ බෙදීමක් ඇතිවී විශ්වාස භංග යෝජනාව කින් නූ බේරුනේ යන්තමිනි. වාර්ගික අරගල වල නැගීමත් සමග ඔහු 1958 දී තාවකාලිකව ආණ්ඩුව බාරගන්නා ලෙස එවකට හමුදා නිලධාරියකු වූ බමර් ජාතික නේ වින් ආරාධනය කළේය. මේ අවස්ථාවේදී නූ හමුදාපති වරයා වූ කරින් ජාතික ස්මිත් ඩන් නොසලකා හැරියේය. නේ වින් 1960 දී ආණ්ඩුව නූ නැවත බාර දුන්නත් ඔහු විසින් 1962 දී කුමන්ත්‍රණය කින් බලය පැහැර ගන්නා ලදී. හමුදා පාලනය දිගටම තිබිණ. වර්ෂ 2010 දී අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වූ මියන්මාරයේ බලය  2015 දී අවුන්ග් සාන් සූ චි පැවරිණ.

රට පුරා පැවති වාර්ගික අරගල හේතුවෙන් මධ්‍යයේ බලවත් ආණ්ඩුවක් තිබීමේ අවශ්‍යතාව හමුදා පාලනයක් ඇතිවීම යුක්ති සහගත  කරන ලදී. බලය ලැබුණ පසු හමුදාව විසින් සිය බලය තහවුරු කර ගන්නා ලදී.

කෙසේ නමුත් වාර්ගික අරගල දිගටම පැවතිණි. විවිධ වාර්ගික කණ්ඩායම් විසින් ඔවුන්ගේම  උප හමුදාවන් පවත්වාගෙන යන ලදී. උප හමුදාවන් නොමැතිව තමන් අනාරක්ෂිත බව ඔවුහු සිතති. වාර්ගික උප හමුදාවන්ට  අමතරව වෙනත්  උප හමුදාවන්ද තිබේ. සමහර උප හමුදාවන්  තත්මඩෝ යනුවෙන් හැඳින්වෙන  මියන්මාර හමුදාව සමග සහයෝගීතාවෙන් කටයුතු කරති. සමහර උප හමුදාවන්  මියන්මාර හමුදාව සමග ගැටෙති. මියන්මාරයේ උප හමුදා වර්ග හතරක් තිබේ. ඒවා නම් තත්මඩෝ සමග සම්බන්ධ උප හමුදා, තත්මඩෝ සමග සම්බන්ධ නැති උප හමුදා, තත්මඩෝ විසින් මෙහෙයවනු ලබන ප්‍රජා උප හමුදා සහ වාර්ගික සන්නද්ධ හමුදා . මේවායින් සමහර උප හමුදා නීති විරෝධී මත ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙති. (මියන්මාර උප හමුදාජෝන් බියුකැනන්) මෙම උප හමුදා මියන්මාර දේශයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇතැයි කියනු ලැබේ.

මියන්මාර හමුදාව වාර්ගික ජන කොටස් සමග සාම සාකච්ඡා පැවැත්වුවද එම ජන කොටස් වල ප්‍රධාන ඉල්ලීම වූ පෙඩරල් රාජ්‍යය හමුදාව එකඟ නැත.

මියන්මාර බහුතරයද  බලය බෙදාහැරීමට එකඟ නැත. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමුහාණ්ඩුවාදී ආයතනයේ අනුග්‍රහය යටතේ 2019 දී පවත්වනු ලැබූ සමීක්ෂණයකදී එයට සහභාගී වුවන් ගෙන් පහත සඳහන් ප්‍රශ්ණය අසන ලදී. “පළාත් වලට වඩා ස්වාධීනත්වයක් සහ බලයක් දීමට ඔබ එකඟද? අනුව ඔවුන්ට තමන්ට අදාල තීරණ ගත හැකි වේ. එසේ නැතහොත් බලය සහ තීරණ ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව සතුව තිබිය යුතු යයි ඔබ සිතන්නේද?”  සහභාගී වුවන් ගෙන් 70% ක් තමන් මධ්‍යගත ක්‍රමයකට කැමති බව කී අතර 28% ක් තමන් විමධ්‍යගත ක්‍රමය කට කැමති බව කීහ. 8% ක් මේ පිළිබඳව තමන් අවිනිශ්චිත බව කීහ. එමෙන්ම 53%ක් ප්‍රධාන ඇමතිවරු මධ්‍යම ආණ්ඩුවෙන් පත් කිරීමට කැමති වූහ. 39% ඔවුන් ප්‍රාදේශීය වශයෙන් තොර ගැනීමට කැමති වූ අතර 8% තීරණය නිශ්චිත නැත. මෙම සමීක්ෂණයට සහභාගී වූ අය  ගෙන් 70%ක් බමර් ජාතිකයෝ වූහ. (ජනමත සමීක්ෂණය මියන්මාරය -2019 – Center for Insights in Survey Research)

වර්ෂ2015  සූ චි බලයට පැමිණි පසුවද තත්ත්වයේ විශාල වෙනසක් සිදු නොවිය. ඇය  බොහෝ අවස්ථා වලදී ප්‍රශ්නයට විසඳුම පෙඩරල් ව්‍යවස්ථාවක් බව කියා ඇත. රොහින්ග්යා  මුස්ලිම් වරුන් පිලිබඳ ඇගේ ස්ථාවරය ප්‍රසිද්ධය. ගැම්බියාව මියන්මාරයට එරෙහිව රොහින්ග්යා  මුස්ලිම් වරුන් සමුලඝාතනය සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඉදිරියේ නඩුවක් පැවරූ අතර සූ චි සිය රට වෙනුවෙන්  කරුණු ඉදිරිපත් කළාය. ඇය සිය පාලන කාලය තුළ වාර්ගික කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළාය. බොහෝ කණ්ඩායම් ඇය සමග සාකච්ඡා කිරීමට එකඟ වූ අතර තවත් බොහෝ කණ්ඩායම් පසුගිය කාලය තුල වාර්ගික ජන කොටස් ඉල්ලීම් පිළිබඳව ඇගේ නොසැලකිල්ල මත පදනම්ව ඇය විශ්වාස කිරීමට කැමති නොවුහ.

එනමුත් හමුදාව විසින් ඇතිකළ 2008 ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූ චි ගේ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානය (සන්ධානය) උත්සාහ ගත්තේය. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික රාජ්‍ය සභාවේ 75% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍යවේ. ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් ගෙන් 25%ක් පත් කරන්නේ හමුදාව විසිනි. සමහර වගන්ති සංශෝධනය සඳහා මෙයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය වේ.( 436 වන වගන්තිය) වර්ෂ 2020 දී වෙනත් සංශෝධන වලට අමතරව ව්‍යවස්ථාවේ 188,196,198(b) සහ 198(d) වගන්ති සංශෝධනය මගින් පළාත් ව්‍යවස්ථාදායක වලට වැඩි බලතල දීමටද, 225 සහ 226 වගන්ති සංශෝධනය මගින් මධ්‍යය විසින් පළාත් පරිපාලනයට කරන බලපෑම් අවම කිරීමටද, 261, 262 සහ 264 වගන්ති සංශෝධනය මගින් පළාත් වල මහ ඇමතිවරුන් පත් කිරීමේදී සහ  ඇමතිවරුන් පත්කිරීමේ හා  ඉවත් කිරීමේ දී පළාත් වලට වැඩි බලතල දීමටද සන්ධානය උත්සාහ ගත්තේය. හමුදාව සහයෝගය නොදැක්වීම නිසා මෙම යෝජනා මන්ත්‍රණ සභාවේදී පරාජයට පත් විය.

එබැවින් සන්ධානය හමුදාවට වඩා වාර්ගික ප්‍රශ්ණය පිළිබඳව සංවේදී . මෙය 2020 නොවැම්බර් 8වන දින පැවැත්වූ මහ මැතිවරණයෙන් සනාථ වේ. මියන්මාරයේ ජාතික මන්ත්‍රණ සභාව, ජාතිකත්ව සභාව සහ මහජන මන්ත්‍රණ සභාව යන සභා දෙකෙන් සමන්විත වේ. සන්ධානය විසින් හමුදාවට වෙන් කල 25% ක් වන ආසන ඇතුළුව සියළු ආසන වලින් ජාතිකත්ව සභාවෙන්  61.6% ක් මහජන මන්ත්‍රණ සභාවෙන් 58.6% ක් දිනා ගන්නා ලදී. වාර්ගික පළාත් වලින් උභය මන්ත්‍රණ සභා වලට එවූ නියෝජිතයන්ගේ බහුතරය රඛින් සහ ශාන් පළාත් හැර සන්ධානයේ නියෝජිතයන් විසින් දිනා ගන්නා ලදී. පළාත් ව්‍යවස්ථාදායක වල මැතිවරණයද මේ සමඟම පවත්වන ලදී. ඒවායින්ද හමුදාවට වෙන් කල 25% ක් වන ආසන ඇතුළුව 56.9% බහුතරයක් ආසන සන්ධානය විසින් දිනා ගන්නා ලදී. රඛින් සහ ශාන් පළාත් ව්‍යවස්ථාදායක වල බහුතරය සන්ධානයට අහිමි විය. මෙයට අමතරව පළාත් ව්‍යවස්ථාදායක වලට තෝරා පත් කර ගන්නා ලද වාර්ගික කටයුතු පිලිබඳ ඇමතිවරුන් ගෙන් 79% සන්ධානයේ නියෝජිත යෝය. ජාතිකත්ව සභාවේ ආසන වලින් 3.1%   මහජන මන්ත්‍රණ සභාවේ ආසන වලින් 3.4% පළාත් ව්‍යවස්ථාදායක වල ආසන වලින් 5.5% ප්‍රතිඵල කලබල හේතුවෙන් අවලංගු කරන ලදී. එබැවින් සන්ධානයේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි. වර්ෂ 2015 දී පැවැත්වුන මහා මැතිවරණයට සාපේක්ෂව ඔවුන් විසින් උභය මන්ත්‍රණ සභා වලද පළාත් ව්‍යවස්ථාදායක වලද අසන සංඛ්‍යාව වැඩි කර ගන්නා ලදී. මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ ප්‍රතිඵල නිරවද්‍ය බවද ඒවායින් ජනතා කැමැත්ත ප්‍රකාශ වන බවද ප්‍රකාශ කරන ලදී.

මියන්මාර ජනතාව 2010 සිට අනුක්‍රමයෙන් නිදහස භුක්ති වින්දහ. එබැවින් ඔවුන් හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වනු ඇත. මෙම කාරණය හමුදාව විසින් අව තක්සේරු කරන ලදී. ප්‍රාදේශීය උප හමුදාවන් සහ වාර්ගික හමුදාවන් විරෝධතා දක්වන ජනතාවට සහාය දුන හොත් එය හමුදාවට අසීරු තත්ත්වයක් වනු ඇත. මේ සඳහා බහුතර බමර් ජාතිකයන් විසින් මධ්‍යගත පාලනයක් සඳහා වන ඔවුන්ගේ කැමැත්ත හළ යුතුය. අනුව රට නැවත ප්‍රශ්නයේ මුලට පැමිණ ඇත. ආරම්භයේදී එය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම වූ අතර දැන් එය හමුදාවෙන් නිදහස ලබා ගැනීම වේ. එබැවින් වාර්ගික ප්‍රශ්ණය බලය විමධ්‍යගත කිරීම හරහා නොවිසඳීම හේතුවෙන් මධ්‍යයේ ඇතිවූ අත්තනෝමතික බල කේන්ද්‍රය විසින්  බලය විමධ්‍යගත කිරීමට එරෙහි වූ ජන කොටස ගේම නිදහස උදුරා ගෙන ඇත.

රුසියාව සහ චීනය ජාත්‍යන්තර වේදිකාවේදී හමුදා ජුන්ටාව ආරක්ෂා කරයි. එය ඔවුන්ගේ විශේෂයෙන්ම චීනයේ බල අවශ්‍යතා සපුරා ලයි. මිතුරන් ගෙන් තොර තනිවූ දේශයක් තුළ චීනයට සිය වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට බාධාවක් නැත.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ තත්ත්වය මියන්මාරයේ තත්ත්වයේ මෘදු ස්වරූපයකි. රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්ණ වලින් එකක් වන වාර්ගික ප්‍රශ්ණය වසර 30ක් දිග්ගැස්සුණු අභ්‍යන්තර කැරැල්ල කට හේතුවිය. බහුතරය වන සිංහලයෝ බලය විමධ්‍යගත කිරීමට එරෙහි වෙති. විවිධ දේශපාලන නායකයන් විසින් මේ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක විය. මෙය සන්නද්ධ අරගලය කට හේතුවූ අතර අරගලය මධ්‍යයේ ඉන්දියාවේ බලපෑම මත ගෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් විය. සන්නද්ධ කැරලි කරුවන් මේ විසඳුම නොපිළිගත් අතර ඔවුන් යුදමය වශයෙන් පරාජය කරන ලදී.

වර්ෂ 2015 සිට 2019 දක්වා බලයේ සිටි පසුගිය ආණ්ඩුව පළල් මහජන ඉල්ලීම් මත ප්‍රතිසංස්කරණ ගෙන අතර ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කරන ලදී. ජනාධිපති බලතල අඩු කල පාර්ලිමේන්තු බලතල වැඩි කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔවුන් විසින් ගෙන එන ලදී. එක අතකින් මධ්‍යයේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට ආපසු යන ආකෘතියකින්    අනෙක් අතින් පරිධියේ පළාත් සභා වලට වැඩි බලතල ලැබෙන ආකෘතියකින්  සමන්විත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඔවුන් උත්සාහ කළහ.

අනුක්‍රමයෙන් වෙනස් වූ ජනප්‍රිය මතවාදය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නිශ්චිත ලෙසම වෙනස් විය. ජනාධිපති බලතල වැඩි කරන ලෙස වූ ඉල්ලීම 20 වන සංශෝදනය මගින් ඉටු කරන ලදී. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මගින් ගෙන එන ලද 46/1  යෝජනාව අනුවද විවේචනයට ලක්වූ විවිධ අත්තනෝමතික ක්‍රියා ආණ්ඩුව විසින් කරන ලදී. පළාත් වලට දෙනලද ව්‍යවස්ථාවේ ඇති බලතල වලට වඩා අඩු සීමිත බලතල ඉවත් කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතී. මෙය කළ නොහැක්කේ ඉන්දියාවේ විරුද්ධත්වය නිසාය.

කෙසේ වුවත් පසුගි ආණ්ඩුව කාලයේ පළල් වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට හුරුවූ ජනතාව වැඩිවූ ජනාධිපති බලතල වලින්ද පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන්ද පහසුවෙන් මර්දනය කළ නොහැක. මැතිවරණ සමයේදී යෝජනා වූ හිට්ලර් කෙනකු මෙන් කටයුතු කරන ලෙස වූ නින්දිත ඉල්ලීමද නැවත ඉදිරිපත්ව තිබේ. මෙයට ප්‍රතිචාර දැක්වූ මෙරට ජර්මන් තානාපතිවරයා මිලියන ගණනාවක ජිවිත ව්‍යසනයට වගකිවයුතු වූ හිට්ලර් කිසිම දේශපාලනඥයකුට ආදර්ශයක් නොවිය යුතු බව කියා ඇත.

චීනය සහ රුසියාව ජාත්‍යන්තර බලපෑම් වලින් ශ්‍රී ලංකාවට රැකවරණය දීමට උත්සාහ කරති.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව

වර්ෂ 1948 ජනවාරි 4 වනදා මියන්මාරය එයි මාසයකට පසුව 1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවද බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූහ.

රටවල් දෙකේම බහුතරය, බමර් සහ සිංහල ජාතිකයෝ පෙඩරල් ව්‍යවස්ථාවන්ට විරුද්ධ වෙති. මියන්මාරයේ යුනියන් යන යෙදුම යොදන අතර ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය යන යෙදුම යොදනු ලැබේ. ඔවුන් සියල්ලෝම පෙඩරල් යන වචනය ටද විරුද්ධ වෙති.

බමර්වරු සහ සිංහලයෝ ප්‍රධාන වශයෙන්ම බෞද්ධයෝ වෙති. රටවල් දෙකේම බෙදීම් ප්‍රධාන වශයෙන් ජන වර්ගය මත පදනම්ව ඇති අතර ආගමේ බෙදීම ඇත්තේ එයට වඩා අඩු මට්ටමකය. මියන්මාරයේ බෞද්ධ ජන වර්ග අතරද ගැටුම් ඇත. ශ්‍රී ලංකාවේ එසේ නොමැති අතර සිංහල බෞද්ධයෝ සංයුක්ත කණ්ඩායමක් ලෙස සිටිති.

මියන්මාරයේ මධ්‍යය අත්තනෝමතික ලෙස බලවත් වීමට හේතුව ජනතා කැමැත්ත මත නිසි කලට පරිධියට අවශ්‍ය බලය ලබා නොදීමයි. ශ්‍රී ලංකාවේ මෑත අතීතයේදී ලිබරල් වාදීන් බලයට පත්වූ විට ප්‍රවනතාව වූයේ පරිධියට බලය විමධ්‍ය ගත කර මධ්‍යයේ ඉහල සංකේන්ද්‍රණය වූ බලය පහලට ගලා යාමට සැලැස්වීමයි. වර්තමානයේ මෙන් ජාතිවාදීන් බලයට පත්වූ විට බලය තිරස් අතර පරිධියේ සිට මධ්‍යය ටද සිරස් අතට පහල සිට ඉහළටද සංකේන්ද්‍රණය කිරීමට උත්සාහ කර ඇත. මෙම ප්‍රවණතාව දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාවටද මියන්මාරයේ අත්දැකීම ලැබිය හැක.

බලය විමධ්‍යගත කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෝ දුර්වල රාජ්‍යයෝ නොවෙති. ශක්තිමත් බව ලැබෙන්නේ සමගිය හෙවත් එක්සත්භාවය මතයි. බෙදීම මත නොවේ. රටක් එක්සත් බව නොමැති නම් විදේශ බලයන්ට එරටට අත පෙවීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ 1980 ගණන් වල පැවති රජයට විරුද්ධව මෙය සිදුවූ අතර මියන්මාරයේ අද පවතින ඊනියා රජයට පක්ෂව එය සිදුවේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාව ජනතාවට දිගට හරහට වෙඩි තැබුවත් ඔවුන් මර්දනය කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය පාලන සමයේ ඔවුන් නිදහස භුක්ති විඳ ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාගේ බියජනක ලෙස ඉහල නංවා තිබුණ ප්‍රතිරූපය පහල මට්ටමකට වැටුනේ පසුගිය ආණ්ඩුව සමයේ ජනතාව භුක්ති විඳ පුරුදු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එය සම්මුඛ වීම නිසාය.

මියන්මාරයද ශ්‍රී ලංකාවද පිළිවෙලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයටද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ටද වාර්ගික ප්‍රශ්ණ සම්බන්ධයෙන් රපෝර්තු කරනු ලැබ ඇත. එබැවින් රටවල් දෙකේම  වාර්ගික ප්‍රශ්ණ ජාත්‍යන්තර කරණය වී ඇත.

චීනය සහ රුසියාව රටවල් දෙකටම සහයෝගය දෙයි. මේ සම්බන්ධ ඔවුන්ගේ බල අභිලාෂයන් සැඟවීමට උත්සාහ කරනු ලැබේ.

මියන්මාරය අනීතික සහ කිසිම නීතික උරුමයක් නොමැති හමුදාව භාරයේ තිබේ. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොහෝ පුද්ගලික කැප කිරීම් කර ඇති සූ චී නිවස අඩස්සියට පත් කර ඇත. මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි. මියන්මාරයේ මුල්කාලීන ජනතා විදි විරෝධතා දැන් තරමක් අඩුවී ඇත. හමුදාව විදි විරෝධතා වලට ඍජුව වෙඩි තැබූ අතර රාත්‍රියේදී විරෝධතාකරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් අත් අඩංගුවට ගත්හ, නැතහොත් මරා දැමූහ. විරෝධතා ව්‍යාපාර නායකයන් මෙම තත්ත්වය කළමනාකරණය කළ යුතු අතර මෙවැනි ඒකාධිපති පාලකයන්ට මුහුණ දීමේ ක්‍රමවේද සාකච්ඡා කරන ජිනී ශාප් විසින් රච්ත From Dictatorship to Democracy නමැති කුඩා ග්‍රන්ථය හැදෑරිය යුතුය. (මෙය මෙම ලිපියේ ලේඛකයා විසින් ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මැයෙන් සිංහලට පරිවර්තනය කර ඇත.)

ලෝකය මියන්මාර ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව පිළිගැනීම දිශාවට ගමන් කළ යුතුය. මියන්මාරයේ මානව හිමිකම් පිලිබඳ විශේෂ වාර්තාකරු තොමස් ඇන්ඩෲස් මියන්මාරයට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවද එය දැන් අවශ්‍ය බවද කියා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනා සම්මතයෙන් පෙනීයන්නේ එවැනි ජාත්‍යන්තර මැදිහත් වීමකි.

(සමහර තොරතුරු විකිපීඩියා මගින් ලබා ගන්නා ලදී)

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    හා හා හා දැන් ආපහු රට පුරා කොරෝනලු. පීසීආර් පරීක්ෂන ඔක්කොම පොසිටිව්ලු. අයිඩීඑච් රෝහලත් පිරිලාලු. එක පළාතක් වැහැව්වලු.
    රාජපක්ෂලා මේ කරන්න හදන්නේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගත්ත විදිහටම බොරු කොරෝනා රැල්ලක් රට පුරා හදලා රට ලොක් ඩවුන් කරලා මිනිස්සු ගෙවල් වලට හිර කරලා ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්තනෝමතික ඒකාධිපති විදිහට බලය පාවිච්චි කරලා ” පෝට් සිටි වෙනම රාජ්‍යයක් කිරීමේ පනත” සම්මත කරගන්න.
    20 වෙනි සංශෝධනයේ විවාදය දවසට කලින් දවසේ කළා වගේ තව තියෙනවා කාව හරි වෙඩි තියලා මරන්න සහ තව මිනියක් දියවන්නා ඔයේ පා කරන්න.
    චීන ආරක්ෂක ඇමති 27 එන්න ඉස්සෙල්ල පෝට් සිටි පනත සම්මත කරගන්නයි යන්නේ.

    • 0
      1

      චම්පා …. ස්වභාෂා භාෂාවෙන් කියමනක් තිබේ, ඔවුන්ගේම නීති රීති, අධිකරණය යටතට ගෙන ඇත … මේ සියල්ල නොසලකා හරිනු ලැබුවේ නැත, නමුත් මිලියන 6.9 ක බැල්ලියන්ගේ මෝඩකම නිසා රට මේ මට්ටමට ගෙන එන ලදි. ඔබගේ ඇඳ සහකරු වන විමල් බුරුවන්සා නොදන්නා හේතු කිහිපයක් නිසා නිහ silent මාදිලියට ගොස් ඇත. අද ඔබ ඔහු ගැන කතා කරන්නේ ද නැත.

      කිසිවෙකු සත්‍යයන් ගැන කතා නොකරයි..මීඩියා මාෆියාව ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි තකා තරඟයක යෙදී සිටී.
      සාමාන්‍ය මහජනතාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම ගැන ඔවුන් වැඩි සැලකිල්ලක් නොදක්වයි. සත්‍යයන් කැපී පෙනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදේ. මිනිසුන් අසත්‍යයන් හා මුග්ධයන් විසින් අල්ලා ගනු ලැබේ. එකක් පිටුපසින්, ඔවුන්ට පක්ෂව උපක්‍රම විකාශනය වේ. දැන් විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කරනු ලැබේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.