දශක දෙකකට අධික කාලයක් තිස්සේ සූරි අපේ ජීවිතවල නිරන්තරයෙන් රැඳී සිටි අයෙකි; ඔහු අපගේ සහෝදර සගයෙකු, දේශපාලන මිතුරෙකු මෙන්ම අප පවුලේ ඉතා සමීප හිතවතෙකු ද විය. අද අපි ඔහු වෙනුවෙන් ශෝක වෙමු; ඔහු තුළ තිබූ මනුෂ්‍යත්වයට අපි අපේ ගෞරවය පුද කරමු.
පවුල් පසුබිම සහ මුල් අවධිය
සූරි 1948 දී ශ්‍රී ලංකාවේ මඩකලපුවේ ප්රමුඛ පවුලක උපත ලැබීය. ඔහුගේ පියා, වල්ලිපුරම් නල්ලයියා, ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දක්වා ඉහළට පැමිණි අතර, තමන් නියෝජනය කළ ජනතාව වෙනුවෙන් අරගල කිරීම කිසි දිනෙක නතර කළේ නැත. ඔහුගේ මව, තංගරත්නම් මහත්මිය ද විශාල පෞද්ගලික කැප කිරීමක් කළාය. දේශපාලනය හරහා කිසිදු පුද්ගලික ලාභයක් ලබා ගැනීමට නල්ලයියා ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී, ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම පිණිස, තංගරත්නම් මහත්මියට උරුම වූ දේපළ සියල්ල විකුණා දැමූ ඔහුගේ පවුල, ඔහුගේ මරණය සිදු වන තුරුම කුලී නිවසක ජීවත් විය.
සුරි තම පියාගෙන් අධ්‍යාපනය කෙරෙහි මෙන්ම සමාජයෙන් කොන් කරන ලද ප්රජාවන්ගේ අභිමානය පිළිබඳව ද විශ්වාසයක් උරුම කර ගත්තේය. ඔහුගේ පියා 1943 සිට 1947 දක්වා ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ත්‍රිකුණාමලය–මඩකලපුව මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළේය. ඉන්පසු ඔහු 1947 සිට 1956 දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, 1952 වසරේ දී කෙටි කාලයක් සඳහා තැපැල් හා තොරතුරු අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධුරයක් ද දැරීය. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු අට්ටාලචෙනයි හි පිහිටි පිරිමි පුහුණු පාසලේ ගුරුවරයෙකු සහ විදුහල්පති ලෙස ද කටයුතු කළේය. ව්‍යවස්ථාදායකයෙකු ලෙස ඔහු අධ්‍යාපනය නොමිලේ සහ කෙනෙකුගේ මව්බසින් ලබා දීම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු මඩකලපුවේ ගුරු අභ්‍යාස විද්‍යාලය සහ වන්තරාමූලෙයිහි මධ්‍ය විද්‍යාලය (අද නැගෙනහිර විශ්වවිද්‍යාලය) ස්ථාපිත කිරීමට ද දායක විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සූරි ගේ පන්ති මිතුරෙකු වූයේ පසු කාලීනව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා යි. මඩකලපුවේ හැදී වැඩුණු සූරි, නැගෙනහිර පළාතේ කොන් කරන ලද ප්‍රජාවන් වෙනුවෙන් පෙනී සිටීමේ තම පියාගේ උරුමය උකහා ගත්තේය. කුඩා අවධියේ සිටම, ඔහුගේ මව තංගරත්නම්, ඇය සතු ගැඹුරු දැනුම සහ ආදර්ශමත් ජීවිතය තුළින් ඔහුට දෙමළ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් ලබා දුන්නාය. ඇය රටේ පළමු කාන්තා උපාධිධාරිනියන් අතරින් කෙනෙක් වූ අතර, ආගම පිළිබඳව ප්‍රසිද්ධ හා ආදරණීය ගුරුවරියෙක් වූයේය. මෙම පාඩම් ඔහු පසුව පත් වූ මිනිසා බවට පත් වන්නට මෙන්ම ඔහු පසුව අනුගමනය කළ අරමුණු වෙනුවෙන් පෙනී සිටීමටත් බල පෑවේය.
ඕස්ට්‍රේලියාවට පැමිණීම
සූරි සමඟ අපගේ මිත්‍රත්වය ආරම්භ වූයේ සිය මියගිය නිවුන් සහෝදරයා වන සිවකුමාරන් සමඟ පවුලේ සහ ආණ්ඩුවේ උත්සවවලට සහභාගි වන්නට පැමිණි කැන්බරා නුවර දී ය. ඔහුට ශ්‍රී ලංකාවේ ජීවත් වූ රාධාක්‍රිෂ්ණන් නම් තවත් සහෝදරයෙක් ද සිටියේය. අපේ පවුල 2004 දී වික්ටෝරියාවට පැමිණ, ඩැරබින් නගර සභා ප්‍රදේශයේ පිහිටි රෙසර්වෝර් (Reservoir) හි පදිංචි වූ විට, සූරි, මයිකල්, අභාවප්‍රාප්ත නාගරික මන්ත්‍රී ගෙටානෝ සහ අප අතර සමීප සහයෝගීතාවක් ගොඩ නැඟුණි. සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ බහු–සංස්කෘතික ඕස්ට්‍රේලියාවක් පිළිබඳ ප්රගතිශීලී දේශපාලන දැක්මක් වෙනුවෙන් අප තුළ වූ පොදු කැපවීම අප සැම එකට බැඳ තැබුවේය.
ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වීමෙන් පසු, සූරි වසර දහ අටක් බදු කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළේය. ප්‍රජා හා රාජ්‍ය අංශ සංගමයේ (Community and Public Sector Union – CPSU) බදු අංශයේ උප සභාපති වරයෙකු සහ ජාතික විධායක සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් ඔහු, ක්‍රියාශීලී වෘත්තීය සමිති නායකයෙකු බවට පත් විය. 1990 ගණන් වල සහ මේ සියවසේ පළමු දශකය තුළ මෙල්බන් නුවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ද වූ ඔහු ගෙටානෝ, මයිකල් සහ තවත් අය සමඟ එකට කටයුතු කළේය.
ප්‍රජා සහ පුරවැසි සේවාව
ගෙටානෝ සභාපතිව සිටි කාලයේ සූරි ඩැරබින් ජන වාර්ගික ප්‍රජා සභාවේ (DECC) විධායක කමිටුවේ සේවය කළේය. එහි භාණ්ඩාගාරික ලෙස එයට සම්බන්ධ වූ මම, බටහිර තදාසන්න ප්‍රදේශයේ පදිංචියට යන තෙක් එම භූමිකාව දැරුවෙමි. අප තවදුරටත් ඩැරබින් හි වාසය නොකලත්, ශ්‍රී ලංකාවට හා ඕස්ට්‍රේලියාවට බල පාන සමාජ–ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න ගැන, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධවල සිට යුක්රේනයේ ගැටුම දක්වා ගෝලීය ප්‍රශ්න ගැන අප එකට කටයුතු කළෙමු. සූරි DECC හි සභාපති ධුරයට පත් වූ විට, ඔහු ගේටානෝ තැබූ ආදර්ශය ඉදිරියට ගෙන ගියේය.
සභාපතිවරයා ලෙස, බහු සංස්කෘතික පදිංචිකරුවන්ට දේශීය තීරණ වලදී හඬක් ලබා දුන් ඔහු ජාතිවාදයට එරෙහිව ද හඬ නැගීය. 2012 දී ඩැරබින් හි පැවැත්වූ වර්ගවාදය පිළිබඳ විමර්ශනයේ මෙහෙයුම් කමිටුවේ අසුන් ගත් ඔහු, ජනතාව ඇතුළත් කර ගන්නා ලද බවට හැඟෙන ප්‍රජාවක් ගොඩ නැගීම සදහා ඩැරබින් අන්තර්–සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙහෙවර සහ එයට ඔහු සපයන නායකත්වය අත්‍යවශ්‍ය බව දුටුවේය. ඩැරබින් නගර සභා බල ප්‍රදේශය තුළ ප්‍රදේශයේ රැකවරණය සොයා එන අයට මානුෂීය ලෙස හා සාදරයෙන් පිළි ගන්නා ප්‍රවේශයක් අවශ්‍ය බව අවධාරණය කරමින් ඔහු, සරණාගතයින් සහ රැකවරණය සොයා පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්නා බවට පණිවිඩයක් ලබා දුන් විවිධ ආගම්වලට අයත් ආගමික නායකයින්, ප්‍රජා වැඩිහිටියන්, සරණාගතයන් හා අදාළ ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමඟ ද එක් විය.
ඩැරබින් නගරයෙන් ඔබ්බට, ඔහු වික්ටෝරියා ජනවාර්ගික ප්රජාවන්ගේ කවුන්සිලයේ (ECCV) විධායක සාමාජිකයෙකු ද විය. ඔහු තවත් බොහෝ ප්‍රජා සංවිධාන තුළ විධායක තනතුරු දරමින් සේවය කර ඇත. ඔහුගේ නොපසුබට ක්‍රියාකාරිත්වය අගය කරමින්, 2025 අග භාගයේ දී ඩැරබින් නගර සභාව සංක්‍රමණිකයන්, සරණාගතයන් සහ දෙමළ ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ජීවිත කාලය පුරා ඔහු කළ සේවය උදෙසා යාවජීව කර්තව්‍ය සම්මානය (Lifetime Achievement Award) ඔහුට පිරිනැමීය.
ප්‍රෙස්ටන් නගරයේ රේ බ්රැමැම් උද්‍යානයේ ජන සංහාරක සහ ජන සංහාරක වැනි ක්‍රියාවල වින්දිතයන් සිහිපත් කරන ස්මාරකයක් ස්ථාපනය කිරීමට නගර සභාවේ උත්සාහයට ද ඔහු නායකත්වය දුන්නේය. DECC සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම ස්මාරකය උද්‍යානයේ දකුණු පස පිහිටා ඇත. එය දුම් ඇල්ලීමේ චාරිත්‍ර සිදු කිරීම, වැලි මත ඉටි පන්දම් දැල්වීම සහ ජලය මත මල් පාවීමට සැලැස්වීම වැනි විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා කොටස් තුනකට බෙදා තිබෙන සාම සංකේතයක හැඩය ගත් විශාල ගල් බඳුනකි. විරෝධතා හා සංවේදී සාකච්ඡා හේතුවෙන් මෙය ස්ථාපනය කිරීම ප්‍රමාද වූ නමුත්, පසුව ස්මාරකය විවෘත කරන ලද එය, අහිමි කරන ලද සියලු දෙනා සිහිපත් කරන ස්ථානයක් ලෙස පවතී.
සාමය වෙනුවෙන් කැපවීම
මානව හිමිකම් සහ සමානාත්මතාව සඳහා වූ ජනයා (PHRRE) – පසුව PHRE යනුවෙන් නම් කරන ලද – සංවිධානය 1998 ලියා පදිංචි කරන ලද දවසේ පටන් සූරි එහි විධායක සාමාජිකයෙකු ව සිටියේය. බොහෝ සෙයින්, එය 1997 දී පෝලින් හැන්සන්ගේ වන් නේෂන් පක්ෂය දියත් කිරීමට ප්‍රතිචාරයක් ලෙස පිහිටුවන ලදි. ශ්‍රී ලංකාවේ ගැටුම විසඳීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් බලය බෙදාහදා ගැනීමේ එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි මෙම කණ්ඩායම, ශ්‍රී ලංකා විදේශගත ප්‍රජාවන් අතර අවබෝධය හා සහයෝගීතාව ගොඩනැගීමට කටයුතු කළේය.
2007 වසරේ දී PHRE සහ DECC යන සංවිධාන එක්ව ශ්‍රී ලංකා විදේශගත ප්රජාවන්ගේ හමුවක් සංවිධානය කිරීම සදහා සම අනුග්‍රහය දැක්වූහ. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මහාචාර්ය ජෝසප් කැමිලේරි (Professor Joseph Camilleri) වෙත ආරාධනා කිරීමේ ලිපියට සුරි ද අත්සන් තැබූ අතර, ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර නිර්මාණාත්මක සංවාදයක් ඇති කර ගැනීම සඳහා වූ පුළුල් ආරාධනාවට ද ඔහු එක් විය. එම ආරාධනාව. ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ සංවාද මධ්‍යස්ථානය මෙහෙයවූ ශ්‍රී ලංකා ප්‍රජා සංවාදයට මග පෑදීය. PHRE හි ඉල්ලීම පරිදි සිදු වූ එහි විධායකය අතර සූරිත්, මාත් ඇතුලත් විය. 2008 පෙබරවාරියේදී උපදේශන කමිටුවක් පිහිටුවන ලද අතර, ඒ සඳහා යෝජනා කරන ලද නම් අතර සුරිගේ නම ද ඇතුලත් විය.
මෙල්බන් නුවර සිංහල, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් ප්රජාවන්ගේ ප්‍රධාන නියෝජිතයන් එක් රැස් කරමින් මෙම සංවාදය වසරක් පුරා පැවතුණි. 2009 මැයි මාසයේ යුද්ධය හමුදාව ජය ගැනීමෙන් නිම වන තුරු එය විසඳුමක් ඇති නොවූ නමුත් බහුතරයට අයත් නොවන ප්‍රජාවන්ට අදාළ ගැටලු ඔවුන්ව සවි බල ගැන්වීම තුළින් විසඳිය යුතු බවට ඊට සම්බන්ධ පාර්ශවයන් එකඟ වූහ. ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගිතාව (AAGGSL) සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ හඬ (VDSL) යන සංවිධාන සමඟ කරන ලද කටයුතු ද ඇතුළුව, ඉන් පසුව ඔහු සහභාගි වූ සෑම සංවාදයක දී ම, සුරි මෙම අදහස පෙරදැරි කර ගෙන කටයුතු කළේය.
මිත්‍රත්වය සහ උරුමය
2011 වසරේ දී මගේ ජීවිත කතාවට අදාලව මයිකල් විසින් රචනා කරන ලද , “Rebellion, Repression and the Struggle for Justice in Sri Lanka” නමැති කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කෘතිය හැඩ ගැස්වීමට දායක වූ සාකච්ඡා මාලාවට සුරි ද එක්ව සිටියේය. විරුද්ධ මත දරන්නෙකුගේ භූමිකාව රඟ දක්වමින් (devil’s advocate) සාකච්ඡා වඩාත් ගැඹුරු කිරීමට ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් කතුවරයා ඔහුට ස්තුති කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ඔහු සතු වූ ගැඹුරු සහ ඇතැම් විට ඉතා සියුම් වූ අවබෝධය අපි අගය කළෙමු.
සූරි හැම විටම විවෘත දොරටුවක් තබා තිබුණේය. ප්‍රජාව තුළ සරණ අවශ්‍ය වූ ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට ඔහු සැම විටම කැමැත්තෙන් සිටියේය. ඔහු ඉතා නිහතමානී, ප්‍රතිපත්තිගරුක සහ ත්‍යාගශීලී පුද්ගලයෙකි. හින්දු දහම කෙරෙහි ඔහු තුළ තිබූ ඉතා හද උණුසුම් කරවන සුළු භක්තිය, අන් අයට ගෞරවයෙන් හා දයාවෙන් යුතුව සැලකීමේ දී මැනවින් විද්‍යාමාන විය. සෑම කෙනෙකුට ම ඉඩක් ලබා දෙන විට ප්‍රජාවක් ශක්තිමත් වන බව විශ්වාස කළ ඔහු, එම විශ්වාසය අනුව ම ජීවත් විය.
සමු ගැනීම
ඔහුගේ සොයුරිය නලිනි, ඔහුගේ බිරිඳ ශර්මිලා, දියණියන් වන පාර්වතී සහ ආංජලි, මස්සිනා කාසි සහ ඔහුගේ පුළුල් පවුලේ සියළු දෙනා වෙත අපගේ බලවත් ශෝකය පළ කර සිටිමු. අප වඩා හොඳ මිනිසුන් බවට පත් කළ සෑම සංවාදයක් ම, බෙදාහදා ගත් සෑම ව්‍යාපාරයක් ම, ඔහු සමඟ ගත කළ සහෝදරත්වයේ සෑම වසරක්ම සඳහා අපි ඔහුට කෘතඥ වෙමු. ඔහුගේ කටයුතු ඔහු සේවය කළ ප්‍රජාවන් මත මෙන්ම අප මත ද නොමැකෙන සලකුණක් තබා ගොස් ඇත. ඔහු අපට දැඩි ලෙස අහිමි වූ බව දැනෙන නමුදු ඔහු ඉතිරි කර ගිය උරුමය දිගු කල් පවතිනවා ඇත.
நன்றி (නන්ඩ්‍රි), සුරි. ඔබට ස්තූතියි.