18 June, 2026

Blog

අනුර සහෝදරයාට විවෘත ලිපියක්

අනුෂ්කා කහඳගමගේ

ආචාර්ය අනුෂ්කා කහඳගමගේ

මේ ලියන්නේ ජාතික ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට සහය දුන් ගැහැනියක් ලෙසිනි. ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණයත්, ඔබේ ජනපතිවරණ ජයග්‍රහණයත්, ජනතාවගේ ජයග්‍රහණයක් බව සිතා සිටියෙමි. වයස 18 දී ඡන්ද අයිතිය ලැබුණු දා සිට, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මාගේ ඡන්දය භාවිතාකර ඇති අතර, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරවම පෙනී සිටියෙමි. ආණ්ඩුව පත්වූ දවසේ සිට, ස්ත්‍රීන් කෙරෙහි ආණ්ඩුව දක්වන කුඩම්මාගේ සැළකිල්ල ඉතා අප්‍රසන්නය. මේ ආණ්ඩුව පත්වූයේ වැඩකරන ස්ත්‍රීන්ගේ කරමතින් විනා, දර්ශනය දෙසන පිරිමින්ගේ කරවල් මතින් නොවෙයි. ආණ්ඩුව ස්ත්‍රීන්ට ඇමති තනතුරු නොදීමේ සිට, ආණ්ඩුවට පක්ෂ පිරිමින්ට සම්බන්ධ ස්ත්‍රීන්ට අවස්තාව දීමේ සිට, අගමැතිනිය වෙත ආණ්ඩු පක්ෂය ඇතුළතින්ම එල්ලවන පීඩාව කවුරුත් දන්නා නමුත් නොදන්නවා සේ සිටින රහසකි. සමාජ මාධ්‍ය තුළ ගොඩනඟා ගෙන ඇති විවිධ ආණ්ඩු පක්ෂ කල්ලි හරහා, ආණ්ඩුවට පක්ෂ ස්ත්‍රීන් වෙතම එල්ලකරන අභූත චෝදනා සහ, ප්‍රහාර ඉතාම අප්‍රසන්නය. එහි මෑත කාලීන ගොදුර බවට පත්වූයේ ජාතික කාන්තා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ ආචාර්ය රමණී ජයසුන්දරයි. මේ ආණ්ඩුව රැකීම වෙනුවෙන් යයි පෙනී සිටින ඊනියා දාර්ශනික පිරිමි විසින්, පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නමුත් ඍජුව අදහස් ප්‍රකාශ කරන සහ ක්‍රියා කරන මෙන්ම, විචාරශීලී විවේචනවල නිරතවන ස්ත්‍රීන් ඉලක්කකර සිදුකරන පහර දීම් තරයේ හෙළා දකිමි. එවැනි එක ගැහැනියකගේ එක සමාජ මාධ්‍ය සටහනකට, විවේචනයකට, ක්‍රියාවකට මෙම හයේ හතරේ පිරිමි විශාල ලෙස කම්පාවට පත්වන අතර, ඔවුන් විශාල අනාරක්ෂිත බවක සිටින බව පෙනී යයි. එබැවින්, ආණ්ඩුවට සත්‍ය වශයෙන්ම විපක්ෂයෙන් තාර්කික ආකාර විවේචනයක් එල්ල වුවහොත් (අවාසනාවකට අපට එවැනි විපක්ෂයක් ඇත්තේත් නැත), මෙම ඔලුව උදුම්මවාගත් හයේ හතරේ නමුත්, කිසිවක් පරිණත ලෙස කියවා ගත නොහැකි, ඉතාම ළාමක සහ ස්වෝත්තමවාදී පිරිමි කෙසේ ක්‍රියා කරාවිදැයි මා දන්නේ නැත. මේ සියල්ල ලියන්නේ තවමත් ආණ්ඩුව රැකගත හැකි බවට මා විශ්වාස කරන නිසා ය.

බුදු දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකු ලෙස, ආගමික අවකාශ තුළ රජය නිරූපණය කරන ව්‍යාකූලත්වය ප්‍රශ්නකාරී වෙයි. විශේෂයෙන් බුද්ධාගම සම්බන්ධයෙන් ගත් කළ, රාජ්‍ය තුළ බුදු දහමේ කාර්ය භාරය වරනැඟීමට ජාතික ජන බලවේගය තවමත් අපොහොසත් වී ඇති අතර, නැතහොත් හිතාමතාම එසේ කිරීමෙන් වැළකී සිටී. මෙම අපැහැදිලි බව තුළ, එකිනෙකට පරස්පර උනන්දූන් සමබර කිරීමට වෑයම් කිරීමක් පෙන්නුම් කෙරෙයි: එක් අතකින්, ආණ්ඩුව, ප්‍රගතිශීලී, ලෞකික (මෙය ආගමෙන් රාජ්‍ය වෙන්කරනවා යන ඉතාම සරල සහ දෙනලද අර්ථයෙන්) සහ සියලු ආගම් සහ ජාතීන් සම්බන්ධ කරගැනීමේ උත්සහයක් පිළිඹිබු කරන අතර; අනෙක් අතට, බුද්ධාගම තම සංස්කෘතික හා දේශපාලන ජීවිතයේ කේන්ද්‍රය ලෙස පවතින බහුතර ඡන්දදායකයින් අතර වලංගු භාවය අත්කරගැනීමට උත්සහ කරයි. ප්‍රායෝගිකව, මෙම ද්විත්ව උපාය මාර්ග, ප්‍රතිපත්තිමය සහ දේශපාලන උපයෝගීතාව අතර ආතතියක් ඇති කරයි. මෙම දෙගිඩියාව ආගම පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් මහජනතාව ව්‍යාකූල කරනවා පමණක් නොව, පාලනය තුළ බුද්ධාගම තෝරා බේරා යෙදවීමේ සදාචාරාත්මක සහ දේශපාලන ඇඟවුම් පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න ද මතු කරයි. උදාහරණයක් ලෙස, රජයේ ඇතැම් ස්වයං ප්‍රකාශිත ‘බුද්ධිමතුන්’ බෞද්ධ ජාතිකවාදය විවේචනය කරන හෝ මර්දනය කරන බව පෙන්වීමට උත්සාහ කළද, 2025 අගෝස්තු මාසයේ පැවති ධාතු ප්‍රදර්ශනය සහ 2026 ජනවාරි මාසයේ පැවති ඉන්දියානු ධාතු ප්‍රදර්ශනය වැනි බුද්ධාගම කෙරෙහි රජය දක්වන මහා අභිනයන් සාධාරණීකරණය කිරීමට බල කරන විට මෙම ඊනියා බුද්ධිමතුන් වඩාත් අසරණ අඩියකට වැටෙන බව පැහැදිළිය. ඔවුන්ගේ තර්ක බොහෝ විට ක්‍රියාකාරී සහ ඒත්තු ගැන්විය නොහැකි ඒවා බවට පත්වන අතර, ඔවුන් පෙනී සිටින ‘සිංහල බෞද්ධ ජාතිකවාදී’ විරෝධී ‘ප්‍රතිපත්ති’ සහ රජයේ ප්‍රදර්ශනාත්මක භාෂාව අතර අතරමං වෙයි. ධාතු ප්‍රදර්ශනය වැනි ආගමික පිළිවෙත් බොහෝ විට සංස්කෘතික හා ආගමික රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ මෙවලම් ලෙස අර්ථගැන්වුණද, බුදුදහම මෙලෙස රාජ්‍ය අනුග්‍රහය සහිතව අතිශය ප්‍රමුඛ දෘශ්‍යමානත්වයකින් ප්‍රදර්ශනය කිරීම, රජය විසින් පොරොන්දු වන්නා වූ බහු-ජනවාර්ගික සහ බහු-ආගමික අනන්‍යතාව පිළිබඳ ප්‍රතිපත්තිය සමඟ යම් පරස්පරතාවක් මතු කරයි.

එමෙන්ම අවසාන වශයෙන්, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පොරොන්දුවත්, ඉතාම අභාග්‍ය සම්පන්න ලෙස ප්‍රති අරුත් ගන්වමින් සහ, මඟ හැර යමින් පැවතීම ගැනද කණගාටු වෙමි. මේ සියල්ල ලියන මම, ශ්‍රී ලංකා පුරවැසියන්ගේ බදු මුදලින් අධ්‍යාපනය ලැබූ ආර්ථික වශයෙන් පමණක් දරිද්‍ර දෙමාපියන්ගේ දරුවෙක් වෙමි. මා මෙතෙක් ආ දුර වෙනුවෙන්, පිට කොටුවේ බර උසුළන සහෝදරයාගේ සිට, වත්තේ දළු කඩන සහෝදරිය දක්වා බදු ගෙවා ඇති අතර, එයට කෘතඥ වෙමි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජනතා රජයක් උදෙසා, එවැනි රජයක් හැඩ ගස්වා ගැනීම උදෙසා මා කරන හඬ නැඟීම්, කිසිවෙකුටත් නවතා දැමිය නොහැකි බව කියා සිටිමි. එබැවින්, මේ රටේ ජනතාව ගැන, ඔය තඩි පිරිමි තරම්ම හෝ ඊටත් වැඩි අවංක වගකීමක් සහ ආදරයක් මා තුළ ඇති අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තැනිය හැක්කේ ප්‍රගතිශීලී විවේචන වලට සවන් දීමෙන් පමණක් බව විශ්වාස කරමි.

ස්තුතියි!

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.