Colombo Telegraph

ජනාධිපතිවර​ණ රාත්‍රී කුමන්ත්‍රණයේ සුල මුල: නීතිපතිවරයා කුමන්ත්‍රණය​ වැළැක්වූ අයුරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප‍්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා නිහතමානීව බලය අතහැර ගෙදර යන පින්තූරවලින් පුවත්පත්, රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය අරක්ගත්තේය. ඊට ටික වේලාවකට කලින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හදවතට බලවත් තැන්වලින් එල්ල වීමට ගිය මාරක පිහි පාරක් පිළිබඳ පින්තූර එම වාර්තා තුළ දැක ගන්නට නොතිබුණි. එම පිහි පහරින් අනූනවයෙන් බේරුණේ, නීතිපති යුවන්ජන් විජේතිලක සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ එඩිතර මැදිහත් වීම නිසා ය.

ජනවාරි 8 වැනි දා හවස ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කාලය අවසන් වන අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් සිටියේ ළඟ එන ජයග‍්‍රහණයක් ගැන අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, පාලන තන්ත‍්‍රයේ ඉහළ ස්ථර, අත්තනෝමතික ඕනෑම පාලන තන්ත‍්‍රයක් කරන්නා සේ, වෙනත් තුරුම්පුවක් ද අතේ තියාගෙන සිටියේය.

ඇඟ කිලිපොලා යන ප‍්‍රවෘත්තිය රටේ සාමාන්‍ය ජනතාවට යාමට කලින් අරලියගහ මන්දිරයට ආවේය. ඒ, රාත‍්‍රී 10 ට පමණ තැපැල් ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමට පටන් ගත් පසුවයි. එහෙත් එය මිශ‍්‍ර ප‍්‍රතිඵලයක් සේ පෙනෙන්ට තිබු නිසා නිශ්චිත තීරණයකට පැමිණීම උගහට විය.

කෙසේ වෙතත්, අඩු වශයෙන් ජනාධිපතිවරණ තුනක සහ පාර්ලිමේන්තු මැතිවරණ හතරක අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂට තමන් ඉදිරියේ ලියැවී ඇති ඉරණම කියවා ගැනීම අපහසු නොවීය: විනාශය එහෙන් මෙහෙන් එබිකම් කරමින් තිබුණි. තැපැල් ඡුන්ද සමන්විත වන්නේ රජයේ සේවකයන්ගෙනි. රජය සිතා සිටි ආකාරයට, මේ ගැහැනුන් සහ පිරිමින් ඔවුන්ගේ ජීවිකාව ගැන ජනාධිපතිවරයාට ණයගැති ය. එසේම, ත‍්‍රිවිධ හමුදාවේ ගැහැනුන් සහ පිරිමින්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අන්ධ භක්තියකින් සිටිතැ යි විශ්වාස කෙරුණි. එවන් පිරිසක් අතරින් ප‍්‍රකාශයට පත්ව ඇති ඡුන්දයේ ස්වභාවය තමන් හිතූ ආකාරයෙන් නොවන බව වැටහුණු විගස, විධායක ජනාධිපති ධුරය වෙනත් අතකට මාරු නොකොට සිටීමේ ඊළඟ වැඩ පිළිවෙල ගැන ජනාධිපතිවරයා සහ ඔහුගේ සගයෝ සළකා බලන්නට වූහ.

ජනවාරි 9 වැනි දා උදෑසන 3 ට පමණ, නීතිපති යුවන්ජන් විජේතිලකට අරලියගහ මන්දිරයෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ වහාම ඔහු අරලියගහ මන්දිරයට පැමිණිය යුතු බවයි. ඊට පැය කිහිපයකට කලින්, කොළඹ සහ ඒ අවට ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් අවට, පනාගොඩ යුද හමුදා කඳවුරේ බලඇණි කිහිපයක් යොදවා තිබුණු බව නීතිපතිවරයා දැන සිටියේ නැත.

අරලියගහ මන්දිරයට යාමට කලින් සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්නට දුරකථනයෙන් ඇමතූ නීතිපතිවරයා, තමාව අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවත්, අවශ්‍ය වුවහොත් නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඇය සූදානමින් සිටිය යුතු බවත් දන්වා සිටියේය. අරලියගහ මන්දිරයට ළඟා වූ සැණින් නීතිපතිවරයාව රැුස්වීම් කාමරයකට කැඳවාගෙන යන ලදි. අවුරුදු 35 ක දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ඔහු දැක නැති දර්ශනයක් එහි දී ඔහුට අභිමුඛ විය.

මහජන සේවාව පිළිබඳ හැඟීමක් ඇති ඕනෑම ඉහළ නිලධාරියෙකු තිගස්සවන තරම් වන පිරිසක් එහි උන්හ. ජනාධිපති මහින්ද රාජපක්ෂ අසළින් වාඩි වී සිටියේ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජී. ඇල්. පීරිස් සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල පමණක් නොවේ, රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් පුටුව හොබවන අග‍්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් ද එහි විය.

මේ පිරිස සිය සැලැස්ම විස්තර කොට, ඒ සැලැස්මේ නීත්‍යානුකූල භාවය නීතිපතිවරයා විසින් සහතික කරන්නේ නම්, ඊළඟට අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරුන්ට උපදෙස් දීමට තමන්ට පුලූවන් බව නීතිපතිවරයාට කියා සිටියහ. නීතිපතිවරයා ඉදිරියේ තිබූ ප‍්‍රශ්නය වුණේ, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක යම් හෙයකින් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වුවහොත්, ඒ තත්වය තුළ හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හමුදාව පාරට කැඳවා ඡන්දය ප‍්‍රකාශයට පත්කිරීම අවලංගු කිරීමට නීතිමය අවසරයක් විධායකට සපයාගත හැකි ද යන්නයි.

සදාචාරමය වශයෙන් එම ප‍්‍රශ්නයට දිය හැකි පිළිතුර ගැන නීතිපතිවරයාට කිසි කුකුසක් නොවුණි. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම නතර කිරීමට හෝ අවසාන මැතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කිරීමෙන් මැතිවරණ කොමසාරිස්වරයාව වැළැක්වීමට හෝ කිස ව්‍යවස්ථාමය අවසරයක් තිබුණේ නැත. මේ කුමන්ත‍්‍රණය පිළිබඳ පුවත හැකි ඉක්මණින් අරලියගහ මන්දිරයෙන් ඉවතට රැුගෙන යාමේ හදිසි අවශ්‍යතාව දුටු නීතිපතිවරයා තමාගේ තීරණය ගැනීම සඳහා සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්නට ඇමතිය යුතු බව දන්වා සිටියේය.

රැුස්ව සිටි පිරිස ඉදිරියේම නීතිපතිවරයා බිම්බා තිලකරත්නට දුරකථනයෙන් ඇමතුවේය. අදාළ ප‍්‍රශ්නය විස්තර කොට උපදෙස් ඉල්ලූවේය. සිදුවී තිබෙන දේ වටහාගත් තිලකරත්න ද, කුමන්ත‍්‍රණය ගැන තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට කතා කොට, ඔහුගේ උපදෙස් ද ඉල්ලා සිටියාය.

නීති විශේෂඥයන් තිදෙනාටම, තමන් ඉදිරියේ ඇති ‘‘නීති්‍යානුකූල භාවය’’ පිළිබඳ ප‍්‍රශ්නයේ සැබෑ තත්වය ගැන මනා වැටහීමක් තිබුණි. ව්‍යවස්ථානුකූල භාවයක් හෝ නීත්‍යානුකූල භාවයක් පිළිබඳ ඕනෑම කාරණයක් අවසාන වශයෙන් තීන්දු කෙරෙන්නේ අග‍්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේය. ඔහු, කිසි කැළලක් නැති, අපක්ෂපාතී පුද්ගලයෙකු විය යුතුය. දැන් එම පුද්ගලයා මේ මොහොතේ අරලිගයගහ මන්දිරයේ සිටින්නේ, මේ කුමන්ත‍්‍රණයේ නීත්‍යානුකුල භාවය තමන් ලවා අනුමත කරවා ගැනීම සඳහා බලපෑමක් වශයෙන් බව, නීති විශාරදයන් තිදෙනාටම අවබෝධ විය.

සත්තකින්ම මේ පිරිස තමන්ගෙන් අපේක්ෂා කරන්නේ, අදාළ කුමන්ත‍්‍රණයේ පාර්ශ්වකරුවන් වන ලෙස බවට කිසි සැකයක් ඔවුන්ට නොවුණි. එය, 1962 සහ 1966 අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයන් ද පරදවන තරමේ රාජද්‍රෝහී එකකි.

ලෝකයේ කිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රාජ්‍ය නායකයෙකු, විශේෂයෙන් යක්කු ගස් නගින මහ ?ක, ජනතාවගේ ස්වෛරීත්වය මැන බැලෙන දවසක, ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධානියාව තමන්ගේ නිවසට ගෙන්වා ගන්නේ හෝ ගුරුහරුකම් ගන්නේ හෝ මෙසේ කුමන්ත‍්‍රණය කරන්නේ හෝ නැත. අගවිනිසුරු මොහාන් පීරිස් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට මෙසේ රටේ නායකයා සමග කුමන්ත‍්‍රණය කිරීමෙන් කර ඇත්තේ ඔහුගේ ඒ උත්තරීතර නිලයටත්, ඔහු ආරක්ෂා කිරීමට දිව්රා පොරොන්දු වී සිටින රටේ ව්‍යවස්ථාවටත් මහත් කැළලකි. වෙනත් ආකාරයකින් ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාගෙන් මේ ඉල්ලා සිටින්නේ, රටේ ජනතාවට එරෙහිව, රටේ නායකයා පත්කර ගැනීමට ඔවුන්ට ඇති අයිතියට එරෙහිව තමන් සමග කුමන්ත‍්‍රණයට එක් වන ලෙසයි.

තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවලට රටේ බලගතුම පුද්ගලයන්ගෙන් එල්ල විය හැකි බරපතල අනතුරක තර්ජනය තිබියදී පවා, නීතිපතිවරයාත් සොලිසිටර් ජෙනරාල්වරියත්, ජනාධිපතිවරයාගේ සැලසුමට අවශ්‍ය නීත්‍යානුකූල භාවය තමන්ට සැපයිය නොහැකි බව කියා සිටියහ. ඊළඟට, නීතිමය අධිකාරියකින් තොරව මෙවැනි සැලසුමක් ක‍්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් නැති බව පොලිස්පතිවරයාත්, හමුදාපතිවරයාත් කියා සිටීමෙන් පසු කුමන්ත‍්‍රණ සැලැස්ම වැළලූණි. අරලියගහ මන්දිරයෙන් පිටත් වීමට ජනාධිපතිවරයා තීරණය කෙළේ ඉන් පසුවයි.

අධිකරණයක් ඉදිරියේ මේ සිදුවීම් ඔප්පු කරනු ලැබුවහොත්, එය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම රාජද්‍රෝහී ක‍්‍රියාව සේ සටහන් වෙනවා නොඅනුමානයි. අදාළ විත්තිකරුවන් රජයේ උසස්ම තනතුරුලාභීන් ය. ඇසින් දුටු සාක්ෂිකරුවන්, ලංකාවේ නීති පද්ධතියේ නොකැළැල් සහ ගෞරවනීය පුද්ගලයන් ය. කුමන්ත‍්‍රණයෙන් පරදුවට තැබුණේ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේම අඩිතාලමයි.

අළුත් ආණ්ඩුව මේ ගැන වහාම පරීක්ෂණ කොමිසමක් පත්කළ යුතුව තිබේ. අදාළ සියල්ලන්ගෙන්ම ප‍්‍රකාශ සටහන් කොටගෙන, රටේ ව්‍යවස්ථාවට, රටේ ජනතාවට එරෙහිව කටයුතු කළ මේ සියලූ දෙනාව නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ. එසේ කිරීමට අසමත් වීම, අනාගතයට මාරක පූර්වාදර්ශයක් වනු ඇත. එපමණක් නොව, අනාගතේ පරදින නායකයන්ටත් මේ කුමන්ත‍්‍රණකරුවන්ගේ අඩිපාරේ යාමට දෙන තල්ලූවක් ද වෙනු ඇත.

*ජනාධිපතිවර​ණ රාත්‍රී කුමන්ත්‍රණයේ සුල මුල සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page