1 December, 2020

Blog

රුවන්ඩාවේ ජනඝාතක විළිලැජ්ජාවෙන් පසුව පවා ලෝකය තවමත් කෙලින් සිටීමට අපොහොසත් වෙයි

අට ලක්ෂයකට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ රුවන්ඩාවේ මානව නස්පැත්තියේ විසිවන අනුස්මරණය යෙදෙන මේ අවස්ථාවේ ප‍්‍රකාශයක් නිකුත් කරන ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’, එම ජන සංහාරයෙන් පාඩම් උගෙනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව සාමූහිකව අසමත්ව ඇති බව පෙන්වා දෙයි.

‘තම ජීවිත බේරා දෙන්නැ යි රුවන්ඩාවෙන් නැගුණු මහා විලාප ඉදිරියේ ඇස්කන් වසාගෙන සිටීමේ අපකීර්තිය ලෝකයා භාරගත යුතුව ඇතැ’ යි එම සංවිධානයේ මහ ලේකම් සලීල් ෂෙට්ටි පසුගිය දා කීවේය. ‘ලක්ෂ ගණන් මිනිසුන්ව ඝාතනය කෙරෙන අවස්ථාවේ, අප‍්‍රිකාවත්, ලෝකයේ සෙසු ප‍්‍රජාවත්, කිසිවක් නොකොට අත්බැඳගෙන උන්හ’.

RWANDA-GENOCIDEපණිවිඩය පැහැදිළි ය. එවැන්නක් නැවත කිසි දවසක ඇති වීමට ඉඩ තැබිය යුතු නැත. එහෙත් නායකයන් තමන්ගේ අතින් සිදු වූ වැරදි පිළිගෙන ඇතත්, එම පාඩම අනාගතය සඳහා ප‍්‍රායෝගික භාවිතයේ යොදා ඇති බවක් නොපෙනේ. අප අද මුහුණදෙන, එළැඹෙමින් ඇති මහා ව්‍යසනයන් ඉදිරියේ, ඒවා වැළැක්වීමට ආණ්ඩු මගින් පියවර නොගෙන සිටීමෙන් පෙනෙන්නේ එයයි.

ඒ මහා විනාශයෙන් විසි වසරක් ගෙවී ඇති අද, මධ්‍යම අප‍්‍රිකානු සමූහාණ්ඩුවේ සහ දකුණු සුඩානයේත්, ඉන් එපිටටත් එදා රුවන්ඩාවේ ගිගුම් දුන් බිහිසුණු දෝංකාරය පැතිරෙමින් තිබේ. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ මෑතක සිට පෙළ ගැසෙන සිදුවීම් අනුව පෙනී යන්නේ, කලාපීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවේ අසමත් භාවයයි. අද මධ්‍යම අප‍්‍රිකානු ජනරජය තුළ මහ පරිමාණ වාර්ගික සුද්ද කිරීමක් සිද්ධ වෙයි. දකුණු සුඩානයේ ද, වාර්ගිකත්වය සහ දේශපාලන හිතෛෂී භාවයන් මත, පුද්ගලයන්ව ඝාතනය කොට සහ ¥ෂණය කොට තිබේ.

අප‍්‍රිකාවේ මහපරිමාණ අපරාධ පිළිබඳ වගවීමක් ස්ථාපිත කරමින්, ශක්තිමත් සාමසාධක ක‍්‍රියාන්විතයන් දියත් කිරීමට අසමත් වීම නිසා, අළුත් ඛේදවාචක ඇති වීමට මග සැලසෙයි. අප‍්‍රිකානු සංගමයේ මැදිහත් වීම් තිබියදීත්, ප‍්‍රංශ සාමසාධක හමුදා සිටියදීත්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සිදුවන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව, 2013 දෙසැම්බර් මාසයේ සිට ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’ විසින් පරීක්ෂණ සිදු කරමින් සිටී. මිනිස් ඝාතන, කාන්තා ¥ෂණ සහ වධහිංසා පැමිණවීම්, එම රටේ දිනපතා සිදුවෙයි. වාර්ගික පවිත‍්‍රකරණයන් නිසා ලක්ෂ ගණන් මුස්ලිම් ජාතිකයෝ අසල්වැසි රටවලට සරණාගතයන් වශයෙන් පැමිණෙති. ඔවුන්ට එම රටවල ජීවත් වීමට සිදුව ඇති අභාග්‍ය සම්පන්න තත්වය, තවත් මානව අබග්ගයකට අඩිතාලම් දැමීමකි.

‘පරීක්ෂණ පවත්වා ඇති අපේ සමීක්ෂකයන්, මුළු මධ්‍යම අප‍්‍රිකානු ජනරජය පුරාම පැතිරෙමින් ඇති වාර්ගික පවිත‍්‍රකරණයක් ගැන වාර්තා සපයා තිබේ. පිරිමින්ව, ගැහැනුන්ව සහ ළමුන්ව ඝාතනය කෙරෙද්දී සාම සාධක හමුදා පේන තෙක් මානයකවත් දකින්නට නැති’ බව, ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහ ලේකම්වරයා කියයි.

හැකි ඉක්මණින්, එක්සත් ජාතීන්ගේ අමතර සාමසාධක හමුදා එම රටට යැවීමට ගන්නා උත්සාහයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, යුරෝපයේ සහ අප‍්‍රිකානු සංගමයේත් නිලධාරීවාදී වැසැංගීම් සහ දේශපාලන කඹඇදීම් නිසා ව්‍යර්ථ වීම, පිළිගත හැකි තත්වයක් නොවේ. ඒ හේතුවෙන් දකින්නට සිදුව ඇති ප‍්‍රතිවිපාක – මරණය සහ අසරණ භාවය – අති දරුණු ය.

පසුගිය මාස කිහිපය තුළ දකුණු සුඩානයේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය වී තිබේ. 2013 දෙසැම්බර් මාසයේ සිට දසලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගේදොර හැර දමා සරණාගතයන් වශයෙන් වෙනත් රටවලට පළා ගොස් ඇත. මේ රටේ ද, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හරහා මිනිසුන්ගේ ජීවිත විනාශ කෙරෙමින් තිබෙන අතරේ, අපරාධකරුවෝ නිදැල්ලේ සිටිති.

ඇති වී තිබෙන ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන්, දකුණු සුඩානයේ දැන් සිටින සාමසාධක හමුදා සංඛ්‍යාව වැඩි කිරීමෙන්, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම කෙරෙහි තමන්ට ඇති වගකීම පිළිගැනීමට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය දා ඒකමතික එකඟත්වය පළ කෙළේය. එහෙත්, රුවන්ඩාවෙන් උගත් පාඩම් තිබියදීත්, මේ ක‍්‍රියාන්විතය දියත් කෙරෙන්නේ ඉතා මන්දගාමීව ය.

නිරපරාදේ දේපළ විනාශ කිරීමට, රෝහල්වලට සහ පල්ලිවලට පහර දීමට සහ නගර කොල්ලකෑමට රජයේ රජයේ ආධාරකරුවන් සේම විපක්ෂයේ බලවේග ද සහභාගී වි තිබේ. දහස් ගණන් ජනීජනයා රට හැර පළා යන අතර, තවත් ලක්ෂ ගණනක් රට ඇතුළේම අවතැන් වෙති. වැසි සමය ළඟ එන නිසා, පමා නොවී මානව සහනාධාර එම ප‍්‍රදේශවලට නොලැබුණොත්, විශාල මිනිස් ඛේදවාචකයක් ඇති වීමට නියමිතයි. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේත්, දකුණු සුඩානයේත්, දසලක්ෂ ගණනක් ගැහැනු, පිරිමි සහ ළමෝ ආධාර අපේක්ෂාවෙන් සිටිති. ලෝකයා ඒ ගැන දැන්මම පියවරක් ගත යුතුව තිබේ.

පසුබිම් තොරතුරු

රුවන්ඩා ජන ඝාතනය සිදුවුණේ, රුවන්ඩා රජයේ හමුදාවන් සහ උගන්ඩාවේ සිට ක‍්‍රියාත්මක වූ ‘රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණ’ අතර 1990 ඔක්තෝබර් මාසයේ ඇවිළුණු යුද්ධය තුළදී ය. දේශපේ‍්‍රමී පෙරමුණ බොහෝ කොට සමන්විත වුණේ, රුවන්ඩාවේ සුළුතර ජාතියක් වන ටුට්සි ගෝත‍්‍රිකයන්ගෙනි. එහි නායකත්වයේ සිටියේ, 1959 දී සහ 1963 දී, වාර්ගික සංහාරවලින් දිවි ගලවාගෙන රටින් පළා ගිය අයවළුන් හෝ ඔවුන්ගේ දරුවන්ගෙනි.

මේ ගැටුම වර්ධනය වෙද්දී, ‘රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණට’ පක්ෂපාතී යැයි පෙනෙන ඕනෑම කෙනෙකුට පහර දෙන ලෙස, හුටු ගෝති‍්‍රක ආණ්ඩුව සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වූ කලී, බලය ආරක්ෂා කර ගැනීම සඳහා, ටුට්සි ගෝත‍්‍රිකයන්ව සංහාරය කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයකි.

1994 අපේ‍්‍රල් 6 වැනි දා, රුවන්ඩා ජනාධිපති හබියරිමානා සහ බුරුන්ඩි ජනාධිපති එන්තර්යමිරා ගමන් ගනිමින් සිටි අහස්යානයක් වෙඩි තබා බිම හෙලූණු අතර ඔවුන් දෙන්නාම එයින් මියගියහ. පෙර නොවූ විරූ මහා ජන සංහාරය පටන්ගත්තේ එතැනිනි. ආණ්ඩුව සහ ආණ්ඩු බලය හෙබැවූ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංවර්ධනය සඳහා වන ජාතික සමූහාණ්ඩුවාදී පෙරමුණ’ මෙහි දී තම ආධාරකරුවන්ව පුහුණු කෙළේය. ඔවුන්ට කැති මන්නා සැපයුවේය.

1994 අපේ‍්‍රල් 21 වැනි දා, ඒ වන විට රුවන්ඩාවේ ඇවිලෙමින් තිබූ ජන සංහාරය පිළිබඳ තොරතුරු තිබියදීත්, එතෙක් එම රටේ රඳවා සිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාමේ සංඛ්‍යාව, 2500 සිට 270 දක්වා අඩු කිරීමට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කෙළේය. ඉන් පසු, සතියක් පාසා, දසදහස් ගණනින් රුවන්ඩාවේ මිනිසුන් ඝාතනය වෙද්දී, එරට සිටි බෙලහීන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශ කිසිවක් නොකොට බලාගෙන සිටියේය. ඊළඟ තුන් මාසය තුළ, රුවන්ඩාවේ ටුට්සි ගෝත‍්‍රිකයන් සහ ආණ්ඩුවට විරෝධය පෑ හුටු ගෝති‍්‍රක ජනතාව 800,000 කට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණි.

මෙය නතර වුණේ, ‘රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණ’ විසින් 1994 ජුලි මාසයේ දී, රජයේ හමුදාවන් පරාජය කරනු ලැබීමෙන් පසුව පමණි. එසේ ජන සංහාරය අවසන් වීමෙන් පසුව, මේ ‘රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණ’ විසින් ද, මහ පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කරන ලදි.

ගත වු අවුරුදු 20 ක කාලය තුළ, මහා ජන සංහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට විරුද්ධව, ‘රුවන්ඩාව සඳහා වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය’ මගින් සහ යුරෝපයේ සහ ඇමරිකාවේ තවත් විවිධ අධිකරණයන් මගින් නඩු විභාග කොට තිබේ. රුවන්ඩාවෙන් පිට වාසය කරන ජන සංහාරක සැකකරුවන් ගැන පරීක්ෂණ තවමත් පැවැත්වෙමින් තිබේ. මේ අතර, ‘රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණ’ විසින් සිදු කරන ලද අපහරණයන් ගැන කිසි විභාගයක් පැවැත්වෙන්නේ නැත.

*2014 අපේ‍්‍රල් 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The World Still Failing To Act Despite Rwanda Genocide Shame නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.