24 April, 2024

Blog

බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලීම හෙවත් බොදු බල සේනා කල්ලියේ අභාවයේ ආරම්භය

අජිත් දසනායක  –

“චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය

ලොකානුකම්පාය, අත්ථාය හිතාය, බහු ජන සුඛාය, දෙවමනුස්සානං

මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං

ආදි කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යංජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ”

“මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස,ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. මහණෙනි මුල, මැද අග යහපත් වු අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු”

අසංවර භාෂාව භික්ෂුත්වයකට කෙතරම් ගැළපේද?

මේ වන විට ලංකා බෞද්ධ සමාජය තුලද සීග්‍ර ක්‍රියා කාරකම් කොටසක් සිදු වෙමින් පවතී. නමුත් එහි මූලය පරික්ෂා කර බැලීමේදි අපට පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ එය බුදුන් වගන්සේ විසින් දේශනා කරන ලද බහුජන හිතසුව පිණිස යන මූලික සංකල්පයෙන් බැහැරව ඊට ඉදුරාම වෙනත් උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවකි . මෙතුවක් දිනක් බොහෝ ජනයාට උභතෝකෝටිකයක් ලෙස ක්‍රියාත්මක වූ ” බොදු බල සේනාව ” නම් වූ මිසදුටු කල්ලියේ යථා ස්වරූපය කරලියට පැමිණීමේ ධනාත්මක ලක්ෂණයක් ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලීමේ සිද්ධිය වටහා ගැනීම වඩාත් යෝග්‍ය බවකි.

සිත , කය, වචනය, නම් වූ තිදොර සංවර කරගත් ධම්ර්‍ධර , විනයධර භික්ෂු පරම් පරාවෙන් පැවත එන අතලොස්සක් වූ භික්ෂූණ් තවමත් නිවන් අවබෝධ කර ගැනීම නම් වූ තම පරම චේතනාවෙන් මෙන්ම ශාසනයේත්, ධර්මයේත්, පොදු සමාජයේත් උන්නතිය වෙනුවෙන් ඉතා නිහඩ එහෙත් සාධනීය යුතුකම් කොටසක් ඉටු කරමින් සිටින මොහොතක, මිසදුටු අදහස් දරන සිත, කය, වචනය යන තිදොරවත් සංවර කර ගැනීමට අපොහොසත් ධම්ර්‍ධරත්වයෙන් මන්ම විනයධරත්වයෙන්ද පරිහාණියට පත් වූ දුෂ්ශිල ඤාණසාර වැනි චීවරධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කල බෞද්ධ සමාජයේ අයිතිය ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයේ පරාජය මේ අනුව මෙතැන් පටන් ඔවුන් අත් විදිනු ඇත.

දුෂ්ඨ අරමුණු පෙරටු කොට ගත් මෙම කල්ලිය බිහි වීමේ මුල්ම තන පටන් එය බෞද්ධ විරෝධී කල්ලියක් බව අවබෝධ කොට ගෙන සිටීම සාධනීය ලක්ෂණයකි. මෙම කල්ලිය පිලිබදව කන වැකුණු මුල්ම දින වලදිම කල සොයා බැලීමේදී මා විසින් අවබෝද කර ගත් පරිදි එහි අරමුණු බහුජන හිතසුව පිණිස පවතින්නක්  නොවන බව මීට ඉහතදී කීප අවස්ථාවකදීම සදහන් කරන්නට යෙදුනේ එබැවිනි. එසේ උවද මෙම කල්ලිය වටා ආකර්ෂණය වෙමින් සිටි අතලොස්සෙන් බොහෝමයකට එය තේරුම් ගැනීමට නොහැකි වූයේ බෞද්ධ දර්ශණයේ මූලික අරමුණු පිළිබදව ඔවුන් තුල පැහැදිලි වැටහීමක් නොතිබූ නිසා යන්න මාගේ හැගීමයි.

එසේම මෙම දුෂ්ඨ කල්ලියේ ප්‍රධාන අරමුණ දේශපාලඥ්යෙකුගේ  උවමනාවක් බව බොහෝ දෙනෙකු විස්වාස කලද, අතලොස්සකට එම තත්වය වටහා ගැනීමට නොහැකි වූයේද දේශපාලන තත්වයන් විග්‍රහ කර ගැනීමට ඔවුන් තුල පවතින අපොහොසත් කම නිසා බව මා විස්වාස කරමි.

බොදුබල සේනා කල්ලිය දුෂ්ඨ අරමුණු පෙරදැරි කරගත්  මිසදුටු අදහස් දරණ පිරිසකගේ උවමනාවක් බව මේ වන විට ඔවුන් විසින්ම ඔප්පු කරමින් සිටී. ඔවුන්ගේ සටන් පාඨයන්, භාෂා විලාශය සහ ක්‍රියා කාරකම් තුලින් ඒ බව මනාව සමාජයට පසක් කොට දෙමින් සිටී.

මේ කල්ලිය විසින් ඔවුන්ගේ උපරි ව්‍යුහය තුල ප්‍රදර්ශණය කල සටන් පාට හා ක්‍රියාකාරකම්  මේ වන විට පාරාවලල්ලක් වී ඔවුන් වෙත පැමිණෙමින් තිබෙන අතර ඒ සියළු සිද්ධිදාමයන් පසෙක තිබියදී ඔවුන්ගේ උපරි ව්‍යුහයේ සහ අධෝව්‍යුහයේ සැගවී පවතින ක්‍රියාකාරකම් සහ දුෂ්ඨ අරමුණු යමෙකු තේරුම් ගැනීමට උත්සුක වන්නේ නම් එය තේරුම් ගැනීමට බෞද්ධදර්ශණයේ හෝ දේශපාලන දර්ශණය පිළිබදව ඉතා ගැඹුරු හැදෑරීමක් සිදු නොකල එහෙත් යමක් ස්වාධීනව සිතිය හැකි ඕනෑම පුද්ගලයෙකුට අසීරු කාරණාවක් නොවනු ඇත.

මා කැමතියි මාගේ දැණුමේ හැටියට මේ කල්ලිය සහ ඔවුන්ගේ මේ පවිටු අරමුණු පිළිබදව මට හැගෙන දේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඔබට හැගෙන දේද මේ ආකරයෙන් සමාජය සමග බෙදා හදා ගනු අතැයි මා අපේක්ෂා කරමි. ඒ සදහා ඔබ ඉදිරිපත් වන්නේ නම් ඔබගේ චින්තාවේ ප්‍රමාණය අනෙකාට දැන ගැන්වීමට අවස්ථාවක් ලබා දීමක්ද වනු ඇත.

මා මෙම චීවරධාරීන් ප්‍රමුක කල්ලියේ මතු පිටින් පෙන්වන සහ ඔවුන් විසින් සමාජයට අණාවරණය නොකර රහසිගතව ක්‍රියාත්මක කරනු ලබන මූලික දුෂ්ඨ අරමුණු පිලිබදවත් එය මෙහෙය වන්නන් සහ ඔවුන්ගේ අරමුණු  පිළිබදවත් මට හගෙන ආකාරය ඔබට පෙන්වා දීම පහසු වනු වස් මෙම මිසදුටු කල්ලිය විසින් සමාජය ඉදිරියේ ගොඩ නගන කරුණු සරළව මෙසේ කැටි කරමි .

* බෞද්ධාගමට තර්ජනයක් ඇත.

* ඇතැමුන් හිතා මතාම ධර්මය විකෘති කරමින් සිටී ලංකාවේ බෞද්ධ ජනගහණය පහල යමින් පවතී

* ශාසනය පිරිහෙමින් පවතී.

* බෞද්ධ දර්ශණය ආරක්ෂා කර ගැනීමට දේශපාලකයින් ඉදිරිපත් නොවේ

* අන්‍යාගමිකයින්ගේ ආක්‍රමණයක් ඇත. ආදී වශයෙන් ඉතා පහසුවෙන් නූගත් මිනිසුන් රැවටිය හැකි පෙරළා ප්‍රස්න නොකරනු ඇතැයි ඔවුන් විසින් අපේක්ෂා කරන තේමාවන් කීපයක් පෙන්වමින් මෙම කල්ලිය විසින් සිදු කරනු ලබන ප්‍රෝඩාව වටහා ගැනීමට නම් මෙම කරුනු සදහා වගකිව යුත්තන් කවුරුන්දැයි මූලිකව සොයා බැලිය යුතුය.

* බෞද්ධාගමට තර්ජනයක් සහ ධර්මය විකෘති කිරීමක් මේ දින වල ලංකාව තුල තදින් සිදුවන බව මාද පිලිගනිමි ඒ වෙනින් කවුරුවත් නොව බොදු බල සේනා නම් වූ මෙම මිසදුටු කල්ලියයි.

මොවුන් විසින් බෞද්ධාගමේ මුලික හරයන් ඉතාමත් අමු අමුවේ විනාශ කරමින් සිටීම බෞද්ධාගමට තර්ජනයක් නොවන්නේද? ධර්මය විකෘති කිරීමක් නොවන්නේද? අවිහිංසාව  මුලික කරගත් බුදුදහමේ එම පදනම විනාශ කරනු ලබන්නේ කෙතරම්නම් දුෂ්ශීල ලෙසද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යනුවෙන් උදේ සවස සිදු කරනු ලබන ප්‍රාර්ථනයන් සියලු සත්වයන් කෙරෙහි බෞද්ධයාගේ සිත් සතන් තුල පැතිර වූ මෛත්‍රී ආකල්පයන් විනාශ කොට දමන්නේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරන්නද විනාශ කර දමන්නද යන්න සිතා බැලිය යුතු වන්නේ සිත කය වචනය යන තිදොර සංවර කර ගත් ධර්මධර, මෙන්ම විනයධරවද කටයුතු කරන සියලු සත්වයන් උදෙසා කරුණාව මෛත්‍රීය පෙරදැරි කරගෙන කටයුතු කරනු ලබන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් වූ සිව්වනක් පිරිසම වන්නෝය.

යම් ආගමක මූලික සංකල්පයන් විනාශ කිරීම යනු එම ආගම හා දර්ශනය විනාශ කිරීමක්ම වන්නේය. මේ දුෂ්ඨ කල්ලිය විසින් සමාජය තුල ගොඩනගන්නට උත්සාහ කරන්නේ කරුණාව මෛත්‍රීය පෙරදැරි කරගත් අවිහිංසාවාදී බෞද්ධයා වෙනුවට ඊර්ෂ්‍යාව, වයිරය, ක්‍රෝධය,තෘෂ්ණාව,භය,මෝහය වැනි දුෂ්ශීලයන්ගෙන් පිරිපුන් අබෞද්ධයින් කොටසක් නොවේද? මොවුන් මේ විනාශ කරනු ලබන්නේ  ලංකා සමාජය තුල පවතින බෞද්ධ පදනම පමණක් නොව මේ වන විට බටහිර ප්‍රමුඛ ලොව පුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බෞද්ධ දර්ශනයේ පදනමයි.

එසේම ලංකාවේ සිංහල ජන පදනම පහළ යමින් පවතින බව ඔවුන් විසින් සමාජ ගත කිරීමට  උත්සාහ කරමින් සිටියි. සත්‍ය ලෙසම මෙය කුමන සංඛ්‍යා ලේඛණ  පදනම් කරගනිමින් ගොඩ නගන ලද තර්කනයක්ද? සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව සැමටම ඉතා පහසුවෙන් සොයා බැලිය හැකි මූලාශ්‍රයක් ලෙස මා ඔබට විකිපීඩියා තොරතුරු අඩවියට ගොස් එහි යථා ස්වරූපය වටහා ගන්නා ලෙස යෝජනා කරමි.

ඒ අනුව

1881 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනයේ ප්‍රතිශතය වන්නේ 66.91% වේ. එය 2011 වර්ෂය වන විට 74.88% කි.

1881 වර්ෂය වන විට ශ්‍රී ලාංකික දමිළ ප්‍රතිශතය 24.90% වූ අතර එය 2011 වර්ෂය වන විට 11.21% ලෙස සදහන් වේ.

1881 වන විට 6.69% ක් වූ මුස්ලිම් ජනගහනය වර්ෂ 2011 වන විට 9.23% කි.

මේ ආකාරයෙන්ම ආගමික පදනම සලකා බලන කල

වර්ෂ 1881 වන විට 61.53%ක් වූ බෞද්ධ පදනම වර්ෂ 2012 වන විට 70.19%කි.

1881 වර්ෂය වන විට 21.51%ක් වූ හින්දු ආගමික පදනම වර්ෂ 2012 වන විට 12.61%කි.

වර්ෂ 1881 වන විට 7.17%ක් වූ මුස්ලිම් පදනම වර්ෂ 2012 වන විට 9.71% කි.

වර්ෂ 1881 දී 9.71% ක් වූ ක්‍රිස්තියානි ආගමික පදනම වර්ෂ 2012 වන විට 7.45% කි.

http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

ඔබ බෞද්ධයකු ලෙස යමෙක් කියන කරන නිසා ඔබත් එය අනුගමනය කරනාවාට, විශ්වාස කරනාවාට වඩා ඒ පිළිඹද සොයා බලා විමසිලිමත්ව එම ප්‍රත්‍යක්ෂයන්ට එළඹීමට ඔබට හැකිය. ශාසනයේ පිරිහීමක් පිලිබඳවනම් මාද විශ්වාස කරමි. එය ශාසනයේ පමණක් නොව මුලු මහත් සමාජයේම පිරිහීමක් ලෙස මා සළකමි. එසේ නොවන්නේනම් මෙවැනි මිස දුටු කල්ලියකට මේ බෞද්ධ සමාජය තුළ මෙලෙස දුර්මතයන් පැතිරවීමට පිරිසක් එක් නොවනු ඇත. මෙය වර්ෂ 1956 සිට බෞද්ධ සමාජයත් ශාසනයත් නතු වීමේ ප්‍රතිඵලයක් ලෙසත් දෙශපාලකයන් විසින් ආගමික පදනම තම පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමක ප්‍රතිඵලයක් ලෙස මිසක් අහඹුවක් නොවන බව මාගේ හැගීමයි.

ශාසනයේ පිරිහීමක් ඇත්නම් එය නැවත ගොඩනගන්නට වන්නේ පාරට බැසීමෙන් හෝ තව කෙනෙකුගේ දේශපාලන අතකොලුවකු නොවන අත එහිදී කලයුතු වන්නේ කුමක්දැයි යන්න කතිකා කර ගත යුත්තේ සංඝ සමාජය තුළදී මෙන්ම බෞද්ධ සමාජය තුලද ධාර්මික කතිකාවතක් ගොඩ නන්වා ගැනීමෙනි. මෙය ආකාරයටම ගිහි පැවදි බෞද්ධ සමාජයේම පිරිහීමක් ඇත්නම් එය ආරක්ෂා කර දෙන මෙන් එය ගොඩ නන්වා දෙන මෙන් දේශපාලකයකුගෙන් ඉල්ලා සිටීම මොන තරම් නම් විහිලු සහගත ක්‍රියාවක්ද? ලක්ෂ ගනණක මිනිසුන් තමන් වටා සිටිනවායැයි පුරසාරම් දොඩන මේ චීවරධාරියා ඇතුලු කල්ලියට යෝජනා කල යුතු වන්නේ හැකිනම් ලක්ෂ ගනණක් සිටින පිරිස අතුරින් පනස් දාහක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කණ්ඩායමක් ගොඩ නගා ඔවුන්ට පුරුදු පුහුණු කොට එක් වසරක් දෛනිකව ග්‍රාමයෙන් ග්‍රාමයට ගෙයින් ගෙට ගොස් සියලු සත්වයන් හට කරුණාව මෛත්‍රිය පෙරදැරි කොට ගත් බහුජන හිත සුව පිණිස ධර්ම ප්‍රචාරක චාරිකාවක නියලෙන ලෙසයි. සිත කය වචනය සංවර කොට ගෙන අඩුම තරමින් පන්සිල් පද පහවත් රැකගෙන ප්‍රතිපත්ති පූජාවක යෙදී පෙන්වන ලෙසයි. එහෙත් මෙහි හාස්‍ය වන්නේ මෙම කල්ලියේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන දෙශපාලන බළල් අතක් වූ ඥාණසාර නම් වූ චීවධාරීයාටවත් පන්සිල් පද පහ ආරක්ෂා කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුල අනුගාමිකයින් පනස්දාහක් ගොඩනගන්නේ කෙසේද යන්නයි.

මා ඉහතින් සදහන් කලේ මේ දුෂ්ඨ කල්ලියේ මතුපිටින් පෙන්වනු ලබන කරුණු වලින් කිහිපයක් පමණයි. බොහෝ මිනිසුන් දකින්නේ මේ ක්‍රියාකලාපයයි. නමුත් මෙහි සැඟවුනු දෙශපාලන හස්තය හදුනා ගැනීම ද ඉතා වැදගත් කාරණාවකි. මෙම දුෂ්ඨ කල්ලියේ මූලික අරමුණ ශාසනය බෞද්ධාගම හෝ ඊට අදාළ වෙනත් කරුණක් නොවන බව පැහැදිළිය. මතු පිටින් දකින වීරයන් කෘතිම ලෙස මවාපාන ලද රූකඩයින් මිසක් තම හර්දය සාක්ෂියට එකඟව සැබෑ වුවමනාවෙන්, සද්භාවයෙන් කටයුතු කරන පිරිසක් නොව ඉතාමත් දුෂ්ඨ පාපී චේතනාවන්ගෙන් යුත් කල්ලියකි. මෙම කල්ලියෙහි මහා මොළකරු ඉතාමත් සියුම් ලෙස ඔවුන්ව හසුරවමින් සිටී. මදක් සිතන්න, මේ කල්ලිය මෙතුවක් කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ පසු විපරමක් කර බලන්න. ඔවුන් විසින් අභියෝගයට ලක් කළ පිරිස කවුදැයි සොයා බලන්න.

පළමුව කූරගල සිද්ධිය පිළිබඳ සිතන්න. රට තුල පවතින නීතිය අනුව කටයුතු කළත් ඒ කෙරෙහි විශ්වාසයක් නොතබා ඒ සඳහා සෘජුව මැදිහත් වූ මැදිහත්කරුවා කවුද? නීතිමය කටයුත්තකට තනි පුද්ගලයකු මැදිහත්ව යුක්තිය පසිඳලන්නේ කෙසේද? එවිට නීතිය නම් වූ සමාජ සම්මුතියට වඩා තනි පුද්ගලයෙකු බලවත් වන්නේ කෙසේද? මෙය දැකිය හැක්කේ බරවා රොගියෙකු යොධයකු කිරීමක් ලෙසයි. එසෙත් නැත්නම් රොගී තත්වයක් මත ඇති වූ තරබාරු රෝගියෙකු යෝධයකු ලෙස අර්ථ ගැන්වීමක් ලෙසයි. රටේ පාලන බලය හොබවන මහින්ද රාජපක්ෂ ඇතුලු පවුල් පාලනය තුලදී ඒ රටේ පවතින නීතිය නිසි ආකාරව ක්‍රියා නොවන්නේ නම් හෝ රටේ පවතින වෙනත් ආයතනයක් අකර්මණ්‍යව ඇත්නම් එහි වගකීම දැරිය යුත්තෝ පාලකයින් නොවන්නෝද?  නමුත් මෙහි සිදු වන්නේ කුමක්ද ?ඒ අඩු පාඩුව විවේචනය කරනවා වෙනුවට ඒ පාලකයින්ට එම අකර්මණ්‍ය වූ ආයතනයන් නගා සිටු වීමට බල කරනවා වෙනුවට එම අකර්ණම්‍යතාවයට වග කිව යුත්තන්ගෙන් කෙනෙක් තෝරා ඔහු නිසා යුක්තිය පසිදවා ගැනීමට හැකි වූ බව පවසා සමාජය තුලට වැරදි අර්ථකතනයක්  ලබා දෙන්නේඑය කෙතරම්  නරක වූ ආදර්ශයක්ද ? මෙම තත්වයට වග කිව යුත්තන් යෝධයින් කිරීමටත් ඔවුන් ජාතියේ ගැලවුම් කරුවන් කිරීමටත් ඉතා සියුම් ලෙස සමාජය තුල යම් මතවාදයක් ගොඩ නැගීමටත් මේ පිරිස දායක වන්නේ කෙතරම් සටකපට ලෙසද ?

මෙය සැළසුම් සහගතව සිදු කළ පහත් පෙලේ කුමන්ත්‍රණයකි. මේ වන තෙක් මෙම දුෂ්ඨ   කල්ලියේ කිසිවෙක් රාජපක්ෂ හිතවාදීන්ව විවේචනය කර ඇත්ද? ඔවුන්ට එරෙහිව ඇත්ද? ඩිලාන් පෙරෙරා ඇමතිවරයාට එරෙහිව කථා කළ අසංවර භාෂාව භික්ෂුත්වයකට කෙතරම් ගැළපේද? සිත කය වචනය අසංවර විනයෙන් පිරිහුන අවම තරමින් බොහෝමයක් ගිහියන් විසින් රකිනු ලබන පංච ශීලයෙහිවත් පිහිටා කටයුතු කළ නොහැකි චීවරධාරීන් බෞද්ධත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එවන් දුෂ්ශීල චීවරධාරීන් ශාසනයෙන් නෙරපා හරින තෙක් තමන් දන්නා බෞද්ධකම රැකගෙන එවන් දුෂ්ශීල කල්ලියකට නතු නොවී සිටීම වඩාත් වැදගත් වනු ඇත.

ඩිලාන් පෙරේරා ඇමතිවරයාට මේ ආකාරයෙන් පරුෂ වචනයෙන් කථා කිරීමට ඔවුන්ට අවස්තාවක් උදා වන්නේ මෙම ඇමතිවරයා පිළිබඳව රාජපක්ෂ පවුල් පාලනයට සුභවාදී ආකල්පයක් නොවන බැවිනි. මන්ද ඔහු කලින් චන්ද්‍රිකා හිතවාදීයෙකි. මෙම යථාර්තය සමාජයෙන් සැඟවීමට උත්සහා කළද එය අනාගතයේදී සාර්ථක නොවනු ඇත. මෙහීදී යමෙකුට තර්ක කළ හැකි එම චීවරධාරියා විසින් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාවත් දෝෂාරෝපණයට ලක් කළ බව එම දුෂ්ඨ කල්ලිය හරහා ඉටු කර ගනිමින් සිටින්නේ ඉතාමත් පටු දේශපාලන අරමුණුය. එම යතාර්ථය තුළ මෙම කල්ලිය මෙහෙයවන ගෝඨාභය රාජපක්ෂ නම් වූ ප්‍රතිරූපය සමාජය තුළ ගොඩනන්වා ගැනීම නම් වූ පුද්ගලික වුවමනවන් ඉටු කරන කල්ලිය මොවුන් වීමයි. ඒ තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට හෝ වෙනත් සමාජ අර්බුදයන් නිර්මාණය කොට එහි මැදිහත්කරු ලෙස ක්‍රියාකිරීමෙන් එම තත්ත්වය කලමනාකරණය කර තම ප්‍රතිරුපය ගොඩ නගා ගැනීමෙන් එහා ගිය සමාජීය අරමුණක් නොමැත. මේ සඳහා හොඳම නිදසුන නම් පානීය ජලය ඉල්ලා හඬ නැගූ රතුපස්වල ජනයාගෙන් කිහිපදෙනෙකු කෲර ලෙස ඝාතනය කොට දරුනු ලෙස පහර දී වධ බන්ධනයන්ට  ලක්කොට මර්ධනය කිරීමයි. තම පවුලේ බල අරගලය තුළදී මේ වන විට ජාත්‍යන්තරව වඩාත් වාසි සහගත තත්ත්වයක් ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා වෙතයි. එම ප්‍රතිරූපය විනාශ කිරීම මේ සියලු කුමන්ත්‍රනයන්ගේ අරමුණයි. ඥාණසාර චීවරධරීයා විසින් බැසිල් රාජපක්ෂට එරෙහි වීමට හයියක් ගන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් මිසක් තම කල්ලියේ හෝ තමන්ගේ ශක්තියෙන් නොවන බව අවධාරනය කළ යුත්තකි.

මේ තත්තවය තුළ බුද්ධ ශාසන  අමාත්‍යංශය ගෝඨාභය රාජපක්ෂ යටතට පැවරීම ඉල්ලා සිටීමෙ උවමනාවද ගෝඨාභයගේම මිසක් මෙම කල්ලියේ හෝ සමාජීය උවමනාවක් නොවන බව පසක් කොට ගත යුත්තකි. බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් හෝ රට හෝ පිරිහී ඇත්නම් කළ යුතු වන්නේ එම පිරිහීමට වග කිව යුතු පාලන තන්ත්‍රය පළවා හැර රටත් එහි වෙසෙන ජනතාවත් නගා සිටු විය හැකි පලන තන්ත්‍රයක් බලයට පත් කිරීම මිසක් එම දුර්වල පාලන තන්ත්‍රයට වග කිව යුතු අයෙකුගේ ප්‍රතිරූපය ගොඩ නැන්වීම නොවන බව ඉතාම සරළ තර්කනයකි.

ඒ හා සමගම මෙතුවක් මා ඔබ වෙත ඉදිරිපත් කලේ පවතින සමාජ සංසිද්ධීන් තුලින් මා මාගේ  පරිකල්පන ශක්තිය  මත ගොඩ නගා ගන්නා ලද අදහස් සමුදායකි එමෙන්ම එහි තවත් දිගුවක් ලෙස මෙම ඥාණසාර නම් වූ චීවරධාරියා රැක බලා ගැනීම ඔහුවටා සිටින ගෝල බාලයින්ගේ යුතුකමක් සේ මා සලකමි. මන්ද මෙම කල්ලිය මගින් ඉටු කර ගත යුතුවූ වැඩ කට යුතුවලින් විශාල ප්‍රමාණයක් මේ වන විට අවැසි උදවිය සම්පූර්ණ කොට ගෙන ඇති බව මාගේ හැගීමයි. මන්ද මෙය මෙහෙයවන අදිසි හස්තයද තමන් මේ කරන්නේ දැලි පිහියෙන්  කිරි කෑමක් බව හොදින්ම දන්නා බැවිනි . ඔහු මේ වෙහෙස මහන්සි වී ඇති දැඩි කරන ලද්දේ ඇතෙකි.

නමුත් මේ ඇතා ලෙස ඇති දැඩි කිරීමට උවමනා උවහොත් ඉතා ඉක්මනින් සමාජීය වශයෙන් විනාශ කර දැමිය හැකි දුර්වලයෙකු තෝරා ගත්තේ මෙය දැලි පිහියෙන් කිරි කෑමක්  බව හොදාකාරයෙන්ම දන්නා බැවිනි. බුද්ධ ශාසන අමාත්‍යංශය ඔහුට ලබා ගැනීම අපහසු දෙයක් නොවූවද මෙහිදී සිදු කරන්නේ එය සමාජීය ඉල්ලීමක් වශයෙන් ඉදිරියට දමා ගැනීමයි . මේ ආකාරයෙන් දැඩි සමාජීය  ඉල්ලීමක් මත මෙම අමාත්‍යංශය බාර ගැනීම මෙම නාටකයේ අවසන් ජවනිකා කීපයයි . ඉන්පසු මෙම බලසේනා කල්ලියේ කාර්ය භාරය අවසන් . මෙම කල්ලිය ඉන් පසු පැවතීම මෙම මෙහෙයුම් කරුවාටද බාදාවකි. මෙම නව අමාත්‍යංශය නුදුරේම ගෝඨාභය රාජපක්ෂ වෙත විතැන් වනු ඇති . ඉන් පසු ලංකාවේ සිටින එකම සහ හොදම බෞද්ධයා වනු ඇත්තේ ඔහු පමණකි. මෙහි සරළ යථාර්තය නම් මේ වන විට 70% කට වඩා වන බෞද්ධ ජන්ද පදනමයි.

අනෙක් ජන්ද දායකයි ජාතීන් ලෙසත් ආගමික කුඩා කණ්ඩායම් ලෙසත් ජාතික ජන්ද පදනමෙන් වෙන් කොට දැමූ පසු ලංකාවේ ප්‍රධාන පක්ෂ තුල වන බල අරගලය ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ සිටින එකම ( ප්‍රභූ පවුල් වලින් පැවතෙන ) සහ හොදම බෞද්ධයා ලෙස සියයට 70% ජන්ද පදනමින් අඩක් දිනා ගැනීම මෙහි එකම අරමුණයි.එබැවින්  මෙම චීවරධාරියා වටා මෙහෙයුම් කරුවාගේ උවමනා වන් ඉටු කිරීමට සිටින්නම් හැර අනෙක් ඇත්ත ගෝල බාලයින්ගේ ප්‍රධාන වගකීම විය යුත්තේ ඔහුව ආරක්ශා කිරීමයි. මන්ද ඔහුගේ ආරක්ශාව වෙනුවෙන් ඩිපෙන්ඩර් රථයක් ලබා දීමම සැක සහිතය. එමගින් සමාජය වෙත ගම්‍ය කරනු ලබන පණිවිඩය වනුයේ මෙම චීවරධාරියාට මේ වන විටද ජීවිත තර්ජනයක් තිබූ බව මවා පෑමයි. ඇතුගේ වටිනා කම දෙවිදියටම ලබා ගැනීමට මෙම මෙහෙයුම් කරුවා ඉතාමත් සූක්ෂමය, තියුණුය. එම නිසා මෙම බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය ගෝඨාභය මහතා භාර ගැනීමෙන් අනතුරුව ඉන් එහා ඇති විය හැකි තත්වයන් සමනය කර ගැනීමටත්, නුදුරු අණතුරු කල් තබා අවබෝධ කර ගැනීමටත් සිහිණුවනින් යුතුව හැම අවස්ථාවකදීම කට යුතු කිරීමට ඇති හැකියාවත් ඉතාමත් වැදගත් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    The best article in this regard which I have read so far is in the below link. A true eye opener written in Sinhala language by an ex-patriot Sri Lankan Professor

    http://chandimagomes.blogspot.com/2013/08/to-protect-buddhism-in-sri-lanka.html

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy
    https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    Chandima Gomas ඔබගේ ලිපියේ සදහන් බොහෝමයක් කරුණු සමග එකග වන නමුත් සමහර කරුණු සමග එකග විය නොහැකිය. ඔබ ඥාණසාර නම් වූ බෞද්ධ වේශධාරී චීවරධාරියාව යම් පමණකට ග්‍රහණය කර ගත්තද. යම් තැනක ඔබට සිරවී ඇතැයි සිතමි . ඒ කොතනක දැයි විමසා දැන ගැනීමට ඔබ විසින්ම නැවත නැවතත් ලිපිය කිය වන්නේ නම් මැනවි. ඒ පහසුව තකා මා ඔබට බෞද්ධ දර්ශණය යනු කුමක්දැයි තව දුරටත් සිතන මෙන් ඉල්ලා සිටිමි. එය ඔබට පිටුවහලක් වනු නිසකය. මෙහිදී මා ඔබට කියන්නේ ගාතා කටපාඩම් කොට පාලි වචන දන්නා බැවින් ධර්මධර තැනැත්තෙකු බව හැගවීම නොවන බව ඔබ තේරුම් ගන්නවා ඇතයි මා සිතමි. කෙසේ වෙතත් ඔබ ලබා දුන් ප්‍රතිචාරයට බොහෝමයක් ස්තුතියි.

  • 0
    0

    To akda5050: Can you please make this comment in Prof. CGs blog. He will be happy to read your comment.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.