18 June, 2019

Blog

පාස්කු ඉරිදා මහා ඝාතනය සහ නායකත්වයේ මහා අසාර්ථකත්වය

ආචාර්ය අමීර් අලි

ආචාර්ය අමීර් අලි

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි දවසක මෙතරම් සූක්ෂම අන්දමින් සැලසුම් කොට, මෙතරම් සාර්ථකව දියත් කළ, මේ සා විශාල විනාශයක් ඇති කිරීමට සමත් වෙනත් සිදුවීමක් සොයා ගැනීමට නැත. මේ මහා විනාශය සැලසුම් කළ, හදවතක් නැති, විකෘති මනසක් ඇති අපරාධකරුවන්ට ආගමක් නැත. සදාචාර කල්ක‍්‍රියාවක් නැත. මිනිස් වර්ගයා සඳහා වන අබැටක ආදරයක් නැත. ඔවුහූ අධමයෝ ය. නීචයෝ ය. ඔවුන්ගේ ඒ නිහීන ක‍්‍රියාවෙන් රටත් ජනතාවත් ඉමහත් කම්පාවට පත්ව සිටිති. සිදු වූ දේ අමතක කිරීමට තව පාස්කු ඉරිදාවන් කිහිපයක්ම ගතවනු ඇත.

මේ නිහීන ක‍්‍රියාව මුළුමණින් දේශීය වශයෙන් සැලසුම් කොට ක‍්‍රියාවට නැංවී ද, පිටරටක සැලසුම් කොට දේශීය ගැත්තන් විසින් ක‍්‍රියාවට නංවන ලද්දක් ද, එසේත් නැත්නම් වෙනත් විදේශ බලවේගයක් විසින් වෙනත් රටක කරන ලද යම් සංහාරයකට පලිගැනීමක් වෙනුවෙන් මෙරටේ කරන ලද්දක් ද යන්න තවම පැහැදිලි නැත. කෙසේ වෙතත්, ත‍්‍රස්තවාදය මේ වන විට ගෝලීය ප‍්‍රපංචයක් බවට පත්ව ඇති අතර කිසි රටකට එයින් විනිර්මුක්තව සිටිය හැකි නොවේ.

මේ රුදුරු අපරාධය පිළිබඳ සියලූ කරුණු හෙලිදරව් කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවත්, එහි බුද්ධි අංශ සහ ආරක්ෂක අංශත් සමත් වන බවට සැකයක් නැත. ඒ අනුව, අදාළ අපරාධකරුවන්ට එරෙහිව නීතියේ අධිකාරය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කළ යුත්තේය. ඒ අතර, ආණ්ඩුවත් විපක්ෂයත් ඒ පරීක්ෂණ සමග තම තමන්ගේ දේශපාලනය කිරීමට යාමෙන් වැළකී සිටිය යුතු අතර කිසි අතපෙවීමකින් තොරව එම පරීක්ෂණ කරගෙන යාමට ඒ අංශවලට ඉඩ දිය යුතුය.

මා වැනි පිටත සිට බලන කෙනෙකුට, මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාව තුළ විදේශ ත‍්‍රස්තවාදී සංවිධාන ආරයක සෑම ලක්ෂණයක්ම පාහේ ඇති බවක් පෙනෙන්ට තිබේ. අලූත් අවුරුදු දිනවල අනුරාධපුරයේ ඈත ගම්මානයක පිහිටි මෙතෝදිස්ත දේවස්ථානයකට කරන ලද ප‍්‍රහාරය පිළිබඳ සිද්ධියෙන් මේ පරීක්ෂණ මුලින්ම පටන් ගත්තොත් වටී. එම ප‍්‍රහාරය දියත් කොට ඇත්තේ බෞද්ධ පිරිසක් විසින් බව මාධ්‍ය වාර්තා දක්වයි. ඒ පිරිස එසේ කටයුතු කෙළේ තමන්ගේම උවමනාවට ද එසේත් නැත්නම් වෙනත් පාර්ශ්වයක උසිගැන්වීමක් ප‍්‍රකාරව ද යන්න සොයා බැලීමත් වටී.

සොයා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ, අයි.එස්.අයි.එස්. හෝ අල්කයිඩා සංවිධානය සමග මේ සිද්ධියට නෑකමක් ඇත් ද යන්නයි. කිසිවෙකු විසින් තවම මේ ප‍්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන නොතිබීම, මැද පෙරදිග සම්බන්ධතාව බැහැර කිරීමට හේතුවක් නොවේ. එස්.එස්.අයි.එස්. සංවිධානය එම කලාපයෙන් පලවා හැර ඇති බව මැද පෙරදිග වාර්තා මගින් පෙන්නුම් කෙරුණත්, ඔවුන් සහමුලින් අතුගා දමා ඇති බවක් නොකියැවේ. එබැවින්, අයි.එස්.අයි.එස්. සංවිධානය පරාජය කොට ජයග‍්‍රහණය ලැබීමක් ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැන්මම උදම් ඇනීම නුවණක්කාර නොවන අතර, අයි.එස්.අයි.එස්. නායකයන්ට සහ ප‍්‍රධාන පෙළේ ක‍්‍රියාකාරීන්ට ආරක්ෂක දැළෙන් පලා යාමට හැකි වී ඇති බවක් පෙනේ. ඊට කලින් ඇෆ්ගනිස්තානයේ සිටි අලිකයිඩා ක‍්‍රියාකාරිකයන්ට ටෝරාබෝරා ලෙන්වලට පලා යාමට ඇමරිකාව ඉඩ හැරියේය. අද මැද පෙරදිග ගොඩනැගෙමින් පවතින්නේ ඒ පිරිස් ය. මේ අයි.එස්.අයි.එස්. කාඩර්වරුන් අතරේ ශ‍්‍රී ලාංකිකයන් ද සිටි බව දැන් ප‍්‍රසිද්ධ කාරණයකි. අයි.එස්.අයි.එස්. සංවිධානය ශ‍්‍රී ලංකාවෙන් වාඩුවක් පිරිමසා ගැනීම සඳහා මේ දේශීය ත‍්‍රස්තවාදීන්ව පාවිච්චි කරනවා විය හැකිය. කරුණු එසේ නම්, ශ‍්‍රී ලංකාව මැද පෙරදිග භූදේශපාලනික උගුලට හසුව ඇති රටක් වශයෙන් හැඳින්වීමට සිදුවෙයි.

මේ සිද්ධියට මැද පෙරදිග සම්බන්ධයක් ඇතැයි සනාථ කරගතහොත්, ඊළඟට සොයා බැලිය යුත්තේ, ඔවුන් ශ‍්‍රී ලංකාව ඉලක්කයක් වශයෙන් තෝරාගත්තේ මන්ද යන්නයි. ඉතා කෙටි පිළිතුර විය හැක්කේ, මැද පෙරදිගින් එන විදේශිකයන් කෙරෙහි ආගන්තුක සත්කාරයට ශී‍්‍ර ලංකාව ඉමහත් කැමැත්තක් දැක්වීම, අරාබි ආයෝජන බෙහෙවින් ලංකාවට ගලා එමින් තිබීම, අරාබි සංචාරකයන් සංඛ්‍යාව වැඩි වෙමින් තිබීම, අරාබි රටවල නිලධාරීන් විවිධ ව්‍යාපෘති සඳහා ලංකාවට එමින් තිබීම, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සහ අරාබි ජාතිකයන් අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා අලූතෙන් ගොඩනැගෙමින් තිබීම, එසේම අරාබි පරාර්ථ ධනයෙන් ලංකාවේ මුස්ලිම් ප‍්‍රදේශවල ‘මද්‍රසා’ (මුස්ලිම් දහම් පාසල්* සහ වෙනත් සංස්කෘතික මධ්‍යස්ථාන ප‍්‍රමාණය වැඩි වෙමින් පැවති තත්වයක් දක්නට ලැබීම ආදියයි. ඒ හිතකර වටපිටාව, විදේශික අන්තවාදී ආගමික නායකයන්ට, ආගමික දේශකයන්ට සහ අපරාධකාරයන්ට පවා, දේශීය සැකයකට භාජනය නොවී ලංකාවට ඇතුල් වීමේ පහසුව සැලසීය.

දෙවැනුව, ලංකාවේ සමස්ත අවධානය යොමුව පැවතියේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කෙරෙහි ය. අගමැතිවරයා සහ ඇමති මණ්ඩලයත්, ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂයත්, විපක්ෂය සහ එහි ආධාරකරුවනුත්, මේ දිනවල සටන් කරමින් සිටියේ නාමයෝජනා ගැන සහ දේශපාලන උපාය මාර්ග ගැන මිස රටේ ආරක්ෂාව ගැන නොවේ. ආරක්ෂක අංශ පවා වඩාත් උනන්දු වන්නේ රට ආරක්ෂා කරනවාට වඩා දේශපාලඥයන් ආරක්ෂා කිරීමට ය. එසේ නොවිණි නම්, දින කිහිපයකට කලින් මේ ප‍්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් ලැබ තිබියදීත් කිසි පියවරක් නොගත්තේ ඇයි?

තෙවැනුව, රටත් තිබෙන්නේ අන්ත ¥ෂිත තත්වයක ය. එසේ හෙයින්, පාතාල නායකයන්ට සහ ත‍්‍රස්තවාදීන්ට අවශ්‍ය කරන උදව් උපකාර මුදල් ගෙවා ලබා ගත හැකිය. එය එසේ නොවේ නම්, රටේ අස්සක් මුල්ලක් නෑර මත්ද්‍රව්‍ය උවදුර පැතිරීම අප අදහා ගන්නේ කෙසේද? ඉතිං, එවැනි තත්වයක් තුළ, ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදීන්ගේ තේරීමක් වීම අහන්නත් දෙයක් ද?

මැද පෙරදිග සම්බන්ධතාවකුත් නැත්නම්, සමස්ත ත‍්‍රස්තවාදී ව්‍යාපාරයම කුමන්ත‍්‍රණය කොට දියත් කෙළේ ‘ජාතික තව්හීඞ් ජමාත්’ ව්‍යාපාරය විසින් නම්, එහි ක‍්‍රියාකාරීත්වය ගැන එකී ප‍්‍රජා නායකයන් සහ ආණ්ඩුවේ නායකයන් නොදැන සිටියේ යැයි අප විශ්වාස කරන්න ද?

‘තව්හීඞ් ජමාත්’ සංවිධානය වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාකාරීව පවතින සංවිධානයකි. ‘ජාතික තව්හීඞ් ජමාත්’ සංවිධානය යනු එම මව් සංවිධානයෙන් බිහි වූ වෙනම සංවිධානයක් ද, එසේ නැත්නම්, අලූතෙන්ම බිහි වූ කණ්ඩායමක් ද යන්න වැදගත් නැත. ඒ කුමක් වුවත්, ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් ‘සමස්ත ලංකා ජමියාතුල් උලෙමා’ සංවිධානයටත්, ‘ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයටත්’, ‘සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රස්’ පක්ෂයටත් හොරෙන් කරගෙන යා හැකි දේවල් නොවේ. අවසානයට කී පක්ෂ දෙක ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ය. ඔවුන්ට මැතිවරණවලින් ජයග‍්‍රහණය කිරීම සඳහා ‘සමස්ත ලංකා ජමියාතුල් උලෙමා’ සංවිධානයේ සහාය අවශ්‍ය කරන්නේය.

අඩු වශයෙන්, මාවනැල්ලේ ආගමික අන්තවාදී ක‍්‍රියාවන්ගෙන් පසුව හෝ මුස්ලිම් ප‍්‍රජා නායකයන් මෙවැනි ඕනෑම අන්තවාදී කණ්ඩායමක් පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතුව තිබුණු අතර, ඒවායේ ක‍්‍රියාකාරකම් පිළිබඳව බලධාරීන් දැනුවත් කළ යුතුව තිබුණි. මෙරටේ ආගම් දේශපාලනීකරණය වීම ඉවසා සිටින ආණ්ඩුවේ සමස්ත ප‍්‍රතිපත්තිය ගැන සිතීමේදී, ඉහත කී ප‍්‍රජා නායකයන් එසේ නොකර තිබීම පුදුමයක් නොවේ. ආගමීකරණය වූ දේශපාලනය වේවා, දේශපාලනීකරණය වූ ආගම වේවා, කොහේ තිබුණත්, කොයි කාලයේ තිබුණත්, සමාජ සාමය විනාශ කරවන්නේය. විශේෂයෙන්, බහු-ආගමික සහ බහු-වාර්ගික සමාජයක එය විනාශකාරී වන්නේය. දේශපාලනයේ නරා වළ වෙත ලංකාවේ ආගම ඇදගෙන ගිය ප‍්‍රථම පුද්ගලයා වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ය.

ඇත්ත වශයෙන්ම, ‘සීතල යුද්ධයේ යතිවරු’ නැමැති කෘතියේ එයුජින් ෆෝඞ් පෙන්වා දෙන පරිදි, 1956 මැතිවරණය සඳහා වන අරගලය ජය ගැනීම සඳහා ලංකාවේ ආගම, දේශපාලනයට අනුගත ආකාරයෙන් පාවිච්චියට ගැනීම සඳහා කළ බණ්ඩාරනායක කළ ඒ අත්හදාබැලීමෙන් පසුව, කොමියුනිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පාවිච්චියට ගැනීම සඳහා බුද්ධාගම දේශපාලනීකරණය කිරීමට, ඇමරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවය පවා තීරණය කොට තිබේ.

තම දේශපාලනික මුග්ධ භාවය සඳහා එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජීවිතයෙන් වන්දි ගෙව්වත්, ඔහුගේ අනුප‍්‍රාප්තිකයෝ ඉන් පාඩමක් උගත්තේ නැත. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ සාහසික ලෙස ආගම පාවිච්චියට ගැනීමේ ඒ පුරුද්ද හේතු කොටගෙන රට විනාශකාරී මාවතකට තල්ලූ කෙරුණි. රටේ පවතින බහු-වාර්ගික සහ බහු-ආගමික සංයුතියට ඒ මගින් විශාල හානියක් සිදු විය. එතැන් පටන් බලයට පත් සෑම ආණ්ඩුවක්ම, රටේ ඉතිහාසයේ ආදර්ශමත් ලක්ෂණයක්ව පැවති ඒ බහුත්වවාදී බව කෙටි කාලීන දේශපාලනික වාසි සඳහා පරදුවට තැබීය.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ආරම්භ කරන තෙක් ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව දේශපාලනය තුළට තමන්ගේ ආගම ගෙනාවේ නැත. බාහිර මුස්ලිම් ලෝකයේ එක්තරා ආකාරයක ආගමික නැගිටීමක් ඇති වෙමින් තිබුණු අවස්ථාවක ලංකාවේ මේ පක්ෂය පිහිටුවා ගැනීම අවාසනාවන්ත ය. එතැන් පටන් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සෑම ප‍්‍රසිද්ධ උත්සවයක් ආරම්භයේදී සහ අවසානයේදී ආගමික සටන්පාඨ කීම පුරුද්දක් කර ගත් අතර, එවැනි සෑම උත්සවයක්ම ආගමික සංඥාවන්ගෙන් සරසන්නට පටන් ගත්තේය. දෙමළ දිස්ත‍්‍රික්කවල එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් එල්ල වූ වාර්ගික අභියෝගයන්ට ආගමික ප‍්‍රතිචාරය දැක්වූයේ මුස්ලිම් කොන්ග‍්‍රසයයි. මෙසේ ඉස්ලාම්කරණය වූ දේශපාලනය කෙමෙන් දළු ලන්නට විය. ඒ යටතේ, තමන් අතරින්ම බිහි වන අන්තවාදී ආගමික අදහස් දරණ කණ්ඩායම් ඉවසා සිටීමටත් මුස්ලිම් කොන්ග‍්‍රසයට සිදු විය.

1990 මහ මැතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ලංකාවේ රජු තනන පක්ෂය බවට පත්වූ පසු බලයට පත් සෑම ආණ්ඩුවකටම, එක පැත්තකින් බෞද්ධකරණයට ලක්වූ දේශපාලනය ප‍්‍රවර්ධනය කරන අතරේ අනිත් පැත්තෙන් ඉස්ලාම්කරණයට යටව සිටි දේශපාලනයත් වැද්ද ගැනීමට සිදුවිය. සිංහල නායකයන්ට, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සහ සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රස් පක්ෂයේ සහාය අවශ්‍ය විය. ඒ සමගම, ඒ පක්ෂ දෙකට ‘සමස්ත ලංකා ජමියාතුල් උලෙමා’ සංවිධානයේ සහාය අවශ්‍ය වූ අතර, ‘සමස්ත ලංකා ජමියාතුල් උලෙමා’ සංවිධානය තමන්ගේ ප‍්‍රජාව අතරේ පවතින අප‍්‍රසන්න දේවල් වසං කෙළේය. එසේම, 2009 න් පසු, අලූත්ගම, අම්පාර සහ දිගන මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය පැතිරුණු අවස්ථාවේ ඒ අබෞද්ධ ක‍්‍රියාවන් පසුපස සිටි කිසිවෙකුට විරුද්ධව පාලකයන් දැඩි පියවර ගත්තේ නැත.

දකුණේ දේශපාලකයන් තමන්ගේ ඡුන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේ කල්ලියකට දඬුවම් නොකර හරින විට, තමන්ගේම පැත්තේ සිටින වෙනත් මුස්ලිම් පක්ෂයක කල්ලියකට විරුද්ධව කෙසේ නම් පියවර ගන්නද? ශ‍්‍රී ලංකාවේ දේශපාලනය අද වන විට වැටී ඇති ප‍්‍රපාතය එයයි. පාස්කු විනාශය යනු, ජාතික දේශපාලනික නායකත්වයේ මහා අසාර්ථකත්වයේ බිහිසුණු නිරූපණයයි.

අඩු වශයෙන් 2013 සිටවත්, අයි.එස්.අයි.එස්. සංවිධානය තමන්ගේ ඉස්ලාමීය රාජ්‍යය ප‍්‍රකාශයට පත්කළ අවස්ථාවේ පටන්, මේ සියල්ල පැහැදිලිව පෙනෙන්ට තිබුණි. ඊටත් කලින් 1979 සිට ඉරාන විප්ලවය හරහා ඉස්ලාම් ආගම, ඉස්ලාම් දේශපාලනය තුළ ‘ප‍්‍රධාන සංඥාකාරකය’ බවට පත්ව තිබුණි. අයි.එස්.අයි.එස්. සංවිධානය කෙළේ ඊට අතිශය බිහිසුණු වර්ණයක් එක් කිරීමයි. සෑම බහුත්වවාදී සමාජයක්ම, ඉස්ලාමීයත්වයේ වර්ධනය එවිට සැලකිල්ලට ගත යුතුව තිබුණි. සමාජයක ජාතික දිවිය කෙරෙහි ඒ මගින් ඇති කැරැුවිය හැකි අනිටු පලවිපාක වැළැක්විය යුතුව තිබුණි.

මෙවැනි තත්වයක් නොදැන සිටියේ යැයි ශ‍්‍රී ලංකාවේ නායකයන්ට කිව නොහැක. මන්ද යත්, රටේ සාමයට සහ සංහිඳියාවට විනාශකාරී විය හැකි අන්ත පසුගාමී දෘෂ්ටිවාද මුස්ලිම් ප‍්‍රජාව අතරේ පැහැදිලිවම වැඩෙමින් තිබුණු බැවිනි. එහි පැවැත්ම මතුපිටින් පෙනෙන තරමට විද්‍යමාන වෙමින් තිබුණු බැවිනි. මේ කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය සහ දෘෂ්ටිවාද ගැන බුද්ධිමතුන් කිහිප දෙනෙකු විටින්විට තමන්ගේ ලියවිලි සහ විවිධ ප‍්‍රකාශන හරහා පෙන්වා දී තිබේ. එහෙත් බලධාරීන් ඒවා සැලකිල්ලට ගත් බවක් පෙනෙන්ට නොවුණි. පාලකයන්ගේ ඒ අලස බවට සහ මන්දෝත්සාහයට අද වන්දි ගෙවන්නේ සාමාන්‍ය ජනතාවයි. ඒ අනුව, මේ පාලකයන් ඒ විනාශයට එක හා සමානව වගකිව යුතුය.

පාස්කු ඉරිදා විනාශයෙන් ගොඩ ඒමට තව බොහෝ කාලයක් ගත වනු ඇත. ආර්ථිකය මේ නිසා දැන් හොඳටම පිරිහී තිබේ. කෙටිකාලීනව නීතිය හා සාමය වහා ස්ථාපිත කළ යුතුව ඇති අතර, පක්ෂපාතීත්වයකින් තොරව ආරක්ෂ අංශ සියලූ පුරවැසියන්ට ආරක්ෂාව සලසා දිය යුතුව තිබේ. එහෙත් දීර්ඝ කාලීනව, මේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණදිය හැකි රැුඩිකල් නායකත්වයක් රටට අවශ්‍ය කෙරේ. වර්තමාන නායකත්වය විවිධාකාරයෙන් තමන්ගේ අසාර්ථකත්වය සහ අකාර්යක්ෂමතාව පෙන්නුම් කොට ඇත. ඉතිං, විකල්පය කුමක් ද?

“2019 අප්‍රේල් 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Easter Carnage & Grand Failure Of Leadership” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.